Tuesday, October 17, 2017

ටිම් හෝර්ට්න් සහ ලාල් කාන්තලා


ටිම් හෝර්ට්න් යනු කැනඩාවේ සිටි අයිස් හොකී ක්‍රීඩකයෙකි. ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව ඔහු තම නමින් කෝපි අවන්හල් ඇරඹූ අතර එය ඉතා ඉක්මනින් ජනප්‍රිය වී කැනඩාව පුරා පැතිර ගියේය​. මෙම ටිම් හෝර්ට්න්ස් කෝපි අවන්හල් හල් නිසා අද දිනයේ දස දහස් සංඛ්‍යාවක් රැකියා  ලැබ පවුල් ජීවත් කරවති. ජීවතුන් අතර නොමැති වූවද ටිම් හෝර්ට්න් තවමත් කැනඩාවේ ජාතික වීරයෙකි. 

එහෙත් ටිම් හෝර්ට්න් ලංකාවේ උපත ලබා මෙම අවන්හල් ව්‍යාපාරය ලංකාව තුල ආරම්භ කලේ නම් ලාල්කාන්තලා ටිම් හෝර්ට්න් ධනපතියෙක්ද , ශ්‍රමය සූරාකන්නෙක්ද කියා ඔහුට භංගවේවා කියනු ඇත​. ලංකාවේදී ටිම් හෝර්ට්න් වැනි පුද්ගලයෝ වාමාංසිකයන් හඳුන්වන්නේ කූට ව්‍යාපාරිකයන් කියාය​.  

මිනිසුන්ට ජීවත් වීමට අවම වශයෙන් රැකියා දහයක් දී ඇති ව්‍යාපාරිකයන් හඳුනාගෙන ඔවුන්ට රාජ්‍ය මට්ටමින් ගෞරවයක් ලබා දී දිරිමත් කල යුතුය​. එවිට මිනිසුන් ලාල් කාන්තලා වීම වෙනුවට සමාජයට වැඩදායක මිනිසුන් වීමට උත්සහ දරණු ඇත​. නමුත් අවාසනාවකට මෙන් රැකියා උත්පාදනය කරන ව්‍යාපාරිකයා දෙස තවමත් ලාංකික සමාජය බලන්නේ  වපර ඇසිනි.  නමුත් තේරුම් ගත  යුතු සත්‍ය වන්නේ ලාල් කාන්තලා වැනි වාමාංශිකයන් තුන් වේල කා කටින් විවේචන කරන්නේ මෙම ව්‍යාපාරිකයන්  විසින්  ත්පාදනය කරන මුදල් වලට පින් සිදු වන්නටය. 

ටිම් හෝර්ට්න්ලා ජීවත් වූ කැනඩාව ධනවත් රටක් වන්නටත් ලාල් කාන්තලා ජීවත් වන ලංකාව දුගී රටක් වන්නටත් එක් හේතුවක් වන්නේ ලාල් කාන්තලා ප්‍රමෝට් කරන ආකල්පමය දරිද්‍රතාව  ලාංකික ජනයා තදින් බදා ගැනීම  නිසාය. 

Monday, October 16, 2017

දන්ත වෛද්‍ය ජෙනරාල් තිලක් ජයවීර පිළිබඳ සටහනක්




දන්ත වෛද්‍ය ජෙනරාල් තිලක් ජයවීර මිය ගිය පුවත මට දැනගන්නට ලැබුනේ බොහෝ ප්‍රමාදවීය​. ඔහු පිලිබඳ එක් සිද්දියක් මට මෙහිදී සිහිපත් වෙයි.මා විසින් සිදු කල පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය ( PTSD ) පිලිබඳ අධ්‍යනයන් නිසා ඇමරිකානු වෙතරානු අධිකාරිය විසින් මට කැනසාස් සහ පෙන්සිල්වේනියාවේ දේශන කීපයකට 2006 වසරේදී ආරාධනා කරන ලදි. මීට සමගාමීව EMDR International Association ආයතනය විසින් මනෝ චිකිත්සනය පුහුණුව සඳහා මට ශිෂ්‍යත්වයක්ද දෙන ලදි. මේ කාලයේ මා සේවය කලේ යුද හමුදා රෝහලේය​. යුද හමුදා රෝහලේ අණ දෙන නිලධාරියා මගේ වැඩ ආවරණය කිරීමට වෙනත් වෛද්‍යවරයෙකු නොමැති බව කියමින් මට ඇමරිකාවට යම සඳහා ලියකියවිලි අත්සන් කලේ නැත​. ඔහුගේ යටි අරමුණ වූයේ මගේ ඇමරිකා ගමනට උදැල්ලක් දැමීමටය​. මේ අවස්ථාවේදී අනපේක්‍ෂිතව යුද හමුදා වෛද්‍ය බලකායේ කර්නල් කමඩාන් වූ ජෙනරාල් තිලක් ජයවීර යුද හමුදා රෝහලේ අණ දෙන නිලධාරියාට දුරකථන ඇමතුමක් දී " අයිසේ බළු වැඩ කරන්න එපා ඌට කෝස් එකට යන්න දේනවා " කීවේය. මේ දුරකථන ඇමතුමෙන් පසු පැය දෙකක් ඇතුලත අදාල ලියකියවිලි අත්සන් කොට ඒවා ඇමරිකානු තානාපති කාර්‍යාලය වෙත යවනු ලැබීය​.

වෛද්‍ය රුවන් එම් ජයතුංග

Sunday, October 15, 2017

හය වසර සඳහා ගණිත ගැටළු

 

1) මර්වින් සිල්වාගේ පුතා මාලක බ්ලූ ලෝටස් එකට එක්ටසි පෙති 10 ගෙනවිත් එකක් රුපියල් 20,000 බැගින් වික්කේය​. ඔහු ලැබූ ආදායම කීයද ?

2) සරණ ගුනවර්ධන එක් කඩයකින් රුපියල් 30, 000 ගනනේ කප්පම් ගනියි. කඩ 10 කින් සරණ ගුනවර්ධන ලත් මුදල කීයද ?

3) බැසිල් රාජපක්‍ෂට මල්වානේ නිවස ටයිල් කිරීමට වැයවූ මුදල රුපියල් මිලියන  10 කි. මේ මුදලින් 5% ගෙවන ලද්දේ බාස් කුලී ලෙසටය​.  බැසිල් රාජපක්‍ෂ බාස්ලාට ගෙවූ මුදල කීයද ?

4) වීර සංගිලි පනික්කියා ලඟ රුපියල් මිලියන 2000 තිබේ. ඉන් 1/4  වීර සංගිලි පනික්කියා විසින් ඩුබායි බැංකුවක හොරෙන් තැන්පත් කලේ නම් වීර සංගිලි පනික්කියා ලඟ ඉතිරි වන මුදල කීයද ?

5) රවී කරුණානායක ගෙවල් කුලිය ලෙසින් මිලියන 1.5 මාසිකව ගෙවයි. ගෙවල් හිමියා ගෙවල් කුලිය භාර නොගත්තේ නම් වසරක් තුලදී රවී කරුණානායක ලඟ ඉතිරි වන මුදල කීයද ? 

6) බැංකුවක් සුද්ද කිරීමට මාමාට පැය 48 ද බැණාට පැය 24 ද ගතවේ. මාමා සහ බෑණා එක්ව බැංකුව සුද්ද කලේ නම් ගතවන කාලය කීයද ?

Saturday, October 14, 2017

ඇම්බුලන්ස් ඩ්‍රයිවර්ලා



ඇම්බුලන්ස් ඩ්‍රයිවර්ලා ඒ කාලයේ අපගේ රෝහල් ජීවිතයට සම්බන්ධ වූ කොටසක් විය​. රෝගීන් කෙරෙහි ඉතා සංවේදී හොඳ ගිලන් රථ රියැදුරන් මාගේ වෘත්තීය දිවිය තුල මට හමුවී තිබේ. 

මාතලේ රෝහලේ සේවය කල කාලයේදී කුප්පියා කියා අන්‍යන් විසින් හඳුන්වන ලද ගිලන් රථ රියැදුරා මාගේ මතකයට නැගේ. ඔහුගේ නියම නම මම නොදනිමි. මේ නිසා මමද ඔහුව ඇමතුවේ කුප්පියා කියාය​. එහෙත් වෙනත් අයෙකු ඔහුට කුප්පියා කියූ විට ඔහු කුපිත වේ. වරක් රෝහලේ දුරකථන ක්‍රියාකරු වූ රත්නායක මහතා හිස් පෙනිසිලින් කුප්පියක් රෝහලට අළුතින් ආ ඇටෙන්ඩන්වරයෙකු අතට දී " මේක අර ඇම්බුලන්ස් එකේ ඇම්බුලන්ස් ඩ්‍රයිවර්ට දෙන්න " කීවේය. රත්නායක මහතාගේ සිතැඟි තේරුම් නොගත් අහිංසක ඇටෙන්ඩන් පෙනිසිලින් කුප්පිය ගෙන ගොස් කුප්පියා අතට දී කුණුහරප වැලක් අසා ගත්තේය​. එහෙත් මා හෝ රත්නායක  මහතා ඔහුට කුප්පියා කියා කතා කල විට ඔහු මඳ සිනහවකින් අප අසලට එයි. කුප්පියා දක්‍ෂ රියැදුරෙකු විය​. අසාධ්‍ය රෝගීයෙකු ගිලන් රථයට  දා ගන්නා ඔහු වරකාමුර හෝ කූඹියන් ගොඩ පාරවල් හරහා පේරාදෙනිය හෝ මහනුවර රෝහල් වලට යන්නේය​. ඒ කාලයේ ඉන්ටන්වරුන්ට අසාධ්‍ය රෝගීන් මාරු කරන විට ඇම්බුලන්ස් එක පවා සූදානම්ව තිබේ දැයි බැලීමට සිදු විය​. අසාධ්‍ය රෝගීන් සිටින විට කුප්පියා සිටින්නේ නම් අප සැනසුම් සුසුම් හෙළුවෙමු. 

1995 වසරේ මාර්තු මාසයේදී ග්‍රාමීය රෝහලක ස්ථාන භාර වෛද්‍යවරයා ලෙස පත්වීම ගෙන ගිය විට මාගේ කාර්‍ය මණ්ඩලයේ ගිලන් රථ රියැදුරෙකුද විය​. ඔහුගේ නම අබේරත්නය​. අබේරත්න මට ඉතා කීකරුය​. ඔහු දෙන නියෝගය පිලිපදියි. එහෙත් මධ්‍යසාර ගත් විට අබේරත්න වාතයකි. මේ සම්බන්ධයෙන් මම ඔහුට බනිනි විට මධ්‍යම වයසේ පුරුෂයෙකු වූ අබේරත්න අඞයි.  ඒ කාලයේ වයස අවුරුදු 29 ක තරුණ වෛද්‍යවරයෙකු වූ මට  අබේරත්න ගේ කඳුළු දකින විට  හිත වෙඞරු පිඞක් සේ උනුවේ. මේ නිසා මම බැණුම නවත්වා බොරු ක්‍රෝධ මුහුණක් පෙන්වා අබේරත්නව මාගේ කාර්‍යාලයෙන් එලවා ගනිමි. එවිට ඔහු ඕපීඩී එකට ගොස් කඳුළු සලයි. 

අපට ඒ කාලයේ තිබුනේ සුදු රුක්මනී මොඩ්ල් පෙට්‍රල් වලින් ධාවනය වන ගිලන් රථයකි. අබේරත්න මේ ගිලන් රථයට ආදරේය​. එය හඳුන්වන්නේ " මගේ කිරි එලදෙන" කියාය​. අබේරත්න ගිලන් රථයට කිරි එලදෙන කියා කියන්නේ මන්ද කියා මම ඉක්මනින්ම වටහා ගත්තෙමි. කොලොන්ගොඩ රෝහලේ සිට රෝගියෙකු රැගෙන දහ අට වංගුව හරහා මහනුවරට යන අබේරත්න පල්ලම් වලදී යන්නේ නියුට්‍රල් ගියර් එකේය​. මෙම ගියර් එකට සංවර්ධන ගියර් එක කියා නමක් දමා තිබුනේය​. කඩින් කඩ සංවර්ධන ගියර් එකෙන් කොලොන්ගොඩ රෝහලේ සිට මහනුවර රෝහලට යන අබේරත්න ආපසු එන ගමනේද සංවර්ධන ගියර් එක භාවිතා කරයි. මෙලෙස එක් ට්‍රිප් එකකදී අබේරත්න අතිරේක මුදලක් සොයා ගනී. 

අබේරත්න නුවර සිට එන විට අතරමගදී ගමේ මිනිසෙකු දුටු විට ගිලන් රථයට නංවා ගනී. මෙය බරපතල නීති උල්ලංඝනයකි. වරක් මම මාගේ මෝටර් රථයෙන් පුද්ගලික උවමනාවකට කොලඹ ගොස් එන විට මැද මහනුවරදී අපගේ සුදු ගිලන් රථය දුටුවෙමි. මම අබේරත්නට නොතේරෙන සේ ගිලන් රථය ෆලෝ කලෙමි. අබේරත්න අතරමගදී මගීන් ගිලන් රථයට ගොඩ නංවා ගන්නවා මම සියැසින් දුටුවෙමි. අණතුරුව මාගේ මෝටර් රථය ගිලන් රථයට සමාන්තරව පදවා වීදුරුව පහත් කොට " මොකද මේක ලංගම බස් එකක්ද ? කියා අබේරත්න ගෙන් ඇසුවෙමි. මා දුටු අබේරත්න ගේ කළු මුහුණ සුදුවී ගියේය​. පසුව මම රෝහලට ගොස් අබේරත්නව ගෙන්වා ගෙන ඔහුට තදින් බැණ වැදුනෙමි. මටත් වඩා දෙගුනයක් වයසැති අබේරත්න මට වැඳ " අනේ සෑර් ආපහු මම එහෙම කරන්නේ නෑ කීවේය​. අබේරත්න ගේ වැඳිල්ල නිසා මගේ කෝපය අතුරුදහන් වී මම ඔහුව කාර්‍යාලයෙන් පිටත් කලෙමි. එහෙත් ඔහු යලිත් අපට හොරෙන් මගීන් ගිලන් රථයට ගොඩ කර ගන්නා බව මට තේරුම් ගියේය​. 

සමහර දින වල  රෝහල් භූමියේ බීමත්ව සිටින අබේරත්නව​ සේවයෙන් පහ කිරීම මට සුළු වැඩක් විය​. ඒ සඳහා ප්‍රමාණවත් වූයේ ලියුමක් ගැසීම පමණි. එහෙත් දීර්ඝ කාලයක් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඔද්දල් වූ මිනිසෙකු මට හැදිය නොහැක​. එසේම දරුපවුල් කාරයෙකුගේ රැකියාව අහිමි කොට මට රාත්‍රියේ නින්දට යා නොහැක. මේ නිසා වෙනත් විකල්පයක් ලෙස  අබේරත්නව වෙනත් රෝහලකට මාරු කිරීමට මම මධ්‍යම පළාත් සෞඛ්‍ය සේව අධ්‍යක්‍ෂක පිළපිටිය මහතාව හමු වූයෙමි. පිළපිටිය මහතා අබේරත්නව කොලොන්ගොඞ ග්‍රාමීය රෝහලට යාබද රෝහල වූ හෙට්ටිපොළ රෝහලට මාරු කොට හෙට්ටිපොළ ග්‍රාමීය රෝහලේ ගිලන් රථ රියැදුරු කොලොන්ගොඞට එවිය හැකි බව මට කීවේය​. මේ ගැන කල්පනා කියන්නම් කියා මම මධ්‍යම පළාත් සෞඛ්‍ය සේව අධ්‍යක්‍ෂකවරයාගේ කාර්‍යාලයෙන් ආවෙමි. 

පසුව මම හෙට්ටිපොළ ග්‍රාමීය රෝහලේ ගිලන් රථ රියැදුරු කොහොම අයෙක්ද කියා මොරයාය රෝහලේ මා මිත්‍ර වෛද්‍ය ධර්මසිරි හේරත් ගෙන් ඇසුවෙමි. " අපෝ ඌ වණයක් , ඌත් එක්ක බලන කොට අබයා හොඳයි. අබයට කණට එකක් දීලා හරි වැඩේ කර ගන්න පුලුවන්. ඌව ගත්තොත් වෙන්නෙ ඉඟුරු දීලා මිරිස් ගත්ත එකේ අනිත් එක කියා හේරත් කීවේය​. මේ නිසා මට අබේරත්නව තව දුරටත් දරාගෙන සිටීමට සිදු විය​. 

අපගේ රෝහලේ කාර්‍යමණ්ඩලයට පඩි මුදල් ගෙන ඒම සඳහා මම මසකට වරක් අබේරත්න සමග හසලක මහජන බැංකුවට යමි. හසලක මහජන බැංකුවේ කළමණාකාර නියංගොඩ මහතා අපගේ මිතුරෙකි. ඒ නිසා ඉතා ඉක්මනින් චෙක් එක මුදල් කොට රුපියල් ලක්‍ෂයකට කිට්ටු වෙන්නට මුදල් සීයේ කොල වලින් ලබා දෙයි. මෙම මුදල් සුරක්‍ෂිතව අතට ගන්නා මා අබේරත්න සමග නැවත කොලොන්ගොඩට එමි. මා බැංකුවේ ගත කරන කාලය තුලදී අබේරත්නට බැංකුව අසලටමවී ඉන්නට කියන්නේ හිටි ගමන් ඔහු අන්තර්ධාන වන නිසාය​. 

වරක් මෙසේ අන්තර්ධාන වූ අබයා ආවේ කණමදයෙක් වගේ වැනෙමිනි. " මම බැංකුවට ගිය පරක්කුවට හොර පොට් එකකට ගියානේ කියමින් අබයාට බැණ වැදුනු මම වෙරි කාරයා ගිලන් රථය ඇතුලට දමා මුදල් පොදිය රියැදුරු සීට් එක මත තබා ඒ උඩ වාඩිවී  ගිලන් රථය  එලවූයෙමි. මෙහි ගියර් තිබුනේ සුක්කානම අසලය​. මේ ගියර් ක්‍රමය මට නුහුරු නිසා ගියර් අබයාගෙන් අසා ඒවා දමමින් යලි රෝහලට ආවෙමි. රෝහලට විත් විනාඩි විස්සක් පමණ අබේරත්නට මම බැණ වැදුනෙමි. ඔහු ඉතා කීකරු සුනඛයෙක් මෙන් හිස පාත් කරගෙන මගේ කර්කශ බැණුම් අසා සිටියේය​. 

මෙසේ මාස කීපයක් ගත විය. දිනක් රෝහලේ සහකාර වෛද්‍ය නිලධාරී ප්‍රේමරත්න මහතා මගේ කාර්‍යාලයට විත් අබයාගේ තවත් වික්‍රමයක් කීවේය​. අබේරත්න සප්පයම් වී ගිලන් රථය එලවා තිබේ. උඩත්තව කිට්ටුවදී ගල් ගොඩක් උඩ යාම නිසා රථයේ සම්ප් එක වැදී එන්ජින් ඔයිල් කාන්දු වී තිබේ. එහෙත් වෙරිය නිසා අබේරත්නට මෙය තේරී නැත හසලක කිට්ටු වන විට එන්ජින් ඔයිල් අවසන් වී එන්ජින් එක සීස් වී ඇත​. දැන් වාහනය හසලක රෝහලේ ගාල් කොට තිබේ. අබේරත්න ගේ කිරි එලදෙන ඉවරය​. මම වහාම මහනුවරට ගොස් මධ්‍යම පළාත් සෞඛ්‍ය සේව අධ්‍යක්‍ෂක පිළපිටිය මහතාව හමුවී සිද්ධිය ගැන කීවෙමි. පිළපිටිය මහතා මට වෙනත් ගිලන් රථයක් ලබා දෙන ලෙස ලියුමක් දුන්නේය​. මම ගිලන් රථ යාඩ් එකට ගොස් ඩීසල් රථයක් තෝරා ගත්තෙමි. ඉන් පසු අබේරත්න ගේ සංවර්ධන ගිය ව්‍යාපෘතිය අවසන් විය​. කිරි එලදෙන නැතිවීම අබේරත්නට දරා ගත නොහැකි විය​. එය ඔහුට ලැබුණු දඞුවමක් විය​. 

කෙසේ නමුත් මම කොලොන්ගොඞ රෝහලෙන් එන විට අබේරත්න කඳුළු සැලුවේය​. රෝහලේ කම්කරුවෙකු වූ විජේරත්න බණ්ඩා අබේරත්නට කතා කරමින් " අයියා උඹ අද රස්සාව කරන්නේ සර් නිසා වෙන සර් කෙනෙක් නම් මේ වෙන කොට උඹව රස්සාවෙනුත් එලවලා " කීවේය​. එය ඇසූ අබේරත්න තවත් හයියෙන් ඇඞුවේය​. මා රෝහලෙන් ආ පසු අබේරත්නට කුමක් වූයේද කියා මම නොදනිමි. ඔහු නරක මිනිසෙකු නොවේ. එහෙත් නිසි ලෙස රාජකාරී පුහුණුවක් නොලැබූ මදුවිත ගත් විට විකාර වැඩ කරන රස්සාවටම ක්‍රොනික් වූ අබේරත්නලා රැසක් පසු කාලයක මම දුටුවෙමි. එහෙත් අබේරත්නලාගෙන් පසුව ආ තරුණ පරම්පරාව වගකීම් ගනිමින් විනයාණුකූලව රාජකාරි කරන ලදි. 

මීගමුව රෝහලේ සිටි ගිලන් රථ රියැදුරන් වූ ජෝතිපාල සහ අප්පුහාමි හොඳ සේවකයන් වූහ​. ඔවුන් රෝගින් ගැන වගකීම් ගනිමින් ප්‍රවේසම් සහිතව රෝගීන් ප්‍රවාහනය කලහ​. වරක් සේවා මුරය අවසන් වී මම කොලඹ දෙසට මාගේ වාහනය පදවමින් යන විට කුරණ ආසන්නයේදී මාගේ වාහනය පසු කරමින් සිටි ජෝතිපාල ගිලන් රථයේ ජනේලයෙන් අත දමා සර් අපි ලෙඩෙක් අරගෙන කොලඹ යනවා කීවේය​. මමද ජෝතිපාල සමග සිනාසී ඔහුගේ ගිලන් රථයට ඉඩ දෙනු වස් වේගය මඳක් අඩු කලෙමි. ඒ අතරවාරයේ ගිලන් රථයටද වෙට්ටුවක් දමමින් වෑන්  රථයක් වේගයෙන් ධාවනය විය​. මෙම වෑන් රථය පාර පුරා ගිය අතර කිසිදු විනයකින් තොරව ධාවනය කරන ලදි. අප සීදූව ආසන්නයට එත්ම වෑන් රථය බස් රථයක හැපුනේය​. එයින් පාර අවහිර වූ නිසා යලිත් මට ජෝතිපාල ගේ ගිලන් රථය දැකීමට හැකි විය​. ගිලන් රථයෙන් හිස එලියට දැමූ ජෝතිපාල අණතුරට පත් වෑන් රථයේ රියැදුරා අමතා " කෙලව ගත්ත නේද අන්තිමට " කියා කීවේය​. තම වාහනය බසයේ හැපුණු නිසා ආවේගශීලීව සිටි වෑන් රථ රියැදුරා මොනවාදෝ ප්‍රති උත්තර ලෙස කීවද ජෝතිපාල වේගය වැඩි කොට එම ස්ථානයෙන් ඉවත් වීම නිසා ඔහුගේ පිලිතුර වාතයට මුසු විය​. 

දිනක් ජෝතිපාල වියාකූල ගතියකින් මා හමු වීමට වාට්ටුවට ආවේය​. " සර් නංගිව සීසර් කරනවා කියලා වීඕජී මහත්තයා කිව්වා දැන් මොකද කරන්නේ කියා ඇසීය​. මම ජෝතිපාලට බිය නොවන ලෙස පවසා සීසර් ශල්‍යකර්මය වීඕජී මහතා හෝ මම කරන බව කීවෙමි. පසු දින මම සියළු ආරක්‍ෂාකාරී පියවර ගනිමින් ජෝතිපාල ගේ නංගීව සීසර් කලෙමි. ඉපදුනේ පුතෙකි. ඔහු නිරෝගී දරුවෙකි. දරුවා දුටු ජෝතිපාල ඉතා සතුටු විය​. ඉන් පසු ජෝතිපාල මා දකින විට සර් කොල්ලා නියමෙට ඉන්නවා කියයි. මේ වන විට ජෝතිපාලගේ බෑනා වයස අවුරුදු 19ක පමණ තරුණයෙකු විය යුතුය​. 

ගිලන් රථ රියැදුරු අප්පුහාමි නිහඞ චරිතයකි. වරක් සාෆ් තරඟාවලියට සහභාගි වන විදෙස් ක්‍රීඩකයන් ගේ හදිසි සෞඛ්‍ය අවශ්‍යතාවන් සඳහා වෛද්‍යවරයෙක් කටුනායක ගුවන් තොටුපළට යාමට සිදු විය​. මම හෙදෙකු සමග ගුවන් තොටුපළට ගියෙමි. ගිලන් රථය ධාවනය කලේ අප්පුහාමිය​. අප තිදෙනා වීඅයිපී පර්‍යන්තයට වී වරුවක්ම සිටි මුත් කිසිම හදිසි කේස් එකක් නාවේය​. තවත් වරක් අමාත්‍ය ජී එල් පීරිස් මහතා සහභාගි වූ මීගමුව පොලිස් පුහුණු පාසලක රැස්වීමකටද මට අප්පුහාමි සමග යන්නට සිදු විය . අප අමාත්‍ය ජී එල් පීරිස් මහතා සිටි ආසන්නයේම ගිලන් රථය නවතාගෙන සිටියෙමු. මෙසේ පැය ගානක් සිටි අපට රස කැවිලි සහ තේ පොලිස් කොස්තාපල්වරයෙකු විසින් ගෙන එන ලදි.  

හලාවත රෝහලේ සිටි ගිලන් රථ රියැදුරු හෙට්ටිආරච්චිට ඉලෙක්ට්‍රික් භාණ්ඩ රෙපෙයාර් කිරීමේ දස්කමක් තිබුනේය​. 1989 දී පමණ මම මොස්කව් වලින් තේ උණු කරන කෝප්පයක් ගත්තෙමි. ප්ලාස්ටික් වලින් සාදා තිබෙන මෙය සාදන ලද්දේ ලැට්වියාවේය​. වසර බොහෝ ගනනක් භාවිතා කල මේ තේ උණු කරන කෝප්පය 2001 වසරේදී ක්‍රියා විරහිත විය​. මෙය මම හෙට්ටිආරච්චිට දුන්නෙමි. ජපන් භාණ්ඩ මිස ලැට්වියානු ඉලෙක්ට්ක් භාණ්ඩ රෙපෙයාර් කොට නොතිබුනු හෙට්ටිආරච්චි ඉතා බුහුටි ලෙස මෙම ඉලෙක්ට්‍රික් තේ කෝප්පය අළුත්වැඩියා කරන ලදි. 

යුද හමුදා රෝහලේ ගිලන් රථ රියැදුරන් කෝප්‍රල්ලා වෙති. වරක් කොලඹ සිට නුවර දක්වා ගිය ගමනකදී යුද හමුදා ගිලන් රථ රියැදුරා ඉගිලුනේය​. මේ නිසා ඔහුට නියමිත වේගයට පමණක් වාහනය ධාවනය කරන්නට කියා මම නියෝග කලෙමි. 

ගිලන් රථ රියැදුරන් යනු සෞඛ්‍ය අංශයේ වැදගත් කාර්‍යභාරයක් කරන්නෝ වෙති. ඔවුනද ජීවිත ගලවා ගනිති.   හොඳ ගිලන් රථ රියැදුරෙක් යනු රෝහලකට සම්පතකි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Friday, October 13, 2017

මහාචාර්‍ය සෝමරත්න බාලසූරිය


මේ මහාචාර්‍ය සෝමරත්න බාලසූරිය. ඔහු මගේ මිතුරෙක් වගේම ගුරුවරයෙක්. මට කෙටි කතා ලිවීමට පෙරමග සපයන්නේ මහාචාර්‍ය සෝමරත්න බාලසූරිය විසින්. අප ඒ කාලයේ මාස  දෙක තුනකට වරක් බී.ආර්.සී ක්ලබ් එකේ හමු වෙලා සිංහල සාහිත්‍ය ගැන කතා කරනවා. ඔහු දැණුම ආකරයක්. මහාචාර්‍ය බාලසූරිය ගේ මඟ පෙන්වීම නිසා මේ වන විට මම කෙටි කතා පොත් තුනක් ලියා තිබෙනවා.  ඔහුට ප්‍රන්සේදී සාත්‍රේ හමුවී තිබෙනවා. ඒ අතීතය ඔහු මා සමග වරක් පැවසූවා 

Thursday, October 12, 2017

ඔස්ටියාලා දෙන්නයි

 



ගුනේ අයියා මිනිසුන්ට උදව් කරන්නෙකි. මිනිසුන් හදිසියකදී අතමාරුවක් ඉල්ලා ගන්නේද ගුනේ අයියාගෙනි. සමහරු ලොකු ගනන් ද ගුනේ අයියා ගෙන් ණයට ගනිති. ලොකු ගනන් නම් යළි ගෙවිය යුතුය​. 

වරක් ඔස්ටින් නම් පුද්ගලයෙක් හදිස් අවශ්‍යතාවක් නිසා ලොකු ගනනක් ගුනේ අයියාගෙන් ණයට ගත්තේය​. ණය මුදල කල් පිරුනද පියවූයේ නැත​. අද දෙන්නම් හෙට දෙන්නම් කියා ඔස්ටින් කල් මැරුවේය​. 

දිනක් ඔස්ටින්ව ගුනේ අයියාට ටවුමේදී  හමු විය​. දුර තියා එන ගුනේ අයියා දුටු ඔස්ටින් " ගුනේ මහත්තයා හෙට උදේ අපේ ගෙදර එන්න නොවරදවාම සල්ලි ටික දෙනවා කියා කීවේය​. 
පසු දින උදෑසන ගුනේ අයියා ඔස්ටින් ගේ නිවසට ගියේ තමන්ට හිමි මුදල ඔස්ටින් ගෙන් ලබා ගැනීමටය. 

ගුනේ අයියා ඔස්ටින් ගේ නිවසේ දොරට තට්ටු කලේය​. ඒ විගස දොර ඇරුණි. දොර ඇරියේ ඔස්ටින් ගේ බිරිඳයි. 

 " අනේ ගුනේ මහත්තයා හදිස්සියක් වෙලා ඔස්ටින් කොලඹ ගියානේ " කියා ඔහුගේ බිරිඳ කීවාය​. 

" ඇත්තද ? මට උදේ එන්න කීව නිසයි මම ආවේ කියා ගුනේ අයියා පිළිතුරු දුන්නේය​. 

මේ හදිස්සියක් වෙලා උදේ හතරේ බස් එකේ කොලඹ ගියා ගුනේ මහත්තයා කියා ඇය යළිත් කීවාය​. 

බලාපොරොත්තු කඩවීම නිසා ගුනේ අයියා ආපසු යන්නට හැරුනේය​. එහෙත් මුත්‍රා කිරීමේ අවශ්‍යතාව දැනුන හෙයින් ඔහු ඔස්ටින් ගේ නිවස අසල තිබෙන වැසිකිලියට ගියේය​. වැසිකිලියේ දොර බාගෙට ඇර තිබූ නිසා ගුනේ අයියා කිසිදු චකිතයක් නොමැතිව වැසිකිලි දොර ඇර වැසිකිලියට ඇතුළු වන්නට හැදුවා පමණි. ඔස්ටින් වැසිකිලියේ දොරට මුවාව සැඟව සිටිනු ඔහු දුටුවේය​. ඔස්ටින්ව දුටු ගුනේ අයියා " අම්මට සිරි මෙන්න ඔස්ටියාලා දෙන්නෙක් " කියා මහ හඞින් කීවේය​. එය අැසුනු ඔස්ටින් ගේ බිරිඳ වහ වහා නිවස තුලට ගියාය​. 

Wednesday, October 11, 2017

ඇඟ ආරස්සා කිරීම




හලාවත ගුණතුංග හෙවත් ගුනේ අයියා  අපගේ හිතවතෙකි. රෝහල් සේවයෙන් පසුව අප ගුනේ අයියා හමුවී ඔහු සමග කතා බස් කිරීමට පුරුදුව සිටියෙමු. ගුනේ අයියාට මිතුරන් බොහොමයකි. උස් පහත්  භේධයකින් තොරව මිනිසුන් ඇසුරු කිරීම ගුනේ අයියා ගේ සිරිතකි. ඔහුට ලොකු කුඩා යහළුවන් රැසකි. ගුනේ අයියාට වැල්ලේ මිතුරන් ද බොහෝ දෙනෙකි​. මොවුන් ගෙන් බොහෝ දෙනෙකු ධීවරයන් වූහ​. වරක් ගුනේ අයියා ගේ හැඳුනුම් කම උඩ එක් ධීවර කාර්මිකයෙකු මාව ඔහුගේ බෝට්ටුවේ දමාගෙන මාළු ඇල්ලීමට දැල් දානවා පෙන්නන්නට ගෙන ගියේය​. 

සමහර ධීවරයන් ගෝරිකාරයන් වෙති. ගෝරියක් ගියහොත් එන්නේ කඩු උස්සාගෙනය​. එහෙත් මේ චණ්ඩීන් ගුනේ අයියාට හිතවත් ය​. වරක් ගුනේ අයියා වැල්ල වීදිය දිගේ යන විට එක් ධීවරයෙක් කඩුවක් අතින් ගෙන ලයිට් කණුවකට මුවාවී සිටිනවා දක්නට ලැබුනේය​. ගුනේ අයියා දුටු ධීවරයා " ආ ගුනේ මහත්තයා " කියා කඩුව සරම තුල රුවා ගත්තේය​. ඔහුගේ අසාමාන්‍ය ඉරියව් තේරුම් ගත් ගුනේ අයියා " මොකක්ද ප්‍රශ්නයක්ද ? කියා  ඇසුවේය​. එවිට ආවේගයට පත් ධීවරයා ඔහුගේ අවනඩුව ගුනේ අයියාට කීවේය​. 

ධීවරයන් සඳහා රක්‍ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට රක්‍ෂණ නියෝජිතයෙකු පැමින මුහුදු රක්‍ෂණය පිලිබඳ ධීවරයන්ට තොරතුරු පවසා තිබේ. මේ රක්‍ෂණ ක්‍රමයට කැමැත්ත පළ   ධීවරයන්  මුදල් ගෙවා රක්‍ෂණ මිලදී ගන්නා ලදි. මෙම පුද්ගලයාද රක්‍ෂණයක් මිලදී ගත්තේය​. ඉන් මසකට පමණ පසුව බෝට්ටුව දියඹට තල්ලු කිරීමේදී ඔහුගේ ඇඟිල්ලක් තුවාල විය​. මේ නිසා ඒ සඳහා වන්දියක් ඉල්ලා ගැනීමට ඔහු රක්‍ෂණ කාර්‍යාලයට යන ලදි. එහෙත් රක්‍ෂණ නියෝජිතයා එවැනි තුවාල වලට මුදල් නොදෙන බවත් වන්දි ගෙවන්නේ මුහුද මැදදී සිදුවන ජීවිත අණතුරකදී බව කියන ලදි. එහෙත් මෙම පුද්ගයා දිගින් දිගටම තම තුවාල වූ ඇඟිල්ලට වන්දියක් රක්‍ෂණ නියෝජිතයා ගෙන් ඉල්ලා කරදර කරන්නට විය​. එහෙත් රක්‍ෂණ නියෝජිතයා එය ප්‍රතික්ශේප කරන ලදි. 

" බලන්ඩ ගුනේ මහත්තයා මූ මගේ ඇඟ ආරස්සා කරලා දෙනවා කියලා සල්ලි ඉල්ල ගත්තේ , දැන් මූ මට සල්ලි දෙන්නේ නෑ. මම ඉන්නේ ඕකා එනකං . අද කොටනවා ඕක​ට පතුරු යන්න , අම්මපා කොටනවා "  කියා ධීවරයා කියන්නට විය​. 

ගුනේ අයියාට කරුණ වැටහුනේය​. මෙතන සිදු වී ඇත්තේ මිස් කමියුනිකේශන් එකකි. ජීවිත රක්‍ෂණය ධීවරයා වටහාගෙන ඇත්තේ ඇඟ ආරස්සා කිරීමක් ලෙසටය​. ජීවිත හානියකදී මිසක සුළු සුළු තුවාල සිදුවීමේදී වන්දි නොදෙන බව ගුනෙ අයියා ඔහුට පැහැදිලි කරන ලදි. 

" ඒක මිසක් ගුනේ මහත්තයා මූ ඒක අපිට හරියට කියන්ඩ එපැයි. තව පොඩ්ඩෙං මම ඕකට කොටනවා " කියා කියූ ධීවරයා කඩුව කරේ තබාගෙන ගෙදර ගියේය​.  

Tuesday, October 10, 2017

නන්දා මාලිනී ගේ දෙබිඩි බව


සමාජ පරිවර්තනයකට අත ගැසිය යුත්තේ එහි වගකීම් හිස දරාගෙනය , නන්දා / සුනිල් ආරියරත්න මේ වගකීම් දැරුවේ නැත. ධනාත්මක සමාජ පරිවර්තකයන් ලෙස බොබ් ඩිලන් , වික්ටර් හාරා , බොබ් මාලි , ව්ලැදිමීර් විසෝස්කි යන ගායකයන් ගේ සහ ලංකාවේ නන්දා මාලිනී ගේ දෙබිඩි පිළිවෙත  ගැන මීට වසර 5 කට පමණ පෙර මා විසින් Sunday Leader පුවත් පතට ලියූ ලිපියක් මේ ලින්කුවෙන් කියවන්න. 

http://www.thesundayleader.lk/2010/03/14/music-and-mission-%E2%80%93-bob-dylan-to-nanda-malani/


 

Monday, October 9, 2017

ඇතුලත්මුදලි නම් ගණකාධිකාරීවරයා


ඉන්දියන් හමුදාව පරිප්පු මෙහෙයුම සමග සාම සාධක හමුදාව එක්ව ලංකාවට ආ කල මා සිටියේ එංගලන්තයේ ය . එවකට මම අවු 21 ක තරුණයෙකි. බ්‍රිතාන්‍ය සිංහල සංගමයේ සාමාජිකයන් සමග ලන්ඩන් වල ඉන්දියානු තානාපති කාර්‍යාලය ඉදිරියේ උද්ඝෝෂණය කිරීමට මා සූදානම් වූයෙමි. එවිට ලන්ඩනයේ බොහෝ කාලයක් ජීවත්වී අත්දැකීම් වලින් පරිපූර්ණව සිටි ඇතුලත්මුදලි නම් ගණකාධිකාරීවරයෙක් මට මෙසේ කීවේය​. " රුවන් ජේ ආර් පප්පා ලෝකයා මූ රජීව් වත් අන්දලා ඉන්දියන් හමුදාව සහ කොටි අතර සටනක් අවුලවනවා. කොටි අද හිතන්නේ ඉන්දියන් හමුදාව උන්ට ඊලම් ලබා ගන්න උදව් කරයි කියලා. නමුත් හෙට වන දේ බලන්න ඉන්දියන් හමුදාව කොටි එක්ක සටන් කරයි. ඒ නිසා මේ මෝඩ උද්ඝෝෂණ වලට යන්න එපා කියා කීවේය​. ඔහු කී අයුරින්ම ඉතිහාසය නිර්මානය විය.
බොරු ඉන්දියානු විරෝධය හරහා විජේවීර අත්දැකීම් අඩු ලෝකය නොදුටු බිලි බෝයිස්ලා මගින් කැරැල්ලක් ගැසූ අතර ප්‍රේමේ ඔවුන්ව ස්වර්ගස්ථ කලේ‍ය​. මේ බිලි බෝයිස් ලාට අත්දැකීම් වලින් පරිපූර්ණව සිටි ඇතුලත්මුදලි නම් ගණකාධිකාරීවරයා වැනි පුද්ගලයන් ඇසුරු කිරීමට ලැබුනේ නම් ?

Sunday, October 8, 2017

පෝෂණය සහ දුර්මත


ප්‍රෝටීන් ඌනතාවය නිසා ලංකාවේ ළමුන් අඩු උපත් බර ; වර්ධනයේ මන්දනයක් පෙන්වති. මාංශමය අාහාර සඳහා තිබෙන ආගමික විරෝධය නිසා අනාගතයේ   ලෝකයා ඉදිරියේ කායික මානසික වශයෙන් දුර්ලවළ වූ ජාතියක් ලෙස අපට පෙනී සිටිය හැකිය​. අාහාර සහ පෝෂණය ගැන මෙලෝ දෙයක් නොදත්  පූජකයෝ මිනිසුන්ට   අාහාර සම්බන්ධයෙන් ද උපදෙස් දෙති. පුදුමය නම් බුදුන් වහන්සේ අාහාර සම්බන්ධයෙන් කිසිම  තහනමක් ගිහියන්ට නොපැනවූ ප්‍රායෝගිකවාදියෙක් වූවද උන්වහන් සේගේ දේශනා  ද විකෘති කරමින් හිංදු ආගමේ උපාංග (ගව ඝාතන විරෝධය​)  නිර්මාංශ වීම  ඇතැම් භික්‍ෂූන් විසින් සමාජය පුරා වැපිරීමය.

පහත කොටස උපුටා ගත්තේ රාවය පුවත්පතෙනි 

ලංකාව ලොකු ප්‍රෝටීන් මන්දපෝෂණයකින් පෙළෙන රටකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කේ. සමරසිංහ මහතා පුවත්පතකට කියා තිබෙන ආකාරයට ලංකාවේ ප්‍රෝටීන් මන්දපෝෂණයේ අනුපාතිකය සියයට 30කි. එම සඳහන දුටුවිට ලංකාවේ මස් පරිභෝජනය ගැන සොයා බැලීමේ කුහුලක් මට ඇතිවිය. ලැබුණු ප්‍රතිඵලය නම් මගේ පුදුමයට හේතු නොවීය. ලංකාව හා තෝරාගත් රටවල් කිහිපයක ඒක පුද්ගල වාර්ෂික මස් පරිභෝජනය මෙසේය.

ලංකාව කිලෝ 6.3

කාම්භෝජය කිලෝ 12.9
තායිලන්තය කිලෝ 25.8
මියන්මාරය කිලෝ 32.8
වියට්නාමය කිලෝ 48.9
ස්විට්සර්ලන්තය කිලෝ 74.7
ස්වීඩනය කිලෝ 80.2
නෙදර්ලන්තය කිලෝ 85.5
ඕස්ටේ්‍රලියාව කිලෝ 111.5

ලංකාවේ උපාසක මත න්‍යායවාදී ජනතාව මුලාකර තිබෙන තරම ඒ සංඛ්‍යා ආශ්‍රයෙන් තේරුම් ගත හැකිය. මොළේ වර්ධනය හා ප්‍රෝටීන් ආහාර අතර ගැඹුරු සම්බන්ධයක් පවතී. ලංකාව ලොකු චින්තන දුගීභාවයකින් පෙළෙන රටකි. ගණිතයට අදක්ෂ රටකි. නව නිපැයුම්වලදී ලංකාව ඉන්නේ පහළම තත්ත්වයකය. ඒ සියල්ල කෙරෙහි ප්‍රෝටීන් ඌනතාවද, ප්‍රෝටීන් ඌනතාව කෙරෙහි රටේ රජකරන උපාසක ආකල්පද බලපා තිබෙන්නේයැ’යි කිව හැකිය. ලංකාව සැලකිය හැක්කේ අඩුම තරමින් වල් ඌරෙකු මරා ගත් මිනිසකුට උගේ මස් ටිකවත් කන්න ඉඩ නොදෙන මෝඩ රටක් ලෙසය.


Saturday, October 7, 2017

ලෙනින් රත්නායක සීරියල් දූෂකයෙක්ද ?



ලෙනින් රත්නායක යනු හිටපු මහේස්ත්‍රාත්වරයෙකි. මහව මහේස්ත්‍රාත්වරයා ලෙස සේවය කළ ලෙනින් රත්නායක විසින් ඒ වන විට අධිකරණයේ විභාගවෙමින් පැවති නඩුවක සැකකරුවෙකුගේ බිරිඳ ගම්පොල ප්‍රදේශයේ තානායමකට කැඳවා එහිදී දූෂණයට ලක් කළ බවටත්,පසුව තම නිල කාමරය තුළදීද වෙනත් ස්ත්‍රීයක දූෂණය කළ බවටත් චෝදනා එල්ල වී තිබුණි. මෙම විනිසුරුවරයාගේ  අනිසි වෘත්තීය හැසිරීම නිසා ඔහු විසින් දූෂණය කල කාන්තාවකගේ සැමියා  විසින්  ලෙනින් රත්නායකට උසාවියේදී අසූචි  වලින් පහර දුන් බවටද වාර්තා විය. 

නීතිඥ කල්‍යානන්ද තිරාණගම විසින්  ලෙනින් රත්නායකගේ ස්ත්‍රී දූෂණ සිද්ධිය පිළිබඳව අගවිනිසුරු ඇතුළු අධිකරණ සේවා කොමිසමට විධිමත් පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදි. මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා විසින් මෙම මහේත්‍රාත්වරයාගේ අපචාරී ක්‍රියා රාවය පුවත්පතින් හෙලි කරන ලද අතර ප්‍රවීණ සිනමාවේදී ප්‍රසන්න විතානගේ අධ්‍යක්‍ෂණය කරන ලද"උසාවිය නිහඬයි"චිත්‍රපටයටද පාදක වී ඇත්තේ හිටපු  මහේස්ත්‍රාත්  ලෙනින් රත්නායක විසින් නීතිමය බලය පදනම් කරගනිමින් සිදුකරන ලද ලිංගික අපරාධයි. 

ලෙනින් රත්නායක යනු කවරෙක්ද ? නීතියට ඉහලින්  යාමට ඔහුට හැකියාව ලැබුනේ කෙසේද ?

ලෙනින් රත්නායක ගේ චරිත ස්වභාවය පිලිබඳව සලකා බැලීමේදී ඔහු බරපතල අනන්‍යතා අර්බුධයක්  (identity crisis)   තුල  ජීවත් වූ පුද්ගලයෙකු බව පෙනේ. ඔහු විවිධ නම් වලින් පෙනී සිටියි. එම නම් අතර රත්නායක බංඩා , ලේකම්ගෙදර රත්නායක බංඩා , බුලත්ගම ලේකම් මුදියන්සේ රාළහාමිලාගේ රත්නායක බණ්ඩාර , ලෙනින් රත්නායක යන නාමයන් ප්‍රධාන වෙයි. 

ලෙනින් රත්නායකට නීත්‍යනුකූලව පියෙකු නොසිටි බව කියවේ. තදබල ලෙස පීතෘ වියෝග කාන්සාවට (Paternal Deprivation )  ලක්වී සිටි ඔහු පසු කාලයක තම පියා ලෙස මනංකල්පිත පියෙකු - බුලත්ගම ලේකම් මුදියන්සේ රාළහාමිලාගේ රත්නායක බණ්ඩාර නමින් ඉදිරිපත් කරයි. 

1974 ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවෙහි 3 වන ශ්‍රේණියේ ලිපිකරුවකු ලෙස පත්වීමක් ලබන ලෙනින් රත්නායක   මූල්‍ය වංචාවක්  නිසා 1985 වසරේදී සේවයන් පහ කෙරේ. ඔහුගේ ජීවිතය දෝලනය වන්නේ සත්‍ය සහ ව්‍යාජය අතරය​. එසේම තදබල ලෙස ෆැන්ටසියන්ට හෙවත් මනස්ඍෂ්ටීන්ට ඔහු එල්බගෙන සිටියි.  ඔහුගේ ජීවිතය ගලා යන්නේ actuality - fake and fantasy යන ත්‍රිත්වය හරහාය . 
ලෙනින් රත්නායක සීරියල් දූෂකයෙක්ද ? ඔහු සීරියල් දූෂකයෙකුගේ ගති ලක්‍ෂණ පෙන්වා තිබෙන බව ඔහුගේ ක්‍රියා කලාපය තුලින් බොහෝ විට විද්‍යාමාන වෙයි.  ලෙනින් රත්නායක සීරියල් දූෂකයෙකු බවට රූපාන්තරණය වීම මූලික වශයෙන් ඔහුගේ අනන්‍යතා අර්බුධය , පීතෘ වියෝග කාන්සාව , අවිනිශ්චිතතාවන් මෙන්ම පෞරුෂ අක්‍රමතාවය හරහා වර්ධනය වූ බවට උපකල්පනය කිරීමේ සාධක තිබේ. 

සීරියල් දූෂකයෙකු ලෙස ඔහු කෙතරම් කාන්තාවන් ප්‍රමාණයක් දූෂණය කලාද යන්න තවමත් හෙලිවී නැත​. නමුත් හෙලිවූ සංඛ්‍යාවට වඩා වැඩි කාන්තාවන් ගනනක් ඔහු විසින් දූෂණය කල බවට සිතිය හැකි සාධක තිබේ.  ඔහු විසින් කාන්තාවන් දූෂණය කිරීමේදී අතිශයින් සාහසික ක්‍රියා මාර්ගයන් අනුගමනය කොට තිබේ. වෘත්තීය ගරුත්වයකින් තොරව ඔහු සමහරක් විට කාන්තාවන් දූෂණය කොට තිබෙන්නේ අධිකරණය තුල ඔහුගේ නිල කාමරයේදීය​. තවත් වතාවක ඔහු කාන්තාවක් දූෂණය කරන්නේ පිස්තෝලයක් පෙන්වා බිය ගැන්වීමෙනි. 

ඔහු තම ගොදුරු සොයා යාමේදී serial predation නොහොත් සීරියල්  විලෝපීයතාවක් පෙන්වා තිබේ. ඔහු ගොදුරු කරගත් කාන්තාවන් බොහෝ දෙනෙකු අඩු සමාජ ආර්ථික මට්ටම් වල කාන්තාවෝ වෙති. ඔවුන් ගේ  සැමියන්  නානා වරදවල් සඳහා රිමාන්ඩ් ගතව  සිටියෝය​. මෙම වින්දිත කාන්තාවන් ගේ අසරණකම අයුතු ලෙස යොදා ගනිමින් ඔහු මෙකී කාන්තාවන්ව දූෂණය කරන ලදි. 

දූෂණයේදී දූෂකයා විසින් වින්දිතයා වෙත බලය පැතිරවීමක් කරයි. මෙම බලහත්කාරය මගින් දූෂකයා තමන් ගේ කැඩී බිඳී තිබෙන දුබල ඊගෝව ශක්තිමත් කර ගනියි. හීනමානය , තමා පිලිබඳ හීනවූ චිත්‍රය , අඩු ආත්ම සම්මානය ( low self esteem) , දුර්වල ආත්ම ශක්තිය අභිභවා වින්දිතයා වෙත බලය පැතිරවීම මගින් දූෂකයා තාවකාලික ලෙස තම ඊගෝව ඉහලට ඔසවා තබයි. 

මනෝ වෛද්‍ය මහාචාර්‍ය ඇලෙක්සැන්දර් බුහනොව්ස්කි සිටිසන් - x යන කේත නාමයෙන් හඳුන්වන ලද රොස්ටොව් හි සීරියල් ඝාතක සහ සීරියල් දූෂක අන්ද්‍රේ චිකිතීලෝ තම හීනමානතා සාධකය ඉහල ගිය සෑම අවස්ථාවකම එය හානි පූර්ණ කර ගත්තේ වින්දිතයා දූෂණය කිරීමෙන් සහ ඔහු / ඇය මරා දැමීමෙන් බව පෙන්වා දෙයි. 

ලෙනින් රත්නායක සම්බන්ධයෙන් මනෝ විද්‍යාත්මක තුලනීක්‍ෂණයක් ( Psychological Assessment ) මෙතෙක් නොකර ඇති නමුදු  ඔහුගේ ක්‍රියා කලාපය පිලිබඳ විස්තර කියවීමේදී ඔහු Borderline personality disorder නම් පෞරුෂ අක්‍රමතාවයෙන් පෙලුනේද යන සැකය මතුවේ. 

 ඔහු විසින් පෙන්වන ලද හීනවූ සහකම්පනීය අවබෝධය - Lack of empathy  ( මාස් ශුද්ධිය සැදී වේදනාවෙන් සිටි කාන්තාවක් නිර්දය ලෙස කිහිප වතාවක් දූෂණයට ලක් කිරීම ) ත්‍යජනය ( abandonment) මෙන්ම ප්‍රතික්‍ෂේපණය  (rejection) කෙරෙහි අධි සංවේදීතාවක් පෙන්වීම , අනන්‍යතා අර්බුධ , අවදානම් සහිත චර්‍යා රටා , ශූන්‍යභාවී හැඟීම් (feelings of emptiness) , සද්‍යෝෂී මානවීය සබැඳියාවන් යනාදිය ගැන සලකා බැලීමේදී ලෙනින් රත්නායක  තුල Borderline personality disorder නම් පෞරුෂ අක්‍රමතාවයේ ලකුණු දක්නට හැකි වෙයි. 

ලෙනින් රත්නායක විසින් මෙම කාන්තා දූෂණයන් සිදු කොට තිබෙන්නේ අධි ලුබ්ධියටත් ( high libido )  වඩා තමා තුල පැවති හීනමානතා සාධකය මෙන්ම ශූන්‍යභාවී හැඟීම් පරාජය කිරීම සඳහා බව උපකල්පනය කල හැකිය​. ලෙනින් රත්නායක තමාගේ සම්භවය පිලිබඳ අධික ලෙසින් පර්‍යසනයට ලක්ව සිටියේය​. ඔහු තුල තමාට නෛතිකව ජීව විද්‍යාත්මක්  පියෙකු නොමැති බව යන හැඟීම තද බල ලෙස වර්ධනය වන්නට ඇත​. කැනේඩියානු ජාතික සීරියල් දූෂකයෙකු වූ පෝල් බර්නාඩෝ තුල කුඩා කාලයේ සිටම තද බල මානසික පීඩනයක් ගොඩ නැගෙන්නේ තමා අවජාතකයෙකු ලෙස උපත ලැබුවායි කියන සාධකය නිසාය​. 1987 වසරේදී පමණක් ඔහු දූෂණ හතක් සිදු කරයි. 

ඇරිසෝනා   විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා මහාචාර්‍ය   Brooke De Heer පවසන දෙන පරිදි සීරියල් දූෂකයන් විසින් ඉතා ඉහල මට්ටමකට අපරාධී විදග්ධතාවන් (criminal sophistication) පෙන්වති. ලෙනින් රත්නායක දූෂකයාගේ භූමිකාව වසා ගැනීම සඳහා තම සිවිල් සබඳතා , ආගමික සංස්ථාවන් , දේශපාල සබඳතා සූක්‍ෂමව යොදා ගත් අතර මේ දක්වා ඔහු කිසිදු දඞුවමකින් තොරව නිදහස් සමාජයේ ජීවත් වෙයි. මේ අනුව ඔහු විසින් පෙන්වන ලද අපරාධී විදග්ධතායේ සාර්ථක භාවය පෙනී යයි. 

 වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Friday, October 6, 2017

කාන්තා හිංසනයේ තවත් පැතිකඩක්


මුහුණු පොතෙන් සහ අනෙකුත් මාධ්‍ය වලින් කෙරෙන කාන්තා හිංසනය ගැන කතා කරන්නේ අඩුවෙන්. පහත  ලිපිය පොලිස්පතිවරයාට ලියා තියෙන්නේ සෙක්‍ෂුවල් හැරස්මන්ට් නිසා අගතියට පත් වූ කාන්තාවක්. ඇය ඉන්නේ ප්‍රන්සේ.   මෙවැනි දේවල් සිදු නොවිය යුතු දේවල් කියා මම සිතනවා.  තමන්ට අම්මලා අක්කල නංගිලා ඉන්නවා . ඒ අයට මේ වගේ දෙයක් සිදු වුවහොත් ඇති වන හැඟීම කුමක්ද ? මේ හිංසක ක්‍රියාව පසුපස තවත් පිරිසක් ඉන්න බවයි පැවසෙන්නේ. නමුත් පිරිසක් විසින් වැන්දඹු කාන්තාවකට කරන හිරිහැරය නම් කැතයි. 


කුමාරි පරණවිතාන 
12 Rue du Sergent Maginot,
75016 Paris
FRANCE.
Tel +33 665332987

ගරු පොලිස්පතිතුමා 
පොලිස් මූලස්ථානය 
කොලඹ 1

මම 1985 සිට ජිවත් වන්නේ ප්‍රංශයේ පැරිස් නුවරයි. ප්‍රංශ පුරවැසිභාවය ඇති අතර අවුරුද්දට වරක් ලංකාවේ නිවාඩුවකට පැමිනෙමි. මගේ ස්වාමි පුරුෂයා විජය කුමාර නම්බුකරවසම් මිය ගොස් ඇති අතර මට අවුරුදු 28ක දියණියක් (සාරා නම්බුකාරවසම්) සිටි.
මේ ලිපිය ඔබ වෙත එවීමට හේතුව වන්නේ සහන් කසීර වික්‍රමසිංහ විසින් මා හට ෆේස් බුක් ඔස්සේ අයුතු බලපෑම් කල බව සහ ඉන් අනතුරුව මා පිළිබඳ ඉතා අසභ්‍ය කතා ෆේස් බුක් ඔස්සේ ප්‍රචාරය කරන බව දැන්වීමටයි. දැනට අවුරුද්දකටත් වඩා වැඩි කාලයක සිට ඔහු කරගෙන යන මේ ක්‍රියාව නිසා මම විවිධ ආකාරයෙන් අපහසුතාවයන්ට ලක්වුනා. එමෙන්ම මම දන්නා අඳුනන පුද්ගලයන්ට මෙසේන්ජර් මාර්ගයෙන් මම පිළිබඳව අසභ්‍ය කතා ප්‍රචාරය කරන අතර, සමහර පුද්ගලයන්ට කියා යවා තිබෙනවා මට අපහාස කරන ලෙසට.
සමහර ෆේස් බුක් සංවාදයන් මැදට පැන ප්‍රසිද්දියේ 'කුමාරි පරණවිතාන කියන්නේ මිනිස්සු දැලේ දාගන්න ගෑනියක්' 'බලාගෙන මේ ගෑනිගෙන් ප්‍රවේසම් වෙන්න' 'මෙන්න වෙස ගෑනියක්' යනාදී ලෙස හඳුන්වා දෙයි. ඒ අතරම සහන් කසීර වික්‍රමසිංහට ව්‍යාජ ගිණුම් කීපයක් විවිධ නම්වලින් ෆේස් බුක් එකේ ඇති අතර ඒ නම්වලින් මට අපහාස කරන්න පටන් ගත්තා.
සහන් කසීර වික්‍රමසිංහ මට ප්‍රංශ ගණිකාව ; ශුගර් මමී , මානසික රෝගී ගෑනියෙක් ,මැදි වයසේ වල් ගැහැනිය යන වචන භාවිතා කරමින් කොමෙන්ට් ලියා ඒවා විවිධ අය වෙත යවා තිබෙනවා. ඒවා යලි යලි පෝස්ට් කලේ මෙත්මලී දිසානායක කියන අයයි. සහන් කසීර වික්‍රමසිංහ නම් තැනැත්තා මම ගැන ලියන ලද අපහාස කතා යලි යලි පෝස්ට් කරන ලද්දේ මැය විසින් . ඇය ඔහුගේ ආධාරකාරියක්.
මෙය ඉතාම පහත් දෙයක්. මට තවත් ආරංචි උනා මගේ චරිතය ගැනත් ඔහු ඉතා කුනු කතා කියමින් ඒවා ෆේස් බුක් චැට් වල බෙදාගන්නවා කියලා. මේක තනිකර කාන්තා ලිංගික හින්සනයක් ; මේක වැටෙන්නේ පරිගනක අපරාධ යටතේ බව මගේ හැඟීමයි.මේ ආකාරයට වෛරයකින් සහන් කසිර වික්‍රමසිංහ මා සමඟ හැසිරීමට හේතුවක් ඇත්ද? මා ඔහුට කල වරදක් ඇත්නම් එය දැන ගැනීමට සතුටුයි.
කරුණාකර පුළුවන් තරම් ඉකමනින් මගේ මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන්න.
මෙයට,
කුමාරි පරණවිතාන.






Thursday, October 5, 2017

පීඩිතයාට කෙලින්නේ තවත් පීඩිතයෙකි


ලේක් හවුස්  පුවත් පත්  මිලදී  ගැනීම සහ අලෙවි  කිරීම ජවිපෙ  තහනම් කර  තිබුණි . පාපැදියකින් ලේක්හවුස්  පුවත් පත් අලෙවි කිරීමෙන් තම දරු පවුල  නඩත්තු කළ මිනිසෙකු අගලවත්ත  යටියන  ප්‍රදේශයේ   සිටියේය. ඔහුට තිබු එකම ආදායම  එය විය. පාසලට  යන අතරතුර  සතියකට  දින දෙක තුනක් Daily News පත්තරය මා  මිලදී  ගත්තේ  ඔහුගෙනි.පත්තර අළෙවිය නවත්තන  ලෙසත් නැතහොත්  මරණයට  මුහුණ දීමට සුදානම් වන ලෙසත්  ඔහුට  ලිපියක් ඒවා  තිබෙන  බව දිනක් ඔහු මා සමග  කීවේය .ටික දිනකට  හෝ  පත්තර අලෙවිය  නවත්තන  ලෙස  මා  ඔහුගේ  ඉල්ලා  සිටියෙමි . වෙනත් ආදායම් මාර්ගයක් නැති බැවින් පත්තර අලෙවිය නතර  කළහොත්  පවුලේ සියලු දෙනාටම බඩගින්නේ  මැරෙන්නට වෙන  බැවින් වෙනත් විකල්පයක් ඔහුට  නැති බව  ඔහු කිවේ දෑසේ  කඳුළු පුරවා  ගෙනය. ඒ ඔහු මට හමුවූ අවසාන අවස්ථාවය .ඊට සතියකට  පසු  ඔහුගේ නිවස අසලදී  ඔහු  වෙඩි තබා මරා  දමා   තිබුණු අතර පත්තරවලටද  ගිනි තබා  බයිසිකලය  පැහැරගෙන ගොස් තිබුනේය.

 (උපුටා ගැනීම: පි. බර්ටි රණවීරගේ  http://sudukukula.blogspot.ca/2017/09/87-89.html). 

පීඩිතයෙකු වූ මේ පත්තර වෙලෙන්දා මරා දැමුවේ අයාලේ ගිය දේශපාලනයක නිරතවූ පීඩිතයන් කණ්ඩායමකි. අවසන් විග්‍රහයේදී කිව හැක්කේ පීඩිතයාට කෙලින්නේ තවත් පීඩිතයෙකි කියාය. 

Wednesday, October 4, 2017

අබේකෝන් ටීචගේ පන්ති වල


1973 නාලන්දාවේ එක වසරට මා ආවේ මාසයක් ඉසිපතන විද්‍යාලයේ ගත කිරීමෙන් අනතුරුවය​. මේ නයින් මම ඉසිපතන විද්‍යාලයේද ඉගන ගෙන තිබේ.  ඉසිපතන විද්‍යාලයේ ලොකු කෝන් ගස අසල අපගේ එක ශ්‍රේනියේ පන්ති තිබුනේය​. පසු කාලයක එනම්  2004 දී මම අධ්‍යාපන ප්‍රතිකාර පිලිබඳ දේශනයකට ඉසිපතන විද්‍යාලයට ගිය අතර මෙම කෝන් ගස මම යලි දුටුවෙමි. 

ඒ කාලයේ ඉසිපතන විද්‍යාලයේ එක වසරේ පන්ති ආරම්භ කලේ දහවල් 12 පසුවය​. මේ නිසා මෙම කාල සටහන දෙමාපියන්ට උචිත නොවීය​. මේ හේතුවෙන් මාව ඉසිපතන විද්‍යාලයෙන් ඉවත් කරගෙන නාලන්දාවට ගෙන එන ලදි.  මා නාලන්දාවට ආවේ මාසයක් පමණ පරක්කුවී ය​. නාලන්දේ එක ඩී පන්තියේ මාස දෙකක් පමණ ගත කර ඉන්පසු මාව අබයකෝන් ටීචගේ එක ඒ පන්තියට දමන ලදි. එක ඒ පන්තියේ සිටි සිසුන් අතර මංගල දිසානායක , සෝභිත රාජකරුණා, නමිල් වික්‍රමසිංහ , කුශාන්ත දිසානායක , සිසිර දාබරේ , සුනන්ත වික්‍රමසූරිය , උපේන්ද්‍ර , ඩයස්,  රමේශ් ද සොයිසා යන සිසුන් මට මතකය​. රමේශ් ද සොයිසා කොට මහත ළමයෙකි. ඔහුගේ සමේ කොරළ තිබුනේය​. එහෙත් ඔහු ඉතා ප්‍රිය මනාප සිසුවෙකු වූයේය​. පසු කාලයක රමේශ් මිය ගිය බව මට ආරංචි විය​.  

1974 දී මම දෙවන වසරට සමත් වූයෙමි. අපගේ පන්ති භාර ගුරුවරිය වෙනස් නොවූ  ​අතර අබයකෝන් ටීච අපගේ පන්තිය භාර ගත්තාය​.  දෙවන ශ්‍රේණියේදී අපට සතියට දින කීපයක් ඉංග්‍රීසි උගන්වන ලදි .  ඉංග්‍රීසි ඉගැන්වීම සඳහා ආවේ ශරීර ප්‍රමාණයෙන් කුඩා ගුරුවරියකි. වරක් මේ ගුරුවරිය පන්තියට පැමිණි විට ඇයට ගුඩ් මෝනිං කීම සඳහා ළමුන් නැගිට්ටෝ‍ය​. ඒ අතරවාරයේදී මම මා ඉදිරියෙන් සිටි සුසන්ත සමරවික්‍රමගේ පුටුව හිමීට කකුලෙන් පසුපසට ඇද්දෙමි. සුසන්ත දඩබඩ ගා බිම ඇද වැටුණු අතර ඔහු සිතුවේ නිස්සංක ඔහුගේ පුටුව ඇද්දා කියාය​. ඒ කාලයේ මා විසින් කරන ලද වැඩ වලට අසු වූයේ නිස්සංකවය​. 

සුසන්ත සමරවික්‍රම පසු කාලයක නාට්‍ය කලාව කෙරෙහි ලොල් විය​. ඔහු ප්‍රසන්න අළුත්ගේ , ධම්මික වීරවර්ධන යනාදීන් එක්ව නාට්‍ය කළහ​. සුසන්ත පොතේ ගුරු විය​. වරක් උසස් පෙළ කරන සමයේ ප්‍රසන්න අළුත්ගේ  නාට්‍යක් කල අතර සුසන්ත පොතේ ගුරු ලෙස ස්ක්‍රිප්ට් එක කියවීය​. මෙම නාට්‍යය පෙන්වන ලද්දේ ආනන්ද මහා විද්‍යාලයේ කුලරත්න ශාලාවේදීය​. මෙය නැරඹීමට එවකට ආනන්දේ විදුහල්පති වූ කුඩලිගම මහතාද ඇවිත් සිටියේය​. නාට්‍ය අරඹා තරමක් දුර යන විට ප්‍රසන්න අළුත්ගේ සහ අනෙකුත් නළුවෝ සික්‍රිප්ට් එකේ නොමැති දෙපිට කැපෙන කතා කීවෙන් සුසන්ත අන්ද මන්ද විය​. මේ නිසා ආනන්දේ විදුහල්පති කුඩලිගම මහතා නැගිට යන්නට ගිය අතර පසුව ඔහු මෙම නාට්‍යය ගැන නාලන්දේ විදුහල්පතිතුමාට ලිපියක්ද එවා තිබුණි.

දෙක වසරේදී අප දෙහිවල සත්තු වත්ත බැලීමට ගියෙමු. සත්තු වත්ත බලා  අප දහවල් ආහාරය සත්තු වත්ත තුලදීම ගත්තෙමු. අප බිම වාඩිවී බත් පැකට් ඇරගෙන කෑවෙමු. අප සමග සිටි නමිල් වික්‍රමසිංහ නිතරම ඇන්දේ බාජු කලිසම් ය​.   නමිල් බිම වාඩිවී දෙපා ඈත් කරගෙන  තම බත් එක දෙපා මැද තබාගෙන කන විට අශෝක ජයවර්ධන "ඔන්න ඔන්න නමිල් ලයිට් දාලා" කියා කෑගැසුවේය​. එවිට කොල්ලන් කෑම නවත්වා නමිල් ගේ බාජු කලිසම දෙස බැලූහ​. එවිට අබේකෝන් ටීච පැමින අශෝක ජයවර්ධනට තරවටු කොට නමිල් ගේ දෙපා සකස් කලේය​. (නමිල් වික්‍රමසිංහ තුන වසරේදී එංගලන්තයේ පදිංචියට යන ලදි )

දිවා ආහාරයෙන් පසු අපට ඇඹුල් කෙසෙල් ගෙඩිය බැගින් දෙන ලදි. කෙසෙල් ලෙලි විසි නොකොට ඒවා එකතු කර ගෙන බස් එකේ යන විට පාරේ යන මිනිසුන්ට  කෙසෙල් ලෙලි  වලින් දමා ගසමු කියා මම යෝජනා කලෙමි. මෙය ඇසුනු සන්ජීව ගේ අම්මා " මෙන්න ටීච ළමයෙක් කෙසෙල් ලෙලි  වලින් පාරේ යන මිනිසුන්ට ගහමු කියනවා " කියා මහ හඞින් අබේකෝන් ටීචට කීවාය​. 

සංජීව නෝන්ජල් ලෙඩ ගනනේ සිටි ළමයෙකු විය​. ඔහුගේ කරේ පත සුරයක් තිබූ අතර ගතින් බෙහෙත් තෙල් ගඳ වහනය විය​. ඔහුගේ ඔවර් ප්‍රොටෙක්ටිව් මව  නිති පතා  ඔහු සමග පාසලට ආ අතර නිතරම සංජීව අසලින් සිටියාය​. පන්තියේදී සමහර විට සංජීවගේ මව ළමයින් ආම්බාන් කිරීමට අබේකෝන් ටීචට උදව් කරාය​. එහෙත් ඇය අපගේ වැරදි අබේකෝන් ටීචට කීම නිසා අප වාඩුව ගත්තේ සංජීව ගෙනි. වරක් සුජීව ලංකාතිලක අඹයක් කමින් මුත්‍රා කිරීමට වැසිකිලියට ගිය අතර සංජීව ගේ මව මෙය අබේකෝන් ටීචට කීවාය​. මේ නිසා  සුජීව ලංකාතිලකට කක්කුස්සියේ අඹ කෑම කියා නමක්ද පට බැඳුනේය​. පසු කාලයක ලංකාතිලකට ලංකට් බායියා කියා නමක්ද වැටුණි. 

මා විසින් කියූ කෙසෙල් ලෙලි කතාව ඇසූ අබේකෝන් ටීච " කවුද ඔය කතාව කිව්වේ නිස්සංකද ? කියා ඇසුවාය​. " නෑ ටීච මේ රුවන් " කියා ඇය ප්‍රති උත්තර දුන්නාය​. මේ කාලයේ මගේ මව සේවය කලේ විශයමාළා සංවර්ධන මධ්‍යස්ථානයේය​. ඒ කාලයේ ගුරුවර ගුරුවරියන්ට සිලබස් අවශ්‍ය වූ විට ඔවුන් මාව සොයා විත් අම්මාට දෙන්න කියා ලියුම් දෙති. මේ නිසා ටීචස්ලා අතර නමක් තියාගෙන සිටි මගේ නම මෙම කෙසෙල් ලෙලි කේස් එක සමග වර්චස් වී ගියේය​. එපමණක් නොවේ නිස්සංක මා වෙත පැමිණ "ඕයි තමුසේ කරන වැඩ වලට මාවයි අහු වෙන්නේ " කියා සැරයක්ද දැම්මේය​. (නිස්සංක ගේ සම් පූර්ණ නම තිලක ශ්‍රී නිස්සංකය අප ඔහුට ඉස්සා කියා කීවෙමු. පසු කාලයක -හය වසරේදී  නිස්සංක ඩෙන්මාර්කයේ පදිංචිය සඳහා ගියේය​)

කෙසෙල් ලෙලි කේස් එක නිසා අබයකෝන් ටීච බස් එකේදී ඇය අසලින්ම මට වාඩි වන ලෙස කීවාය​. එහෙත් මට අවශ්‍ය වූයේ අශෝක ජයවර්ධන , නිස්සංක , සනත් තිසේරා, සීවලි පෙරේරා ,ජගත් බණ්ඩාර යනාදීන් සිටි පසු පසට යාමටය​.  නමුත් ඒ සඳහා අවකාශයක් නොවීය​. මට අනෙක් පැත්තේ සංජීවද ඔහුගේ මවද වූයෙන් මාගේ ප්‍රමෝදයට අගුල් වැටුනේය​. මේ නිසා මම වරින් වර සංජීව ගේ සපත්තුව පෑගුවෙමි. ඒ අතරවාරයේදී අනෙකුත් සිසුන්  බසයේ පසුපස හදිසි දොරටුව ඇරගෙන ගීත ගායනා කරමින් සිටියෝය​. 

පන්තියේ අපව කණ්ඩායම් වලට බෙදා තිබුනේය​. මා සිටි කණ්ඩායමේ සුගතපාල​, රමේශ් සොයිසා , සංජීව​, චන්දික විජේසේන , කපිල ජාසිංහ, පසන් ගුරුගේ සහ සමන්ත කුමාරතුංග වූහ​. සුගතපාල කණ්ඩායමේ නිල නායකයා වූවද කොල්ලන් අතර නායකත්වය හිමි වූයේ මටය​. මේ නිසා සුගතපාල නාමික මූලිකයා විය​. මම කියන දඟ වැඩ කොල්ලෝ එක හෙලා ඉටු කළහ​. වර්තමානයේ කෝපි කඩය ටෙලි නාට්‍යය අධ්‍යක්‍ෂනය කරන චන්දික විජේසේන  එකල මගේ දකුණත් සව් විය​. චන්දික විජේසේන විවේක කාලයේදී රිලේ දිවීය​. ඒකාලයේ ඔහුව හඳුන්වන ලද්දේ පැට්ටා කියාය​.

සංජීව ගේ අම්මා අප  කියන කරන දේ අසාගෙන ඉන්නා නිසා අප එකිනෙකා සමග කතා කලේ රහසෙනි. තවද අප සියළුදෙනා සංජීවව සයිඩ් එකට දමා තිබුණි. නෝන්ජලයෙක් වූවද සංජීවට අප කරන මැරෑටි වැඩ කිරීමට අවශ්‍ය වූවද ඔහුගේ අම්මා නිසා ඔහු නිරතුරුවම පසෙකට වී සිටියේය​.  

අප ඔන්චිල්ලා පදින විට අහසේ වදින නොවදින ගනනට උඩ ගියෙමු. සංජීවට මව ඉඩ දුන්නේ සීසෝ පැදීමට පමණි. එහෙත් වරක් මමත් කපිල ජාසිංහත් එක පසෙකද සංජීව අනෙක් පසද දමා සීසෝ පැද සංජීව සීසෝ එකේ ඉහලට දමා එක් වරම අප සීසෝ එක අතහැර ඉවතට දිව ගියෙමු. සංජීව දොග් ගා බිම වැටුණු අතර සංජීව ගේ මව මෙම ක්‍රියාව ගැන අබයකෝන් ටීචට කීවාය​. එදින මටත් කපිල ජාසිංහටත් අබයකෝන් ටීච ගෙන් අත්ලට අඩි රූල් පහර ලැබුණි. 

වරක් මාගේ නැන්දා ජපානයට ගොස් එන විට කුඩා රබර් තෑගි ලෙස ගෙම්බෙකු ගෙනාවාය​.  මෙම ගෙම්බා කුඩා රබර් බටයකට සවි කොට තිබූ අතර එම බටය කොනේ අත්ලට ගත හැකි කුඩා රබර් පොම්පයක් විය​. මෙම පොම්පය මිරිකීමේදී ගෙම්බා පිහිනිමේ චලනයක යෙදෙයි. මමත් සමන්ත කුමාරතුංගත් මෙම රබර් ගෙම්බා ගෙන අත්ල මත තබා සිංදු ටීචට පෙන්නුවෙමි. ගෙම්බා දුටු ඇය ඊක් කියා බියෙන් ඉවත පැන්නාය​. මේ ප්‍රායෝගික අභ්‍යාසයෙන් පසු අප සංජීව ගේ අම්මා බිය කිරීමට ඇය අසලින් මෙම රබර් ගෙම්බා තැබූ නමුදු ඇය ගෙම්බාට බිය නොවූවාය​. පසුව මම මේ ගෙම්බා  මුද්දර පොතකට සමන්ත සමග හුවමාරු කර ගත්තෙමි.  එම මුද්දර පොත අද දිනය දක්වා මා  ලඟ සුරක්ශිතව තිබේ. 

පසන් ගුරුගේ අපගේ කණ්ඩායමේ වූවද සමහර විට ඔහු අප විසින් කරන මැරෑටි වැඩ වලට සහභාගී නොවූයේ අබයකෝන් ටිචට තිබෙන බිය නිසාය​. මේ නිසා අප පසන් ගුරුගේටද වරින් වර පෝරියල් දුන්නෙමු. වරක් ගුරුගේ ඔන්චිල්ලා පදින විට මමත් සමන්තත් අප දෙදෙනා පදිමින් සිටි  ඔන්චිල්ලාවෙන් බැස එය හරහට තල්ලු කලෙමු. ඔන්චිල්ලාව හරහට එනු දුටු ගුරුගේ පසෙකට පැනගත් නමුදු එය තුනේ පන්තියේ සිටි ළමයෙකුගේ ඇඞේ වැදුනේය.මේ ළමයා අඞාගෙන ගොස් තම පන්ති භාර ගුරුවරිය වූ සුමතිපාල ටීචට කීවාය​. සුමතිපාල ටීච මටත් සමන් තටත් ඇයගේ පන්තියට එන්නට කියා නඩුව ඇසුවාය​. ඔන්චිල්ලාව හරහට තල්ලු කලේ මා බව සමන්ත කීවේය​. මා කීවේ එය එසේ කලේ සමන්ත බවයි. මේ නිසා සුමතිපාල ටීචට වරදකරුවා සොයා ගැනීමට අපහසු වූයෙන් පොදුවේ අප දෙදෙනාට මින් මතු ඔන්චිල්ලාව හරහට තල්ලු නොකරන ලෙසට තර්ජනය කොට අප දෙදෙනාව නිදහස් කරන ලදි. 

අපගේ පන්තියේ සිටි හොඳ ළමුන් අතර සෝබිත රාජකරුණා ජානක රුවන්පුර ගැන සඳහන් කල යුතුය​. සෝබිත රාජකරුණා රාජ්‍ය නීතීඥවරයෙකි. ජානක රුවන්පුර වර්තමානයේ කැනඩාවේ විශ්ව විද්‍යාලයක මහාචාර්‍යවරයෙකි.   එසේම ඔහු විශේෂඥ ඉංජීනේරුවෙකි.  ජානකත් මමත් 1973 දී අබයකෝන් ටීච ගේ 1 ඒ පන්තියේ සිටි අයුරු මට තවමත් මතකය​. ඔහු 1, 2 ,3 යන තෙවසරක්ම මගේ පන්ති වල සිටියේය​. පාසල් කාලයේදී ඔහු ඉතා විනීත ගති පැවතුම් ඇති දක්‍ෂ සිසුවෙකු විය​. ඒ කාලයේදී ඔහු ඉස්කෝලයට ආවේ පියාගේ ලා කොල පැහැති මෝටර් රථයෙන් බවට මතකයක් තිබේ. 

 තුන වසරේදීද අපගේ පන්ති භාර ගුරුවරිය වූයේ අබයකෝන් ටීචයි.  තුන වසරේදී අප  ගණිත ක්‍රම ඉගෙන ගත්තෙමු. අපගේ පරම්පරාවට අංක ගණිතය ඉවත් කොට නව ගණිතය නම් අළුත් ගණිත ක්‍රමයක් ඉදිරිපත් කොට තිබුනේය​. මේ නිසා අප නව ගණිතය ඉගෙන ගැනීමේදී වැලි කිරුවෙමු, වතුර බෝතල් වලින් වෙනත් භාජන වලට පිරවූයෙමු. වතුර සමග ඉගෙනීමේ කටයුතු කිරීමේදී සංජීවගේ ඇඟට වතුර විසි වෙන ලෙසට ක්‍රියා කල නිසා අපගේ කණ්ඩායමේ මමත් සමන්තත් කපිල ජාසිංහත් අබයකෝන් ටීච ගෙන් ගුටි කන ලදි. කෙසේ නමුත් අංක ගණිතය වෙනුවට නව ගණිතය ඉගෙනගත් අපගේ පරපුර පොදුවේ ගණිත විශයට දුර්වලකම් පෙන්වන ලද බව මට සිතේ. 

මේ කාලයේදී අපට ජන ගී පාඩම් කරවන ලදි. තුනේ සිංහල අච්චු පොතේ එක කවියක පේලි කීපයක් මට තවමත් මතකය​. එහි තිබුනේ අතේ ඇඟිලි විසින් තම තමන් ගේ පුරාජේරුව ගැන කියන අන්දමයි. එක් ස්ථානයක මෙසේ තිබුනේය​. " ගොවිතැන් ආදියට ගියත් පැත්තක් තනියම ඒ නිසා පට බැන්ද කෙනෙකි මම .... මෙම කවිය කීමේදී මමත් සමන්ත කුමාරතුංගත් ඒ නිසා පට බැන්ද කෙනෙකි මම කීම වෙනුවට බැන්ද කෙනෙකි ගුරුගේ කියා කීවෙමු. මේ අනුව ගුරුගේ කසාද බැඳි කෙනෙක් බව කියා අප ඔහුට විහිළු කලමු. අපගේ විහිළු නිසා ඔහු අප ගැන අබයකෝන් ටීචට පැමිණිලි කිරීමට උත්සහ ගනිත්ම අප ඔහුව ශේප් කර ගත්තෙමු. ගුරුගේව ශේප් කර ගැනීම සඳහා අප ඔහුට ස්ටිකර් දුන්නෙමු. ලස්සන රූප තිබෙන ඇලවිය හැකි ස්ටිකර් හදන්නේ කෙසේද කියා ගුරුගේ ඇසුවේය​. ස්ටිකර් හදන්නේ පොල්තෙල් වලින් කියා සමන්ත කුමාරතුංග කීවේය​. තමන් ගෙදරින් පොල්තෙල් බෝතල් භාගයක් ගෙන ආවහොත් ස්ටිකර් හදා දිය හැකිද කියා ගුරුගේ සමන්තගෙන් ඇසුවේය​. 

තුන වන පන්තියේ සිටියදී අප බොහෝ විනෝද චාරිකා වල නියැළුනෙමු. කොලඹ වරාය , කොලඹ කටුගෙය​, ඔරුවල වානේ කම්හල , සීදූව අයිස් කම්හල​,  තුල්හිරිය පෙහෙ කම්හල දළදා මාලිගාව , පේරාදෙනිය මල් වත්ත බැලීම සඳහා අප අබයකෝන් ටීච සමග ගියෙමු. මේ චාරිකා ගියේ ඊබට් සිල්වා බස් වලිනි. 

1975 අග වන විට අප තුන් වන පන්තිය අවසන් කරමින් සිටියෙමු. ඒ සමගම අබයකෝන් ටීච විශ්‍රාම යන බවද කියවිනි. එහෙත්  සිසුන් බොහෝ දෙනෙකුට විශ්‍රාම යන කතාව තේරුනේ නැත​. බොහෝ දෙනෙකු සිතුවේ ඇය විශ්‍රාම ගොස් යලි ලබන වසරේ එනු ඇත කියාය​. 

අබයකෝන් ටීච විශ්‍රාම යන දිනයේදී පාසලේ රැස්වීමක් තිබුනේය​. එම රැස්වීමේදී ධර්ම ගුණසිංහ මහතා කතා කලේය​. ඉන් වසර විසි හතකට පසුව මාගේ අධ්‍යාපන ප්‍රතිකාර පොත දොරට වැඩි දිනයේදී ධර්ම ගුණසිංහ මහතා කතාවක් පැවැත්වීය​. මෙම පොත මා පිළිගන්වා තිබුනේ අබයකෝන් ටීචටය​. මේ උත්සවයේදී ධර්ම ගුණසිංහ මහතා අබයකෝන් ටීච ගැන කතා කලේය​. එවිට මට 1975 වසරේදී අබයකෝන් ටීච විශ්‍රාම ගිය දින ධර්ම ගුණසිංහ මහතා කල කතාව මතකයට ආවේය​.  

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Tuesday, October 3, 2017

මා විසින් Daily News පුවත් පතට ලියූ ලිපි




1 ) පුනර්භවය පිලිබඳ ලිපියක්  පිලිබඳව

2) ගජමන් නෝනා පිලිබඳව

3) පිකාසෝ ගේ චිත්‍රයක්  පිලිබඳව

4) වින්සන්ට් වැන්ගෝ පිලිබඳව

5) මානසික සෞඛ්‍යය  පිලිබඳව

6) ජාතක කතා පිලිබඳව

7) දෙවන ලෝක යුද්ධයේ දී යුදෙව් සංහාරය පිලිබඳව

8) යූක්‍රයීන ජන සංහාරය පිලිබඳව

9) ඩන්ටේ  පිලිබඳව

10) සිංහබාහු සහ ඊඩිපස් සංකීර්ණය 

11)  Between Litrature and Psychology පොත  පිලිබඳව

12) ජෝසෆ් ස්ටාලින් ගේ මනෝ භාවයන් පිලිබඳව

13) නිර්වානය යන සංකල්පය මනෝ විද්‍යාත්මක ඇසින් 

14) විශ්වයේ සම් භවය පිලිබඳව ලියන ලද ලිපියකට පිලිතුරක් 

15) මාර්ටින් වික්‍රමසිංහ ගේ භව තරණය කෘතිය පිලිබඳව

16) අපරාධ පිලිබඳ මනෝ සමාජවිද්‍යා දැක්ම 

17) රැඩ්‍ යඩ් කිප්ලිං පිලිබඳව

18) යුද ආතතිය පිලිබඳව 

19) යුද ආතතිය සහ සමාජය 

20) ශ්‍රී ලංකාවේ ළමා සොල්දාදුවන් පිලිබඳව( මහාචාර්‍ය දයා සෝම සුන්දරම් සමග )

21) රුවන්ඩා ජන සංහාරය පිලිබඳව 

22) ADHD අනවධාන / අධි ක්‍රියාශීලී අක්‍රමතාවය  පිලිබඳව 

23) පාසල් දරුවන් ගේ විභාග භීතිකාව පිලිබඳව 

24) පාසල් දරුවන් ගේ මනෝ කායික රෝග පිලිබඳව 

25) ඇමරිකානු යුද හමුදාවේ කාන්තා ලිංගික හිංසනය 

26) එර්නස්ට් හිමිංවේ පිලිබඳව

27) ඩී.එච් ලෝරන්ස්  පිලිබඳව

28) ලේඛක කේ ජයතිලක පිලිබඳව

29) විලියම් වර්ඩ්වත්  පිලිබඳව

30 )  වෛද්‍ය රුවන් එම් ජයතුංග ගේ කෘතියක් පිලිබඳව මහාචාර්‍ය සුනන්ද මහේන්ද්‍ර අදහස් දක්වයි 

31) වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් ලියන ලද කවියක් 


32) ජාතක කතා වල මනෝ විද්‍යාත්මක පාර්ශවය 


33) ශෙල්ටන් රණසිංහගේ කෘතියක් පිලිබඳව


34)  කුමාරතුංග මුණිදාස සහ ඩෙරීඩා


35) එඩ්වර්ඩ් කෙන​ඩි පිලිබඳව

http://archives.dailynews.lk/2009/08/28/fea02.asp

36) පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාව පිලිබඳව ( මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු සමග ලියූ ලිපියක්)
 http://archives.dailynews.lk/2010/12/11/fea05.asp

Find Us On Facebook