Tuesday, January 31, 2017

සයිටම් විරෝධය



සයිටම් විරෝධය මතු කල යුත්තේ සයිටම් අායතනයේ කොලිටිය වැඩි කිරීම සඳහා මිස පුද්ගලික විශ්ව විද්‍යාල තහනම් කල යුතුයි කියන ස්ථාවරේ සිට නොවේ. සයිටම් අායතනයේ කොලිටිය වැඩි කිරීම සමගම බොහෝ අඩු ලුහුඞුතා තිබෙන දේශීය වෛද්‍ය ආයතන වලද කොලිටිය උසස් කර ගැනීමට සටන් කල යුතුය​.

සයිටම් අායතනයෙන් පිටවන දොස්තරලා රෝගීන් මරා දමාවිද යන්න ගැන අනාවැකි කීම නම් තවමත් වේලපහ වැඩිය​. නමුත් පසුගිය දශක තුන ඇතුලත ලංකාවේ රෝහල් වල නොසැලකිල්ල නිසා රෝගීන් ගනනාවක් මිය ගියා පමණක් නොව වරක් රෝගී තරුණියක දූෂණය කොටද මරා දමන ලදි.

පුද්ගලික විශ්ව විද්‍යාල ලෝකයේ නව ප්‍රවණතාවක් නොවේ. අපගේ සෞඛ්‍ය සේවාවන්ට වඩා පසුපස සිටි බංග්ලාදේශය නේපාලය පවා පුද්ගලික විශ්ව විද්‍යාල මගින් තම රට වලට විදේශ විනිමය අද්දවා ගනිති. ජගත් විශ්ව විද්‍යාල ශ්‍රේනිගත කිරීමේදී පසුපස සිටි මේ බංග්ලාදේශය නේපාල විශ්ව විද්‍යාල දැන් වාර්ශිකවම ඉදිරියට එති. එහෙත් අපි තවම ලෝකයේ මුල් 2000 අතරවත් නැත​.

පුද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහිව සටන් වල පසුපස සිටින වාමාංශික නායකයන් ගෙන් බොහෝ දෙනෙකු ඔවුන් ගේ දුවා දරුවන් නම් යවා ඇත්තේ බටහිර රටවල පුද්ගලික විශ්ව විද්‍යාල වලටය​.

එහෙත් මේ සත්‍ය තේරුම් ගැනීමට අප බොහෝ දෙනෙකු අකමැතිය​. හේතුව අපේ මිනිසුන් විරෝධතා වල ජීවත් වීමට කැමතිය​. එහෙත් දෑස් ඇර බලන විට ලෝකය අප පසු කරගෙන ගොස්‍ ය​.

Monday, January 30, 2017

වෛද්‍ය වෛද්‍ය සිසු සිසුවියන් අනවශ්‍ය ලෙස ආතතියට හා ක්ලමථයට පත් කිරීම

 

ලෝකයේ බොහෝ වෛද්‍ය පීඨ වල වෛද්‍ය සිසුන් හෙවත් අනාගත දොස්තරලා අනවශ්‍ය ලෙස ආතතියට හා ක්ලමථයට පත් කිරීම මෙන්ම ඔවුන් ගේ අභිමානය බිඳ දමමින් ක්‍රියා කිරීම දකින්නට තිබෙන කරුණකි. බොහෝ වෛද්‍යවරු තම තමන් ගේ පීඨ වල මහාචාර්‍යවරු අතින් මානසික ආතති වලට ලක්වී තිබේ. මෙය වෛද්‍ය ලෝකයේ දක්නට ලැබෙන සුලබ තත්වයකි. 

අපගේ විනිට්සා වෛද්‍ය පීඨයේ සමහර සෝවියට් මහාචාර්‍යවරු​  සිසුන්ට ගරුත්වයකින් තොරව සැලකුවේය​. අපගේ ක්‍ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්‍ය පලී මාන්නක්කාර පුද්ගලයෙකු වූ අතර ඔහු සිසුන්ට පමණක් නොව කණිෂ්ඨ කථිකාචාර්‍යවරුන්ටද සැලකුවේ අත පල්ලෙන් වැටුණු ගානටය​. වරක් මම ඔහුගේ කාර්‍යාලයේ සිටියදී මහාචාර්‍ය පලී උප පීඨාධිපතිවරයෙකුට කර්කශ ලෙස   බැන වැදුනේය​. සිසු සිසුවියෝ ඔහුට බිය වූහ​. යම් ලෙසකින් පලීට නෝට් වූයේ නම් විභාග වලදී ඇන්නීම සුලබ වූයේය​. මහාචාර්‍ය පලී හැරුණු කොට තව  මහාචාර්‍යවරු කිහිප දෙනෙක් වෛද්‍ය සිසු සිසුවියන්ට අවමන් කරමින් සැලකූ බව මතකය​. එහෙත් 2009 වසරේදී වෛද්‍ය පීඨයේ මගේ ට්‍රාන්ස්ක්‍රිප්ට්ස්  යෝක් විශ්ව විද්‍යාලයට එවන ලෙස මා කල ඉල්ලීම  මහාචාර්‍ය පලී වහා ඉටු කල අතර ඔහු මට සුභ පැතුවේය​. මා මේ සටහන තබන්නේ මහාචාර්‍ය පලී සතුව යම් ගුණාංගද තිබූ බව කියන්නටය​. 

උතුරු කොලඹ ශික්‍ෂණ රෝහලේ සහ ජාතික රෝහලේ සේවය කරන ලද කාලයේදී ලංකාවේ වෛද්‍ය සිසු සිසුවියන් සහ ඔවුන් ගේ ආචාර්‍යවරු අතර සම්බන්ධතාවන් මම නිරීක්‍ෂණය කලෙමි. සමහර මහාචාර්‍යවරු වෛද්‍ය සිසු සිසුවියන්ට සැලකුවේ සැඩොලුන්ට මෙනි. බැනීමට අපහාස කිරීමට අමතරව සත්තු වත්තේ සතුන් ගේ නම් වලින් කතා කිරීමද සවනට වැටුනේය​. එසේම රෝගීන් ඉදිරියේ සිසුන්ව​ අවමානයට පත් කිරීම මොවුන් නිතරම කළහ​. 

මේ ඇදුරන් අතර වෛද්‍ය සිසු සිසුවියන්ට ආදරයෙන් සහ ගරුත්වයකින් සැලකූ ශල්‍ය වෛද්‍ය මහාචාර්‍ය රනිල් ප්‍රනාන්දු මගේ ගෞරවයට පාත්‍ර වූ විශේෂඥ වෛද්‍යවරයෙකු  බව මෙහිදී කියමි. මේ හැර ජාතික රෝහලේ මනෝ වෛද්‍ය අංශයේ මහාචාර්‍ය දියනාත් සමරසිංහ  වෛද්‍ය සිසු සිසුවියන්ට ආතති ගැන්වීමකින් තොරව හාසය යොදා ගනිමින් උගන්වනවා මම දුටුවෙමි.   
 
වෛද්‍ය සිසු සිසුවියන්ව වෛද්‍ය අධ්‍යාපනයේ නාමයෙන් මානසික හිංසනයට ලක් කිරීම ගැටළු සහගත තත්වයකි. ඉන්දියාවේ සහ චීනයේ සමහර වෛද්‍ය පීඨ වල සිසුන්ට ගුරුවරු විසින් කම්මුල් පහරවල් පවා දෙන බවට වාර්තා වී තිබේ. 

මේ රටවල් හැරුණු කොට මානව ගරුත්වය ගැන විශේෂ අවධානයක් දක්වන කාර්මීකරණයෙන් සංවර්ධිත පළවන ලෝකයේ වෛද්‍ය පීඨ වල මේ තත්වය තිබේද​? මම ඇමරිකාවේ , කැනඩාවේ, බ්‍රිතාන්‍යයේ , ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය පීඨ වල ඉගෙනුම ලැබූ වෛද්‍යවරුන් ගෙන් ඔබලා වෛද්‍ය සිසුන් වූ කාලයේදී  තම තමන් ගේ වෛද්‍ය විද්‍යාල වල ඇදුරන් විසින් අනවශ්‍ය ලෙස ආතතියට හා ක්ලමථයට පත් කිරීම තිබුනේද කියා ඇසුවෙමි.   ඔවුන් බොහෝ දෙනෙකු  වෛද්‍ය පීඨ වල සමහර ඇදුරන්  ඔවුන්ව  අනවශ්‍ය ලෙස ආතතියට හා ක්ලමථයට පත් කල බව කීහ​. 

වරක් මම කැනඩාවේ සනි බෘක් රෝහලේ Frederick W. Thompson Anxiety Disorders Centre මධ්‍යස්ථානයට ගියේ මා හඳුනන වෛද්‍යවරයෙකු හමු වීමටය​. එහිදී මම සනි බෘක් ශික්‍ෂණ  රෝහලට ඉගෙන ගැනීමට එන ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසු සිසුවියන් දුටුවෙමි. සමහර ගුරුවරු ඉදිරියේ මේ සිසු සිසුවියන් ගේ මුහුණු ඇදවී තිබුනහ​. තම ඇදුරන් ඉදිරියේ ඔවුන් ගේ මුහුණු වල තිබූ ක්ලමථය මම නිරීක්‍ෂණය කලෙමි. එසේම මේ රෝහලේ වෛද්‍ය ආතර් සාල්ට්ස් වැනි ගුරුවරු වෛද්‍ය සිසු සිසුවියන්ට ඉතා මානුෂිකව සලකනවාද මම දුටිමි. 

මෙලෙස වෛද්‍ය සිසු සිසුවියන් ආතතියට හා ක්ලමථයට පත් කිරීමෙන් ඔවුන් වඩා හොඳ දොස්තරවරු වන බව මේ ඇදුරන් විශ්වාස කලා විය හැකිය​. එසේම ඔවුන් ගේ මහාචාර්‍යවරු ඔවුන්ට සැලකූ ආකාරයට ඔවුන් තමන් ගේ වෛද්‍ය සිසු සිසුවියන්ට  සලකනවා විය හැකිය​. 

මෙලෙස වෛද්‍ය සිසු සිසුවියන්  අනවශ්‍ය ලෙස ආතතියට හා ක්ලමථයට පත් කිරීමේ දුර්විපාක මොනවාද​? 

චිකාගෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය ඒ.එෆ් කුක් වෛද්‍ය පීඨ වලදී වෛද්‍ය සිසු සිසුවියන් ආතතියට හා ක්ලමථයට පත් කිරීමේ දුර්විපාක  ගැන අධ්‍යනයක් කලාය​. මහාචාර්‍ය  කුක් පවසන අන්දමට  මේ හේතුවන් පසුකාලීනව මේ අනාගත වෛද්‍යවරු තුල හීනවූ සහකම්පනීය අවබෝධය , කායිකව හෝ මානසිකව විඩාවට පත් වීම , වෘත්තීය දැවී යාම් මෙන්ම පෞරුෂයේ සෘණාත්මක වෙනස්වීම්ද ඇතිවීමේ ඉඩකඩක් තිබේ. 

මහාචාර්‍ය  කුක් ගේ අධ්‍යනය අපව නව මානයකට ගෙන යයි. රෝගියෙකු ලෙස ඔබ වෛද්‍යවරයෙකු වෙත ගිය විට ඔහු හෝ ඇය ඔබට ගරුත්වයකින් තොරව සලකයි නම් , ඔබට සවන් නොදෙයි නම් ,ඔබගේ මුහුණ දෙසවත් නොබලමින් බෙහෙත් තුංඩුව ලියයි නම්,  රෝගයට අදාල ප්‍රශ්නයක් ඇසූ විට කෝපවී ඔබගේ ඇඟට කඩා පනියි නම් එම වෛද්‍යවරයා හෝ වෛද්‍යවරිය කෙරෙහි අමනාප නොවන්න​. මේ සඳහා බොහෝ සෙයින් වග කිව යුත්තේ එම වෛද්‍යවරයාට හෝ වෛද්‍යවරියට ගරුත්වයකින් තොරව ආතතිය ක්ලමථය අධි වර්ධනය වන ලෙසින් වෛද්‍ය පීඨයේදී සලකන ලද  ඇදුරන් වෙති. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Sunday, January 29, 2017

විසිතුරු මාළු

 



පාසල් කාලයේ සිටම  මම  විසිතුරු මාළුන්ට ඇළුම් කලෙමි. පාසල අසල සමහර විට වෙලෙන්දන් ගෝල්ඩ් ෆිශ් වැනි මාළුන් විකුණති. ළමුන් උන්ව මිලදී ගනිති. 

එක වසරේදී මම සරත්නරත්න හෙවත් ටිප්ටොප් සමග එක්වී ප්‍රභාත් කඩය අසලින් ගලන කුණු ඇළට බැස අළු පැහැති ගප්පි අල්ලා උන්ව බෝතලයක දමාගෙන ගෙදර ගෙනාවෙමි. 

මෙම කුණු ඇළ ප්‍රදේශය පාළුය​. එයට තනියම යාමට බිය මම සරත්නරත්නට අයියාගේ මුද්දර පොතෙන් ගලවා ගත් මුද්දර කීපයක් දී මාළු ඇල්ලීමට කැමති කර ගත්තෙමි. අප එහි යන්නේ පාසල අවසන් වූ පසුය​. 

අපි රෙදි කෑල්ලක් ගෙන දණක් වතුරේ බැස ගප්පි ඇල්ලුවෙමු.  සරත්නරත්නට මාළු ගෙදර ගෙන ඒමට පියා ඉඩ නොදෙන නිසා අල්ලන ලද මාළු මම ගත්තෙමි.  අල්ලාගත් මාළු හිස් කරන ලද තීන්ත කුප්පියකට දමා ගන්නා අප ජයග්‍රාහී විලාශයෙන් ප්‍රභාත් කඩය අසලින් යළි පාරට එන්නෙමු. පාසල ඉවරවී දෙමාපියන් හෝ ආයලා එන තෙක් රැඳී සිටින ළමුන් රොක් වී අප අල්ලා ගත් මාළු බැලීමට වටවෙති. මා සමග 1973 දී කුණු ඇලේ මාළු ඇල්ලූ සරත්නරත්න වර්තමානයේ ඇමරිකාවේ ජීවත් වෙයි. 

ආනන්දේ ඉදිරිපිට  විසිතුරු මාළු කඩයක් තිබූ බව මතකය​. මෙම කඩයෙන් ගුරාමියෙකු මම මිලට ගත්තෙමි. මේ කඩ වලින් ගන්නා මාළු ඉක්මනින් මැරෙන බව යහලුවන් කීහ​. ඔවුන් පවසන්නේ මෙම මාළු වෙලඳුන් මාළු දෙන විට හිමීට මාළුන් ගේ බඩවත මිරිකන බවය​. 

70 දශකයේ කොලඹ බෞද්ධාලෝක මාවතේ  ජාතික චිත්‍රපට සංස්ථාව තිබෙන භූමිය ආසන්නයේ කුඩා පොළක් විය​. මෙම පොලේ විසිතුරු මාළු විකුනන ලදි. මෙම පොලෙන් වරක් ගෝල්ඩ් ෆිශ් යුවලක් ගත්තා මතකය​. 

1975 මම තුන වසරේ සිටියදී අයියලා සමග එක්වී අපගේ පාසලේ සිටි දිනේශ් ජයවර්ධනගෙන් මාළු ටැංකියක් සමග මාළු රුපියල් විසි හතරක් ගෙවා මිලදී ගත් අතර මෙම ටැංකියට අප තව තවත් මාළු මිලදී ගෙන දැමුවෙමු. එම ටැංකියේ ගෝල්ඩ් ෆීශ් ,ගොගල් අයිස් , ඒන්ජල් , ගුරාමි, කාෆ් , ප්ලේටි , සීබ්‍රා , යනාදී මාළුන් පමණක් නොව විරල ගනයේ කැලිකා ගෝල්ඩ් ෆීශ් කියා මාළුවෙකුද විය​. 

ගුරාමීන් , ෆයිටර්ස් වැනි මාළු ටැංකියෙන් පිටට පනින නිසා ටැංකිය මතුපිට තංගුස් දැලක් තිබුණි. මෙම දැල නොතිබූ කාලයේ වරක් ටැංකියෙන් පිටට පැන්න ගුරාමියෙකු  පූසා විසින් කන ලදි. 

මාළුන්ට    බීමැක්ස් හෝ ෆිශ් මැක්ස් කියා හාල්මැස්සන් ඔළු සහ වියළි පාන් කුඩු කර තැනූ කෑම කඩවල තිබුනේය​. එම කෑම පැකට්ටුවක් ග්ලූකෝස් පැකට් එකක් තරම් ය​. එක් පැකට් එකක් මාස දෙකක් පමණ පාවිච්චි කල හැකිය​. මේ කුඩු  ස්වල්පයක් ඉස්ස විට මාළුන් මතුපිටට ඇවිත්  කති. 

වරක් පහ වසරේදී (1977)   මමත් රජිත් කුමාරසිරි හෙවත් මීයාත් දන්ත රඹුක්කනත් පාසල අවසන් වී කුප්පියාවත්ත ප්‍රදේශයේ මඞ වලකට බැස මාළු ඇල්ලුවෙමු. මට අමුතු මාදිලියේ කිසි දිනෙක දැක නැති මාළුවෙකු අසු වූ හෙයින් මම ඌව හිස් තීන්ත බෝතලයකට දමා ගත්තෙමි. මේ මාළුවා අප ආශාවෙන් නරඹන විට අපට වඩා ලොකු කොල්ලෙකු පැමිණ මාළුවා මගෙන් උදුරා ගත්තේය​. 

"ඌ වනාතමුල්ල සීවලි එකේ කොල්ලෙක්"කියා දන්ත කීවෙන් අපි වහ වහා මාරු වූයෙමු. මේ මාළුවා මඞකරියෙකු බව අප පසුව දැනගත්තෙමු. කෙසේ නමුත් මේ මාළුවා ගෙදර ගෙන ගියේ නම් මා ඌව ටැංකියට දමනු නිසැකය​. 

මිලාගිරිය සාන්ත පාවුළු විදුහල අසල බායියා කියා හැඳින්වූ පුද්ගලයෙකු විය​. ඔහුගේ නිවස පැරණි වලව්වක් බඳුය​. එම නිවස පසුපස භූමියේ සිමෙන්තියෙන් බැඳි ටැංකි විශාල ප්‍රමාණයක් තිබුනි. මේ ටැංකි වල විවිධ ප්‍රමාණයේ  විසිතුරු මාළු සිටි අතර අප බායියාගෙන් ද මාළු මිලදී ගත්තෙමු. 

බායියා කතා කරන්නේ නහයෙනි. ඒ නිසා ඔහු කියන දේවල් භාගයක් අපට නොතේරේ. ඒ නිසා අප අවශ්‍ය මාළු ටැංකි වලට අත් දික් කොට පෙන්වා ඔහුට මුදල් දී ඉතිරි සල්ලි අපේක්‍ෂාවෙන් අත් දිගු කර සිටින්නෙමු. කුඩා නෙට් එකකින් අපට අවශ්‍ය මාළු අල්ලා අප අත තිබෙන බෝතලයට දමන බායියා ඉතිරි සල්ලි දුන්නේ කලාතුරකිනි. 

වරක් එක් දහස් නවසිය අනූ ගනන් වල අග භාගයේදී බොහෝ සෙයින් මහළුව සිටි බායියා මම ඩික්මන් පාරේදී දුටුවෙමි. ඔහු දුටු විට පෞරාණික වස්තුවක් දැකීමේදී සිතට ඇතිවන හැගීම් මා සිතට ආවේය​. මේ වන විට ඔහු මිය ගොස් ඇති බව සහතිකය​. රුපියල් බිලියන ගනනක් වටින බායියා සිටි නිවස සමග ඉඩම කවරුන් හෝ දේශපාලාඥයෙකු විසින් අල්ලාගෙන සිටිනවා විය හැකිය​.  

බායියා ගේ මාළු මිලෙන් අධික බව කියූ යාළුවෙක් ඊට වඩා අඩු මිලට මාළු විකුනන ස්ථානයක් ගැන කීවේය​. මෙම ස්ථානය තිබුනේ කොලඹ ඩිෆොන්සේකා මාවතේය​. එය නිවසකි. එහි උන් ලංසි පවුලක්  විසිතුරු මාළු විකුණුවේය​. ඔවුන් ගේ නිවසේ සිංහල ආයා කෙනෙක් සිටි අතර මේ ආයා නිවැසියන් සමග කතා කලේ ඉංග්‍රීසියෙනි. මාළු මිලදී ගැනීමට කොළු රැල පැමිණි විට ආයා ; " මැඩම් .... මැඩම් බෝයිස් හෑව් කම් ටු බයි ෆිශ් " කියන්නීය​. එවිට මැදි වයසේ ලංසි කාන්තාවක් යියේස් කියා එලියට එන්නීය​. 

මම මේ ඩිෆොන්සේකා ස්ථානයෙන් ලස්සන සාරි ගප්පි මෙන්ම සියමීස් ෆයිටර්ස්ලා මිලට ගත්තෙමි. සියමීස් ෆයිටර්ස්ලා එකට තැබූ විට සටන් කරන නිසා මේ රතු , දම් පාට වලින් යුක්ත සියමීස් ෆයිටර්ස්ලා අපි හෝර්ලික්ස් බෝතල් වල දැමුවෙමු. 

මාළු ඇති කිරීමේ විනෝදාංශය මට දිගටම තිබුනේය​. සෝවියට් දේශයේ ඉගෙනුම ලබන කාලයේ පස් වන වසරේදී මගේ කාමරයේ මාළු ටැංකියක් තිබුණි. මේ මාළු ටැංකිය මාළුන් සමග මට තෑගි කලේ අවසන් වසරේ සිටි යමුණා අලස් විසිනි. ඇය දැන් ඔස්ට්‍රේලියාවේ වෛද්‍යවරියක ලෙස වැඩ කරන්නීය​. මෙම මාළු ටැංකිය මම උපාධිය අවසන් කර එන විට මිතුරෙකුට තෑගි දුන්නෙමි. 

1998 මීගමුව රෝහලේ සේවය කරන සමයේදී මගේ ඔන් කෝල් කාමරයට ජා ඇලින් මාළු ටැංකියක් ද මීගමුවේ විසිතුරු මාළු කඩයකින් මාළුද මිලදී ගත්තෙමි. මේ ටැංකියට ෆිල්ටර් එකක් ද අඩියක පමණ දිග ෆ්ලොරසන්ට් බල්බ් එකක් ද තිබුනේය​. ලංකාවේ නිශ්පාදිත මෙම ටැංකි කට්ටලයට  රුපියල් දහසකට මිලක් මම ගෙව්වෙමි. නමුත් වරක් මාළුන්ට කෑම දීමට යාමේදී මගේ අතට කරන්ට් වැදුනි. ඒ නිසා මම ටැංකිය අල්ලන්නේ නැතිව ඈතින් සිට සිරි නැරඹුවෙමි.  

