Wednesday, May 31, 2017

අසභ්‍ය කතාවක් නොවේ


මෙය අසභ්‍ය කතාවක් නොවේ. මේ කතාව යට තිබෙන ශෝකාලාපය මට ගෝචර විය​. මේ කතාව මට කීවේ නවගත්තේගම ප්‍රදේශයේ සේවය කල ගුරුවරයෙකු විසිනි. ඔහු මට හමු වූයේ හලාවත රෝහලේදී. උක්ත ගුරුවරයා විසින් මට කියූ කතාවයි මේ. 

" මම ඉස්කෝලේ උගන්නවමින් ඉන්න කොට හේන් ගොවියෙක් ආවා තමන් ගේ අවුරුදු හතක් විතර ඇති පොඩි ළමයත් එක්ක​. ඇවිත් මෙහෙම කිව්වා. 

" සෑර් අපි දුපත් හේන් ගොවියෝ. අපි අකුරු සෑස්තරේ දන්නේ නෑ. මුන්ටත් අපේ ඉරණම දෙන්ට බෑ . අනේ සෑර් මූට අකුරු සෑස්තරේ උගනන්ට. සෑර්ට ඕනෙ නම් මූට කපන්ට. ඒත් අකුරු සෑස්තරේ උගන්නලා මුගේ ඇස් පාදන්ට "

මේ කතාව යට තිබෙන ශෝකාලාපය ඔබට ගෝචර වූවාද ? 


Tuesday, May 30, 2017

තව පොඩ්ඩෙන් කාලෝට බඩුම තමාය


මේ 1988-89 කාලය විය​. ජවිපෙ ඝාතකයන් ගොදුරු සොයා ගිය කාලයකි. මේ වන විට විජය කුමාරතුංගව මරා දමා තිබුණි. විජය කුමාරතුංග ගේ මළ ගෙදරදී මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා ජවිපෙ විවේචනය කරමින් කතාවක් කොට තිබුනි. මේ නිසා මහාචාර්‍ය කාලෝ ෆොන්සේකාටද මරණ වරෙන්තුව නිකුත් කරන ලදි. 

මේ මරණ වරෙන්තුව නිසා මහාචාර්‍ය කාලෝ විජය කුමාරතුංග ගේ මළ ගෙදරට සති කීපයකට පසුව ෆින්ලන්තය බලා ගියේය​. මහාචාර්‍ය කාලෝ ෆින්ලන්තයට ගිය ගුවන් යානාවේදී මට ඔහුව මුණ ගැසුනේය​. මට මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා හමු වූයේ ගුවන් යානය ට්‍රාන්සිට් සඳහා ඩුබායි ගුවන් තොටුපලේ නැවැත්වූ විටදීය​. මා දුටු  මහාචාර්‍ය කාලෝ විමතියට පත් වූවද ඔහු මා සමග සුහදව කතා කලේය​. එහෙත් ෆින්ලන්තයට යන්නේ මරණ වරෙන්තුවෙන් බේරීමට බව මට කීවේ නැත. ​. අප වෙනත් විෂයන් ගැන කතා කලෙමු. 

නමුත් පසු කාලයක 2009 දී පමණ මහාචාර්‍ය කාලෝ එදා ෆින්ලන්තයට ගියේ ඝාතකයන් ගෙන් බේරීමට බව කියා මට කීවේය​. කෙසේ නමුත් මහාචාර්‍ය කාලෝ එදා ෆින්ලන්තයට නොගියේ නම් ඔහුද ජවිපෙ බිල්ලක් වීමට ඉඩ තිබුනේය​. එසේ වූයේ නම් මරා දැමූ මහාචාර්‍ය ස්ටැන්ලි ජයසුන්දර , මහාචාර්‍ය පටුවත විතාණ  යනාදීන් ගේ නාමාවලියට මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා ගේ නමත් එකතු වීමට ඉඩ තිබුණි.

Monday, May 29, 2017

පුද්ගලික වෛද්‍ය විද්‍යාල ලංකාවට අවශ්‍යද ?


පුද්ගලික වෛද්‍ය විද්‍යාල  වලට  ලංකාවෙන් එහා ලෝකය දැක නැති අන්තරය මෙන්ම තවමත් ගල් යුගයේ වෙසෙන වාමාංශිකයන් විරුද්ද වෙති. ඒ අතර පුද්ගලික වෛද්‍ය විද්‍යාල නිසා තමන් ගේ ඒකාධිකාරය අවසන්  වේ දැයි බිය වන සීමිත ගනනක් වූ  ඉන්දියානු ගිලන් රථ වලටත් බිය වූ දොස්තර ජාවාරාම්කාරයෝද සිටිති. සමහර විශ්ව විද්‍යාල ආචාර්‍යවරු පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ද වන්නේ ලෝකයේ ඉතා පහල වර්ගීකරණයකට අයත් විශ්ව විද්‍යාල වල  තමන් විසින් මෙතෙක් කල් පුම්බාගෙන සිටි ව්‍යාජ ඇකඩමික් ප්‍රතිරූප දියවී යන නිසාය​. එහෙත් පුද්ගලික වෛද්‍ය විද්‍යාල කාලීන අවශ්‍යතාවයක් බව මහාචාර්‍ය සනත් ලමාබදුසූරිය විසින් පෙන්වා දෙයි.  මේ ඔහු විසින් ලියන ලද ලිපියකි. 

ලංකාවේ රජයේ වෛද්‍ය විද්‍යාල අටක්‌ තිබේ. කොතලාවල ආරක්‌ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයක්‌ තිබේ. මෙම වෛද්‍ය පීඨ නමයෙන් වසරකට වෛද්‍යවරු 1340 ක්‌ වෛද්‍ය උපාධිය ලැබ පිටව යන්නේය. 

රජයේ වෛද්‍ය පීඨවලට උසස්‌ පෙළ විභාගයේ ප්‍රතිඵල මත මෙම ළමුන් වෛද්‍ය විද්‍යාල වෙත ඇතුළත් කරගනී. එහිදී කොටස්‌ තුනක ළමුන් වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වේ. ඉහළම ලකුණු ලබාගත් සිසුන් සියයට හතළිහක්‌ සමස්‌ත ලංකාවෙන්ම වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වේ. දෙවැනි කොටස වන්නේ දිස්‌ත්‍රික්‌ කෝටාවයි. ජනගහනයට සාපේක්‌ෂව දිස්‌ත්‍රික්‌ කෝටාවෙන් සියයට හතලිස්‌ පහක්‌ ඇතුළත් කර ගනී. අධ්‍යාපන දුෂ්කර පළාත්වලින් සියයට පහක කෝටාවක්‌ ලබාදී තිබේ. දිස්‌ත්‍රික්‌ක දහසයක්‌ සඳහා මෙම අවස්‌ථාව ලබාදී ඇත. මේ ක්‍රමයට ඇතුළත් වූ විට සිසුන් 1840 ක්‌ දිස්‌ත්‍රික්‌ කෝටාව හා දුෂ්කර පළාත්වල සිසුන්ගේ ඇතුළත්වීමේ ලකුණට වඩා ලකුණු ලැබ වෛද්‍ය පීඨයට ඇතුළත්වීමට නොහැකිව බලා සිටියේය. එය අසාධාරණය. එම ළමුන් අතරින් දෙමාපියන්ට මුදල් ඇති ළමුන් විදේශ රටවලට ගොස්‌ වෛද්‍ය අධ්‍යාපනය ලබාගනී.

විදේශ විශ්ව විද්‍යාලයට ගොස්‌ වෛද්‍ය උපාධියක්‌ ලබාගැනීම විශාල ලෙස මුදල් වැය කිරීමට සිදුවන දෙයකි. මැලේසියානු වෛද්‍ය විද්‍යාලයකින් උපාධිය ලබාගැනීමට ලක්‌ෂ දෙසීයක්‌ පමණ වැය කිරීමට සිදුවේ. මනිපාල් වෛද්‍ය විද්‍යාලයෙන් උපාධියක්‌ ලබාගැනීමට ඇමරිකානු ඩොලර් දෙලක්‌ෂ විසිදහසක්‌ වැය කිරීමට සිදුවේ. කොතලාවල ආරක්‌ෂක විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබාගැනීමට වැය කිරීමට සිදුවන්නේ ලක්‌ෂ හැටක වැනි මුදලකි. සයිටම් ආයතනය ලක්‌ෂ අනූ අටක්‌ අය කරයි. වෛද්‍ය අධ්‍යාපනය සදහා සිය ගණනක්‌ වූ සිසුන් විදේශ රටවලට යාම නිසා විශාල මුදලක්‌ ලංකාවෙන් පිටතට ඇදී යයි. ඒ ආකාරයට විදේශ වෛද්‍ය පීඨ සදහා වැය වන නිශ්චිත මුදල ගණනය කර නොමැති නමුත් වසරකට බිලියන දෙකකට ආසන්න මුදලක්‌ වැය වනු ඇතැයි අපේක්‌ෂා කෙරේ. මේ නිසා ලංකාවේ පුද්ගලික වෛද්‍ය පීඨ තිබීම වැදගත්ය.

කොළඹ වෛද්‍ය විද්‍යාලයේ සිසුන් 6.5කට එක්‌ ආචාර්යවරයෙක්‌ සිටී. පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සිසුන් 7.8කටත් කැලණියේ සිසුන් 5.8කටත් එක්‌ ආචාර්යවරයෙක්‌ සිටී. ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් 4.5ටත් නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් 6කටත් එක්‌ ආචාර්යවරයෙකුත් සිටී. රජරට වෛද්‍ය පීඨයේ සිසුන් 13කට එක්‌ ආචාර්යවරයෙක්‌ සිටී. සයිටම් වෛද්‍ය විද්‍යාලයේ සිසුන් 6 කට එක්‌ ආචාර්යවරයෙක්‌ සිටී

මම සයිටම් ආයතනයේ තුන්වැනි කණ්‌ඩායමේ විභාග පරීක්‌ෂාවකට සහභාගී වීමට මට හැකිවිය. ළමා රෝග පිළිබඳ පරීක්‌ෂා කිරීමට දින දෙකකදී විසි හතර දෙනෙක්‌ පරීක්‌ෂාවට ලක්‌ කිරීමට හැකි විය. විභාගයට ඉදිරිපත්වූ ළමුන්ගෙන් විසි දෙදෙනෙක්‌ සමත් විය. පස්‌ දෙනෙක්‌ ලකුණු හැත්තෑවට වඩා ලබාගත්තේය. තුන්වැනි කණ්‌ඩායමේ පුහුණුව හොඳට සිදුව ඇති බව ඔවුන් දැක්‌වූ දක්‌ෂතාවය අනුව නිරීක්‌ෂණය කිරීමට හැකිවිය. 

මම පසුගිය වසර දෙකහමාර තුළදී රජරට වෛද්‍ය විද්‍යාලයේ බාහිර මහාචාර්යවරයෙක්‌ ලෙස කටයුතු කරමි. මේ දිනවල සිසුන් විරෝධය දක්‌වන නිසා ඉගැන්වීමේ කටයුතු සිදු කරන්නේ නැත. මම කොළඹ විශ්වවිද්‍යාලයෙන් විශ්‍රාම යන විට සයිටම් ආයතනයට පැමිණෙන්නැයි ආරාධනාවක්‌ කළේය. ඒ වන විට එයට රෝහලක්‌ නොතිබූ නිසා ඒ ආරාධනාව පිළිගත්තේ නැත. ඉන් පසුව ආරාධනාවක්‌ ලැබුණ අවස්‌ථාවේදී පුද්ගලික හේතු මත එය පිළිගැනීමට නොහැකි විය. තුන්වැනි වර සයිටම් ආයතනයෙන් ආරාධනාවක්‌ ලැබෙන අවස්‌ථාවේදී රජරට වෛද්‍ය විද්‍යාලයෙන්ද ආරාධනාවක්‌ ලැබුණි. ඒ වන විට රජරට වෛද්‍ය විද්‍යාලයේ ළමා රෝග අංශයේ එක්‌ මහාචාර්යවරයෙක්‌වත් සිටියේ නැත. සිටියේ එක්‌ කථිකාචාර්යවරයෙක්‌ පමණි. ඒ අවස්‌ථාවේදී රටට සේවය කිරීමට රජරට වෛද්‍ය පීඨය තෝරාගතිමි. සයිටම් ආයතනයට ගියේ නම් මට ඉල්ලන වැටුපක්‌ ලැබෙන්නට තිබුණි. නිවසේ සිටම රැකියාවට යාමට හැකිවන්නට තිබුණි. ඒ ආකාරයට රජරට වෛද්‍ය විද්‍යාලය තෝරාගත්තද දැන් එහි සිසුන් දේශනවලට පැමිණෙන්නේ නැත. ඒ ගැන මට ඇත්තේ කනගාටුවකි.

මේ තත්ත්වය තුළ ලංකාවේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කළහොත් රටින් පිටට යන මුදල් ඉතිරි වේ. අනෙක්‌ අතට විදේශ රටවලින් ලංකාවට පැමිණෙන සිසුන්ගෙන් ආදායමක්‌ ලබාගැනීමට හැකි වනු ඇත. එයට අකැමැතිවන්නේ කවුරුන්ද? ලංකාවේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීම නිසා රටට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් වෛද්‍යවරු බිහිවනු ඇතැයි ඇතැම්හු තර්ක කරති. එහෙත් ඔවුන්ට වෙනත් රටවලට ගොස්‌ රැකියා ලබා ගැනීමට ඕනෑ තරම් අවස්‌ථාව තිබේ. ඇමරිකාව වැනි රටවල වෛද්‍යවරුන්ගේ ජීවිතය දුෂ්කරය. පවුල සමඟ වැඩි කාලයක්‌ ගත කිරීමට අවස්‌ථාවක්‌ ලැබෙන්නේ නැත. මේ නිසා මෙම රටවලට වෛද්‍යවරු අවශ්‍යය. ලංකාවේ වෛද්‍යවරුන්ට වෙනත් රටවල රැකියා පහසුවෙන් සොයා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. දැන් අපි වැඩිම විදේශ මුදලක්‌ උපයනු ලබන්නේ ගෘහ සේවිකාවන් මැදපෙරදිග රටවලට යෑවීමෙනි. ඒක විශාල නින්දාවකි. ඉන්දියාව වැනි රටවල විදේශ රැකියාවලට යවන්නේ හෙදියන්ය. ගුරුවරුන්ය. ලංකාවේ වෛද්‍යවරු බිහි කළොත් ගෘහ සේවිකාවන් වෙනත් රටවලට යවනවා වෙනුවට වෛද්‍යවරු යෑවීමට හැකිනම් අපේ රට පහසුවෙන් දියුණු කිරීමට හැකියාව ලැබෙනු ඇත.

මහාචාර්ය සනත් ලමාබදුසූරිය

Sunday, May 28, 2017

රෝහලක් මුළා කල වෛද්‍යවරයා



1994 වසරේ අප්‍රේල් මාසයේ මම සීමාවාසික පත්වීම් ලබා මාතලේ මූලික රෝහලට ගියෙමි. මා සමග දේශීය සහ විදේශීය වෛද්‍ය විද්‍යාල වලින් වෛද්‍ය උපාධි ලැබූ දොලොස් දෙනෙකු පමණ සේවයට වාර්තා කලහ​. මින් එක් පුද්ගලයෙකු මට කිසිදා අමතක නොවේ.   මම ඔහුව කේ.ඩබ්ලිව් කියා පාඨකයාට හඳුන්වා දෙමි. 

සීමාවාසික වෛද්‍යවරුන්ට නිල නිවාස ලබා දීමේදී කේ.ඩබ්ලිව් මගේ කාමරයට වැටුනි. මට ඔහු සමග කාමරය බෙදා ගැනීමට සිදු විය​. ඔහු තමා කොලඹ ඩී.එස් සේනානායක විද්‍යාලයේ ඉගෙනුම ලබා මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය හැදෑරූ බව කීවේය​. ඔහුගේ බිරිඳ පෝලන්ත ජාතික කාන්තාවකි .ඇය වරක් ඔහු හමු වීමට ආවාය . මොස්කව් වල බොහෝ ලාංකික සිසුන් දැන සිටි මට  ඔහුව කිසි දිනෙක මොස්කව් වල හමුවී තිබුනේ නැත​. කෙසේ නමුත් දැන්  කේ.ඩබ්ලිව් මගේ රූමාය​. අප සහයෝගයෙන් ක්‍රියා කලෙමු. 

ඔහු මගේ වාට්ටුවට වැටුනි. ඔහු මගේ කෝ - එච්.ඕ ය​. බොහෝ විට අසාධ්‍ය අසීරු ලෙඩුන් ඔහු මගේ කර මත දමයි. එහෙත් රූමා නිසා මම කිසිවක් නොකීවෙමි. රෝගීන් සබැඳිව වාට්ටුවේ ගැටළු මතු වන විට ඔහු මග හරී. ඒවා වලට මුහුන දෙන මම අවසානයේදී විශේෂඥ වෛද්‍යවරයාගෙන් බැණුම් අසමි. 

ඉන්ටර්න්වරු වූ සුජීව දහනායකත් මොහානුත් කපිල එදිස්සූරියත් බෂීරුත් මා සමග තකට තක සිටි හෙයින් වහාම අප මිතුරන් වූයෙමු.  සුජීව ලුවෝෆ් වෛද්‍ය විද්‍යාලයෙනි. මොහාන් පේරාදෙනියෙනි ,බෂීර් යාපනය වෛද්‍ය විද්‍යාලයෙනි , කපිල උතුරු කොලඹ වෛද්‍ය විද්‍යාලයෙනි. අප නේවාසිකාගරයේ ඝෝෂා කරමින් සති අන්තයේ පාටි දමමින් නිල නිවාසය දෙක කලෙමු. කපිල එදිස්සූරිය බාබිකිව් දැමීමේ රුසියෙකි. ඔහු ලඟ බාබිකිව් සෙට් එකක්ද තිබුනේය​. 

කේ.ඩබ්ලිව් ද මේ සාද වලට ආ නමුත් ඔහු ඉතා ඩීසන්ට් ලෙස හැසිරුනේය​. ඔහු මත් පැනින් තොරය​. මස් මාලු කන්නේ නැත​. යටත් පිරිසෙන් බිත්තර හෝ උම්බලකඩද නොකයි. උඹ මචං යන වචනවත් භාවිතා නොකරයි. 

වරක් අපගේ චමරියේ කෑම ඉවූ පූර්ණා සම්බෝලයට උම්බලකඩ දැමූ නිසා   තමන්ට වැරදීමකින් උම්බලකඩ කැවුනු බව දුක්මුසු හඞින් කේ.ඩබ්ලිව් අප සමග කීවේය​. චමරියේ වැඩ බලාගත් වෛද්‍ය ලක්‍ෂිකා සම්බෝල වලට මින් පසු උම්බලකඩ නොදමන ලෙසට පූර්ණාට උපදෙස් දුන්නාය​. 

මෙසේ මාස කීපයක් ගත වන විට කේ.ඩබ්ලිව් ඉතා හොඳ  කෙනෙක්ද මා ඇතුලු මිතුරන් මැරෑටියන්  ලෙසටද රෝහලේ දිස් වූහ​. සමහර හෙදියන් මෙන්ම සිස්ටර් අළුවිහාරේද අපට කේ.ඩබ්ලිව් මෙන් හැදෙන ලෙස අවවාද කලහ​. ඉන්ටර්න් වෛද්‍යවරියන් වූ නිෂා , සපුමලී, හර්ෂි , අරුණි රත්නායක  පවා කේ.ඩබ්ලිව් ගේ ගුණ වර්නනා කරති​. අප මැරෑටියෝ වෙති. ඔහු අහිංසකය.  

කේ.ඩබ්ලිව් විනීතය​. ඔහු සෑම දෙනා සමග මිතුරුය​. බොහෝ විට මා හිස් අතින් වාට්ටුවට එන විට කේ.ඩබ්ලිව් උදයට හෙදියන්ට ආප්ප ගෙන එයි. ඔහු දහමට බරය​. නිතරම පන්සල් යයි. ධර්ම කරුණු වියපත් හෙදියෝ සමග කතා කරයි. රෝගීන්ට අවවාද අනුසාසනා දෙයි. බීගෙන එන රෝගීන්ට බීමේ ආදීනව බණ දෙසයි. තමන් පන්සල් වලට දුන් විශාල පරිත්‍යාග ගැන කියයි.   

එහෙත් මට කේ.ඩබ්ලිව් ගැන යම් අමුත්තක් දැනුනි. එහෙත් එය කුමක්ද කියා කීමට මට නොහැකි විය​. වරක් රෝහලේ දුරකථනය භාරව සිටි රත්නායක මහතා කේ.ඩබ්ලිව් රාත්‍රියට බොහෝ පුද්ගලික දුරකථන පණිවිඩ ගන්නා බවත් ඒවා වලට ගේවීම් නොකොට රෝහල් රාජකාරී  වලට ගත් දුරකථන පණිවිඩ ලෙස දමන ලෙස තමන්ට බලපෑම් කරන බවත් කීවේය​.  

අපගේ සීමාවාසික කාලය අවසන් වීමට මාස තුනක් පමණ තිබියදී මම මාගේ ගල්කිස්සේ තිබූ ඉඩමක් විකුණා එම මුදල් මාතලේ බැංකුවක තැන්පත් කලෙමි. එදින සවස කේ.ඩබ්ලිව් මා සොයා ආවේය​. ඔහු හදිසි කටයුත්තක් සඳහා සුමාන දෙකක් ඇතුලත ගෙවන පොරොන්දුව පිට මාගෙන් ලක්‍ෂ පහක් ඉල්ලා සිටියේය​. එම මුදල මම ඔහුට දීමට එකඟ වූයෙමි. එහෙත් එම මුදල් දීමට පෙර මම සුජීවට ඒ ගැන කීවෙමි. සුජීව කේ.ඩබ්ලිව් ට මුදල් නොදෙන ලෙස කීවේය​. කේ.ඩබ්ලිව් සුජීව ගෙන් මුදලක් ගෙන එය තවම පියවා නැත​. මේ නිසා මම එම මුදල් ෆික්ස් ඩිපොසිට් එකක දැමූ බවත් එකවර ගැනීම අපහසු බවත් කේ.ඩබ්ලිව් ට කීවෙමි. මේ නිසා ඔහු මා සමග නොරොක් විය​. 

වරක්  නාරි හා ප්‍රසව වෛද්‍ය විශේෂඥ නීල් සෙනෙවිරත්න ඉන්ටන්වරුන්ට පාටියක් දුන්නේය​. එම සාදයේදී කොල්ලන්ට වැට් 69 බෝතලයක් අරින ගමන් වෛද්‍ය නීල් සෙනෙවිරත්න කේ.ඩබ්ලිව් ට කොකා කෝලා බෝතලයක් දුන්නේ " මෙයා ඉතින් අමද්‍යපනේ " කියමිනි. 

දැන් අපගේ සීමාවාසික කාලය ඉවර වීමට ඇත්තේ සති තුනකි. කොලඹ ගිය කේ.ඩබ්ලිව් රෝහලට ආවේ මුහුනේ ප්ලාස්ටර් සමගිනි.  බීමත් පිරිසක් කේ.ඩබ්ලිව් ගේ වෑන් රථය නවතා ඔහුට පහරදී තිබෙන බව සිස්ටර් අළුවිහාරේ කීවාය​. එහෙත් කිසිදු හේතුවක් නොමැතිව ඔහු පහර කෑවේ මන්ද කියා මාගේ සිතට කුකුසක් ආවේය​. 

අපගේ සීමාවාසික කාලය අවසන් විය​. අප සියළු දෙනා විවිධ රෝහල් වලට පත්වීම් ලබා සිටියෙමු. කේ.ඩබ්ලිව් දඹුල්ල රෝහලේ ඕපීඩී එකට පත්වීම් ලබාගෙනය​. 
නව පත්වීම් වලට යාමට දින දෙකකට පෙර ඉන්ටර්න් වෛද්‍යවරියක් වූ මර්ෂූකා මා සොයාගෙන ආවාය​. මර්ෂූකා යාපනය වෛද්‍ය විද්‍යාලයෙනි. ඇයගේ ගම අක්කරේපත්තුවය​. මර්ෂූකා කී පරිදි කේ.ඩබ්ලිව් සුක්රි  නම් ඇයගේ ඥාතියෙකුගෙන් රුපියල් අසූ දහසක් ලබාගෙන තිබේ. මෙසේ මුදල් ලබාගෙන ඇත්තේ ඔහුට ඕස්ට්‍රේලියාවේ රැකියාවක් සොයා දෙන බව කීමෙනි. කේ.ඩබ්ලිව් දඹුල්ල රෝහලට ගිය බව මම ඇයට කීවෙමි. 

පශ්චාත් සීමාවාසික පත්වීම ලබා මාස අටකට පමණ පසු මාතලේ මූලික රෝහලේ ඩී.එම්.ඕ ව සිටි වෛද්‍ය සිරිමල් ජයසිංහ මට දුරකථනයෙන් කතා කලේය​. 

" රුවන් ඔයාගේ රූම් මේට් කේ.ඩබ්ලිව් ඉස්පිරිතාලේ නර්ස්ලගෙන් හොස්පිට්ල් එකේ අවට මිනිසුන් ගෙන් සල්ලි අරගෙන රට රස්සා දෙනවා කියලා. දැන් මිනිස්සු මාව හොයාගෙන එනවා. මට මාර කරදරයක්. මම මාතලේ පොලිසියට රිපෝට් කරා " 

කේ.ඩබ්ලිව් හොඳ වැඩකාරයෙකු බව මට වැටහුනි. ඔහු තම පෝලන්ත බිරිඳ ඉදිරියට දමා රටගාය තිබෙන මිනිසුන්ට රට රැකියා මවා පා සල්ලි වංචා කොට තිබේ. මාතලේ එම් සී පාරේ සිටි බොහෝ දෙනෙකු රට රැකියා වලට යාමට ඔහුට මුදල් පුදා ඇත. ඔහු රෝහලට පැමිනි ඇතැම් රෝගීන් සමග මිත්‍රවී ඔවුන්වද දැලේ දමාගෙන තිබේ. මෙය මට පසුව කිව්වේ රෝහලේදී කේ.ඩබ්ලිව් ගෙන් ප්‍රතිකාර ගත් ගුවන් හමුදා නිලධාරියෙකි. ඔහුටද කේ.ඩබ්ලිව් පොල්ලක් තබා ඇත​. 

වංචා විමර්ශන ඒකකයේ නිලධාරීන් කේ.ඩබ්ලිව් සොයාගෙන දඹුල්ල රෝහලට යන විට  කේ.ඩබ්ලිව් නවසීලන්තයට ගොසින් මාස ගනනාවකි. ඒ අතර කාලයේදී පවා ඔහු දඹුල්ල රෝහලින් වැටුප් ලබාගෙන තිබේ. 

මේ කාලයේදී මට මහනුවර නගරයේදී වෛද්‍ය කපිල එදිස්සූරියත් ඔහුගේ බිරිඳත් මුණ ගැසුනි. ඔවුන් ගේ කතාවෙන් කේ.ඩබ්ලිව් ඔවුනටද පොල්ලක් තබා ඇත​. මගේ මුදල් බේරුනේ අනූ නවයෙනි. 

කෙසේ නමුත් කේ.ඩබ්ලිව් යන චරිතය මට ප්‍රහේලිකාවකි. උගත් මිනිසෙකුට මෙසේ ද්විත්ව චරිතයක් දීර්ඝ කාලයක් රඟපෑ හැකිද?​. පසුව කල සෙවීම් වලදී වෛද්‍ය තිලක් ද සිල්වා කීවේ කේ.ඩබ්ලිව් තමා උගත් ඩී.එස් සේනානායක විදුහලට ආවේ උසස් පෙළ කිරීමට බවයි. එසේම ඔහුව දැන සිටි වෛද්‍ය කාශ්‍යප සිල්වා කේ.ඩබ්ලිව් කර්ස්නදාර් නගරයේ ඉගෙන ගත් බවත් පසුකාලීනව මොස්කව් නගරයට ආ බවත්‍ ය​. ඔහු මස් මාළු කෑ බවත් හොඳින් වොඩ්කාද බිව් බවත් කියවිනි. එසේම ඔහු කාලයක් මොස්කව් හියුමන් ට්‍රැෆිකිං කල බවත් මෑතකදී මට දැනගන්නට ලැබුනි. මගේ රූමාව සිටි පුරා වසරක කාලයක් කේ.ඩබ්ලිව් මේ තොරතුරු මගෙන් වසං කරගෙන සිටියේය​. 

2006 වසරේදී ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ දී මට වෛද්‍ය මර්ෂූකාව මුණ ගැසුනි. තම ඥාතී සුක්රිගේ රුපියල් අසූ දහස නොලැබුනු බවත් ඔහු බොහෝ කාලයක් ඒ ගැන දුකින් සිටි බවත් ඇය කීවාය​.  තවත් බොහෝ පිරිසක් ලැජ්ජාව නිසා මුදල් අලාබ ගැන පැමිනිලි කොට නොමැත. 

වසර බොහෝ ගනනක් යන තෙක් කේ.ඩබ්ලිව් ගැන තොරතුරක් නොවීය​.එහෙත්  වර්තමානයේදී කේ.ඩබ්ලිව් ඕස්ට්‍රේලියාවේ ජීවත් වන බව බ්ලොග් රචක රසික සූරියඅාරච්චි  සනාත කලේය​. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

පාසල් වල සියළු අඩුපාඩු නිමයි

පාසල් වල සියළු අඩුපාඩු නිම කිරීම සඳහා පාසල් වලට ගරු ජනාධිපතිතුමාගේ චායාරූප බෙදා දීමට  කටයුතු යොදා තිබේ. 

ලංකාවේ පාසල්  අධ්‍යාපනය ගැන අදහස් දක්වන සිසු දරුවෙක් .........


Saturday, May 27, 2017

සහනාධාර යටිමඩි ගැසීම


අධික වර්‍ෂාව නිසා ඇති වූ අපදාවලින් මේ වන විට 122 දෙනකු මියගොස් 93 දෙනකු අතුරුදන්වී ඇත​. අවතැන් වූ පිරිස ලක්‍ෂ 5 කට ආසන්නය​. ආපදාවට මුහුණ  දීමට ශ්‍රී ලංකාව විදේශ ආධාර  ඉල්ලා තිබේ. ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා සහනාධාර  රැගත් පළමු ඉන්දිය නෞකාව කොළඹ වරායට ළඟාවී තිබේ.  ටකරං සහනාධාර , සුනාමි සහනාධාර හොරකං කරන ලද දේශපාලකයන් සිටි රටක මේ අවස්ථාවේදී විදේශ වලින් ලැබෙන සහනාධාර සුපුරුදු පරිදි හොරා කනු ඇත​. අන්තිමේදී විපතට පත් ජනතාවට ලැබෙන්නේ දංකුඩ පමණි.

(පින්තූරය ශ්‍රී ලාල් ඩයස්ගේ මුහුණු පොතිනි ) 

පූජිත් ඔබ තවමත් ප්‍රමාද නැත



පූජිත් ජයසුන්දර මහතා මට 2003 වසර පමණ කාලයේදී හැව්ලොක් ටවුමේ පොලිස් පාක් පිට්ටනියේ සවස දුවන්නට යන විට හමුවන්නේය​. එකල ඔහු පොලිස් නිලධාරීන් පිරිවරාගෙන ඔවුනට රගර් පුහුණුවේදී අවශ්‍ය කෙරෙන මෝටිවේෂන් දෙන අයුරු මම නිතරම දුටුවෙමි. ඔහු හොඳ කථිකයෙකි. සුහද මිනිසෙකි. 

2008 වසරේදී මට පූජිත් ජයසුන්දර මහතා කුරුණෑගල මත් ද්‍රව්‍ය නිවාරණ සැසියකදීද හමු විය​. එම සැසියේදී මා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරන ලදි. පොලිස් දෙපාර්තමේන්තුව  නියෝජනය කල එවකට ඩී.අයි.ජී කෙනෙකු වූ පූජිත් ජයසුන්දර මහතා  ඉතා තර්කාන්විතව කතා කලේය​. එදින ඔහු යම් දිනෙක පොලිස්පතිවරයා වෙන්නේ නම් මැනවි කියා මට සිතුනි. 

පූජිත් ජයසුන්දර මහතා පොලිස්පතිවරයා වූ විට මට මෙම සිද්ධිය මතකයට ආවේය​. නමුත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පිළිගැනීම වෙනුවෙන්  මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ආදි ශිෂ්‍යයින් පිරිසක් විසින් සංවිධානය කරන ලද උත්සවයකදී තමන් පොලිස්පති වූයේ ජය පිරිතයි අටවිසි පිරිතයි තුන් වතාව තුන් වතාව කීමෙන් යන ආන්දෝලනාත්මක කතාව කීවේය​. ඉන් පසු ප්‍රසිද්ධ වේදිකාවකදී තමන්ට ආ දුරකථන ඇමතුමකට ; ඕකේ ඕකේ සර්, හරි සර්, අරස්ට් කරන්න දෙන්නැහැ සර්, හරි සර් මං කියන්නම්, එහෙමයි සර්, ඔකේ ඔකේ - කියා කියමින් රටට විස්මය සැපයූයේය​. මෑතකදී  පොලිස් නිලධාරීන්ට භාවනා කිරීමට නියෝගයක් පණවා භාවනා නොකර විදුලි සෝපානය   ක්‍රියාත්මක කිරීමේ රාජකාරිය ඉටු කල එම්. සමරකෝන් බණ්ඩා නම් සුළු සේවකයාට පහර දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ස්ථානාධිපති ලුඩොවයික් මහතාටද බැණ වැදුනු බව ලංකා නිවුස් වෙබ් විසින් වාර්තා කරන ලදි. 

පොලිස්පති වීමට පෙර හොඳ නායකත්වයක් මෙන්ම ප්‍රගාමී අදහස් තිබූ  පූජිත් ජයසුන්දර මහතා බලය ලැබීමෙන් පසුව මනප්පු කෙනෙකු වීම අප විසින් අපේක්‍ෂා නොකල බව කිව යුතුය​. ශ්‍රී ලංකා පොලිසිය වෘත්තීය මට්ටමට ගෙන ඒමත් ; මත් ද්‍රව්‍ය උවදුර , පාතාලය , අපරාධ මැඩලීමට පියවර ගැනීමත් ඔහු විසින් කල යුතුය​. නමුත් තවමත් එම කර්තව්‍යන් සිදු වන බවක් නම් නොපෙනේ 

පූජිත් ඔබ තවමත් ප්‍රමාද නැත​. හොඳ ගැඹුරු පිය සටහනක් පොලිස් දෙපාර්තමේන්තුවේ තබා යන්න​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Friday, May 26, 2017

නිල නිවාසය

 

මිණිපේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී / මිණිපේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක ලෙස සේවය කල කාලයේදී මා නැවතී සිටියේ හසලක ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක නිල නිවාසයේය​. අළුතින් ඉදි කරන ලද මෙම නිල නිවාසයේ දොරවල් ජනෙල් නිසි ලෙස වැසුනේ නැත​. එසේම පයිප්ප සහ කරාම ඉතා අඩු ගුණාත්මක භාවයකින් යුක්ත විය​. මේ අපගේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොන්ත්‍රාත්කරුවන් ගේ වික්‍රමයන් ය​. 

මේ නිසා මගේ වියදමින් එස්ලෝන් පයිප්ප / කරාම ගෙනවිත් සවි කලේ නිතරම සිදු වන වතුර ලීක් වීම් නවතා ගැනීමටය​. කොන්ත්‍රාත්කරු මෙම නිල නිවස භාර දී තිබුනේ සෞඛ්‍ය  අමාත්‍යාංශයේ නිලධාරියෙකුටය​. මෙම සෞඛ්‍ය  අමාත්‍යාංශයේ නිලධාරියා කොන්ත්‍රාත්කරු  විසින් නිල නිවස අංග සම්පූර්ණව ඉදි කොට තිබෙන බවත් එය  සෞඛ්‍ය  අමාත්‍යාංශය වෙනුවෙන් තමා භාර ගන්නා බවත් කියා අත්සන් කරන ලදි. මින් කොන්ත්‍රාත්කරු  කොතරම් ප්‍රීති ප්‍රමෝදයට පත් වූයේද යත් එවෙලේම අරක්කු බෝතල් දෙකක් සන්තෝසම් ලෙස මෙම නිලධාරියාට දුන් බව පසුව මගේ රියැදුරා පැවසුවේය​. කෙසේ නමුත් කොන්ත්‍රාත්කරු අමාත්‍යාංශයේ අනෙකුත් නිලධාරීන්ටද හොඳින් සලකන්නට ඇත​. 

මෙම නිල නිවාසය පිහිටා තිබුනේ පැරණි භූමි භාගයකය​. මෙම භූමිය දුටු ගැමුණු කුමාරයාගේ අසිපත් තැනූ කම්මල් ප්‍රදේශයක් බව පැරැන්නෝ කීහ​. 

ගැමුණු කුමාරයා වේරගම්තොට / මහියංගන යන ප්‍රදේශ වල කඳවුරු බැඳ ගෙන සිටියේය​. මේ ප්‍රදේශ සිට හසලක දක්වා වැඩි දුරක් නැත​. මෙම භූමි භාගයේ බොහෝ සෙයින් යපස් මතුවේ. එම නිසා මෙම යපස් ආධාරයෙන් අසිපත් තනා ගත් බවට තිබෙන ප්‍රවාදය එකවරම බැහැර කල නොහැක​. 

ඇතැම් දින වල රාත්‍රියේ මම නිල නිවාසයෙන් එලියට විත් මෙම භූමි භාගය දෙස  බැලීමට පුරුදුව සිටියෙමි. එසේම මනසින් අතීතයට ගියෙමි. ඒ කාලයේ මම මේ දැන් සිටින භූමි ප්‍රදේශයේ තිබෙන කම්මල් , යකඩ තලන හඞ , මිනිසුන් ගේ සංවාද මනසින් ග්‍රහනය කර ගත්තෙමි. කාලය බොහෝ දේවල් වෙනස් කොට තිබේ. එදා ගැමුණු කුමරාගේ කම්මල් උඩ මෙදා කාලයේ කොන්ත්‍රාත්කරුවන් විසින් ලාභ ගොඩනැගිලි ඉදි කොට ඇත​. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Thursday, May 25, 2017

Posttraumatic Embitterment Disorder (PTED) රෝගය


1980 දී පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය (PTSD) සොයා ගැනීමෙන් පසු ඉතා වැදගත් සොයා ගැනීමක් ලෙස හැඳින්විය හැකි Posttraumatic Embitterment Disorder (PTED) රෝගය මනෝ විද්‍යාවට අභිනවයෙන් එක්වූ නවතම කාංසා/ ක්ලමථ රෝගී තත්වයකි. ජර්මානු ජාතික මනෝ වෛද්‍යවරයෙකු වන මහාචාර්‍ය මයිකල් ලින්ඩෙන් විසින් සොයා ගන්නා ලද නවතම මනෝ සමාජීය අක්‍රමතාවය වන Posttraumatic Embitterment Disorder (PTED) ) මණ්ඩලයේ වෛඥානික කමිටු සාමාජිකයෙකු ලෙස මටද පත්වීම් ලැබී තිබෙන බව කියන්නේ ඉතා නිහතමානීවය.මෙම අන්තර්ජාතික මණ්ඩලයේ සිටින පිරිස අතරින් එකම ශ්‍රී ලාංකික කැනේඩියානුවා මා වන අතර මෙය ලාංකික වෘත්තිකයන් ලද ගෞරවක් ලෙස මම සලකමි. නුදුරු කාලයේදී Posttraumatic Embitterment Disorder (PTED) රෝගී තත්වය DSM (Diagnostic and Statistical Manual of Mental Disorders) මානසික රෝග වර්ගීකරණයට එකතු කිරීම සඳහා වෛඥානික කමිටුව විසින් පියවර ගනිමින් සිටිති.
මෙම රෝගය ගැන නේශන් පුවත් පතේ පළවූ මා විසින් ලියන ලද ලිපිය මෙතනින් කියවිය හැක. http://nation.lk/…/post-traumatic-embitterment-disorder.html

Post traumatic Embitterment Disorder (PTED) is a newly described reactive disorder. It is a special form of maladjustment reaction proposed by the German Psychiatrist Dr. Michael Linden of the University of Berlin in 2003. PTED was introduced as a new concept for a subgroup of Adjustment Disorders. It can also be described as an Adaptation disorder.

Dr Ruwan M Jayatunge 

Tuesday, May 23, 2017

කෙමරුජ් භීෂණය මේ අවසාන ජවනිකාව නොවේ


හිටපු කෙමරූජ් කායකයකු වූ Hun Sen පොල්පොට් අතහැර වියට්නාමයට පළා ගියේය. වියට්නාම් ආධාර ඇතිව කෙමරූජ්වරු පළවා හැර කම්පුචියාවේ අගමැති ධූරයට පත්වීමට ඔහුට හැකිවිය. එම නිසා ඔහුගේ විරුද්ධවාදීන් Hun Sen වියට්නාම් රූකඩයෙකු ලෙස හැඳින්වූනි.
ඔහු 1975 නොන්පෙන් නගරය අල්ලා ගැනීමට සටන් කළේය. එහිදී ඔහුගේ ඇසක් බරපතල ලෙස තුවාල විය. බොහෝ කාලයක් කෙමරූජ්වරුන් සමඟ වැඩ කිරීමෙන් පසු ඔවුන්ගේ ක්‍රියා කලාපය කෙරෙහි කළ කිරුනු Sun Sen රහසින් වියට් නාමය සමඟ සබඳතා ඇතිකරගත්තේය. අනතුරුව ඔහු තම සහයක පිරිස් සමඟ වියට්නාමයට පළාවිත් පොල්පොට්ට එදිරිව සටන් කළේය.
අගමැති ධූරයට පත් වූ පසු Hun Sen කෙමරූජ් නායකයන් අධිකරණයට ගෙන ඒමට කටයුතු කළ නමුදු ඇතැම් නීරීක්ෂකයන් පෙන්වාදුන් අන්දමට ඔහු කෙමරූජ් ජන ඝාතන අධිකරණ ක්‍රියාදාමය ප්‍රමාද කළේය. මීට හේතු ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ අධිකරණ ක්‍රියාවලියකදී Hun Sen කෙමරූජ් පාක්ෂිකයෙකුව සිටි සමයේ සිදුකළ ඝාතන පිළිබඳ රහස් එළිවීමට තිබූ ඇති හැකියාව නිසාවෙනි.
එක්සත් ජාතීන්ගේ විනිශ්චයකැරවන් වෙනුවෙන් කම්පුචියානු විනිශ්චයකරුවන් මෙම නඩු ඇසිය යුතු බව යන මතයේ සිටින Hun Sen කෙමරුජ්වරුන්ට බ්‍රිතාන්‍ය SAS හා ඇමෙරිකානු විශේෂ බලකා වලින් පුහුණුව ලබාදුන් බවට ඇති සාක්ෂි විභාග කිරිමට උනන්දුවක් දැක්වූයේ නැත. මෙයට එක් හේතුවක් ලෙස Hun Sen ගේ පුතා ඇමෙරිකානු වෙස්ට් පොයින්ට් යුධ ඇකඩමියේ ඉගෙනුම ලැබීමද පෙන්වා දිය හැක.
ඇමෙරිකානු සොල්දාදුවා සත්‍ය හෙළි කරයි. (ටොම් බර්ටා)
මම 1973 ඇමෙරිකානු යුධ හමුදාවට අනුබද්ධිතව වියට්නාමයේ සේවය කළෙමි. එම වසරේ ජුනි මාසයේදී මම රාජකාරි සඳහා තායිලන්තයට ගියෙමි. මෙහිදී ක‍ෂA සංවිධානය මගින් ක්‍රියාත්මක කළ ඔයසරා ධචඑසදබ වැඩ සටහනට සම්බන්ධ වීමට මට සිදුවිය. අපි ක‍-130 ගුවන්යානා මගින් අවි ආයුධ කෙමරුජ් සංවිධානයට ලබා දුන්නෙමු. ජුලි සහ අගෝස්තු අතර කාලයේදී ක‍-130 ගුවන්යානා 50 ක් මෙලෙස අවි ආයුධ ගෙන යන ලදී.
1979 දී මම කම්පුචියානු දේශසීමා අසලින් පියාසර කළෙමි. කම්පුචියාවේ සිදුවන සිද්ධීන් පිළිබඳව මට කිසිඳු දැනීමක් නොවීය. එහෙත් Killing Feilds චිත්‍රපටය බැලීමෙන් පසු ඇමෙරිකානුවන් වන අප කළ ක්‍රියාවල බරපතලකම මට වැටහුණි. කෙමරුජ් සංවිධානයට අවි ලබාදීමෙන් කම්පුචියාවේ සිදුවූ ජන ඝාතන වලට අපද අනියම් ලෙස හවුල්වී තිබේ. එක්සත් ජනපදය වසර 12 පුරා කම්පුචියාවේ සිදුවූ ජන ඝාතන සිදුවන බව ප්‍රතිෙක‍ෂ්ප කළේය. මෙය බරපතල වැරැද්දකි. (සිවිල් ඉංජිනේරුවකු වන ටොම් බර්ටා දැන් කැලිෆෝනියාවේ ජීවත්වෙයි. මෙම කරුණු හෙළි වූයේ ටොම් බර්ටා උදරකා භැඑ සමඟ කළ සම්මුඛ සාකච්ඡාව ඇසුරෙනි.)
හිටපු SAS භටයා කෙමරුජ් සාමාජිකයන්ට පුහුණුව ලබා දුන්බව පිළිගනියි.
හිටපු බ්‍රිතාන්‍ය භටයෙකුවූ රේ බිලිංග්ලි 1985 සිට 1989 දක්වා කාලය තුළ වියට්නාම විරෝධි කම්පුචියානුවන්ට හමුදා පුහුණුව SAS භටයන් මගින් ලබාදුන් බව පැවසීය. ඔහු මෙලෙස ප්‍රකාශ කළේ උදරකා බැඑ සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදීය.
වියට්නාම් ආක්‍රමණ නිසා දහස් ගණන් කම්පුචියානු ජනතාව තායිදේශ සීමා ආසන්නයට පළාගිය බවත් මෙම පිරිස අතරින් තෝරාගත් කොටස් වෙත හමුදා පුහුණුව ලබාදුන් බවත්, ඔහු වැඩිදුරටත් පැවසීය. පුහුණුව ලැබූ පිරිස් අතර, හිටපු කෙමරුජ් ඝාතකයන්ද සිටි බව රේ බිලිංග්ලි පිළිගනියි.
මෙලෙස විශේෂ පුහුණුව ලැබූ කෙමරුජ් භටයන් වියට්නාමයටද එදිරිව සටන් කළේය. යුධ විශ්ලේෂකයන් පවසන පරිදි වියට්නාමයේ සුප්‍රකට ජෙනරල් ගියෙප් පවා කෙමරුජ් භටයන්ගේ ප්‍රහාරක හැකියාව පිළිබඳ විශ්මයට පත්විය.

කෙමරුජ්වරුන්ට අසුවී දිවිගලවා ගත් බි්‍රතාන්‍ය සහන සේවකයා
බි්‍රතාන්‍ය ජාතික ක්‍රිස් මූන් කම්පුචියාවට පැමිණියේ බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩ සටහනකට සහාය දීම සඳහාය. මේ වනවිට කම්පුචියාවේ කෙමරූජ් පාළනය බිඳවැටී රජයේ හමුදා අගනුවර බලය තහවුරු කොටගෙන තිබුණි. කැලෑබද ප්‍රදේශවල සැඟවී සිටි කෙමරූජ්වරු ඇතැම්විට සිටියේ සෙවිල්ලෙනි.
වරක් ක්‍රිස්මුන් ඔහුගේ භාෂා පරිවර්තකයා සමඟ වාහනයකින් කැලෑවක් හරහා ගමන් කරමින් සිටියේය. හිටිහැටියේම ඔවුන් කෙමරූජ් ගරිල්ලන් විසින් වටකර ගන්නා ලදී. ක්‍රිස්මුන් හමුදා ඔත්තු කරුවෙකැයි සැක කළ කෙමරුජ් ප්‍රාදේශීය නායකයා ඔහු අත්අඩංගුවට ගත්තේය.
මේ කාලය අතරතුරදී විදේශිකයන් පවා කෙමරූජ්වරෙැ ඝාතනය කොට තිබුණි. එම නිසා ක්‍රිස්මුන් හා ඔහුගේ සහයකයා සිටියේ භීතියෙනි. ඔවුන් අත්අඩංගුවට ගත් කෙමරූජ්වරු වනයේ ඈතට සිරකරුවන් රැගෙන ගියහ. මෙසේ ගෙනගොස් ඔවුන් ප්‍රධාන කඳවුරක සිරකර තබන ලදී.
මෙලෙස දින 3 ක් ඔව්හු කෙමරූජ් අත්අඩංගුවේ පසුවෙමින් අවිනිශ්චිතව ජීවත් වූහ. කෙමරූජ්වරු ඔහුට පහර දුන්නේ හෝ තර්ජනය කළේ නැත. ක්‍රිස්මුන් හමුදා ඔත්තුකරුවකු නොවන බව ඒ වනවිට කෙමරූජ්වරු තහවුරු කරගෙන සිටි නිසා ඔහුට නිදහස ලැබිණි. යළිත් නිරුපද්‍රිතව කෙමරූජ්වරුන්ගෙන් මිදී ඒමට ඔහුට හැකි විය.
මහා විනාශයෙන් පසුව
1976 දී කෙමරුජ්වරු විසින් කම්පුචියානු ජනතාව කොටස් තුනකට ඛෙදනු ලැබීය. ජිවත්වීමට අයිතිය ඇති කොටස්, අපේක‍ෂකයෝ සහ අනවශ්‍ය කොටස් වශයෙනි. මින් පළමු කොටසට අයත් වූයේ කෙමරූජ් සංවිධානයේ ආධාරකරුවන්ය. අපේක්ෂකයෝ ලෙස ළමා ජනගහනය සලකන ලදී. මෙයින්ද සංවිධානයට ප්‍රයෝජනවත් යයි සැලකූ කොටස් වූහ. ඉතිරි අනවශ්‍ය යැයි සැලකූ පිරිස හඳුන්වන ලද්දේ පොහොර කිරීම සඳහා නියමිත ජනයා වශයෙනි. ඔවුන්ගේ දෛනික ආහාරවේල හැකිතරම් අඩු කරන ලදී. දිනකට ඔවුන්ට ලැබුණේ සහල් කැඳ කෝප්ප දෙකක් පමණි. කෘතිම සාගත ඇති කිරීම මගින් ඔවුන්ගේ සංඛ්‍යාව බොහෝ දුරට අඩුකර දැමීමට කෙමරූජ්වරු පියවර ගත්හ. ඔවුන් මරා දැමීම සඳහා උණ්ඩ භාවිතා කිරීම අනවශ්‍ය වියදමක් හෙයින් තියුණු අවි හා පොලූ මුගුරු ඒ සඳහා භාවිතා කළහ. සාගතය නිසා මළ සංඛ්‍යාව මිලියන එකක් බව Francois Ponchaud ඔහුගේ Cambodia Year Zero කෘතියෙන් පවසයි.
2006 වසරේ ලෝක බැංකු වාර්තා හා 2007/8 UNDP වාර්තා අනුව 35% කම්පුචියානු ජනතාව ජීවත්වන්නේ අන්ත දුගී බවිනි. ඔවුන්ගේ දෛනික ආදායම ඇමෙරිකානු ඩොලර් 0.45 ද නොඉක්මවයි.
කම්පුචියාවේ අගනුවර වන ඡයබදප ඡැබය හි මුඩුක්කු 564 පමණ ඇති අතර, මෙහි 300,000 ක ජනතාවක් ජීවත් වෙති. යටිතල පහසුකම් තවමත් පවතින්නේ ඉතා නොදියුණු මට්ටමකය. කෙමරූජ් භීෂණය නිසා පීඩාවට පත් ජනතාවගේ මානසික සෞඛ්‍ය නංවා ලීමට වෛද්‍යවරුන්ගේ සහ හෙදියන්ගේ තද හිඟයක් පවතී.
කම්පුචියාවේ බැංකු සේවා භාවිතා කරන්නේ 120,000 වූ පමණ සුළු පිරිසකි. H.D.I. (Human Development Index) අගය අනුව කම්පුචියාව 131 තත්වය දරයි. (සංවර්ධිත රටක් වූ අයිස්ලන්තය අංක 1 ද අසංවර්ධිත, ගැටුම් වලින් පිරි සේරාලියොන් අංක 177 ද, ්‍යගෘගෂග අගය අනුව නියෝජනය කරති)
කම්පුචියාවේ විදුලි බලය ඇත්තේ ජනගහනයෙන් 17% වැනි අල්ප ප්‍රමාණයකටය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා අනුව (2005) කම්පුචියාවේ ළමුන් 36% මන්දපෝෂණයෙන් පෙළෙති. ළමා මරණ අනුපාතය 65:1000 කි. කම්පුචියානුවන්ගේ සාමාන්‍ය ආයු කාලය පුරුෂ 55.2 හා ස්ත්‍රී 60.6 කි. මිනිසුන් ලක‍ෂයකට ඇත්තේ වෛද්‍යවරු 16 ක් පමණි. ජනගහනයෙන් 1.2% අන්ධ අතර අක්ෂි විශේෂඥයන් ඇත්තේ තිදෙනෙකු පමණි. මුළු රටේම දන්ත වෛද්‍යවරු ඇත්තේ 374 කි. මනෝ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 26 කි. සෑම වසරකටම මිනිසුන් 70,000 ක් ක්ෂයරෝගයට ගොදුරුවෙති.
2006 වසරේ කම්පුචියාවේ අධ්‍යාපන අමාත්‍යාංශය කළ සංගනනය අනුව එරට සාක්ෂරතාවය පුරුෂ 82.1% හා ස්ත්‍රී 67.4 කි. කම්පුචියානු කාන්තාවන් 42% හා පුරුෂයන් 21% පාසල් අධ්‍යාපනය ලබා නැත. ගෘහමූලිකයන්ගෙන් 26% ක් කාන්තාවෝ වෙති. සෑම උපත් 100,000 කට මාතෘ මරණ 440 ක් සිදුවන බව ගණන් බලා තිබේ. වසරකට කාන්තාවන් 200 දරු උපත්නිසා ඇතිවන සංකූලතා නිසා මිය යති.
එක්සත් ජාතීන්ගේ මැදිහත්වීම්
1991 එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවක් කම්පුචියාවට යවනු ලැබීය. රටේ අභ්‍යන්තර ගැටුම් අවසන් කිරීම සඳහා මෙම සාම සාධක හමුදාව විශේෂ කාර්යභාරයක් ඉටු කරන ලදී. 1991 සිට 1995 දක්වා එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව කම්පුචියාවේ රැඳී සිටි අතර, දශක ගණනාවක් පුරා ඇවිලූනු ගැටුම් ක්‍රම ක්‍රමයෙන් අඩු විය.
සාම සාධක මෙහෙවරත් සමඟම වියට්නාමය විසින් කම්පුචියාවට කරන ලද බලපෑම් ක්‍රම ක්‍රමයෙන් අඩු විය. වියට්නාම් හමුදා කම්පුචියානු භූමියෙන් ඉවත් කරන ලදී. 1993 දී කම්පුචියාවේ මැතිවරණයක් පවත්වනු ලැබීය. 1997 වසරේ තායි දේශසීමාව අසල රැඳී සිටි පොල්පොට් ප්‍රධාන පෙලේ නායකයෙකු වූ Son Sen කම්පුචියානු රජය සමඟ සාම සාකච්ඡා රහසේ ඇරඹීමයි.
Son Sen ගේ ඝාතනය නිසා පොල්පොට් කෙමරූජ්වරුන්ගේ නිවාස අඩස්සියට පත්විය. 1997 ඔහුගේ මරණය සමඟම කියු සම්පෙන් හා ඉයෙංසාරි කොන්දේසි සහිතව රජයට යටත් වූහ.
Ta Mok පමණක් කෙමරූජ් සංවිධානයට නායකත්වය ලබාදෙමින් තවදුරටත් සටන් කළ නමුදු 1999 දී ඔහු අත් අඩංගුවට ගනු ලැබීය. 1999 වන විට කෙමරූජ් සංවිධාන එහි අවසාන අදියරට පැමිණෙමින් සිටියේය. 1999 වසර අවසන් වන විට ඉතිරි කෙමරූජ් ගරිල්ලන් අවි බිම තබා යටත් වූහ. එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව කම්පුචියාවේ සිදු කරන ලද සාම වෙනස පලදායි මෙහෙවරකි.
1997 වසරේ කම්පුචියානු රජය Khmer Rouge Trial Task F‍orce මගින් කෙමරූජ් සමයේ සිදුවූයේ මානව අයිතීන් උල්ලංඝනය කිරීම පිළිබඳව විභාග කරන ලදී.

පොල්පොට්ගේ භීතිකාව හා සුපිරි බලවතුන්
පොල්පොට්ගේ රාජ්‍යය හඳුන්වා දීම සඳහා උචිත වචනය Xenophobic Agrarian Society හෙවත් විදේශිකයන්ට බියවූ කෘෂිකාර්මික සමාජය බව ඇතැම් දේශපාලන විශ්ලේෂකයෝ පවසති. පොල්පොට් ප්‍රජාතන්ත්‍රවාදයට බිය විය. ඔහුට අවශ්‍ය වූයේ විදේශ මැදහත් වීමකින් තොරව තමාගේ මාරක ෆැන්ටසිය, කම්පුචියාවේ නිර්මාණය කිරීමටය. එකල විදේශ මැදහත්වීම සිදු කෙරුණේ අන්තර් ජාතික දේශපාලන වාසිතකා බැවින් සුපිරි බලවතුන් කම්පුචියාවේ සිදුවන ජනඝාතන කෙරෙහි අවධානය යොමු නොකළහ.
තම තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයන්ට පොල්පොට් අනුග්‍රහයක් වූ බැවින් ඔහු ඇතුළු කෙමරුජ්වරු විසින් සිදුකරන ලද අමානුෂික ක්‍රියා ඔවුහු නොසලකා හැරියහ. නැතහොත් ඒවා කම්පුචියාවේ අභ්‍යන්තර කටයුතු ලෙස සලකා ඉවත බලා ගත්හ. මේ නිසා පොල්පොට් ඇතුළු කෙමරුජ්වරු විසින් දියත් කරන ලද භීෂණයට සුපිරි බලවතුන්ද වක්‍රාකාරයෙන් වගකිව යුතුය.
කම්පුචියාවේ ගම්මාන 13,000 ට අධික ප්‍රමාණයක් මැදිකොට ගනිමින් පවත්වාගෙන ගිය භීෂණ රාජ්‍යයේ ක්‍රියාමාර්ග පෙන්වා දෙන්නේ 309 පමණ වූ මෙතෙක් හඳුනාගන්නා ලද සමූහ මිනීවලවල්ය.
පොල්පොට් කම්පුචියාව සංවෘත රාජ්‍යයක් බවට පත් කරන ලදී. බාහිර රාජ්‍යවල් සමඟ තිබූ ගණුදෙනු නවතා දැමුවද යුධ තාක්ෂණ අවි ලබා ගැනීම සඳහා කෙමරූජ්වරු චීනය, ඇමෙරිකාව, බි්‍රතාන්‍යය, තායිලන්තය වැනි රටවල් සමඟ රහසේ සබඳතා පැවැත්වූහ. ඔවුන් කම්පුචියාවේ සිදුකරන මානව සංහාරයන් පිළිබඳව දැන සිටියද කෙමරූජ්වරු බලයේ සිටි කාලය පුරා අනුගමනය කරන ලද්දේ නිහඬ ප්‍රත්පත්තියකි. ඔවුන් ලෝකය හමුවේ කම්පුචියාවට සම්බාධක පනවා තිබුණද, තිරයෙන් පසුපස සිට ගනුදෙනු කිරීම අත්හැරියේ නැත.
කෙමරූජ්වරු විදේශික බලපෑම් වලට දැක්වූයේ බියක් හා පිළිකුලකි. නමුත් අවශ්‍ය වූ විටදී ඔවුන් විදේශිකයන් සමඟ ගණුදෙනු කළහ. එහෙත් එසේ කළායයි සැක කළ සිවිල් කම්පුචියානුවන් ඝාතනය කළහ.
1975-1979 දක්වා කාලය තුළ සිදුවූ ජන ඝාතන කාලයේ වැලිතලාවට යට නොවී යාම සඳහා 2003 වසරේ එක්සත් ජාතීන් විසින් කම්පුචියාවේ සිදු කෙරුණ ජනසංහාරය පිළිබඳව වගකිවයුත්තන් අධිකරණය හමුවටගෙන ඒමට වඩාත් සක්‍රීය ක්‍රියා මාර්ගයන් අරඹන ලදී. 2007 යේල් සරසවිය ආරම්භ කළ, කම්පුචියානු ජනසංහාරය පිළිබඳව අධ්‍යයනය මගින්ද, ලෝකයට කෙමරුජ් භීෂණය පිළිබඳව තොරතුරු දැන ගැනීමට ඉඩ සැලසුනි.
සුප්‍රසිද්ධ ටයිම් සඟරාවේ නිර්මාතෘ හෙන්රි ලූස් පදනම මගින්ද මෙම අධ්‍යයනය සඳහා ප්‍රතිපාදන ලබාදෙන ලදී. මෙම අධ්‍යයන මගින් කළ බලපෑම් නිසා 1994 වසරේ ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය CGJA හෙවත් Cambodian Genocide Justice Act පණත සම්මත කර ගන්නා ලදී. මෙම පණත වින්දිතයන් සඳහා යුක්තිය ඉටු කිරීමට බැඳී සිටියි. එහෙත් ඔවුන් සඳහා යුක්තිය මේ දක්වා ඉටුවී ඇත්තේ ඉතා අල්ප වශයෙනි.
නට්සි ජර්මනිය පරාජයෙන් පසු ඇරඹි නියුරම්බර්ග් යුධ අපරාධ විභාග අධිකරණය හා කම්පුචියානු ජන සංහාර අධිකරණය අතර ඇත්තේ පරස්පර බවකි. නියුරම්බර්ග් අධිකරණයේ වැඩ කටයුතු ඉතා කාර්යක්ෂමව හා කඩිනමින් සිදු වුවද කම්පුචියානු ජනසංහාරය පිළිබඳ අධිකරණ ක්‍රියාදාමය සිදු වන්නේ මන්දගාමි අන්දමටය. මේ සඳහා එක් හේතුවක් ලෙස පෙන්වා දිය හැක්කේ සුපිරි ජාතීන් තිරය පසුපස සිට කළ ගණුදෙනු අන්තර් ජාතික ප්‍රජාව ඉදිරියේ ඔප්පුවීම වැළැක්වීමටයි.
සුපිරිබලවතුන්ගේ සහය නිසා කෙමරූජ් සංවිධානයට 1992 දක්වා පැවතීමට අවකාශ ලැබුණි.
කෙමරූජ් විප්ලවයේ අභ්‍යන්තරය
Ben Kierín විසින් 2002 වසරේ එලි දැක්වූ The Pol Pot Regime ග්‍රන්ථය මගින් කෙමරුජ් විප්ලවයේ අභ්‍යන්තරය විශ්ලේෂණය කරන ලදී. කම්පුචියාවේ එවැනි විනාශයක් සිදුවීමට හේතුවූ කරුණු පිළිබඳව විග්‍රහයක Ben Kierín යෙදෙන අතර, කෙමරුජ් නායකයන් තුළ තිබූ ඌන දේශපාලන දැනුම, අන්තවාදී පටු ජාතිවාදී අදහස් මෙම විනාශය කරා ඔවුන් යොමුකළ බව පෙන්වා දෙයි.
ඔවුන්ට තිබුණේ සීමා සහිත දැනුමක් හා සීමිත අත්දැකීම්ය. දේශපාලන තීරණ භීෂණ යාන්ත්‍රණය මගින් ක්‍රියාත්මක කළ හැකිබව ඔව්හු සිතූහ. ඔවුන්ට අවශ්‍ය වූයේ නව සමාජ ක්‍රමයක් බිහි කිරීමටයි. එහෙත් ඒ සඳහා කවර වන්දියක් කම්පුචියානු ජනතාව ගෙවිය යුතුද යන්න පිළිබඳව අදහස් ඔවුන්ට නොවීය.
ඔවුන් මාක්ස්වාදය ගැඹුරින් හදාරා තිබුණේ නැත. සෝවියට් දේශය හා චීනයේ සිදුවූ සමාජ පෙරළිය මතුපිටින් අධ්‍යයනයකළ ඔව්හු වඩා විනාශකාරී විප්ලවයකට කම්පුචියාව ඇද හැලු බව ඊැබ ණසැරබ්බ පවසයි. වැඩිදුරටත් මේ පිළිබඳව කරුණු දක්වන කතුවරයා ඔවුන්ට මානව සාරාර්ථ අවබෝධ කර ගැනීමට අපහසු වූ බවත්, වඩාත් ලේ ගලා ගිය කරමට විප්ලවයන් සාර්ථක වන බවත්, ඔවුන් ඇදහූ බව පෙන්වා දෙයි.
කෙමරූජ්වරුන්ට පන්තිභේදය තුරන් කිරීමට අවශ්‍ය විය. ඔවුන් ඒ සඳහා කෙටි හා මාරක උපක්‍රම භාවිතා කළෝය.
සමාජ ස්ථරය හමා සමාජ වියමන කඩාදැමූ ඔවුන් කම්පුචියාව ගල්යුගය කරා ගෙන ගියහ. කෙමරුජ් නායකයන් අතරද පරස්පරතා බොහෝ සෙයින් දක්නට ලැබිණි. ඔවුන් ගතකළේ දෙබිඩි ජීවිතයකි. එසේම එකිනෙකා සැක කරමින් එකිනෙකාට චෝදනා කර ගත්හ. මනුෂ්‍ය ඝාතන වලදී ඔවුන් දෙවෙනි වූයේ හිට්ලර්ට සහ ස්ටාලින්ට පමණකි.
1953 සිට 1975 අතර කාලය තුළදී පොල්පොට් ක්‍රම ක්‍රමයෙන් දේශපාලනයට අවතීර්ණ වීමත්, කම්පුචියාවේ බලය අල්ලා ගැනීමත් සිදුවිය. මේ කාලය තුළදී ඔහු තුළ විශාල පරිවර්තන සිදුවිය.
පක‍ෂය තුළ බලය තහවුරු කර ගැනීම සඳහා ඔහු ඇතැම් විට උපාය මාර්ගවල නිරත විය. කම්පුචියාවේ අභ්‍යන්තර අර්බුද වඩාත් සංකීර්ණ වීමට ඉඩදීම තුළින් එහු තමගේ දේශපාලන මාර්ගය සකස්කර ගත්තේය. ඔහු විසින් නිර්මාණය කරන ලද මෙම දේශපාලන බලවේගය විසින්ම අවසාන කාලයේදී ඔහු ගොදුරු බවට පත් කර ගන්නා ලදී.
කෙමරුජ්වරුගේ සමාජ සංශෝධනය
සමාජ සංශෝධනයේ ලා කෙමරූජ්වරුන් විසින් භාවිතා කරන ලද්දේ භීෂණය මැදිකරගත් යාන්ත්‍රණයකි. කම්පුචියාවේ එවකට පැවති සමාජ ක්‍රමය ගර්හිත සමාජයක් බව කෙමරූජ්වරු පැවසුහ. මෙම සමාජක්‍රමය වඩාත් ප්‍රගතිශීලි තලයකට ගෙන ඒම ඔවුන්ගේ මූලික අභිප්‍රාය වුවද, ඒ සඳහා හිතකර ක්‍රම වේදයන් හෝ නිවැරදි දේශපාලන දැක්මක් ඔවුන්ට නොවීය. එම නිසා මිලියන ගණනාවක් ජනතාව තම ජිවිතවලින් වන්දි ගෙවීම කළහ.
කම්පුචියානු සමාජවාදී විප්ලවයේ නාමයෙන් උපැස් පැළඳවූවන්, අව්කණ්නාඩි පැළඳවූවන්, විදේශ භාෂා දැන සිටි මිනිසුන්, මොලොවින් තුරන් කරන ලදී. Francois Ponchaud ගේ Cambodia Year Zero ග්‍රන්ථය අනුව කෙමරුජ්වරු පැටලී සිටියේ උමතු දහමකය. ඔවුන්ට වසර පහක් ඇතුළත පරිපූර්ණ කොමියුනිස්ට් රටක් බිහි කිරීමට අවශ්‍ය විය. එහෙත් ඔවුන් ජනතාව වෙත ලබාදුන්නේ හාමත, වහල් ශ්‍රමය, වදබන්ධන හා මරණය පමණි.
නික්සන්ගේ Mad Man Theory මගින් පොල්පොට් බලයට ඒම සඳහා පරිසරය සකස් කර ගැනීම
වියට්නාම් යුධ සමයේ එක්සත් ජනපදයේ යුධ ශක්තිය ප්‍රකාශ කිරිම හා එක්සත් ජනපද හමුදා සතුරන් විනාශ කිරීම සඳහා ජනාධිපති රිචඩ් නික්සන් Mad Man Theory ක්‍රමවේදය යොදාගන්නා ලදී. නික්සන්ගේ කම්පුචියාවට බෝම්බ හෙළීම මගින් පොල්පොට් හට ජනපදනමක් දමා ගැනීමේ වරම ලැබුණි. බෝම්බ වැටීම නිසා අවතැන්වූ ජනයා කෙමරුජ් සංවිධානයේ පිහිට පැතූහ. එය පොල්පොට්ට ගෙන ආවේ වෙස්වලාගත් ආශිර්වාදයකි. ඔහුට පිරිස් බලය ලැබුණේ මෙවැනි සාමූහික විපතකට පත් වූ මිනිසුන් මගිනි.
1969 වන විට කෙමරුජ් සංවිධානයේ සිටියේ 1500 පමණ වූ ගරිල්ලන් සංඛ්‍යාවකි. එහෙත් 1972 වන විට එම සංඛ්‍යාව 35,000 දක්වා වැඩි විය. 1973 වන විට කෙමරුජ්වරු කම්පුචියාවෙන් 2/3 ක ප්‍රදේශයක් ග්‍රහණය කොටගෙන සිටියහ. දේශපාලන නිරීක‍ෂකයන් පෙන්වා දෙන අන්දමට මෙවැනි බලයක් කෙමරුජ් සංවිධානය වටා ගොඩ නැගීමට එක් හේතුවක් වූයේ ඇමෙරිකානු ගුවන් ප්‍රහාරය. කම්පුචියාවේ සිටින උතුරු වියට්නාම් ගරිල්ලන් ඉලක්ක කොටගෙන හෙළන ලද මෙම බෝම්බ ප්‍රහාර නිසා ජනතාවට හානියත්, කෙමරුජ් සංවිධානයට ජනයා අතර පදනමත් ලැබුණි.
කෙමරූජ් භීෂණය නිර්මාණය කරන ලද නික්සන්, කිසිංජර්, හවුලට මේ අනුව චෝදනා පත්‍රය නිතැතින්ම ගොනුවේ.
ශ්‍රී ලංකාවට පැමිණි කෙමරුජ් නියෝජිතයෝ
1975 දී ශ්‍රී ලංකාවේ පැවති නොබැඳි සමුළුවට සහභාගී වීම සඳහා කියු සම්පෙන් ශ්‍රී ලංකාවට පැමිණි අතර, ඔහු ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයන් සමඟ සාකච්ඡා පැවැත්වීය. කියු සම්පෙන් ආර්ථීක විද්‍යාඥ Samir Amien ගේ ආර්ථීක ප්‍රතිසංස්කරණ පිළිබඳව ප්‍රසාදයෙන් කථා කළ අතර කම්පුචියාවේ ස්වයංපෝෂිත ගොවි ආර්ථීක ක්‍රමයක් නිර්මාණය කරගත යුතු බව පවසා තිබේ.

කම්පුචියාවට පොල්පොට් ආගමනයෙන් පසු
කෙමරුජ්වරුන් විසින් දේශයේ සමාජ ආර්ථීක සංස්කෘතික සමාජ ස්ථර විනාශ කරනු ලැබීය. සත්‍යවශයෙන්ම ඔවුනට දේශය ගොඩනැගීමට සිදු වූයේ බින්දුවේ සිටය. මේ අනුව ශුන්‍යවසර හා කෙමරූජ්වරුන් ගේ පරාජයෙන් පසු කාම්බෝජ දේශය ගොඩනැගීමට පියවර ගත් මුල්ම කාලවකවානුවයි.
ආයු කාලය තවමත් 1960 ගණන්වල පැවති ආයු කාලයට සමානය. සෑම ළමයින් පස් දෙනෙකුගෙන් එක් අයෙකු වසර 12 දක්වා ජීවත් වන්නේ නැත. ජනගහනයෙන් අඩක් මන්දපෝෂණයෙන් පෙළෙති.
ප්‍රාථමික අධ්‍යාපනය අවසන් කරනුයේ 7% වැනි සුළුප්‍රතිශතයකි. ද්විතියික අධ්‍යාපනය නිම කරන්නේ 2% කි. කෙමරුජ්වරුන් විසින් විනාශ කළ යටිතල පහසුකම් ගොඩනැගීම සඳහා තවත් කාලයක් යනු ඇත.
නගරයේ අනාථ නිවාස රාශියකි. අනාථ නිවාස වල ළමයි දහස් සංඛ්‍යාවක් සිටිති. මොවුන් සඳහා ආහාර ඇඳුම්, සැපයීම ක්‍රමවත් නැත. පොල්පොට්ගේ ආගමනයෙන් මේ වන විට වසර 30 කට වඩා ගතවී තිබුණද, රටේ අධ්‍යාත්මය විනාශවී ඇත. කෙමරුජ්වරුන් විසින් කළ විනාශය තවමත් ප්‍රතිසංස්කරණය කර නැත. ව්‍යසනයට පත් වූ ජාතියක් ලෙස කම්පුචියානුවෝ අද අනාගතයට මුහුණ දෙති. කෙමරුජ් භීෂණය විසින් විනාශ කළ කම්පුචියා දේශය යළි යථා තත්වයට ඒමට තව බොහෝ කාලයක් ගතවනු ඇත.
කම්පුචියාවේ සමූහ ව්‍යසනය
1975 අප්‍රේල් 17 සිට 1979 ජනවාරි 7 දා දක්වා කම්පුචියාව පාළනය කළ කෙමරූජ්වරු මේ කාලය තුළ රටේ ඇති කළේ සාමූහික ව්‍යසනයකි. (Collective Trauma)
ඉයෙං සාරිගේ සෝබෝන් විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කළ නිබන්ධනය අනුව කෙමරූජ්වරු නව කෘෂි සමාජයක් බිහි කළහ. කඳුලින් හා ලෙයින් තැනුනු මෙම අර්ථ ක්‍රමය මර්ධනකාරි මෙන්ම ව්‍යසනකාරි එකක් විය.
දශක තුනක් ඇවෑමෙන් පසුවද කෙමරූජ් භීෂණයේ සෙවනැලි තවමත් දක්නට තිබේ. මානසික රෝගවලට ගොදුරු වූ මිනිසුන් අවතැන්වූ ජනයා, විනාශකරන ලද සමාජ වියමන, මේ සියල්ලම සාමූහික ව්‍යසනයේ ශේෂයන්ය.
යුක්තිය ප්‍රමාදය
කෙමරුජ් භීෂණය නිසා විපතට පත් වූ දහ දහස් ගණන් දිවිගලවාගත් පිරිස් තමන්ට තවමත් යුක්තිය ඉෂ්ට නොවූ බව ප්‍රකාශ කරති. ඉතා මන්ගාමීව ඇදීයන අධිකරණ ක්‍රියාදාමය කෙරෙහි බහුතරයක් විශ්වාස නොකරති. කෙමරුජ්වරුන් විසින් සිදුකල අපරාධවලට කිසිම වන්දියක් නොගෙවා, වරදකරුවන් විසින් තම ඉරණම ස්වභාව ධර්මයා අතට පත්කරනු ඇතැයි ඔව්හු විශ්වාස කරති.
හැටඑක් හැවිරිදි ගොවියෙකු වන San Chreung තම සැමියා ඉතා අමානුෂික අන්දමට කෙමරුජ් භටයන් විසින් මරා දැමූබව කියන්නීය. එසේම ඇයගේ මව සැලසුම් සහගත සාගතයේ ගොදුරක් වූවාය. පොල්පොට් මේ අපරාධ වලට කිසිඳු වන්දියක් නොගෙවා ස්වභාවික මරණයකට පත්වූ බව ඇය පවසා ඇත. කෙමරුජ් නායකයන්ද එසේ ගැලවී යනු ඇතැයි ප්‍රකාශ කළාය.
විසිවන සියවසේ ඛේදවාචකය
විසිවන සිවස ආරම්භවූයේ මහා පරිමාණයේ මනුෂ්‍ය ඝාතන සමඟය. සියවසේ මුල් වසර වලදී 26,000 ක් වූ ඇෆ්රිකානු ගැහැණුන් හා ළමයින් බි්‍රතාන්‍ය විසින් වදකඳවුරු වල බෝයර් යුද්ධයේදී රඳවා ගන්නා ලදී. ඔවුන්ගෙන් බොහොමයක් මිය ගියහ. ඉන්දිය නිදහස් සටනේදී බි්‍රතාන්‍ය හමුදා ජන ඝාතන සිදු කළහ.
ස්ටාලින් ගුලාර්ග් ශ්‍රම කඳවුරු වල හා ලූබියන්කාවේ මනුෂ්‍ය ඝාතන සිදු කලේය. හිට්ලර්, ඛෙල්සන්, සොවිබෝර්, අවුට්ටීච් වැනි වධ කඳවුරුවල මිනිසුන් මිලියන ගනනක් ගෑස් කාමරවලට යැවීය.
මාවෝගේ කොමියුනිස්ට් පක්ෂය සංස්කෘතික විප්ලවයේදී මිනිසුන් ඝාතනය කලේ තුවක්කු භටයෙන් පමනක් නොවේ. සාගතයද අවියක් කොට ගනිමිනි.
පොල්පොට් ද තම ඝාතන රාජකාරිය අකුරටම ඉටු කළේය. විසිවන සියවසේ මුල් වසර 88 තුළ පුද්ගලයන් 170,000,000 දේශපාලන හේතූන් මත මරා දමා ඇත. නිනා මෙඩොක්ස් හිටපු ගුවන් නියමුවරියකි. වියට්නාම් යුධ සමයේ ඇය දකුණු වියට්නාම් ප්‍රදේශවලට මානුෂික ආධාර ගුවනින් හෙළුවාය.
ඇය මෙසේ පවසන්නීය. මිනිසා තවමත් ඝාතන අදහස් වලින් සපිරි ප්‍රාථමික වානරයෙකි. නායක වානරයන්ට අපලවා මිනී මැරවීමට, වධබන්දන කරවීමට, හැකියාවක් තිබේ. ඔවුන් තීක‍ෂණය. ඔවුන් අපගේ නිද්‍රාවට පත් වී තිඛෙන විනාශකාරි අවේගයන් අවධිකොට ඒවා කුපිත කිරීමට සමත්ය. ඉන්පසු අපි අපගේ සහෝදර වර්ගයා මරා දමන්නෙමු. මෙම සෑම මිනී මැරුමක්ම සෑම ප්‍රචන්ඩත්වයක්ම සාධාරණීය කිරීම කරමු. එහෙත් සත්‍ය වනාහි අප සමාජ විරෝධි හා ස්ව වර්ගයා පීඩාවට පත් කිරිමේ සමත් සත්ව විශේෂයෙකි. මෙවැනි සාමූහික විනාශයන්වල අප යෙදෙන විට සදාචාරය ආගමික මති මතාන්තර අප පසෙකට තල්ලූ කරමු.
පොල්පොට් වැනි පුද්ගලයන් ගැන කිව හැක්කේ කුමක්ද? මට මෙහිදී ෂේක්ස්පියර්ගේ ප්‍රකාශයන් සිහිපත්වේ. ඔහු යහපත්වන විට ඔහු මිනිසාට වඩා මඳක් උසස් විය. ඔහු අයහපත් වනවිට ඔහු මෘගයාට වඩා මදක් යහපත් විය.
කෙමරුජ් භීෂණය මේ අවසාන ජවනිකාව නොවේ.
කෙමරුජ් භීෂණය අවසන් වී දශක තුනක් ගෙවුනද භීෂණයේ සෙවනැලි තවමත් මානව වර්ගයා වෙලා ගනියි. දෙවියන් විශ්වාස නොකළ ස්ටාලින් මිලියන 62 ක්ද මාඕ මිලියන 35 ක් ද පොල්පොට් මිලියන 3 ක ජන ඝාතන සිදු කළහ.
දෙවියන් විශ්වාස කරන බුෂ් හා බ්ලෙයාර් ඉරාකයේ සිදුකළේ කුමක්ද? භීෂණය තවමත් මනුෂ්‍ය වර්ගයා හැරගොස් නැත.

 වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Monday, May 22, 2017

සුද්දිගේ තේ වත්ත

 


මිණිපේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක ලෙස සේවය කල සමයේ මා රාජකාරී වැඩ සඳහා මහ නුවර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක කාර්‍යාලයට ගියේ හුන්නස්ගිරිය හරහාය​. හුන්නස්ගිරිය ආසන්නයේ විශාල නිසරු මුඩු ඉඩමක් දක්නට ලැබේ. 

" සර් දන්නවද මේක ඉස්සර සරු තේ වත්තක් කියලා ? රියැදුරු පුංචි බණ්ඩා මට මේ මුඩු ඉඩම පෙන්වා කීවේය​. 

පුංචි බණ්ඩා ගේ විස්තර අනුව මෙය ඉතා සරුසාර තේ වත්තකි. එහි අයිතිකරුවා සුද්දෙකි. දැන් සුද්දා මිය ගොසිනි . ඔහුගේ මහළු බිරිඳ තවමත් බංගලාවේ ජීවත් වන්නීය​. 

" කොහොමද තේ වත්ත පාළුවට ගියේ ? මම පුංචි බණ්ඩා ගෙන් ඇසුවෙමි.

" සර් වත්ත පවරා ගත්තට පස්සේ මිනිස්සු මේකෙ තිබ්බ ගස් කපලා විකුණ ගත්තා. තේ ගස් පවා උදුරලා දරට ගත්තා. හොඳ ආදායමක් තිබූ වත්තක් විනාස කරලා දැම්මා. අපේ මිනිස්සු තමයි මේක කාබාසිනියා කලේ  " ඔහු කීවේය​. 

මම තව තවත් හාර හාරා විස්තර ඇසුවෙමි. සිදුවී ඇත්තේ මෙයයි. රන් පවුම් වතු ජනසතු කල යුගයේදී මෙවැනි සරුසාර තේ වතු රජයට පවරාගෙන ඒවා පාලනය සඳහා තමන් ගේ දේශපාලන හෙන්චයියන්ට භාර දෙන ලදි. හාමතෙන් සිටි උන් ඉහගෙන කන්නාක් මෙන් මොවුන් මුලින්ම වත්තේ තිබූ වටිනා ගස් විකුනාගෙන කන ලදි. ඉන් පසු වත්තේ තිබූ කළුවර ගෘහ භාන්ඩ , පියානෝ යනාදියට වග කියන ලදි. ඉන් පසු වත්තේ ආදායම හොරා කන ලදි. තේ ගස් නඩත්තුවට පෝර සඳහා මුදල් වැය කරන බව පෙන්වා  මුදල් ගසා ගෙන  කෑම නිරන්තරයෙන්ම කෙරුනේය​. . පොහොර හා නඩත්තුව නොමැතිව තේ ගස් මැරුණු විට ගම්වාසීන් සමූහ වශයෙන් වත්තට පැන තේ ගස් උදුරාගෙන යන ලදි. ඉතා හොඳ ආදායමක් ලැබූ දැකුම්කළු වත්ත විනාස කිරීමේ ශෝකය නිසා සුද්දා මිය ගියේය​. ලංකාවට බෙහෙවින් ඇළුම් කල ඔහුගේ බිරිඳ ගරා වැටුණු බංගලාවේ ජීවත් වූවාය​. පසුව මිනිසුන් බලෙන් වත්තේ ඉඩම් අල්ලගෙන පදිංචි වූහ​. දැන් තිබෙන්නේ අතීත ශ්‍රී විභූතියේ නටබුන් පමණි. 

ඉතා හොඳ කළමනාකරණයක් තිබූ ආදායම් ඉපැද්දවූ තේ වත්තක් අපේ අයියලා මෙලෙස විනාශ කලහ​.මේ විනාශය කලේ අධිරාජ්‍යවාදී විරෝධය , වතු ජනසතු කිරීම  ආදී වචන යොදා ගනිමින් ගැලරිය පිනවමිනි.  තේ වගාව ගැන දැණුම තිබූ විශේෂඥයන් ඉවත් කොට එ් හිඩැස තම නූගත් දේශපාලන ගැත්තන් ගෙන් පුරවා කරන ලද විනාශය අති මහත් ය​. මේ දේශපාලන ගැත්තන් තේ වගාව තබා මිරිස් පාත්තියක් වත් වගා කිරීමට නොදත් අඳ බාලයන් වූහ​. 

තේ වතු වලින් තේ පැළ උගුල්ලවා ඒවා වල බතල සිටවනවා කී විජේවීර 1971 දී  සහ  1988 දී  තම අනුගාමිකයන් යොදවා තේ ෆැක්ටරි වලට ගිනි තැබුවේය​.  මේරිස්ටන් තේ ෆැක්ටරිය යනු ජවිපෙ විසින් 1971 දී විනාශ කල ඉතා විශිෂ්ඨ තත්වයේ තිබූ තේ කම්හල් වලින් එකකි. තේ වතු කෙරෙහි විජේවීරගේ වයිරයට එක් හේතුවක් වූයේ යූ.එන්.පී  විරුද්ධවාදීන් විසින් දෙනියාය ප්‍රදේශයේ වතු කම්කරුවන් ලවා  පහර දී ඔහුගේ පියා සදාකාලික අබ්බගාතයෙකු කිරීමය​.  තවද තේ වතු නිසා නියඟය එනවා කියා ඔහු විශ්වාස කලේය​.  මේ හැර ඇන් ඇම් පෙරේරා විසින් අධිරාජවාදීන්ට පාඩමක් ඉගැන්වීම සඳහා වතු ජනසතු කිරීමට සිරිමාවෝ අගමැතිනියට බලපෑම් කලේය​.  මේ වතු ඉඩම් උඩරට ගැමියන් ගේ ඒ නිසා ඒවා අපි පවරා ගන්නවා කියමින් ලෝකයේ තිබූ ඉතා හොඳ කෘෂි  වියාපෘතියක් මෙයාකාරය​ට සමතලා කරන ලදි. ජනසතුවෙන්   පවරාගත් වතු දුර්වළ කළමනාකරණය නිසා  පිරිහෙන්නට විය​. 

මෙලෙස කඳුකරයේ තිබූ සරුසාර ආදායම් ඉපැද්දවූ තේ වතු විනාශ මුඛයට යන ලදි.  දුර දිග නොබලා න්‍යායන් මත පදනම්ව ගත් දේශපාලන තීන්දු නිසා ලෝකයේ හොඳම තේ නිෂ්පාදනයක් තිබූ ශ්‍රී ලංකා තේ නිෂ්පාදනය පහල වැටුණු අතර ලංකාවේ මෝඩකම් තම වාසියට හරවා ගත් කෙන්‍ යාව තම තේ වතු  වැඩි දියුණු කලහ​. ලංකාව පයින් ගසා එලවූ තේ ආයෝජකයන් , තේ වගාව පිලිබඳ විශේෂඥයන් ඔවුන් කෙන්‍ යාවට ගෙන්වා ගෙන තේ වගාව ආරම්භ කලහ​.  2012 වසරේදී කෙන්යාව තේ අපනයනයෙන් ඩොලර් බිලියන 1.45 මුදලක් උපයා ගන්නා ලදි. 

 වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Sunday, May 21, 2017

සල්ලි තියෙන එකා සයිටම් යන විට සල්ලි නැති එකා මොකද කරන්නේ?


සල්ලි තියෙන එකා සයිටම් යන විට සල්ලි නැති එකා මොකද කරන්නේ?

සල්ලි තියෙන එකා බස් එකේ යන කොට සල්ලි නැති එකා මොකද කරන්නේ  ?

සල්ලි තියෙන එකා මරුතියෙ යනකොට  සල්ලි නැති එකා මොකද කරන්නේ  ?  

සල්ලි තියෙන එකා මොන්ටෙරෝ එකේ යනකොට  සල්ලි නැති එකා මොකද කරන්නේ   ?  

සල්ලි තියෙන එකා  තෝසෙ කඩෙන් කන කොට   සල්ලි නැති එකා මොකද කරන්නේ  ?  

සල්ලි තියෙන එකා හිල්ටන් එකෙන් කන කොට   සල්ලි නැති එකා මොකද කරන්නේ    ?

සල්ලි තියෙන එකා තුන් වේල කන කොට සල්ලි නැති එකා මොකද කරන්නේ ?


සමාජවාදී ගෝඩා්ෙ එනකම් ඉමු 

Saturday, May 20, 2017

සරණපාල ගේ කතාව

 


සරණපාල ඉපදුනේ පිටිසර නොදියුණු ගමකය​. ඒ පලාතේ සිටි එවුන් ජනතා නියෝජිතයා ලෙස පාර්ලිමේන්තුවට යැව්වේ නූගත් කසිප්පු මුදලාලි කෙනෙකි. කසිප්පු මුදලාලි ගමට කිසිම සංවර්ධනයක් නොකලේය. මේ නිසා සරණපාලගේ ගමට  හරි හමන් තාර පාරක්වත් තිබුනේ නැත​. 

සරණපාලගේ පවුල ගමේ නින්දා අපහාස ලැබුවේ කුල පීඩනය නිසාය . ගමේ උසස් කුල වල එවුන් ගේ ළමයි සරණපාල සමග සෙල්ලම් කිරීමද වර්ජනය කරන ලදි.   මේ නිසා සරණපාල සෙල්ලම් කලේ තමා මෙන් පිටමං කරන ලද කොල්ලන් කුරුට්ටන් සමගය.

සරණපාලයාගේ පියා කසිප්පු බීගෙන  බිරිඳට සහ ළමුන්ට පහර දෙන්නේය​. මේ නිසා සරණපාලට ගෙදර අපායකි. ගෙදර අඟහිඟකම් නිසා සරණපාලගේ අම්මා මැදපෙරදිග රැකියාවකට ගියාය​. මේ නිසා සරණපාලට මවගේ උණුසුමද අහිමි විය​. ගෙදර හරි හමන් ආරක්‍ෂකයෙකු නැති නිසා වරින් වර අල්ලපු ගෙදර වැඩිහිටියා -විශ්‍රාමික ග්‍රාමසේවක සරණපාලව ලිංගිකව අපයෝජනයද කලේය​. 

සරණපාල , සරණපාල ගේ අක්කා හා මල්ලී යන්තම්  පණ ගැට ගහ ගත්තේ කොස් ගෙඩියක් දෙකක් තම්බාගෙන කමිනි. ගමේ කුඩා කඩයක් කල තේගිස් මුදලාලි ඉඳහිට පිනට එවූ පාං ගෙඩි දෙක තුනද  කුසගින්න නිවා ගන්නට උපකාරී විය​. 

කෙසේ නමුත් සරණපාල ගෙදර අපායෙන් ගැලවීමට ඉගෙන ගත යුතුයි කියා සිතුවේය​. මැදපෙරදිග ගිය මවද පඩි නොමැතිව දුක් විඳින නිසා සරණපාලගේ අක්කා ටවුමේ ගාමන්ට් එකක රැකියාවකට ගියාය​. මේ නිසා සරණපාලලාට යන්නතම් තුන් වේල කෑමට යමක් ලැබුණි. 

සරණපාල උසස් පෙළ යන්තමින් සමත් වූවද දිස්ත්‍රික් කෝටාව නිසා සරසවි ප්‍රවේශය ලැබුවේය​. සරසවියට ගිය සරණපාලට නවක වධය ලෙස   ජේෂ්ඨයෝ කුණුහරප කීවෝය​. තවද සරණපාලලාව නිරුවත් කොට ව්‍යායාමද කරවන ලදි. මෙසේ නා නාවිධ අපහාස හිංසා නවක වධයේ නාමයෙන් ලැබුණු සරණපාල ඊලඟ වසරේ ජේෂ්ඨයෙකු විය​. ජේෂ්ඨයෙකු වූ සරණපාල කොලඹ ඉස්කෝල වලින් පැමිනි නවක සිසුන් තෝරාගෙන ඔවුන්ට තමා ලැබුවාටත් වඩා නවක වධ දුන්නේ කොලඹට කිරි ගමට කැකිරි කියමිනි. 

තමන් ඉගන ගත් ගමේ පාසල හරක් මඩුවක් මෙන් වූයේත් කොලඹ ඉස්කෝල වල ලොකු  බිල්ඩිං තිබුනේත් කෙසේද කියා නොදත් සරණපාල මේ විශමතා සඳහා දොස්  කීවේ කොලඹ ඉස්කෝල වලින් පැමිනි නවක සිසුන්ටය​. මේ සඳහා සරණපාලට තමා සමග ගමේ පාසලේ ඉගෙන ගත් සිරිපාල සහ විමලසේනද උල් පන්දම් දුන්නේය​. 

සරණපාල අන්තරයට බැඳුනේය​. අන්තරයේ අයියලා කී පරිදි ගමේ උළු ගෙයක ඉන්නා තේගිස් මුදලාලි  ධනපතියෙකි. එසේම තම අක්කාට රස්සාවක් දුන් තවත් පවුල් ගනනාවක් නඩත්තු වෙන ගාමන්ට් එකේ හිමිකරු සමරසිංහ මහතා සූරාකන්නෙකි. 

අන්තරයේ නියමය පරිදි සරණපාලලා සරසවි අධ්‍යාපනය පසෙකලා නොයෙකුත් උද්ගෝෂණ කෙරුවෝය​. පුද්ගලික විශ්ව විද්‍යාල එපා කියා පාරවල් බ්ලොක් කලෝය​. 

කුඩා කලයේ සිට තිබූ මානසික පීඩන නිසා සරණපාල සමාජය කෙරෙහි සිටියේ තරහෙනි. මෙය තමන් ගේ වාසියට යොදාගත් අන්තරයේ අයියලා සරණපාලට නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් කරන්න කියා කීවෝය​. සරණපාල නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කියා බස් ගිනි තබන්නට ගොස් ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියන්නට ගොස් අට පාස් කොස්සෙක් ගෙන් වෙඩි පාරක් කා මලේය​. 

සරණපාලව ෆෝම් කල අයියලා ඔස්ට්‍රේලියාවට පැන ගොස් එහි පවුල් පන්සල් වූහ​. ඉන්පසු තමන් ගේ ළමයි ඔස්ට්‍රේලියාවේ පුද්ගලික විශ්ව විද්‍යාල වලට යැවූහ​. බිලි බෝයි කෙනෙකු වූ සරණපාලයා පසු කාලයක විරු සිසුවෙකු විය​. 

Find Us On Facebook