Saturday, December 16, 2017

ශිරෝමි ප්‍රනාන්දු හෙවත් ලංකාවේ Shirley Temple

 

ශිරෝමි ප්‍රනාන්දු යනු අමතක කල නොහැකි ගායිකාවකි. ඇය විසින් ගයන ලද පෙම්බර අම්මා , සකළබුජං ,  අපේ ආච්චි , අපි වාගේ පුංචි ළමුන්ටයි යනාදී ගීත පරම්පරා කීපයක් විසින් ශ්‍රවණය කරන ලදි. ඇයගේ ගීත මොන්ටිසෝරි වල මෙන්ම  වැඩිහිටියන් ගේ සාද වලදීද ඉතා ආශාවෙන් ගායනා කරන ලද්දේය​. හැත්තෑව දශකයේ ළමුන් ශිරෝමිගේ ගීතයක් ගුවන් විදුලියෙන් ප්‍රචාරය කරන විට සෙල්ලම් කිරීම පවා නවතා දමා ගුවන් විදුලි යන්ත්‍රය වෙත දිව ආහ​.  ඇය විසින් ගායනා කරන ලද ගීත ළමා පරම්පරා කීපයක් විසින් ආශාවෙන් වැළඳගන්නා ලදි.

ශිරෝමි ප්‍රනාන්දු ගායිකාව මම සලකන්නේ හැටේ දශකයේ උපන් පරම්පරාවේ සංකේතයක් ලෙසටය​. ශ්‍රී ලංකාවේ හැටේ දශකයේ උපන් පරම්පරාව යනු Traumatized Generation  හෙවත් ක්‍ෂිතිමය පරම්පරාවයි. මේ පරම්පරාව 1971 කැරැල්ල , 1973 ආංශික සාගතය , 1977 මැතිවරණ ප්‍රචණ්ඩත්වය , 1980 වැඩ වර්ජනය , 1983 ජාතිවාදී කෝලහල , 1988-89 ජවිපෙ දෙවන කැරැල්ල  යන සමාජ ව්‍යසනයන් මෙන්ම  තිස් වසරක යුද්ධයේ නීරස අත්දැකීම් කෙලින්ම හෝ අනියම් ලෙසින් අත් වින්දහ​. මෙම හැටේ දශකයේ ක්‍ෂිතිමය පරම්පරාව යම් ආකාරයකට ප්‍රත්‍යාස්ථව මානසික ආතතියට ලක්වීම අඩු කිරීම සඳහා ශිරෝමි ප්‍රනාන්දු ගේ ගීත යම් ප්‍රමාණයකට බලපෑ බව මම විශ්වාස කරමි. ඒ මන්ද යත් මෙම පරම්පරාවේ පුද්ගලයන් ගේ ළමාකාලයේ ලද ප්‍රසන්න අත්දැකීම් ගැන විමසුවහොත් ඔවුන් ශිරෝමි ප්‍රනාන්දු ගේ ගීත අසන ලද අත්දැකීම ගැන බොහෝ විට කියනු ඇත 

ළමා ගායිකාවක ලෙස දොරට වැඩි ශිරෝමි ප්‍රනාන්දු වැළිකල අද ජීවත් වන්නේ කැනඩාවේය​. මෑතකදී ශිරෝමිව හමු වීමේ භාග්‍ය මම ලද්දෙමි. ඇයගේ ගීත අපට තවමත් මතකය​. ශිරෝමි ගේ  අපේ ආච්චි ගීතය සම්බන්ධයෙන් මට එක් අත්දැකීමක් තිබේ. මෙම සිද්ධිය වූයේ 1986 දීය​. එවකට මම වෛද්‍ය සිසුවෙකු වූයෙමි. අපගේ වෛද්‍ය පීඨයේ සිටි රමේෂ් සිවලිංගම් මෙම ගීතයේ කොටසක් ගායනා කලේ මෙලෙසය​; " කෙන්ද නවාගෙන එරමිටි ඔක්කොම ගාගෙන ... රමේෂ් මෙම ගීතය ගායනා කිරීමෙන් පසුව "එරමිටි ඔක්කොම ගාගෙන" යන වචන සෙට් එක බොහෝ කාලයක් යන තෙක් අපගේ වාංමාලාව තුල තිබුනේය​. 

ශිරෝමි ප්‍රනාන්දු විසින් ගායනා කල සකළබුජං ගීතය පසු කාලයකදී ගුවන් විදුළියේ සහ සංස්කෘතික අමාත්‍යාංශයේ සිටි තලෙබාන් මොට්ටපාලලා විසින් තහනම් කරනු ලැබීය​. ඊට හේතුව වන්නේ එම ගීතයේ " වත්ත පහළ කටුස්සන් ගේ එකම මාරයා යන පදය අඩංගු වීමය​. සත්‍ය මානව ප්‍රේමයක් නොමැති බොරු කටුසු ප්‍රේමය පෙන්වූ දෙබිඩි සමාජයක් පසුකාලයකදී රුධිර ගංගාවක පිහිනන ලද්දේ මෙවැනි  ව්‍යාජ සත්ව කරුණාව ප්‍රදර්ශනාත්මකව පෙන්වන්නට යාම නිසාය​. සකළබුජං ගීතය  ළමා මෙහෙකාරයෙකු ගැන බව සත්‍යකි. එසේම සකළබුජං යනු මනංකල්පිත චරිතයක් බව ශිරෝමි මා සමග පැවසුවාය​. මේ නිසා සකළබුජං ගීතය ගත යුත්තේ කලා කෘතියක් ලෙසට මිස සදාචාරාත්මක මාපනයක් ලෙසට නොවේ.  

ශිරෝමි ප්‍රනාන්දු ළමා නිළියක ලෙසටද චිත්‍රපට කීපයක රඟපෑවාය​. ගායනයට මෙන්ම නර්තනයට එක්සේ දස්කම් දැක්වූ ශිරෝමි ලංකාවේ Shirley Temple ලෙස හැඳින්වූවාට වරදක් නොමැත​. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 


ශිරෝමි ගේ ගීත පිලිබඳව මෙම ලින්කුවෙන් 


14 comments:

  1. ලයාන්විත කටහඬක් හිමි ඇයගේ මම කැමතිම ගීතය කොන්ද නමාගෙන ............. යන ගීතයයි. දශක ගණනක් ගියත් කෙදීනකවත් පැරණි නොවන ගීත සමූහයක් හිමි ඇයට නිදුක් නිරෝගී සුවය පතමි.

    ReplyDelete
  2. සිංහල සංගීතයේ නොමියෙන ගීත ගායනා කල ගායිකාවක්.. මේ පොස්ට් එක ලිව්වට ස්තුතියි.. මේවා මෙහෙම ලියවුනේ නැතිවුනොත් පසුකාලීනව මේවා ගායනා කරනසුපර් ස්ටාර්ලා මේවා උන්ගේ කරගන්නවා මොකද අලුත් පරම්පරාව දන්නේ නැහැ මේ ගීත කාගේද කියල..

    ReplyDelete
  3. රුවන් සකලබුජං ගීතය තහනම් වූයේ කටුස්සන්ගේ මාරයා යැයි සඳහන් වීම නිසා යැයි කීවේ ශිරෝමී ප්‍රනාන්දු ද?

    මා සිතන පරිදි සකලබුජං ගීතය තහනම් වූයේ ඒ ගීතයෙන් අප පිටු දැකිය යුතු ළමා ශ්‍රමිකයින් භාවිතය උත්කර්ෂයට නංවන බැවිණි.

    සකලබුජං යනු පාසල් යන වයසේ සිටින නමුත් දුගීබව නිසා අධ්‍යාපනය ලැබීමට වරම් අහිමි වී පොහොසත් නිවසක බැල මෙහෙවර කළ දරුවෙකි. එවැන්නෙකු ගැන ගීතයක් ලියවිය යුත්තේ ඒ ක්‍රියාව බරපතල ලෙස විවේචනය කරමින් මිස සකලබුජං ලියවී ඇති ආකාරයට නොවේ!

    මා ලියූ සටහනක් සහ කවියක් මෙන්න.

    කොට කලිසම ඉනේ බැඳං ගෙදර දොරේ වැඩපල කළ සකලබුජං මතකද? - Who can relate to this?
    http://rasikalogy.blogspot.com.au/2016/05/who-can-relate-to-this.html



    :-(

    ReplyDelete
    Replies
    1. සකළබුජං ගීතය ගත යුත්තේ කලා කෘතියක් ලෙසට මිස සදාචාරාත්මක මාපනයක් ලෙසට නොවේ.

      Delete
    2. ඉතා කෙටි අප ජීවිතය තුල , තව කෙනෙකුගේ ජීවිතය සදාකාලිකව මෙලෙස උදුරා දමන්නේ ඇයි?රසික,ඔබගේ හරවත් කවිය සිතට මිනිසත්කම එක්කලා.ස්තූතියි !

      Delete
  4. ආච්චි මේ එන්නේ ගීතය ලාංකික දෙමළ ළමුන් අතර ඒ කාලයේ ජනප්‍රිය වූ ගීතයක්.

    (සුරංගනීට මාළු ගෙනාවා ගීතය බාලදක්‍ෂ ගීතයක් නිසා නේපාලයේ අය පවා දන්නවා!)

    ReplyDelete
  5. මුල් ගිතය ලියපු පිස්සා ගැන පුදුම සංවේගයක් ආවා..පොඩි කාලේ අපද මෙය සංගීත රසයට මිමිනුවත් අර්ථය ගැන දැනීමක් තිබුනේනෑ.. කාලයත් සමග එය යට ගියත් මගේ පුතාට ලමා ගී තෝරද්දි මේ අසිකිත ගීතය එලියට ආවිට අර්ථය දකිද්දී හිතුනේ එවකට අනන්තවත් අර්ථවත් ගීත තහනම් වුනත් මෙවනි නින්දිත ගීතයක් තහනම් නොවීමට හේතු කවරේද නැතිනම් එවකට සමාජය එතරම් මේල්ච්චද කියාය..වයස අටක මව පියා අහිමි දරුවෙක්ව නිවසක නින්දිතව මෙහෙකාරකම් කරවීම අපිව කුඩාකල කුල්මත් කරවීමට ගීතයක්ව එකතුකල සමාජය කෙතරම් පහත්ද..සකලබුජං කෙනෙක් ජීවිතයට මුන නොගැසි තිබුනත් මෙම පාහර ගීතයට කුඩාකල නොදැනුවත්වම එක අත්පුඩියක් හෝ ගසා ඇති බැවින් මටත් සමාවියං මචං..

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook