Saturday, September 30, 2023

චිත්‍රපට විචාරය



එක චිත්‍රපටයක් තිබ්බා. එහි කරත්තයක් පසු පස ලන්තෑරුමක් බැඳලා තියනවා. රාත්‍රියේ කරත්තය කඳු මාර්ගයක යනවා. කරත්තය දෙපසට වැනෙනෙවා. ලන්තෑරුම  හෙල්ලෙනෙවා, එහි එළිය අඩු වැඩි වෙනවා. කැමරාවත් වැනෙනෙවා. මේ දර්ශනය විනාඩි 8 විතර තියනවා. චිත්‍රපටය තිරගත වූ මුල් දවසේම  සිනමා විචාරකයෝ මේ චිත්‍රපටයේ මේ කොටස ගැන විශිෂ්ඨ ලෙස අදහස් දක්වලා තිබ්බා. එක් උගත් විචාරකයෙක් කිව්වේ මෙයින් සංකේතවත් වන්නේ ජීවිතයේ අනිත්‍යතාව​. කරත්තය , ලන්තෑරුම ඒ සමග සෙලවන කැමරා දර්ශනය තුලින් ජීවිතයේ නිසරු බව අනිත්‍යතාව මූර්තිමත් වනවා කිව්වා. ඔහුගේ මතය සනාථ කරන්න ථේරවාද හා මහායාන බුදු දහම හරහා කරුණු පෙන්නුවා.

තවත් විචාරකයෙක් කිව්වේ මේ දර්ශනය පෙන්වන්නේ මිනිස් මනස, මිනිස් මනසේ චංචල බව ; ලන්තෑරුම දෙපසට වැනීම​, ඒ සමග කැමරාව චංචල වීම නිරූපනය කලේ  චංචල මිනිස් මනස බව කිව්වා. ඔහු දාර්ශනික ෂෝපන්හවර් ගේ අදහස් ඒ වගේම මනස පිලිබඳ ස්පිනෝසාගේ අදහස් තම ලිපියේ සඳහන් කලා. මීට අමතරව දීප්තිත් මේ චිත්‍රපටය ගැන දේශනයක් කලා මහජන පුස්තකාලයේ. එහිදී ඔහු කිව්වේ  ආශාව මිය ගිය සමාජයක හැඩතල මේ ආලෝකය වෙනස් වෙන දර්ශන සෙලවීම මගින් මූර්තිමත් වෙනවා කියලා.  කරත්තය පදවන්නේ සංකේත පියා කියලත් කිව්වා. ඔහු  ඩෙරීඩා , ජිජැක් මෙන්ම කිස්ලොව්ස්කි ගේ අදහසුත් කැටි කරලා අගනා දේශනයක් කලා.

අවසානයේදී විචාරකයන් සමග චිත්‍රපටය නැරඹූ අය මේ විශිෂ්ඨ දර්ශනය පිලිබඳව චිත්‍රපට අධ්‍යක්‍ෂකවරයාගෙන් ඇසුවා. ඔහු කිව්වේ මෙයයි. : 

" එදා අඳුරු රාත්‍රියක් , වැසිබර ගතිය තිබ්බා, අවට පරිසරය තුල අමුතු මූසල ගතියක් තිබ්බා. මීදුමත් පිරිලා. අපි තීරණය කලා කඳු මාර්ගයක යන කරත්තයේ දර්ශනය ගන්න​. කරත්තය පසුපස ලන්තෑරුමක් එල්ලුවා. දැන් කරත්තය යනවා. ඒත් අකරතැබ්බයක් කැමරාමන් හොයාගන්න නෑ. අමාරුවෙන් කැමරාමන්ව හොයලා සෙට් එකට ගෙනාවා.අපේ කැමරාමන් හොර පොට් එකකට ගිහින් කුදාර් වෙන්න ගහලා හිටියේ. මූ කාලකන්නියා වෙරි පිටින් කැමරාව හොල්ල හොල්ල දර්ශනය ෂූට් කරනවා. වේසිගේ පුතා එක සැරයක් කැමරාව එක්ක වැටෙන්නත් ගියා. කැමරා එක කුඩු උනා නම්  ආපහු  ෆිල්ම්  කරලත් කපෝතියි. මොකද චිත්‍රාගාරයෙන් කුලියට ගත්ත එකනේ. කොහොම හරි මූ වෙරි මරගාතේ කරත්තේ දර්ශනය ෂූට් කරා. ඔය දර්ශනේ ඉවර කරපු ගමන් මම ඌ ලඟට ගිහින් කැමරා එක උදුරගෙන ඌට කනට එකක් දුන්නා. ඊට පස්සේ ලයිට් අල්ලන කොල්ලෙක්ට කැමරා එක දීලා ඌ ලව්වා තමයි  චිත්‍රපටයේ ඉතුරු ඔක්කොම ටික ෂූට් කලේ. මම එඩිටර් මල්ලිට කිව්වා ඔය කැමරාව හෙල්ලි හෙල්ලි ගත්ත කරත්තේ කෑල්ල අයින් කරන්න කියලා. එඩිටරයට ඒක අමතක වෙලා ඒ දර්ශනය ඉතුරු කරලා".




No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook