Thursday, December 7, 2017

අරක්කු බීම





මා මුලින්ම  අරක්කු බිව්වේ 1985 අගෝස්තු මාසය අගදීය​.  ඒ වන විට මගේ වයස අවුරුදු 19 කි.  එදින අපට අපොස උසස් පෙළ විභාගයේ අවසන් ප්‍රශ්න පත්‍රයවූ රසායණ විද්‍යාව විෂය තිබූ දිනය විය​.  අප​ට උසස් පෙළ විභාගය අවසන් වීම විශාල බරක් හිසින් ඉවත් වූවාක් මෙන් විය​. මේ නිසා විභාගයෙන් පසුව සවස අපගේ බජාර් එක  කොලඹ මහජන පුස්තකාලය​ට එක් විය​. එලෙස එක්වී අප විභාගය ගැන කතා කලෙමු. අප අතර ආනන්ද නාලන්ද රෝයල් , ඉසිපතන මෙන්ම ලුම්බිණි විද්‍යාලයේ සිසුන් වූහ​. ඒ අතර උසස් පෙළ දෙවන හෝ තෙවන වර කරන කලර්ස්මන් ලා කිහිප දෙනෙකුද වූ අතර ඉන් එක් අයෙක් "නවත්තපං බං ඔය විභාග කතාව දැන්වත්. විභාගේ ඉවරයි ආතල් එකේ ඉඳපල්ලකෝ කීවේය​. මේ නිසා අප විභාගය ගැන කතා කිරීම නවතා වෙන වෙන වල්පල් කතා කලෙමු. 

එක් කලර්ස්මන් කෙනෙක් පබ් එකේ (කොලඹ මහජන පුස්තකාලයේ) ඉඳන්  මොනා කරන්නද , අපි ගෝල්ෆේස් යමු කීවේය​. අප සියළු දෙනා මීට එක පයින්ම එකඟ වූයෙමු. ඉන් පසු අප කොලඹ මහජන පුස්තකාලයේ සිට ගෝල් ෆේස් යාම සඳහා ටවුන් හෝල් වෙත පාගමනින්ම ගියෙමු. ඒ අතරවාරයේ අල්පතර සිත් ඇත්තෝ හිමීට මාරුවී ගියහ​. මේ නිසා ටවුන් හෝල් වෙත ලඟා වන විට සිටියේ කොල්ලන් දහ දෙනෙකු පමණය​. මේ කණ්ඩායම ලීඩ් කරන ලද්දේ නාලන්දේ කලර්ස්මන් කෙනෙකි. 

අප සලාකා එක කිට්ටුවට ආ විගස කලර්ස්මන් අඩෝ නිකං ගෝල් ෆේස් යන්න බෑ අරක්කු බෝතලයක් වත් අරගෙන යමු කියා අප සැමගේ සාක්කු වලට අත දමා එහි තිබූ මුදල් ගත්තේය​. ඉන්පසුව ඔහු එම මුදල් රැගෙන සලාක එක ආසන්නයේ තිබූ බාර් එකට ගොස් අරක්කු බෝතල් දෙකක් මිලට ගත්තේය​. තවද යාබද වෙළඳසැලට ගොස් කොකාකෝලා බෝතල් දෙක තුනක්ද යෝගට් එකක්ද මිලට ගත්තේය​. මුලදී යෝගට් එක කුමටද කියා මම කල්පනා කලෙමි. එහෙත් පසුව තේරුම් ගියේ යෝගට් ඉවත් කිරීමෙන් පසුව හිස් යෝගට් කෝප්පය අරක්කු වත් කිරීමට යොදා ගැනීමට ඔහු සැරසෙන බවය​. 

දැන් බෝතල් සහ කෝප්පය රෙඩිය​. මේ නිසා අප නමෝ විත්තියෙන් බස් රථයකට නැග කොන්දාට ලා තගක් දමා ටිකට් නොගෙන  ගෝල්ෆේස් ගියෙමු. කොන්දොස්තර ටිකට් කියා ඇසූ විට අපි " සීසන් ඕයි" කියා කලහකාරී ස්වරයකින් පැවසුවෙමු. එහෙත් අප කිසිවෙකුට මේ රූට් එකේ යාමට සීසන් තිබුනේ නැත​. අපගේ ආක්‍රමණික ලීලාව නිසා බියගත් කොන්දොස්තර අප අසලින් ඉවත් විය​. අප ගෝල්ෆේස් එකෙන් බැස්ස විට ඔහු සැනසුම් සුසුමක් හෙලන්නට ඇත​. 

මේ වන විට අඳුර වැටී තිබුනේය​. ඒ නිසා අප ගෝල්ෆේස් එකේ තණබිඩැල්ල මත ඉඳගෙන මුහුදු සුලං වින්දනය කලෙමු. කණ්ඩායමේ නායකයා වූ තෙවන වරද උසස් පෙළ ලියූ කලර්ස්මන් ඈතින් තිබූ නානාගේ නයිට් කඩයට ගොස් මස් කරියක් ඊයම් කොලයක දමා ගෙනාවේය​. දැන් සියල්ල සූදානම් ය​. කලර්ස්මන් එක් අරක්කු බෝතලයක මූඩිය ඇර එය යෝගට් කෝප්පයට වත් කොට එයට කොකා කෝලා ස්වල්පයක් මිශ්‍ර  කොට එක හුස්මට ගුඩුස් ගා බීවේය​. ඉක්බිති කාරා කෙල ගසා නානාගේ මස් කරියෙන් මස් කෑල්ලක් කටේ  දමා ගත්තේය​. 

අප වාඩිවී සිටියේ රවුමටය​. කලර්ස්මන් බෝතලය සහ හිස් යෝගට් කෝප්පය තම දකුණු අත පැත්තේ සිටි මිතුරාට දුන්නේය​. ඔහු කලර්ස්මන් අනුගමනය කරමින් අරක්කු සහ කොකා කෝලා යෝගට් කෝප්පයට වත් කර එය සැනකින් උගුරේ හලාගෙන නානාගේ මස් කරියෙන් මස් කෑල්ලකට වග කීවේය​. ඉන් පසු ඔහු බෝතලය සහ හිස් යෝගට් කෝප්පය යාබද මිතුරා අතට දුනේය​. මෙලෙස පළමු වටයේ අර්ධයක් පමණ යන විට මගේ වාරය ආවේය​. මම අරක්කු නොබොන බව පවසා අරක්කු බෝතලය සහ හිස් යෝගට් කෝප්පය මගේ දකුණු අත පැත්තේ සිටි  තැනැත්තාට දුන්නෙමි. මගේ ක්‍රියාව කලර්ස්මන් බලාගෙන සිටි බව මට ඒත්තු ගියේය​. 

අරක්කු නොබීවද මට මස් කෑමේ තහනමක් නැත​. මේ නිසා මම මස් කරියට අත දමා තරමක ලොකු මස් කෑල්ලක් ගත්තෙමි. එවිට කලර්ස්මන් " අඩෝ බයිට් එක ඩයට් එක කර ගන්ඩ එපා"  කියා කීවේය​. 

 දෙවන අරක්කු වටය යන විට කලර්ස්මන් මා ඇමතීය​. " අඩෝ ඔක්කොම බොනවා උඹ විතරක් නොබී බයිට් එකට වැඩේ දෙනවා " මෙසේ කියමින් ඔහු යෝගට් කෝප්පය පිරෙන තෙක් අරක්කු වත් කොට මගේ  අත​ට දෙන්නට උත්සහ කලේය​. ඔහු මෙසේ කීවේය

 " බීපිය​" 

මම අරක්කු නොබොන බව ඔහුට කීවෙමි. එවිට ඔහු මා හට භාවාත්මක තර්ජනයක් කලේය​. 

" උඹ මේක බිවේ නැත්නම් අපි උඹව මෙතන ඉඳං  ගනං ගන්නේ පොන්සියෙක් (නපුන්සකයෙක්) හැටියට " 

ඔහු මාව සිරකරන ල්ද්දේය​. මාගේ අනෙකුත් මිතුරන් මා දෙස බලා සිටිති. මෙය නොබීවේ නම් ඔවුන් ඉදිරියේ මම නපුන්සකයෙකු වනු ඇත​. මේ නිසා මම  කලර්ස්මන්ව
ඇමතුවෙමි. 

" මෙහෙ දීපිය ඕක​"

ඔහු ඉතා සතුටින් යෝගට් කෝප්පය මා අතට දුන්නේය​. මම එක හුස්මට එය හිස් කලෙමි. මගේ බඩ සහ නාසය දවාගෙන ගොස් ඇස් වලට කඳුළුද ආවේය​. එහෙත් මම අපහසුතාවයක් නොපෙන්වා මස් කෑල්ලක් කෑවෙමි. 

" අන්න එහෙම වරෙං " කලර්ස්මන් මට ප්‍රසංශා සිනහවක් දුන්නේය​. මෙය Peer Pressure බව ඒ කාලයේ මම දැන සිටියේ නැත​. 


ඉන් පසු සාමාන්‍ය ලෙස අරක්කු රවුම් ගියේය​. දෙවන බෝතලයද අරිනු ලැබීය​. 

මේ වන විට කොකාකෝලා මෙන්ම බයිට් එකද අවසන් ය​. මේ නිසා කොල්ලෝ නීට් ගැසූහ. දෙවන බෝතලයේ අඩක් පමණ  අවසන් වන විට කලර්ස්මන්ව  " අඩෝ අද මට බඹර පදමට වැදුනා " කීවේය​. තවත් කොල්ලෙක් මත නිසාදෝ කොලඹ මහජන පුස්තකාලයේ පෙම් කේස් එකක් නිසා ඔහු සමග විරසක වූ අල්මේදා නම් සිසුවාට දිගට හරහට බනින්නට විය​. 

" අඩෝ මම ලබන සුමානේ ඔය ගල්මේදාකාරයාට නෙළනවා අම්බානක " කියා කීවේය​. 

එවිට ලුම්බිණි විද්‍යාලයේ සිසුවා  " පළ පළ  ඩෝ යන්ඩ උඹ අල්මේදාට ගූ බයයි"   කියා ඔහුව ෆෝම් කලේය​. 

අල්මේදාගේ  ප්‍රතිවාදී සිසුවා ඔහු විශාකා විද්‍යාලයේ සිසුවියකට පෙම් කිරීමට උත්සහ ගත් අයුරුත් අල්මේදා කඩාකප්පල් කාරයෙකු ලෙස මැදහත්වී කෙල්ලව යාළු කරගත් ආකාරයත් විස්තර කලේ නහයෙන් අඞන්නාක් මෙනි. 

" මම එයාට හදවතින්ම ආදරය කලා මචං ඔහු කීවේය​. 

" අඩෝ හදවතින්ම ආදරය කරන්ඩ එපාඩෝ බොක්කෙන් ලව් කරපිය " කියා මම ඔහුට කීවෙමි. 

බොක්කෙන් කතාවට ඔහු උරණ විය​. අරක්කුද බඩේ නිසා ඔහු නොනවත්වාම කතා කලේය​.  ඔහුට තරහා ගොස් ඔහු මගේ තෝම්බු අදින්නට විය​. මා ඉන්ටරැක්ට් සංගමයේ සිටියදී බිශොප් විද්‍යාලයේ xxxx ට ට්‍රයි කල බව  සහ සිදත් ධර්මරත්න (සිදත් පසු කාලයක පිළිකාවක් වැළඳී මිය ගියේය​) සපෝටර් කර  ගැනීමට උත්සහ කල බවත් , තවද  සෙන්ට් පෝල්ස් එකේ කෙල්ලෙක්ට දීමට ලව් ලෙටර් එකක් නලීන්දට කියා ලියවා ගත් බවත් ,  ( නලීන් ද වර්තමානයේ සංගීත කණ්ඩායමක සාමාජිකයෙකි) එම ලියුම කෙල්ලගේ අයියා කාර් එක නවත්වා මගේ අතට දුන් බවද එම අවස්ථාවේදී මුචලින්ද (අසංග ලංකාතිලක ; අසංග ජෙනරාල් කොබ්බෑකඩුව සමග අරාලි තුඩුවේදී බෝම්බයකට අසුව මිය ගියේය​) සිටි බවද කීවේය​. ඉන් නොනැවතුනු ඔහු  නුගේගොඩ රොටරි එකට සේනාරත්න සර් ගේ  ෆිසික්ස්  ටියුෂන් ආ   ගල්කිස්ස හුළුදාගොඩ පාරේ ජීවත් වූ   දේවි බාළිකා විද්‍යාලයේ  සිසුවියක ගේ නිවස සොයා සුමිත් සමග ගොස් නිවස සොයා ගැනීමට නොහැකිව සාටර් වූ බවත් කියන්නට විය​. 

මේ කතා අසන විට කලර්ස්මන් ගේ දෑස් ලොකු විය "  අඩෝ මූ මාර පොරක් නේ   ඉතිං ඉතිං කියමින් මගේ තෝම්බුව​ තව තව ඇදීමට බූට්පාලව දිරිමත් කලේය​. මේ යන ආකාරයට රෙදි ගැලවෙන්නේ මගේය​. මේ නිසා මම බූට්පාලගේ නිලයක් ඇල්ලුවෙමි. 

  " අඩෝ බොරු කියන්ඩ එපා මම උඹට අල්මේදා පබ් එකේ කැන්ටිමේ නෙළපු කතාව කියනවා "  කියා තර්ජනය කලෙමි. 

 "අම්මටඋඩු ඒකතාව මොකක්ද ? කියා කොල්ලන් ඇසූහ​. දැන් ඔවුනට මගේ තෝම්බුව ඇදීම අමතකව අල්මේදා ගේ ගෝරිය කෙරෙහි සිත ඇදී ගොසිනි. බූට්පාල මාගේ රහස් පබ්ලික් කිරීම නිසා මම උරණව සිටියෙමි. මේ නිසා බූට්පාල පිලිබඳ මා මෙතෙක් ආරක්‍ෂා කර ගනිමින් සිටි ෆයිල් මමද දිග ඇරියෙමි. 

මූට පබ් එකේ කැන්ටිමේදී අල්මේදා අම්බානක නෙළුවා. මම තමයි මැද්දට පැනලා බේරුවේ. මූ ගොඩ දාපු මාළුවා වගේ ගැහෙන්ඩ ගත්තා. මම හිටියේ නැත්තං මුගේ පාංසුකූලෙත් දීලා. මූට අල්මේදා නෙළනවා බඩුවත් බලාගෙන හිටියා.  මම කියාගෙන ගියෙමි. දැන් බූට්පාල නිහඞය. 

නිහඞතාවයෙන් පසු ගී ගැයීම ඇරඹිනි. සම්භාව්‍ය ගීත මුලදී ගායනා කලද පසුව ලුම්බිණි විද්‍යාලයේ සිසුවා සුනිල් එදිරිසිංහගේ ගීත වලට කුණුහරප වචන යොදා ගායනා කලෙන් කොල්ලෝ කුල්මත්ව අත්පුඩි ගැසූහ​. ඒ අතරවාරයේදී බර කිරන උපකරණයක් රැගත් ගැටවරයෙක් අප  වෙත ආවේය​. 

" සර් බර කිරන්ඩ සත පණයි "  ඔහු කීවේය​. 

කලර්ස්මන් ඔහුගේ අතට රුපියල් දෙකක් දී කොල්ලන් සෙට් එකේම බර බලවා ගත්තේය​. බෝතල් දෙකම හිස් ය​. වේලාව රාත්‍රී දහයද පසුවී තිබේ. දැන් ගෙදර යාමට වේලාවය​. එහෙත් ගෙදරදී අරක්කු ගඳ වැදුනොත් කේස්‍  ය​. 

මචං පේර කොළයි ලුණුයි කාපං අරක්කු ගඳ යනවා කියා ඉසිපතනයේ මිතුරෙකු කීවේය ( ඔහු වර්තමානයේ පරිගණක ඉන්ජිනේරුවෙකි) මම ඔහුගේ උපදෙස් පරිදි අපගේ නිවස ආසන්නයේ අසල්වැසියෙකුගේ පේර ගසකින් පේර කොළ ටිකක් කඩාගෙන ගොස් එය ලුණු සමග කෑවෙමි. එදින මම අරක්කු බිව් බව ගෙදර කිසිවෙකුට මීටර් වූයේ නැත​. 

පසුකාලීනව මම වෛද්‍ය නීල් ප්‍රනාන්දු , මහාචාර්‍ය දියනාත් සමරසිංහ , වෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු (මැල් මැදුර​) පුබුදු සුමනසේකර (ඇඩික් ආයතනය​) යන මහතුන් සමග මත් පැන් දුම්වැටි සහ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් කලෙමි. මේ යහපත් මිනිසුන් ගේ බලපෑම නිසා මම 2002 වසරේ සිට මේ දක්වා අරක්කු පොදක් කටේ තබා නැත​. තවද විස්කි , ජින් වොඩ්කා වැනි ස්පිරිට් වර්ග පසුපසද මම පන්නන්නේ නැත​. එහෙත් පාටියකදී වයින් හෝ බියර් එකක් ගන්නා බව කියන්නේ බොරු සුචරිතයෙකු නොවීම සඳහාය​. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

42 comments:

  1. ඒක බීපු නිසා පොන්සියෙක් වුනා කියලයි මට හිතෙන්නේ.. මටත් ඔහොම පොරවල් අමුතු තගවල් දාලා අරක්කු පොවන්න හදලා තියනවා. ඒවගේ උන්ව මෙල්ල කරන්න පොඩි සමච්චල් හිනාවක් විතරයි මම වියදම් කරන්නේ.

    ReplyDelete
    Replies
    1. මම ඒ කාලේ අවුරුදු 19 අත්දැකීම් නැති පාසල් ලමයෙක්

      Delete
  2. හැක්... දැං එහෙම ඔහොම කලොත් කට්ටියට පොලෝසියෙ කූරු ගනං කරන්න තිබුණ එලිවෙනකං.

    ReplyDelete
    Replies
    1. ඇයි දැන් ගෝල්ෆේස් එකේ සෙට් වෙන්න තහනම් ද ?

      Delete
    2. ප්‍රසිද්ධ ස්ථානයක මත්පැන් පානය තහනම් නේද?

      Delete
  3. මම නම් අරක්කු බොන්න පටන් ගත්තේ සරසවියට වූ පසුවයි. ඔබ ඔය කියන සලාකා එක අයිනේ තිබුණු පොඩි බෝතල් කඩේ මටත් මතකයි. කවුරුත් බලකලේ නැහැ. නමුත් පාසල් යන කාලය (ඔබ ඔය කියන කාලයේමයි) ගෙදර තිබුණු දැඩි තහංචි නිසා සරසවියේ ලැබුණු නිදහස ප්‍රයෝජනයට අරගෙන වැඩිහිටියෙකු වන්නට තිබුණු ආසාව නිසා එය සිදුවූ බවයි මටනම් හිතෙන්නේ. දවස්වල අරක්කු කෙසේ වෙතත් බියර් එකක්වත් ගෙදර නම් බොන්න ලැබෙන්නේ නැහැ. ගෙදර තාත්තලා බොනවා. අපිට ඉතින් පොඩි බයිට් කෑල්ලක් විතරයි ලැබෙන්නේ. නෑ ගෙදරක ගියත් ලැබෙන බියර් එක බොහොම හොරෙන් තමයි බොන්නේ.
    හැබැයි සරසවියේ ඉන්න කාලයේ ඒකටත් එක්ක සිහි නැතිවෙනකම් බීලා තිබෙනවා.
    නමුත් දැන්නම් මාත් බොන්නේ ඔය වයින් එකක් වගේ එකක් තමයි. ඉස්සර වගේ දැන් බොන්න හිතෙන්නේ නැහැ. මට හිතෙන්නේ වයස. අනික මේ රටවල ඔය කොහේ හරි ගියත් වයින් එකක්වත් බොන්න බයයි, වාහන එළවන්න තිබෙන නිසා. පොලිසියට අහු වුනොත් ලයිසන් ඉවරයි.

    ReplyDelete
    Replies
    1. මේ රටවල ඔය කොහේ හරි ගියත් වයින් එකක්වත් බොන්න බයයි, වාහන එළවන්න තිබෙන නිසා. පොලිසියට අහු වුනොත් ලයිසන් ඉවරයි.///////////////// සහතික ඇත්ත මහත්තයො

      Delete
  4. Nice story. I just want to share a little story about that liquor shop where you bought Arrack, in Union Place nextdoor to Salaka. It's called "Miranda" or similar name. One day (around mid eighties) I went to visit a friend who was a patient in general hospital. As soon as he saw me, he ask me to go out with his thermos flask and get him a 1/2 a bottle of Arrack. I could not refuse, so I went to that liquor shop with the flask in a plastic (not modern day shopping bags) bag. I was so embarrassed to pour arrack in to a flask in public, so I was planning to go toward Hayleys in that little narrow lane and do it. I ask for 1/2 bottle of VSOA from the shopkeeper,and kept the bag on the counter to get my wallet out to pay him. He show me the unbroken seal in the cap, open my plastic bag, got the flask out, open up the cap, put the upside down arrack bottle in to the flask. While arrack is pouring, he got the money, gave me the balance without saying a single word. Then he shake the last drop out, and show me the empty bottle and put the capped flask back in the bag and hand it to me. To this date, I have no idea how he finds out that I want that arrack poured in to that flask, because it's not visible through that bag. It seems like they sell more liquor to the patients (in thermos flasks) than any other customers.

    ReplyDelete
  5. වයින් ටිකකින්,බියර් එකකින් එන සෞම්‍යය ගතිය සැර බීමවලින් එන්නේ නෑ.

    ReplyDelete
  6. ඒ කාලෙ අර කප් තිබිලා නැති හැඩයි

    ReplyDelete
  7. අර කප් ඒ මොනාද ?

    ReplyDelete
    Replies
    1. ප්ලාස්ටික් කප්ස් ඩොක්ට..

      Delete
  8. තෝම්බුව කියන්නෙ මොකක්ද?

    ඒ කාලෙත් කෙල්ලන්ට බඩුව කියලා කියලා වගෙ!

    ReplyDelete
    Replies
    1. තෝම්බුව කිවේ මගේ කැරැට්ටුව​. අපේ කාලෙ කොල්ලෝ කෙල්ලන්ට බඩුව කියල කිව්වේ. බඩුවක් දාගත්තා; මාර බඩුව ඒවගේ කතා තමයි තිබ්බේ.

      Delete
  9. අවුරුදු 19 දී ඔබේ දැනුම ගැන පුදුමයි.. 19ක් වෙද්දි තමන් අකමැති දේ මඳ හිනාවකින් (ඕනම නම් හොඳ තියුණු වචන ටිකක් කියන්නත් පුලුවන්) මඟ හරින්න ආත්ම ශත්තියක් තියෙන්න ඕන වැඩිටිහියෙක් කියලා නීතියෙනුත් කියලා තියෙන්නේ ඒකනේ...තමන්ට තමන්ගේ ජීවිතේ ගැන වගකීමක් ගන්න පුලුවන් වයස පහු කරලත් අනිත් අය නිසා මේ වගේ රූකඩ වෙනවා ඇද්ද තවමත් කොයි තරම් පිරිසක් ලෝකය පුරාම...

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද අපි ඔබලා වගේ සක්තිමත් නෑ

      Delete
    2. ශක්තිමත් නැතිකම නෙමේ මම හිතන්නේ, ජීවිතේ මඟ පෙන්වන්න අය එහෙමත් නැත්නම් ඔබේ හදවතට කතා කරන්න පුලුවන් ඔබව වටහාගත් අය අවුරුදු 19වෙනකන්ම ඔබ අවට ඉඳලා නැ වගේ..

      අන් අය අතරේ තමන් කොන් වෙන හැඟිම් නිසා තමන්ව පාවා දෙන්න අවශ්‍ය නැහැ කියන එක වටහලා දෙන්න තරම් කෙනෙක් නැතිකම මිසක් මේ වගේ දේවල් වෙන්නේ කෙනෙක් ශක්තිමත් නැති නිසා නෙමේ මම හිතන්නේ..

      Delete
    3. ඔබට වගේ නෙවෙයි ජීවිතේ මඟ පෙන්වන්න අය කවුරුත් හිටියෙම නෑ මට . ඔබ හරිම වාසනාවන්තයි. උත්කෘෂ්ඨයි

      Delete
    4. අම්මප සහතික ඇත්ත​. ඔබ හරිම වාසනාවන්තයි. උත්කෘෂ්ඨයි විශිෂ්ටයි ගුණාත්මකයි.

      Delete
  10. ඒ වගේම මේ හැසීරිම් එන්නේ දරාගන්න බැරි පීඩනය නිසා ද...මට නම් A/L ඉවර උනා කියලා මහ ලොකු වෙනසක් දැනුනේ නැ සමරන්න තරම්.. ...හැබයි ජීවිතේ වගකීමක් දැනුනු දවසක්..

    ReplyDelete
    Replies
    1. A/L කාලයේ තරමක පීඩනයක් තියනවා

      Delete
    2. ඔව්, තරමක නෙමේ දරා ගන්න බැරි පීඩනයක් "නිර්මාණය" කරලා අපේ සමාජය.. අපේ දෙමාපියන්, අපේ වැඩිහිටියන්... අපේ ගුරුවරු.. එතනින් එහාටත් දකින්න විඳින්න දිනන්න ලෝකයක් තියන බව දකින්න පුලුවන් චරිත ඔබ අවට ඉන්නවා නම් එහෙම වෙන්නේ නැහැ...

      Delete
    3. එහෙම චරිත අප අවට හිටියෙම නෑ ; හිටියේ බොරු පම්පෝරි කියන බයිලාකාරයෝ අවවාද අනුසාසනා දෙන දෙබිඩ්ඩන්

      Delete
    4. ඩොක් ඔය අඳුරෙන් ආලෝකයට කියන පිස්සු හුත්තව බයිට් කරන එපා. අපේ ගමෙත් හිටියා ඔය වගේ තමං මහ සීලවන්තයා කියලා පොර talk දෙමින් අනුන්ට අවවාද දෙන පොරක් ;හැබැයි ඌ අමු කුහකයා. මේ අඳුරෙන් ආලෝකයට ඌද කියලත් මට හිතෙනවා

      Delete
    5. @ Dasun Rajapaksha : ඔබ කියල කෙනෙක් ඇත්තටම මේ ලොකේ පය ගහලා ජීවත් වෙනවා නම් ඒ කිව්වේ Fake account එකක් නෙමේ නම් කෙලින්ම කිව්වා නම් ඉවරනේ ඔබට ඕන රුවන්ගේ පිට කසන්න කියා.. අර ගිනි පිඹලා .... කොටියගේ කතාවේ වගේ....

      Delete
    6. @ Dasun Rajapaksha නෑ මම විහිලුවක් කලේ ; අඳුරෙන් ආලෝකයට. ඔහු තමන් ගේ අනන්‍යතාවයෙන් නොඑන එකේ පොඩි අවුලක් තියනවා

      Delete
  11. ගොඩ කාලයකින් මේ කමෙන්ට් එකක් කොටන්නෙ ඩොක්ට. අර කියුබන් පොස්ට් එකටනම් මම හෙනම මනාපයි. ෂෑ. ඩොක්ට අරක්කු බිව්ව දවසෙ අපි ඉස්කෝලෙ බාලාංශයේ 🙈.

    මමත් 16 දි විතර තමයි ගල් බෝතලයක් ට්‍රයි කලේ. අරක්කු නිසා ලංකාවේදී ලයිසන් එකත් නැති කරගත්ත. කූඩුවෙත් හිටිය.

    https://tikikatha.blogspot.co.uk/2017/03/01-if-youve-never-owned-motorbike-youll.html?m=1

    දැන් නං අරක්කු පානය ෆ්‍රයිඩෙ නයිට් සහ මන්ඩෙ නයිට් විතරමයි. ඒත් තනියම බොන්නෙ ඔය ටී වී සීරිස් එකක් බලන ගමන්.

    ජොයින්ට් එකක් නං අවුරුදු 4කින් කටේ තියලවත් ගහන තැනක ඉන්නෙත් නැහැ.

    අපි ඉස්කෝලේ යන කාලෙත් කන බොන තැන් වල නොබොන ඇවුන්ට ආතල් දීල උන් මත් පැනින් වගේම ජොයින්ට් එකෙන් පටන් අරං කුඩු වලින් කුඩේ කුඩු උන මිතුරන් එහෙමත් සෑහෙන්න ඉන්නව. මෙහෙත් බොන්නෙ නැති ඒත් කොකේන් එම් ඩී එම් ඒ ගහන්න කතා කරල බෑ කිව්වහම පොන්නය කිව්ව ඇවුනුත් නැතුවම නෙමෙයි. මම නම් කිව්වෙ පොන්න කම මම තියාගන්නම් තෑන්ක්ස් කියල. උන් කිව්වෙ අරක්කු විස්කි බොන්නෙ නැතිව අපි වගේ මේවට පුරුදු වෙයන් කියල. එහෙම කිව්වා එකෙක් දැන් මොලේ පිළිකාවක් හැදිල මෙහේ ඉන්නව.

    ඩොක්ට ත් බොහොම හොඳට ආතල් ගත්ත පොරක් නේ.. 👊🏽

    ReplyDelete
    Replies
    1. ඒ ආතල් තමයි මාව කුහකයෙකු නොකරේ

      Delete
  12. මගේ පියා ද මත්පැනට පුරුදු වී ඇත්තේ උසස් පෙළ අවසානයත් සමග බව කිව හැකිය. එහෙත් ඔහුගේ පියා කෙදිනකවත් මත්පැන් භාවිතා කළ පුද්ගලයෙකු නොවීය. කෙසේවෙතත් සියලු සහෝදරයන් එය හොඳින් අත්හදා තිබුණි.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ඔබගේ පියා ජීවිතය වින්දනය කල කෙනෙක්

      Delete
  13. පලවෙනි වතාවට මත්පැන් බීපු සිද්දිය මම හිතන්නේ ඕනෑම කෙනෙකුට ෆස්ට් ලව් ඒක වගේම අමතක නොවෙන සිද්දියක් වෙන ඕන. පලවෙනි වතාවට මත්පැන් කියල තොල ගෑවේ මම හිතන්නේ අට වසරේ වගේ ඉද්දි දහම් පාසලේ ට්‍රිප් එකක් ගිහින්. මට වඩා අවුරුද්දක් වැඩිමහල් පංතියේ හිටපු එකෙක් ගෙනත් තිබ්බ ස්ටවුට් බෝතලයක්. ඕක හැම එකාම උගුර උගුර බිව්වා කියමුකෝ බස් එකේ තියාගෙන. අම්මෝ එකේ තිබ්බ තිත්ත. ඒ ලෙවල් කරද්දී නම් ට්‍රිප් එකක් ගිහින් දවස් තුනක් පුරා කොල්ලෝ ටික ටීචර්ලාට හොරෙන් තැඹිලි බිව්වා ඇති වෙන්නම ඒ තැඹිලි ගෙඩිය අතින් අත යනවා ඒක ඇතුලේ තිබ්බේ තනි නීට් ගල් අරක්කු. පස්සේ කාලෙක බියර් බොනවානම් ස්ටවුට් ඇරෙන ලාගර් වලට මනාපයක් තිබ්බෙම නැහැ. වයස 20-30 අතර කාලයේ ලබන ආත්මෙටත් එක්කම බීපු නිසා දැන් නම් විස්කි , බ්‍රැන්ඩි, බියර්, වයින් ඇතුළු සියලුම අම පාන වලට වැඩි මනාපයක් ඇත්තෙම නැහැ. බිව්වොත් බොන්නේ බොහොමත්ම කලාතුරකින්.

    ReplyDelete
    Replies
    1. ජීවිතේ ඔය වගේ අත්දැකීමුත් තියෙන්න ඕනේ කියලා හිතෙනවා. නැත්නම් එලියට එන්නේ බොරු බයිලා ගහන සුචරිත හොරු

      Delete
  14. මෙහි take home message එක" පාටියකදී බිව්වාට කමක් නැත " යන්නයි.එය මනාව සමාජගත කිරීමට මිත්‍රයා නුඹ දායක වන බව පෙනෙයි.sponcerd by wich අරක්කුද ?

    ReplyDelete
    Replies
    1. මං හිතුවේ සලාකා එකෙන් ඒ කාලේ හැටියට පොෂ් විදියට ගල් බෝතල් දෙක ගන්න ථි කියල අරං තියෙන්නේ ඒ ලඟ් පොඩි වයින් ස්ටෝර්ස් එකෙන්

      Delete
  15. හැබෑට 1985 ගල් බෝතලේ මිල කීයද? 1977 වෙනකං ගල් බෝතලයක් රු 8/= විතර වුණේඒ කාලේ රුපියල රුපියල දාල බෝතලයක් ගැහැව්වා ගොඩක් අය!😀

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook