Sunday, December 24, 2017

මගේ කවිය


මහතානෙනි ඔබගේ ගමන හරි 
ඒ මග යන්න අතරමං නොවී
උකුස්සෙකුගේ දෙනෙතින්
සිවලෙකුසේ මානසයෙන්
වෘකයෙකුගේ ගිජුකමින්


යොදාගන්න බුද්ධාගම
ආරක්‍ෂක වලල්ලක් සේ
මිශ්‍ර කරන්න ඔබගේ අදහස්
යෝජනා සංකල්ප පිඹුරුපත්
බුද්ධාගම සමග මාන්තරව යන සේ


බුද්ධාගම සමග මිශ්‍ර කල විට
ඕනෑම කූට ව්‍යාපාරයක්
විකිණිය හැකියි ඕසෙට මේ ර​ටේ
මේ න්‍යාය සිතට ගන්න


ඔබගේ අදහස් ප්‍රශ්න කරන්නන්ට චෝදනා කරන්න
බෞද්ධ විරෝධීන්; මිත්‍යා දෘෂ්ටිකයන්
කුම්භාණ්ඩයන්, අසුරයන් එන්ජීඕ කාරයන් කියා


ඩොලර් ගැනත් කියන්න
පොදු මිනිසුන් ආශයි තමන්ට නැති
ඩොලර් ගැන කතා කරන විට
ඔවුන් නොදකිති ඔවුන් ගේ පසුපසින්
පිල්ලි යවන රුපියල් සත


බෞද්ධ විරෝධීන් ලෙස
විකල්ප අදහස් දරන්නන් ලේබල් කරන්න
එවිට ලේසියි ඔවුන්ව විනාශ කරන්න​
මතවාදීව සහ ශාරීරිකව
මෝඩ අනුගාමිකයන් ලවා


දැන් සිටම අරඹන්න ඔබගේ දේශපාලන වියාඍතිය
එකතු කරන්න සමාජ ප්‍රාග්ධනය ලාභ ජනප්‍රියතාව


අමතන්න හැඟීම් වලට
බුද්ධියට නොව ආවේග වල​ට


දේශප්‍රේමය ගැන කථා කරන්න
පීතෘ භූමිය ගැන කඳුළු සලන්න
සෑම රෝගයක් වසංගතයක්ම
දේශපාලනීකරණය කරන්න


කතා කරන්න කුමන්ත්‍රණ ගැන
අපගේ මිනිසුන් ආසයි බයයි
අසන්නට කුමන්ත්‍රණ ගැන
කියන්න රෝග වසංගත
බටහිර කුමන්ත්‍රණ කියා


පිටු දකින්න විචාර බුද්ධියෙන් යුතු පිරිස්
ඔවුන් භයානකයි වෙඩි බෙහෙත් සේ
මොට කරන්න විචාර බුද්ධිය රටේ
අවිචාරවත් මැට්ටන් වැඩිවූ තරමට
ලෙහෙසියි ගමන ඔබේ


වපුරන්න මිත්‍යාව සැමතැන
පත්තර ගුවන් විදුලිය රූපාවාහිනිය මගින්
කවන්න ජනතාවට පිදුරු
උන් හරකුන් බැවින්


හදාගන්න ඔබගේම කල්ලියක්
විචාර බුද්ධියෙන් අඩු අන්තවාදයට බර
ඔබ වෙනුවෙන් ප්‍රතිවාදීන්ට අපහාස කරවන්න
ප්‍රතිවාදීන්ව අවශ්‍ය වුවහොත් විනාශ කරන්න
ඔබගේ අවශ්‍යතා වෙනුවෙන් කඩේ යැවීමට
නමුත් මතක ඇතිව ඉවත් කරන්න ඔවුන්ව
කන්ද නැගගත් පසු දැහැටි කූරු සේ


ලාංකික ජනතාව මෝඩයි ; ආවේගශීලියි
විචාර බුද්ධියෙන් තොරයි රැවටෙන සුළුයි
හරවා ගන්න එය ඔබගේ වාසියට


අනාගත ආයෝජනයට ලාභදායක​
යොදාගන්න පලිහක් සේ බුද්ධාගම
ඔබගේ දේශපාලන ගමනට


ආවේගශීලී නොවන්න නලීන් සේ
සූක්‍ෂම වන්න ; සතුරන්ට පහර දෙන්න
මෝඩ විචාර බුද්ධියෙන් තොර අනුගාමිකයන් ලවා
එවිට ඔබට හැකියි වගකීමෙන් මිදෙන්න
මකා දමන්න මා වැනි කවියන් අමතක නොකොට


පටලවන්න විද්‍යාව සමග
අන්ධ විශ්වාස මිත්‍යා අදහස්
ඒවාට අනුපාන ලෙස යොදාගන්න
බුදුදහම සහ බොදු සංස්කෘතිය
එවිට මහානායකලාත් රැවටීම පහසුයි


පලඳන්න අතේ පිරිත් නූල් ඝනකමට
බැහැ දකින්න මහා නායකලා
අට පිරිකර සමග
කියන්න ඔවුන්ට ආගම ජාතිය
විනාශයි මේ සිංහලයාගේ අවසානයයි කියා


ආමන්ත්‍රණය කරන්න ජාතිකත්වයට
හිට්ලර් කලාක් මෙන්
කියන්න අප වටා සතුරු බළඇණි
සිටිති උන් අපව විනාශ කරන මාන බලමින්


ගොඩනගන්න බිය සමාජය වටා
පෙන්වන්න ඔවුන් අනාරක්‍ෂිතයි
අණතුර දොරකොඩ ලඟයි
මේ මව් බිමේ අවසානයයි කියන්න


ගොඩ නගන්න මතයක්
ඔවුන් සහ අප කියා
බැහැර කල යුතුයි අනෙකාව
ඌ අපගේ සතුරෙක් නිසා


නිති පතා මෙය කියන්න මන්තරයක් සේ
මිනිසුන් ගේ සිත් සතන් වලට කා වැදෙන්න
එවිට තැතිගත් මෝඩ ජනතාව
එක් රැස් වෙයි ඔබ වටා

කියන්න විසඳුම ඇත්තේ ඔබ අත පමණි
මමයි දියසෙන් කුමාරයා කියා


මතකද ධර්ම රාජ්‍යකට කියා සෝම හිමි
විකුණා පාර්ලිමේන්තු සැප වැළඳීමට ගිය පිරිස්
ඒ වාගේ වස විසෙන් තොර ධර්ම රාජ්‍යකට කියා
අරඹන්න ඔබගේ දේශපාලන ව්‍යාපෘතිය


කෙමෙන් කෙමෙන් අල්ලා ගන්න බලය
රඳවාගන්න එය අත්ලේ තදින් ගුලි කොට
තමන්ට රාජ යෝගයක් තිබේය කියන්න
විශ්වාස කරාවි එය ගෙරි සරක් ජනතාව


උපයාගන්න ලාභාංශ දේශපාලනයෙන්
දෙවියන් ගේ කැඳ විකුණා
මුදල් උපයා ගත් ලෙසට මාගම
විඳින්න මෙලොව සැප එරියස් සමග
කුහන පනික්කියා මෙන්

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

7 comments:

  1. ඩොක්ට! ඔබ කිව්ව වගේ ලංකාවේ බහුතරය මෝඩයි. ඒක සුද්දාගෙන් පස්සෙ රට බාරගත්ත උදවිය තමන්ගේ පැවැත්ම උදෙසාම ඇතිකළ සිස්ටම් එක. ඒකට විරුද්දව කතා කලොත් විජාතික රැඩිකල් විදේශ බලවේග අන්‍යාගමික කියන විශේෂණ පද යොදල ඇත්ත යට ගහනව.

    ඒක නෙමෙයි ඩොක්ට. ඔන්න මම ක්‍රිස්ටල් මෙත් මැරිලින් මාන්සන් ගැන උණු උණුවෙම පොස්ට් එකක් දැම්ම. ඒ ගැන උගත් ඔබ වගේ කෙනෙක් ගෙන් බැනල හරි කමෙන්ට් එකක් වැටෙනවානම් ඒක මගේ බ්ලොග් එකට ගෞරවයක් කියල මම සලකනව.

    මෙන්න ලින්ක් එක. ඇවිල්ල යන්න.

    http://tikikatha.blogspot.co.uk/2017/12/marilyn-manson-download-festival-2015.html?m=1

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook