වෛද්‍ය රුවන් එම් ජයතුංග
ප්‍රාග් සොක්‍රටික් දාර්ශනිකයෙකු වූ එම්පෙඩොක්ලීස් Empedocles (ක්‍රි.පූ. 483- 330) උපත ලැබුවේ සිසිලියේ ග්‍රීක නගරයක් වන අක්‍රගස් නගරයේ ය. එම්පෙඩොක්ලීස් ග්‍රීක දර්ශනයේ පළමු බහුත්වවාදියා (pluralist) විය. (ඇනක්සගෝරස්, එම්පෙඩොක්ල්ස් සහ පරමාණුකවාදීන් නිරන්තරයෙන් බහුත්වවාදීන් ලෙස සංලක්ෂිත වේ). එම්පෙඩොක්ලීස් කිසිදු නිශ්චිත පාසලකට අයත් නොවීය. ඔහු විද්‍යාත්මක චින්තකයෙකු සහ භෞතික විද්‍යාවේ පූර්වගාමියෙකු විය. එසේම විශ්වය පිළිබඳ බහුත්ව දෘෂ්ටියක නිරත වූ චින්තකයෙකි. ඔහු මූලද්‍රව්‍ය හතරේ චින්තකයා ලෙසටද හැඳින්වේ.
බටහිර සංස්කෘතිය තුළ, පුරාණ ග්‍රීක චින්තනය මත පදනම්ව, විශ්වයේ පද්ධතිය සම්ප්‍රදායිකව මූලද්‍රව්‍ය හතරක් ඇතුළත් වේ. මේ චින්තනයේ ආරම්භකයා වූයේ එම්පෙඩොක්ලීස්ය. එම්පෙඩොක්ලීස් විසින් ලෝකයේ සියලුම ව්‍යුහයන් ඇති කරන අවසාන මූලද්‍රව්‍ය හතරක් ස්ථාපිත කරන ලදී. එය සම්භාව්‍ය මූලද්‍රව්‍ය හතරේ විශ්වීය න්‍යාය (the cosmogonic theory of the four classical elements) නම් වේ. ඔහුගේ මූලද්‍රව්‍ය හතරේ න්‍යායට පදනම වූයේ දකුණු ඉතාලියේ එලියා හි පර්මෙනිඩීස් විසින් ආරම්භ කරන ලද ග්‍රීක දර්ශනවාදයේ ප්‍රමුඛ පෙළේ ප්‍රාග් සොක්‍රටික් පාසලක් වන එලියාටික් පාසලේ බලපෑම නිසාය.
එම්පෙඩොක්ලීස් විශ්වාස කළේ සියලුම පදාර්ථ ප්‍රාථමික මූලද්‍රව්‍ය හතරකින් සමන්විත වන බවයි එනම් - පෘථිවිය, වාතය, ගින්න සහ ජලය. තවද මේ කාලයට පෙර තේල්ස් යෝජනා කළේ තනි මූලද්‍රව්‍යයක් - ජලය - සියල්ල සෑදූ බවයි. තේල්ස් සියලු පදාර්ථ එක් ද්‍රව්‍යයකින් ව්‍යුත්පන්න වේ යන අදහසට දායක විය (තේල්ස්ට එය ජලය, ඇනක්සිමෙන්ස් සඳහා එය වාතය සහ හෙරක්ලිටස් සඳහා එය ගින්න විය). එම්පෙඩොක්ලීස් තේල්ස් ගේ අදහස භාර ගත්තේ නැත. එම්පෙඩොක්ල්ස් මූලද්‍රව්‍ය මත ක්‍රියා කරන විශ්ව බලවේග දෙකක් ද ස්ථානගත කරයි. මේවා ඔහු ආදරය ( Philia) - ආකර්ෂණය සහ සංයෝජනයේ බලයක් - සහ ආරවුල් (Neikos) - විකර්ෂණය සහ වෙන්වීමේ බලයක් ලෙස පුද්ගලාරෝපණය කරයි.
පර්මනයිඩීස් අවසාන යථාර්ථය සමජාතීය, ස්ථිර සහ නොවෙනස්වන තනි වස්තුවක් ලෙස වටහා ගත් අතර, එම්පෙඩොක්ලීස් එය ස්ථීර හා වෙනස් නොවන මූලද්‍රව්‍ය හතරේ (ඔහු මූලයන් ලෙස හැඳින්වූ) ජලය, පොළොව, වාතය සහ ගින්නෙහි එකතුවක් ලෙස වටහා ගත්තේය. එම්පෙඩොක්ල්ස්ගේ භෞතික න්‍යාය චක්‍රීය හා අන්‍යෝන්‍ය වෙනස් වීමේ මූලධර්මවල කේන්ඳ්‍රීයත්වය අවධාරණය කරයි. (එම්පෙඩොක්ල්ස් කිසිවිටෙක "මූලද්‍රව්‍ය" යන යෙදුම භාවිතා නොකළ නමුත් එය මුලින්ම භාවිතා කළේ ප්ලේටෝ විසිනි.පුරාණ ග්‍රීක චින්තකයින් මූලද්‍රව්‍ය පිළිබඳ අදහස සාකච්ඡා කළේ, පුරාණ ඊජිප්තුවෙන් හෝ මෙසපොතේමියාවේ ශිෂ්ටාචාරවලින් ලබාගත් සංකල්පයක් මත යැපෙමිනි ).
එම්පෙඩොක්ලීස් දාර්ශනිකයෙක් සහ කවියෙක් ද විය. ඔහුගේ කවි ලුක්‍රේටියස් වැනි පසුකාලීන කවියන් කෙරෙහි බලපෑමක් ඇති කලේය. එම්පෙඩොක්ල්ස් පෘථිවිය සහ මුහුද, සූර්‍යයා සහ චන්ඳ්‍රයා, වායුගෝලයේ ගොඩනැගීම පැහැදිලි කිරීමට උත්සාහ කළේය. ඔහු මූලික වශයෙන් පදාර්ථය සහ බලය පිළිබඳ අදහස් දැක්වීය. එම්පෙඩොක්ල්ස්ගේ භෞතික විද්‍යාවේ අත්තිවාරම් පවතින්නේ පදාර්ථයේ 'මූලද්‍රව්‍ය' හතරනි. එම්පෙඩොක්ල්ස්ගේ ලෝකය -දැක්ම යනු සදාකාලික වෙනස්වීම්, වර්ධනය සහ ක්ෂය වීමේ විශ්ව චක්‍රයක් වන අතර, එහිදී පුද්ගලාරෝපිත විශ්ව බලවේග දෙකක් වන ආදරය සහ ආරවුල්, ආධිපත්‍යය සඳහා සදාකාලික සටනක නිරත වේ. එම්පෙඩොක්ලීස් විශිෂ්ට ස්වාභාවික දාර්ශනිකයෙකු ලෙස සැලකිය හැකිය.
එම්පෙඩොක්ලීස් සිය මූලද්‍රව්‍ය න්‍යාය වර්ධනය කළේ එම්පෙඩොක්ලීස් ට වඩා දශක කිහිපයක් හෝ ඊට වඩා පැරණි පර්මෙනිඩීස්ගේ දර්ශනයට ප්‍රතිචාරයක් වශයෙනි. පර්මනයිඩ්ස් තර්ක කළේ කිසිවක් ශූන්‍යතාවයෙන් නොපැමිණෙන බවත්, එබැවින් අලුත් දෙයක් නිර්මාණය කළ නොහැකි බවත්ය. එබැවින් පදාර්ථය සහ සියලු පැවැත්ම සදාකාලික වූ අතර කිසිදා වෙනස් නොවේ. එම්පෙඩොක්ල්ස් යෝජනා කළේ ඔහුගේ මූලද්‍රව්‍ය හතරේ අඛණ්ඩ අන්තර් හුවමාරුව කිසි විටෙකත් නතර නොකරන නමුත් ඒවා චක්‍රයේ සෑම විටම නොවෙනස්ව පවතින බවයි. එබැවින් කිසිඳු මූලද්‍රව්‍යයක් කිසිදා ඇතිවන්නේ හෝ විනාශ වන්නේ නැත.
එම්පෙඩොක්ලීස් ඔහුගේ මූලද්‍රව්‍ය හතර කල්පිතය කිසිදු පර්‍යේෂණාත්මක සාක්‍ෂියක් මත පදනම් කර ගත්තේ නැත. වාතය පවතින බවත් එය හිස් අවකාශයක් නොවන බවත් ඔහු අත්හදා බැලීමෙන් පෙන්වා දුන්නේය.
ආලෝකය සහ දර්ශනය පිළිබඳ පළමු විස්තීර්ණ න්‍යාය සඳහා එම්පෙඩොක්ලීස්ට ගෞරවය හිමි වේ. "එම්පඩොක්ලීස් යෝජනා කළේ ආලෝකය එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගමන් කිරීමට කාලය ගතවන බවයි. එනම් ආලෝකය පරිමිත ප්‍රවේගයකින් ගමන් කරන බවයි. පසුකාලීන ග්‍රීක දාර්ශනිකයන් සහ යුක්ලිඩ් වැනි ගණිතඥයින්ට එම්පඩොක්ලීස් ගේ අදහස් බලපෑවේය. ඔහුගේ "සියල්ල මූලද්‍රව්‍ය හතරෙන් සමන්විත වේ" න්‍යාය ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් විසින් ද අනුමත කරති. හිපොක්‍රටීස් ගේ De Natura Hominis නිබන්ධනය මිනිස් සිරුරේ අත්‍යවශ්‍ය සංරචක ලෙස මූලද්‍රව්‍ය හතර පිළිබඳ න්‍යාය අනුගත කරයි. එහි එම්පෙඩොක්ලීස්ගේ දාර්ශනික බලපෑම් දක්නට ඇත.
එම්පෙඩොක්ලීස් ට අනුව ආදරය සහ ආරවුල් යනු මිනිස් හැඟීම්වල පුළුල් වර්ණාවලියේ තීරණාත්මක ධ්‍රැව දෙක වන අතර, අභ්‍යන්තර ජීවිතයේ සහ මිනිසාගේ හැසිරීමේ සමගිය සඳහා අත්‍යවශ්‍ය හා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. ඔහු අභ්‍යන්තර ජීවිතයේ ස්වභාවය සහ අත්‍යවශ්‍ය හා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන මානව හැඟීම් මෙන්ම මිනිස් මනසේ ගැඹුර, අර්ථ නිරූපණය කිරීමට උත්සාහ කලේය. මේ අනුව ඔහු ස්නායු දාර්ශනිකයා (neuro-philosopher) ලෙස සැලකිය හැකිය.
මූලද්‍රව්‍ය මූලද්‍රව්‍යයක් බවට පත් කරන කේන්ඳ්‍රීය ලක්‍ෂණය ඔහු ග්‍රහණය කර ගත්තේය. නූතන විද්‍යාඥයන් වසර සියයකට පමණ පෙර ප්‍රකාශ කළ ස්කන්ධය සංරක්‍ෂණය පිළිබඳ නීතිය එම්පෙඩොක්ල්ස්ගේ විශ්වාසයන් තුළ ගැබ්ව ඇත.
එම්පෙඩොක්ල්ස්ගේ කොස්මික් චක්‍රය මුල් ස්ටොයිකයන් ගේ the early Stoics උනන්දුව ආකර්‍ෂණය කර ගත්තේය. ඔහු මූලධර්මවල අන්තර්ක්‍රියාකාරිත්වය (මූලද්‍රව්‍ය හතර සහ ආදරය සමග ආරවුල්) විස්තර කරන්නේ එකම සදාකාලික පුනරාවර්තනයක් ලෙස, එනම් විශ්ව චක්‍රයක් ලෙස ය. එම චක්‍රය නම්, නිමක් නැති අනුප්‍රාප්තියකින්, ප්‍රේමයේ සහ ආරවුල්වල ප්‍රත්‍යාවර්තයයි. එම්පෙඩොක්ල්ස්ගේ ලෝක දැක්ම යනු සදාකාලික වෙනස්වීම්, වර්ධනය සහ ක්ෂය වීමේ විශ්වීය චක්‍රයක් වෙයි.
එම්පෙඩොක්ලීස් ආගමික ගුරුවරයෙකු සහ කායික විද්‍යාඥයෙක් ද විය. ඔහු පයිතගරස්වාදීන් ගේ අධ්‍යාත්මිකත්වයේ බලපෑමට ලක් විය. එම්පෙඩොක්ල්ස්ගේ භෞතික විද්‍යාවට විශේෂයෙන් ජීව විද්‍යාත්මක අවධානයක් ඇත. හදවත විඥානයේ ඉන්ද්‍රිය බව ඔහු විශ්වාස කළේය. හිපොක්‍රටීස් ගේ වෛද්‍ය විද්‍යාව කෙරෙහි එම්පෙඩොක්ලස්ගේ බලපෑම පෙනී යයි. පෘතුවිය මත ජීවය හටගත්තේ ස්වභාවික වරණයක් ලෙස විස්තර කළ හැකි ක්‍රියාවලියකින් බව යෝජනා කළ ඉතිහාසයේ පළමු පුද්ගලයා එම්පෙඩොක්ලීස් ය. එම්පෙඩොක්ලීස් ස්වභාවික වරණය පිළිබඳ න්‍යායක් නිර්මාණය කළේය. ඔහු zoogony නොහොත් සත්ව පරම්පරා හඳුන්වා දෙයි, ජීව විද්‍යාත්මක ජීවිතයේ ආරම්භය සහ වර්ධනය උපතේ එකතුවක් සහ දිගහැරීමක් ලෙස පැහැදිලි කිරීමට ඔහු දරන උත්සාහයේ දී. ඔහු තම සාක්ෂි ලෙස වන සතුන්, මිනිසුන් සහ ශාක පිළිබඳ උදාහරණ භාවිතා කරයි.
ඔහු ඇනක්සගෝරස්ගේ සමකාලීනයෙකු විය. එම්පෙඩොක්ලීස් සෙනෝෆනීස් සහ ඇනක්සිමැන්ඩර් වැනි දාර්ශනිකයන් සමඟ අධ්‍යයනය කළ බවට ඇතැමුන් තර්ක කරති. ග්‍රීක දාර්ශනික සෙනෝ එම්පෙඩොක්ලීස් ජීවත් වූ කාලයේම ජීවත් වූ නිසා සෙනෝ එම්පෙඩොක්ලීස්ගේ අදහස් කෙරෙහි බලපෑවේය.ප්ලේටෝ විසින් සුප්‍රසිද්ධ "සොෆිස්ට්" Sophist" dialogue සංවාදයේ එම්පෙඩොක්ලීස් පිලිබඳව සඳහන් කරයි. ඇරිස්ටෝටල් අයෝනික දාර්ශනිකයන් අතර එම්පෙඩොක්ලීස් ගැන සඳහන් කරයි. ඇරිස්ටෝටල් ඔහුව පරමාණුක දාර්ශනිකයන්ට සහ ඇනක්සගෝරස්ට ඉතා සමීප සම්බන්ධයක් කරයි. ඇරිස්ටෝටල් කියා සිටින්නේ එම්පෙඩොක්ලීස් සංජානනය සහ දැනුම එකම ලෙස ගත් බවයි. නූතන විද්වතුන් විශ්වාස කරන්නේ එම්පෙඩොක්ලීස් පර්මෙනිඩීස්ගේ ඒකීයවාදයේ මූලධර්මයට සෘජුවම ප්‍රතිචාර දැක්වූ බවත්, ඇනක්සගෝරස්ගේ බොහෝ අදහස් අනුමත කල බවත් ය. එම්පෙඩොක්ලීස්ගේ එකම ශිෂ්‍යයා ලෙස සඳහන් වන්නේ විචක්‍ෂණවාදී ගොර්ජියාස් ය.
එම්පෙඩොක්ලීස් දක්‍ෂ කථිකයෙකු විය. තවද ඔහුට බොහෝ අනුගාමිකයන් සිටි බව කියවේ. මේ අනුව ඔහු පයිතගරස් මෙන් යම් ආකාරයක ආගමික නායකයෙකු මෙන් පෙනී සිටි බව උපකල්පනය කල හැකිය. මුල් කාලයේදී ඔහු පයිතගරස් ගේ අනුගාමිකයන්ව අනුගමනය කලේය. (එම්පෙඩොක්ලීස් පයිතගරස්ගේ අනුගාමිකයෙකු විය). පයිතගරස් මෙන්, එම්පෙඩොක්ල්ස් ආත්මයේ සංක්‍රමණය හෝ metempsychosis විශ්වාස කළේය. ඔහු සත්ව බිලි පූජාව සහ ආහාර සඳහා සතුන් මැරීම අභියෝගයට ලක් කළේය. ඔහු ග්‍රීක ආගමේ මධ්‍යම චාරිත්‍ර වාරිත්‍රය වූ සතුන් බිලි පූජාවෙන් ඉවත් කිරීමට යෝජනා කළේය. එම කාලයේදී එය විප්ලවවාදී අදහසක් විය. ඔහු පුනරුත්පත්තිය පිළිබඳ අදහස් දැක්වීය. ඔහු නිර්මාංශත්වය වෙනුවෙන් පෙනී සිටියේ. එම්පෙඩොක්ලිස් සඳහා, සියලුම ජීවීන් එකම අධ්‍යාත්මික තලයක විය. සියලුම ජීවීන් දම්වැලක පුරුක් මෙන් එකම අධ්‍යාත්මික තලයක සිටින බව විශ්වාස කළේය. ජීවීන් පුනරුත්පත්ති චක්‍රයෙන් නිදහස් වූ පසු ඔවුන්ගේ ආත්මයන්ට සදාකාලික සතුටෙන් විවේක ගැනීමට හැකි බවත් ඔහු විශ්වාස කළේය.
විශ්වයේ ඇති සෑම දෙයකම අන්තර් සම්බන්ධිතභාවය පිළිබඳ ඔහුගේ විශ්වාසය කැපී පෙනේ. එම්පෙඩොක්ල්ස් විශ්වාස කළේ අපගේ ඉන්ඳ්‍රියයන් අපට මුළු ලෝකයම හෙළි නොකරන බවයි. එම්පෙඩොක්ලීස් මානව සංජානනයේ සීමාව සහ පටු බව සටහන් කළේය.
එම්පෙඩොක්ලීස් ගේ අදහස්, විද්‍යාවේ වර්ධනයට ඉවහල් විය. රොබට් බොයිල් සහ ඇන්ටොයින් ලැවෝසියර් වැනි විද්‍යාඥයන්ට එම්පෙඩොක්ලීස්ගේ අදහස් බලපෑවේය. නීට්‍ෂේ තම Birth of Tragedy කෘතියේ එම්පෙඩොක්ලීස් පිළිබඳ ආකර්‍ෂණීය සාකච්ඡාවක් ඉදිරිපත් කරයි. එම්පෙඩොක්ලීස් ‘නීට්‍ෂේගේ බුද්ධිමය ලෝකය තුළ සැලකිය යුතු කාර්‍යභාරයක් ඉටු කළ බව පෙනේ.
References
Chitwood, A . (1986). “The Death of Empedocles”, The American Journal of Philology, 107(2): 175–191. doi:10.2307/294601.
Millerd, C.E.(1980). On the Interpretation of Empedocles.
Primavesi, O.(2008). "Empedocles: Physical and Mythical Divinity". In Curd, Patricia; Graham, Daniel W. (eds.). The Oxford Handbook of Presocratic Philosophy. Oxford University Pres.
Rhee, K.B. (2013). Empedocles' influence on Hippocratic medicine: the problem of hypothesis and human nature. Uisahak. 22(3):879-914. doi: 10.13081/kjmh.2013.22.879.
Wright, M.R. (1981). Empedocles: The Extant Fragments. New Heaven, CT: Yale University Press.
No comments:
Post a Comment
Appreciate your constructive and meaningful comments