මා මීගමුව රෝහලෙන් එන විට මගේ ඔන් කෝල් කාමරය වෛද්‍ය විල්සන් පීරිස්ට දුන්නෙමි. එහෙත් මාළු ටැංකිය මාළු සමග ගෙදර ගෙන ගියෙමි. 

ළමයින්ද දෙමාපියන් මෙන් මාළුන්ට ඇළුම් කරති මගේ පුතා කුඩා කාලයේ ඔහුට කළු පැහැති ගොගල් අයිස් මාළුවෙකු සිටියේය​. මේ මාළුවාට ඔහුගේ පන්තියේ සිටි ළමයෙකුගේ නමක් දමා තිබුනේය. මේ මාළුවාට ඔහු කතා කලේ  කළණ කියාය. කළණ වසර ගනනාවක් ඔහුගේ කාමරයේ ජීවත් වූ අතර අනපේක්‍ෂිතව නිවැසි පූසා විසින් අල්ලාගෙන කන ලදි.  

එය සිදු වූයේ අප නිවාඩුවට මාතලේ ජෙනරාල් රොහාන් කඩුවෙල මහතාගේ නිවසට ගිය විටදීය​. නිවාඩුව අවසන්ව අප යලි එන විට කළණ වීදුරු ටැංකියේ සිටියේ නැත​. පූසා සමහර විට මාළු ටැංකියෙන් වතුර බීමට පුරුදුව සිටියද කළණට අණතුරක් කරනු ඇතැයි අප නොසිතුවෙමු.  පුතා විසින් ඇඳි කළණගේ පින්තූර මම පසුව දුටුවෙමි. 

කැනඩාවට ආ පසුවද  විසිතුරු මාළුන් කෙරෙහි මා තුල තිබූ ඇල්ම අඩු නොවීය​. මා ලඟ මාළු ටැංකි දෙකක් තිබූ අතර එක් ටැංකියක් මාළුන් සමග මම කුඩා චීන දරුවෙකුට තෑගි දුන්නෙමි. 

දැන් මා ලඟ තිබෙන්නේ කුඩා ටැංකියකි. එහි සිටින්නේ මාළු ස්වල්ප දෙනෙකි. එහෙත් මේ මාළු ටැංකිය මනහරය​. එය දෙස බලා සිටින විට ආතතිය දුරුවේ.

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

අනාගත විශ්වවිද්‍යාල


අනාගත විශ්වවිද්‍යාලය යනු, සත්‍ය සෙවීමට එරෙහි කොන්දේසි කිසිවක් නොමැති, අලූත් දේ දැනගැනීමට සහ විවේචනය කිරීමට නිදහස ඇති, ප‍්‍රශ්න කිරීමට සහ සැකකිරීමට වරම් හිමිවන, දේශපාලන හෝ ආගමික බලය විසින් කිසිසේත්ම සීමා නොකෙරෙන පරමාදර්ශී තැනකි - මහාචාර්ය ජැක් ඩෙරීඩා.


Saturday, January 28, 2017

බෞද්ධ ජාතක කතා පොත විශ්ව සාහිත්‍යට එකතු විය යුතුය




බෞද්ධ ජාතක කතා පොත විශ්ව සාහිත්‍යට එකතු විය යුතු අගනා පොතක් බව මාර්ටින් වික්‍රමසිංහ විසින් ප්‍රකාශ කොට තිබේ. එසේම වික්‍රමසිංහන් පවසන පරිදි ප්‍රථම මනෝ විශ්ලේෂකයා සිග්මන් ෆ්‍රොයිඩ් නොව ජාතක කතාකරුය​.  

පන්සීය පනස් ජාතක පොත ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමේ හැකියාව ගැන සොයා බැලීමට මම 2001 වසරේදී  සිරි සුමන ගොඩගේ මහතා හමු වූයෙමි. ජාතක කතා පොත ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමට ගොඩගේ මහතාද උනන්දු විය​. එහෙත් සුදුසු පරිවර්තකයෙක් සොයා ගැනීමට අපට නොහැකි විය​. එම නිසා ඒ ව්‍යාපෘතිය මිය ගියේය​. 

බෞද්ධ ජාතක කතා පොත බටහිර ලෝකයට හඳුන්වා දීම සඳහා මනෝ වෛද්‍ය විශේෂඥ ඩී.වී.ජේ හරිස්චන්ද්‍ර මහතා පොතක් ලිව්වේය එම පොත Psychiatric Aspects of Jataka stories නම් විය​. එහෙත් එතුමා බලාපොරොත්තු වූ පරිදි එම පොත බටහිර ලෝකයේ විද්වතුන් අතට සහමුලින්ම පත් වූයේ නැත​. එයට එක් හේතුවක් නම් මනෝ වෛද්‍ය ක්ශේත්‍රයේ සිටි එතුමාගේ  (ලාංකික)  සමකාලීනයන් බොහෝ දෙනෙකු කුහක භාවය නිසා මේ පොත  ගැන කථිකාවක් ඉදිරිය​ට ගෙන ගියේ නැති නිසාය​. අන්තර්ජාතික මනෝ වෛද්‍ය සම්මේලන ගනනාවක් ලංකාවේ තිබුනද  මනෝ වෛද්‍ය විශේෂඥ ඩී.වී.ජේ හරිස්චන්ද්‍ර  මහතාගේ Psychiatric Aspects of Jataka stories පොත ගැන විදේශිකයන් ඉදිරියේ කතා කිරීමට කිසිවෙකු උත්සහයක් ගත්තේ නැත​. ඒ පිලිබඳව එතුමා තුල යම් කණගාටුවක්ද තිබුනේය​. 

 2015 වසරේදී මා විසින් ලියන ලද Psychological Aspects of Buddhist Jathaka Stories ග්‍රන්ථය මා ඉලක්ක කර ගත්තේ  බුදු දහම සහ මනෝ විද්‍යාව ගැන උනන්දු වන බටහිර විද්වතුන්වය​. මෙම පොතට පෙරවදන ලබා දුන්නේද ඇමරිකානු මනෝ විද්‍යාඥයෙකු වූ අාචාර්‍ය රොල්ෆ් ගේනර් විසිනි. මෙම පොත ගැන ලංකාවේදී කිසිම කතිකාවක් නොකල නමුදු මහාචාර්‍ය ජිම් ඇල්කොක් සමග කැනඩාවේ යෝක් විශ්ව විද්‍යාලයේද මහාචාර්‍ය  ජුඩිත් හර්මන් ගේ අනුග්‍රහයෙන් ඇමරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයේද කතිකාවන් පවත්වන ලදි. 

මෙම ග්‍රන්ථයෙන් මම පන්සීය පනස් ජාතක පොත හඳුන්වා දෙන ලද්දේ ලෝකයේ ඉපැරණිම මානසික රෝග කාර්‍ය සංග්‍රහය  හෙවත් The Ancient DSM  ( Diagnostic and Statistical Manual of Mental Disorders) ලෙසටය​.බෞද්ධ ජාතක කතා වල තිබෙන සායනික වටිනාකම බටහිර ලෝකයේ මනෝ විද්වතුන් වෙත තේරුම් කර දීම මගේ මූලික අරමුණ විය​. 

මෙම පොත එළි දැක්වීමට සිරි සුමන ගොඩගේ මහතා මෙන්ම සුප්‍රකට ලේඛකයෙකු වන නාරද කරුණාතිලක මහතා උපකාර වූහ​.  මෙම පොත පළ කිරීම නිසා යම් කුසලයක් වූයේද එය ඔවුන්ට අත් විය යුතුය​.  


Friday, January 27, 2017

පාක්‍ෂිකයන් ගේ ගති ලක්‍ෂණ

 




යූඑන්පී කාරයා; කෑදරය , ලෝබය , ටිකක් දී ගොඩාක් අපේක්‍ෂා කරයි. යටි මඩි ගැසීමේ සමතෙකි. අම්මා අප්පා උනත් විකුනාගෙන කෑමේ දක්‍ෂයෙකි. හොරකම් කරන්නේ අසු නොවෙන්නටය 

ශ්‍රී ලංකා කාරයා; බයි ගති වලින් යුක්තය​. ආගම භාෂාව සංස්කෘතිය යන කැරට් අලය පෙන්වා කඩේ යවා ගත හැකිය​. ලෝභය; හොරකමට ගසා කෑමට යූඑන්පී කාරයාට දෙවනි නොවේ. හොරකම් කරන්නේ අතේ කෝට් වන්නටය 

ජේවීපී කාරයා ; සමාජ වෛරයෙන් පසුවෙන්නෙකි. ඉරිසියාව කුඩුකේඩුකම තිබේ. පලි ගැනීමේ වියරු ආශාවෙන් පෙලෙන්නෙකි. සල්ලි වලට වඩා ලේ පුසුඹට කැමතිය​. ගසා කෑමට වැටුණහොත් එරියස් කවර් කර ගැනීම සඳහා උස්මුරුත්තාවට එන තෙක් වීරවංස ලෙස වැළඳීම කරයි.

හෙළ උරුම කාරයා ; ආගම ජාතිය තොරොම්බල් කරන්නෙකි. ලිංගික අසහනය තිබේ , කාන්තාවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය පෙන්වයි. අවසන් අරමුණ එරියස් විඳීමයි


Thursday, January 26, 2017

සමලිංගිකතාව - මනෝ සමාජ විද්‍යා විග්‍රහයක්

 




සමලිංගිකත්වය මානව ශිෂ්ටාචාරය පුරා පැවති චර්‍යාවකි. සමලිංගිකත්වය ග්‍රීක සහ රෝම ශිෂ්ටාචාර වලදී අස්වාභාවික චර්‍යාවක් ලෙස සැලකුනේ නැත​. ග්‍රීක ඉතිහාසඥයෙකු වන හිරොඩෝටස් ග්‍රීක සමාජයේ පැවති සමරිසි චාරිත්‍ර ගැන ලියා තිබේ. ආදි අප්‍රිකානු සහ උතුරු ඇමරිකානු ස්වදේශිය ජන සමාජ වල සමලිංගිකත්වයට තහංචි නොවීය​. රතු ඉන්දියානුවන්  අතර සමකාමීන් හඳුන්වන ලද්දේ ද්විත්ව ආත්මයක් ඇති (Two-spirited ) තැනැත්තන් ලෙසටය. ​පිතෘ මූලික සමාජයක් වූ රෝම සමාජයේද සමරිසි බව පිළිගෙන තිබුණි. රෝම කවියෙකු වූ වර්ජිල් සමරිසියන් අතර තිබූ ආදරය පිලිබඳ කවි ලියුවේය​. 

රෝම ශිෂ්ටාචාරය බිඳ වැටීමෙන් පසුව නැගී ගෙන ආ නව ආගමික ප්‍රවනතා සම ලිංගිකත්වය ප්‍රතික්ශේප කරන ලදි. ආදි ක්‍රිස්තියානි දේශකයෙකු වූ ටර්ටූලියන් ( කි.ව 155-ක්‍රි.ව 240) සමලිංගිකත්වය අස්වාභාවික සහ දුරාචාර ක්‍රියාවක් බව දේශනා කලේය​. බයිබලයේ සඳහන් වන පරිදි දෙවියන් වහන්සේ විසින් සොඩාම් සහ ගොමෝරා නගර දෙක විනාශ කර දමන්නේ ඔවුන් සමලිංගිකත්වය පරිචාරය කල බැවිනි. ඉස්ලාම් දහමට අනුව සමලිංගිකත්වය පාපයකි.ඒ සඳහා දඞුවම් කල යුතුය​.  ඉස්ලාමික ශරියා නීතියට අනුව සමලිංගික සේවනය සඳහා  හිස ගසාදැමීමෙන් හෝ ගල්ගැසීමෙන්  මරණ දඬුවම ක්‍රියාත්මක කරනු ලැබේ. යුදෙව් ටෝ‍රා ග්‍රන්ථයේද සමලිංගිකත්වය ප්‍රතික්ශේප කරයි. 

ආගමික මති මතාන්තර නිසා බොහෝ සමාජ වල සමරිසියන් කෙරෙහි වෛරයක් මෙන්ම විරෝධයක් මතු විය. 13 වන සියවසේදී ක්‍රිස්තියානි ශාස්ත්‍රඥයෙකු වූ තෝමස් ඇක්වයිනාස් සම ලිංගිකතාව ස්වභාව ධර්මයට එදිරිව යන අස්වාභාවික ක්‍රියාවක් ලෙස දේශනා කලේය. මධ්‍යතන යුගයේ යුරෝපයේ ක්‍රිස්තියානි පල්ලිය විසින් සමරිසියන් ඝාතනය කිරීමට අනුබල දෙන ලදි.  ස්පාඤ්ඤ සංවික්‍ෂණ සමයේදී (Spanish Inquisition  ) සමරිසියන් ලෙස සැක කල ගැහැනුන් සහ මිනිසුන් සාතන් ගේ දරුවන් ලෙස පරිභවයට පත් කොට පණ පිටින් පුළුස්සා මරා දමන ලදි. 


එංගලන්තයේ වික්ටෝ‍රියානු සමාජය තුල සමලිංගිකත්වයට නෛතික තහනමක් තිබූ අතර සමලිංගික චෝදනා ලද සාහිත්‍යධර ඔස්කා වයිල්ඩ් සිරගෙට නියම විය​.  1871 දී එංගලන්තයේ වේදිකා නළුවන් දෙදෙනෙකු වූ තෝමස් බෝල්ටන් සහ විලියම් පාර්ක්ට එදිරිව සමලිංගික චෝදනා ගොනු කරන ලදි. කෙසේ නමුත් එම නඩුවේදී චෝදනා සනාත කිරීමට සාක්‍ෂි නොවූයෙන් ඔවුන් දෙදෙනා නිදහස්  කරන ලදි. වික්ටෝ‍රියානු එංගලන්තය සමලිංගිකත්වය භයානක අපරාධයක් ලෙස නම් කරන ලදි. 

බෞද්ධ සංස්කෘතිය තුල සමරිසියන් පීඩාවට පත් කිරීමක් නොවීය​. බුදුන් වහන්සේ සමරිසියන් කෙරෙහි බලන ලද්දේ මානුෂික ඇසකිනි. බෞද්ධ ඉතිහාසයේ කොසොල් රජුගේ ඇමතියන් දෙදෙනෙකු අතර තිබූ සමලිංගික සබඳතාවක් ගැන සඳහන් වේ. එසේම බුදුන් ගේ රූපයට ඇළුම් කල වක්කලී තෙර තුල යම් ආකාරයකට සමරිසි ආශයන් තිබූ බවට උපකල්පනය කල හැකිය​.  කච්චායන තෙර කෙරෙහි ඇළුණු සෝරෙයිය සිටුවරයා තුලද මතු වූයේ සමරිසි හැඟීම්ය​. 

අතීත ලංකාවේ සමලිංගිකයන් ලිංගික පාපයේ වරදකරුවන් ලෙස සලකා ඝාතනය කිරීම් ගැන වාර්තා නොවේ. එසේම කේරෝස් ,රොබට් නොක්ස් , පර්සිවෙල්  යනාදීන් ගේ වාර්තා වල සමරිසියන් කෙරෙහි තිබූ සමාජ එදිරියක් ගැන සඳහනක් නැත . ඇතැමෙක්  විශ්වාස කරන පරිදි මහා කවි කාලිදාස සහ කුමාරදාස රජු අතර සමරිසි සබඳතාවක් තිබී  ඇත​. අතීත ශ්‍රී ලාංකික ග්‍රාමීය සමාජයේ සමලිංගිකත්වය නම් කරන ලද්දේ පන්සලේ සෙල්ලම යනුවෙනි. සමලිංගිකත්වය සඳහා වෙනත් සිංහල භාෂිතයක් නොවීය. ​සමලිංගිකත්වය කෙරෙහි අතීත ලාංකිකයා දක්වන ලද්දේ මධ්‍යස්ථ ස්වභාවයක් බව පෙනී යයි.

ලිංගික දිශානතිය (Sexual Orientation)  සහ සමලිංගිකතාව පිළිබඳ බොහෝ මත තිබේ. සමලිංගිකත්වය සඳහා ජාන , හෝමෝන සහ පරිසර සාධක බලපවත්වන බව පෙනී යයි. සත්ව ලෝකයේද සමකාමීත්වය වාර්තා වී ඇත.  

ජර්මානු මනෝ වෛද්‍යවරයෙකු වූ රිචඩ් වොන් ක්‍රාෆ්ට් ඊබිං 1840 දී සමලිංගිකත්වය සහ ස්වයං වින්දනය ලිංගික අපගාමී චර්‍යාවන් ලෙස නම් කලේය​. බටහිර ලෝකයේ සමකාමීත්වය සාපරාධී ක්‍රියාවක් ලෙස නීතිගත වීමට රිචඩ් වොන් ක්‍රාෆ්ට් ඊබිංගේ බලපෑම හේතු කාරක විය​. 

1905 දී සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් තම Three Essays on the Theory of Sexuality සහ 1920 දී The Psychogenesis of a Case of Homosexuality in a Woman  මගින් සමලිංගිකත්වය විග්‍රහ කලේය.  වික්ටෝ‍රියානු සංස්කෘතිය තුල උපත ලබා එම සංස්කෘතිය  තුල ජීවත් වූ ෆ්‍රොයිඩ් මනෝ වෛද්‍ය රිචඩ් වොන් ක්‍රාෆ්ට් ඊබිං අනුව යමින් සමලිංගිකත්වය මානසික ව්‍යාකූලතාවක් නිසා පැන නගින බව කීවේය.​එහෙත් සමකාමී බව මානසික ව්‍යාධියක් බව ෆ්‍රොයිඩ් කීවේ නැත​. එසේම යුරෝපයේ සමකාමීන් පෙළූ නීති වලට ෆ්‍රොයිඩ් එකඟ නොවීය​.  සමකාමීත්වය මනෝ ලිංගික වර්ධනයේදී (Psycho-sexual Development) මතු වන අවහිරතාවක් නිසා පැන නගින බව ෆ්‍රොයිඩ් විශ්වාස කලේය​.  එසේම ෆ්‍රොයිඩ් ගේ සිසුවෙකු වූ  මනෝ වෛද්‍ය හැරී ස්ටක් සුලිවන් සමකාමියෙකු විය​. 
 
ලිංගිකත්වය පිළිබඳ පර්‍යේෂකයෙකු වූ ඇල්ෆ්‍රඩ් කිංසි 1943 - 1953 අතර කාලයේදී Sexual Behavior in the Human Male  / Sexual Behavior in the Human Female නමින් සුප්‍රකට ග්‍රන්ථ දෙකක් එළි දක්වන ලදි.  කින්සිට අනුව සෑම පුද්ගලයන් දහ දෙනෙකුගෙන් එක් අයෙකු සමකාමියෙකු වෙයි. පුද්ගලයන් සමකාමීන් ලෙස වර්ග කිරීමටද කින්සි විරුද්ධ විය​. ඔහුට අනුව ලිංගික දිශානතිය ස්ථායී නොවේ. එය යම් යම් සාධක මත වෙනස් විය හැකිය​. උදාහරණයක් ලෙස දීර්ඝ කාලයක් පුරා සිරගත කරන ලද විශම ලිංගික සිරකරුවන් තුල ඇතැම් විට සමලිංක රුචිය වර්ධනය වූ අවස්ථාවන් ඔහු පෙන්වා දුන්නේය​. සමලිංගිකත්වය දෙස වඩාත් විද්‍යාත්මකව බැලීමට ඇල්ෆ්‍රඩ් කිංසි ගේ පරියේෂණ ඉවහල් විය​. 

1952 දී ඇමරිකානු මනෝ වෛද්‍ය සංගමය විසින් පළ කරන මානසික රෝග වර්ගීකරණ  කාර්‍ය සංග්‍රහයේ (The Diagnostic and Statistical Manual of Mental Disorders -DSM ) සමලිංගිකත්වය මානසික ව්‍යාධියක් ලෙස නම් කරන ලදි. එහෙත් ඇමරිකානු මනෝ වෛද්‍යවරයෙකු වූ රොනල්ඩ් බේයර් ගේ පරියේෂණ සහ පත්‍රිකා නිසා සමලිංගිකත්වය කෙරෙහි වඩාත් වෛද්‍ය විද්‍යාත්මකව බැලීමට ඇමරිකානු මනෝ වෛද්‍ය සංගමය යොමු විය​. මේ නිසා 1973 දී සමලිංගිකත්වය මානසික ව්‍යාධියක් නොවන බව ඇමරිකානු මනෝ වෛද්‍ය සංගමය සඳහන් කරන ලදි. 1987 දී සමලිංගිකතාව DSM වර්ගීකරණයෙන් සහමුලින්ම ඉවත් විය​. එසේම ලෝක සෞඛ්‍ය සංවිධානය 1992 සමලිංගිකත්වය තම අන්තර්ජාතික සංඛ්‍යාන රෝග වර්ගීකරණය හෙවත් ICD (International Statistical Classification of Diseases) ඉවත් කර ගන්නා ලදි. 

සමලිංගිකයන් මානසික වශයෙන් පසුගාමීන් නොවන බව පරියේෂණ වලින් පෙන්වා දී තිබේ. සුප්‍රකට සමකාමීන් අතර මහ ඇලෙක්සැන්ඩර් රජු , මයිකල් ඈන්ජලෝ , ලියනාඩෝ ඩා වින්චි , ඇලන් ටියුරින් ,එල්ටන් ජෝන් යන පුද්ගලයන් වාර්තා වී තිබේ. 

සමකාමීන් හෙවත් එල්.ජී.බී.ටී ප්‍රජාව ( lesbian, gay, bisexual or transgender -LGBT) නොහොත් සමලිංගික, ද්වි ලිංගික සහ ලිංග විපර්‍යාසිකයන් කෙරෙහි වර්තමානයේ බොහෝ සමාජ දක්වන්නේ එදිරිවාදී බවකි. ඉරානයේ සෞදි අරාබියේ , යේමනයේ සමලිංගිකයන් මරණ දඞුවමට යටත් වෙති එසේම උගන්ඩාව නයිජීරියාව, රුසියාව  ඇතුළු රටවල් 77 තුල (ශ්‍රී ලංකාවද ඇතුළුව​) සමරිසියන්ට එරෙහිව නීති පනවා තිබේ. 

සමරිසියන් කෙරෙහි දක්වන බිය සහ එදිරිවාදී බව හෝමෝෆෝබියාව (Homophobia)  ලෙස හැඳින්වේ. ඇතැම් විට යම් පුද්ගලයෙකුට අවිඥානිකව මතු වන සමකාමී ආශයන් නිසා ඔහු හෝ ඇය සමකාමීන් කෙරෙහි වෛරයක් අනුගත කල හැකි බව විද්වතුන් පවසති උදාහරණයක් ලෙස ඇඩොල්ෆ් හිට්ලර් තුල අවිඥානිකව සමකාමී ආශයන් මතුවූ අතර ඔහු එය යටපත් කිරීමට මහත් වෙහෙසක් දැරීය​. මෙම අවිඥානික සමකාමී ආශය නිසා ඔහු සමලිංගිකයන් ගෑස් කාමර වෙත යැවීය.​ඇමරිකානු මනෝ විද්‍යාඥයෙකු වන හෙන්රි මරේ ඇඩොල්ෆ් හිට්ලර් තුල පැවති පරපීඩාකාමී  අවිඥානික සමකාමී ආශය  පිළිබඳව සඳහන් කොට ඇත.​තවද ඇමරිකාවේ සමකාමී පුද්ගලයන් දඩයම් කල එෆ්.බී.අයි ආයතනගේ එඩ්ගා හූවර් ද රහසිගත සමලිංගිකයෙකු විය​. මතුපිටින් ඔහු සමකාමීන් කෙරෙහි දැඩි විරෝධයක් දැක්වීය​. 

නිදහස් මතධාරී ප්‍රන්ස කොමියුනිස්ට්වරියක මෙන්ම ලෙනින් ගේ හිතවතියකද වූ ඉනේසා අර්මාන්ඩ් සෝවියට් දේශයේ ලිංගික නිදහස පිලිබඳව ක්‍රියා කල නමුදු සමකාමීන් ගේ අයිතිවාසිකම් ගැන ඇය අමතක කලාය. සෝවියට් දේශය තුල සමරිසියන්ට නිදහසක් නොවීය​. ඔවුන් ගේ ජීවිත බොහෝ විට අවසන් වූයේ පුනරුත්ථාපන කඳවුරු වලය​. ස්ටාලින් යුගයේදී සමලිංගික චෝදනා සඳහා දඞුවම වූයේ වසර පහකට ශ්‍රම කඳවුරකට යැවීමයි. එසේම කියුබාවේ ෆිදෙල් කැස්ත්‍රෝද සමරිසියන්ව කඳවුරු වලට ගාල්  කරන ලදි. 

1791 දී ප්‍රන්ස විප්ලවයෙන් පසු සමලිංගිකයන්ට එරෙහිව තිබූ නීති ඉවත් කරන ලදි. එහෙත් නැපොලියානු යුද සමයේදී යලිත් වරක් සමලිංගිකයන්ට එරෙහිව නීති සම්පාදනය විය​. ෆැන්කෝගේ පාලන සමයේදී ස්පාඤ්ඤයේ සමරිසියන්ට දැඩි දඞුවම් පමුනුවන ලදි. යුරෝපයේ තිබූ සමරිසි විරෝධය අවසන් වීම සනිටුහන් වන්නේ 1989දී ඩෙන්මාර්කය විසින් සමලිංගික සබඳතා නීතිගත කිරීමෙන් පසුවය. මේ වන විට බොහෝ යුරෝපීය සහ උතුරු ඇමරිකානු රටවල් විසින් සමලිංගිකත්වය නීතිගත කොට ඇත​. 

දණ්ඩ නීති සංග්‍රහය අනුව ලංකාව තුල සමලිංගික වර්‍යාවල නිරතවීම  දඩුවම් ලැබියහැකි වරදකි. මෙම නීතිය පනවා තිබෙන්නේ 1886 දීය​. සමලිංගික සම්බන්ධතා "ස්වභාවික නොවන ලිංගික හැසිරීමක්" සහ සාපරාධී ක්‍රියාවක් ලෙසින් විග්‍රහ කරන මෙම නීතිය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී යුගයේ පනවන ලද අතර මේ වන විට බ්‍රිතාන්‍ය සමලිංගික විවාහය නීතිගතකර තිබේ. 

මානව හිමිකම් පාර්ශවයෙන් සහ මානවවාදී ලෙසින් සළකා බලන විට වැඩිහිටියන් දෙදෙනකු ස්වකැමැත්තෙන් කිසියම් ප්‍රේම සම්බන්ධතාවක් පවත්වන්නේ නම් සංස්කෘතිය හෝ සදාචාරාත්මක හේතු පදනම් කරගනිමින් ඔවුන්ව පීඩාවට පත් නොකල යුතු බව ජාතික මානව හිමිකම් කොමිසමේ  සභාපතිනි මහාචාර්ය දීපිකා උඩුගම පෙන්වා දෙන්නීය. මේ අතර සමලිංගික සබඳතා සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය හමුවට ආ යෝජනාව තමන් ඉවත දැමූ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කොට තිබේ. 

කෙසේ නමුත් පුද්ගලයකුගේ ලිංගික දිශානතිය සහ ලිංගික අනන්‍යතාවය මත ප්‍රචණ්ඩත්වය, හිංසා කිරීම, විවේචනය, බැහැරකිරීම, ගර්භාවට පත්කිරීම මානුශිකවාදීද කියා සිතීමේ කාලය එලැඹී තිබේ. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

තෙල් බැම්මේ විනය


ශිෂ්‍යයන් අත් කොට කමිසයත්, දිග කලිසමත් හැද යටකර සපත්තු දමා පැමිණිය යුතුය. කොණ්ඩය කොටට කපා රැුවුල බෑම අනිවාර්යය. ශිෂ්‍යාවන් කොණ්ඩය කරල් දෙකට බැද විලූඹ තෙක් දිග සායක් සහ ගෙල තෙක් බොත්තම් පියවෙන හැට්ටයක් ඇ`දිය යුතුය. රබර් සෙරප්පු පැළදිය යුතුය. කිසි විටෙක සරසවිය තුළ ජංගම දුරකථන ක‍්‍රියාත්මකව තබාගැනීම තහනම්ය.  ශිෂ්‍ය අත්පොත හා ෆයිල් කවරය සෑම විටෙකම අතෙහි නොතිබීම වරදකි. සරසවි බිමෙහි පනවා ඇති එළිමහන් අසුන්වල හි`දගැනීම තහනම්ය. පුස්තකාලය හැර කිසිදු කියවීම් ශාලාවක් භාවිත කළ නොහැකිය. ආපනශාලා ගණනාවක් අතුරින් ශිෂ්‍ය මධ්‍යස්ථානයේ ආපනශාලාව පමණක් නවකයන්ට නියමිතය. සරසවිය පුරා වන කෙටි මාවත් තහනම් වන අතර තෙල් බැම්ම ඉදිරියෙන් දිවෙන ප‍්‍රධාන මාර්ගය භාවිත කළ යුතුය. තෙල් බැම්ම පුරුෂෝත්තමවාදයේ ප‍්‍රතිමූර්තියකි. ඔවුන් ඉහළ සිට පවුලේ සාමාජිකයන්ගේ තතු විමසන අතර නවකයන් පිළිතුරු දිය යුත්තේ පියාගේ පටන්ය. (මවගෙන් පටන්ගතහොත් කුණුබැනුම්ය)  

Wednesday, January 25, 2017

වකුගඩු රෝගය අනා ගැනීම



වකුගඩු රෝගය ලංකාවේ විනාශකාරී ලෙස පැතිර යාමට සමහර විද්වත් වෘත්තිකයන් ගේ අන්තවාදී භාවය , බල ලෝභය , ඇජෙන්ඩා මානසිකත්වය යන දේවලුත් බලපෑවා. මෙම වකුගඩු රෝගය වෛද්‍ය විද්‍යාත්මක ලෙස අධ්‍යනය කිරීම වෙනුවට සමහරුන් කලේ මෙයට මිත්‍යාව / ආගම පටලවාගෙන තොරොම්බල් කිරීමයි. එසේම මේ වකුගඩු රෝගය පිලිබඳව විද්‍යාත්මකව වෙනත් මත ඉදිරිපත් කල විද්වතුන්ට අන්තවාදී ලෙස එන් ජී ඕ කාරයෝ , බටහිර අනුකාරකයෝ ලෙස ලේබල් අලවා ඔවුන්ව දුර්මුඛ කලා. මම දන්න දක්‍ෂ කායික වෛද්‍යවරු ඉන්නවා වකුගඩු රෝගය ගැන ගැඹුරින් හදාරපු ඒවගේම ප්‍රතිකාර ගැන සාර්ථකව පරියේෂණ කල හැකි. එහෙත් ඔවුන් මේ අතලොස්සක් වූ අන්තවාදීන් නිසා ඔවුන් මේකට අත දමන්න බයයි. පෝලියෝ රෝගයට එන්නත සොයා ගන්නා කාලේ මේ වගේ මිත්‍යාව / ආගම පටලවාගත් තොරොම්බල් කාරයෝ , ඇජෙන්ඩා මානසිකත්ව පොරවල් හිටියා නම් මිනිස් වර්ගයා තවමත් පෝලියෝ රෝගයට එන්නතක් සොයාගෙන නැහැ. මේ වවාගෙන කන තොරොම්බල් - ඇජෙන්ඩා-මිත්‍යා මානසිකත්වය තිබෙන තුරා ලංකාවේ වකුගඩු රෝගයට නිසි පිලියමක් නොලැබෙනවා පමණක් නොව දිනපතා රෝගීන් මිය යනවා. මේවා අනියම් මිනීමැරුම්.

Tuesday, January 24, 2017

චිරං ජයතු ධර්ම ගුණසිංහ මැතිතුමනි



ධර්ම ගුණසිංහ මහතාව  මම මුලින්ම දුටුවේ 1973 වසරේදීය​. එකල එතුමා  නාලන්දා මහා විද්‍යාලයේ කණිෂ්ඨ අංශයේ විදුහල්පතිවරයා විය​.  අපගේ එක ඩී පන්තිය තිබුනේ ධර්ම ගුණසිංහ මහතා ගේ කාර්‍යාලයට යාබදවය​. එම නිසා ගුණසිංහ මහතා අපි නිතර දෙවේලේ දුටුවෙමු.  පසුව ගුණසිංහ මහතා  නාලන්දාවේ විදුහල්පතිවරයා විය​.    

සුදු කමිසය සහ කලිසම අඳින තේජාන්විත පෞරුෂයක් තිබූ ධර්ම ගුණසිංහ මහතා එකල පාසල් රැස්වීම් වලදී අපව අමතන අන්දම මට තවමත් මැවී පෙනේ.සිසුන් ගුණසිංහ මහතා කෙරෙහි භක්තියක් මෙන්ම ගරුත්වයක්ද දැක්වූහ​. වර්තමානයේ මෙලෙස භක්ති-ගරුත්වයක් ලබා ගත හැකි ආකාරයේ පෞරුෂයක් සහිත විදුහල්පතිවරු අතිශයින්ම විරළය​.      

සිසුන් ගේ දැණුම මෙන්ම පෞරුෂ වර්ධනය කෙරෙහි ගුණසිංහ මහතා අවදානය යොමු කල අතර ගුණසිංහ යුගයේදී නාලන්දාව අධ්‍යාපන මෙන්ම ක්‍රීඩා අතින් ද දිවයිනේ අනෙකුත් පාසල් අතර මුල් තැනක් ගත්තේය​. ගුණසිංහ යුගයේදී නාලන්දාවේ අධ්‍යාපනය ලැබීමට අප වාසනාවන්ත වූයෙමු.   

අද දින සිය ජීවන මගේ අසූ හත් වන විය සපුරන ධර්ම ගුණසිංහ මැතිතුමනි ඔබට චිරං ජයතු


වෛද්‍ය රුවන් එම් ජයතුංග 


ඇඹිලිපිටිය ඛේදවාචකය

 


මෑතකදී මම ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සිද්ධිය සම්බන්ධයෙන් ලියන ලද අමාවක සඳ  යට කෘතිය කියවූයෙමි. එම පොත කියවීමත් සමගම ඇඹිලිපිටිය සිදුවීම්  ගැන  මා විසින්  දීර්ඝ කාලයක් පුරා හැදෑරූ  දේවල් මගේ මතකයට ආවේය​. 

ඝාතනය කරන ලද සිසුන් ගේ කියා සැක කරන ලද සූරියකන්දේ සමූහ මිනීවලෙන් සොයා ගත් ඇටකටු පොහොර ගෝනි වල බහා කොලඹ ෆ්‍රැන්සිස් මාවතේ මෘතශරීරාගාරයට 1994 දී ගෙන එන විට මම කොළඹ ප්‍රධාන අධිකරන වෛද්‍ය නිළධාරි එල්.බී.එල් ද අල්විස් මහතා යටතේ අධිකරන වෛද්‍ය විද්‍යා පාඨමාලාව හදාරමින් සිටියෙමි. මෙම ඇටකටු කිසිම අධිකරන වෛද්‍ය ක්‍රියාදාමයකින් තොරව හාරන ලද බැවින් සාක්‍ෂි විනාශවී තිබෙන බව ප්‍රධාන අධිකරන වෛද්‍ය නිළධාරි එල්.බී.එල් ද අල්විස් මහතා අපට කීවේය​. එය තවත් දේශපාලන සංදර්ශනයක් විය​. 

ඇඹිලිපිටිය ඛේදවාචකය ඇරඹෙන්නේ 1988 භීෂණ සමයේදීය​. මේ කාලයේදී ජවිපෙ  දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් පාසල් සිසුන්ද මහ පාරේ අරගල වලට යොදාගෙන තිබුණි. ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති දයානන්ද ලොකුගලප්පත්තිට පාසල පාලනය කල නොහැකි මට්ටමට පාසල තුල විරෝධතා ඇති විය​. එසේම විදුහල්පතිගේ පුත්  චමින්ද ලොකුගලප්පත්ති පාසලේ සිසුවියකට ලියන ලද පෙම් හසුන්පතක් අතිනත ගොස් හාස්‍යට ලක්වීමද දයානන්ද ලොකුගලප්පත්තිගේ කෝපය වඩවන්නක් විය​. මෙවැනි තත්වයකදී ඉවසීමෙන් ගුරුවරයෙකු ලෙස කටයුතු කරනවා වෙනුවට දයානන්ද ලොකුගලප්පත්ති  හමුදා ක්‍රමයට පාසල පාලනය කිරීම ඇරඹීය​. ඔහු පාසලේ සිටියේ රිවෝල්වරයක්  සහ ග්‍රෙනේඩ් බෝම්බයකින් සන්නද්ධවය. 

ලොකුගලප්පත්තිට ළමයින් පාලනය කිරීම ගැන දැණුමක් තිබුනේ නැත​. එසේම කාලයකට ඉහතදී පාසල් සිසුවෙකුව ලිංගික අපයෝජනයට ලක් කිරීම ගැන ඔහු චෝදනා ලබා සිටියේය​. දේශපාලන පත්වීමක් ලෙස ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති තනතුරට පත් වූ ඔහු ක්‍රියා කලේ යක්‍ෂාවේශයෙනි. ත්‍රස්ථ ක්‍රියා කල බව​ට චෝදනා කොට ඔහු තමාගේ සිත් නොගත් සිසුන් ගේ නම් හමුදාවට දුන්නේය​.  

ඝාතනයට ලක්වූ සිසුන් ගෙන් බහුතරය අහිංසකයෝ වූහ​. නමුත් ඒ අතර ජවිපෙ පන්ති වලට සහභාගී වී ඇඹිලිපිටිය කඩදාසි කම්හලට ගිනි තැබීම , සෙවනගල සීනි කම්හලේ බුල්ඩෝසර් වලට ගිනි තැබීම වැනි කඩාකප්පල්කාරී ක්‍රියා කල කිහිප දෙනෙකුද වූහ​. මෙම පාසල් ළමුන් මෙහෙයවන ලද්දේ  ජවිපෙ  දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසිනි. අවසානයේදී මොවුන් අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක් වූ අතර මෙම සිසුන්ව මෙහෙයවූ කේඩරයන් බ්‍රිතාන්‍ය , ඉතාලිය සහ ඔස්ට්‍රේලියාව යන රටවලට පැන ගියහ​. 

ඇඹිලිපිටිය විදුහලේ සිසුන් 32ක් අතුරුදහන් කිරීමේ   නඩුවේ  පළමු විත්තිකරු වූයේ  ලොකුගලප්පත්තිය. ඔහුට වසර දහයක සිර දඞුවමක් ලැබුනු අතර වර්තමානයේ ඔහු නිදහස ලබා රත්නපුර ප්‍රදේශයේ දෙවාලයක කපුවෙකු ලෙස වැඩ කරයි. නඩුවේ දෙවන විත්තිකරු වූ විදුහල්පති දයානන්ද ලොකුගලප්පත්තිගේ පුත් චමින්ද ලොකුගලප්පත්ති නිදහස් විය​. 

2005 වසරේදී යුද හමුදා රෝහලේදී මාගෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා හමුදා නිලධාරියෙක් ආවේය​. ඔහුගේ වාසගම ලොකුගලප්පත්තිය​. ඔහු තමා හිටපු විදුහල්පති දයානන්ද ලොකුගලප්පත්තිගේ ඥාතියෙකු බව පිලිගත්තේය . එහෙත් ඔහු ලොකුගලප්පත්තිගේ පුතෙකු කියා මම සැක කරමි.  එදා මගෙන් ප්‍රතිකාර ගැනීමට ආවේ චමින්ද ලොකුගලප්පත්තිද කියා මට සැකයක් තිබේ. 

ඇඹිලිපිටිය සිසු  ඝාතන සිද්ධියට  චෝදනා ලැබූ හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු සමග මම කතා කලෙමි. ඔවුන් ද යම් ආකාරයකට මේ භීෂණය වෙත තල්ලු කරන ලද  වින්දිතයෝ වෙති. මේ වකවානුවේදී ඇඹිලිපිටියේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් ගෙන යන ලද  භීෂණය උග්‍රව තිබුණි. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් තුංකම  ප්‍රදේශයේදී හමුදා රථයකට බිම් බෝම්බයක් අටවා  හමුදා සෙබළුන් 8 දෙනෙකු මරා දමන ලදි.  එසේම දිනපතා බස් රථ මෙන්ම රජයේ ගොඩනැගිලි ගිනි තැබීම සිදු කරන ලදි මේ තත්වය නිසා හමුදාව සිටියේ වියරුවෙනි.  ඉහල දේශපාලන තන්ත්‍රය මෙන්ම ඉහල හමුදා නායකත්වය  ජවිපෙ භීෂණයට භීෂණයෙන් ප්‍රතිචාර දක්වන ලෙසට කණිෂ්ඨ  හමුදා නිලධාරීන්ට මෙන්ම සෙබළුන්ට නියෝග කලහ​. ඩර්ටි වර්ක් හෙවත් සියළු කැත වැඩ කර ගත්තේ මේ නිලධාරීන් සහ සෙබළුන් හරහාය​. නමුත් නඩුවේදී මේ ඉහල දේශපාලන තන්ත්‍රය මෙන්ම ඉහල හමුදා නායකත්වය තම තමන් ගේ ඇඟවල් බේරා ගත්හ​. වතුර ගලා ගියේ පහත් තැනිනි. 

ඇඹිලිපිටිය සිසු  ඝාතන සිද්ධිය සහ සූරියකන්ද සමූහ මිනී වල චන්ද්‍රිකාට බලයට ඒමට උපකාරී විය. නමුත් බලයට පැමිණි චන්ද්‍රිකා වින්දිතයන්ට සාධාරණයක් ඉටු කලේ නැත. සියල්ල වචන සහ පොරොන්දු වලට පමණක් සීමා වූයේය​. 

අද පවා අතුරුදහන්වූ සිසුන් ගේ දෙමාපිය ඥාතීහු වියෝ දුක සාංකාව විඳිමින් මැරි මැරී උපදිති. ඝාතන වලට චෝදනා ලැබ සිරගතවූ හමුදා නිලධාරීන් ක්‍ෂිතිමය අතීතය අමතක කොට යලි ජීවිතයට මුහුණ දීමට උත්සහ දරති. මේ ඛේදවාචකයේ මූලාරම්භයන්ට තම දායකත්වය ලබා දුන් දේශපාලනයේ හය හතර නොතේරෙන පාසල් දරුවන් ෆෝම් කොට බිලි බෝයිස්ලා ලෙස හමුදා තුවක්කු කටට විසි කල දෙබිඩ්ඩෝ ඊනියා විප්ලවයෙන් පසුව ප්‍රජාතන්ත්‍රවාදය පවතින පළවන ලෝකයේ ධනවාදී රටවල දේශපාලන රැකවරණ ලබා ගත්හ​. ඔවුන් එකී බටහිර රට වල ජීවත් වෙමින්  තමන් ගේ  දරුවන් එම රටවල පුද්ගලික විශ්ව විද්‍යාල වලට යවති. මෙම දෙබිඩ්ඩෝ එම රටවල සිට ජීවිතය විඳිමින් නොස්ටැල්ජියාව හෝ වරදකාරී බව නිසා ලංකාවේ විශ්ව විද්‍යාල වල සිටින තමන් ගේ බිලි බෝයිස්ලා හරහා අරගල කරමින් ජනතාවට උතුරු කොරියාවක් , කියුබාවක් නිර්මාණය  කිරීමට කැස කවති. භීෂණය තවමත් අප අත් හැර ගොස් නැත. එබැවින් අනාගතයේ තවත් ඇඹිලිපිටියක් නිර්මාණය වීමේ ඉඩකඩ බොහෝ සෙයින් තිබේ. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Monday, January 23, 2017

මහාචාර්‍ය නන්දදාස කෝදාගොඩ මහතා ගැන සටහනක්

 

මහාචාර්‍ය නන්දදාස කෝදාගොඩ මහතා ගැන සටහනක් ලිවීමට මම අදහස් කලෙමි. මහාචාර්‍ය නන්දදාස කෝදාගොඩ යුග පුරුෂයෙකි. ඔහු දක්‍ෂ සන්නිවේදකයෙකි. එසේම භාෂා ප්‍රේමියෙකි. විද්‍යා දැනුම පොදු ජනතාව අතර ප්‍රචලිත කිරීමට ඔහු පෙරමුණ ගත්තේය​. කොළඹ වෛද්‍ය විද්‍යා පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳව මහාචාර්‍යවරයෙකු වූ එතුමා ජාතික මත්ද්‍රව්‍ය පාලන මණ්‌ඩලයේ සභාපති ලෙසද කටයුතු කලේය​.

මහාචාර්‍ය නන්දදාස කෝදාගොඩ මහතා ගැන නොදත් පාර්ශවයක් ද තිබේ. මා එය සටහන් කරන්නේ එතුමාට අපහාසයක් කිරීමේ අදහසකින් නොවේ. මගේ තක්සේ‍රුව අනුව අප අතර සුරුවම් සහ ශුද්ධ වූ මිනිසුන් නැත​. අප සියළු දෙනාම පුහුදුන් මිනිසුන් වන අතර පොදුමිනිස් දුබළතා වලින් යුක්තය​.  මෙය මහාචාර්‍ය නන්දදාස කෝදාගොඩ මහතාටද ආදේශ වේ. 

මහාචාර්‍ය නන්දදාස කෝදාගොඩ මහතාට වෛද්‍ය සිසුන් බිය වූහ​. එයට එක් හේතුවක් නම් ඔහු තම සිත් නොගත් සිසුන්ව විභාග වලදී ඉලක්ක කර ගත් නිසාවෙනි. මේ පිලිබඳව බොහෝ වෛද්‍යවරු මා සමග කියා තිබේ. මෙහිදී මට එතුමා අරබයා එක් සිද්ධියක් මතක් වේ. 

වෛද්‍ය  ප්‍රසන්න ගුණසේන නාලන්දා විද්‍යාලයේදී උසස් පෙළ පන්ති වල ඉගෙන ගත් සමයේ  නාට්‍යයක් කලේය​. මේ  නාට්‍යයේ ඔහු නිරූපනය කලේ ද්විත්ව චරිත ගති ගුණ තිබූ මත්ද්‍රව්‍ය හා මත් පැන් නිවාරණ ආයතනයක සේවය කරන කුහක ලොක්කෙකුගේ චරිතයකි. 

කොල්ලන් විසින් කරන ලද මේ නාට්‍යය පිලිබඳව මහාචාර්‍ය නන්දදාස කෝදාගොඩ උරණ වූ අතර වරක් නාලන්දා විද්‍යාලයට පැමින (මේ 1985 වසර විය යුතුය​) මේ නාට්‍යය සහ මේ නාට්‍යයේ නළුවන්ව තදබල ලෙස විවේචනය කලේය​. මේ කාලයේ ප්‍රසන්න ගුණසේන කොලඹ වෛද්‍ය විද්‍යාලයට තේරී සිටි අතර ඔහු සැබවින්ම මහාචාර්‍ය නන්දදාස කෝදාගොඩට බිය විය​. එසේම විභාග වලදී ඔහුට නෝට් නොවී සිටීමට අමතර වෙහෙසක් ගත්තේය​. 

වෛද්‍ය මාලා කිරිඇල්ල මගේ ඥාති සහෝදරියකි. ඇය කොලඹ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබුවාය​.  මහාචාර්‍ය නන්දදාස කෝදාගොඩ ඔවුන් ගේ පවුලේ හිතවතෙකු වූවද මාලා කිරිඇල්ල කොලඹ වෛද්‍ය පීඨයේදී මහාචාර්‍ය   කෝදාගොඩට බිය වූයේ ඔහුගේ අන්ප්‍රෙඩික්ටබල් හෙවත් භාවි කථනීය කළ නොහැකි ගති නිසාය​. මහාචාර්‍ය   කෝදාගොඩ සමහර විට වෛද්‍ය පීඨයේදී යක්‍ෂාවේසයෙන් ක්‍රියා කල බව වරක් මාලා කිරිඇල්ල මා සමග පැවසුවාය​. 

මහාචාර්‍ය නන්දදාස කෝදාගොඩ තමන්ට යටින් පහර දුන් බව වරක් (2009 වසරේදී) මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා මට කීවේය​. එසේම ඇතැම් අවස්ථා වලදී කෝදාගොඩ මහතා තමන් ගේ සමකාලීන මහාචාර්‍යවරු කෙරෙහි ඉරිසියා සහගතව ක්‍රියා කල බවටද මට තොරතුරු ලැබී තිබේ. 

මහාචාර්‍ය නන්දදාස කෝදාගොඩ අප අතරින් වියෝ වී බොහෝ කල්‍ ය . මළවුන් ගේ නුගුන කථා නොකල යුතු බව අපගේ සංස්කෘතියේ කියා තිබේ. එහෙත් මම මේ අංගයට එකඟ නොවෙමි. එය බලය අතේ තිබෙන මිනිසුන්ට වැරදි දේ කිරීමට පොළඹවයි. මිනිසුන් තමන්ව ජීවත් වන කාලයේදී පමණක් නොව තමන් ගේ මරණින් පසුවද විචාරයට ලක් වන බව දැනගෙන සිටීම ඔවුන් හරි දේ කිරීමට මෙහෙයවයි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Sunday, January 22, 2017

නවක වදය පිළිබඳව මනෝ විද්‍යාත්මක විග්‍රහයක්

  

වක වදය ඉතා බහුලවම සිදු වන්නේ ලංකාවේ සහ ඉන්දියාවේ සරසවිවල​ය. බටහිර රට වල විශ්ව විද්‍යාල තුල ලංකාවේ සහ ඉන්දියාවේ මෙන් බහුලව පැතිරී ගිය නවක වද නැත​. යම් ලෙසකින් Bulling , Hazing වැනි තත්වයන් මතු වුවහොත් නීතිමය පියවර ගැනේ.   උසස්  අධ්‍යාපන  අමාත්යාංශය පෙන්වා දෙන පරිදි මේ වන විට නවක වධය නිසා නවකයන් 20 ක් මරු  දැක   27000 ක් සරසවි හැර ගොසිනි. 
සිසුන් නවක වදයට යොමු වන්නේ මන්ද ? මේ සඳහා බහුවිධ කාරනා තිබේ. මූලික වශයෙන් නවක වද වධකයන් සතු පොදු ලක්‍ෂණ කීපයක් තිබේ. මේ හේතූන් නිසා නිරායාසයෙන්ම ඔවුන් අන්‍යන්ට වධ දීමෙත් තෘප්තියක් ලබා ගැනීමට පෙලඹෙති.
1) හීනමානය (හීනමානය මතුවන්නේ කුල පීඩනය / දරිද්‍රතාව / සමාජ අවස්ථා අඩු බව / ශරීරගේ අඩුපාඩු නිසා මතු වන ඩිස්මෝර්ෆික් තත්වය Body dysmorphic conditions)
2) පෞරුෂ අක්‍රමතා (anti social personality / borderline personality)
3) ළමා කාලයේ කාංසාමය තත්වයන්ට යොමු වී තිබීම. ​ මාතෘ / පීතෘ දුර්ස්ථකරණයට ලක් වීම (maternal or paternal deprivation) , අපයෝජනයන්ට ලක්වී තිබීම
4) බාහිර ක්‍රියාකාරකම් නිර්මානශීලීතාව වැනි දක්‍ෂතා අඩු බව, අව ආත්ම සම්මානය ( poor self-esteem)
5) කන්ඩායම් තත්ව වලදී ඉස්මතුවීම සඳහා දරන ප්‍රයත්නය කැපී පෙනීම​ට අන් අයගේ අවධානයට ලක් වීම සඳහා ඕනෑම අවධානමක් කර ගැසීම. කැපී පෙනීම සඳහා ඇති අත්‍යන්ත යොමුව
6) තමන් කෙරෙහි (self loathing) මෙන්ම සමාජය කෙරෙහි ඇති වෛරය
7) සාමාජීය හුදකලභාවය සහ එය වසන් කිරීමට දරන අධි ප්‍රයත්නය

8) අන්තවාදීබව සහ ධ්‍රැවගත චින්තනය ( සියල්ල කලු සුදු ලෙස දැකීම​) (polarized thinking)
9) අඩු සහනුභූතිය (lack of empathy)
10) පරපීඩා කාමුකත්වය (sadism)
නවක වදය සංකීර්ණ ක්‍රියාවලියකි. වින්දිතයා නවක වදයට පත් කිරීමෙන් බලය සහ ආධ්‍යපත්‍ය පැතිරවීම​, වින් දිතයාගේ පූර්ණ එකඟතාව අපේක්‍ෂාව , වින්දිතයාඅවමන් සහගත පත් කිරීම සිදු කෙරෙන අතර මෙයින් වධකයා තම හීනමානතා සංකීර්ණය සන්තර්පන කර ගැනීමත් බිඳී තිබෙන තමන් ගේ අහංභාවය (Ego ) ප්‍රතිසමාධානය කර ගැනීමටත් උත්සුක වෙයි. මේ හැර මූලික වශයෙන් වින්දිතයා නවක වදයට පත් කිරීමෙන් වධකයෝ අවිඥානික මෙන්ම බොහෝ විට සවිඥානිකව ලිංගික තෘප්තිය ලබති. නවක වදයට ලක් වීමෙන් පසු වින් දිතයා තුල කෝපය , අපේක්‍ෂා භංගත්වය , ආකූලතාව , බිය , ආත්ම ගෞරවය කෙලසීගිය ස්වභාවය , යටත් වීමේ මානසිකත්වය , වධකයා සමග ක්‍රෝධය මෙන්ම අවනත බවද පහළ විය හැක​.
සමහර විට නවක වදයට ලක්වූ වින්දිතයන් නවක වදය කෙරෙහි මෙන් ම තමන්ව වධයට පත් කල වධකයන් කෙරෙහි ආශක්තවීම මෙන්ම නවක වදය සොඳුරු අත්දැකීමක් ලෙසට අර්ථ කතනය කිරීමත් දක්නට ලැබේ. මෙම සංසිද්ධිය ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය ලෙස හැඳින් වේ. (Stockholm syndrome (also known as "terror bonding" and "traumatic bonding") is a psychological tendency of a hostage to bond with, identify with, or sympathize with his or her captor. This syndrome can be seen as a form of traumatic bonding). සංක්‍ෂිප්තව දැක්වීමේදී ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය යනු පීඩිතයා විසින් පීඩකයා කෙරෙහි ඇති කර ගන්නා අසාමාන්‍ය බැඳීමයි. ස්වයං වධ බන්ධන ලැදියාව මෙන්ම තම වධකයන් කෙරෙහි ඇතිවන අවිඥානික ලිංගිකව ඇල්මද මේ සඳහා හේතු කාරක වේ. 
 නවක වදය නීරෝගී චරියාවක් නොවේ. නවක වදය කායික මානසික රෝග ඇති කරවයි. නවක වදය නිසා විශාදය (Depression) , භීතිකාවන් (phobias) , පශ්චාත් ක්ලමථ ව්‍යසන අක්‍රමතාව (PTSD) , සමායෝගී ආබාධ (Adjustment Disorder) වැනි මානසික ආබාධ ඇති විය හැකිය​. එසේම අතුරු ආබාධ බොහෝ කාලයක් පවතියි. මේ හැර භංගුර (vulnerable) පුද්ගලයන් අතර මනෝ ව්‍යාධික (psychotic) තත්ව එනම් භින්නෝන්මාදය (Schizophrenia) , අධි තීව්‍ර මනෝ ව්‍යාධි (Acute Transient Psychotic Disorders) වැනි මානසික රෝග වලට ලක්වීමේ ප්‍රවනතාවන් ද නිරීක්‍ෂණය කොට තිබේ.

නවක වදය ශ‍්‍රී ලංකාවේ නීතිය යටතේ අපරාධ වරදක් වන අතර නවක වදය ලබාදීම සම්බන්ධයෙන් වරදකරුවෙක් වන්නකුට වසර 10ක් දක්වා සිර දඩුවමක් වුවද නියම කළ හැක. නමුත් නීතිය මගින් පමණක් නවක වදයට තිත තැබීම අසීරු කරුණකි. ඒ සඳහා සිසුන් මෙන්ම සරසවි ආචාර්‍යවරුන් තුල ආකල්පමය වෙනසක් ඇති කල යුතුය​. නවක වදයව්‍යාධිජනක සංසිද්ධියක් බව සහ වින් දිතයන්ට මෙන්ම වධකයන්ටද මනෝ ප්‍රතිකාර අවශ්‍ය බව සමාජය විසින් තේරුම් ගත යුතුය​.
වෛද්‍ය රුවන් එම් ජයතුංග 

රතනලා


මම පුත්තලම් දිස්ත්‍රික් මානසික සෞඛ්‍ය දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරී  ( Focal Point in Mental Health  ) ලෙස  සේවය කල කාලයේ 2008 විතර අතුරලියේ රතන භික්‍ෂුව පුත්තලම් නගරයේ පැවති මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනකට  මාවත් කැඳවලා තිබ්බා.  එහිදී මම කිව්වා මාදම්පේ  සේනානායක පාසල ආසන්නයේ ක්‍රීඩා පිටියක  ලයන් බියර්   ලොකු   බිල් බෝඩ් එකක්  නීති විරෝධීව අටවලා තියනවා කියලා. එහිදී රතන මහතා එය වහාම ඉවත් කරන බවට කිව්වා. නමුත් මම  පුත්තලම් දිස්ත්‍රිකයෙන් එන තෙක් ඒ බිල් බෝඩ් එක එතන. 


රතනලා සම්බන්ධයෙන් මට තේරුම් ගිය කරුණ නම් මොවුන් සමාජ ප්‍රශ්න යොදා ගන්නේ ඒවා ඉන්වෙස්ට් කර දේශපාලනමය වශයෙන් බැබලෙන්නට මිසක් සමාජ ප්‍රශ්න විසඳීමේ අවංක අභිලාශයකින් නොවේ. 

Saturday, January 21, 2017

යෝජිත සමරිසි පනත ගැන ලාංකිකයෝ අදහස් දක්වති







සතුන් සමග ලිංගිකව හැසිරීමත් නීතිගත වෙනවාද ? -සුජීව සේනසිංහ 

උපුල් බාලසූරිය :  මචං ඕක නීති ගත නොකලා කියලා සමලිංගිකයො නිකන් ඉන්නවද ...නෑ නෙ... විෂම ලිංගිකයොත් වැඩි වැඩියෙන් ඒ පැත්තට නැඹුරුවීම අද්දවා ගැනීම් නම් වෙන්න පුළුවන්.

 Nissanka MK : DSM වල නැතිව ඇති සමහර විට තිබිල ඉවත් කරන්න ඇති අනික ඔිකත් ඔබතුමන්ල වගේ පිරිසක් හදපු එකක්නම් කොහොමත් ඇතුලත් කරන්නෙත් නෑ. සරල ස්වභාවිකත්වය විශම ලිංගිකත්වය නම් පිලිගැනීමට අකමැති උවත් සම යනු මානසික විකෘතියකි


Malaka PK : ලංකාව පුරා ඇති සියලුම මානසික රොහල්වල සිටින මානසික රෝගීන් ( පිස්සන් ) වහාම නිදහස් කල යුතුයැයි වැනි යෝජනාවකට දෙවෙනි නැති දෙයක් තමා මේක. විකෘතිබාවයකට පිලිගැනීමක් දෙනව කියන්නෙ ඒකට අනුබල දීමක්, එහෙමත් නැත්නම් විකෘතිබාවය සමාජගත කිරීමක්. මෙතන කැමතියි කියල කොමෙන්ටු දාල තියන කසිටියගෙ නංගි කෙනෙක් හෝ මල්ලි කෙනෙක් මෙවැනි විකෘතිබාවයක පත්වුනොත් මේ ගොල්න්ව හොයන්න ලැබෙන්නැ. සමලිංගිකත්වය නීතිගත කරනවනම්, රොහල් වල සිටින සියලුම පිස්සන් නිදහස්කර සාමාජගත වීමට ඉඩ දියයුතුයි. මොකද මේ දෙකෙන්ම වෙන්නෙ එක හා සමාන හානියක්..

PS : සමාජයේ සුළුතරයක් වූ සමරිසියන් ගේ අයිතිය පාගා දමන සමාජයක් තවමත් තියෙන්නේ මධ්‍යතන යුගයේය

Friday, January 20, 2017

අරූගේ කතා




අරූගේ අඩවියේ ගිය ස්වයංචරිතාපදානය මම ආශාවෙන් කියවූයෙමි. එය කියවන විට අපට මිනිසත් සුවඳ දැනේ. ඔහුගේ අත්දැකීම් විචිත්‍ර සහ විශාල පරාසයක විහිදී යයි. අරූගේ කතා කියවන විට මට දැනුනේ ගෝර්කිගේ මගේ සරසවි පොත කියවනවා මෙනි. අරූගේ කතා සියල්ල එක් කොට පොතක් මෙන් පළ කිරීම සුදුසු බව මම සිතමි. 

(අරූගේ අඩවිය ) http://arugeadaviya.blogspot.ca/2014/06/43.html




Thursday, January 19, 2017

දුවට මවක මිස

 


කොලොන්ගොඩ රෝහලට මිත්තනිය සමග පැමිණි හත් හැවිරිදි ළදැරිය සුරතල් ය​. ඇයගේ ඇඳුම් වලින් දුප්පත්කම පෙනේ. එහෙත් අහිංසක සිනහව දහස් වටී. එහෙත් ඇයගේ දෙනෙත් වල යම් ශෝකී බවක් මම දකිමි.

මිත්තනිය මහළු කතකි.   දැරිය ඇයගේ අත අල්ලාගෙන සිටින්නීය.

" මහත්තයෝ කෙලීට පණු බෙහෙත් දෙන්න කියලා ගෙනාවේ " මහළු කත ඒජන්ත උන්නාන්සේ ඉදිරිපිටදී මෙන් හිස නවා යාප්පු හඞකින් පැවසුවාය​. මම ඒජන්ත උන්නාන්සේ නොවෙමි. මහජනයාගේ මුදල් වලින් වැටුප් ලබන මහජන සේවකයෙකි. මම  ඔවුන් දෙදෙනා දෙස බලා සිනාසුනෙමි. දැරිය මිත්තනියගේ සායම් ගිය සාරි පොටින් මුහුණ වසාගෙන මදහස පෑවාය​.  

දරුවාගේ මව කොහේද ? මම මිත්තනිය සමග කතා කලෙමි. මිත්තනිය ඔවුන් ගේ කතාව කීම ඇරඹුවාය.  එය ඉතා සංවේදජනක කතාවකි.   

මේ කතාව ඇරඹෙන්නේ 1988 වසරේදීය​. කොලොන්ගොඩ ග්‍රාමයේ ගැබිනි මාතාවක් දරු ප්‍රසූතිය සඳහා කොලොන්ගොඩ ග්‍රාමීය රෝහලට ආවාය​. ඇය දරුවා ප්‍රසූත කරන්නේ මධ්‍යම රාත්‍රියේය​. නීරෝගී බිළිඳිය උපන් විගසම පවුල් සෞඛ්‍ය නිලධාරිනිය පෙකනි වැල කැපුවාය​. රෝහලේ එවකට ස්ථාන භාර නිලධාරීව සිටි සහකාර වෛද්‍යවරයා  වැදෑමහ එලියට ගත්තේය​. වැදෑමහ  සමග ලේ කැටි කීපයක් ආවේය. 

සහකාර වෛද්‍යවරයාට මේ මව කෙරෙන් අමුත්තක් දිස්වේ. ඇය තවමත් ඉන්නේ ක්ලාන්ත ගතියෙනි. දරුවා ප්‍රසූත කිරීමෙන් පසු ලේ වහනය නැවතී නැත​. ඔහු ග්‍රාමීය රෝහලේ තිබූ සීමිත ඖෂධ මගින් ලේ වහනය නතර කිරීමට උත්සහ කලේය​. එසේම සේලයින් බෝතල් දෙකක් අත් දෙකේ ශිරා වලට සම්බන්ධ කලේය​. එහෙත් නොකඩවා ලේ වහනය වෙයි. 

සහකාර වෛද්‍ය නිලධාරියාට තත්වය අවදානම් බව වැටහුනි. රුධිර පාරවිලනය අවශ්‍ය කෙරේ.වහාම මේ කාන්තාව මහනුවර ශික්ෂණ රෝහලට ගිලන් රථයකින් යැවිය යුතුය​. රෝහලේ ගිලන් රථයක් ඇත​. ගිලන් රථ රියැදුරාද සිටියි. එහෙත් මේ රෝගී කාන්තාව මහනුවර රෝහලට ගිලන් රථයෙන් හෝ වෙන යම් ක්‍රමයකින් හෝ යැවිය නොහැක​. හේතුව දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් අනියම් ඇඳිරි නීතියක් පනවා තිබීම නිසාය​. 

දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ඇඳිරි නීතිය කඩා ගල්කටස් එකකින් මැරුම් කෑමට ගිලන් රථ රියැදුරා කැමති නැත​. හෙතෙම දෙදරු පියෙකි. සහකාර වෛද්‍ය නිලධාරියාටද ගිලන් රථ රියැදුරාට රෝගී කාන්තාව මහනුවර රෝහලට ගෙන යාමට බල කල නොහැක​. මේ මිනිස්කම මිය ගිය යුගයකි. අමනුෂ්‍යන් රජ කරන යුක්තිය සාධාරනත්වය නොහඳුනන යුගයකි. කාලකන්නිකම පැතිරී ගිය යුගයකි. 

සහකාර වෛද්‍ය නිලධාරියා අසරණය​. මවගේ රුධිර වහනය නැවැත්වීමට සිදු කල හැකි සියල්ල ඔහු කලේය​. එහෙත් රුධිර පාරවිලනය හෝ ගර්භාෂය ඉවත් කරන සැත්කම කරන තුරු රුධිර වහනය නවතින්නේ නැත​. සහකාර වෛද්‍ය නිලධාරියා මව අසලම රැඳී සිටියේය​. අළුත උපන් බිළිඳිය ගේ ඇඞීම වාට්ටුව පුරා පැතිරී ගිය මුත් රුධිර වහනයෙන් අසාධ්‍යව සිටි මවට ඒ හඞ නොඇසුනා  විය හැක​. රුධිරය නොකඩවා ගලා යයි. සියළුම දෙනා අසරණය​. 

අධික රුධිර වහනය නිසා උදෑසන හය වන විට මව මිය ගියාය​. බිළිඳිය මෙලොව තනි වූවාය​. 

මව මිය යාමෙන් පසු ඔවුන් ගේ දිලිඳු ජීවිත නොසිතූ ලෙස වෙනස් වී යන ලදි. පියා වෙනත් කාන්තාවක් ගෙන ගමෙන් ගියේය​.  මහළු මිත්තනිය බිළිඳිය භාර ගත්තාය​. කුඩා පැලක යන්තමින් දෙයක් වවාගෙන ඔවුන් ජීවිත ගැට ගසා ගත්හ​. 

මේ මහළු මාතාවගේත් කුඩා මිනිපිරිගේත් කතාව ඇසූ පසු මම මගේ 
පසුම්බිය ඇර මුදල් නෝට්ටු කීපයක් මිත්තනියට දුන්නෙමි. එය ඔවුන් ගේ ජීවන ගැටළු වලට පිලිතුරක් නොවේ. ඉතා තාවකාලික පැලැස්තරයක් බව මම දනිමි. එහෙත් ග්‍රාමීය රෝහලක ස්ථාන භාර වෛද්‍යවරයා ලෙස මට ලොකු දෙයක් කල නොහැක​. 

මට වැඳ ආචාර කල ඔවුන් දෙදෙනා යන්නට ගියෝය​. මම කල්පනාවක නිග්ම වූයෙමි. රජයේ හමුදා මෙන්ම රැඩිකල් දේශපාලන ව්‍යාපාර විසින් මිනිස්කම පාගා දමා කරන ලද බල අරගලයේදී වින්දිතයන් බවට පත් වූයේ මේ හය හතරක් නොදන්නා ළමුන්ද වීම කෙතරම් ශෝකජනකද ?  මේ ඛේදවාචක යළිත් මේ භූමියේ ඇතිවෙයිද ? ලේ පුසුඹ සොයමින් ඒ ගෝ ඝාතකයෝ යළි පැමිනෙත්ද ? 

මේ මහළු මාතාව මේ වන විට ජීවත් නොවන බව මගේ සිත කියයි. මේ දැරිය දැන් කාන්තාවක් විය හැකිය​. එහෙත් මව අහිමි වූ ශෝකය ඇය තුල තවමත් තිබෙනවා විය යුතුය​. 


 වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Find Us On Facebook