Wednesday, September 13, 2023

මේවා දේවාරූඩවීම්ද ? විඝටන ආබාධද ?



විඝටන ආබාධ (Dissociative Disorders) සාමාන්‍යයෙන් පැන නගින්නේ කම්පන සහගත, ක්‍ෂිතිමය හෝ මානසික වශයෙන් වේදනාකාරී සිදුවීම් වලට ප්‍රතික්‍රියාවක් ලෙසටය​. මතක ශක්තිය නැතිවීමේ සිට විසන්ධි වූ පුද්ගල අනන්‍යතාවයන් සමහරක් විට මෙම රෝගී තත්වයේදී දැකිය හැක​. තවද ළමා වියේදී සිදු වූ කම්පන සහගත සිදුවීම් සහ /හෝ අපයෝජනයන් පසුකාලීනව විඝටන ආබාධ ඇති කල හැකිය​. (ළමා වියේදී කායික හා ලිංගික අපයෝජනවලට ලක් වූ පුද්ගලයින්ට විසංයෝජන අනන්‍යතා ආබාධ ඇතිවීමේ අවදානම වැඩි බව පෙනී යයි). මෙම මානසික රෝගී තත්වයේදී සිතුවිලි, අනන්‍යතාවය, විඥානය සහ මතකය අතර විසන්ධි වීම සහ රෝගියා යථාර්ථයෙන් ඉවත්ව යාම නිරීක්‍ෂණය කල හැකිය​. චිත්තවේගීය හිරිවැටීම, ස්වයං අනන්‍යතාවය පිළිබඳ හැඟීමක් නොමැතිකම, විස්මෘතිය හෙවත් මතකය නැතිව යාම​,මනෝභාවයේ හදිසි සහ අනපේක්‍ෂිත මාරුවීම්, ලෝකය විකෘති වී හෝ සැබෑ නොවන බවක් දැනීම​, අනන්‍යතා ව්‍යාකූලත්වය, විඝටන ආබාධවල ලක්‍ෂණයන් වෙති .මෙම රෝගීන් සමහරක් විට දේවාරූඩය​, වෙනත් නොතේරුම් සහිත විකාරසහගත බසකින් කතා කිරීම , වෙනස් අනන්‍යතා දෙකක් හෝ වැඩි ගණනක පැවැත්ම මෙහිදී දැකිය හැකිය​. බොහෝ විට පුද්ගලයාට තමන් ගේම හැසිරීම රූපවාහිනියේ සිදුවීම් නරඹන්නාක් මෙන්  දැනී යයි. ඔහු තම පාලනයෙන් ගිලිහී ඇත​.  මෙම රෝගීන් අතර සියදිවි නසාගැනීමේ අවදානමද තිබේ.  

විඝටන ආබාධවල බොහෝ ලක්ෂණ පුද්ගලයෙකුගේ සංස්කෘතික පසුබිමට බලපෑම් කළ හැකිය. බොහෝ පසුගාමී සමාජ වල විඝටන ආබාධ වලින් පෙලෙන රෝගීන් දෙවියන් සමග සන්නිවේදනය  කරන පුද්ගලයන් බව සලකා වන්දනා මාන කරති. මෙම රෝගීන් ආරූඩ වීම​, විකාර සහගත ලෙස සාස්තර කීම​, අන්‍යන්ට ප්‍රතිකාර කිරීම කල අවස්ථා වාර්තා වෙයි.  ඇතැමෙකුට දේව​/ හොල්මන් /  ආත්ම වැහෙන බවක් දැනීම සහ එම චර්‍යාවන් පසුව  බැතිමතුන් එකතු වීමත් සමග තත්වාරෝපනය වීම මෙහිදී දැකිය හැක​. තත්වාරෝපනයන් සිදුවූ විටදී රෝගීන් තමන්ට අවශ්‍ය ඕනෑම වේලාවකදී ආරූඩයට පත් වෙති. 

විඝටන ආබාධ සඳහා ප්රතිකාර කිරීම බොහෝ විට මනෝ චිකිත්සාව සහ ඖෂධ ඇතුළත් වේ. ප්‍රතිකාර මගින්  මගින් මිනිසුන්ට විඝටන ක්රියාවලිය සහ රෝග ලක්ෂණ පාලනය කිරීමට උපකාර කළ හැකිය. චිකිත්සාවේ පරමාර්ථය වන්නේ අනන්‍යතාවයේ විවිධ අංග ඒකාබද්ධ කිරීමට උපකාර කිරීමයි.

Ruwan M Jayatunge (Medical Doctor / Author / Associate Professor) 




No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook