Friday, June 16, 2017

රබර් පටි යුද්දය

 


රබර් පටි යුද්දය ක්‍රි.ව 1979, 1980 ,81 , 82 යන වසරවල් වල තදින් පැවතියේය​. කොල්ලෝ රබර් පටි සහ කොල නවා තනා ගත් උණ්ඩ වලින් සාක්කු පුරවා ගෙන පාසල් ආහ​. යුද්දය දරුණුවට යන විටදී අප අහිංසක කොල්ලන් ගේ සූට්කේස් බලෙන් ගෙන ඒවා ඩෙස්ක් මත තබා ආරක්‍ෂක තප්ප තනා ගෙන ප්‍රතිවාදීන්ට විද්දෙමු. රබර් පටියෙන් මිදී යන කොල උණ්ඩ ප්‍රතිවාදීන් ගේ ගෙල ප්‍රදේශයේ හෝ පපුවේ වදින විට ඔවුන් " අම්මෝ " ආයි " ඌයි " කියා හඞ නගති. තවද යුද්දය යන විට අහිංසක සිවිල් ජනතාවටද හානි වෙති. මේවා කොලැටරල් ඩැමේජ් වෙයි. වරක් යුද්දයකදී කිසිදු පාර්ශවයක් නොගෙන පොතක් කියවමින් සිටි මංගල දිසානායකගේ බෙල්ලට තදින් උණ්ඩයක් වැදුනු හෙයින් ඔහුගේ බෙල්ල රතු විය​. 

යුද්දයෙන් පසුව ගරිල්ලා යුද්දය ඇරඹේ. වරක් හතේ පන්තියේදී හිල්ඩා ගුණවර්ධන ටීච උගන්වන විට මම රබර් පටි කැටපෝලයෙන් නයනප්‍රිය රත්නායකගේ පිටට වෙඩි තැබුවෙමි. නයනප්‍රිය එක වරටම ඌයියා කියා පිට අත ගෑවේය​. මම වහාම ඉංග්‍රීසි අච්චු පොත පෙරලා ගත්තෙමි.  හිල්ඩා ගුණවර්ධන ටීච හිටි හැටියේම පන්තියේ මැද කෑ ගසන්නේ කවරෙක් ද කියා බැළුවාය​. 

නයනප්‍රිය මහත ලමයෙකි. නැදිමාල ප්‍රදේශයේ සිට ආ ඔහුගේ පියා සතුව ටැක්සි කීපයක් විය. පාසල අවසන් වූ විට නයනප්‍රිය තමන් ගේ ටැක්සියක් එන තෙක් ප්‍රභාත් කඩය අසල සිටියි. එවිට මම දුර සිට ස්නයිපර් වරයෙකු ලෙස නයනප්‍රියට විදිමි. නයනප්‍රිය මහත නිසා මා පසුපස එලවාගෙන ඒමට අපහසුය​. " උඹට හෙට පන්තියේදී දෙන්නං"  කියා කෑ ගැසුවද පසුවදා පාසල් එන විට ඔහුගේ කෝපය නිවී ඇත​. 

මම ප්‍රභාත් කඩයෙන් ගනකම් තිබෙන දිග රබර් පටි කීපයක් එකතු කොට විශේෂ අවියක් සෑදුවෙමි. තවද මේ අවියට ගත්තේ සාමාන්‍ය අභ්‍යාස පොත් වලින් කඩා ගත් පිටු නොව පරණ මොනිටර් එක්සසයිස් පොත් වල පිට කවරය​. ඒවා වලින් තනන උණ්ඩ පාසිලාන් මෝටාර් එක මෙනි. වැදුනොත් එඩ්‍රස් නැත​. 

වරක් පන්තිය අවසන් වී තම පොත් මිටිය අතින් ගෙන යමින් සිටි කස්තුරිආරච්චිගේ කලවේ පිටුපස පෙදෙසට ( ඔහු ඇඳ සිටියේ කොට කලිසමකි) මම පාසිලාන් උණ්ඩයක් යැව්වෙමි. කස්තුරියා " අම්මෝ කියා පොත් මිටිය බිම දමා කලවේ පිටුපස පෙදෙස තදින් අතගා අණතුරුව ගොදුරට පනින කොටියෙකු සේ ම දෙසට පැන්නේය​. හුරා රන් එක දුන් මා නැවතුනේ මවුන්ට් මේරි ක්‍රීඩා පිටිය අසලය​. ඉන් පසු දින කීපයක් යන තෙක් මම කස්තුරියාට මුහුණ දුන්නේ නැත​. 

වරක් මමත් ප්‍රියදර්ශන අබේගුණවර්ධනත් අතර වූ ද්වන්ධ රබර් පටි යුද්දයේදී මගේ උණ්ඩයක් බින්ජූරා හෙවත් චන්දිකගේ පිටේ වැදුනේය​. චන්දිකට ගොතයක් තිබේ. ඔහු මා දෙසට හැරී බැනීමට තැත් කලද මළකෑ මෝටරයක් මෙන් ක්‍රියාත්මක වන විට නැවති නැවතී වැඩ කරන්නාක් සේ ඔහුගේ මුවෙන් වචන පිට නොවේ. මේ නිසා ඔහුගේ කෝපය දෙගුන තෙගුන විය​. මා සමග රබර් පටි යුද්දයේ නියැලුනු ප්‍රියදර්ශන අබේගුණවර්ධන ඊලාම් යුද්දයේදී තම සියමා චෙට්ටි ගුවන් යානය ප්‍රහාරයකට ලක්ව කඩා වැටී මරුමුවට පත් විය​. 

අට වසරේ අප සිටියේ තට්ටු පහක ගොඩනැගිල්ලකය​. අපගේ පන්තිය උඩම තට්ටුවේ කොනේ පිහිටා තිබුනේය​. පාසල අවසන් වූ විට මමත් , සනත් තිසේරාත් , ලාල් රූපතුංගත් , ලියනපතිරණත් උඩ තට්ටුවේ සිට පඩි පෙලෙන් පහල බසින කොල්ලන්ට විදින්නෙමු. මෙසේ විදීමේදී සුදු කමිසයක් සහ කලිසමක් ඇඳ පහත බසින යාපා සර්ව කොල්ලෙකු යැයි  වරදවා සිතා ගෙන ලියනපතිරණ එදෙසට විද්දේය​. වාසනාවට මෙන් එය යාපා සර් ගේ කන අසලින් ගියා මිස හානියක් නොකලේය​. 

වරක් බිග් මැච් කිට්ටු දිනයකදී උදෑසනක අප පන්තියෙන් එලියට බැස ඒ මේ අත රබර් පටි විද්දෙමු. කොල්ලෝ මෙසේ ඝෝෂා කරමින් සිටින විට වේවැලක් අතින් ගෙන අන්වර් හුසේන් සර් ආවේය​. අප පණ එපා කියා පන්තියට දිව්වෙමු.  මම වහාම සනත් තිසේරාගේ පුටුවේ වාඩිවී ඔහුගේ අභ්‍යාස පොතක් ඇරගෙන එහි කුරුටුගාමින් සිටියෙමි. අන්වර් හුසේන් සර්  අපගේ පන්තියට ආවේය​. ඔහු උසැති ගුරුවරයෙකි. ඔහු අත තිබෙන වේවැල දිගය​. 

මම සනත් තිසේරාගේ ස්ථානයේ වාඩිවී සිටි නිසා සනත් තිසේරාට වාඩිවීමට තැනක් නොමැතිව ඔහු පන්තියේ ඒ මේ අත දුවමින් සිටි අතර අන්වර් හුසේන් මහතා ඔහුව මුලින්ම අත් අඩංගුවට ගත්තේය​. ඉන් පසු නාලන්දේ කොඩියක් පිටේ බැඳ ගෙන සිටි සිදත් සුරේන්ද්‍රවද අල්ලා ගත්තේය​. මොවුන් දෙදෙනාට අන්වර් හුසේන් මහතා ගෙන් වටලප්පම් ලැබුනු අතර එම උද්වේගජනක දර්ශනය දෙස අප ඇසිපිය නොහෙලා බලා සිටියෙමු. 

දහය පන්තිය තිබුනේ ජයවර්ධන පුර නම් ගොඩනැගිල්ලේය​. මේ පන්තියේද රබර් පටි යුද්දය තිබූ අතර වරක් මා තැබූ උණ්ඩයක් ජනක පෙරේරාගේ පිටේ වැදී ඔහු උණ්ඩය සාක්‍ෂියක් ලෙස ගෙන අංශ භාර ජයවර්ධන මහතා වෙත යාමට සැරසුනේය​. මම පසුදින ඔහුට ටින් ටින් ඉන් ටිබෙට් පොත ගෙන එන බවට පොරොන්දු වී ඔහුව නවතා ගත්තෙමි. මේ හේතුවෙන් රබර් පටි දාමරිකයෝ විද්දේ කොකටුවා, ඩයස් , මීයා , අරෝෂ ගුණසේකර වැනි ගුරුවරුන්ට පැමිණිලි නොකරන කොල්ලන්ටය​. 

මේ පන්තියේදී සකලසූරිය තවත් සෙල්ලමක් සොයා ගත්තේය​. එනම් අභ්‍යාස පොතකින් කොලයක් කඩා එය රොකට් එකක් මෙන් නවා එය රබර් පටියට සම්බන්ධ කොට විදීමයි එවිට එය මීටර් 20 - 30 දුරට පියාඹයි. මේ සොයා ගැනීමෙන් අනතුරුව කොල්ලෝ එපා එපා කියද්දී කොකටුවාගේ සමාජ අධ්‍යනය පොතෙන් පිටු කඩාගෙන රොකට් තනා තෙවන මහලේ සිට පහත පාරට විදින්නට පටන් ගත්හ​. මේවා සමහරක් කාක්කන් කියාද හැඳින්වූහ​. කොකටුවාගේ සමාජ අධ්‍යනය පොත අවසන් වීමෙන් පසු කොල්ලෝ තවත් අහිංසකයෙකු වූ ආතාගේ බුද්ධාගම පොතේ කොල වලට වැඩ දුන්හ​. වර්තමානයේ ආතා පී. එච්. අයි කෙනෙකි. ඔහුව යලි හමු වුවහොත් ආතාට මම අභ්‍යාස පොත් පාර්සලයක්ම තෑගි දෙමි. 

නිතරම අපගේ පන්තියෙන් රොකට් ගුවන් ගත  වීම නිසා ශිෂ්‍ය  නායකයෝ අපගේ පන්තියේ ජනෙල් දෙස විපරම් සහිතව බැලූහ​.  නමුත් සූක්‍ෂමව කොල්ලන් ගොඩනැගිල්ල ඉදිරියෙන් යන සිසුන් , මුරකරු ගුණපාල , කාර්‍යාල කාර්‍ය සහායක ලක්‍ෂ්මන් , නිතරම හාස්‍ය කතා කියන නිලවීර සර් ආදීන් ඉලක්ක කරගෙන ඔවුන්ට රොකට් ගැසූහ​. 

වරක් සිසුන් පිරිසක් පහල සිටි අතර මම රොකට් එකක් එදෙසට විද්දෙමි. මේ අවස්ථාවේදී ජයවර්ධන සරුත් එතන සිටි අතර එම රොකටය ජයවර්ධන සර් ගේ මුහුණ අසලින් පියෑඹීය​. වායුගති විද්‍යාව හොඳින් දත් ජයවර්ධන සර් රොකට් එක ආ දිශාව , එහි වේගය , පොලවට ලම්භක වූ කෝණය ආදිය ගැන කැල්කියුලේට් කොට වේවැල ගෙන අපගේ පන්තියට ආවේය​. 

මේ  අවදානම් අවස්ථාව අවබෝධ කරගත් මා වහාම මගේ මේසයේ වාඩිවී නිශ්ශබ්දව බුද්ධාගම අච්චු පොත කියවමින් සිටියෙමි. වෙන්නට යන අණතුර ගැන හාංකවිසියක් වත් නොදත් කොල්ලෝ පන්තියේ ඝෝෂා කරමින් සිටියහ​. 

ජයවර්ධන සර් අපගේ පන්තියට පැමින රොකට් හදමින් සිටි මීයා හෙවත් රජිත් කුමාරසිරිව අල්ලා ගත්තේය​. එසේම පන්තියට සේවයක් ලෙස කළු ලෑල්ල මකමින් සිටි කොකටුවා කළු ලෑල්ලේ කුරුටු ගානවා කියා සිතා කොකටුවාගේ පස්සා පැත්තට වේවැල් පාරක් දී වාඩිවෙන්නට කීවේය​. කොකටුවා පස්ස අතගාමින් වාඩි විය​. 

මීයා හෙවත් රජිත් කුමාරසිරි දැන් බඩුත් සමග අසු වෙලාය​. ජයවර්ධන සර් මීයා ගේ සාක්කුද චෙක් කලේය​. එකෙහින්ම ඔහුගේ සාක්කුවේ තිබූ ලිපියක් ජයවර්ධන සර් අතට පත් විය​. අපි සියළු දෙනම සිතුවේ මෙය ලව් ලෙටර් එකක් කියාය​. එහෙත් පසුව හෙලි වූයේ එය තොරණක විස්තර පවසන කුණුහරප  කවියක් බවය​. මීයාගේ සාක්කුවෙන් මෙම කඩදාසිය ගෙන කියවන ජයවර්ධන සර් ගේ මුහුනේ සිදුවන වෙනස්කම් අප නිරීක්‍ෂණය කලෙමු. අපි එදා සිතුවේ මීයාට හොඳ පෝරියල් එකක් ලැබේ කියාය​. එහෙත් ජයවර්ධන සර් මීයාට දඞුවම් කලේ නැත. ඔහුට දෙමාපියන් සමග පාසලට එන ලෙස නියම කරන ලදි. 


 වෛද්‍ය රුවන් එම් ජයතුංග 

16 comments:

  1. බ්ලොග්කරුවන් වන පැරා , රසික සූරිය ආරච්චි, අජිත් ධර්මා යන පුද්ගලයන් ගේ ළමුන් සම්බන්ධ කරගෙන සාරසා හෙවත් කුමාර කළුආරච්චි ඉතා පහත් පෙලේ කුණුහරප ඔහුගේ බ්ලොගයේ ලියන්නේ ඇයි ? තවද කාන්තා බ්ලොග් ලියන්නියක් වන අරුණි ෂැපීරෝ ගැනත් අසභ්‍ය කතා ලියනවා. මේ සඳහා ලංකාවේ නීති නැද්ද​? මේවා නවත්තන්න නීතියට බැරිද ? ඔහු දන්ත වෛද්‍යවරයෙක් සෙන්ට්‍රල් රෝහලෙ පුද්ගලිකව වැඩ කරන​. ලංකාවේ දන්ත වෛද්‍ය සභාවට මොහු ගැන දැනුම් දීමට නොහැකිද ?

    ReplyDelete
    Replies
    1. පුද්ගලයන් ගේ ළමුන් සම්බන්ධ කරගෙන කුණු කතා කීම ඉතා පහත් ගතියකි

      Delete
  2. මරු සෙල්ලම නේද ඕක? එක සැරයක් අපි ගමේ යාළුවොත් එක්ක ඕක කළා. කාඩ්බෝඩ්, කඩදාසි උණ්ඩ ඉවර වෙද්දී ගන්නේ වයර් කෑලි, කම්බි කෑලි එහෙම කම්බි කෑල්ලක් නවල විදපු එකක් වැදිච්ච යාලුවෙක් ඉන්නවා. හරියටම ඇහැට පොඩ්ඩක් යටින් U අකුරේ හැඩේට කම්බියක් ගිහින් වැදුනා. මම හිතන්නේ ඒ වැදිච්ච පාර තාම ඇති. ගොඩාක් කල් යනකම් තිබුනා. ඇහැ බේරුනේ නුලෙන්. එදායින් පස්සේ අපි කවුරුත් කම්බි, වයර් පාවිච්චි කලේ නෑ.

    [එනම් අභ්‍යාස පොතකින් කොලයක් කඩා එය රොකට් එකක් මෙන් නවා එය රබර් පටියට සම්බන්ධ කොට විදීමයි එවිට එය මීටර් 20 - 30 දුරට පියාඹයි]
    මේ වැඩේ අපි කලේ රබර් පටි ගොඩක් එකට බැඳලා දිගට හදාගෙන. ඊතලයක් වගේ පොඩි කට්ට දෙකක් කපලා හදාගෙන යවන්න පුළුවන්. මරු වැඩේ, පස්සේ ටිකක් ලොකු වුනාම රබර් පටි නැතුව රොකට් යවන්න පුරුදු වුණා උසස් පෙළ ටියුෂන් පන්ති වල හෙහ් හෙහ්...


    ReplyDelete
    Replies
    1. මහත්මයා දියතලාවේ කඳුරුගමුවේද? බණ්ඩාරවෙල ධර්මපාලේද පාසල් ගියේ?

      Delete
    2. කම්බි කෑල්ලක් නවල විදපු එකක් ///// අම්මෝ කිරිමෙල්

      Delete
  3. උළු හෙල්ලෙන්න කෑ ගගහා ඉන්න පන්තියකට ගුරුවරයෙක් එනකොට ඔක්කොමල්ලා පොත් කියව කියව, මීක් ශබ්දයක්වත් නැතුව ඉන්න දර්ශණය දැක්කම ගුරුවරුන්ට හිත යටින් හිනා යනවා ඇති නේද ?

    රබර් පටි සෙල්ලම අපේ කාලයෙත් ජනප්‍රිය එකක්...අපි තව හැදුවා ඔරෙක්ස් පෑනට බාලොලියා දාලා වෙඩි තියන්න පුළුවන් ( උණ බට තුවක්කුවේම විකාශණයක්) එකක්.. ඒකෙන් කාටවත් රිදෙන්න තියන්න පුලුවන් වුනාද කියලනම් මතක නෑ

    ReplyDelete
    Replies
    1. ඔරෙක්ස් පෑනට බාලොලියා දාලා වෙඩි තියන්න පුළුවන්///// we missed that technology

      Delete
  4. මහත රබර් පටි වලට කාඩ්බෝඩ් උණ්ඩ දාල විද්දාම පාර හිටිනවා සමහරුන්ගෙ දවසක් විතර.ඕක තනිකරම යුද්ධයක්. අන්තිමට ප්‍රිෆෙක්ට්ස් ල දාල බෑග් ,සාක්කු චෙක් කරන්න පටන් ගත්තා හැමදාම.
    සිරිංජර් වල කටුව හයිකරන තැන සබන් කෑල්ලක ඔබල ගත්තම ඒකත් 'පොහ්' ගාල සද්දයක් එක්ක දුරට විදෙනවා.උණ්ඩෙ වදින තැන ඇලෙනවා.ඒකත් හොඳ ආයුධයක්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. සිරිංජර් වල කටුව හයිකරන තැන සබන් කෑල්ලක ඔබල ගත්තම ඒකත් 'පොහ්' ගාල සද්දයක් එක්ක දුරට විදෙනවා.////// මාර ඒවනෙ කොල්ලො හොයා ගන්නේ. පුදුමයි කක්ක වල ඔබලා විද්දෙ නැති එක

      Delete
  5. මරු පෝස්ට් එක ඩොක්ට....කැම්පස් හිටියට මොකද ඉස්කෝලෙ කාලෙ ආයෙ මතක් වුණා....තෑන්ක්ස්...

    ReplyDelete
  6. අපිත් ඔය සෙල්ලම් ඔක්කොම කරලා තියෙනවා...
    සමහර ඒවා වැඩිදියුණු කලත් එක්ක...
    අපුරු මතකයක් ඇවිස්සුවේ, පුළුවන් උනොත් ලිපියක් ලියන්න හිතාගත්තා...

    ReplyDelete
  7. Superb post doc, thanks a lot for bringing us back to the golden memories of the school days. Well done. We also did most of these mischievous stuff during those days. Those memories, �� unforgettable experience for the whole life. How dare we are? ������

    ReplyDelete
  8. මේ බලන්න.

    http://www.lankadeepa.lk/sunday/rasawitha/%E0%B6%85%E0%B6%B4%E0%B7%92-%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9C%E0%B7%90%E0%B7%84%E0%B7%94%E0%B7%80%E0%B7%9A-%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92-%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8F-%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A-%E0%B6%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%A7-%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD-%E0%B6%87%E0%B6%AB-%E0%B6%9C%E0%B7%84%E0%B6%BD%E0%B7%8F/57-513793

    මේ මිනී ආයේ විකුනන්න කට්ටියක් නැවත බලනවා. එක ගොල්ලෙක් නම් මේවා කරන්නේ පත්තරේ විකුණා ගන්න. තව කට්ටියක් කොල්ලෝ කෙල්ලෝ ටිකක මරාගෙන බලයට එන්න පුලුවන්ද බලන්න.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook