Thursday, March 31, 2016

තුසිත මළළසේකර මහතා ගැන සටහනක්

 



දුම්කොල මාරයා පොත අප තුසිත මළළසේකර මහතා  වෙත පිළිගැන්වූයෙමු



පාසල් යන කාලයේදී මම  සිළුමිණ , රිවිරැස පත්තර වල යන  තුසිත මළළසේකර මහතාගේ සහ දෙල්තොට චන්ද්‍රපාල මහතාගේ  සෞඛ්‍යය ලිපි  කියවීමට   ආශාවක් දැක්වූයෙමි.  තුසිත මළළසේකර මහතාගේ ලිපි වල විශේෂ බවක් මා දුටිමි. එනම් ඉතා සරල සහ ආකර්ශනීය අයුරින් කියවන්නාට ගෝචර වන ලෙසට සෞඛ්‍යය කරුණු සඳහන් ලිපි ලිවීමේ හැකියාවයි. 

මගේ පරම්පරාවේ වෛද්‍යවරු බොහෝ දෙනෙකු පාසල් සිසුන් ලෙසට තුසිත මළළසේකර මහතාගේ ලිපි කියවා ඇති බව නිසැකය​. එහෙත් මට තුසිත මළළසේකර මහතා හමු වීමට 2001 පමණ වන තෙක් ඉඩක් නොවීය​. එම වසරේදී තුසිත මළළසේකර මහතා විසින් රූපාවාහිනියේ කරගෙන ගිය වෛද්‍ය හමුව වැඩ සටහනට අධ්‍යාපන ප්‍රතිකාර පිළිබඳව කතා කිරීමට මට ආරාධනා කලේය​. මේ කාලය වන විට මම  අධ්‍යාපන ප්‍රතිකාර නමින් පොතක් ද ලියා තිබුනි. ළමුන් විසින් පෙන්වන අධ්‍යාපන ගැටළු සඳහා වෛද්‍ය සහ මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර උපකාර වන අන්දම මෙම ග්‍රන්ථයෙන් මම පෙන්වා දුන්නෙමි.   

විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු සහ මා විසින් ලියන ලද විශාදය සහ මනෝ ප්‍රතිකාර යන කෘතිය දොරට වැඩීමේ උත්සවයේදී ප්‍රධාන දෙසුම පැවැත්වීම සඳහා අප විසින් ආරාධනා කරන ලද්දේ  තුසිත මළළසේකර මහතාටය​. එසේම මම පුත්තලම දිස්ත්‍රික් මානසික සෞඛ්‍යය සම්බන්ධීකරණ නිලධාරී ලෙස සේවය කරන ලද සමයේදී වෛද්‍යවරුන් ගේ සන්නිවේදන කුසලතා නැංවීම සඳහා වැඩසටහන් මාලාවක් කලෙමි. මින් එක් ප්‍රධාන වැඩසටහනක් වූයේ  තුසිත මළළසේකර මහතා මගින් සෞඛ්‍යය සන්නිවේදනය කරන අයුරු පිළිබඳව පිළිබඳව වැඩමුළුවක් කිරීමයි. මෙම වැඩසටහනට වෛද්‍යවරු බොහෝ දෙනෙකු සහභාගී වූ අතර එම වැඩසටහන බොහෝ එලදායී විය​. 

ලංකාවේ  සෞඛ්‍යය අධ්‍යාපන ක්ශේත්‍රයට තුසිත මළළසේකර මහතාගෙන් සිදුවූ සේවය සෞඛ්‍යය අධ්‍යාපන බලධාරීන් හෝ අනෙකුත් සෞඛ්‍යය  ක්ශේත්‍ර අගැයීමක් සිදු නොකිරීම මට එක්තරා අන්දමකට වේදනාවක් ගෙන ආවේය​. මේ අතර  තුසිත මළළසේකර මහතා සෞඛ්‍යය අධ්‍යාපන බියුරෝවෙන් විශ්‍රාමද ගියේය​. මේ නිසා දුම්කොල භාවිතයේ ආදීනව ගැන පෙන්වා දෙමින් 2009 වසරේ මා ඇතුළු වෛද්‍ය බුද්ධික විජේගුනවර්ධන , වෛද්‍ය දිනේජ් චන්ද්‍රසිරි   සහ සෞඛ්‍යය අධ්‍යාපන නිලධාරී ධර්මදාස පින්නවල මහතා විසින් ලියන ලද දුම්කොල මාරයා පොත අප තුසිත මළළසේකර මහතා  වෙත පිළිගැන්වූයෙමු.  මෙම පොත සෞඛ්‍යය අමාත්‍යාංශයේදී මානසික සෞඛ්‍යය  අධ්‍යක්‍ෂකවරිය විසින් තුසිත මළළසේකර මහතා  වෙත පිලිගන්වන ලදි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Wednesday, March 30, 2016

මම ඔබට ආදරය කරමි



මම ඔබට ආදරය කරමි
එය ආත්මාර්ථය පෙරටු කරගත් 
කිළුටු ආදරයක් නොව 
යහ ගති ගුණ තිබෙන තවත් 
අයෙකු වෙත පිදෙන ආදරයකි
මම ඔබව සෙනෙහසින් වැළඳගමි 
ඔබගේ ගුණ සුවඳ මානුශික හදවත 
මම දකිමි , මම  එය අත්විඳිමි   
සඳ එළිය මෙන් ඔබ මට පිවිතුරුය​
මම ඔබට සදා ආදරය කරමි
කුසුමක් සේ මම ඔබව දෝතට ගනිමි
දෙනෙත් වැසූ විටද මා ඔබ දකිමි
ඔබ අත ගෙන අනන්තය දක්වා ඇවිදිමි

Monday, March 28, 2016

යුද ආතතියේ දෝංකාරය​




මුලතිව් කඳවුරට එල්ල වූ ප්‍රහාරයෙන් පසු තුවාල ලත් සෙබලුන් ගෙන ඒම 


යුද හමුදා රෝහලේදී යුද ආතතියට ලක් වූ සොල්දාදුවන් නිලධාරීන් රැසක් සොයා ගැනීමටත් ඔවුනට ප්‍රතිකාර කිරීමටත් විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දුටත් මටත්  හැකි විය​. සමහර සොල්දාදුවන් සහ නිලධාරීන් ගේ රෝගී තත්වය ඉතා දීර්ඝ  කාලයක් පුරා වර්ධනයව තිබුනද ඔවුන්ව මනෝ ප්‍රතිකාර සඳහා යොමු කොට තිබුනේ නැත​. මට එක් උදාහරණයක් මතක් වේ. 

ගැමුණු හේවා බලකායේ සෙබලෙකු 1997 වසරේදී මන්නාරමේදී සේවය කරමින් සිටියේය​. ඔහු වරක් අනෙකුත් සෙබලුන් සමග බසයකින් ගමන් කරමින් සිටියදී එම බසය බිම්  බෝම්බයකට අසු විය​. ඔහු එම අවස්ථාවේදී සුළු තුවාල ලැබුවද බිම් බෝම්බය නිසා මිය ගිය මිතුරන් ගේ සිරුරු දැකීමෙන් කම්පනයට පත් විය​. එහෙත් එම අවස්ථාවේදීවත් පසුව   හෝ මෙම  බිහිසුණු සිදුවීම නිසා ඔහුට උපදේශන හෝ මනෝ ප්‍රතිකාර නොලැබුනේය​. මෙම සිදුවීම නිසා සසලවූ මනසින් ඔහු දිගටම ක්‍රියාන්විත සේවයේ නිරත විය​. 

මාස පහක් පමණ යන විට ඔහු කෙරෙන් පශ්චාත් ව්‍යසන  ක්ලමථ අක්‍රමථාවයේ (PTSD) ලක්‍ෂණ මතු විය​. එහෙත් ඔහුට කිසිදු ප්‍රතිකාරයක් නොලැබුණි. ඔහුට මනෝ විද්‍යාත්මක රෝගී ලක්‍ෂණ වලට අමතරව තද හිසරදය , හන්දි රුදාව ඇති විය​. මේ නිසා ඔහුට සැහැල්ලු රාජකාරී යැයි කියමින් මිය ගිය සොල්දාදුවන් ගේ අවමංගල උත්සව වලට සහභාගි වීමට නියම කෙරුණි. මින් ඔහුගේ පශ්චාත් වියන ක්ලමථ අක්‍රමථාවයේ ලක්‍ෂණ තව දුරටත් උත්සන්න විය​. මේ නිසා ඔහු යුද හමුදාවෙන් පැන ගියේය​. එහෙත් ඔහුට සිවිල් රැකියාවක් සොයා ගැනීමට අපහසු විය​. යළිත් ඔහු හමුදාවට භාර විය​. 

පශ්චාත් ව්‍යසන  ක්ලමථ අක්‍රමථාවයේ ලක්‍ෂණ යටපත් කිරීම සඳහා ඔහු මේ කාලයේ තදින් මත් පැන් පානය කලේය​. රාත්‍රී නින්ද අඩු වීම , රාත්‍රී නින්දේ බියවීම අවම කරනු වස් ඔහු මත් පැන් බී නිදාගත්තේය​. මේ නිසා ඔහුගේ කායික මානසික රෝගී තත්වය තවත් උත්සන්න විය​. ඔහු කිහිප වතාවක් බංකරයේදී වෙඩි තබා ගැනීමට ගිය මුත් මිතුරන් විසින් එය වලකන ලද්දේය​. අවසානයේදී 2004 වසරේදී සුනාමි වියසනයේ දී මාතර රෝහලේ ගොඩ ගසා තිබූ මෘත ශරීර දැකීමෙන් ඔහුගේ රෝගී තත්වය දැඩි ලෙස උත්සන්න වූ අතර අවසානයේදී ඔහුව යුද හමුදා රෝහලේ මනෝ විද්‍යා ප්‍රතිකාර ඒකකයට යොමු කරන ලදි. එහිදී ඔහු තුල තිබූ සංකූලතා සහිත පශ්චාත් ව්‍යසන  ක්ලමථ අක්‍රමථාව (Complex PTSD) අප හඳුනා ගත්තෙමු. 1997 දී පශ්චාත් ව්‍යසන  ක්ලමථ අක්‍රමථාව මතු වූ ඔහුට නිසි ප්‍රතිකාර ලැබුනේ 2004 දීය​. මේ කාල සීමාව පුරා ඔහුත් ඔහුගේ දරු පවුලත් ජීවත් වූයේ අපායකය​. එසේම ඔහුගෙන් එලදායී සේවයක් ද හමුදාවට ලැබී තිබුනේ නැත​. මේ පශ්චාත් ව්‍යසන  ක්ලමථ අක්‍රමථාව වැළඳුනු එක් සොල්දාදුවෙකුගේ කතා පුවතය​. මෙවැනි තත්වයන් රැසක් අප සොල්දාදුවන් අතරින් නිරීක්‍ෂන කලෙමු. 

පශ්චාත් ව්‍යසන  ක්ලමථ අක්‍රමථාව නිසා සොල්දාදුවන් තුල බිය, තිගැස්ම , අනිසි කෝපය , නුරුස්නා බව ,විශාදය ඇතිවේ. එසේම ක්‍රියාන්විත මඟ හැරීමට ඔවුනට අවශ්‍ය කෙරේ. මෙවැනි කොටස් වලට මනෝ ප්‍රතිකාර ලබා දී යළි ප්‍රකෘති කිරීම වෙනුවට ලැබී තිබුනේ දඞුවම් වෙති. මේ නිසා පශ්චාත් ව්‍යසන  ක්ලමථ අක්‍රමථාවයට ලක් වූ සොල්දාදුවන් රැසක් හමුදාවෙන් පළා ගොස් විවිධ ප්‍රචණ්ඩ කිර්‍යා වල යෙදුනහ​. එසේම තවත් කොටසක් බංකර වලදී වෙඩි තබාගෙන දිවි තොර කර ගත්හ​. ඊලාම් යුද්දය පුරා සොල්දාදුවෝ රැසක් බංකර වලදී දිවි නසාගෙන තිබේ. මොවුන් ගේ ක්ලමථ ලක්‍ෂණ මුල් කාලයේදී හඳුනාගෙන උපදේශනය ලබා දුන්නේ නම් මේ ජීවිත බේරා ගැනීමට හැකිව තිබුණි. 

විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු  මහතා සහ මම යුද හමුදාව තුල පැතිරී යන පශ්චාත් ව්‍යසන  ක්ලමථ අක්‍රමථාව පිළිබඳව අධ්‍යනය කරන විට සමහර උසස් නිලධාරීන් මෙන්ම සමහර විශේෂඥ මනෝ වෛද්‍යවරු පවා අපට සිනාසුනහ​. එක් විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකු පැවසුවේ පශ්චාත් ව්‍යසන  ක්ලමථ අක්‍රමථාව ඇමරිකානු රෝගයත් බවත් ලංකාවේ පශ්චාත් වියන ක්ලමථ අක්‍රමථාව නොමැති බවත් ය​. එහෙත් අප මේ අවලාද නොතකා අපගේ අධ්‍යනය සහ රෝගී ප්‍රතිකාරය කරගෙන ගියෙමු. 

අප විසින් 2002 -2006 අතර කාලයේදී සොල්දාදුවන් සහ නිලධාරීන් 823 දෙනෙකු මනෝ විද්‍යාත්මක තුලනීක්‍ෂණයට ලක් කරන ලද අතර ඔවුන් අතරින් 56 දෙනෙකු පශ්චාත් ව්‍යසන  ක්ලමථ අක්‍රමථාවට ලක් වී ඇති බව සොයා ගතිමු. විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතාත් මමත් විසින් කරන ලද පශ්චාත් වියන ක්ලමථ අක්‍රමථා අධ්‍යනයට ලංකාවෙන් එතරම් ප්‍රතිචාරයක් නොලැබුනද ඇමරිකාව , එංගලන්තය , කැනඩාව​, ඕස්ටෙ‍්‍රලියාව , ඩෙන්මාර්කය යන රටවල මනෝ චිකිත්සකයෝ ඊට ධනාත්මක ප්‍රතිචාර දැක්වූහ​. බටහිර ලෝකයේ මනෝ විද්‍යා පරියේෂණ ලිපි සමහරක  මෙම අධ්‍යනය ගැන සඳහන් කොට තිබේ. මෙම අධ්‍යනයේදී ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ​, ජෙනරාල්  වෛද්‍ය ඩඩ්ලි පෙරේරා, වෛද්‍ය කර්නල් සුනිල් සෝමවීර ,මනෝ විද්‍යාඥ පද්මාල් ද සිල්වා , මනෝ වෛද්‍ය සරත් පඞුවාවල , මනෝ වෛද්‍ය මහසෙන් ද සිල්වා  යන මහතුන් විසින් දෙන ලද සහාය අප අගය කලෙමු. එසේම යුද හමුදා රෝහලේ විශේෂඥ කායික වෛද්‍ය එන් . කේ ආරියරත්න මිය , විශේෂඥ කායික වෛද්‍ය මොරීන් විජේවර්ධන  මිය , විශේෂඥ ශල්‍ය  වෛද්‍ය එස් එස් ජයරත්න , විශේෂඥ ශල්‍ය වෛද්‍ය තිස්ස විජේරත්න, විශේෂඥ වෛද්‍ය එම් මුතුමාල යන  විශේෂඥ වෛද්‍යවරු රෝගීන් අප වෙත යොමු කිරීමෙන් ද දිරිමත් කිරීමෙන් ද අපට සහාය වූහ​.

පශ්චාත් ව්‍යසන   ක්ලමථ අක්‍රමථාවට ලක් වූ නිලධාරීන් කිහිප දෙනෙකුද අප හඳුනා ගත්තෙමු. මින් එක් නිලධාරියෙක් බලවේග යුද මෙහෙයුමේදී යුද ක්ලමථයකට ලක් විය . නමුත් ඔහු එය යටපත් කරමින් දිගින් දිගටම ක්‍රියාන්විතයේ යෙදුනේය​. ඉන් වසර කිහිපයකට පසුව මෙම රෝගී තත්වය ඔහුට දරා ගත නොහැකිව ඔහු අධි තීව්‍ර ක්ලමථ වික්‍රියාවකට (acute stress reaction)  ලක් වූයෙන් අප වෙත යොමු කරන ලදි. එහෙත් ඔහු තමන්ට යුද ආතතියේ ලක්‍ෂණ තිබේ යන්න පිළිගැනීමට අකමැති විය . එසේම සමහර රෝග ලක්‍ෂණ අපගෙන් සැඟවීය​.  අධි තීව්‍ර ක්ලමථ වික්‍රියාව හටගත් මොහොතේ ඔහු ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව දුටු බව ඔහුට කියවුනේය​. මෙය පශ්චාත් වියන ක්ලමථ අක්‍රමථා ප්‍රතිජ්වලනයක් (flashback) බව මම වටහා ගත්තෙමි. එහෙත් තම රෝගී තත්වය පිළිගැනීමට අකමැති වූ ඔහු අප විසින් නියම කල ප්‍රතිකාරද ප්‍රතික්ශේප කලේය​. ඉන් මාස හයකට පසුව යළිත්  පශ්චාත් වියන ක්ලමථ අක්‍රමථා අධි තීව්‍ර  වික්‍රියාවකට ලක් වූයෙන් ඔහුගේ අත් පා ගැට ගසා පලාලි වල සිට අපගේ ප්‍රතිකාර ඒකකයට එවන ලදි. 

යුද ආතතිය නිසා හටගත් පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමථාවය පමණක් නොව සංග්‍රාම විඩාව (Combat Stress) ​, යුද ආතතිය නිසා හටගත් විශාදිය(Depression)  , මනෝ කායික රෝගාබාධ (Somatoform Disorders)  , විඝටන රෝග (Dissociative Disorders)  , මනෝව්‍යාධික (psychotic illnesses)  රෝග ආදියෙන් පෙලුනු සොල්දාදුවන්ට අප ප්‍රතිකාර කලෙමු. මෙම රෝගී අධ්‍යනයන් ගැන මා විසින් ලියන ලද සංග්‍රාමයෙන් පසු (සරසවි ප්‍රකාශකයෝ) කෘතියේ දැක්වේ. එසේම දිවි නසා ගැනීමට යොමුව සිටි සොල්දාදුවන් රැසකගේ ජීවිත අප බේරාගතිමු. 
එසේම 2004 වසරේ සුනාමි ව්‍යසනය නිසා පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමථාවයට ගොදුරුවූ සොල්දාදුවන්ට අප සාර්ථකව ප්‍රතිකාර කලෙමු. ඊට එක් හේතුවක් නම් 2004 පමණ වන විට යුද හමුදා රෝහල් වල සේවය කල වෛද්‍යවරුන්ට පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමථාවය ගැන අවබෝධයක් තිබීමයි. එම නිසා පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමථා ලක්‍ෂණ පෙන්වූ සොල්දාදුවන් බොහෝ දෙනෙකු ප්‍රමාදයකින් තොරව අපගේ ඒකකයට එවන ලදි.  මේ සඳහා විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දුත් මමත් ලංකාවේ විවිධ හමුදා කඳවුරු වල මෙන්ම උතුරුකරයේ හමුදා කඳවුරුවලත් පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමථාවයට යුද ආතතිය ගැන කරන ලද දැනුවත් කිරීම් ඉවහල් වූ බව සිතමි. 

යුද හමුදාවේ සොල්දාදුවන් සහ නිලධාරීන් අතර තිබූ යුද ආතතියට ප්‍රතිකාර කිරීම නිසා අපට ලැබුණු තෑග්ග කුමක් ද කියා යමෙකු අසනු ඇත​. සිදු වූයේ අහේතුවකි. දිනෙන් දින ජනප්‍රිය වන මෙම ඒකකයේ සාර්ථකතාව නොඉවසූ ඉරිසියාව , කුහකකම සහ මෝඩකම ඉහට ගැසූ යුද හමුදා රෝහලේ එක්තරා අණ දෙන නිලධාරියෙකු විසින් මෙකී ප්‍රතිකාර ඒකකයට බොහෝ බාධා පමුණුවා අවසානයේදී එය වසා දමන ලදි. යුද හමුදාවෙන් යාන වාහන බඩියන් ඇතුළු සියළු සැප පහසුකම් ලබා ගන්නා නිලධාරියෙකු ක්‍ෂිතිමය යුද ආතතියට ලක්වූ ගම් වලින් පැමිණි දුප්පත් සොල්දාදුවන් ගේ ප්‍රතිකාර මධ්‍යස්ථානය වසා දමා කුරිරු සතුටක් ලබා ගත්තේ එසේය. නමුත් සායනික අත්දැකීම් බහුල අන්තර්ජාතික අවධානයට ලක්වූ විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු වැන්නෙකුගේ සේවය යුද හමුදාවට අහිමි කිරීම සමස්ථ යුද හමුදාවටම කල ද්‍රෝහී කමක් බව මම කියමි. කෙසේ නමුත් අප විසින් ප්‍රතිකාර කොට සුවපත් කරන ලද සොල්දාදුවන් පිළිබඳ සිහිපත් වන විට විශාල සතුටක් දැනේ. එසේම පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමථාවය ගැන අප විසින් කරන ලද දැණුවත් කිරීම යුද හමුදාව තුල තිබේ. එසේම   වර්තමානයේදී බොහෝ නිලධාරීන්  තම ඒකක වල සොල්දාදුවන් විසින් පෙන්වන ක්ලමථ ලක්‍ෂණ කෙරෙහි පරීක්‍ෂාකාරීය​. එයද අප ලැබූ ජයග්‍රහණයකි. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග

Sunday, March 27, 2016

අරාබි සිසුන්


මා සමග දබර කර ගත් නමුත් පසුව මිතුරු වූ ලෙබනනයේ දියාබ් 


වෛද්‍ය  පීඨයේ අරාබි සිසුන් බොහෝ දෙනෙකු වූහ​. පොදුවේ ඔවුන් ධනවත් ය​. ඉතා හොඳින් ඇඳුම් පැළඳුම් කල අතර තරමක ආඩම්බරකාරයන් ද වූහ​. එක් අරාබි සිසුවෙක් වරක් මට " උඹලාගේ රටේ ගෑණු අපේ රටට ඇවිත් ඩොලර් පනහට අපේ වැසිකිලි හෝදනවා කීවේය​. එසේම තවත් අරාබි සිසුවෙක් උඹලාගේ රටේ කඩ්ඩවත කියලා ටවුමක් තියනවාද කියා ඇසීය​. පසුව බලන විට මෙම සිසුවාගේ නිවසේ  කඩවත ප්‍රදේශයෙන් පැමිණි ගෘහ සේවිකාවක් සිටින බව හෙළි විය​. තවද මා සමග භාෂා පාඨමාලාව එකට කල ජෝර්දානයේ අමායා මා සමග මිතුරු වීමෙන් පසුව ඇය කුඩා කාලයේ ඇයව බලා ගත්තේ ලංකාවේ ආයා කෙනෙකු බව හෙළි කලාය​. අමායා නිතරම කළු වතින් සැරසී සිටි අතර  පසුව කලෙනින් නගරයට ගියාය​. 

බොහෝ අරාබි සිසු සිසුවියන් ශ්‍රී ලාංකික අප හමුවේ ආඩම්බරයෙන් අපව නොතකා හැසුරුනද  ඉතා හොඳ ගති ගුණ තිබූ අරාබීන් ද මට හමුවී තිබේ. ජෝර්දානයේ මන්සූර් තරීෆ් එවැනි පුද්ගලයෙකි. පලස්තීන ජාතිකයෙකු වූ ඔහු ජීවත් වූයේ අම්මාන් නගරයේය​. අප එකම පන්තියේ වීම නිසා මන්සූර් සහ මා අතර මිතුරුදමක් ඇති විය​. එසේම ඔහුගේ මිතුරු ඊබ්‍රහීම් අබුතීනා ද මා සමග මිතුරු විය​.  ඔවුන් දෙදෙනා එක කාමරයක නැවතී සිටියහ​. සමහර විට මා ඔවුන් ගේ කාමරයට ගොස් ඔවුන් සමග ආහාර ගැනීමටද පුරුදුව සිටියෙමි. නිවාඩු කාලයේදී ජෝර්දානයට ගිය මන්සූර් මට අගනා සපත්තු දෙකක් තෑගි ලෙස ගෙන ආ අතර ඊබ්‍රහීම් මට මැරඩෝනාගේ රුව සහිත ට්‍රැක් කිට් එකක් දුන්නේය​. භාෂා පාඨමාලාව අවසන් කිරීමෙන් පසුව ඊබ්‍රහීම් සැපරෝශියා නගරයට ගිය අතර මම මන්සූර් සමග විනිට්සා නගරයේ රැඳුනෙමු. මම සහ මන්සූර් එකට පාඩම් කලෙමු. එසේම සමහර විට එකට ආහාර ගත්තෙමු. 

ලෙබනනයේ දියාබ් උස මහත ශක්තිමත් පුද්ගලයෙකු වූ අතර ගෝරියටද බර විය​. වරක් කැන්ටිමේදී දියාබ් පෝලිම පැනීම නිසා මම දියාබ් ව ඇද ඉවතට ගත්තෙමි. ඒ නිසා දියාබ් මා සමග දබරයට ආ අතර මමද නොබියව ඔහුට පහර දීමට අත මිට මෙලවූයෙමි. සහජයෙන් අරාබින් පහරට පහරක් ගහන පුද්ගලයන් හමුවේ පසුබා යති. එම නිසා දියාබ් පසු බැස්සේය​. මෙම මූලධර්මය ඊශ්‍රායෙලය විසින් අරාබීන් විශයෙහි යොදා ගන්නා බව මට සිතේ. එහෙත් පසු කාලයක දියාබ් සන්සුන් පුද්ගලයෙකු වූ අතර මා සමග මිතුරු විය​. ඔහු රුසියානු යුවතියක් කසාද බැන්දේය​. ඔහු පස් වන වසරේ සිටියදී පියෙකුද විය​. 

ඊජිප්තුවේ සාමෙක් සහීද් කවටයෙකි. ඔහු මට අරාබි බසේ තිබෙන සියළු කුණුහරප ඉගැන්වීය​. ලෙබනනයේ ලුආයි ඇල් ගෝර් මාව දකින විට අරාබි කුණුහරපයක් කියයි. මමද ඔහු කියූ එකට එකක් කියමි. මෙසේ අප දෙදෙනා අරාබි කුණුහරප දෙබසක් ගොඩ නගා ගන්නා අතර ලුආයි සමග සිටින අනෙකුත් අරාබි සිසුන් මහ හඞින් සිනාසෙති. ඊජිප්තුවේ සාමෙක් සහීද් ඉගැන්වූ පද මට තවමත් මතකය​. පසුගිය වසරේ නෝත් යෝර්ක් හි ජෙරුසලම් අවන්හලේදී මට ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන අරාබි සිසුවෙකු හමු විය​. අප දෙදෙනා මිතුරු වීමෙන් පසු මම සාමෙක් සහීද් මට ඉගැන්වූ පද  ගැන ඔහුට කීවෙමි. මා ඒ පද කියනු අසා ඔහු කොක් හඞ නගා සිනාසුනේය​. එසේම මගේ උච්චාරණය රාමල්ලා නගරයේ වැසියන් සිහිපත් කෙරෙන බවද කීවේය​. 

සාමෙක් සහීද් හොඳ අරාබි නැට්ටුවෙකි. එසේම අරාබි බෙලි ඩාන්ස් කරන මොරොක්කෝ සිසුවියක් ද වූවාය​. වරක් උත්සවයකදී සාමෙක් ඇය සමග නැටුවේය​. නැටුම අවසානයේදී අප සාමෙක්ව ඔසවා කරට ගෙන නේවාසිකාගාරය පුරා කෑ ගසමින් ගියෙමු. 

එක් දිනක් මගේ ශීතකරණය ඇරිය විට බිත්තර නොමැති බව වැටහුනි. එම නිසා මම  කාමර දෙක තුනකට එහා සිටි සාමෙක් ගේ කාමරයට ගියෙමි. සාමෙක් නිදා ගෙන සිටි අතර සාමෙක් ගේ මිතුරා ඔහුව ඇහැරවීම සඳහා බෝතලයකින් කටට වතුර ගෙන පුග් ගා සාමෙක් ගේ මුහුණට විද්දේය​. ඒ අතරවාරයේ මම සාමෙක් ගේ ශීතකරණය ඇර බිත්තර පහක් ගත්තෙමි. වතුර මුහුණට වැදීම නිසා නින්දේ සිටි සාමෙක් අසිහියෙන් මෙන් අරාබි වලින් බැනගෙන බැනගෙන ගියේය. මේ විකාරය දුටු මා අතින් බිත්තරයක් බිම වැටී සාමෙක්ගේ අගනා කාපට් එකද ජරා විය​. මට සිනහව නවත්වා ගැනීමට නොහැකි වූ නිසා මම ඉතිරි බිත්තර රැගෙන කාමරයෙන් ඉවතට දිව ගියෙමි. 

යේමනයේ කරීම් අක්මඩ්ට බොහෝ දෙනෙකු අකමැති වූයේ ඔහු අනෙකුත් සිසුන් කෙටවීම නිසාය​. ඔහු ලුආයි ඇල්ගෝර් සමග මිතුරුව සිටි නමුත් ඔහු ලුආයි කුපිත කරවීම මගින් පන්ති වලදී විකාර කලේය​. අනෙකුත් අරාබි සිසුන් කරීම් අක්මඩ් සමග එතරම් මිතුදමක් තිබුනේ නැත​. ඔහුට අවුඩි මෝටර් රථයක් තිබුනේය​. තවද කරීම් ඉතා දීප්තිමත් සිසුවෙකු විය​. ඔහු අපගේ බැච් එකේ ඉහලම ලකුණු ගත් අතර ඒ ගැන ආඩම්බරයෙන් හැසිරුනේය​. නමුත් සෙසු යේමන් ජාතික සිසුන් වන ෆාදෙල් , ඉමාමි මගේ සුහද මිතුරන් වූහ​. 

හතරවන වසරේදී මම සිරියානු සිසුවියක සමග මිතුරු වූයෙමි. ඒ නිසා සමහර අරාබි සිසුන් ගේ රහස් කෝපයටද මම භාජනය වූයෙමි. එහෙත් කිසිවෙකු අපට මුහුණට කිසිම දෙයක් කීමට ආවේ නැත​. එහෙත් පසුව සමහර සිරියානු සිසු සිසුවියන් මා සමග මිත්‍ර වූහ​. ඔවුන් අතරින් මයාදා , රාමි, අහමද් ,යූසුෆ්  මට මතක් වේ. මේ වන විට සිරියානු සිවිල් යුද්දය නිසා ඔවුන් කරදරයේ සිටිනවා විය හැකිය​. 

වරක් මම මොස්කව්හිදී අතරමං වූයෙමි. එය ශීත සමයේ රාත්‍රියක් විය​. අතරමං වී ඉබාගාතයේ ගිය මට ඉරාක සිසුන් දෙදෙනෙකු හමු විය​. ඔවුන් ද මා මෙන් අතරමංව සිටි දෙදෙනෙකි. අප තිදෙනා අඳුරේ පාලු පාරවල් ඔස්සේ ඇවිදගෙන ආවෙමු. ඒ අතරවාරයේ ඔවුන් මා ඉන්දියානුවෙකු යැයි සිතා හින්දි ගීත කිව්වෝය​. බොහෝ වේලාවක් ඒ මේ අත ඇවිදීමෙන් පසුව අප පාක් කුල්තූරි වෙත ලඟා වූයෙමු. පාක් කුල්තූරි හිදී අප වෙන් වූයෙමු. 

මොරොක්කෝවේ හාලිද් හොඳින් ප්‍රන්ස බස කතා කලේය​. එසේම ඔහු ජෝජ් මයිකල් සහ මාක් නොෆ්ලර් ලෝලියෙකි. ඔහුගේ අදහස වූයේ වෛද්‍ය උපාධිය ගැනීමෙන් පසු පැරීසියට යාමයි. මේ වන විට ඔහු ප්‍රන්සයේ ජීව වනවා විය හැකිය​. තවද මොරොක්කෝවේ රශීදා මිත්‍රශීලී සිසුවියකි. ඇය අපගේ පාඩම් කවයටද ආවාය​. 

ටියුනීසියාවේ මොරාද් ශක්තිමත් එසේම කිපෙන සුළු පුද්ගලයෙකි. වරක් හතරවන වසරේදී ඔහුට අඩු ලකුණක් ශල්‍ය වෛද්‍ය විද්‍යාවට ලැබුනු නිසා ඔහු මහාචාර්‍යවරයා සමග එකට එක කියමින් නෝක්කාඩු කීවේය​. පසුව අනෙකුත් සිසුන් විසින් මොරාද්ව ඉවතට ගෙන යන ලදි. 

මම තෙවන වසරේ සිටියදී සිරියානු ජාතික ජන්සීර් මගේ අසල්වාසියා විය​. ඔහු මට වඩා ජ්‍යෙෂ්ඨ සිසුවෙකි. ඔහු මහ හඞින් අරාබි සින්දු වාදනය කල අතර ඔහුගේ ශබ්ද පූජාව අවසන් වීමෙන් පසු මම ඩීප් පර්පල් , වයිට් ස්නේක් , මෙටලිකා , ඒසී ඩීසී සංගීත වාදනය කලෙමි. මගේ සංගීතය හඞින් වැඩි බව ඔහු කීවේය​. ජන්සීර් තම කාමරයේ ඇල්සේෂන් බල්ලෙකු තබාගෙන සිටියේය​. මෙම බල්ලා ගේ නම බරුද් විය​. බරුද් යනු අරාබි බසින් බුලට් යන්නයි. ඔහු බරූද් ව රහසින් අපගේ නානකාමරයේ නාවන බව මට පසක් විය​. එහෙත් මම කිසිවක් නොකීවෙමි. ජන්සීර් ඌරු මස් වලට බියය​. ඌරු මස් වලට අරාබීන් හන්සීර් කීවෝය​. සමහර විට අප ජන්සීර් කුපිත කරනු වස් ඔහුට හන්සීර් කියා කතා කලෙමු. නමුත් කාලයාගේ ඇවෑමත් සමග මන්සූර් තරීෆ් ඇතුළු මගේ අරාබි මිතුරන් ඌරු මසින් සෑදූ සොසේජස් ආදිය මෙන්ම ඌරු තෙලින් බැදගත් අර්තාපල් ද කෑහ​.  එහෙත් ජන්සීර් තමාගෙ තද ස්ථාවරයේම සිටියේය​. 

අරාබි සිසුන් සුන්දර කොටසකි. ඔවුන් ගීත ගායනයට නැටීමට කැමතිය​. ඇතැම් විට අප  අරාබි සිසුන් අනුකරණය කරමින් බර  අඩි තබමින් අරාබි ගීත වලට නැටුවෙමු. ඔවුන් තේ කෝපි බීමට කැමතිය​. කුඩා කෝප්ප වල බොන අරාබි කෝපි මම අතිශයින් ප්‍රිය කලෙමි. එසේම ඔවුන් ගේ ආහාරද රසින් යුක්තය​. කුකුල් මස් ඔවුන් ඉතා රසට උයති. වර්තමානයේ මගේ මිතුරන් අතර අරාබි රටවල විශ්ව විද්‍යාල  ආචාර්‍යවරුද සිටිති.  ඔවුන් මට මැදපෙරදිගට එන්න යැයි කියා ආරාධනා කරති. යම් දිනක අරාබිකරයට යාමට මගේ බලාපොරොත්තුවක් තිබේ. 


 වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Friday, March 25, 2016

මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා ගැන සටහනක්

 


මහාචාර්‍ය කාලෝ ෆොන්සේකාට  පොතක් පිළිගන්වමින් 


මට මුල් වරට මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා මුණ ගැසුනේ 1986 දීය​. ඒ කාලයේ මම උසස් පෙළ විභාගය අවසන් කොට ප්‍රතිඑල එන තෙක් ශ්‍රී ලංකා ගුවන් විදුළි සංස්ථාවේ බාහිර නිෂ්පාදකයෙක් ලෙස සේවය කලෙමි. මේ කාලයේදී මහාචාර්‍ය ලිලී ද සිල්වා , මහාචාර්‍ය ජෝතිය ධීරසේකර යනාදී ධීමතුන් ගේ සහභාගීත්වයෙන් පුනරුප්පත්තිය ගැන වැඩ සටහනක් නිශ්පාදනය කිරීමට මම අත ගැසුවෙමි. මෙම වැඩසටහනට මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා සිටියහොත් වටිනාකම තවත් වැඩි වන බව ඇලෙක් රොබට්සන් මහතා මට කියූ හෙයින් මහාචාර්‍ය කාලෝට ආරාධනා කිරීමට මම කොලඹ වෛද්‍ය පීඨයට ගියෙමි. එතුමා මාව සාදරයෙන් පිළිගත් නමුත් මේ කාලයේදී ජයවර්ධන රජය විසින් මහාචාර්‍ය කාලෝ ෆොන්සේකාට අනියම් මාධ්‍ය තහනමක් දමා තිබූ හෙයින් ඔහුගේ පැමිනීම නිසා අපට කරදරයක් වෙනු ඇතැයි කියා මගේ ඉල්ලීම ප්‍රතික්ශේප කලේය​. 

මට දෙවන වර මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා හමු වන්නේ අඩි 25, 000 පමණ උඩදී ගුවන් යානයකය​. වසර 1989 විය යුතුය​. එතුමා හෙල්සින්කි බලා පියාසර කරමින් සිටි අතර අහම්බයෙන් මෙන් ගුවන් යානාව තුලදී මෙමෙ එතුමාව දුටුවෙමි. එසේම අප සුහද කතා බහක නිරත වූයෙමි. 

මම පුත්තලම් දිස්ත්‍රික් මානසික සෞඛ්‍ය සම්බන්ධීකරණ නිලධාරී ලෙස 2006 දී වැඩ භාර ගැනීමෙන් පසුව මහාචාර්‍ය කාලෝ ෆොන්සේකාව මට නිතරම හමු විය​. එසේම එතුමා අපගේ මානසික සෞඛ්‍ය වැඩසටහන් වලටද නිතරම සහභාගී විය​. 

වරක් සෞඛ්‍ය ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැමිණි වැඩ සටහනකදී ඔහුගේ ආරක්‍ෂක නිලධාරීන් ශාලාවේ සිටි පිරිස එලියට දමා එකිනෙකා වරින් වර ගෙන ඉන ඉහ අතගා බලමින් යළි ශාලාවට දැමූහ​. මේ අතර එලියට දමන ලද පිරිස අතර මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා ද විය​. එතුමාව දැකීමෙන් මට මහත් වේදනාවක් දැනුනු අතර ලංකාවේ පිළිගත් බුද්ධිමතෙක් තව ස්වල්ප වේලාවකින් ආරක්‍ෂක නිලධාරීන් ගේ සම්බාහනයට ලක් වීමට නියමිතව තිබුනේය​. මෙහිදී මම අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ගේ ආරක්‍ෂක නිලධාරීන්ට මහාචාර්‍යවරයා අපහසුතාවට ලක් නොකර ඔහුට ශාලාවට යාමට ඉඩ දෙන්න යැයි උස් හඞින් කීවෙමි. මෙහිදී ආරක්‍ෂක නිලධාරීන් පසුබැස මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා ට ශාලාවට යාමට දුන් අතර ඔවුන් විසින් මාව වැඩිපුර පරික්‍ෂාවට ලක් කරන ලදි.

2008 කාලයේදී මම 1971 කැරැල්ල ගැන විමර්ශනාත්මක ග්‍රන්ථයක් කියමින් සිටියෙමි. එතුමා 1971 කැරැල්ලේ දී වෙඩි වැදුනු කෑගල්ලේ ජුලියට් ගේ ජීවිතය බේරා ගැනීමට කල මැදිහත්වීම ගැන තොරතුරු මට කීවේය​. එසේම මගේ එම පොතට පෙරවදනක් ද දුන්නේය​. 

2009 මැයි මාසයේදී මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා  මා විසින් දියත් කරන ලද මානසික සෞඛ්‍ය වැඩ සටහනක් සඳහා මාදම්පේ පිහිටි පුත්තලම් දිස්ත්‍රික්  සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක කාර්‍යාලයට ආවේය​. වැඩ සටහනෙන් පසු එතුමාත් , මමත් , පුත්තලම් දිස්ත්‍රික්  සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක වෛද්‍ය උදය රණසිංහ මහතාත් , වෛද්‍ය ජයනාත් බුත්පිටියත් දිවා ආහාරය සඳහා මාදම්පේ පිහිටි සංචාරක හෝටලයකට ගියෙමු. එහිදී එතුමා අතීත කතා රැසක් අපට කීය​. මේ කතා අතර කතරගම ගිනි පෑගීමද විය​.  


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Thursday, March 24, 2016

මෝල්ඩේවියාවේ සංචාරය​

 


මෝල්ඩේවියාව හෙවත්  මෝල්ඩේා්වා ජනරජය යුරෝපයේ පිහිටි රටකි. පෙර කාලයේදී මෝල්ඩේවියාව සෝවියට් දේශයට අයත් වූ සමූහාණ්ඩුවක් වූ අතර සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසුව එය නිදහස් රටක් බවට පත් විය​. වර්තමානයේ යුරෝපයේ දුප්පත්ම රට ලෙස සැලකෙන්නේ මෝල්ඩේා්වා ජනරජයයි. 

යූක්‍රයීනය සහ මෝල්ඩේවියාව අසල්වැසියන් වෙති. එහෙත් යූක්‍රයීනයේ මෝල්ඩේා්වා වැසියන් සැලකෙන්නේ මරියන් ලෙසටය​. අප තුම්පනේ මිනිසුන් ගැන කියන කතා වලට සමාන කතා මෝල්ඩේා්වා වැසියන් ගැන යූක්‍රයීන ජාතිකයන් කියති. 

මෝල්ඩේා්වා ජාතිකයන් ගැන කියන ජනප්‍රිය කතාවක් යූක්‍රයීනයේ ඇත​. වරක් එක් මෝල්ඩේා්වා ජාතිකයෙක් රූපාවාහිනියක් ගැනීම සඳහා මොස්කව් හි සුපිරි වෙළඳ සැලකට ගියේය​. ඔහුගේ හිත ගිය රූපාවාහිනියක් පෙන්වා එහි මිල විමසීය​. වෙළඳ සැලේ සේවකයා අපි මෝල්ඩේා්වා ජාතිකයන්ට රූපාවාහිනී නොවිකුනමු යැයි කීය​. මේ හේතුවෙන් පසු දින ඔහු මෝල්ඩේා්වා ජාතික ඇඳුම වෙනුවට  රුසියානු  ජාතික ඇඳුම ඇඳ  වෙළඳ සැලට ගියේය​. පෙර දින දුටු රූපාවාහිනිය  පෙන්වා එහි මිල විමසීය​. වෙළඳ සැලේ සේවකයා යළිත් වරක් අපි මෝල්ඩේා්වා ජාතිකයන්ට රූපාවාහිනී නොවිකුනමු යැයි කීය. 

මින් ඉච්ඡාභංගත්වයට පත් වූ ඔහු පසු දින සහමුලින්ම වෙස් මාරු කරගෙන කටහඞද වෙනස් කර වෙළඳ සැලට ගියේය​. තම සිත් ගත් රූපාවාහිනිය  පෙන්වා එහි මිල විමසීය​. වෙළඳ සැලේ සේවකයා යළිත් වරක් අපි මෝල්ඩේා්වා ජාතිකයන්ට රූපාවාහිනී නොවිකුනමු යැයි කීය. වෙළඳ සැලේ සේවකයා කෙසේ තමන් මෝල්ඩේා්වා ජාතිකයෙකු ලෙස සොයා ගත්තේද කියා ඔහුට විශාල කුතුහලයක් ඇති විය​. ඔහු වෙළඳ සැල වසන තෙක් මහා මාර්ගයේ රැඳී සිට උක්ත වෙළඳ  සේවකයා සේවය හමාර කොට එලියට එත්ම ඔහුගේ අතින් අල්ලාගත්තේය​. නුඹ මම මෝල්ඩේා්වා ජාතිකයෙකු ලෙස හඳුනාගත්තේ කෙසේද කියා ඔහු වෙළඳ  සේවකයා ගෙන් ඇසීය​. වෙළඳ  සේවකයා පිළිතුරු දුන්නේය​; නුඹ ශීතකරණයක් පෙන්වා මේ රූපාවාහිනියේ මිල කීයද කියා ඇසුවේය​. රූපාවාහිනියේත් ශීතකරණයේත් වෙනස නොදන්නා මෝඩයෝ මෝල්ඩේා්වා ජාතිකයෝ ඇර වෙන කව්ද​?

යමෙකු මෝඩ වැඩක්  කල විට උඹ මෝල්දවාන් කෙනෙක් යැයි  කීම යූක්‍රයීන ජාතිකයන් අතර සිරිතකි. එසේම නුඹ  මෝල්දවාන් කෙනෙක් කීමෙන් යූක්‍රයීන ජාතිකයෙකු කුප්පනු හැකිය​. 

මම හොඳින් දැන සිටි මෝල්ඩේා්වා ජාතිකයෙකුගෙන් මේ ගැන මම වරක් ඇසුවෙමි . මේ හක්ලී (යූක්‍රයීන ජාතිකයන්ට කියන සරදම් වචනයකි) එවුන් කියන මෝඩ කතා කියා ඔහු කීවේය​. එසේම මා දැන සිටි ඔල්ගා, සාශා සහ තවත් මෝල්ඩේා්වා ජාතිකයන් දීප්තිමත් පිරිසකි. එසේම වර්තමානයේ කැනඩාවේ පරියේශන වැඩසටහනක සේවය කරන මා හිතවත් නාදියාද මෝල්ඩේා්වා කාන්තාවකි. මම යූක්‍රයීනයේ ජීවත්ව සිටි අයෙකු බව දැනගත් විට නාදියා මඳ සිනා පෑවාය​. එයට හේතුව මම නොදනිමි. ඇතැම් විට මෝල්දාවියාව ගැන යූක්‍රයීනයේ කියන කතා මම  දන්නා බව පසක් වීම නිසා විය හැකිය​. 

මට මොස්කව් වලදී හමු වූ  තරුණ මෝල්ඩේා්වා යුවලක් හරේ ක්‍රිෂ්ණා ආගමික වියාපාරයේ සාමාජිකයෝ වූහ​. ඒ කාලයේ බෝයි ජෝජ් ද හරේ ක්‍රිෂ්ණා ආගමික වියාපාරය වෙනුවෙන් හිසද බූ ගා මොස්කව් පැමිණ සිටි අතර මේ යුවල බෝයි ජෝජ් ගේ ප්‍රසංගයක්ද බැලීමට ගොස් තිබේ. ඔවුන් ගේ  වාසගම මට තවමත් මතකය​. එය " බලිකා"  නම් විය​. ඔල්ගා බලිකා හිංදි භජන් ගීතද දැන සිටියාය​. 

මෝල්ඩේවියාවේ සංචාරය මෝල්ඩේවියා දේශය ගැන මා තුල තිබූ කුකුස සහමුලින්ම දුරු කලේය​. මා මෝල්ඩේවියාවේ සංචාරය කල කාලයේ මෝල්ඩේවියාව සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව තිබුනේය​. මම එහි ගියේ ශීත සමයේ නිසා මෝල්ඩේවියා අගනගරය වූ කිශනෝව් නගරය අඳුරු ගතියකින් යුක්ත විය​. කිශනෝව් නගරය අසලින් යන බාක් නදියද මම දුටිමි. එසේම මම තිරාස්පල් නගරය හරහාද ගියෙමි. 

තිරාස්පල් වලින් දුම්‍රියට නැගි මෝල්දෝවා ජාතිකයන් තිදෙනෙකු සොෆියා රතාරෝ ගේ සිංදු  කැසට් යන්ත්‍රයක ආධාරයෙන් මහ හඞින් වාදනය කරමින්  සිටියෝය​. එය අනෙකුත් මගීන්ට කරදරයක් වූවද මම ඔවුන් ගේ මේ ක්‍රියාව ගැන විමසිලිමත් වූයෙමි. ඔවුන් මා සමග කතා කල අතර මම වෛද්‍ය සිසුවෙකු කී විට " අපොයි අපොයි ඔබට පොත් ගොඩාක් කියවන්න තියනවා නේද? කියා ඇසුවෝය​. එක් මෝල්දේවියානු ජාතිකයෙක් තමන්ට පොත් අරහං බව කීවේය​. ඔවුන් කම්කරුවෝ වූහ​. ඔවුන් සොෆියා රතාරෝ ප්‍රිය කලේ සොෆියා රතාරෝට මෝල්ඩේවියා සම්භවයක් තිබෙන නිසා විය හැකිය​. 

මෝල්ඩේවියා ජාතිකයන් හොඳින් රුසියන් හෝ යූක්‍රයීන බස කතා කරති. එම නිසා භාෂා ගැටළුවක් නොවීය​. මෝල්ඩේවියාව වයින් නිශ්පාදනය සඳහා ලොව පරසිදු වේ. මෝල්ඩේවියාවේ නිශ්පාදනයක් වන බුකෙත් මෝල්දාවීයී යන වයින් වර්ගය එන්නෙ දැකුම්කළු බෝතලයකය​. එසේම එම වයින් ඉතා ප්‍රනීත රසයකින් යුක්තය​. තවද  බුකෙත් මෝල්දාවීයී වයින් මිලෙන් අධිකය​.  

මෝල්ඩේවියාව හෙවත්  මෝල්ඩේා්වා ජනරජය ලස්සන රටකි. එහෙත් ආර්ථික ගැටළු නිසා  මෝල්ඩේා්වා ජනරජය බොහෝ පීඩා විඳියි. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Tuesday, March 22, 2016

ලැට්ටෝ

 

වෛද්‍ය පීඨයේ සිටි ලතින් ඇමරිකානු සිසුන් අප හැඳින්වූයේ ලැට්ටෝ / ලැට්ටන් නමිනි.කෙල්ලෙක් නම් ලැට්ටියෙකි.  සමහරක් ලතින් ඇමරිකානු සිසු සිසුවියන් මට තවමත් මතකය​. ආජේන්ටිනාවේ කාර්ලොස් මට අමතක කල නොහැකි චරිතයකි. ඔහු හොඳින් පාපන්දු ක්‍රීඩාව කලේය​. මම ඔහුගෙන් ජුවන් පෙරෝන් , ඊවා පෙරොන් ගැන ඇසුවෙමි. 

බ්‍රසීලයේ එමලියානෝ සහ ඇන්ගෝලාවේ ෆෑරෑන්ක්ලීන් කතා කරනවා මම අසාගෙන සිටියෙමි. එමලියානෝ බ්‍රසීල පෘතුගීසි කතා කල අතර ෆෑරෑන්ක්ලීන් අප්‍රිකානු උරුවට ඇන්ගෝලා පෘතුගීසි කතා කරයි. එසේම එමලියානෝ කොලොම්බියාවේ පැබ්ලෝ සමග පෘතුගීසි බසින් කතා කරද පැබ්ලෝ පිළිතුරු දෙන්නේ ස්පාඤ්ඤය භාෂාවෙනි. නමුත් ඔවුන් දෙදෙනා එකිනෙකා  තේරුම් ගනිති. 

කොලොම්බියාවේ මර්තා මගේ මතකයට එයි. ඇය මට මුලින්ම හමු වූයේ මොස්කව් හිදීය​. ඇය ප්‍රින්ස් නම් ගායකයාගේ පර්පල් රෙයින් නම් ගීතයට ඇළුම් කළාය​. මෙම ගීතය මට ගායනා කරන ලෙසද ඉල්ලුවාය​. මර්තා පැමිනියේ කොලොම්බියාවේ අග නගරය වන බොගොටා වලිනි. 

අප සමග සිටි රිස්වාන් නම් ලාංකික සිසුවෙක් නිවියා නැමැති කොලොම්බියානු  තරුණිය සමග විවහා වී කොලොම්බියාවට ගියේය​. දැන් ඔහු එහි වසනවා විය යුතුය​. 

බොලිවියාවේ ග්ලෝරියා නර්තනයට උපන් හපන්නියකි. ඇය ෆ්ලෑශ් ඩාන්ස් චිත්‍රපටයේ ගීත වලට පියකරු ලෙස නටන්නීය​. අප කිහිප විටක්ම ටර්මිනල් නම් ඩිස්කෝ අවන්හලට ගියෙමු. නමුත් ටර්මිනල් හි වැඩිපුර වාදනය කලේ රුසියානු ගීත විය​. එම නිසා අප බටහිර ගීත ඩීජේ ගෙන් ඉල්ලා සිටියෙමු. 

චිලී හි ඉසබෙල්ලා සිටියේ මගේ යාබද කාමරයේ ය​. ඇයගේ සැමියා වූ බෘස් ඇන්ගෝලා ජාතිකයෙකි. ඔවුන් ගේ කුඩා ළමයින් වූ වැසිලී සහ ඇලෙක්සී කෑගසමින් කොරිඩෝ‍රයේ දිව යාම නිසා මට පාඩම් කිරීමේදී බධා ඇති විය​. සමහර දින වලදී ඉසබෙල්ලා තම සොහොයුරා ගැන මතක් කර අඬන්නීය​. ඔහු  චිලියේ පිනාචේ ගේ සිර මැදිරියක සිටි අතර ඔහුව නිති පතා වධයට ලක් කරන බව ඇය කීවාය​. මේ වන විට ඉසබෙල්ලා ගේ සොහොයුරා අඩි පහක් පොළව යට සිටිනවා විය යුතුය​. චිලියේ පිනාචේ ගේ සිරගෙදරකින් යමෙක් එලියට ආවේ කලාතුරකිනි. 

ඉක්වදෝරයේ අැල්බා ශරීර ප්‍රමාණයෙන් කුඩාය​. ඇය බංලාදේශයේ හාලිද් ගේ පෙම්වතිය වූවාය​. අැල්බා ශරීර ප්‍රමාණයෙන් කුඩා වූවද වරක්  ගිනියාවේ සිසුවෙකුට කවට කමට නහයට ගැසීම නිසා ඔහුගේ නාසයෙන් ලේ ආවේය​. 

ගයනාවේ බ්‍රයන් උස කඩවසම් සිසුවෙකි. ඔහුට රුසියානු පෙම්වතියක සිටි බව මතකය​. පෙරූ රටෙන් පැමිණි හුවංගෝ අඩක් ඉන්කා ජාතිකයෙකු මෙනි. එසේම පැනමාවේ මැක්ස් තුලද අඩ වශයෙන් රතු ඉන්දියානු ලක්‍ෂණ තිබේ. අප මැක්ස්ව නොරියේගා කියා නම් කලෙමු. නමුත් එම වචනය ඔහුගේ මුහුණට නොකීවෙමු. මැක්ස්ට අවශ්‍ය වූයේ ශල්‍ය වෛද්‍යවරයෙකු වීමටය​. 

වෙනුසිලාවේ ඔස්කාර් මගේ මිතුරෙකි ඔහු මගේ නම නිතර පටලවා ගෙන රුවන් වෙනුවට ජුවාන්  කීවේය​. මෙසේ කාලයක් යන විට ඔහු මට කතා කලේ ජුවාන් කියාය​. ඔස්කාර් අපේ පාඩම් කවයටද ආවේය​. 

කොස්ටාරිකාවේ ලුවිස් අපට වඩා ජ්‍යෙෂ්ඨ වූවද මගේ හොඳ මිතුරෙකි. ඔහු ලඟ අගනා විඩියෝ චිත්‍රපට ගනනාවක් විය​. නිවාඩු කාලයේ ස්වීඩනයට යන ලුවිස් ස්වීඩනයෙන් නවතම ඇමරිකානු චිත්‍රපට ගෙන එයි. 

මෙක්සිකෝවේ රොද්‍රීගස් නිතරම රන් ආබරණ පැළඳ සිටියේ අතීත ඉන්කා රජෙකු සිහි ගන්වමිනි. රොද්‍රීගස් ඉතා විශාල රන් මුද්දක්  පැළඳ සිටි අතර හදිසි අවස්ථාවක එය නකල් ඩස්ටර් එකක් හෙවත් කළාකිරිඥයක් ලෙසටද භාවිතා කල හැකි වූයේය​. 

කැරිබියන් රටක් වන සෙන්ට් ලුසියා  හි සිසුවෙක් වරක් මොස්කව් වලදී මට හමු විය​. ඔහු ක්‍රිකට් ලෝලියෙකි. කියුබානු සිසුන් විශාල පිරිසක් හිමෙල්නීස්කි නගරයේ සිටි අතර ඔවුන් අතරින් අර්තූර්  මට සිහිපත් වේ. අර්තූර් අප්‍රිකානු සම්භවයකින් යුක්තය​. 

නිකරගුවාවේ රමොන් දකින දකින විට මට සිනහ යයි. එකල ලංකාවේ සෑම තාප්පයකම නිකරගුවාවට අත නොතබනු කියා පෝස්ටර් ගසා තිබුණි. මේ පෝස්ටර් ගැසූවන් ද නිකරගුවාව ගැන ලියූ ලියුම්කරුවෝද නිකරගුවාව තිබෙන්නේ කොහේද කියා නොදත් නමුත් නිකරගුවාවට අත නොතබනු කියා ප්‍රතිරාව කළහ​. රමොන් එන විට මම තොල් හපාගෙන සිනහව තද කර ගනිමි. නිකරගුවාවට මම අත නොතබමි. 

පොදුවේ ගත් කල  ලතින් ඇමරිකානුවන් විනෝදයෙන් සිටින නර්තනයට ගායනයට ලැදි සරළ මිනිසුන් කොටසකි. ඔවුන් අතීතය ගැන කම්පා නොවෙති. අනාගතය ගැන බියව තැවි තැවී නොසිටිති. ලැට්ටන් ලැට්ටියන් බොහෝ විට ජීවත් වන්නේ මේ මොහොතේය​. එය ඔවුන් සතුටින් සිටීමේ රහස විය හැක​. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Monday, March 21, 2016

මව් මරා උපන් කුමරා



දරු ප්‍රසූතියෙන් පසු අධික ලේ වහනය වන කාන්තාවක් වාට්ටුවට ඇතුලත් කොට ඇති බව සවස් වරුවක නේවාසික වෛද්‍ය නිලධාරී එෆ් එම් මෙන්ඩිස් මට දැණුම් දුන්නේය​. මම වහාම  වාට්ටුවට ගියෙමි. රෝගියා එවා තිබුනේ දංකොටුව රෝහලෙනි. දරු ප්‍රසූතියෙන් පසු වැදෑමහ ඝර්භාශය  තුල සිරවී තිබේ. එය අත දමා ගැනීමට කරන ලද වෑයමේදී දංකොටුව රෝහලේ වෛද්‍යවරයා අතින් ඝර්භාශය කනපිට හැරී අධික රුධිර වහනය වන්නට පටන් ගෙන ඇත​. 

කාන්තාව මලානිකය​. ඝර්භාශයෙන් තවමත් රුධිරය ගලයි. වහාම මේ කාන්තාවට රුධිර පාරවිළනය කල යුතු බව නේවාසික වෛද්‍ය රාම් මනෝහර්ට පවසා ඔහුව ලේ බැංකුවට පිටත් කලෙමි. ඒ අතරවාරයේදී නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයාට තත්වය දැනුම් දුන්නෙමි. ලේ වහනය නැවැත්වීම සඳහා ඝර්භාශය ඉවත් කරන ශල්‍යකර්මය (Hysterectomy ) කල යුතු බව අපට වැටහුණි. එම නිසා රෝගියා ශල්‍යාගාරයට ගෙන ගියෙමු. ඝර්භාශය ඉවත් කලද රුධිර වහනය සිදු විය​. එයට හේතුව රුධිර කැටි ගැසීමේ ක්‍රියාවලිය බිඳ වැටී Disseminated intravascular coagulation (DIC) නම් තත්වය මතු වීමයි. 

මෙම කාන්තාවට අප නොකඩවා රුධිරය දුන්නෙමු. ඇයට රුධිර පයින්ට් විශාල ප්‍රමානයක් දී අවට රෝහල් වලින් ද ලේ ඉල්ලා ගිලන් රථය යැව්වෙමු. එහෙත් ඇයගේ තත්වය ක්‍රමක් ක්‍රමයෙන් අසාධ්‍ය වූවාය​. සිහිය නොමැතිව සිටි ඇය උදෑසන හතර පමණ වන විට මිය ගියාය​. 

මෙම කාන්තාවගේ මරණයෙන් පසු ඇයගේ ස්වාමි පුරුෂයා තම බිරිඳ ප්‍රසූත කල බිළිඳා ගෙන යාමට අාවේ වයස අවුරුදු පහක් පමණ වන පුතු සමගය​. ඔහු සරමක් ඇඳි වයස තිස් පහක පමණ පුද්ගලයෙකි. අම්මාගේ මරණය ආරංචි වී දෝ කුඩා පුතු ශෝකයෙන් බිම බලාගෙන සිටියේය​. පුරුෂයා බිළිඳාව වඩා ගත්තේය​. ඉන්පසු ඔහු වාට්ටුවෙන් යන්නට ගියේය​. අළුත උපන් මල්ලී තාත්තා වඩා ගෙන යද්දී කුඩා පුතු ඔවුන් පසු පසින් ගියේය​. මෙම දුක්මුසු දර්ශනය දුටු වාට්ටුවේ හෙදියක වූ ගුණපාල මිස් කඳුළු සැලුවාය​. 

මව් මරා උපන් කුමරා මේ වන විට වසර දහ අටක පමණ තරුණයෙකු විය හැකිය​. තම මව පිළිබඳ මතකයක් ඔහුට නැති වූවද මවගේ සුවඳ ඔහුට ඉඳහිට දැනෙනවා විය හැක​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Sunday, March 20, 2016

කෙමරූජ් භීෂණය

කෙමරූජ් භීෂණය

කර්තෘ : වෛද්‍ය රුවන් එම් ජයතුංග 

සරසවි ප්‍රකාශනයකි


ඔබ ව ජීවත් කැරැවීම වාසියක් නො වේ. ඔබ ව විනාශ කිරීම ද අවාසියක් නො වේ.˜  නූතන ශිෂ්ටාචාරය මහා මිනිස් සංහාර තුනක් අත්දැක තිබේ. එකක්, හිට්ලර් විසින් යුදෙව් වැසියන්  හැට ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ඝාතනය කරනු ලැබීම යි. දෙ වැන්න, කාම්බෝජයේ බලයට පත්  පොල්පොට් එම රටේ මුළු ජනගහනයෙන් කාලකට ආසන්න පිරිසක් විනාශ කිරීම යි. තුන් වැන්න,  රුවන්ඩාවේ දී හත් ලක්ෂයක වැසියන් පිරිසක් මාස පහක් වැනි කෙටි කාලයක් ඇතුළත සංහාරයට ලක්  වීම යි.  පළමු ව කී සංහාරය සහ අවසානයේ කී සංහාරය ගැනෙන්නේ ජාතිය, වර්ගය සහ ගෝත්‍රය මුල්  කරගෙන සිදු කළ ම්ලේච්ඡ ක්‍රියාවන්ට ය. කාම්බෝජය හෙවත් කම්පුචියාවේ දී එය සිදු කෙරුණේ,  ජාතියක් වර්ගයක් හෝ ගෝත්‍රයක් වෙනුවෙන් නො ව, ඊට වඩා සංකීර්ණ යුතෝපියානු සමාජ  අභිලාෂයක් වෙනුවෙන් ය. එය හැඳින්වෙන්නේ සමාජයීය යාන්ත්‍රික කළමණාකරණය  යනුවෙනි.  

ලෝකය මේ දක්වා දුර ඇවිත් තිඛෙන්නේ, පුද්ගල මැදිහත්වීම් හරහා සමාජය පරිවර්තනයන්ට  භාජනය වීමේ ප්‍රතිඵලයක් වශයෙනි. එ වැනි පුද්ගල මැදිහත් වීම් බොහෝ විට යොමු වී ඇත්තේ, සමාජ  ප්‍රගතියට යි. එහෙත් කලාතුරකින්, සමාජයක් සහ රටක් ප්‍රපාතයට හෙලීමට ද එ වැනි පුද්ගල  ක්‍රියාකාරකම් දායක වී ඇත. කම්පුචියාවේ දී අප අත්දුටුවේ එ වැන්නකි.  මිනිසා යනු සමාජ සත්වයෙකු නිසා ම, සමාජ ප්‍රගතිය වෙනුවෙන් ඔහු වෙනස් කිරීමේ අභියෝගය  ජයගත යුතු ව ඇත්තේ සමාජ බලවේගවලට ඉහළින් ගොස් යාන්ත්‍රික කළමණාකරණයකට සමාජය යටත්  කිරීමෙන් නො ව. මිනිසා මෙහෙයවන සමාජ බලවේග නිවැරදි ව හඳුනා ගැනීමෙනි. එහෙත් යන්ත්‍රයකින්  නිමැවෙන භාණ්ඩයක් සේ මිනිසුන් වත් සකස් කළ හැකි යැයි පොල්පොට් විශ්වාස කෙළේ ය.  

පොල්පොට් සැළකුණේ මාක්ස්වාදියෙකු වශයෙනි. මාක්ස්ගෙන් පසු බිහි වූ බොහෝ මාක්ස්වාදීන්  ඉතිහාසය වෙනස් කිරීමට යාමේ දී වැටුණු බොරු වළවල් අපමණ ය. එ වැනි පුද්ගලයන් ගේ ඒ  අත්හදාබැලීම් සිදු කෙරුණේ බලයෙන් පිටස්තර ව, හුදෙක් දෘෂ්ටිවාදී තලයක නම්, ඒ මගින් ඇති  කෙරුණු දුර්විපාක බලපෑවේ ඔවුනොවුන්ගේ මතවාදීමය දේශපාලනයට පමණි. එහෙත් එම අත්හදාබැලීමේ දේශපාලනය ක්‍රියත්මක කෙරුණේ රාජ්‍ය බලයක ආවරණය යටතේ නම්, ඒ වෙනුවෙන්  සමාජයකට ගෙවන්නට සිදු වූ වන්දිය අපමණ බව විසි වන සියවසේ ඉතිහාසය පුරා අප අත්දැක තිබේ.  මෙය මාක්ස්වාදීන් ගේ වරදක් මිස මාක්ස්වාදයේ වරදක් නො වේ.  එ සේ හෙයින්, පොල්පොට් සහ මාක්ස්වාදය අතර සම්බන්ධය භයානක ව්‍යාජයකට වැඩි දෙයක් නො  වු බව සැළකිය යුතු ය. උපැස් යුවළක් පැළඳීම, විදේශ භාෂාවක් දැන සිටීම සහ අත්ඔරලෝසුවක් වැනි   සුඛෝපභෝගී භාණ්ඩයකට හිමිකම් කීම මරණ දඩුවම ලැබීමට වරදක් යැයි ගත් දෘෂ්ටිවාදයක් මනෝ  ව්‍යාධියක් වශයෙන් මිස විසි වන සියවසේ කුමන දෘෂ්ටිවාදයක් වශයෙන් වත් ගිණිය නො හේ.  

පසු කලෙක, මහජන අධිකරණය˜ නම් වූ රැවටිලිකාරී නඩු විභාගයකින් ජීවිතාන්තය දක්වා  සිර  දඩුවමකට˜ ලක් වූ පසු පොල්පොට් මෙ සේ කීවේ ය:  —මගේ හෘද සාක්ෂිය පිරිසුදු ය˜.  ඕනෑ ම අපරාධකාරයෙකුට හෘද සාක්ෂියක් තිබිය හැක. එහෙත් ජීවිතයේ අවසාන භාගයේ පවා එය   පිරිසුදු˜ එකකැ යි ඔහු අවංකව ම අදහන්නේ නම්, එයින් ගම්‍ය වන්නේ, මිනිස් නපුර පරාජය කිරීම කෙ  තරම් දුෂ්කර ද යන්න යි.  

විද්‍යාවෙන්, තාක්ෂණයෙන් අසීමිත දියුණුවකට පත් ව ඇති නූතන ශිෂ්ටාචාරය  තව මත් මේ අරගලය ජයග්‍රාහී නිමාවකට පත් කොට නැත. පරිසමාප්ත මිනිසෙකු කිසි දිනෙක  නිර්මාණය නො වනු ඇතත්, පරිසමාප්ත නොමිනිසෙකු බිහි වීම වළක්වාලනු වස්, එ වැන්නන් බිහි කරනු ලබන තත්කාලීන සමාජ බලවේග වටහා ගැනීම නිරන්තර අවශ්‍යතාවයක් බව නො කිවමනා ය. ඉතිහාසය එහි නග්න ස්වරූපයෙන් දැක බලා ගැනීමට සැළැස්වීම තරම් සාර්ථක ක්‍රමවේදයක් මේ  අවබෝධය ලබා ගැනීම සඳහා මෙ තෙක් සොයාගෙන නැත. රුවන් ජයතුංග වෘත්තියෙන්  වෛද්‍යවරයෙකු වුව ද, ඉතිහාසය කෙරෙහි ඔහු දක්වන්නේ අසීමිත භක්තියකි. හෙට දවස වෙනුවෙන් කළ යුතු සූදානමකට අවශ්‍ය අමුද්‍රව්‍ය ඔහු එම ඉතිහාසය පිරික්සා සොයා බලනු පෙනේ. එය ගෞරව  කටයුතු, ප්‍රශංසනීය වෑයමකි. —ඔබ ව ජීවත් කැරැවීම වාසියක් නො වේ. ඔබ ව විනාශ කිරීම ද අවාසියක්  නො වේ˜ යැයි කියන පොල්පොට්ලා ලංකාවේ බිහි නො වනු වස්, රුවන් ජයතුංග ගේ මේ වෑයම  සිංහල පාඨකයන් කෙරෙහි සාධනීය අයුරින් දායක වනු ඇතැ යි උදක් ම අපේක්ෂා කරමි.       

ගාමිණී වියන්ගොඩ







Saturday, March 19, 2016

නවක වදය




කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් නවක සිසුන් නවක වධයට භාජනය කරනු ලැබ තිබීම   නිසා විශ්වවිද්‍යාල ආචාර්‍යවරුන් විසින් ජ්‍යෙෂ්ඨ සිසුන්ට දේශන හා ප්‍රායෝගික පන්ති පරීක්‍ෂණ පැවැත්වීමෙන් වැළකී සිටීම පසුගිය සඳුදා සිට ක්‍රියාත්මක කරනු  ලැබීය​. සෑම වසරකම නවක වධ ක්‍රියාවලිය ගැන අසන්නට ලැබේ. 

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතනයන් හී බොහෝවිට කනිෂ්ඨ සිසුන් වෙත වාචිකව, ලිඛිතව සිදුකරනු ලබන සරදමක්, ශාරීරිකව සිදු කරනු ලබන පරුෂ සැලකීමක් හෝ ඔවුන් තුල මානසික අස්ථාවරත්වය, බිය හා චකිතය ඇතිකරවන සුලු, සාමාන්‍ය අවස්ථාවේදී පුද්ගලයෙකු විසින් සිදුනොකරන්නාවූ ක්‍රියාවන් කිරීමටයැයි සිදු කරනු ලබන බලකිරීමක් නවක වදය අර්ථ දැක්වෙයි. අනෙකුත් රටවල් සමග සැළකීමේදී, ශ්‍රී ලංකාවද ලෝකයේ නවක වදය දරුණු ලෙස මුල් බැසගත් රටක් ලෙස සැළකෙයි.  (රැගිං: හිස්ට්‍රි ඇන්ඩි ඉවොලූෂන්)



පහත දැක්වෙන්නේ නවක වදය පිළිබඳ විවිධ ලියුම්කරුවන් විසින් දක්වන ලද අදහස් වේ   

ශ්‍රී ලංකික විශ්වවිද්‍යාල පිළිබඳව සමහරු අර්ථ කථනය කරන්නේ මුදා නොගත් භුමි ලෙසටය. ලංකාවේ විශ්වවිද්‍යාල අරාජිකය. ලංකික විශ්වවිද්‍යාල වල සෑම වසරකම නවක වදය ලෙසින් බරපතල ලෙස මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කෙරේ. මේවා ගැන මානව හිතවාදීයැයි කියා ගන්නා කලාකාරයන් ඉදිරිගාමීයැයි කියා ගන්නා දේශපාලකයන් අවංක කාර්ය ශුර සහ උගත් යැයි කියා ගන්නා විශ්වවිද්‍යාල බලධාරීන් කථා කරන්නේ නැත. අප පිලි නොගන්නා කටුක සත්‍ය නම් මානව හිමිකම් වලට ගරු කරන, හිංසනය ප්‍රතික්ෂේප කරන උසස් සදාචාරයක් ඇති ලෝකයේ වෙනත් විශ්වවිද්‍යාල වලට සාපේක්ෂව ශ්‍රී ලංකික විශ්වවිද්‍යාල තවමත් පවතින්නේ තිරිසන් මට්ටමකිනි. සමහර විදේශ රටවල සරසවි සිසුන්ට සහ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ට ලංකාවේ විශ්වවිද්‍යාල වල සිදුවන හිංසනයන් අදහා ගත නොහැක. 

පසුගිය කාලයන් පුරා අපගේ විශ්වවිද්‍යාල වල සිදු වූ බරපතල මානුෂික අයිතිවාසිකම් කඩවීම් උසස් සදාචාරයක් ඇති මානව හිමිකම් වලට ගරු කරන අධ්‍යාපනික වශයෙන් උසස් ලෝකයේ වෙනත් විශ්වවිද්‍යාලයක සිදුවූවා නම් එම විශ්ව විද්‍යාල කුලපතිවරුන් සිටින්නේ සිර ගෙවල්වලය. ඒ හිංසනයට නිහඬ ලෙස අනුබල දීම නිසාවෙනි. හිංසනයට නිහඬ ලෙස අනුබල දෙන්නාද අපරාදකරුවෙක් බව මෙවැනි රට වල විශ්ව විද්‍යාල බලධාරින් අවබෝධ කරගෙන සිටියද අපගේ විශ්වවිද්‍යාල බලධාරින් තුල තවමත් එවැනි උසස් චින්තනයක් පහල වී නොමැත. ඊට හේතුව අපගේ විශ්වවිද්‍යාල බලධාරීන්ද ශිෂ්‍ය සමයේදී නවක වදයේ වින්දිතයන් හෝ වදකයන් වී සිටීමය. එම නිසා මෙම බරපතල මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වරදක් සේ දැකීමට ඔවුනට තවමත් හැකියාවක් නොමැත. ශ්‍රී ලංකික විශ්වවිද්‍යාල වාචික, කායික සහ ලිංගික හිංසනයෙන් පිරි පවතී. එවැනි හිංසනයක් නැති බව පවසන්නේ හිංසනය සිසු දේශපාලන අවියක් කරගත් අන්තවාදී සිසු සංවිධාන සහ හිංසනය යට ගසමින් වදකයන්ට උඩ ගෙඩි දෙන විශ්වවිද්‍යාල බලධාරින්ය. 

මේ හිංසනය ඇති වුයේ අද ඊයේ නොවේ. 1960 ගණන් වලදීද මෙම තත්වය ශ්‍රී ලංකික විශ්වවිද්‍යාල විශ්ව විද්‍යාල වල තිබුණි. පේරාදෙණියේ ජයතිලක ශාලාවේ වැසිකිළිවල බඩගෑමට 1963 කණ්ඩායමට ද සිදු වූ බව පැරණි සිසුහු පවසති වර්තමාන විශ්ව විද්‍යාල බලධාරීන්ගෙන් 99% නවක වදය අනුන්ට සිදු කල වධකයන් හෝ නවක වදයට ලක් වූ වින්දිතයන් වෙති. නවක වදය නැති කිරීම සදාචාරාත්මක වශයෙන් ඔවුන්ට අභියෝගයකි. එම නිසා ඔවුන් ලංකාවේ විශ්ව විද්‍යාල වල පවතින අමානුෂික නවක වදය ගැන දරන්නේ උදාසීන පිළිවෙතකි. මේ නිසා ඔවුන් මේ හිංසන නැවැත්වීමට විධිමත් ක්‍රියාමාර්ග අනුගමනය නොකරති. ඔවුන් මෙම ප්‍රශ්නය දකින්නේ විශ්ව විද්‍යාල සමාජයේ සිදුවන සාමාන්‍ය සිද්දීන් ලෙසටය. අපිත් මේවා කෑවා තොපිත් දැන් මේවා කාපිය යන්න මෙම බලධාරීන් බහුතරයකගේ චින්තනය වී තිබේ. එම නිසා ලංකාවේ විශ්ව විද්‍යාල වලින් නවක වදය තුරන් කිරීමට නම් මුලින්ම කල යුත්තේ නවක වදය පිලිබඳ විශ්ව විද්‍යාල බලධාරීන්ගේ සහ ආචාර්ය මණ්ඩලයේ ආකල්ප වෙනස් කිරීමයි.(වාචික, කායික සහ ලිංගික හිංසනයෙන් සපිරි ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල | ඩී. සුගත් රාජපක්ෂ)   

2011 වර්‍ෂයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව එහිදී අති අමානුෂික ලෙස නවක වධයට බඳුන් වූ ශිෂ්‍යයකු වෙනුවෙන් ගොනු කරන ලද නඩු වාර්තාවක කොටසක මෙසේ දැක්වේ : "මෙම අපරාධය සිදුකර ඇත්තේ නූගත්, බුද්ධි මට්‌ටමින් පහත් තලයක සිටින අය නොවේ. පළමු ශ්‍රේණියේ සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ දක්‌වාම මහජනයාගේ මුදලින් අධ්‍යාපනය ලබා තව දුරටත් මහජන මුදලින් අධ්‍යාපනය ලබන උගත් බුද්ධිමත් යෑයි සලකනු ලබන, ඉහළ සමාජ ස්‌ථරයකට ඔසවා තබන ලද පුද්ගලයන් පිරිසක්‌ බව අනාවරණය වෙයි."  

මහා ශිෂ්‍ය සංගමය පවසන්නේ විශ්වවිද්‍යාලවලට නවක සිසුන් පැමිණි පසු එම සිසුන් වර්ග කිරීම අනුගත කිරීම සහ හඳුනා ගැනීම සිදුකරන බවය. එමෙන්ම විශ්වවිද්‍යාලවල සංස්‌කෘතික කාරණාවලට අදාළව ශිෂ්‍යයෝ හඳුනා නොගෙන විශ්වවිද්‍යාල තුළ පැවැත්මක්‌ නැති බව ද ඔවුහු පවසති.  මේ හඳුනා ගැනීම සඳහා සිදු කරන බොහෝ දේ නිසා සිසු සිසුවියන් බොහෝ දෙනකු විශ්වවිද්‍යාල අධ්‍යාපනය අතහැර දැමූ බවත්, සිය දිවි නසාගත් බවත්, ආබාධිත වූ බවත් වර්තමානයේ "ජ්‍යෙෂ්ඨයන්" යෑයි කියන අතීතය අමතක කළ "නවකයන්ට" සිහිපත් කර දෙමු.  මහා ශිෂ්‍ය සංගමය කියන "සංස්‌කෘතික කාරණාවලට" අදාළව 1997 වර්ෂයේදී සෙල්ව විනයාගර් වරප්‍රකාශ් මරා දමන්නේ නවක වධයට ලක්‌ කරමිනි. ඒ අදින් දහනව අවුරුද්දකට ඉහතදීය. එදා කලිසම තෙමා ගන්නා වියෙහි සිටි අද "ජ්‍යෙෂ්ඨයන්" වී සිටින බොහෝදෙනකු ඒ ගැන හිතන්නේවත් නැති බව සහතිකය.  2014 වර්ෂයේදී අඟුණකොළපැලැස්‌සේ ඩී. කේ. නිශාන්ත පේරාදෙණි සරසවි භූමියේදී සිය දිවි නසාගන්නේ ද නවක වධය ඔය කියන තරම් "සංස්‌කෘතික" නොවූ නිසාය. "හඳුනා ගැනීම" එතරම් සොඳුරු නොවූ නිසාය. "වර්ග" කිරීම සහ අනුගත කිරීම මැර පන්නයේ එකක්‌ වූ නිසාය. ශිෂ්‍ය සංගමය සඳහන් කරන "විශ්වවිද්‍යාල ඇතුළේ සංස්‌කෘතික කාරණාවලට" නිරුවත් කර ලිංගික වධ හිංසා පැමිණවීම අදාළ දැයි මේ ජ්‍යෙෂ්ඨයන් ඉතාම ඉක්‌මනින් වරප්‍රකාශ් සිසුවාගේ යුගයේ aජ්‍යෙෂ්ඨ මැරයන්ගෙන් අසා දැනගත යුතුය. අපට අසන්නට ඇත්තේ, මේ තිරිසන් සංස්‌කෘතික කාරණාවලට විශ්වවිද්‍යාල ආචාර්යවරු එරෙහිවීම තර්ජනය කිරීමට තරම් හේතුවේද යන්න පමණකි (දිවයින පුවත්පත )   


නවකයන්ට කුණුහර්ප කීම (වාචික, කායික සහ ලිංගික හිංසනයෙන් සපිරි ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල | ඩී. සුගත් රාජපක්ෂ)   

ලංකාවේ සෑම විශ්ව විද්‍යාලයකම නවකයන්ට ජේෂ්ඨයන් විසින් කුනුහර්පයෙන් බැනීම, අසභ්‍ය වචන කීම, තර්ජනය කිරීම කරන බව වගකීමෙන් සහ අවදාරණයෙන් යුතුව අප ප්‍රකාශ කරමු. මෙය අසත්‍යක් නම් ඕනෑම කෙනෙකුට මෙම ප්‍රකාශය අභියෝගයට ලක් කල හැකිය. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබූ සහ ජේෂ්ඨයන් ගෙන් කුණුහර්ප නොඇසූ මහත්මයෙකු හෝ මහත්මියක සිටි නම් කරුණාකර ඉදිරිපත් වන්න. මෙම කුණුහර්ප කීමේ සම්ප්රදාය දැනට අවුරුදු 30 අධික කාලයක් පුරා ලංකාවේ විශ්ව විද්‍යාල වල ස්ථාපිත වී තිබේ. මෙය ලංකාවේ විශ්ව විද්‍යාල බලධාරීන්ගේ අවදානයටවත් ලක් නොවන කරුණකි. හේතුව ඔවුන්ද නවකයන් ලෙස කුණුහර්ප හා තර්ජන අසා ජේෂ්ඨයන් ලෙස නවකයන්ට කුණුහර්ප කියා තර්ජනය කල අතීතයකට හිමිකම් කීමය. ඒ නිසා මෙය බරපතල වරදක් ලෙස ඔවුන් නොදකිති.  උසස් සදාචාරයක් සහ අධ්‍යාපනික සංස්කෘතියක් ඇති ලෝකයේ වෙනත් විශ්වවිද්යාලයක සරසවි සිසුවෙකු විසින් තවත් සිසුවෙකුට අසභ්‍ය වචනයෙන් බැන වැදීම , තර්ජනය කිරීම වැටෙන්නේ අපරාද හෙවත් ක්‍රිමිනල් වර්ගයේ වරදකටය. සංවර්ධිත අධ්‍යාපන සංස්කෘතියක් ඇති පිටරට විශ්ව විද්‍යාලයකට අඩියක් තබා ඇති ඕනෑම ලාංකිකයෙක් එය දනියි. එවැනි ක්‍රියාවක් කල තැනත්තාට එරෙහිව පොලිසියට හෝ අධිකරණයට යාමට පහසුකම් තිබේ. සරසවි බලධාරීන්ද මෙවැනි වර්ගයේ සුළු අපරාදයක් වුවද යට නොගසා නිතිය ක්‍රියාත්මක කරති. නමුත් තවමත් එවැනි අන්දමේ උච්ඡ අධ්‍යාපනික සහ සංස්කෘතික මට්ටමක් නැති ශ්‍රී ලංකික විශ්ව විද්‍යාල වල කුනුහර්පයෙන් බැනීම, අසභ්‍ය වචන කීම, තර්ජනය කිරීම සාමාන්‍ය සිදුවීම්ය. ජේෂ්ඨයෙකු විසින් තමන්ට ශාරීරික හිංසනයක් , ලිංගික අපරාදයක් නොකොට කුනුහර්පයෙන් බැනීම ශ්‍රී ලංකික විශ්ව විශ්ව විද්‍යාලයට ඇතුළුවන නවකයා සලකන්නේ වාසනාවක් හැටියටය. නවක වදයෙන් ලත් බේරීමක් ලෙසටය. මෙවැනි පුළුල්ව පැතිරී ගිය වාචික හිංසනයක් ඇති ග්‍රී ලංකික විශ්ව විද්‍යාල ජගත් විශ්ව විද්‍යාල මට්ටමෙන් කොතරම් පහත් ද සහ කොපමණ තිරිසන් මට්ටමක තිබෙන්නේද යන්න අවබෝධ කර ගත හැක්කේ සංවර්ධිත රටක විශ්ව විද්‍යාලයකට අඩිය තැබූ ලාංකිකයෙකුට පමණි. එවැනි අත්දැකීමක් නොලද , බාහිර ලෝකය ගැන අවබෝධයක් නොමැති ලංකික සරසවි සිසුවා තමා අධ්‍යාපනය ලබන්නේ මඩ ගොහොරුවක බව නොදැනීම කෙතරම් අභාග්‍ය සම්පන්නද ?  

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී දී කුණුහර්ප අත්දැකීමකට මුහුණ දුන් සිසුවියක් මෙසේ පවසන්නීය. (උපුටා ගැනීම නවක වදයෙන් තොර සරසවි දිවිය)  එදින සඳුදාවකි. රැග් නොවන මාගේ මිතුරියන් 5-10ක් පමණ හා එක් මිතුරෙක් විශ්ව විද්‍යාලයට පැමිණියේ එදා විශේෂ ප්‍රවේශය යටතේ සිසුන් ඇතුළත් කරගන්නා දිනය වූ බැවින්ම පමණක් නොවේ, දෙවන වර උසස් පෙළට මුහුණ දී සරසවි වරම් ලබා ගත් අපගේ මිතුරු මිතුරියන් බොහෝ දෙනෙක්ද එදා පැමිණීමට නියමිතව තිබූ බැවිනි. උසස් පෙළ උපකාරක පන්තියකදී මුණ ගැසුනු මිතුරියක මට අවුරුදු දෙකකට පමණ පසුව මුණ ගැසුණි.අවුරුදු ගණනකට පසුව ඇයගේ මව හා පියාද මුණ ගැසුණු නිසා සුහදව ඔවුන් සමග කතා කලෙමි.ටික වේලාකින් මාගේ මිතුරියන් දෙදෙනෙක්ද එතැනට පැමිණි නිසා දෙමාපියන් මඳකට ඉවතට ගියේ අපට ඕනෑ දෙයක් ඕනෑ ආකාරයකට කතා කරගැනීමට නිදහස ලබා දෙමිනි.විනාඩි දහයක් ගතවන්නට ඉඩ ලැබුනේ නැත. දෙවන වසර සිසු සිසුවියන් පිරිසක් රුදුරු ඇස් දල්වා අප වටකරගත්හ. ඇඟේ මයිල් කෙලින් වූයේ ඔවුන් ගේ හැටි දන්නා නිසාවෙනි. එනපොට හොඳ නැති බව තේරුණු නිසා නවක සිසුවියගේ දෙමාපියන් නැවත අප අසලට කැඳවා ඔවුන්ට නිවෙස් බලා යෑමට කීවෙමු. ඔවුන් විශ්ව විද්‍යාලයෙන් පිට වන තුරු එක්තරා ශිෂ්ය කණ්ඩායමක් ඔවුන් පසුපසින් පැමිණි බව පසු දිනක ඈ මට පැවසීය. සමහර විට ඒ ඇය නැවතත් රැග් නොවන සිසු සිසුවියන් සමඟ කතා කරනවාද යන්න නිරීක්ෂණය කිරීමට විය හැක.  නවක සිසුවිය පිටවී ගිය පසු මගේ මිතුරෙක් මා සිටි තැනට පැමිණියේ ඒ වනවිට මා වටකරගෙන සිටි සිසු සිසුවියන්ගේ මුහුණු වල හැගීම් එතරම් දරුණු වූ නිසාවෙනි.ඔහු සමඟ මා එම සිසු සිසුවියන්ගෙන් ඈතට ආවෙමි. එසේ පැමිනෙණ විට විට එක් ශිෂ්යාවක් "ආ දැන් වැඩේ හරි කියලද හිතං ඉන්නේ" යැයි ඇසුවේ මන්ද කියා මට තාම සිතාගත නොහැක. මා කලේ මාගේ මිතුරියක් සමඟ කතා කිරීම පමණක් බැවින් ගත හැකි එකම තීරණය නම් නවක සිසුන් සමග කතා කිරීම ඇන්ටි- රැග් සිසු සිසුවියන්ට තහනම් බවයි.නමුත් එසේ නීතියක් නම් විශ්ව විද්‍යාලීය නීති පද්ධතියේ මා දන්නා තරමින් ඇතුලත් වී නොමැත. ටික වේලාවක් ගතවන විට ටිකින් ටික අප සිටි තැනට පෙර මා වට කරගත් සිසු සිසුවියන් පිරිස ළංවිය.අප ඔවුන්ව නොසළකා සිටින බව වැටහුණු විට ඔවුන් කලේ අපගේ අවධානය ඔවුන් වෙත යොමු කරගැනීමට කුණුහරුප යොදා ගැනීමයි.අමුතිත්ත කුණුහරුප කීවද අප ඒවා එක් කණකින් අසා අනික් කණින් පිටකිරීම ඔවුන්ට දරාගත නොහැකි බව පසක් වුයේ ඉන්පසු එක් එක් සිසුවියට පෞද්ගලිකව අපහාස කිරීමෙනි. 

 රූමත් සිසුවියෙක් දෙස බැලූ එක් ජේෂ්ඨ උතුමකු "උඹේ හම සුදු වුනාට වැඩක් නෑ තන් පොඩියි. උඹලාගේ කොල්ලෝ දන්නේ නෑ ඕවා ලොකු කරල හදලා ගන්න. වරෙන් අපි හදලා දෙන්නම්" යැවි පැවසීම කෙතරම් උත්තම කමක්දැයි තෝරා බේරා ගැනීම කියවන ඔබට භාර කරමි.එසේම "උඹලා අරූට විතරක් පෙන්නනවා නම් අපි බැලුවාම මොකද" කියා අප ඉදගෙන සිටින විට අපට පිටිපසින් පැමිණ සිටගෙන අපගේ පපු ප්‍රදේශය දෙස බලන උතුමන් සමග පෙම් සබදතාවක් ආරම්භ කිරීම පිලිබඳව දෙවරක් සිතා බලන මෙන් ආදරණීය සහෝදරියන්ගෙන් ඉල්ලා සිටිමි. සිසුවන් මෙසේ අපට අපහාස කරද්දී සිසුවියන් අප සමග සිටි මිතුරාටද මෙසේ අපහාස කර ඇති බැව් දැන ගත්තෙමි. ඔහුට එම උත්තමාවියන් පැවසූ වදන් බ්ලොග් සටහනේ යෙදීමට කෙසේවත් සුදුසු නොවන නිසා නොලියමි.  සියලුම කුණුහරුප පවසා අවසාන වන තුරු නිශ්ශබ්දව සිටි ඔවුන් අපෙන් ඇසූ ඊලඟ ප්‍රශ්නය  "උඹලට අපි කියපුවා තේරුනාද?" අපගේ පිළිතුර "නිශ්ශ්බ්ද තාවය" නිශ්ශබ්දතාවයට ඔවුන්ගේ පිළිතුර "මුන් මේවා දන්නේ නෑ මචං. අපිවත් කියලා දෙමු" ඉන්පසු ආරම්හ වූයේ කුනුහරුප කියා දීමේ පන්තියකි   යකෝ, **** කියන්නේ කොල්ලොන්ට තියන එකට, ***** කියන්නේ කෙල්ලොන්ට තියන එකට. ***** කියන්නේ ******ක ******කට දාන එක. එයින් නොනැවතී තම ඇඟිලි පාවිච්චි කරමින් අදාල කටයුතු සිදුකරන ආකාරයද පැහැදිලි කිරීමට තරම් පරාර්ථකාමී මේ උතුමන් ඉදිරියේ තව දුරටත් රැදී සිටීම නුවණට හුරු නැති නිසා,මුවින් නොබැන සරසවියෙන් පිටවීමට සුදානම් වීමු.   


කොළඹ විශ්වවිද්‍යාලයේදී නවකයන්ට සිදු කල ලිංගික හිංසන ගැන අනෝමා ජනාදරී .........

පුනරුක්ති නම් තම ස්වයං චරිතාපදානයේ කොළඹ විශ්වවිද්‍යාලයේදී නවක සිසුවියන්ට මුහුණ දීමට සිදු වූ ලිංගික හිංසන පිළිබඳව අනෝමා ජනාදරී හෙලිකරන්නීය. මෙම ලිංගික හිංසන අතර සිසුවියන්ට අසභ්‍ය වචනයෙන් ආමන්ත්‍රණය කිරීම, කුණුහරප කීමට බල කිරීම , කුණුහර්ප පදවැල් ඇති ගීත ගැයීමට බල කිරීම මෙන්ම සිසුවියන්ට වතුර ගසා ඇඟට ඇලුණු ඔවුන්ගේ වස්ත්‍ර දෙස කාමුකව බැලීම සිදු කොට තිබේ. (මෙවැනි ලිංගික හිංසන තවමත් කොළඹ විශ්වවිද්‍යාලයේදී සිදුවේ) නවක වද අවසන් අදියරේදී පැවති ෆ්රෙෂස් නයිට් සාදයේදී එවකට කොළඹ විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ සිසුවෙකු වූ කහවත්ත නොහොබිනා අන්දමට ලිංගික බලපෑම් කල අයුරු ගැනද අනෝමා ජනාදරී පවසයි. මෙම කහවත්ත නම් පුද්ගලයා අනෝමාගේ අත බලෙන් ගෙන ඔහුගේ රහසඟ උඩ තබාගැනීමට තැත් කොට තිබේ. 1980 දශකයේ කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ සහ ඝාතනය කරන ලද දයා පතිරණ ගේ සමකාලිනයෙකු වූ කහවත්ත දැන් රජයේ දෙපාර්තමේන්තුවක උසස් නිලයක් දරයි. මෙවැනි පුද්ගලයෙකු අද ලංකාවේ විශ්ව විද්‍යාලයක සේවය කලේ නම් ඔහු නවක වදය නැවැත්වීමට ක්‍රියා කරයිද ? ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල වල කථිකාචාර්යවරු , අංශ ප්‍රධානින් ලෙස සේවය කරන බහුතරයක් කහවත්ත වැනි අතීත කියාකලප තිබූ පුද්ගලයන්ය. එම නිසා ඔවුන් නවක වදය නැවැත්වීමට පෙරට නොඑති.  


කොළඹ විශ්වවිද්‍යාලයේ නවකයන්ට මිනිස් අසුචි සහ කුණු මස් දියර බකට් කල අයුරු 


 කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යනය ලැබූ සිසුවෙකු හෙළි කල පරිදි නවකයන්ට බකට් කිරීම සඳහා ජේෂ්ඨ සිසුන් විසින් කොළඹ රීඩ් මාවතේ පිහිටි රහිමා හෝටලයේ කුස්සියට ගොස් ඉවත් කරන ලද කුකුල් මස් හම් කෑලි ඉවත ලූ බත් ගෙන ආවේය. මේවා විශාල බැරල් එකකට දමා වතුරද එකතු කොට පල් කරන ලදී. දින දෙකකට පමණ පසු මෙම බැරල් එකේ වතුර වලින් දුර්ගන්දයක් හමන්නට විය. එක් ජේෂ්ඨ සිසුවෙකු එයට මළපහ කළේය. ඉන්පසු එය කිව නොහැකි තරම් දුගඳ විය. පසුව මේ කුණු දියරය ප්ලාස්ටික් භාජන වලට දමා නවක සිසු සිසුවියන් බකට් කරන ලදී. දුර්ගන්දය සහිත දියර ශරීරයට වැදීම නිසා ඔවුන්ගේ ඇඳුම පවා යලි භාවිතා කල නොහැකි තත්වයට පත් විය. එක සිසුවියක් සැරසී සිටියේ ඇයගේ බෝඩිමේ අයිතිකරියගෙන් ඉල්ලාගත් සාරියකිනි. එම සාරිය කුණුවී ගිය මස් කැබලි සහ අසූචි වැදී කළු වර්ණ විය. එම සිසුවිය බොහොවෙලාවක් යනතුරු කඳුළු සැලුවාය. මෙම සිද්දිය හෙළි කල සිසුවා වර්තමානයේදී ඇමරිකා එක්සත් ජනපදයේ තම ආචාර්ය උපාධියට ඉගෙනුම ලබයි. ඔහු පවසන පරිදි මෙවැනි සිදුවීමක් ඇමරිකාවේ විශ්ව විද්‍යාලයක සිදු වුයේ නම් එවැනි අමානුෂික ක්‍රියාවක් සිදු කල සිසුන් නවතින්නේ හිර ගෙදරය. (වාචික, කායික සහ ලිංගික හිංසනයෙන් සපිරි ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල | ඩී. සුගත් රාජපක්ෂ)  


 රුහුණු සරසවිය  

රුහුණ සරසවියේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ පළමු වසරේ සිසුවියක වූ වත්සලා කුමුදුනි ද සිල්වා රුහුණු සරසවියේදී දරුණු නවක වදයට පත්‍ර වුවාය. ජේෂ්ඨයන් විසින් ඇයට කුණුහරුප 10 ක් කටපාඩම් කොට ඒවා පාඩම් දීමට බල කළහ. ඉන් පසුව පසුව ඇයව නවකයන්ගේ පෝලිමකට දමා ඉස්සරහටත් පසුපසටත් තෙරපන ලදී. මේ හේතුවෙන් වත්සලා කුමුදුනිගේ තුනටිය බිඳී සිහිසුන් වුවාය. මෙම සිසුවිය සිහිසුන්වීමෙන් අනතුරුව සිද්ධියට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ සිසුන් අසත්‍ය ප්‍රකාශ කරමින් වත්සලා කුමුදුනි ද සිල්වා පඩි පෙළකින් ඇද වැටී අනතුරකට පත් අයෙකු ලෙස පෙන්වා දෙමින් රෝහල් ගත කර ඇත. ඇයගේ තුනටියේ වේදනාව තවමත් සුව නැත. රුහුණු සරසවියේ අමානුෂික නවක වදය නිසා 1993 වසරේ චමින්ද පුන්චිහේවා යන සිසුවා මිය යන ලදී. 1997 වසරේ ද නවක වදය නිසා රුහුණු සරසවියේ සිසුවියක් දිවි නසා ගත්තාය. ජේෂ්ඨයන් විසින් මෙම සිසුවිය ලිංගික හිංසනයට ලක් කොට තිබූ බව පසුව හෙළි විය.  

ලංකාවේ වෛද්‍ය පීඨ වල පවතින නවක වදය  

ශ්රී ලංකාවේ වෛද්‍ය පීඨ වලද අති දරුණු අන්දමින් නවක වදය ක්‍රියාත්මක වේ. නිරුවත් කරවීම, අසභ්‍ය ඉරියව් අනුකරණයට බල කිරීම, සිසුවියන්ට කුණුහර්ප කීමට බල කිරීම , අසභ්‍ය කතා සහ සින්දු ලියා දී ඒවා සමුහය ඉදිරියේදී කියවීමට බල කිරීම, බලහත්කාරයෙන් වියායාම කරවීම බොහෝවිට සිදු වේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිළධාරී දොස්තර ශාන්ත හෙට්ටිආරච්චි පවසන අන්දමට (උපුටා ගැනීම ලක්බිම පුවත්පත) කොළඹ වෛද්‍ය පීඨයේ 1978 වසරේදී දී වෛද්‍ය සිසුන් නැවතී සිටි ජීවක නේවාසිකාගාරයේ නවක සිසුන් සම්පුර්ණයෙන්ම නිරුවත් කොට පිරිමින්ගේ ලිංගේන්ද්රියෙහි පෙර සම ඉවත් කිරීමේ සැත්කම බොරුවට රඟ දක්වා තිබේ. මෙවැනි නිරුවත් කිරීම් ලංකාවේ වෛද්‍ය පීඨ වල සෑම වසරකම සිදු වන බව කොළඹ වෛද්‍ය පීඨයේ ජේෂ්ඨ වෛද්යවරයෙකු අප සමග පැවසිය. වැඩි දුරටත් කරුණු දැක්වූ ඔහු 2004 වසරේදී කොළඹ වෛද්ය පීඨයේ නවක වද සමයේදී නවකයන්ට මතක ශක්තිය වැඩි කිරීමට කියමින් ජේෂ්ඨ සිසුවෙකු විසින් හස්ත ක්‍රමයෙන් මෝචනය කරන ලද ශුක්‍රානු කහට තේ වලට දමා බීමට බළ කල බව හෙළි කරයි. මෙම ශුක්‍රානු මුසු කහට තේ සිසුවියන් අප්‍රසාදයෙන් බොන විට ඔවුන් නවක වදයට ලක් කල ජේෂ්ඨ සිසුන් කොක් හඬ නගමින් සිනාසී තිබේ.(වාචික, කායික සහ ලිංගික හිංසනයෙන් සපිරි ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල | ඩී. සුගත් රාජපක්ෂ)    



රූපා රත්නසීලි මෙනෙවිය 

පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ   ප්‍රකටම සහ කෘරතම ගොදුර උනේ රූපා රත්නසීලි මෙනෙවියයි. නමුත් ඇය නවක වදයේ ගොදුරක් ලෙසටයි සිසුන් සහ විශ්ව විද්‍යාල බලධාරීන් ලෝකෙට පෙන්නුවේ. නමුත් සත්‍ය ඒක නොවේ. විශාල බොරුවකින් ඇත්ත වහ ගත්තා. අද උනත් බහුතරයක් විශ්වාස කරන්නේ රූපා රත්නසීලි රැග් එකට බය වෙලා උඩින් පැන්නා කියලා. එතන උනේ රැග් එකක් නෙවෙයි ලිංගික හිංසනයක්. ඇයට හිරිහැර අතවර කරන්න ආපු ඇයගේ බැචාලා බැචිලා මේ සත්‍ය දන්නවා. නමුත් ඔවුන් අද පවා මේ ගැන වචනයක් කතා කරන්නේ නැහැ. මේ සිද්දිය දැක්ක අය ඉන්නවා මම ඒ අයගෙන් ඉල්ලීමක් කරනවා දැන්වත් මාධ්‍යට ඇවිල්ලා එදා සිදුවූ දේ පිලිබඳ සත්‍ය රටට කියන්න කියලා. නැත්නම් මේ සිද්ධියට සම්බන්ද නොවී සිද්ධිය දැකපු එහෙත් නිහඬතාවය රකින අය පවා රූපාගේ ජිවිතයට වග කියන්න ඕනේ. ඔවුනුත් අපරාධකරුවන්.  රූපා රත්නසීලි පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයට එන්නේ 1975 වර්ෂයේ. රූපා ගේ ගම කරන්දෙණිය, මහඒදණ්ඩේ. ඇය ලැජ්ජා බය ඇතුව හැදුණු ගැමි යුවතියක්. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයට ඇතුළු රූපාට රාමනාදන් නේවාසිකාගාරයේ නවාතැන් ලැබුණා. ඒ කාලේ පවා ලිංගික හිංසනය පේරාදෙණියේ තිබුනා. දවසක් නවක වදය කියා ජ්‍යෙෂ්ඨ සිසුවියන් පිරිසක් පෑන් අරගෙන ඇයගේ කාමරයට කඩා වැදුනා. මේ පෑන් ඔවුන් නවක සිසුවියන්ගේ යෝනි මාර්ගයට ඇතුල් කරනවා. මේ ලිංගික හිංසනයට බය වූ රූපා රත්නසීලි රාමනාදන් ශාලාවේ උඩුමහලෙන් බිමට පැන්නා. ඒ නිසා ඇයගේ කොන්ද කැඩී සදාකාලික අබ්බගාත වුණා. ඉන්පසු රූපා ජිවත් වුනේ රෝද පුටුවක. දිවි රැක ගත්තේ රෙදි වියලා. ඇයගේ තරුණ ජීවිතය පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ ලිංගික හිංසක පිරිසක් නිරපරාදේ විනාශ කළා. මේ මානසික පීඩනය නිසා 1997 දී රූපා රත්නසීලි මෙනෙවිය රෝද පුටුව පිටින් ලිඳට පැනලා දිවි නසා ගත්තා. රූපා රත්නසීලිට ලිංගික හිංසන කරන්න ආපු අය අද මහාචාර්යවරියන් , සමහරු විදුහල්පතිනියන් , සමහරු ආයතන ප්‍රධානීන් , ඔවුන් අද පිරුවට වගේ ජීවිත ගත කරනවා. සදාචාරය සංස්කෘතිය ගැන පුවත් පත් වලින් ගුවන් විදුලියෙන් රූපවාහිනියෙන් කතා කරනවා. නමුත් රූපා රත්නසීලි මෙනෙවියට කරපු අපරාධයට ඔවුන්ට කවදා හෝ වන්දි ගෙවන්න සිදුවෙනවා. මේ අපරාදය ඔවුන්ට නැතිනම් ඔවුන්ගේ දරුවන්ට හෝ සහගහවී.  

ලංකාවේ විශ්ව විද්‍යාලවල ලිංගික අසහනය හරියට තියනවා. මේ විශ්ව විද්‍යාල අර්බුධ වල මූලය තියෙන්නේ මේ ලිංගික අසහනය තුල. මේක ආණ්ඩුවටවත් උප කුලපතිටවත් , උසස් අධ්‍යාපන ඇමතිටවත් තේරෙන්නේ නැහැ. බරවා පයට වගේ වෙන ප්‍රතිකර්ම කරනවා. මේ ලිංගික අසහනය වැඩි කලා පීඨ වල තමයි. කලා පීඨ වල ඉගන ගන්නේ සාහිත්‍ය වගේ සිත නිවන විෂයන්. ඒත් ළමයි ඒ විෂයන් හදාරලා නිවීමක් ලබලා නැහැ. (පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අදිසි විපරිණාමය | ඩී. සුගත් රාජපක්ෂ)  

නවක වද සමාජවාදීන් කතා කරන්නේ යුක්තිය ගැනය.අඳින්නේ රතු කමිසය.විරෝධතා දැක්වීම එකය. නවක සිසුන්ට වද දීම දෙකය.ඉගනීමට තුන්වන තැනය  මේ ටික ලියන්නට සිතුනේ කැලණිය විශ්ව විද්‍යාලයේ ආචාරයවරු දෙවන තුන්වන සහ හතරවන වසරවල සිසුන්ට අද සිට නැවත තීරණයක් ගන්නා තුරු ඉගැන්වීම නතර කිරීමට තීරණයක් ගෙන තිබෙන නිසාය.එයට හේතුව වී තිබෙන්නේ නොනවත්වාම නවක සිසුන්ට වද දීමත් නවක වදය නැවත්වීමට උත්සාහ කරන ආචාර්ය වරුන්ට තර්ජනය කිරීමත් නිසාය. විශ්ව විද්‍යාලවල ශිෂ්‍ය සංගමවල නායකත්වය දරන්නේ එක්කෝ පෙරටුගාමින්ය නැත්තම් ජවිපෙය.නවක සිසුන්ව තම දේශපාලන මතයන්ට නම්මවා ගැනීම මේ නවක වද දුෂ්ට ව්‍යාපෘතියේ අවසන් අරමුණය. නවක සිසුන්ට මාස කීපයක් යනතුරු ජෙෂ්ට සිසුන් නම් කරන ලද ඇඳුමක් ඇඳීමට සිදුවී තිබේ. ඉංග්‍රීසි කතා කිරීම තහනම්ය. දේශන ඇතත් නැතත් උදේ සිට හැන්දෑ වෙන තුර සරසවි භූමියෙන් පිටවීම තහනම්ය. .එම කාලය තුල ගැහැණු පිරිමි සහ භික්ෂු සිසුන්ට මුහුණදීම සිදුවන කායික සහ මානසික වද වේදනා නිමක් නැත.ඇතැම් විට එම වද දීම් අසභ්‍ය ක්‍රියා දක්වා දික්වේ. පුබුදු ජාගොඩලාට සහ, අනුර කුමාරලාට මේ නවකවදය නැවත්විය හැක. මන්ද වදකයෝ වනාහී ඔවුන්ගේ සහෝදරයෝ නිසාය. එහෙත් ඔවුන් එය නොකරන්නේ විශ්ව විද්‍යාල තුල තම අධිකාරිය පවත්වාගෙන යා හැකි එකම මග භීෂණය තුලින් වීම නිසාය. (Lanka E News)   

අපගේ සරසවි සිසුන් තමන්ගේ නියම අයිතිවාසිකම් ගැන දන්නේ නැත. ඒ පිළිබඳව කිසිවෙකු ඔහුව දැනුවත්ද නොකරති. තමන්ට නවක වදයේ නාමයෙන් අසභ්‍ය වචනයෙන් බැනීමට, කුණුහරප කීමට බල කිරීමට, පුස්තකාලයට යාමට ඉඩ නොදීමට , බලහත්කාරයෙන් වියායාම වල යෙදවීමට, බල්ලෙකු සේ කකුල් හතරෙන් සිට මාළු කටු , ඉඳුල් බත් කෑමට බල කිරීමට , තමන්ගේ ඇඳුම ගැලවීමට, බලහත්කාරයෙන් පන්ති වර්ජනය කරවීමට, බලෙන් උද්ගෝෂණ වලට ගෙන යාමට කිසිම පුරවැසියෙකුට අයිතියක් නැති බවත් එවැනි දේ කිරීමට තැත් කිරීම බරපතල වරදක් බවත් බව සරසවි සිසුවාට දැනුවත් භාවයක් ලබා දිය යුතුය. එසේම නවක වදය යනු අපරාදයක් බවත් අපරාදයක් කාලවරෝධනයට යටත් නොවන නිසා තමන්ට නවක වදය දුන් පුද්ගලයට එරෙහිව තවත් වසර 5 - 10 පසුද නඩු දැමීමට හැකි වන ලෙසට නීති සංශෝදනය වීම වැදගති.නවක වදය යනු ශ්‍රී ලංකික විශ්ව විද්‍යාල වසාගත් පිළිලයකි. එම පිළිලය බොහෝ දුරට අපගේ විශ්ව විද්‍යාල විනාශ කොට අවසානය. අපගේ විශ්ව විද්‍යාල පද්දතිය තුල අධ්‍යාපනික වශයෙන් වටිනාකමක් ඇති යමක් ඉතිරිව ඇත්තේ ඉතා සුළු වශයෙනි. එම සුළු කොටස හෝ ආරක්ෂා කිරීම පුරවැසියන් වන අප සැමගේ යුතුකමකි.(වාචික, කායික සහ ලිංගික හිංසනයෙන් සපිරි ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල | ඩී. සුගත් රාජපක්ෂ) 



Thursday, March 17, 2016

නේස් නෝනලා


හෙදියන් හෙවත් නේස් නෝනලා අපගේ සෞඛ්‍යය සේවයේ අත්‍යවශ්‍ය කොටසකි. බොහෝ විට ජනතාව අතර හෙදියන් පිළිබඳව තිබෙන්නේ පියකරු චිත්‍රයක් නොවේ. බොහෝ දෙනෙකු හෙදියන් යනු සැර පරුෂ හිතේ තෙතමනයක් නොමැති කොටසක් ලෙස දකිති. එහෙත් ගතවූ අවුරුදු කාලය තුල ඉතා කරුණාවන්ත මානව ප්‍රේමයෙන් පිරිපුන් හෙදියන් මා ලංකාවේ රෝහල් වලදී දුටුවෙමි. 

නමුත් සැර පරුෂ ගෝරියට බර වර්ජන කිරීමට බලාගෙන සිටින අන් හෙදියන්ද වර්ජන ගෝරි වලට පොලඹවන හෙදියන්ද සිටි බව මම මෙහිදී කියමි. බොහෝ විට මෙවැනි කොටස් ගෙදර දොරේ අඞදබර , පුරුෂයාගේ හැසිරීමේ ගැටළු , යනාදී පීඩා නිසා තම අසහනකාරී තත්වය රාජකාරියේදී මුදා හරින තැනැත්තියන් වෙති. එහෙත් සමබර මානසිකත්වයෙන් යුතු රෝගී සත්කාරය නියම පරිදි කරන හෙදියෝ බොහෝ දෙනෙකු මට මතක්වේ. 

අපගේ සීමාවාසික පුහුණු කාලයේ අප තිස් තුන් පැය රෝහලටම කොටුවී  සිටියෙමු.  හරි හැටි කෑමක් බීමක් නොලබන අප ගැන අනුකම්පාවෙන් ගෙවල් වලින් කෑම බීම ගෙන ආ හෙදියෝද වූහ​. එසේම වරක් මා අසනීප වූ විට මාතලේ රෝහලේ හෙද නිලධාරිනී සිල්වා මහත්මිය මට ෆ්ලාස්ක් එකක දමාගෙන ඉඟුරු කොත්තමල්ලි ගෙනාවාය​. 

එසේම මාතලේ රෝහලේ හෙද සොහොයුරියක වූ අළුවිහාරේ මිය අපට මවක මෙන් වූවාය​.  සමහර විට කුකුල් මස් බුරියානි උයාගෙන අපට ගෙන ආවාය​. එසේම වාට්ටුව භාර විශේෂඥ වෛද්‍යවරයා අපට බැන වදින විට අපගේ හිත් සැදීමටත් අප අතින් වන වැරදි විශේෂඥ වෛද්‍යවරයාගෙන් වසන් කිරීමත් අළුවිහාරේ මිය සිදු කලාය​.  

අළුවිහාරේ හෙද සොහොයුරිය සැරය, වාට්ටුවේ සුළු සේවකයන් වාට්ටු වැඩ මඟ හැරියොත් ඔවුන​ට සදා සොත්තීය​. එසේම රෝගියෙකු මිස් කියා ඇය ඇමතුවොත් මළ පනී.  එහෙත් මේ කෑගසන චරිතයට යටින් මානුශික හදවතක් ඇයට තිබුණ බව මම දනිමි. සමහර විට මම අළුවිහාරේ හෙද සොහොයුරිය ඇවිස්සීම සඳහා වෙනත් වාට්ටුවකට ගොස් කටහඞ වෙනස් කොට අළුවිහාරේ මිස්ට කතා කරන්න පුළුවන් ද කියා අසමි. සමහර විට මගේ කටහඞ අඳුනාගන්නා ඇය "කොල්ලා උඹ පරිස්සමින් හිටපන් කියන්නීය​" 

පසුකාලීනව මම   මාතලේ අළුවිහාරේ පන්සල අසල පාරේ නිවසක සිටින අළුවිහාරේ මහත්මිය  බැලීම සඳහා ගියෙමි ඒ වන විට ඇය විශ්‍රාම ලැබ තම දියණියගේ කුඩා දරුවන් දෙදෙනාගේ වැඩ කටයුතු බලා ගනිමින් සිටියාය​.   

මීගමුව රෝහලේ බ්‍රෙන්ඩා, ගුණපාල​, චාන්දනී යන මිස්ලා රෝහල් වැඩ වල්දී අප උපරිම සහයෝගය දුන්හ​. එසේම තරුණ හෙදියක වූ යමුනා මිස් ද අප සමග මිතුරුය​. සීමාවාසික   වෛද්‍යවරයෙකු වූ යාපනය වෛද්‍ය පීඨයේ රාම් මනෝහර් යමුනා මිස්ට කිව්වේ ජමුනා මිස් කියාය​. ජමුනා මිස්ට ලයින් එකක් දැමීමට රාම්ට අවශ්‍ය වී අපගෙන් උපදෙස් පැතුවේය​. රාම්ට සිංහල බැරිය​. අපගෙන් සිංහල වචන අසාගෙන යමුනා මිස් සමග කතා කරයි. තමන්ට යමුනා මිස් බඳින්න ආසයි යන්න සිංහලෙන් කියන්නෙ කෙසේද යන්න වරක් රාම් තරුණ වෛද්‍යවරුන් පිරිසකගෙන්   ඇසුවේය​. ඔයාගේ ඇඟිල්ලට මුද්දක් දාන්න ආසයි කියා  ඔවුන් කීහ​. 

මේ වචන පාඩම් කරගත් රාම් යමුනා මිස් ලඟට ගියේය​. එහෙත් කලබලය නිසා රාම්ට වචන පැටලුනි. ඔහු කීවේ " ජමුනා ඔයාගේ මුද්ද එක​ට එඟිල්ල දාන්න ආෂයි" කියාය. මෙය ඇසුණු කොල්ලන් සිනාවෙන් සති කීපයක් ගත කල අතර ජමුනා මිස් ලැජ්ජාවෙන් අපව මඟ හැරියාය​. එතනින් රාම් ගේ  ලයින් දැමිල්ල අවසන් විය​. රාම් වර්තමානයේ එංගලන්තයේ වැඩ කරයි. එංගලන්තයට යාමට පෙර රාම් මට රාත්‍රී භෝජන සංග්‍රහයක් දුන්නේය​. 

අපගේ කාලයේ මීගමුව රෝහලේ ශල්‍යාගාරය  විනෝද සාගරයක් විය​. බෝල මාලා මිස්, දිනාලි , ඩිනාලි, මයුරානි යනාදී හෙදියන් සමග මම වෛද්‍ය ලිලිත් ලියනගේ , පීරිස්, සුභසිංහ​, සමන් , සිරිවර්ධන , ගෝවි විහිළු තහළුවෙන් රාජකාරී කලෙමු. වරක් රා මදින්නෙක් තුවාල ලැබ ශල්‍යාගාරයට ගෙනාවේය​. මෙදින දිවයින පුවත් පතේ " හෙදියෝ අතුරු තහනමක් ගෙන එති "  කියා හෙඩිමක් තිබුනේය​. අප මේ හෙඩිම රා මදින්නාට පෙන්වා ඔන්න නේස් නෝනලා  ඔහේලාගේ  රස්සාවට කෙලින්න හදනවා කීවෙමු. 

සමහර රෝහල් වල ශල්‍යාගාර හෙදියන් සහ දොස්තරලා අතර ගෝරි වලින් පිරී තිබුණු අයුරු මට සිහිපත් වේ. ඔවුන් එකිනෙකා රිදවීමට එකට එක කල අතර අවසානයේදී පෙළීමට පත් වූයේ රෝගීන් වූහ​. 

උතුරු කොලඹ ශික්‍ෂණ රෝහල හෙවත් රාගම රෝහලේදී තරුණ හෙදියන් පිරිසක් වූ අතර මමත් වෛද්‍ය පද්මරාජුත් එක්ව තරුණ දයානි මිස්ව ගහේ යැවුවෙමු. වෛද්‍ය පද්මරාජ් යාපනයේ වූවද 1983 දක්වා අධ්‍යාපනය ලැබුවේ කොලඹ ඩී.එස්. සේනානායක විදුහලේය​. එම නිසා ඔහු චතුරව සිංහල කතා කලේය​. අප දෙදෙනා තම තමන් ගේ නම් දෙක මාරු කරගෙන දයානි මිස් හමුවේ පෙනී සිටියෙමු. මම ඩොක්ටර් පද්මරාජ් වූ අතර දෙමළ ඇක්සන්ට් එකක් සහිතව සිංහලෙන් ඇය සමග කතා කලෙමි. මම සිංහල බැරි බැරියාවෙන් ඇයව ඇමතුවේ දයාවතී මිස් කියාය​. පද්මරාජ් ඩොක්ටර් රුවන් වෙමින් ඇය හමුවේ පෙනී සිටියේය​. 

සමහර විට මම  ශාන්ති විහාර් එකෙන් වඩේ මිලට ගෙන "අම්මා යාපනේ ඉඳන් යෙනකොට දයාවතී මිෂ්ටත් වඩේ අරගෙන ආවා කියා ඇයට දුන්නෙමි. ඇය යාපනය ගැන විමසන්නීය මම ලුණු ඇඹුල් සහිතව බොරු ඇද බාමි. දහය වසරේ බයිසිකලයෙන් වැටී අතේ සිදුවූ තුවාල කැළළ පෙන්වා යාපනය රෝහලේ ක්ලිනිකල්ස් කරන කොට ඉන්දියන් ආමි එක ඇවිල්ලා වෙඩි තිබ්බා එතකොට කේල්ලක් වෙදුනා කියා කීවෙමි. දයානී මිස් කම්මුල අත තබාගෙන මගේ විස්තර අසන්නීය​. මෙලෙස මමත් පද්මරාජුත් පුරා වසරකට ආසන්න කාලයක් නම් මාරු කරගෙන සිටියෙමු. අවසානයේදී දයානී මිස්ට අපගේ රෑ දනියෙල් දවල් මිගෙල්  කතාව මාට්ටු වූවාය​. නමුත් ඇය අප සමග කෝප වූයේ නැත​. ඇය අප සමග හොඳටම සිනාසුනාය​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග

Find Us On Facebook