Monday, October 31, 2022

ඇනා කරෙනිනා

 



ආදරයෙන් තොර විවාහයකට කොටුවූ  ඇනා කරෙනිනා
රුසියානු වංශාධිපති කවය තුල සිරවූ ගැහැණිය  
 ඇලෙක්සි කරෙනින් ගේ ආදරයෙන් තොරවූ ලෝකය
 සමාජ ස්ථාවරය සඳහා තම සතුට කැප කල ගැහැණිය
ඇලෙක්සි ව්‍රොන්ස්කි ගේ පහසින් අවදි වූ සතුට
සමාජමය වශයෙන් පිටුවහල් කරනු ලැබූ ගැහැණිය
ඇනා ගේ ශරීරයට ආශක්ත වූවද
ඇය පිලිබඳ වගකීම අත් හල ව්‍රොන්ස්කි
ප්‍රේමයෙන් ස්වයං තෘප්තියක් අපේක්‍ෂා කරමින්
ගැලවීම කරා ගොස් ස්වයං විනාශය කරා දිව ගිය ගැහැණිය
අවසානයේදී වංචාවෙන් හා අසත්‍යයෙන් පිරි ලෝකයෙන් ඉවත්ව ගියාය

Sunday, October 23, 2022

අපි බයයි මලේ

 


අපි ඇමරිකාවට බයයි
අධිරාජ්‍යවාදයට බයයි
ලෝක බැංකුවට බයයි
විවෘත ආර්ථිකයට බයයි
කුමන්ත්‍රණ වල​ට බයයි
ජිනීවා වලට බයයි
ඉන්දියාවට බයයි
චීනට බයයි
හම්බයාට බයයි
වඳ පෙති වලට බයයි
අපි බයයි මලේ

Monday, October 17, 2022

සීසන්



කොල්ලෝ  පාසල් ආවේ මාසික වාර ප්‍රවේශ පත්‍ර හෙවත් සීසන් වලිනි. අළුත් මාසයට සීසන්  ගන්නේ පරණ මාසය අවසන් වීමට දින තුන හතරකට කලිනි. සීසන් ටිකට් වර්ණවත් ය​. කාඩ්බෝඩ් වැනි කොලයක මුද්‍රණය කොට තිබෙන නිසා පොඩි වෙන්නේ හෝ ඉරෙන්නේද නැත​. මාසයක් සඳහා ගමනාගමනය වලංගු නිසා ළමුන් සීසන් ටිකට් එක සුරක්‍ෂිතව තබා ගනිති. 


උදේට පාසල් එන විට බස් එකේ කොන්දොස්තර විසින් සීසන් එකේ අදාල දිනය සඳහා කොටුවේ පෑනකින් ඉරක් ඇඳ කපා දමයි. හවස පාසලේ සිට ගෙදර යන විටද මෙසේ   ඉතිරි කොටුවද කපා දමයි. එවිට එදිනට සීසන් ටිකට් එක වලංගු නැත​. එහෙත් බොහෝ ළමුන් පාසල් වරුවෙන් පසුව ක්‍රීඩා මෙන්ම අතිරේක අධ්‍යාපන කටයුතු සඳහා යති. ඒ නිසා සීසන් ටිකට් එක කොන්දොස්තර නොකපන්නේ නම් වාසියකි. එහෙත් සමහර කොන්දොස්තරලා සීසන් එක ඉල්ලාගෙන අදාල කොටුව කපති. 

මේ නිසා ඒ කාලයේ  කොල්ලෝ විවිධ උපක්‍රම භාවිතා කලෝය​. එක උපක්‍රමයක් නම් සීසන් කියා ඉදිරි දොරටුවෙන් බස් එකට නැගීමය​. දෙවැන්න නම් සීසන් ටිකට් එකේ කොටු වල ඉටි වැනි දෙයක් තැවරීමය​. සීසන් එකේ දින කොටු වල ඉටිපන්දමක් ඇතිල්ලූ විට කොන්දාට සීසන්  එක කැපීම අපහසුය​. පෑන ඉටි මත තැවරීම නිසා අනෙක් සීසන් ද කැපීමට යන විට පෑන නොලියවේ. කලක් යන විට මෙම සූත්තරය කොන්දොස්තරලාට තේරීම නිසා කොටු වල තවරා තිබුනහොත් ඔවුන් පෑනෙන් ඇන කොටුව හිල් කලෝය​. එවිට කොල්ලන් කරන්නේ අවම දුර යා හැකි ටිකට් එකක් මිලදී ගෙන ඉබ්බෙකු මෙන් කට්ටෙන් වසාගෙන යාමයි. මගදී චෙකර්ලා පැන්නොත් සීසන් එක දී බේරිය හැකිය​. 

ප්‍රාථමික ශ්‍රේනි වල ළමුන් සීසන් එක පොලිතීන් කවරයක දමා එය සීල් කොට සූට්කේස් එකේ දමාගෙන යති. කොන්දොස්තර සීසන් එක ඉල්ලූ විට සීල් කරන ලද පොලිතින් කවරය සමග සීසන් එක කොන්දොස්තරට දෙති. යම් ලෙසකින් කොන්දොස්තර පොලිතීන් කවරය ඉරීමට ලක ලෑස්ති වුවහොත් " එපා එපා අම්මා බනියි කියා මේ පොඩි කොල්ලෝ කොන්දොස්තර මාමා අතින් සීසන් එක උදුරා ගනිති. මේ නිසා කොන්දොස්තර අසරණ වෙයි. 

නිතරම නුගේගොඩ රොටරි හා රේල්වේ ඇවනිව් ටියුෂන් ගිය වාද්දුව , කිරිබත්ගොඩ , කොටහේන  වැනි ප්‍රදේශ වල පදිංචි කොල්ලෝ අතිරේක සීසන් පත් මිලදී ගත්හ​. මෙකී කොල්ලන් ගේ දෙවන සීසන් ටිකට් වල කොලඹ නාලන්දා මහා විද්‍යාලයේ සිට නුගේගොඩ දක්වා කියා  ලියා තිබුනද ඔවුන් ගේ පදිංචිය වෙනත් ප්‍රදේශ විය​. අප උසස් පෙළ පන්ති වල සිටියදී අප සමග සිටි එක් කොල්ලෙක් මහරගම ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලැබූ ඔහුගේ කෑල්ල නිති පතා හමුවීම සඳහාද දෙවන සීසන් පතක් ගත් බව මතකය​. එය සීසන් එකක් නොව පැණිපතක් විය. 

ඒ කාලයේ සීසන් කපන කොන්දොස්තරලා කොල්ලන් මූනෙන්ම දැන සිටියෝය​. මුඩුම මුඩු මුහුණක් තිබූ කොන්දෙක් කිරිබත්ගොඩ ගල්කිස්ස 154 බස් රථයේ වැඩ කල අතර ඔහු සීසන් කපන්නෙකු විය​. මේ නිසා මෙකී කොන්දා සිටින බසය මඟ හැර වෙනත් බස් රථයකට නැගීමට අප පුරුදුව සිටියෙමු. සීසන් නොකපන කොන්දොස්තරලා සිසුන් ගේ ගජ මිතුරන් ය​. එහෙත් සමහර විට කොල්ලන් ඔවුන්ව ප්‍රකෝප කල විට ( බෙල් එක බොරුවට ගැසූ විට සීදේවී කොන්දොස්තරලාද කුපිත වෙති) ඔවුන් කොල්ලන් ගෙන් සීසන් ටිකට් ඉල්ලාගෙන දිගට හරහට කපති. 

මේ කාලයේදී ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ  නිලධාරීන් මසකට වරක් නාලන්දාවට විත් සීසන් ටිකට් හෙවත් මාසික වාර ප්‍රවේශ පත්‍ර නිකුත් කළහ​. මේ නිසා බස් රථ වලින් ගමන් ගන්නා සිසුන් පෝලිම් ගැසී  සීසන් ටිකට් මිලදී ගත්හ. එක් අවස්ථාවකදී මම මාසික වාර ප්‍රවේශ පත්‍රය ගන්නා විටකදී ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ  නිලධාරියෙක් මගෙන් මාරු වන ස්ථාන මොනවාද කියා ඇසුවේය​. ගත් කටටම මම " ගෝරි වලදි" කියා කීවෙමි. මෙය ඇසූ පෝලිමේ සිටි සිසුන් සිනාසුනෝය​. ඒ නිසා නොරිස්සුම් බවක් පෙන්වූ එම නිලධාරියා මාව ධර්මසේන සර්ට පෙන්වා " මේ ළමයා ඕනෑ නැති කතා කියනවා " කියා කීවේය​.

