තෝසේ කෑමට පාසල් යන වයසේ සිටි අප කැමැත්තක් දැක්වූයෙමු.. අප කුඩා කාලයේදී තෝසේ කෑමට දෙමාපියන් සමග බම්බලපිටියේ සුප්‍රකට ග්‍රීන්ලන්ඩ්ස් වෙත ගියද පාසල් මිතුරන් සමග තෝසේ කෑමට යාමේ බලවත් රුදාවක් තිබුනේය.
වරක් අට වන ශ්‍රේනියේ සිටියදී මමත් , කපිල ජාසිංහත් , මිනී ඔළුවාත්, අමරසිංහ හෙවත් මැස්සාත් උදෑසනක ජය මාවතෙන් පාසල් කට් කොට මරදානේ තෝසේ කඩයකට ගියෙමු. අතරමගදී අපට ආනන්දේ කොල්ලන් දෙදෙනෙකුද හමු වූයෙන් ඔවුනද අප සමග තෝසේ පූජාවට ආහ.
අප තෝසේ කඩයට යාමට ප්‍රථම එකිනෙකා ලඟ තිබෙන මුදල් දමා පොදු අරමුදලක් හදා ගත්තෙමු. ඉන්පසු කඩයට ගොස් තෝසේ සහ අල බෝන්ඞා ඇනවුම් කලෙමු.
සරම කැහැපොට ගසාගෙන සිටි දෙමල වේටර් අපට කෙහෙල් කොළ පිඟන් ලෙස දුන්නේය. අනතුරුව තෝසේ පිඟානක් ගෙන ආවේය. අප තෝසේ බෙදාගත් පසු ඔහු කුඩා යකඩ බාල්දි දෙකකින් වට්ටක්කා , මුරුංගා සහිත එළවලු හොද්දක් සහ සුදු සම්බෝලයක් බෙදුවේය. හොද්ද බෙදුවේ තෝසේ අනමින් සිටි අපගේ අත් උඩටත් වැටෙන ලෙසටය. මේ නිසා අප අත්ලවල් ලෙවකා පිරිසිදු වූයෙමු.
මේ අතරවාරයේ වේටර්වරයා එක් අයෙකුට එක් බැගින් අල බෝන්ඞා ගෙනාවේය. උණු අල බෝන්ඞා රසවත් නිසා අප බෝන්ඞා කෑවේ සෙමෙන් තළුමරමිනි. ඒ සමග තෝසේ සහ හොදි අනමින් කෑවෙමු.
කඩයේ විවිධ තරාතිරම් වල මිනිසුන් සිටිති. තෝසේ කඩයේ රේඩියෝවෙන් නැගෙන දෙමල සිංදුවේ හඞ යටපත් කරවමින් අප සංවාදයේ යෙදුනෙමු.
වේටර් අපට තව කෑම අවශ්‍යද කියා ඇසුවද අපගේ අරමුදල සීමිත නිසා හිතේ හැටියට තෝසේ කෑමට ඉඩක් නොවීය. ඒ නිසා අප බඩ ෆුල් බව කියා බඩවල් වලට තට්ටු දමා වේටරයාව පිටත් කලෙමු. මේ අතරවාරයේ අමරසිංහ හෙවත් මැස්සා හිමීට ලඟ තිබූ කෑම කැබිනෙට්ටුවට අත පොවා උලුඳු වඩයක් ගල් කලේය. එයද අපි සියළුදෙනා සමසේ බෙදාගෙන කෑවෙමු. ඉක්බිති බඩ පිරෙන තෙක් වතුර බීවෙමු. මේ අතර වේටර් බිල ගෙනාවෙන් ඔහුට සත පණහක් ටිප් එකට දී බිල ගෙව්වෙමු.
තෝසේ කා බඩ පිරෙන තෙක් වතුර බී සිටි අප දැන් කරන්නේ කුමක් ද කියා එකිනෙකාගෙන් ඇසුවෙමු. රූබි එකේ ඇඩම්ස් ඔන්ලි චිත්‍රපටයක් තිබෙන බව මැස්සා කීවද චිත්‍රපටය බැලීමට මුදල් නොතිබීමත් අතිරේක පාට ඇඳුම් පොත් මල්ලේ නොතිබීමත් නිසා අප ඒ අදහස ඉවත දැමුවෙමු. ඉන්පසුව පාරේ යන අහිංසක පහේ මිනිසුන්ට උසුළු විසුළු කරමින් ආනන්ද විද්‍යාලය දෙසට ආවෙමු.
ආනන්ද විද්‍යාලය අසලදී ආනන්දේ එක් සිසුවෙකුත් මිනී ඔළුවාත් සැප ගැනීමට අවශ්‍ය යැයි කියා විදුහල අසල ගංජා පොට් එකකට ගියෝය. ඒ නිසා ඉතිරි වූ අප සියළු දෙනා ඩෙන්ටල් එකට යන්න ආවා කියා ආනන්ද විදුහලේ ගේට්ටුවේ සිටි මුරකරුට කියා පාසල තුලට ආවෙමු. ගේට්ටුව අසලදී ආනන්ද විද්‍යාලයේ ආචාර්යවරයෙකු වූ ගලප්පත්ති මහතා අප සෙට් එකට ඔහොම හිටු කියා අපගේ අනන්‍යතා පරීක්ෂාවටත් පොත් බෑග් පරීක්ෂාවටත් ආවේය. මේ නිසා අප කොල්ලන් සලිත වූහ.
මගේ මව ආනන්ද විද්‍යාලයේ වසර දහයකටත් අධික කාලයක් සේවය කොට විදුහල්පතිනියක් ලෙස උසස්වීම් ලබා ගියාය. මම ගලප්පත්ති මහතා ගේ පුතුන් ද දැන සිටියෙමි. මේ නිසා එම සබඳතා යොදාගෙන මේ මර උගුලින් ගැලවිය යුතුයි මා තීරණය කලෙමි. මම සබඳතා හෙලි කොට අප දත් අමාරුව නිසා ආනන්දේ ඩෙන්ටල් එකට ආවා කියා කීවෙමි.
නාලන්දෙන් පර්මිෂන් අරගෙනද ආවේ කියා ගලප්පත්ති සර් මෙවර ඇසූවෙන් අප සියළුමදෙනා එක හඞින් ඔව් සර් කියා කීවෙමු. ඉන්පසු අපව නිදහස් කරන ලදි .
අප බොරුවට ඩෙන්ටල් එක පැත්තට ගාටා ඉන්පසුව ආනන්ද ග්‍රවුන්ඩ් එක වෙත ගොස් ළමුන් ක්‍රිකට් ප්‍රැක්ටිස් කරනව බලා සිටිමින් ඔවුන් දැවී යන විට හූ කීවෙමු.
මේ අතර තෝසේ පාර නිසා අප කීප දෙනෙකුගේ බඩ බුරුල් වී වැසිකිලි අවශ්‍යතාව ආවේය. මේ නිසා අප ආනන්දේ වැසිකිලි සොයා ගියෙමු. එක් ස්ථානයක ඉතා අපිරිසිදු වැසිකිලි තුනක් තිබූ අතර කවුරුන් හෝ හුණු කූරකින් ඒ වැසිකිලි ද්වාර උඩ රම්‍ය සුරම්‍ය සුභ කියා ලියා තිබුනි. මේ නිසා අප සිනාසෙමින් වැසිකිලි ගියෙමු. අණතුරුව ආනන්දේ ගල්ඔය යැයි හඳුන්වන ප්‍රදේශයේ කරක් ගැසුවෙමු. එහිදී හමු වූ තවත් ආනන්ද මිතුරෙකුගෙන් මුදලක් ඉල්ලාගෙන කැන්ටිමට ගොස් කිරි බෝතලයක් මිලට ගෙන බෙදාගෙන බීවෙමු. ඉක්බිතිව පස් මහල් ගොඩනැගිල්ලේ උඩ තට්ටුවට ගොස් ආනන්ද මාවතට වැටෙන සේ තරඟයට කාරා කෙල ගැසුවෙමු.
ගුරුවරුන් එන යන විට අප ආනන්දයේ කීකරු දරුවන් මෙන් හැසුරුනෙමු. මෙසේ කාලය යහමින් කා පාසල ඇරෙන වෙලාවට අපද ආනන්දයි ... ආනන්දයි ආනන්දේ අද ආනන්දයි ගීතය කියා අනෙකුත් සිසුන් අතරට මැදිවී නිවෙස් බලා ගියෙමු.
1983 ජූලි කලබල වලදී මරදානේ තිබූ මේ තෝසේ කඩය ගිණි තියන ලදි. අප මේ කලබල මරදානේ මගී පාලමේ සිට බැලුවෙමු. තෝසේ කඩයට ගිණි තැබීමට විනාඩි කීපයකට පෙර සූට්කේසයක් ගත් ද්‍රවිඩ පුද්ගලයෙක් කඩෙන් එලියට ආ අතර මිනිසුන් විසි පහක් තිහක් පමණ ප්‍රමාණයක් වටවී ඔහුට පහර දුන්හ. එක් අයෙක් ඔහු අත තිබූ සූට්කේසය උදුරාගෙන එයින් මේ අසරණයාට පහර දුන්නේය.
පිරිසකගේ පහර කෑම නිසා ඔහු මිය යන්නට ඇත. ඉන්පසුව අප දුටුවේ තෝසේ කඩයෙන් එන ගිණිජාලා පමණි. 1983 ජාතිවාදී කලබල වලින් පසු කාලයක් යන තෙක් අපට තෝසේ කෑමට මගක් නොවීය. නමුත් කල් යාමේදී තෝසේ කඩ යළිත් පහළ වූයේය.
සාමාන්‍ය පෙළ කරන කාලයේදී මම ටියුෂන් ගියේ වැල්ලවත්ත චැපල් මාවතේ පන්සලකටය. මේ ටියුෂන් පන්සලේ ගණිතය සනත් ලෙනෝරා මහතාත් විද්‍යාව (වර්තමානයේ ව්‍යපාරිකයෙකු) වන ඒ.එස්.පී ලියනගේ මහතාත් ඉගැන්වූහ. පසුව ඒ.එස්.පී ලියනගේ මහතා ව්‍යපාරික කටයුතු නිසා විද්‍යාව ටියුෂන් පන්තිය රන්ජිත් බටුවත්ත මහතාට භාර දුන්නේය.
සෙනසුරාදා උදෑසන සනත් ලෙනෝරා මහතාගේ ගණිත පන්ති යන අප දහවල විවේකයේදී වැල්ලවත්තේ ආනන්ද භවන් වෙත ගොස් තෝසේ කෑවෙමු. අපගේ කොල්ලන් කණ්ඩායමට නාලන්දේ සිසුන් මෙන්ම මහානාමයේ සිසුන් වූ ඉන්දික කැකුණවෙල (රත්නාවලී කැකුණවෙල මහත්මියගේ පුතා) ඔළු බක්කා (නියම නම මතක නැත) සහ අළුත්ගම සිසුවෙකුද විය. නාලන්දේ සිසුන් අතර වර්තමානයේ නාවික හමුදා නිලධාරියෙකු වන සෙනරත් විජේසූරියත් , ගාන්ත ( නියම නම ශාන්ත වූවද අප ඔහුව ඇමතුවේ ගාන්ත කියාය) සිටියා මතකය.
අප ආනන්ද භවන් එකට ගොස් තෝසේ කා ඉන්පසු තිබෙන විද්‍යාව පන්තියට එන්නෙමු. පන්තියේ තෝසේ කෑමට යා නොහැකි කෙල්ලන් අපට ඉරිසියා කරති. මේ කෙල්ලන් අතර සිටි සාන්ත පාවුළු විද්‍යාලයේ රිස්නා හෙවත් බෙරක් අපට වඩාත් ඇනුම්පද කීවාය.
උසස් පෙළ කරන සමයේදී ආනන්ද නාලන්ද බිග් මැච් දිනෙක අප කොල්ලන් සෙට් එක කොඩිද රැගෙන බොරැල්ල බෝ ගස ලඟ තිබූ තෝසේ කඩයකින් කෑවෙමු. තෝසේ කන අතරතුර ලී ටක කරකැවීමත් වරින් වර එන් .ඒ . එල් .ඒ .එන්. ඩී. ඒ ...නාලන්ද කියා කඩය තුලදී මොර දීමත් කලෙමු.
තෝසේ කෑමෙන් පසු එක් කොල්ලෙක් හිමීට මචං දුවමුද කියා ඇසීය. කොල්ලන් ගේ ඉරියව් තේරුම් ගත් කැෂියර් .. " කේවනං බිව්වනං ෂල්ලි ගෙවාන්ඩ.." කීවේය. අප පොදියක් ලෙස බිල ගෙවීමට මෙන් කැෂියර් කූඩුව ලඟට ගොස් එකායි දෙකායි තුනායි කියා බිල නොගෙවා ආනන්ද විද්‍යාලය පැත්තට දිව්වෙමු.
අපගේ දුවන කොල්ලන් නඩය පසුපස බස්නායක දිව ඇවිත් අපට හොඳහැටි බැන්නේය. " ජරා වැඩ කරන්ඩ එපා ඩෝ " කියා බස්නායක අපට නොනවත්වා දෙහි කැපුවේය. පසුව බලන විට බස්සා ගෙදර යන බසය එන තෙක් සිටින්නේ මේ කඩයේය. එම නිසා ඔහු කඩයේ මුදලාලිවද දනියි. මේ නිසා බස්සා අපට දොස් පවරමින් තෝසේ බිල තමන් විසින් ගෙවන බව කීවේය. අප බස්නායකට ටැංකිව් කියමින් යලි පී සරා ස්ටේඩියමට ගොස් රොශාන් මහානාම ප්‍රසන්න අමරසිංහගේ වාර්තාව කඩනවා බැළුවෙමු.
වෛද්‍ය රුවන් එම් ජයතුංග