Wednesday, August 31, 2016

මරණය අද්දර

 


වෛද්‍යවරයෙකු ලෙස මරණය අද්දර ජීවත් වූ මිනිසුන් සමග ගැවසීමට මට ඉඩක් ලැබුනේය​. එය එක්තරා අන්දමකට ශෝකාතුර දෙයක් වූවද එමගින් විශාල ජිවිතාවබෝධයක් මෙන්ම ජීවිත  යතාර්ථයක් පසක් කර ගැනීමට හැකි විය​. 

කළුබෝවිල - දකුණු  කොලඹ ශික්‍ෂණ රෝහලේ කායික වෛද්‍ය  එන් .ජේ නෝනිස් මහතාගේ වාට්ටුවේ සිටි රෝගියෙකු මට මතක් වේ. ඔහුගේ අක්මාවේ ක්‍රියාකාරිත්වය ක්‍රමක් ක්‍රමයෙන් ඇණ හිටීමේ තත්වයක් තිබූ අතර ඔහු කෙරෙන් විශාදියද දක්නට තිබුනේය​.  මා විසින් පරික්‍ෂා කරන විටදී මෙම රෝගියා මා අමතා "ඩොක්ටර් මට මැරෙන්න අවශ්‍යයි " කීවේය​. ඉන් සතියකට පසු ඔහු මිය ගියේය​. තමා මිය යමින් සිටින බව ඔහු දැන සිටියේය​. 

මම ශල්‍ය වෛද්‍ය එස්. පී වෙල්ගම මහතාගේ වාට්ටුවේ සේවය කරන කාලයේදී උගුරේ  පිළිකාවකින් පීඩා විඳි රෝගියෙකු  මහ රෑ නැගිට හෙදියකගෙන් පෑනක් සහ කොලයක් ඉල්ලාගෙන තම පවුලේ උදවියට අවසන් ලිපිය ලිව්වේය​. " මම මැරෙනවා , මගේ මරණය ගැන දුක් වෙන්න එපා යන වාක්‍ය දෙක ලියා ඔහු ඇඳ මත මැරී වැටුනේය​. පසුදින උදෑසන රෝගියා බැලීමට පැමිණි ඔහුගේ දියණියට අප එම ලිපිය පෙන්වූයෙමු. ඇය හඞා වැටුණාය​. 

නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය ජී. ඒ රණතුංග මහතා යටතේ සේවය කරන ලද කාලයේ වාට්ටුවේ සිටි ගැබිනි මවකගේ දිවේ පිළිකාවක් තිබුනේය​. ඇයගේ දිවෙන් අඩක් කුණුවී වැටී තිබුණු අතර මුඛයෙන් හැමූ දුර්ගන්ධය වාට්ටුව පුරා පැතිරී තිබුනේය​. වේදනාව නිසා ඇය කිව නොහැකි තරම් පීඩාවක් වින්දාය​. ඇය ජීවිතය දරා සිටියේ කුස තුල සිටි ළදරුවා වෙනුවෙනි. දරුවා ප්‍රසූත කොට සති කීපයකට පසුව පිළිකාව විසින් ඇයගේ ජීවිතය ගිල ගන්නා ලදි.  

උතුරු කොලඹ ශික්‍ෂණ රෝහලේදී සහ හලාවත රෝහලේ දැඩි සත්කාර ඒකක වල දිනපතා මියෙන මිනිසුන් මම දුටුවෙමි. මෙම දැඩි සත්කාර ඒකක වල දිගටම සේවය කල වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට මරණය යනු සාමාන්‍ය සංසිද්ධියක් බවට පත් වෙමින් තිබුනේය​. 

යුද හමුදා රෝහලේදී අන්ත්‍රයේ පිළිකාවකින් පීඩා විඳි බ්‍රිගේඩියර් කෙම්පිටිය මහතා උපදේශන මනෝ ප්‍රතිකාර සඳහා විශේෂඥ කායික වෛද්‍ය නිමල්කා ඒකනායක මහත්මිය විසින් මා වෙත යොමු කොට තිබුනාය​. මාස අටකට වඩා අධික කාලයක් මම බ්‍රිගේඩියර් කෙම්පිටිය මහතා සමග ප්‍රතිකාරාත්මක සබැඳියාවක් පවත්වා ගත්තෙමි. 

ඔහු දක්‍ෂ නිලධාරියෙකු විය​. එසේම කෙම්පියා මෝටාර් වර්ගය නිපදවනු ලැබීය​. තමන් පිලිකාවෙන් මිය යනු බව දැන සිටියද කෙම්පිටිය මහතා මරණයට බිය නොවීය​. මේ පුරුෂයාගෙන් ජීවිතය සහ ජීවිතාවසානය පිලිබඳ බොහෝ දේවල් මම උගත්තෙමි. අවසාන කාලයේදී අප වෛද්‍යවරයා - රෝගියා සහසබඳතාවයෙන් ධනාත්මක ලෙස බැඳී සිටියෙමු. පිළිකාව නිසා ඔහු තුල තිබූ අධික වේදනාව යටපත් කර ගනිමින් ඔහු මා සමග සංවාදයේ යෙදුනේය​. මගේ සමාගම ඔහුට ශාන්තියක් ගෙන දුන් බව නොයෙක් විට ඔහු කීවේය​. 

2006 වසරේ මම එක්සත් ජනපදයට යන විට මම ඔහුගෙන් සමු ගත්තෙමි. " ඔබ එන විට මම ජීවතුන් අතර නොසින්නට පුලුවන් " යැයි බ්‍රිගේඩියර් කෙම්පිටිය මට කීවේය​. මසකට පසුව මම යලි එන විට ඔහු ජීවතුන් අතර සිටි මුත් ඔහුගේ තත්වය බරපතල වී සිටියේ දැඩි සත්කාර ඒකකයේ ය​. මම බ්‍රිගේඩියර් කෙම්පිටිය බැලීමට දැඩි සත්කාර ඒකකයට ගියෙමි.  බෙහෙතක් විද තිබූ නිසා ඔහු නිදාගෙන සිටි අතර මම ඔහුට බාදා නොකලෙමි. 

පසුදින ඔහු මිය ගියේය​. එහෙත් මම බ්‍රිගේඩියර් කෙම්පිටියගේ මරණ ගෙදර නොගියෙමි. අපගේ මාස අටක සැමරුම් සජීවීව තබා ගැනීමට මට අවශ්‍ය විය​. අද දිනයේ වූවද ඔහු මගේ සිත තුල රැඳී සිටින්නේ මෘත ශරීරයක් ලෙස නොව. සජීව මිනිසෙකු ලෙසටය.එහෙත් මෙම හමුදා නිලධාරියා පිලිබඳව සැමරුම් සටහනක් ලියා එය ඩේලි නිවුස් පුවත් පතට මම යැව්වෙමි. 

මරණය අද්දර ජීවත් වන මිනිසුන් මරණය අමතක කොට ජීවත් වන අප මෙන් නොව අත්‍යන්ත ජීවිත අවබෝධයකින් යුක්තය​. ඔවුන් අපගේ ගුරුන් කොට සිතීම වරදක් නොවේ. මලවුන් මෙන් ඔවුනද අපට ජීවිතය ගැන බොහෝ දේවල් නිහඞව උගන්වති. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Tuesday, August 30, 2016

හාවර්ඩ් විශ්ව විද්‍යාලයේදී

 


With Professor Judith Herman 


හාවර්ඩ් විශ්ව විද්‍යාලය ලෝකයේ හොඳම විශ්ව විද්‍යාලය වන අතර 2016 වසරේදී  මෙම විශ්ව විද්‍යාලයේදී පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය (PTSD) පිලිබඳව දේශනයක් කිරීමේ විරළ භාග්‍ය මට හිමි විය​. මෙම දේශනය මම පැවැත්වූයේ ලෝක පූජිත මනෝ වෛද්‍යවරියක් වන ජුඩිත් හර්මන් විසින් මූලාසනය උසුලන ලද සභාවකය​. එය මගේ වෘත්තීය ජීවිතයේ ලැබූ ජයග්‍රහනයකි. 

ඇමරිකාවේ මැසචූසෙට්ස් හි  ස්ථාපිත කොට තිබන හාවර්ඩ් විශ්ව විද්‍යාලය ආරම්භ  කරන ලද්දේ 1636 දීය​. ලෝකයේ උසස් අධ්‍යාපනික ආයතන අතරින් මිණි කිරුළ ලෙස හාවර්ඩ් විශ්ව විද්‍යාල හැඳින්විය හැකිය​.  වර්තමානයේ සිසුන් 21,000 කට ආසන්න සංඛ්‍යාවක් මෙම විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබති 

හාවර්ඩ් විශ්ව විද්‍යාලය අක්කර 209 යුතු විශාල ආයතනයකි. එසේම එම විශ්ව විද්‍යාලයට අනුබද්ධිත ආයතන රැසක්  බොස්ටන් -කේම්බ්‍රිජ් ප්‍රදේශ වල පිහිටා තිබේ. මෙම විශ්ව විද්‍යාලය මගින් ලෝ ප්‍රකට උගතුන් රාශියක් බිහි කොට තිබේ.මේ අතර නෝබෙල් සම්මානලාභීන් රැසක් සිටිති. ඇමරිකානු ජනාධිපතිවරු අට දෙනෙකු හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබා තිබේ. 

හාවර්ඩ් විශ්ව විද්‍යාලයට වසරකට ලොව පුරා අපේක්‍ෂකයන් දස දහස් ගනනක් ඉල්ලුම් කරති. ඉන් තෝරා ගන්නේ 6 % වැනි සුළු ප්‍රමානයකි. 

Monday, August 29, 2016

කොන්ඩොම් දැමීම

 


හලාවත රෝහලේ අක්‍ෂි වෛද්‍ය කෝවර්තණ රාජා මහතා වියපත් වූ අයෙකු වූවද සිතින් තරුණයෙකු වැනිය​. ඔහු ඉතා ගැඹුරු දැණුමකින් යුක්තය​. ඕනෑම විශයක් දන්නේය​. 

වෛද්‍ය කෝවර්තණ රාජා ගේ අක්‍ෂි ශල්‍යකර්ම වලදී මම නිර්වින්දනය ලබා දුන්නෙමි. එම ශල්‍යකර්ම කරන අතරතුර ඔහු මා සමග සංවාදයේ යෙදේ. 

වරක් ලොරියක් සහ ත්‍රීවීල් රථයක් මුහුණට මුහුණලා ගැටීම නිසා තුවාල ලැබූ ත්‍රීවීල් රියැදුරා රෝහලට ගෙන එනු ලැබීය​. ත්‍රීවීල් රථයේ වීදුරුවට ඔහුගේ මුහුණ කැපී තිබුනි. එසේම වීදුරු කෑල්ලක් ඔහුගේ වම් අක්‍ෂිය පසාරු කරගෙන ගොස් තිබුනේය​. 

මම මේ රෝගියා නිර්වින්දනය කලෙමි. වෛද්‍ය කෝවර්තණ රාජා ශල්‍යකර්මය ඇරඹීය​. ඔහු ශල්‍යකර්මයට අවශ්‍ය ශල්‍ය උපකරණ හෙදියගෙන් ඉල්ලූ අතර සමහර උපකරණ ශල්‍යාගාරයේ නොවීය​. මේ නිසා වෛද්‍ය කෝවර්තණ රාජා නොසන්සුන් විය​. 

ඔහු කෝප ගන්නෙකු නොවේ. එහෙත් අත්‍යාවශ්‍ය ශල්‍ය උපකරණ නොමැතිව වූවද ඔහු අසීරුවෙන් අක්‍ෂි ශල්‍යකර්මය නිම කලේය​. ඉන් පසු තමන් ගේ ශල්‍ය උපකරණ වලට සිදු වූයේ කුමක්ද කියා සොයා බැලුවේය​. 

ශල්‍යාගාරය භාර හෙදි සොහොයුරිය අක්‍ෂි ශල්‍ය උපකරණ වැරදීමකින්  ඒවා පැරණි පාවිචියට ගත නොහැකි ඒවා කියා කන්ඩෙම් දමා ඇති බව හෙදියක් කීවාය​. මින් වික්‍ෂේපණය වූ වෛද්‍ය කෝවර්තණ රාජා අත්ල නලලේ ගසා ගත්තේය​. ඉන්පසු කැඩිච්ච සිංහලෙන් මෙසේ කීවේය​. 

" ජා ජා ජා එන්න වැඩ තමා වෙලා තියනවා මේ සිස්ටර් එක මගේ බඩු ඔක්කොම කොන්ඩොම්  තමා දාලා තීනවා" 
 
මෙය ඇසූ හෙදියෝ  වහාම ශල්‍යාගාරයෙන් ඉවත්ව ගියේ ඔහු ඉදිරියේ සිනාසීම නුසුදුසු නිසාය​. මම අසීරුවෙන් සිනහව තද කරගෙන රෝගියාව රිකවරි කාමරයට ගෙන ගියෙමි. 

Sunday, August 28, 2016

සාහිත්‍ය සහ මනෝ විද්‍යාව පිලිබඳ පොතක්

වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින්, අතිවිශේෂ ගණයේ ලා සැලකිය හැකි ග්‍රන්ථයක් එළිදක්වා ඇති අතර, එමගින්, බටහිර සාහිත්‍ය ධාරාවේ, නිර්මාතෘ වරුන්ගේ සංකල්ප, මනෝ වෛද්‍ය චිකිත්සාව සමග, දාම සබඳතාවක් ඇති කරගනිමින්, බටහිර සම්භාව්‍ය සාහිත්‍යධරයන් (ක්ශේක්ස්පියර්, ඩන්ටේ,  ගතේ , ඔස්කාර් වයිල්ඩ් ) විසින්, සිය නිර්මාණයන් තුළ, මනෝ ව්‍යාධි පිළිබඳව සංකල්ප, අසාමාන්‍ය ලෙස ගැඹුරින් අවබෝධ කරගැනීමට හැකිවන සේ, සිත්තම් කර ඇති ආකාරය පැහැදිලි කරයි. එසේම මෙම කෘතිය තුළින්, ශ්‍රී ලාංකික සාහිත්‍යධරයන් වන, කුමාරතුංග මුනිදාස, මාර්ටින් වික්‍රමසිංහ, කේ.ජයතිලක, සයිමන් නවගත්තේගම, සහ මංජුල වෙඩිවර්ධන, සිය නිර්මාන කාර්යයේදී, මානව චර්යා ස්වභාවය පිළිබඳව මනෝවිද්‍යාත්මක සාධක ග්‍රහණය කරගැනීම අතින්, අද්විතීය වන බවද, පෙන්වා දෙයි. මෙම ග්‍රන්ථය, සායනික මනෝවිද්‍යාව සහ ඒ ආශ්‍රිත මානසික සෞඛ්‍යය පිලිබඳ අධ්‍යයනයේදී නිර්දිෂ්ඨ ග්‍රන්ථයක් විය යුතුයැයි සිතමි. 
  
මහාචාර්‍ය  මේරි සීමන්  
ටොරොන්ටෝ විශ්ව විද්‍යාලය  
කැනඩාව  

Saturday, August 27, 2016

බඩා මුනේ ගේ බිත්තරේ

 



හතර වසරේ සිටියදී අපට වසර අවසානයේදී අත් වැඩ විභාගයක් තිබුනේය​. මේ සඳහා විවිධ අමු ද්‍රව්‍ය පන්තියට ගෙනැවිත් ඒවායින් අත්කමක් සදා ගුරුවරියට පෙන්වා ලකුණු ලබා ගැනීම නියමිත විය​. සමහර ළමුන් මැටි ගෙනැවිත් කුරුල්ලෙකු හෝ හාවෙකු සදා ගුරුවරියට පෙන්වූහ​. තවත් සමහරු කරදාසි වලින් විවිධ නිර්මාණ කොට ලකුණු ලබා ගත්හ​. 

අපගේ පන්තියේ සිටි කපිල මුණසිංහට නත්තල් පප්පෙකු හදන්නට ඕනෑ විය මේ සඳහා සිරිංජයක් මගින්  දියළු ඉවත් කල කුකුල් බිත්තරයක් , පුළුන් ආදිය ගෙන ඔහු නත්තල් පප්පා හදන්නට සූදානම් වූයේය​. කලින්ම ලී එකට පුරුද්දා කාර් එකක් තනා එයට ටොනික් මූඩි රෝද සවි කොට ගුරුතුමියගින් ලකුණු ලබා ගත් මම අනෙකුත් ළමුන්ට බාදා කරමින් සිටියෙමි. 

හේමාල් ගුණසේකර සමග විවාදයකට පැටළුණු මම අත පය විසි කරමින් කතා කරන විට මගේ අතක් වැදී කපිල මුණසිංහ ගේ බිත්තරය කුඩු විය​. මෙය දුටු ලසිත ලුවිස් බඩ අල්ලාගෙන සිනාසුනේ "බඩා මුනේ ගේ බිත්තරේ ඉවරයි "කියා කියමිනි. 

කපිල මුණසිංහ මහත ළමයෙකි. එහෙත් ඔහු මට බයය​. ඒ නිසා ඔහු නහයෙන් අඞන්නට විය​. "මම කොහොමද අත් වැඩට ලකුණු ගන්නේ ? ඔහු මැසිවිලි කීවේය​. කුඩු වූ බිත්තරය ළමයෙකුගෙන් ලබා ගත් පාප්ප යොදා ඇලවීමට මම උත්සහ කලෙමි. එහෙත් එය සාර්ථක නොවීය​. අවසානයේදී මුණසිංහ බිත්තරය කැඩුනා කියා ලබන වාරයේ අත්වැඩ විභාගය දීමට ටීචර් ගෙන් අනුමැතිය ගත්තේය​. 

වර්තමානයේ කපිල මුණසිංහ බොරැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකි. ලසිත ලුවිස් ජීවත් වන්නේ ටෙක්සාස් වලය​. හේමාල් ලංකාවේ සිට තම ව්‍යාපාර කටයුතු මෙහෙයවයි. මෑතකදී මගේ පාසල් මිතුරෙකු වූ අතුල සුරේන්ද්‍ර  ටොරොන්ටෝවට පැමිණි අවස්ථාවේදී බඩා මුනේ ගේ බිත්තරේ ගැන කියමින් අප සිනාසුනෙමු. යලිත් ලංකාවට  යන විට කපිල මුණසිංහගේ කුඩු කල බිත්තරයට හිලව්වට  ඔහුට  ඔන්ටේ‍රියෝ තාරා බිත්තරයක් ගෙන යාමට මම ඉටා ගත්තෙමි. 

Thursday, August 25, 2016

බාලදක්‍ෂයන් ගේ වැඩ කිඩ

  

32 කොලඹ නාලන්දා විද්‍යාලීය බාලදක්‍ෂයන් ලෙස අප ඉතා විනෝදජනකව ක්‍රියා කලෙමු. අනිල් ද සිල්වා, උදිත පලිහේන​, සත්‍යජිත් , සත්‍යවාන් , ජගත් ලීලාරත්න​, අනින්ද සමරසේන , තිස්ස ප්‍රනාන්දු , උදය ඉඳුනිල් , එදිරිසිංහ , සජිත්, ​දන්ත ආරියරත්න , ලාල් රූපතුංග , හිරන්‍ය හේමනාත , සුනිල් රංජිත්, වජිර , කාවන්තිස්ස , ලසිත ප්‍රනාන්දු , කෙවින් කුරේ , සේරම් ,බුද්ධික නානායක්කාර , බෙල්සන් පද්මසිරි , සජිත් යනාදී බාලදක්‍ෂයන් ගේ සමාගම අතිශයින් ප්‍රියජනක වූයේය​. 

අප වාර්ශික කඳවුරු මෙන්ම විශේෂ කඳවුරු වලටද ගියෙමු. එසේම විවිධ සමාජ මෙහෙවර , ශ්‍රමදාන ,Guard of Honor  හෙවත් ආරාධිත අමුත්තන්ට දෙන උත්තමාචාර (මෙයට කොල්ලන් කීවේ ගාඩෆෝනර් කියාය​).  වලටද සහභාගී වූයෙමු. 

අපගේ බාලදක්‍ෂ නායකයා වූයේ මිලින් ද පීරිස් ය​. ඔහු ජනාධිපති බාලදක්‍ෂයෙකි. එසේම හොඳ නායකයෙකු වූයේය​. 

අපගේ මුල්ම කඳවුර වූ අතුරුගිරිය කඳවුරේදී නවකයන්ට සුළු නවක වදයක් ලෙස රාත්‍රියේ මුහුණු වල ටූත්පේස්ට් ගාන ලදි . මෙය කරන ලද්දේ ලාල් සහ ජගත් විසිනි. උදේ නැගිටින විට අපගේ මුහුණු වල ටූත්පේස්ට් සහ සපත්තු පොලිෂ් තිබූ අතර මාතෘ වන්දනාවකින් අණතුරුව  දිනය ආරම්භ කරන ලදි. 

අතුරුගිරිය  කඳවුරේදී අපට භාජන නොමැතිව ඉවීමට කියා දෙන ලදි. තවද  අප කැලෑවල ඇවිදීම , රාත්‍රී ගමන් යාම ගැන පුහුණුවක් ලැබුනි. එසේම ගිනිමැළ සංදර්ශනය විනෝදජනක විය​. එහිදී මමත් චින්තකත් බෝනිඑම්ලා ගේ රස්පුටින් ගීතය ගැයුවෙමු. එම ගීතය බාලදක්‍ෂ නායක මිලින් ද පීරිස් ගේ ප්‍රියතම ගීතයක් වූයෙන් ඉන් පසුව නොයෙකුත් අවස්ථා වල එම ගීතය ගයන ලෙසට අපට ඉල්ලීම් ආවේය​. 

වරක් පාසලේ තිබූ කඳවුරකදී අනිල් , දන්ත සහ අනින්ද මැල්ලුම් වලට තණකොලද මිශ්‍ර කොට ඉව්වෝය​. එදා බත් , පරිප්පු සහ තණකොල මැල්ලුම් අපි කෑවෙමු. මේ කඳවුරේදී විශාල ගස් දෙකක් අතර අඩි විස්සක පමණ උසින් කඹයක් බැඳ කඹයේ යාම උගන්වන ලදි. එසේම එදිරිසිංග විශාල මාර ගසක් උඩ ලී ගෙයක් තැනුවේය​. අප කඹ යොදා සෑදූ ඉනිමගකින් ගස උඩ තැනූ නිවෙසට ගියෙමු. 

උදය ඉඳුනිල්  , වජිර​, කාවන්තිස්ස , එදිරි යන බාලදක්‍ෂයන් කොලඹ දඹුල්ල ගාල්ල යන නගර ආවරණය කරමින්  දීර්ඝ බයිසිකල් චාරිකාවක යෙදුනෝය​. දින ගනනාවක් ගිය මෙම චාරිකාව පිලිබඳව ලිපියක් වජිර පසුව බාලදක්‍ෂ සමරුවකට  ලියා තිබුනේය​. 

වරක් විහාරමහදේවි උද්‍යානයේ පැවති වාර්ශික කඳවුරකට අවශ්‍ය පොල් අතු ගෙන එන ලද්දේ කෙවින් සහ එදිරි විසිනි. අත් කරත්තයක දමා තල්ලු කරගෙන ගෙන එන ලද මෙම පොල් අතු කඳවුර භූමියට ලඟා වූයේ මධ්‍යම රාත්‍රියේය​. පොල් අතු ගෙනැවිත් ඒවා යළි බාන ලද කෙවින් සහ එදිරි මහත් සේ වෙහෙසට පත්ව සිටියහ​.   එම නිසා ඔවුන් මධ්‍යම රාත්‍රියේ වලං වල ඉතිරිව තිබූ බත් සහ ව්‍යාංජන  බෙදාගෙන කා පොල් අතු උඩ නිදාගත්හ​. 

උදේ එළි වන විට දෙදෙනාම රබර් බෝනික්කන් දෙදෙනෙකු සේ උඩ පනින්නට වූහ​. බලන විට පොල් අතු වල සිටි දහස් ගනන් කූඹීන් මොවුන් දෙදෙනාගේ ශරීර වලට ගොඩවී තිබුණි. පසුව දෙදෙනාම භූමිතෙල් යොදා ශරීර පිරිසිදු කර ගත්හ​. 

එදින රාත්‍රියේ මමත් තවත් බාලදක්‍ෂයෙකු වූ කේ.පී ශාන්තත්  අමුතු හඞකින් " එදිරී මට බඩගිනියි " කියා කෑගසා එදිරිසිංහව ඇවිස්සුවෙමු. මෙසේ කීපවරක් අප කෑගැසූ අතර අවසානයේදී එදිරිසිංහ කෑගසන ලද එක් අයෙකු (කේ.පී ශාන්තව) අල්ලාගෙන වතුර බාල්දියකින් මහ රෑ මැද ඔහුව නෑවීය​. ඉන් පසු රාත්‍රිය ශාන්තව ගෙවී ගියේය​. 

මෙම කඳවුරේදී මට මහළු බාලදක්‍ෂ නායකයෙකු මුණ ගැසුනු අතර ඔහු බාලදක්‍ෂ වියාපාරයේ නිර්මාතෘ බේඩ්න් පවල් සාමිවරයා සියැසින් දැක තිබුනේය​. මේ මහතාගේ නම සමරසිංහ කියා මම සිතමි. ඔහු අද ජීවතුන් අතර නැත​. 

මිලින්ද පීරිස් යුද හමුදාවට ගිය විට බාලදක්‍ෂ නායකයා ලෙස කෙවින් කුරේ ගේ වැඩිමහල් සොහොයුරු සමන් කුරේ ආවේය​. ඔහු ජර්මනියේ වසරක් ගත කොට තිබුනි. සමන් කුරේ විනෝදකාමී අයෙකු වූ අතර අපද සමන් සමග විහිළු කලෙමු. 

අපගේ බාලදක්‍ෂ කණ්ඩායම් ගෝන​, මුව , සිංහ යනාදී වශයෙන් උප කාණ්ඩ වලට බෙදා තිබුනේය​. මේ උප කාණ්ඩ වලට නියමිත භූමි තිබූ අතර ඒවා පිරිසුදු කොට තබා ගත යුතුය​. මේවා පරීක්‍ෂා කිරීමට බාලදක්‍ෂ නායක සමන් කුරේ එයි. ඒ ඇවිත් ලකුණු දෙයි. 

මම සිටියේ ගෝන කාණ්ඩයේය​. එදින කණ්ඩායම් නායකයා නොපැමිනි නිසා මම කාණ්ඩ නායක ලෙස අපගේ භූමිය ශුද්ද පවිත්‍ර කරන ලෙසට සෙසු බාලදක්‍ෂයන්ට උපදෙස් දුන්නෙමි. අපගේ කාණ්ඩයේ සිටි උදිත පලිසේන අපි සමන් අයියාට බොරු වලක් කපමුද කියා ඇසුවේය​. අප එක සිතින් එකඟතාව පළ කොට භූමිය ශුද්ද කිරීම පසෙක ලා ගෝන කන්ඩායම්  භූමියේ දොරකඩ අඩි හතරක පමණ වලක් කපා ඊට උඩින්  ඉරටු රොඩු බොඩු දමා බොරු වළ සකස් කලෙමු. ඉන් පසු කාණ්ඩ පරික්‍ෂාවට සූදානම් වී සමන් කුරේ එන තෙක් සීරුවෙන් සිටියෙමු. 

කාණ්ඩ පරික්‍ෂාවට ආ සමන් කුරේ සීරුවෙන් මාච් කරමින් ආවේය​. මම කණ්ඩායම සීරුවේන් සිටින් කියා විධාන දුන්නෙමි. මෙසේ ඉදිරියට ආ සමන් කුරේ අපගේ බොරු වලේ වැටුනේය​. අප බඩවල් අල්ලාගෙන සිනාසුනෙමු. උදය ඉඳුනිල් සමන්ට අතදී ඔහුව බොරු වලින් ගොඩ ගත් අතර පරීක්‍ෂණයේදී බාලදක්‍ෂ නායකයා බොරු වලක වැට්ටවීම නිසා අපගේ ලකුණු කපා දමන ලදි. 

ඉන්පසු එළැඹුන සතියේදී  මම කවටකමක් ලෙස​ට තිස්ස ප්‍රනාන්දුගේ බෑගයට දෙල් ගෙඩියක් දැමුවෙමි. තිස්ස ගෙදර ගොස් බෑගය අරින විට පත දෙල් ගෙඩියකි. මේ සම්බන්ධයෙන්  පැමිණිලි කරන ලද නිසා මට විරුද්ධව බාලදක්‍ෂ ගෞරව සභාවේදී නඩු අසන ලදි. බොරු වළ කේස් එකද තිබූ නිසා මගේ තත්වය තවත් නරක් විය​. 

බාලදක්‍ෂ ගෞරව සභාවේදී මට  තිබූ චෝදනා  විමසන ලද බව එම සභාවට සාමාජිකයෙකු ලෙස සහභාගි වූ සත්‍යවාන් මට උපහාසාත්මක ලෙසින් කීවේය​. මම ඒ ගැන උප නායක උදය ඉඳුනිල් ගෙන් ඇසුවෙමි. එයට ඉඳුනිල් උරණ විය​.  ඉඳුනිල් උරණ වූයේ මා සමග නොව රහස්‍ය බාලදක්‍ෂ ගෞරව සභාවේ තොරතුරු චූදිතට  හෙළි කල සත්‍යවාන් සමගය​. මේ නිසා චෝදනා වෙන දිශාවකට යොමුව මට විරුද්ධව තිබූ පැමිනිල්ල හමස් පෙට්ටියට ගියේය​. එසේම එම වසරේදී අන්තර් බාලදක්‍ෂ පිහිනුම් තරඟාවලියේදී   සහතිකයක් දිනන ලද එකම නාලන්ද විද්‍යාලීය බාලදක්‍ෂයා මා වූ හෙයින් මට අනියම් සමාවක් ලැබුනේය​. එසේම ගාල්ල කඳවුරේදී උප නායකයා ලෙස ක්‍රියා කරමින් මම උදය ඉඳුනිල් ගේ ඇගයුමටද ලක් වූයෙමි. 

1983 අනුරාධපුරයේ ලෝක ජම්බෝරිය රස ගුලාවක් වූයේ මට තකට තක ලෙස ගැලපුනු ආනන්ද විද්‍යාලයේ කුසල් මෙන්ඩිස් හමු වීමෙනි. අප දෙදෙනා එකතුව බොහෝ විනෝද වැඩ කලෙමු. එසේම කවට නාට්‍ය අප ගිනිමැළ සංදර්ශන වලදී ඉදිරිපත් කොට පිරිස කුල්මත් කලෙමු. වෙනත් දිස්ත්‍රික්වල බාලදක්‍ෂයන් ද  අපගේ නාට්‍ය බැලීමට ආවෝය​. කුසල් වර්තමානයේ බැංකු නිලධාරියෙකි. ඔහු මෑතකදී සම්පත් බැංකුවේ  නාට්‍යකද රඟපාන ලදි. 


උසස් පෙළට ගිය විට  මම බාලදක්‍ෂ ජීවිතයෙන් සමු ගත්තෙමි. එහෙත් බාලදක්‍ෂ අනුස්මරණයන් එමටය​. එදා අප සමග සිටි බාලදක්‍ෂයන් විසිරී ගොසිනි. 

උදය  ඉඳුනිල්  සහ කෙවින්  කුරේ කණගාටුදායක ලෙස අකාලයේ   මිය යන ලදි.හමුදා නිලධාරියෙකු වූ මිලින්ද පීරිස් මෑතක්දී විශ්‍රාම ගියේය​.  සමන් කුරේ අයර්ලන්තයේ සිටින අතර ඔහු දැන් රෝගාතුරය​. සුනිල් රංජිත් වෛද්‍යවරයෙකි. අනින්ද සමරසේන එක්සත් ජනපදයේ ජීවත් වෙයි. තිස්ස ප්‍රනාන්දු ජීවත් වන්නේ කුරුවිටය​. අප මුහුණු පොතෙන් සංවාදයේ යෙදෙන්නෙමු. දෙල් ගෙඩියේ කේස් එකට ඔහු මට සමාව දී තිබේ. 

අප පරමාදර්ශී  බාලදක්‍ෂයන් නොවූ බව සැබෑය​. කොළුකමට කරන විකාර බොහෝ සෙයින්  තිබුන මුත් අප ළමා ගති ඉක්මවා යන දේවල් නොකලෙමු. මෙය කියන්නේ වර්තමාන බාලදක්‍ෂයන්ට ධනාත්මක පණිවිඩයක් දීම සඳහාය.

අප බාලදක්‍ෂ ලෝකයෙන් බොහෝ  සාරාර්ථ ජීවිත වලට ලබා ගත්තෙමු. 

Wednesday, August 24, 2016

අයි. ඩී ආනන්ද සහ ඔස්මන් අයියා

 



මගේ මව කොලඹ ආනන්දා මහා විද්‍යාලයේ වසර දහයකට ආසන්න කාලයක් ගුරුවරියකව සේවය කලාය​. ඇය ආනන්දාවට පැමිණි කාලයේ ආනන්ද විදුහලේ විදුහල්පති වූයේ පේරුසිංහ මහතාය​.  විදුහල්පති කර්නල් ජී ඩබ් රාජපක්‍ෂ මහතාගේ කාලයේ ද සිටි මගේ මව ඉන් පසුව කොලඹ අගමැති විද්‍යාලයේ විදුහල්පතිනියද වූවාය​. 

මගේ මව විසින් ආනන්ද විදුහලේ සිසුන් බොහෝ දෙනෙකුට උගන්වා තිබේ. ඔවුන් අතරින් ක්‍රිකට් ක්‍රීඩක ආදෙල් හශීම් , හමුදා ජෙනරාල්වරු වූ පදුමදාස සහ මහේෂ් සේනානායක යන මහතුන් මට මතකය​. ඇය පන්සලකට රෝහලකට ගියද ඇයගේ ගෝලයන් ඇවිත් ඇයට කතා කරති. 

ඉඳ හිට මම මව සමග විහිළු කරමි. වරක් මම ආනන්ද විද්‍යාලයේ අම්මාගෙන් ඉගෙන ගත්ත  අයි. ඩී ආනන්ද කියා කෙනෙක් මා සමග කතා කලා කියා කීවෙමි. අයි. ඩී ආනන්ද කියා ගෝලයෙක් නම් මතක නැතැයි මව කීවාය​. 

ඇත්තෙන්ම අයි. ඩී ආනන්ද යනු  යම් පත්තරයක් ගිය මනංකල්පිත චරිතයකි. ඔහු නිපයුම් කරයි. ඔහුට හොඳ අයිඩියාස් තිබේ. ඒ නිසා ඔහු අයි. ඩී ආනන්ද හෙවත් අයිඩියානන්ද ය​. 

ඔස්මන් අයියාද මේ හා සමාන චරිතයකි. වරක් දහය වසරේදී සපුගස්කන්ද ප්‍රදේශයේදී අපගේ පන්තියේ ඉගෙනුම ලැබූ උදිත පලිහේනට කොල්ලන් වගයක් ගහන්නට ආවෝය​. උදිත ඔවුන් අමතා " අඩෝ මම ඔස්මන් අයියාගේ පොරක් හරිද ? අත තිබ්බොත් හෙට උඹලා ඔක්කොටම  ඔස්මන් අයියා දම්මලා ගස්සවනවා "කීවේය​. ඉන් තැතිගත් කොල්ලෝ උදිත අතහැර ගියහ​. 

නමුත්  ඔස්මන් අයියා යනු සත්‍ය පුද්ගලයෙකු නොව උදිත විසින් හදා ගත් මනංකල්පිත චරිතයකි. ඉන් පසු අප ඔස්මන් අයියා චරිතය බොහෝ ස්ථාන වලදී යොදාගත්තෙමු. 

පාසල් දිවියෙන් බොහෝ කාලයකට පසුව මම මිනිපේ සෞඛ්‍යය සේවා අධ්‍යක්‍ෂක ලෙසින් සේවය කල කාලයේදී වරක් කපිතාන් රුවන් මිල්ලවාන ( වර්තමානයේ කර්නල් වරයෙකි) සමග බිබිලට ගියෙමි. අතරමග ගමනේදී වාහනය තැනින් තැන නවත්වා කඩවල් වලින් , පාරේ යන මිනිසුන් ගෙන් "ඔස්මන් අයියලයි ගෙදර කොහේද? කියා ඇසුවෙමි. 

ටික දුරක් යන විට කපිතාන් මිල්ලවානටද ඔස්මන් අයියා කතාව රස වැටී ඔහුද මිනිසුන් ගෙන් ඔස්මන් අයියා ගේ ගෙදර තිබෙන ඉසව්ව අසන්නට පටන් ගත්තේය​. 

මම බිබිලට ගොස් අදාල වැඩය කරගෙන යලිත් කපිතාන් මිල්ලවානව රන්ටැඹේ කඳවුරින් බැස්සුවෙමි. එහිදී ඔහුගේ මිතුරු කපිතන්වරයෙක්" කොහේද ගියේ ?කියා ඔහුගෙන් ඇසීය​. 

" ඔස්මන් අයියලාගේ ගෙදර ගියා"  කියා කපිතන් මිල්ලවාන පිලිතුරු දුන්නේය​. 

Tuesday, August 23, 2016

අයියා සහ මල්ලී

 


උසස් පෙළ කරන සමයේදී මම මිතුරෙකු සමග එකට පාඩම් කලෙමි. ඔහු ඉතා උත්සාහවන්ත මෙන්ම වෙහෙසී අධ්‍යන කටයුතු කල අයෙකි. එහෙත් ඔහුට වසරකින් පමණ බාලවූ ඔහුගේ සොහොයුරා  පාඩම් වලට උනන්දුවක් දැක්වූයේ නැත​. යන්තම් සාමාන්‍ය පෙළ සමත් වූ ඔහු උසස් පෙළ පන්ති කට් කොට රස්තියාදු විය​. 

මගේ මිතුරාගේ මව තම බාල පුතුගේ අනාගතය ගැන සිතා දුක් වූවාය​. අප සමග කතා කිරීමේදී පවා ඔහු ගැන සඳහන් කරමින් " ඉගෙන ගන්න කිසිම උනන්දුවක් නෑ අනාගතේ මොනා කර ගනීද දන්නේනෑ කියමින් විස්සෝප වූවාය​.  

උසස් පෙළ විභාගය එක් වරක් කොට සිටි මගේ මිතුරා දෙවන උත්සහයේදී දන්ත වෛද්‍ය පීඨයට සුදුසුකම් ලැබුවේය​. එහෙත් ඔහුගේ බාල සොහොයුරා උසස් පෙළ සහමුලින්ම අසමත් විය​. වැඩිමහල් සොහොයුරා දන්ත වෛද්‍ය පීඨයට යන විට බාල සොහොයුරා හමුදා සේවයට ඉල්ලුම්පතක් දැම්මේය​. 

මේ 1988 වකවානුවයි. උතුරේ සහ දකුනේ නොසන්සුන්කම් නිසා තරුණයන් වැඩි වශයෙන් හමුදාවට බැඳුනේ නැත​. මේ නිසා සාමාන්‍ය පෙළ අධ්‍යාපන සුදුසුකම්  මගින් දෙවන ලුතිනන් තනතුර සඳහා ඔහුව හමුදාවට බඳව ගන්නා ලදි. 

මේ සිදුවීම් වලින් වසර විස්සකට පසුව ඔවුන් දෙදෙනාගේ ජීවන තත්වයන් දෙස මම බැලුවෙමි. වැඩිමහල් සහෝදරයා උසස් අධ්‍යාපනය  ලබා දන්ත වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි.  සාමාන්‍ය පෙළ සමත් ඔහුගේ   බාල සහෝදරයා කර්නල්වරයෙකි. 

දන්ත වෛද්‍ය අයියාට වඩා  කර්නල් මල්ලීට තිබෙන සමාජ මට්ටම උසස්‍ ය​. ඔහුට යාන වාහන අතට පයට වැඩ කර දීමට බඩියන් සිටිති.  පොලිසියකට රජයේ ආයතනයකට ගිය විට අයියාට වඩා පිලිගැනීමක් තිබේ. මිනිසුන් ගෙන් අයියාට වඩා මල්ලීට ගරුත්වය ලැබේ. 

ප්‍රභාකරන් අපගේ සමාජයේ ස්ථරයන් ව්‍යාකූල කල බව මට සිතේ.   ප්‍රභාකරන් ඇරඹි යුද්දය නිසා සමාජයේ ඉහල තැන ලැබුවේ උගතුන් නොව රණවිරුවන් ලෙස පිදුම් ලැබූ වෘත්තීය සොල්දාදුවන්ය​. එය යුද්දයකට නතු වන සෑම සමාජයක් තුලම සිදුවේ. 

ඊලාම් යුද්දය නොතිබුනේ නම් එස් එස් සී පමණක් ඇති බාල සහෝදරයාට සිදු විය හැක්කේ කුමක්ද ?  ඔහුට කාර්‍යාල කාර්‍ය සහායක තනතුරක් හෝ ලබා ගත හැකි වනු ඇත්තේ  තියුණු තරඟයකට මුහුණ දීමෙනි. එහෙත් ප්‍රභාකරන් ඔහුගේ දෛවය වෙනස් කලේය​. මේ අනුව ප්‍රභාකරන් දෙමල සමාජය පමණක් නොව සිංහල සමාජයද උඩු   යටිකුරු කල බව පෙනී යයි. 


මං පොර මානසිකත්වය

 

තමන් ගේ හැකියාවන් සහ දක්‍ෂතාවන් මෙන්ම මස්තකප්‍රාප්තින් ගැන කතා කරන පුද්ගලයා මං පොර මානසිකත්වයෙන් පෙලෙන බවට ලංකාවේදී සැලකේ. මේ නිසා තමාගේ හැකියාවන් දක්‍ෂතා ගැන කතා කිරීමේදී මිනිසුන් බොහෝ සෙයින් නිහඬ වීමට උත්සහ දරති. එහෙත් උතුරු ඇමරිකාවේ මා දකින ලද ලෙසට මිනිසුන් තම හැකියාවන්  ,දක්‍ෂතාවන් , මස්තකප්‍රාප්තින් ගැන අභිමානයෙන් යුතුව කතා කරති. පාසල් වලදී ළමුන්ට ආත්ම ශක්තියකින් යුතුව තම ශක්‍යතාවන් ගැන කතා කිරීමට උගන්වති. එහෙත් ලංකාවේ අධ්‍යාපනය මෙන්ම සමාජ ආකල්පද බොහෝ සෙයින් වෙනස් ය​. එයට හේතුව කුමක් ද​?

තුන්වන ලෝකයේ දිළිඳු  කුඩා දිවයිනක වාසය කරන ශ්‍රී ලාංකිකයන් තුල විරක්‍ෂීභාවයන් බොහෝ සෙයින් තිබෙන බව පෙනී යයි. එම නිසා අනාරක්‍ෂිතභාවය , සමාජය පුරා පැතිරී තිබෙන ඉරිසියාව , කුහකකම හමුවේ බොහෝ දෙනෙකු තම හැකියාවන් දක්‍ෂතා සඟවාගනිති. මේ නිසා පාසලේදී සිට අපගේ සමාජ අධ්‍යාපන ක්‍රමය පුහුණු කරන්නේ අනාරක්‍ෂිත හැඟීම් තිබෙන , ආත්ම ශක්තිය අඩු වෘත්තිකයෙකි. 

ඔහු උගතෙකු වූවද බියකින් යුක්තය.  තමාගේ දැණුම හැකියාව ගැන විචිකිච්චාවෙන් පෙලේ. තම නිගමනයන් සමාජය ඉදිරියේ ප්‍රකාශ කිරීමට බයය​. අන්‍ය වෘත්තිකයන් කෙරෙහි බියක් මෙන්ම ඉරිසියාවක් දක්වයි. යම් කෙනෙකුගේ දක්‍ෂතාවක් ඇගයීමට දිව නැවෙන්නේ නැත​. වෙනත් අයෙක් තම හැකියාවන් ගැන කතා කලහොත් මං පොර මානසිකත්ව වාදයෙන්  ඔහුව හෝ ඇයව කපා දමයි. 

වරක් සුප්‍රකට ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් ඔහුගේ සමකාලීන විශේෂඥ වෛද්‍යවරයෙකුගේ පර්‍යේෂණයක්  ගැන මම අසුවෙමි. අදාල ප්‍රශ්නයට පිළිතුරු දෙනවා වෙනුවට මෙම සුප්‍රකට ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයා තමාගේ වෛද්‍ය විද්‍යාලයේ එකට ඉගෙනුම ලැබූ පුද්ගලයා ගැන කීවේ ඔහුව බොහෝ සෙයින් හෑල්ලු කරමිනි. තම සමකාලීනයා එක් වරක් වෛද්‍ය විද්‍යාලයේදී  විභාගයක් අසමත් වූ බවත් ,  ඔහුගේ පෙම්වතිය වෙනත් අයෙකු සමග යාලුවීම නිසා ඔහු කාලයක් මනෝ ගසා සිටි බවත් යනාදී වශයෙන් ජීවිතයේ ජයගත් ස්ථාන නොව වැරදුනු ස්ථාන වැලක් හෙතෙම මට කියාගෙන ගියේය​. 

එහෙත් ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේදී මහාචාර්‍ය රොබට් මැක්ෆාඩ්න් ගෙන් ඔහුගේ සමකාලිනයෙකු ගේ කර්තව්‍යයන් ගැන ඇසූ විට මහාචාර්‍ය  මැක්ෆාඩ්න් තම සමකාලීනයා ගේ දක්‍ෂතා වැලක් කියවා ගොස් ඔහුව වර්ණනාවට ලක් කලේය​. මේ ලෝකයේ යායන් දෙකක වෙසෙන උගතුන් වර්ග දෙකක ස්වභාවයන් ය​. 

පෙනී යන පරිදි ලංකාව වැනි රටවල් දිළිඳු භෞතික වශයෙන් පමණක් නොව ආකල්ප අතින් ද අපගේ සමාජය දිළිඳුය​.

Sunday, August 21, 2016

දත් දෙකේ මහත්තයා

 

දහම් පාසලේ පාලි ඉගැන්වූ සර්ට කොල්ලන් කීවේ දත් දෙකේ මහත්තයා කියාය​. මේ සර් ගේ මුඛයේ තිබුනේ ඉතා සීමා සහිත දත් ප්‍රමාණයකි. එම නිසා පාලි වචන උච්චාරණය අමුතු හඞක් ගත්තේය​. එසේම පාලි වචන සමග ඛෙටයද සර් ගේ මුඛයෙන් පිටවේ. 

දත් දෙකේ මහත්තයාට කොල්ලන් බිය නොවූවත් කල්දේරා සර්ට බිය වූහ​. කල්දේරා සර් පිට මැද්දට අත්ලෙන් ගුටි දෙන්නේ සුවපත් වෙත්වා කියමිනි. එසේම භාවනා කරන විට කොන්ද කුදුවී තිබුනහොත් කල්දේරා සර් ගෙන් සුවපත් වේවා ආමන්ත්‍රණයක් සමග පිටට පහරක් වදී. එම නිසා කොල්ලන් භාවනාවේදී අවධානය යොමු කලේ ආශ්වාස ප්‍රාශ්වාසයට නොව පිට කොන්දටය​. 

ඒ කාලයේ ගිහියෙකු වූ සෝම හාමුදුරුවන් හෙවත් සෝමරත්න තරුණයා පන්සලේ  නිතරම සිටියේය​. පසුව මෙම සෝමරත්න තරුණයා මහණ වූ බව ලොකු සර් හෙවත් සුවාරිස් මහතා කීවේය​. 

නාරද හාමුදුරුවන්ට කොල්ලන් අතිශයින් ප්‍රිය කලේ උන් වහන්සේ පිටරට ගොස් යළි වඩින විට ඒ කාලයේ බේතකටවත් සොයා ගැනීමට නොතිබුණු ඇපල් මුද්දරප්පලම් ගෙන ඒම නිසාය​. නාරද හාමුදුරුවන් ගේ කාරුණික වත ; කටහඞ මට තවමත් මතකය​. අද කාලයේ මැර භික්‍ෂූන්  පාර පුරා දකින අපට නාරද හාමුදුරුවන් මේ බහු රූ කෝලම් නොදුටුවේ උන්වහන්සේ ගේ පෙර පිණක් නිසා බව සිතේ. යම් ලෙසකින් මේ විච්චූරණ උන්වහන්සේ දුටුවේ නම්   සංවේගයකින් සිත පිරී යනු නිසැකය​. 

අභිධර්මය ඉගැන්වූ සරත් සර් අභිධර්ම චන්ද්‍රිකාව නම් පොත අප ලවා ලියවූයේය​. සර් මේ පොත කියවන විට අපද සෝමනස්ස සහගත සම්ප්‍රයුක්ත සිත යනාදී වශයෙන් ලියා ගත්තෙමු. එහෙත් විභාගයේදී අකුසල් සිත් කීයක් තිබෙන්නෙද කියා ඇසූ විට කිසිවෙකු පිලිතුරු දුන්නේ නැත. 

දත් දෙකේ මහත්තයා අපගේ පන්තියට පැමිණ පාලි භාෂාවේ වැදගත්කම පවසා කක ගග ඝ , තත දද ණ... යනාදී වශයෙන් පාලි භාෂාවේ  අකුරු ශබ්ද කරන අයුරු උගන්වන්නට විය​. බංකු උඩ වාඩිවී සිටි කොල්ලන් පාලි පාඩමට සවන් දුන්නේ පාලි අච්චු පොතෙන් මුහුණු වසාගෙනය​. මෙය දුටු  ප්‍රධාන ආචාර්‍යවරයා " මේ මොන ඉරියව්ද ගුරුවරයා උගන්වන විට ළමයි පොත් වලින් මුහුණු වහගෙන. වහාම පොත් පහළ දාන්න " කියා නියෝග කලේය​. 

එක් සිසුවෙක් අපහසුවෙන් නැගිට " අම්මෝ සර් පොත් වලින් කවර් කලේ නැත්තං පට පට ගාලා මූනට කෙල වදිනවා කියා කීවේය​. එය ඇසූ ප්‍රධාන ආචාර්‍යවරයා කිසිවක් නොකියා යන්නට ගියේය​. 


Saturday, August 20, 2016

වය මෙෂ් එක




උසස් පෙළ පන්ති වලදී අපට රසායණ විද්‍යාව ඉගැන්වූයේ ප්‍රියභානි ටීචය​. ප්‍රියභානි ටීච ඉතා හොඳ දක්‍ෂ රසායණ විද්‍යා ගුරුවරියකි. නමුත් ඇය උගන්වන විට අපේ කොල්ලෝ සමහර විට රහසින් කෝලං කරති.  

වරක් ආනන්ද ගුණවර්ධනත් සුමුදු හේවාවසමුත් එක්වී මම පාඩමට සවන් දෙමින් සිටියදී හිමීට මගේ කලිසමේ පසුපස සාක්කුවට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කැට කීපයක් දැමුවෝය​. එදා ප්‍රියභානි ටීච උගන්වමින් සිටියේ එන්තැල්පියයි. පාඩමට සිත යොමු කරගෙන සිටි මට පස්ස රත් වන බවක් දැනුනේය​. මම පස්ස අතගා බලන විට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කැට කීපයක් සාක්කුවේ තිබී අසු විය​. ආනන්ද ගුණවර්ධනත් සුමුදු හේවාවසමුත් මා දෙස බලා හිකි හිකි ගා සිනාසුනෝය​. 

වරක් ප්‍රියභානි ටීච සුමුදු හේවාවසම් අමතා ලැබ් එකේ එහා කාමරයෙන් වය මෙෂ් එක ගෙන්න යැයි කීවේය​. සුමුදු බන්සන් දාහකය ගෙනාවෙය​. " ඕක නෙවෙයි ළමයෝ වය මෙෂ් එක ගෙන්න ප්‍රියභානි ජයකොඩි මෙනෙවිය තදින් කීවාය​. මෙවර සුමුදු පරීක්‍ෂණ නල රඳවනයක් ගෙනාවේ‍ය​. ඉන් මවිතයට පත් වූ ප්‍රියභානි ටීච " කෝ ඔය වය මෙෂ් එකද ? කියා ප්‍රශ්න කලේය​. වික්‍ෂිප්ත්ත තත්වයට පත්වූ සුමුදු " අනේ ටීචම ගිහින් ඒක ගේන්න "  කියා අසරණ හඞකින් කීවේය​. 

උසස් පෙලින් පසු ආනන්ද ගුණවර්ධන පොලිසියට බැඳුනි.   ඔහු සේවය කලේ නැගෙනහිර ප්‍රදේශයේය​. කොටින් විසින් 1990 ජුනි 11 දින පොලිස් නිලධාරීන් 850 දෙනකු පමණ අත්ඩංගුවට ගත් අතර එයින් 600 කට ආසන්න පිරිසක් ජිනීවා සම්මුතිය උල්ලංඝනය කරමින් තිරුක්‌කෝවිල් කැලෑවට ගෙන ගොස්‌ වෙඩි තබා මරාදමා පසුව මෘත ශරීරද පුළුස්සා දමන ලදි.  මේ නිලධාරීන් අතර ආනන්ද ගුණවර්ධනද සිටි අතර දෙමාපියන්ට ඔහුගේ මෘත ශරීරයවත් දකින්නට ලැබුනේ නැත. 

සුමුදු හේවාවසම් උසස් පෙලින් පසු රුහුණ වෛද්‍ය පීඨයට තේරුනේය​. මට 1999 දී පමණ ප්‍රියභානි ජයකොඩි ටීච කොල්ලුපිටියේදී හමු විය​. ඒ වන විට ඇය විශ්‍රාම ලබා සිටියාය​. 

Friday, August 19, 2016

මාළු මාළු

 

මීගමුව රෝහලේදී සේවය කල කාලයේදී මාළු මිලට ගැනීමට මම වෛද්‍ය ගෝවින් ද රාජා සමග මීගමුවේ ලෙල්ලමට යාමට ගිවිසගත්තෙමි .  එදින සෙනසුරාදාවක් විය​. අප දෙදෙනා උදෑසන පහ වන විට ලෙල්ලමට  ගියෙමු. 

මීගමුවේ ලෙල්ලම පුරවා ධීවරයෝ ද ගැණුම්කරුවන් ද සිටියහ​. ඒ අතර අතරමැදියෝ හෙවත් ධීවරයා ගසාකන්නෝ  ටිපර් වලින් විත් මාළු මිලට ගැනීමට සූදානම් වූහ​. මම ලෙල්ලමේ ඒමේ අත ඇවිද්දෙමි. සමහර ධීවර යාත්‍රා වෙරළට එමින් තිබේ. ධීවරයන් බෝට්ටු වෙරළ ආසන්නයට ගෙනැවිත් ඉන්පසු ගොඩට අදිති. බෝට්ටු පුරවා මාළුය​. එම මාළු විවිධාකාර අතර විවිධ ප්‍රමාණයේය​. මිනිසුන් ඒ අවස්ථාවේදීම මාළුන්ට මිළක් නියම කොට මාළු මිලදී ගනිති. 

මමත් ගෝවිත් සිල්ලරට මාළු විකුනන මාළු වෙලෙන්දියන් වෙත ගියෙමු. මේ මාළු වෙලෙන්දියන් උසින් මහතින් යුත් අත් නැති හැට්ට ඇඳගත් ගෝරි වලට ඕනෑම අවස්ථාවක එවරෙඩි මීගමු කාන්තාවෝ වෙති. එම නිසා අප ඔවුන් සමග කතා කලේ පරිස්සමිනි. අප ඉදිරියෙන් කොලඹ ප්‍රදේශයෙන් පැමිණි ආගන්තුක මහතෙක් ද විය​. ඔහු මේ මාළු වෙලෙන්දියන් ගෙන් මාළු වල මිළ අසමින් හෙට්ටු කරයි. මෙතැන රසවත් යමක් වෙනු ඇතැයි මගේ සිත කීවෙන් මම ගෝවිගේ වැළමිටට තට්ටුවක් දමා ආගන්තුක මහතා පසුපසින් ගියෙමි. 

" කීයද මේ කෙලවල්ලෝ ? ඔහු මාළු වෙලෙන්දියගෙන් අසයි. 

"කිලෝ එක රුපියල් එකසිය අසූවයි " වෙලෙන්දිය බුලත් කෙළ පහරක් ගසා ඔහුට පිළිතුරු දුන්නාය​. 

ආගන්තුක මහතා මාළුවා අතගා බලයි. ඒ අතර ඇඟිල්ලෙන් මාළුවා ගේ බඩවත ඔබයි. මාළුවාට කරන හිංසනය වෙලෙන්දිය බලා සිටින්නේ නොඉවසිල්ලෙනි. ආගන්තුක මහතාට ඒ පිළිබඳ්ව වගක් නැත​. ඔහු මාළුවා ගේ කරමළ පවා අදියි. 

" මේ මාළුවා පරණ එකෙක් නේ " ඔහු කියයි. 

මාළු වෙලෙන්දියගේ දෙනෙත් අඳුරු වේ. " මොන පිස්සුද මහත්තයා මේ දැන් ලෙල්ලමට ගෙනාපු මාළු ඇය කියන්නීය​. 

" කිලෝ එක රුපියල් එකසිය අසූව බොහොම වැඩියි බොහොම වැඩියි " . ඔහු ප්‍රතිරාව කරයි. තමන් ගේ මාළුවා කන්ඩෙම් කිරීම ගැන ඇයට ඉවසුම් නොදේ. ඇය පත මන්නා පිහිය ගල ගාන්නේ ඔහුගේ බෙල්ල කැපීමට මෙනි. 

 
අපොයි අපොයි මාළුවල ගාන වැඩියි. කිලෝ එකට රුපියල් එකසිය පණහක් දෙන්නම් ඔහු කීවේය​. 

මාළු වෙලෙන්දියගේ ඉවසීම සිඳුනාය​. 

" අනේ පලයන් මහත්තයා යන්න ; ආවා මෙතන රුපියල් එකසිය පණහට කෙලවල්ලෝ ගන්න " ඇය චීත්තය එක අතකින් ග්‍රහණය කර ගනිමින් කීවාය​. 

මාළු වෙලෙන්දියගේ පිළිතුර ඇසුණු ආගන්තුක මහතා ක්‍ෂණයකින් ඉවත ගියේය​. මම සිනහව තද කරගනිමින් ගෝවිව  ද රැගෙන ලෙල්ලමේ වෙනත් දිශාවකට ගියෙමි. 

 වරක් මාළු වෙලෙන්දෙක් මටත් ලුතිනන් කර්නල් සූරිය කුමාරටත් නියම ඇන්දිල්ලක් කලේය​. මෙය සිදු වූයේ කළුතර පාලම උඩය​. කළුතර පාලම අසලදී ධීවර වෙලෙන්දෙක් අපගේ වාහනය නැවැත්වීය​. 

" අනේ මහත්තයා මේක අරගෙන හාරසීයක් දෙන්න " ඔහු ඉස්සන් තොගයක් පෙන්වා කීවේය​. 

යෝජනාව  නරක නැත​. එතන කිලෝ පහ හයක් ඇති ඉස්සන් කන්දකි. 

" දැන් හවස් වෙලා මහත්තයා ගෙදර යන්නත් තියනවා මේක ඉවරකරලා දාලා.  ඒ නිසා හාරසීයක් දෙන්න ඔහු කියයි.  

මමත් ලුතිනන් කර්නල් සූරිය කුමාරත් ඉස්සන් මිලට ගැනීමට සූදානම් වූයෙමු. ඉස්සන් තොගය මිලට ගෙන අප දෙදෙනාට පසුව එය බෙදා ගත හැක​. මම රුපියල් හාරසීයක් මාළු වෙලෙන්දා  අත තැබුවෙමි. ඔහු මාළු ලෑල්ල වෙත ගොස් ඉස්සන් කිලෝ එකක් කිරා එය කඩදාසියකින් ඔතා මා අත තැබුවේය​. 

මෙච්චර පොඩ්ඩක් ? ඔයා කිව්වේ ඔය ඔක්කොම හාරසීයයි කියලනේ ? මම ඔහුට අභියෝග කලෙමි.

" අනේ මහත්තයා ඒක කොහොමද කරන්නේ එතන ඉස්සො කිලෝ හතක් තියනවා. මම කිව්වේ කිලෝ එක හාරසීයයි කියලා . මාළුකාරයා වගක් නැතිව පිළිතුරු දුන්නේය​. 

මාළුකාරයා අපව ඇන්දූ බව අප දෙදෙනාටම තේරුණි. නමුත් කල හැකි දෙයක් නැත​. අප ඒ ඉස්සෝ කිලෝ එක ගත්තෙමු.  

" කොහොමද මිනිහාගේ වැඩේ  ජනරජ ලාංචන දෙකකටයි එක තරුවකටයි මාළුකාරයෙක් ඇරියා නේද ? ලුතිනන් කර්නල් සූරිය කුමාර මගෙන් ඇසුවේය​. 

අප දෙදෙනා අපටම සිනා සෙමින් කොලඹ දක්වා ආවෙමු. 

Thursday, August 18, 2016

මිනිස් බෝම්බයක් වීමට උත්සහ කල සොල්දාදුවා

 





දුස්සාධ්‍ය විශාදයෙන් පෙළුණු එක් සොල්දාදුවෙකු මා වෙත පැමිණ ඔහුට මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු වී සතුරා නැසීමට අවශ්‍යයි කියා ඒ සඳහා ඔහුව හමුදාපතිවරයාට යොමු කරන ලෙස ඉල්ලීමක් කලේය​. 

ශ්‍රී ලංකා යුද හමුදාව අන්තර් ජාතික යුද නීති වලට අනුව ක්‍රියා කිරීමට බැඳී තිබෙන නිසා මරාගෙන මැරෙන බෝම්බකරුවන් පුහුණු කිරීම හමුදාව විසින් නොකරන බව කියා මම ඔහුට පිළිතුරු දුන්නෙමි. එහෙත් මෙම සොල්දාදුවා මට පෙරැත්ත කරමින් ඔහුට මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු වීමට අවශ්‍ය බව කීවේය​. 

මෙවැනි චිත්තයක් ඔහු තුල පහළ වූයේ දේශප්‍රේමය නිසාද නැතහොත් වෙනත් හේතුව නිසාද කියා බැලීම සඳහා මම එකී සොල්දාදුවා සමග කතා බහ කොට ඔහුගේ තොරතුරු විමසුවෙමි. 

මෙම පුද්ගලයා උපත ලබන්නේ ඉතා දිලිඳු පවුලකය​. පියා මධුලෝලියෙකි. පියා නිතරම ළමුන් ඉදිරියේ ඉතා බරපතල ලෙසින් බිරිඳට පහර දෙයි. මේ නිසා කුඩා කාලයේ සිට දරිද්‍රතාවයෙන් සහ අනාරක්‍ෂිත බවින් ඔහු පීඩා වින්දේය​. සමහර විට නිවසේ කෑමට දෙයක් පවා නොවීය​. මේ නිසා වයස නවය වන විට ඔහුගේ   මව ඔහුව පන්සලට භාර දෙන්නේ කෑම ටික හෝ ලැබෙනු ඇතැයි සිතාගෙනය​. 

ලාබාල වයසේ මහණ වූ මෙම පුද්ගලයා පන්සලේදී වැඩිහිටි භික්‍ෂූන් අතින් ලිංගික අපයෝජනයට ලක්වෙයි. ඔහු පැවසූ පරිදි සමහර රාත්‍රී වල  වැඩිහිටි භික්‍ෂූන් අට දෙනෙකු පමණ ඔහුව වරින් වර ලිංගික අපයෝජනයට ලක් කොට තිබේ. මෙසේ ලිංගික අපයෝජනයන්ට  මුහුණ දෙමින් වසර ගනනාවක් ඔහු පන්සලේ කාලය ගත කරයි. වසර දහ අට වන විට මෙම   පුද්ගලයා උපැවිදිව හමුදාවට බැඳේ. 

හමුදාවේදී ඔහු අන්‍ය සොල්දාදුවන් සමලිංගික ක්‍රියා සඳහා යොමු කරවා ගැනීමට උත්සහ දරයි. මේ නිසා ඔහුට රාජකාරිමය වශයෙන් ආතති තත්වයක් ඇතිවේ. මෙසේ වසර කීපයක් ක්‍රියාන්විත ප්‍රදේශ වල රාජකාරී කරන විට යුද ආතතිය නිසාද ළමා කාලයේ අත් දුටු ක්‍ෂිතිමය අත්දැකීම් නිසාද  ඔහු තුල විශාදය හට ගනියි. එහෙත් ඒ සඳහා ඔහුට ප්‍රතිකාර නොලැබේ. 

විශාද තත්වය යටතේ ඔහු ක්‍රියාන්විත රාජකාරී කරයි. මේ හේතුවෙන් වරක් බංකරයකදී තම අවියෙන් ඔහු වෙඩි තබා ගැනීමට උත්සහ දරයි. නමුත් වෙනත් සොල්දාදුවෙකුගේ මැදිහත් වීමෙන් එය වැලකේ. අණතුරුව මෙම පුද්ගලයා යුද හමුදා  රෝහලේ මානසික රෝග වාට්ටුව වෙත යොමු කරනු ලබයි. 

මෙම පුද්ගලයාගේ ජීවිත කතාව ඇසීමෙන් පසුව බුද්ධාගම බේරා ගැනීම පිණිස කියා බුදු මගට නොගැලපෙන ලෙසින් ඉතා ප්‍රචණ්ඩ අයුරින් මිනිසුන්ට පහර දීමට යන , කුණුහරප කියන , ගිනි තබාගෙන මිය යන බවට වහසි බස් කියන කසාවත් හැඳියන් ගේ ක්‍රියා කලාපය දෙස බලන විට මොවුන් ළමා කාලයේ මහණව ලිංගික අපයෝජන වල වින්දිතයන්ව තම ක්‍ෂිතිමය අත්දැකීම් සමාජයට ප්‍රක්‍ෂේපණය කරන්නන් බව මගේ සිත කියයි. එම චිත්තය බොදු විරෝධී චිත්තයක් නොවන බව මම දනිමි. එහෙත් ළමා මහණ කිරීම් විසින් උද්ගත කරන සමාජ ශාසන විලෝපනය ගැන බොදුනුවන් විසින් මහත් ගැඹුරින් සලකා බැලිය යුතු බව මම පවසමි. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

ඝාතක මානසිකත්වය


පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද අතුරුදන්වූවන් ගැන සෙවීම සඳහා කාර්‍යාලය සඳහා වූ පනත සකස් කළ අයත් ඊට පක්‍ෂ වූ අයත් සියළු දෙනාට මරණ දඬුවම ලබාදිය යුතු යයි ජාතික රණවිරු එකමුතුවේ සභාපති රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසයි. මීට පෙරද ඔහු සුලඟ එනු පිණිස චිත්‍රපටයේ අධ්‍යක්‍ෂකවරයා එල්ලා මරා දැමිය යුතු යැයි කීවේය​. උසස් හමුදා නිලධාරියෙකු මෙවැනි අයිසිස් වර්ගයේ ඝාතක මානසිකත්වයකට යොමු වූයේ මන්ද ? මිනිසුන් මරා දැමීමෙන් ප්‍රශ්න විසඳිය හැක කියා ඔහු සිතනවාද ? මිනිසුන් මරා දැමීමෙන් ඔහු තෘප්තියක් ලබනවාද ? පශ්චාත් යුද සමාජයක මෙවැනි අදහස් ඇති පුද්ගලයන් මනෝ වෛද්‍යවරුන් විසින් අධ්‍යනය කල යුතුයි නොවේද ? එහෙත් ඒ සඳහා දිරියක් ඇති වෘත්තිකයන් ලංකාවේ සිටියිද ? 

Wednesday, August 17, 2016

ඕපීඩී නයා

 

මීගමුව රෝහලේ බාහිර රෝගී අංශයේ සේවය කල කාලයේදී සර්පයන් දෂ්ඨ කිරීම නිසා ගෙන ආ රෝගීන් ගනනාවකටම මම මූලික ප්‍රතිකාරයන් ලබා දී ඔවුන්ව අදාල වාට්ටු වලට යොමු කලෙමි. බොහෝ විට මෙම රෝගීන් රැගෙන එන ඤාතී මිත්‍රාදීන් දෂ්ඨ කල සර්පයා ගේ හිස පොඩි කොට උන්වද රැගෙන එති. ඊට හේතුව නම් වෛද්‍යවරුන්ට දෂ්ඨ කල සර්පයා පෙන්වීම සඳහාය​. බොහෝ විට මේ සර්පයන් නයි , පොලඟුන් හෝ විශ රහිත සර්පයන් වෙති. 

වරක් සර්පයෙක් දෂ්ඨ කිරීම නිසා විසඥවූ රෝගියෙකු මීගමුව රෝහලේ බාහිර රෝගී අංශයට ගෙන එන ලදි. එදින මා සේවා මුරය ආවරණය කලෙමි.    මම සේලයින් බෝතලයක්  රෝගියාගේ ශිරාවකට සම්බන්ධ කොට ඔහුට හුස්ම ගැනීම  පහසුවට ඇම්බු කලෙමි. ඒ අතරවාරයේ රෝගියා රැආ මෝඩ පහේ තරුණයෙක් " සර් මේ තමයි අපේ විමලේ අයියාව කාපු සරපයා " කියා ලක්ස්ප්‍රේ ටින් එකක දමා සිටි සර්පයෙකු  මගේ මේසය මතට හැලුවේය​. 

මේ  සර්පයා පත සයිස් නාගයෙකි. ඌට පහර දී අඩපණ කොට තිබුනද මේසය මතට වැටුණු නයා පණ ගසාගෙන විත් පෙනේ කරන්නට විය​. මේ දසුන දුටු ඕපීඩී හෙදිය මරහඞ දී දිව ගියාය​. මමද පුටුව පෙරලාගෙන ඕපීඩී කාමරයෙන් දිව ගියෙමි. ඉන් පසුව ට්‍රොලියක දමා සිටි රෝගියාව ඕපීඩී කාමරයෙන් ඉවතට ගත්තෙමි. 

පොළු පාරවල් වැදී අඩපණවී සිටි නයා ක්‍රමක් ක්‍රමයෙන් පණ ගසාගෙන එයි. උගේ පෙනයේ ඇති ප යන්නද හොඳින් පෙනේ. "සිසිරට කතා කරන්න" මම කෑගැසුවෙමි. සිසිර බාහිර රෝගී අංශයේ සේවය කරන මේල් නර්ස් කෙනෙකි. ඔහු ඕනෑම දෙයකට ඔට්ටු අයෙකි. අපගේ අභාග්‍යකට මෙන් සිසිර පේන තෙක් මානයක නැත​. 

නයා මේසය මත දරණ ගසා ගෙන සිටියි. නයාව ගෙනා තරුණයා කොස්සක් රැගෙන යළිත් නයාට පහර දීමට යයි. මම ඔහුව ඉවතට ගත්තෙමි. අපගේ වාසනාවකට මෙන් එදා රෝහල් පොලිසියේ සිටියේ අහිංසක පොලිස් වූ ආරියරත්න රාලහාමි නොව කොච්චිකඩේ පොලිසියේ නැඩ රාලහාමි කෙනෙකි. ඔහු තරුණයාගෙන් කොස්ස අරගෙන නාගයාට දුන්නේ එක පහරකි. එයින් නාගයා ජන්මාන්තර ගත විය​. ඉන්පසු  සුරක්‍ෂිතව නයි කුණ ලක්ස්ප්‍රේ ටින් එකට දමා පියන තද කල  රාලහාමි මෙය රෝහලේ කුණු පුච්චන ස්ථානයට ගෙන යන ලෙස කම්කරුවෙකුට භාර දී නාගයා අපරික්‍ෂාකාරීව මගේ මේසය මතට හෙලූ තරුණයාට බැණ වැදුනේය​. 

කෙසේ නමුත් නාග කලබලයෙන් පසු අප සුරක්‍ෂිතව රෝගියා වාට්ටුවට යැව්වෙමු. ඉන් පසු මම වෛද්‍ය අංශයේ ජේෂ්ඨ වෛද්‍ය නිලධාරී සුජීව අමතා රෝගියාගේ තත්වය ගැන ඔහුව දැනුවත් කලෙමි. වෛද්‍ය සුජීව පැමිණ රෝගියා බලා නිසි ප්‍රතිකාර කොට රෝගියාගේ ජීවිතය බේරා ගත්තේය​. 

එදායින් පසු සර්පයන් දෂ්ඨ කිරීම නිසා ගෙන රෝගීන් සමග ගෙන එන ජීවී නිදර්ශක ඈතින් සිට පෙන්වන ලෙස මම රෝගීන් ගේ ඤාති මිත්‍රාදීන්ට දැණුම් දීම නිබඳවම කලෙමි. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Monday, August 15, 2016

මල්ටි කල්චරල්

 






උදේ නැගිටගත් මා අසල්වැසි ජීන්ට සුභ උදෑසනක් කීවෙමි.  ජීන් සුදු කැනේඩියානු කාන්තාවකි. ඇයගේ මුල් බිම් එංගලන්තයේ ය​.  ඇය පසුගිය වසරේ ලන්ඩනයට ගියාය​. මාගේ වම් අත පැත්තේ ඉන්නා අසල්වැසියන් අයිරීෂ් ජාතිකයන් ය​. ගෘහ මූලිකයා සෙන් පැට්‍රික් දිනයට කොළ පැහැති විශාල  ටොප් හැට් එකක් පැළඳ සිටිනවා මම දැක තිබේ. 

බල්ලා කූඩුවට දමා උදෑසන ආහාර ගත් මා බිරිඳ සමග වාහනයට ගොඩ වෙමි. මුලින්ම ඇයව ඇයගේ කාර්‍යාලයේ බස්සන මා මගේ සේවා ස්ථානයට යමි. බිරිඳ වැඩ කරන්නේ නීතීඥයන් කිහිප දෙනෙකු සමගය. ඉන් එක් නීතීඥයෙක් එස්තෝනියානු ජාතිකයෙකි. ඔහු ඉතා ප්‍රියජනක පුද්ගලයෙකි. රුසියන් වචන කීපයක් ඔහු දනියි. මෙම නීතීඥ කාර්‍යාලයේ ඉංග්‍රීසි ජාතික කෙරී සහ අයිරීෂ් ජාතික ඩන්කන්  නීතීඥයන් ලෙස​ට සේවය කරති. 

ඩොන් මිල්ස් මාවතේ ගමන් කරන මම කෝපි කෝප්පයක් බීමට ටිම් හෝට්න්ස් අවන්හලක ඩ්‍රයිව් තෘ හරහා යමි.

 " මීඩියම් කොෆී ඩබල් ඩබල්" මම කියමි. 

අවන්හලේ කවුළුව අසල සිටින්නේ ලංකාවේ ද්‍රවිඩ තරුණියකි. 1983 සරණාගතයන් ලෙස පැමිනි ඔවුන් ගේ දෙවන පරම්පරාව සමහර විට සිංහල අප කෙරෙහි සතුරු ආකල්පයකින් බලති. නමුත් මේ තරුණිය මට සිනහවකින් සංග්‍රහ කලාය​. 

1983 සරණාගතයන් ගේ දෙවන පරම්පරාවේ සමහර ළමුන් දැන් උතුරු ඇමරිකාවේ විශ්ව විද්‍යාලවල උසස් තනතුරු දරති. කලකට ඉහතදී යෝක් විශ්ව විද්‍යාලයේ පී.එච්.ඩී අපේක්‍ෂිකාවක් වූ ද්‍රවිඩ සිසුවියක් ඇයගේ තීසීසයට මගෙන් අදහස් ද ලබා ගත්තාය​. ඇයගේ තීසීසය පස්චාත්  ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය (PTSD) පිළිබඳවද සාකච්චා කෙරෙන්නකි. ඇයට මුලදී මම සිංහල ජාතිකයෙක් නිසා යම් කුකුසක් තිබුනා කියා සිතමි. නමුත් මම ඇයට උපකාර කලෙමි. ලබන වසර වන විට ඇය තම ආචාර්‍ය උපාධිය නිම කරනු ඇත​.

කෝපි කෝප්පය අතට ගත් මා එය වාහනයේ කෝපි රඳවනය තුල බහා ශෙපර්ඩ් වීදිය දක්වා යමි. ශෙපර්ඩ් වීදිය කාර්‍යබහුලය.  කොණ්ඩය කපන මගේ බාබර් ඉන්නේ ශෙපර්ඩ් වීදියේය ​. ඔහු ඉරාන ජාතිකයෙකි. ඔහු තමා පර්සියානුවෙකු බව කියයි. ඉරානය යන වචනයට ඔහු කැමති නැත​.  ඔහුගේ නම රුස්බෙක් ය​. රුස්බෙක් සමරිසියෙකි . ඔහු  ටොරොන්ටෝ හි වාර්ශිකව පවත්වන ගේ ප්‍රයිඩ්  එකට යයි. ඉරානයේ සමරිසියෙකු වීම මරණ දණ්ඩනය ලැබෙන වරදකි. එහෙත් මේ රටේ කිසිවෙකු රුස්බෙක්ව සමරිසියෙකු කියා අවමානයට පත් කරන්නේ  හෝ ඔහුව හෙලා දකින්නේ නැත​. 

ශෙපර්ඩ් වීදිය හරහා ගිය මම බේ විව් මාර්ගයට අවතීර්ණ වෙමි. හැකි ඉක්මනින් යෝක් විශ්ව විද්‍යාලයේ ග්ලෙන්ඩන් කැම්පස් වෙත යාම මගේ අරමුණයි. බේ විව් මාර්ගයේදී චීන තරුණයෙක් අපරික්‍ෂාකාරීව ඔහුගේ මස්ටෑං රථය දැමූ නිසා මගේ පය තිරිංගය වෙත ගියේය​. 

චීනුන්ට ඩ්‍රයිවිං බැරිය කියා කොමඩිකාරයෙකු වූ රසල් පීටර්ස් කියයි. රසල් පීටර්ස් ඉන්දීය සම්භවයක් තිබෙන කැනේඩියානුවෙකි. ඔහුගේ විහිළු වලට මම ප්‍රිය කරමි. නමුත් ඔහුගේ සමහර විහිළු වාර්ගික ඒවාය​. 

පරික්‍ෂාකාරීව චීන තරුණයාගේ රථය පසු කල මා ප්‍රංශ පාසල දෙස බලමි. මෙහි ගොඩනැගිලි විශාලය​. ඉගැන්වීම ප්‍රංශ භාෂාවෙනි. මම ප්‍රංශ ඉගෙනුම සඳහා මරී ඇලෙක්සැන්ද්‍රා වෙත ගියෙමි. ඇය පැරිස් වල උපත ලැබූ එරිත්‍රියානු සම්භවයකින් යුතු කාන්තාවකි. මේ පන්තියට ජිපෑං ආවේය​. මුලදී ජිපෑං ඔහුගේ නම ඉයන් කියා මට කීවද ඔහුගේ නියම නම ජිපෑං කියා මම දැන ගත්තේ මරී ඇලෙක්සැන්ද්‍රා නම් ලකුණු කරන විටදීය​. ජිපෑං අන්තර්ජාතික සිසුවෙකි. ඔහු ආවේ බේජිං වලිනි.   ජිපෑං සහ මම එම ප්‍රංශ පන්තියේ මිතුරන් වූයෙමු. 

යෝක් විශ්ව විද්‍යාලයේ ග්ලෙන්ඩන් කැම්පස් වෙත ගිය මා රථ ගාලේ මගේ රථය  නවතා පැයක පාකිං ටිකට් එකක් ගත්තෙමි. ඉන්පසුමම මහාචාර්‍ය  ජිම් ඇල්කොක් ගේ කාමරය වෙත ගියෙමි. මහාචාරිය ජිම් ඇල්කොක් ගේ කාමරයට යන්නේ මහාචාර්‍ය Guy Proulx ගේ කාමරය පසු කරමිනි. මහාචාර්‍ය  Guy Proulx මට කියන්නේ ෆිලොසොෆ කියාය​. ඒ මන්ද යත් නිතරම දාර්ශනික කරුණු ඔහු සමග මම තර්ක කරන බැවිනි. Guy Proulx එන්නේ කුබෙක් වලිනි. ඔහු තම කුබෙක් ජන්මය ගැන යම් කිසි ගර්වයකින් සිටියි. එහෙත් ජාතිවාදියෙකු නොවේ. 

මහාචාර්‍ය  ජිම් ඇල්කොක්ට  මම  ප්‍රිය කරමි. ඔහු මාව පිලිගන්නේ සිනහවකිනි. සස්කචුවාන්    පළාතේ උපන් මහාචාර්‍ය ඇල්කොක් ජීවත් වන්නේ ඔන්ටේ‍රියෝවේය​. අන්තර්ජාතික තලයේ පිළිගත් මනෝ  විද්‍යාඥයෙකු වන ඔහු  ඉන්දියාවේද කලක් ජීවත්ව තිබූ බව මා සමග කියා තිබුණි. 

මහාචාර්‍ය  ඇල්කොක් සමග සංවාදයේ යෙදෙන විට කාලය යන බව නොතේරේ. ඔහු සමග සංවාදයේ යෙදීම ප්‍රියජනකය​. ඔහුගෙන් සමු ගන්නා මම රථ ගාලට යමි. යෝක් විශ්ව විද්‍යාලයේ වාහන පරීක්‍ෂකයෙක් මට ටිකට් එකක් ලියමින් සිටියි. මම ඔහු හමුවට ගොස් මම මහාචාර්‍ය  ජිම් ඇල්කොක් හමුවීමට ගිය නිසා මඳක් ප්‍රමාද වූවා යැයි කියමි. එහෙත් ඔහු මට සවන් නොදේ. මම ඔහු දෙස බලමි. ඔහු තුල ඉතියෝපියානු ජාතිකයෙකුගේ ලක්‍ෂණ තිබේ. එම නිසා මම තුරුම්පුව ගසමි. 

" කරුණාකර ටිකට් එක ලියන්න එපා ඔබ ඉතියෝපියාවෙන් නේද ? මට ඉතියෝපියානු මිතුරන් බොහෝ දෙනෙක් ඉන්නවා  ටෙලහොන් , අස්රත් , සෙනයිද් ... මම නම් වැලක් කියමි. මේ යූක්‍රයීනයේ වෛද්‍ය පීඨයේ මා සමග ඉගෙනුම ලැබූ සිසු සිසුවියන් වෙති. 

" තව එකක් තෙස්ෆාය මබ්‍රාතු , ඔහුත් මගේ මිතුරෙක්. මබ්‍රාතු යනු අමර්ස්ක් බසින් ආලෝකය එහෙම නේද ? තෙස්ෆාය මබ්‍රාතු මා සමග පළමු වසර ඉගෙන ගෙන බටහිර ජර්මනියට ගොස් එහි නැවතුනේය​. 

" මම ඉතියෝපියානු ජාතිකයන්ට කැමතියි ඔවුන් ඉතා ආචාරශීලී පුද්ගලයන්. මම එම්පර හෙල්සිලාසිට කැමතියි ඒ වගේම අබ්බි බිකිලා ඔහු මගේ වීරයෙක් " 

වාහන පරීක්‍ෂකයා මා දෙස බලා සිනාසුනේය​. අණතුරුව මට ලියූ ටිකට් එක අවලංගු කලේය​. 

" හොඳයි අදට විතරයි" 

මම ඔහුට ස්තූති කරමින් වාහනය පණ ගන්වාගෙන තෝන්හිල් හි සායනය වෙත යමි. එහි මා එන තෙක් ඊxxx සිටියි. 

ඊxxx  කොකේන් වලට ඇබ්බැහි වී ඇති තරුණයෙකි.   ඔහු රුසියන් ජාතිකයෙකි. මම ඔහුට රුසියන් බසින් කතා කල ප්‍රථම දිනයේ ඔහු මවිත විය​. මම ඊxxx ට මනෝ ප්‍රතිකාරයෙන් ඔහුගේ කොකේන් භාවිතය අවම කිරීමට උපකාර කරමි. මම ඊxxx ට හුරු පුරුදු රුසියන් බසින් ප්‍රතිකාරාත්මක සන්ධිය තබා ගන්නා බව දැනගත් වෛද්‍ය පෘස්කෝ මට ප්‍රසංසා කලේය​. මගේ තවත් රුසියානු රෝගියෙක් ඉන්නවා ලබන සතියේ ඔහු ඔබ වෙත යොමු කරන්නම් වෛද්‍ය පෘස්කෝ කීවේය​. 

වෛද්‍ය පෘස්කෝ එන්නේ පැරණි යුගෝස්ලාවියාවෙනි. ඔහු ක්‍රොඒෂියානුවෙකි . ඔහු මෙන් කාරුණික මිනිසෙකු මට හමුවී නැත​. වරක් සර්බියන් ජාතික නීතීඥයෙකු වූ ඩේවිඩ්ට වෛද්‍ය පෘස්කෝ හඳුන්වා දීමේදී  මම මෙසේ  කීවෙමි. 


" ඔහු තමයි ජේසුස් ක්‍රිස්තුස්ට පස්සේ ඉන්න එක්කෙනා" 

වෛද්‍ය පෘස්කෝ මත්ද්‍රව්‍ය සඳහා ප්‍රතිකාරයේ ප්‍රකට පුද්ගලයෙකි.ඔහුගේ කාරුණික දෙනෙත් ; කාරුනික වදන් ක්‍රිස්තුස් වහන්සේ සිහිගන්වයි.

ඊxxx ගේ ප්‍රතිකාර වටය අවසන් වීමෙන් පසු ඔහු මට ස්පසීබා කියා පිටත් වෙයි. මම මගේ ලැප්ටොප් එක විවෘත කොට ඊමේල් බලමි. ජෝ ගෝමස් මට ඊමේල් එකක් එවා තිබේ. ජෝ ගෝමස් මට හමු වූයේ සෙනෙකා කිං කැම්පස් හිදීය​. ඇය ගේ දෙමාපියන් කැනඩාවට එන්නේ පෘතුගාලයේ සිටය​. පෘතුගීසි ලේ තිබෙන ඇය වරක් මට මෙසේ කීවාය​. 

" අපගේ පෘතුගීසි ජාතිකයන් ඔබලාගේ රටේ බොහෝ කෘරකම් කල බව මම දන්නවා " 

ඇය දොන් ජොරනිමෝද අසවේදෝ ගැන අසා තිබේද කියා මම නොදනිමි. ඒ කෘරකම් වූයේ එක්දහස් පන්සිය ගනන් වලය​. ඒ කාලයේ  එක්සත් ජාතීන් හෝ මානව හිමිකම් මණ්ඩල තිබුනේ නැත. එකී ඝාතන ගැන වර්තමානයේ ජීවත් වන පෘතුගීසින් වග කිව යුතු නැති බව මම ඇයට කීවෙමි. 

දෙවන ඊමේල් එක එවා තිබෙන්නේ කෙරන් ෆ්‍රෙxxx ය​. ඇය යුදෙව් ජාතික කාන්තාවකි. වෘත්තියෙන් දන්ත වෛද්‍යවරියකි මම ඇයගේ පුතාට EMDR ප්‍රතිකාරයෙන් සහාය වූයෙමි. ඔහු දැන් ඊශ්‍රායල හමුදාවේ සේවය සඳහා ගොස් තිබේ. 

දිවා ආහාරය සඳහා මම ජැමෙයිකන් අවන්හලට යාමට තීරණය කලෙමි. අතරමගදී මට අසීස්ව මුණ ගැසේ. ඔහු එන්නේ ඊජීප්තුවෙනි. වෘත්තියෙන් ඔහු ෆාමසිස්ට් කෙනෙකි. මම අසීස්ට අරාබි බසින් ආචාර සමාචාර කරමි. මම ඔහුව අමතන්නේ හබිබී කියාය​. අසීස් මා සමග ලෙන්ගතුව  සිනාසෙයි. වෛද්‍ය පෘස්කෝ විසින් නිකුත් කල සොබොක්සෝන් ප්‍රෙස්ක්‍රිප්‍ෂන් එක  ඊxxx ගේ ෆාමසිය වෙත ෆැකස් කරන ලෙස​ මම  අසීස්ට කීවෙමි. ඔහු එය වහාම කරන බව කීවේය. 

කොකේන් හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන්ට තාවකාලික නිශේදන ඖෂධයක් ලෙස සොබොක්සෝන් වැදගත් වේ.  

ජැමෙයිකන් අවන්හලේ කළමනාකරු මා " යියා මාන් " කියා පිළිගනියි. මා නිතරම ඇණවුම් කරන ස්ටීම් රයිස් , ගෝට් මීට් සහ සැලඩ් මෙවරද ඇණවුම් කරමි. 

කවුන්ටරය අසල ජැමෙයිකානු තරුණයන් පිරිසකි. ඔවුන් ඉතා උනන්දුවෙන් රූපාවාහිනී තිරයේ යන පාපන්දු තරඟයක් නරඹති. ඉන් එක් තරුණයෙක් ට්‍රිනිඩෑඩ් වලින් බව මම දනිමි. ඔහු පසුගිය සතියේ මට  ජැමෙයිකන් ගීත අඩංගු වූ සීඩී එකක් අලෙවි කිරීමට තැත් කලේය​. ඔහු සිතාගෙන ඇත්තේ මම ගයනාවෙන් බවයි. සමහර ගයනීස් පුද්ගලයන් අප මෙනි. මට ගයනාවේ  හේමාවතී මතක් වේ. ඇය ජීවත් වන්නේ බ්රැම්ටන් වලය​. හේමාවතීලා තාරාවතීලා ගයනාවේ සිටිති. මා දන්නා තාරාවතී ටේ‍රා කියා නම පොෂ් කරගෙන තිබේ. 

දිවා ආහාරයෙන් පසුව මම වෛද්‍ය නහීම් ගෙ පේන් ක්ලිනික් (Pain Clinic) එක වෙත යමි. කාර්‍ය බහුල වූවද වෛද්‍ය නහීම් මා විසින් ලියාගෙන යන ගංජා භාවිතය සහ මානසික සෞඛ්‍යය පත්‍රිකාවට ඔහුගේ අදහස් දෙයි. මට එය වැදගත් ය​. එසෙම ඔහු මීට ඉහතදී මා සහ මැසචූසෙට්ස් වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්‍ය Amy Wachholtz,විසින් ලියන ලද භාවනාව සහ වේදනා සමනය යන පරීක්‍ෂණ පත්‍රිකාව ගැන ධනාත්මකව කතා කරයි. තම සායනයේ මයින්ඩ්ෆුල්නස් භාවනා භාවිතය ගැන ඔහු විවෘතය​. 

වෛද්‍ය නහීම් උපත ලැබුවේ බ්‍රසීලයේය​. ඔහු යුදෙව් ජාතිකයෙකි. ඉංග්‍රීසි කතා කිරීමේදී සුළු ඇක්සන්ට් එකක් සහිතව කතා කරයි. නමුත් මත්ද්‍රව්‍ය ඇබ්බැහි වීම සඳහා ප්‍රතිකාරයේදී ඔහු විශේෂඥයෙකි.   මෙම කළාපයේදී විශේෂඥතාව ලැබෙනුයේ පෆෝර්මන්ස්  යන සාධකය මතය​. ලංකාවේ මෙන් විභාග කිරීමෙන් විශේෂඥතාව ලැබෙන්නේ නැත​. පෆෝර්මන්ස්  නිර්නායකය මත වෛද්‍ය නහිම්  වචනයේ පරිසමාප්තියෙන් විශේෂඥවරයෙකි. 

මෙවැනි විශේෂඥවරයෙකු වූ වෛද්‍ය ගබෝ මටේ‍ මගේ සිහියට නැගේ.  ඔහු හංගේරියාවේ උපත ලැබුවේය​. මේ කාලයේදී හිට්ලර් හංගේරියාව ආක්‍රමනය කරන්නේය​. ඔහුගේ සීයා සහ ආච්චී මිය යන්නේ Auschwitz වධකගාරයේය​. වෛද්‍ය ගබෝ මටේ‍ මට 2014 වසරේදී හමුවී තිබේ. 

වෛද්‍ය නහිම් මට රෝගියෙකු යොමු කරයි. ඔහු විශාල ශරීරයකින් හෙබි මුළු ගත පුරා පච්ච කොටා ගෙන සිටින හිටපු බයිකර් කෙනෙකි. ඔහු කාලයක් මෝටර් සයිකල් ගැන්සියක සාමාජිකයෙකු වී හැලිෆැක්ස් නගරය දෙවනත් කරගෙන සිටියේලු. ඔහුට තිබෙන්නේ ජර්මන් වාසගමකි. හෙරොයින් ශිරා වලට විදගත් ඔහු කොකේන් , එක්ස්ටසි , ඔක්සිකොන්ටින් යන නානාප්‍රකාර මත් ද්‍රව්‍ය භාවිතා කර තිබේ. වසර ගනනාවක් සිරගතව සිටි ඔහු පුනරුත්ථාපනය වීමට අදහස් කරයි. 

ඔහු දුඹුරු පැහැති මා දෙස බලන්නේ කුකුසෙනි. මම ඔහුට අතට අත දෙමි. මේ යෝධ මිනිසාගේ අත්ල තුල මගේ අත්ල සැඟවේ. වෛද්‍ය නහිම් මා පිලිබඳව ඔහුට හඳුන්වාදීමක් කරයි. මම ඔහුගේ රෝග ඉතිහාසය දෙස බලමි. විසි වසරකට අධික මත්ද්‍රව්‍ය භාවිතය බයිපෝලර් ආවේදනික ආබාධය , පස්චාත්  ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය සහ දුස්සාධ්‍ය පිට කොන්දේ වේදනාව නිසා මේ ජර්මන් කැනේඩියානු ජාතිකයා පීඩා විඳියි.  වෛද්‍ය නහිම් ගේ හැඳින්වීමෙන් පසු ඔහු මනෝ ප්‍රතිකාර වලට එකඟ වෙයි.  මම ඔහුට දිනයක් සහ වේලාවක් දෙමි. 

වෛද්‍ය නහිම් සමග තව කෙටි කාලයක් සංවාදයේ යෙදෙන මම  ටීඩී කැනඩා ට්‍රස්ට් බැංකුවට යමි. බැංකුවේ මැනේජර් ෆයිසාල් පාකිස්ථානයෙනි. ඔහු ඉතා මිත්‍රශීලී අයෙකි. ඔහු ඉතා කෙටි වේලවක් තුලදී මගේ අවශ්‍යතාව ඉටු කර දෙයි. මම ෆයිසාල් සමග කතා කරමින් සිටින විට මගේ ජංගම දුරකථනය නාද වෙයි. මා අමතන්නේ මයිකල් ඇපොලෝය​. ඔහු පෝලන්ත ජාතිකයෙකි. බෞද්ධ භාවනා ක්‍රම වලට යොමු වී ඇති මයිකල් සහ මහාචාර්‍ය රොබට් මැක් ෆාර්ඩ්න් ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ පරියේෂකයන් වෙති. ඔවුන් තමන් බෞද්ධ යැයි නොකීවද බුදු දහම පිළිබඳ ඔවුන් ගේ දැණුම ඉතා ගැඹුරුය​. මයිකල් ඔවුන් ගේ ඉදිරි වැඩසටහනක් පිළිබඳව මට විස්තර කියයි. 

 මම ෆයිසාල් ගෙන් සමු ගෙන වෙස්ටන් රෝඩ් සායනයට යමි. එහිදී පිලිපීන ජාතික හෙදියක වන මරියා මට සේවාර්ථියෙකු ගැන පවසන්නීය​. මරියා මේ කියන පුද්ගලයා මම දනිමි. ඔහු ඉතාලි කැනේඩියානුවෙකි. මීට මාස කීපයකට පෙර   විශේෂඥ මනෝ  වෛද්‍ය මේතා මේ පුද්ගලයා  පෞරුෂ අක්‍රමතාවයකින් පෙලෙන බව රෝග නිර්නය කොට තිබුනි. ඔහු තමන් මත්ද්‍රව්‍ය දැන් භාවිතා නොකරන බව තරයේ කීවද ඔහුගේ මුත්‍රා වල කොකේන් සංඝටක හමුවී තිබේ. මම ඔහු සමග කතා කරන බව කියා මම මරියාව අස්වැසුවෙමි.  

උතුරු ඉන්දියාවෙන් කැනඩාවට පැමිණි මනෝ  වෛද්‍ය මේතා මම ප්‍රිය කරන චරිතයකි . ඔහු ඉන්දියාවේද එංගලන්තයේද  මනෝ වෛද්‍යවරයෙකු ලෙස සේවය කොට තිබේ. ඔහු පෞරුෂ අක්‍රමතාවන් පිලිබඳ වෛඥානික පුද්ගලයෙකි.  ඔහු මා අමතන්නේ ජේ. කියාය​. සමහර පුද්ගලයන්ට මගේ මුල් නම වන රුවන් යන්න කියවෙන්නේ රෝවන් හෝ රොන් ලෙසටය​.  ඔවුන් බොහෝ විට මට ජේ කියා කතා කරති. 

මගේ සෙලියුලර් දුරකථනය නාදවේ. ඇමතුම අන්ඩ්‍රයාස් ගෙනි. ඔහු ඩවුන් ටවුන් ෆෝක්ස්වැගන් ඩීලර්  ආයතනයක සම්බන්ධීකරණ නිලධාරියෙකි. මගේ මෝටර් රථයේ මීලඟ සර්විස් කිරීම සබැඳිව ඔහු කතා කරයි. 

අන්ඩ්‍රයාස් වයස හැටක පමණ ප්‍රියශීලී මිනිසෙකි. මම ඔහුව අමතන්නේ මිස්ටර් අන්ඩ්‍රයාස් කියාය​. ඔහු උපත ලැබුවේ සයිප්‍රස් වලය​. ඔහු හමුවූ විටදී මම සයිප්‍රස්  හිටපු රාජ්‍ය නායකයෙකු වූ ආච් බිශොප් මකාරියෝස් ගැන කතා කරමි. ආච්බිශොප් මකාරියෝස් 1974 දී ලංකාවේ පැවති නොබැඳි සමුළුවට ආවේය​. අන්ඩ්‍රයාස් තරුණ කාලයේ ජීවත් වූයේ ආච්බිශොප් මකාරියෝස්  යටතේය​.  ලොකු හෝල්ඩන් රථයක නැගී දෙපස රැස්ව සිටි ජනයාට අතවනමින් ගිය ආච්බිශොප් මකාරියෝස් එකල පාසල් සිසුවෙකු වූ මම දුටුවෙමි. 

අන්ඩ්‍රයාස් මහතාගේ දුරකථන ඇමතුමෙන් පසු මම රොබින් අමතමි. රොබින් කැනඩා ආදිවාසී ඉනුඉට් ජාතිකයෙකි. රොබින් බොහෝ සෙයින් මධ්‍යසාර වලට ඇබ්බැහි වී ඇත​. ඔහුගේ අක්මාවේ එන්සයිම පරීක්‍ෂණ ද දුස්සාධ්‍ය මදිරාබාධයේ ලක්‍ෂණ පෙන්වන බව රොබින්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරයා සඳහන් කොට තිබේ. රොබින්ට උපදේශනය අවශ්‍ය  වෙයි. එහෙත් ඔහු උපදේශනය සඳහා දක්වන්නේ උදාසීන බවකි. කෙසේ හෝ රොබින්ව ඔහුගේ බිළයෙන් එලියට ගත යුතුය​. නැතහොත් ඔහු තවත් සංඛ්‍යාලේඛනයක් වනු නියතය​. 

වෛද්‍ය මිශෙල් ක්ලෙමන්ට් පැමින ඇත​. ඇය තරුණ වෛද්‍යවරියකි. වෙස්ටන්  ඔන්ටේ‍රියෝ විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යාව හැදෑරූ ඇය තුල සහජයෙන්ම ආසක්තිය ප්‍රතිකාර සඳහා දක්‍ෂතාවක් තිබේ. මෙතඩෝන් හෝ ක්ලොනැසිපෑම් වැනි ඖෂධ මාත්‍රාවන් වැඩි කරන ලෙස ඉල්ලා එකී ඉල්ලීම ඉටු නොවුන විට ඉතා තදින් කෝප ගන්නා රෝගීන් දමනය කිරීමට ඇයට හැකියාවක් තිබේ. ඇගේ සිනහව ; දයාන්විත කතා විලාසය ඉදිරියේ හෙල්ස් ඒන් ජල්ස් (මොවුන් මත්ද්‍රව්‍ය ගන්නා අපරාධ වූවද කිරීමට නොපසුබට මෝටර් බයිසිකල්කරුවෝය ) සාමාජිකයෝද දමනය වෙති. 

වෛද්‍ය මිශෙල් ක්ලෙමන්ට් මා අමතන්නේ ජේ කියාය​. ඇය මට සුභ දහවලක් ප්‍රාර්ථනා කරන්නීය​. මමද ඇයට සුභ දහවලක් පතමි. තමා යුදෙව් ජාතික කාන්තාවක් බව වරක් වෛද්‍ය මිශෙල් ක්ලෙමන්ට් මට කීවාය​. ඇය මනෝ ප්‍රතිකාරයන් සඳහා රෝගීන් මා වෙත යොමු කලාය​. 

මට පීටර් ගෙන් දුරකථන ඇමතුමකි. පීටර් වෘත්තියෙන් ෆයිනෑන්‍ෂල් කන්ට්‍රෝලර් කෙනෙකි. ඔහු ආයතන කිහිපයකට තම සේවාවන් ලබා දේ. පීටර් උපත ලැබුවේ කෙන්යාවේදීය​. වරක් මම මගේ විශ්ව විද්‍යාල මිතුරෙකු වූ කෙන්යා ජාතික කමාවූ ගැන කීවෙමි.  කමාවූ ගේ සම්පූර්ණ නම ඇසූ පමණින් ඔහුගේ ගෝත්‍රය මෙයයි යන්න පීටර් කීවේය​. මෙම අත්දැකීම මම මීට පෙරද ලබා තිබේ. වරක් කැනඩා -නයිජීරියා ජාතික ගණකාධිකාරිනියකට මම මගේ වෛද්‍ය පීඨයේ මිතුරියක වූ ජස්ටීනා ඇල් ගෝසි ගැන කීවෙමි. ජස්ටීනා ගේ නම ඇසූ ඇය ජස්ටීනා ඊබෝ ගෝත්‍රයට අයත් තැනැත්තියක් බව කීවාය​. 

පීටර් සමග  සංවාදය ඇදී ගියෙන් මට කාලය පිලිබඳ ගැටළුවක් මතු විය​. සවස් වන තෙක් මම අද වැඩ කරමි. මනෝ ප්‍රතිකාරයේදී රෝග ඉතිහාසයන් සහ චර්‍යාවන් දීර්ඝ වශයෙන් ලේඛන ගත කල යුතුය​. මේවාට කියන්නේ පේපර් වර්ක් කියාය​. මගේ උපදේශිකාවක වන ෆිලඩෙල්ෆියාවේ කෝට්ස්විල් රෝහලේ මනෝ විද්‍යාඥ ආචාර්‍ය සුසන් රොජස් ගේ පරිගනක තිරය උඩ මෙවැනි වැකියක් ලියා තුබුන බව මට මතකය : සදාකාලික නින්දට පෙර පේපර් වර්ක් අහවර කරන්න​ (Before the eternal rest , finish your paper work). 

පේපර් වර්ක් අවසන් කරන විට සූර්‍යා අවරට යමින් තිබුනි. ඒ සමගම මගේ පුතා දුරකථනයෙන් මා අමතා අද සිකුරාදාවක් නිසා රාත්‍රී ආහාරය පිටතින් ගත යුතු බව කියයි. මම ඔහුට සිරියානු අවන්හලක් වන ජෙරුලම් රෙස්ටොරන්ට් එකේ නම යෝජනා කරමි. එහෙත් ඔහුගේ කැමැත්ත ජපන් අවන්හලකට යාමටයි. ඔහු සුෂී ප්‍රිය කරයි. මම නම් ඇත්තෙන්ම කැමති දෙමළ අවන්හලක් වූ හොපර් හට් එකට ගොස් ආප්ප කෑමටය​. නමුත් මේ තරුණ පරම්පරාව අප මෙන් තෝසේ අප්ප ඉඳි ආප්ප , පිට්ටු වලට ප්‍රිය නොකරති. එම නිසා මම හොපර් හට් නම යෝජනා නොකරමි. මට සුෂී එතරම් ප්‍රිය නැත​. අවසානයේදී පියාත් මවත් පුතාත් සම්මුතියකට එති. අප තිදෙනාම ග්‍රීක අවන්හලක් වූ ජිමී ද ග්‍රීක් අවන්හලට යාමට එකඟතාව පළ කෙරුවෙමු. 

අප ජීවත් වන්නේ බහු සංස්කෘතියකින් හෙවත් මල්ටි කල්චරල් සමාජයකය​. මේ සමාජයේදී අපට නානා ප්‍රකාර ජාතීන් මුණ ගැසෙති. නා නා විවිධ සංස්කෘතීන් සමග මුහු වීමට සිදුවේ. මේ මල්ටි කල්චරල් සමාජයේ ප්‍රශ්න නැතුවා නොවේ. එහෙත් එකිනෙකාට ගරු කරමින් විවිධ සංස්කෘතීන් ස්පර්ශ කරමින් මිනිසුන් සාමයෙන් සහයෝගයෙන් ජීවත් වෙති. එහෙත් චිරාත් කාලයක් ලංකාවේ වාසය කල සිංහල දෙමල මුස්ලිම් ජාතීන් මෙසේ සාමයෙන් සහයෝගයෙන් ජීවත් නොවන්නේ මන්ද කියා ඇතැම් විට මට සිතේ.


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Find Us On Facebook