සීසන් එක අන් සතු කල නොහැකි වූවද සමහර විට කොල්ලෝ සීසන් එක වරුවකට දෙකකට කුලියට දෙති. මගේ එක් සොහොයුරෙකු කොලඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අතර ඔහුට සවස් වරුවක බොරැල්ලට යාමට තිබුනේ නම් ඔහු මගේ සීසන් එක රැගෙන යාමට පුරුදුව සිටියේය​. මෙලෙස වරක් ඔහු මටත් නොකියා සීසන් එක ගෙන ගිය අතර එය පසුව මට දීමට ඔහුට අමතක විය​. පසු දින මා පසල් ගියේ සීසන් එක නැතුවය​. වෙනදා  පුරුද්දට කොන්දොස්තරට මම සීසන්  කීවෙමි. වාසනාවකට මෙන් එදින සීසන්  චෙක් කලේ නැත​. පසුව ගෙදර ඇවිත් මම ඔහුට බැණ වැදී මගේ සීසන් එක ඉල්ලා ගත්තෙමි. 

අප සමග ඉගෙනුම ලැබූ කස්තුරි ආරච්චි නොයෙකුත් දේවල් සඳහා දිනකට කිහිප වතාවක් බස් ගමනාගමනයේ යෙදේ. ඒ සෑම අවස්ථාවකම තමන් ගේ සීසන් එක කපා නොගෙන යාමට ඔහු උත්සහ දරයි. වරක් පාසල අවසන් වීමෙන් පසු කස්තුරියා අපත් සමග 166 අංගොඩ බස් රථයට නැග්ගේ පුරහලින් බහිනු පිණිසය​. එදින කිහිප වතාවක් ගමන් කර තිබූ නිසා ඔහුගේ සීසන් එකේ කොටු දෙකම කපා තිබුනේය​.එහෙත් කස්තුරි ආරච්චි කිසි ගනනක් නොමැතිව කොන්දොස්තර ඉල්ලූ විට  සීසන් එක ඔහු අතට දුන්නේය​. 

සීසන් එක අතට ගත් කොන්දොස්තරට සීසන් එක කපා තිබූ බව පෙනුනි.

" මේ සීසන් එක කපලනේ ඕයි " කියා කොන්දා සැරෙන් කස්තුරියාට කීවේය​. 

" ඕයි තමුසෙනේ දැන් ඕක කැපුවේ කියා කස්තුරියා ඊටත් වඩා සැරෙන් උත්තර දුන්නේය​. 

කස්තුරියාගේ පිලිතුර නිසා අන්ද මන්ද වූ කොන් දොස්තර සීසන් එක හතර අතට පරික්‍ෂා කොට මේක මම කැපුවේ නෑ , මේක කපලා තියෙන්නේ නිල් පෑනකින් මං ලඟ තියෙන්නේ කළු පෑනක් කියා කීවේය​. 

එවිට කස්තුරියා ඉතා සාමකාමී හඞින් " ඉතින් ඕක රණ්ඩු වෙන්න දෙයක් ද එහෙනං පුරහලට ටිකට් එකක් දෙන්නකෝ කියා කීවේය​. 

Sunday, October 9, 2022

ඔටර්ස් එකේ පාලි

 



එක සැරයක් මමයි මගේ බුවෙකුයි ( ඌ මාර පොරක්) ඔටර්ස් ස්විමිං පූල් එකේ ඉන්න කොට CIS එකේ සෙට් එකක් ඇවිත් ෆුල් ඉංග්ලිශ් වලින් පලාත දෙදරන්න කතාව. අපේ බුවා කෙලින්ම උන්ට ඇහෙන්න මාත් එක්ක පාලි වලින් කතා කරනවා " ඌ මට කියනවා " ගාරවෝච නිවාතෝච සන්තුට්ඨී ච කතඤ්ඤුතා" මාත් අත් ඇරියේ නෑ මමත් උත්තර දුන්නා මගේ බාහුව (මස්ල්ස් පෙන්නලා) " බාහු සච්චඤ්ච සිප්පඤ්ච විතයෝ ච සුසික්ඛිතෝ," මෙහෙම අපි පාලි වලින් කතා කරන කොට CIS සෙට් එක හිමීට මාරු උනා.

Saturday, October 8, 2022

Rendezvous at the Palaly Air Base

 



We flew together

From  Ratmalana Airport

Though we were uncomfortable with the old Antanove

We spoke about the good old days and the time spent together at school

 

That was wartime

We were uncertain of our lives

We never knew

If a SAM would hit us

 

Two of us went to Jaffna

Straight to the camp

We had some beer at the officer’s mess

Then had to take a rest

Before the operation

 

Near the 53 Brigade

We saluted each other

Then promised to meet

At the Palaly airbase

 

Several weeks passed

We were fighting the enemy

We had no time to rest or sleep

Shells and mortars

Everywhere death and destruction

 

When Multi Barrels fire

The vibration shatters 

Day and night

We lived with shocking sounds

 

After some weeks 

We met each other at the Palaly airbase

But you were in a body bag

I saw your face covered with blood

 

Wednesday, October 5, 2022

නවක වධය සහ ආචාර්ය හරිනි අමරසූරිය




ජාතික ජන බලවේගයයේ  ජාතික ලැයිස්තු මන්ත්‍රී ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ගෙන් ඔබ විශ්ව  විද්‍යාල තුල පවතින නවක වධය පිලිබඳ  දරන්නේ කුමන අදහසක් ද ? ඔබ එයට විරුද්ධද ? ඔබ මීට පෙර නවක වධය හෙලා දැක තිබේද කියා අසමින් මා විසින් ඇයට ඊමේල් එකක් ද ඇයගේ ෆේස් බුක් එක හරහාද පණිවිඩයක් යැවුවෙමි. මේ පණිවිඩයේ පිටපත් මහාචාර්‍ය හරේන් ද්‍ර සිල්වා, මහාචාර්‍ය සුජීව අමරසේන​, මහාචාර්‍ය සිරි හෙට්ටිගේ, මහාචාර්‍ය හිරාන් අමරසේකර සහ පුරවැසි මාධ්‍යවේදියෙකු වන අජිත් පැරකුම් ජයසිංහ වෙතද යොමු කලෙමි. මගේ ප්‍රශ්නය ඇයට යොමු කොට දින ගනනාව ගත වූවද ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය  නවක වධය ගැන ඇගේ  මතය පිලිබඳව මේ දක්වා පිලිතුරක් එවා නැත​. අජිත් පැරකුම් ජයසිංහ උපකල්පනය කරන පරිදි මෙම ප්‍රශ්නයට පිලිතුරක් දීමට ඇයට ජවිපෙ දේශපාලන මණ්ඩලය අවසර නොදී තිබේ. පාර්ලිමේන්තුව නියෝජනය කරන උගතුන් ලෙස පෙනී සිටින පුද්ගලයන් ද නවක වධය පිලිබඳව එළි පිට අදහස් දැක්වීමට බිය වීම පෙන්වන්නේ පර පීඩකයන් මේ සමාජය කොතෙක් දුරට පාලනය කරන්නේද යන්නයි. 

Tuesday, October 4, 2022

ආර්ථිකමය වශයෙන් මෙන්ම ආකල්ප වශයෙන් ද ලංකාව දුගීය




අපගේ ලාංකික සමාජය සෑමකල්හිම ධනපතියන්ට වෛර කල සමාජයකි. මහන්සියෙන් ව්‍යාපාර කොට මුදල් උපයා තවත් සිය ගනනකට රැකියා ලබා දුන් පුද්ගලයා ලාංකික ප්‍රමිතීන්ට අනුව සූරාකන්නෙකි. අපගේ සමාජය සෑම විටම වන්දනා කලේ ධනයක් උත්පාදනය නොකරන, කර්මාන්ත කෙරෙහි අලස , ව්‍යාපාර කෙරෙහි අගතියෙන් බැලූ සමාජයට එලදායී දෙයක් ලබා නොදුන් එහෙත් විවේචනයේ දක්‍ෂ හිස් මිනිසුන්ටය. 

කොලඹ වරායේ වැඩවර්ජන සංවිධානය කොට කොලඹ වරායට ඒමට නියමිතව තිබූ බිස්නස් සිංගප්පූරු වරායට ලබා දුන් එන් .එම් පෙරේරා අපගේ සමාජයට ජාතික වීරයෙකි. කිසිවෙකුට රැකියාවක් නොදුන් ජීවිත බොහෝ ගනනක් නාය යාමට යොමු කල රෝහණ විජේවීර වන්දනීය නායකයෙකි.  

ආසියාවේ සිටි දක්‍ෂතම ව්‍යාපාරිකයෙකු වූ උපාලි විජේවර්ධන අපගේ සමාජයට හුදු ජාවාරම්කරුවෙකු විය. නවලෝක මුදලාලිලාගේ , මැලිබන් මුදලාලිලාගේ , සිද්ධාලේප මුදලාලිලාගේ ගේ ව්‍යාපාර දියුණු කිරීමේ හැකියාව අධ්‍යනය කරනවා වෙනුවට අපගේ මිනිසුන් උනන්දු වූයේ ඔවුන් ගේ දිළිඳු අතීතයේ ඇද කුද සෙවීමටය.  

අපගේ සමාජය ඉල්ලන්නේ වියාපාර ලෝකයේ ඉහලට නගින ධනය උත්පාදනය කරමින් ආර්ථිකයට උර දෙන ව්‍යාපාරිකයන් නොව අවස්ථාවාදී කපටීන්ට රැවටී බිලි බෝයිස්ලා වී ස්වයං විනාශයක් කරා ගිය ත්‍රීමා විතාණලා සහ වෙනුරලාය. එහෙත් උත්ප්‍රාසය නම් ව්‍යාපාර කර්මාන්ත ආදියේ යෙදෙමින් ධනය උපද්දවන පුද්ගලයන් සූරාකන්නන් , ධනපතියන් , ජාවාරම්කරුවන් කියමින් ඔවුන්ව විවේචනය කරන පා පැදියක් වත් ගැනීමට මුදල් නොතිබුනු , ඉරිසියාව සහ වයිරය සමාජයේ වපුරුවන පුස්සෝ දේශපාලනය හරහා හෝ ඩීල් හරහා හෝ මුදල් උපයා ගැනීමට තැත් කරති. මොවුන් අත්දැකීම් අඩු විචාර බුද්ධියෙන් හීන පරම්පරාවක්ම ග ්ඟ යවති.  

පෙරදා ධනපතියන් භංග වේවා කියමින් පන්ති කල පුද්ගලයා අද පාස්පෝට් දෙකක සහ රුපියල් මිලියන දෙදහසක හිමිකරුවෙකි. ඔහුගේ බස් බැරෑරුම් ලෙස ගත්තෝ අද කුණු කය නොමැති ගන්ධබ්බයන් ය. සමහරු ජීවත් වූවද දුප්පත්කමින් වෙළී තමන් ගේ අසාර්ථක වූ ජීවිත නිසා තමන් සමග මෙන්ම සමාජය කෙරෙහි වයිරයෙන් ජීවත් වෙමින් තමන්ට දේශපාලන පන්ති කල නායකයන් ජීවිතය සුවදායක ලෙස වින්දනය කරන අයුරු බලා සිටිති. එහෙත් මේ විශම චක්‍රයෙන් ශ්‍රී ලාංකික සමාජය මිදෙන්නේ නැත. මේ අනුව තවමත් පසුගාමී ආකල්ප කර තබාගෙන අවස්ථාවාදීන්ට සවන් දෙමින් සිටින ලාංකිකයාට ලබන සියවසේද තුන්වන ලෝකයේ හිඟන රටක් ලෙස ලෝකය ඉදිරියේ පෙනී සිටිය හැක.  






Find Us On Facebook