Tuesday, November 4, 2025

විල්ෆ්‍රඩ් රංජිත් පීරිස් හෙවත් කෑගල්ලේ පීරිස්





2009 වසරේදී 71   කැරැල්ලේ අත්දැකීම් පිළිබඳව විල්ෆ්‍රඩ් රංජිත් පීරිස් හෙවත් කෑගල්ලේ පීරිස්  මා හට සම්මුඛ සාකච්ඡාවක් දුන්නේය​. එහිදී ඔහු මෙසේ පවසයි. ............................" බෝගම්බර සිර ගෙදර සිට මාව අම්පාරේ දඩයම්තලාව ප්‍රදේශයේ අත්අඩංගුවට පත් අවුරුදු 18 අඩු කැරලිකරුවන් සඳහා පවත්වාගෙන ගිය සිර කඳවුරකට ගෙන ගියා. මෙහි පහසුකම් පවා හොඳයි. ක්‍රීඩා කිරීමට පවා ඉඩ පහසුකම් සපයා තිබුනා. 


මේ කඳවුරේ සිටියදි මම පළා යාම සඳහා උපක්‍රම අධ්‍යයන කළා. මගෙ සහායට ජයතිලක හා කරුණාදාස එකතු වීම වඩාත් පහසුවක් වූ බව කිව යුතුයි. ජයතිලක කැරැල්ල අවස්ථාවේ දී පබ්ලිස් නම් සිවිල් පුද්ගලයා ඝාතනය කිරීමට හවුල් නිසා ඔහුට මෙම කඳවුරින් පැන යාමට තිබුනෙ විශාල උවමනාවක්. එම නිසා එක් රාත්‍රියක අපි තිදෙනා සිරකඳවුරේ මරුවැල පොටක් ආසන්නට ගියහොත් වෙඩි තැබීමට බලය දී තිඛෙන කම්බි හරහා ගොස් කඳවුර අසල වන ලැහැබේ සැඟවී සිටියා.


මුලූ දහවල හා හවස් වරුවේ අපි සැඟවී සිටියේ ඒ කුඩා වන රොදේ. හවස අඳුර සමග අපි ගම හරහා ගමන් කළා. ගැමියන් අප ලූහුබැඳ ඒම නිසා කරුණාදාස අපේ කන්ඩායමෙන් මඟ හැරීම මට විශාල ගැටළුවක් උනේ කරුණාදාසට බාහිර සබඳතා ගනණාවක්ම තිබ්බ නිසයි.


අන්තිමට මම හා ජයතිලක අම්පාරේ සිට ධාවනය වූ ගෝනාගොල්ල බස් රථයට නැග්ගා. උහන නගරයේ පිහිටි මගේ නැන්දා කෙනෙකුගේ ගෙදරකට යාම තමයි මගේ අදහස වුයේ නැන්දාගෙන් මග වියදමට මුදල් ලබා ගත් මා ජයතිලක සමග මිණිපේ ඔහුගේ ඥාතියෙකුගේ ගෙදර ගියා. එහි දවසක් පමණ ගත කල අපි යළි මහනුවරට පැමිනියේ කරුණාදාසගේ ගෙදරට යාමටයි.

 

ගම්මානයේදි අපි දෙන්නාගෙන් දුරස් වූ කරුණාදාස වෙනත් පාරකින් පැන ගොස් තිබ්බා. ඔහුව හමුවූ පසු මම යළි දෙමව්පියන් බැලීිමට ගෙදර ගියා. මා දැකීමෙන් දෙමාපියන් සතුටු උනත් මොහොතකදි ඒ සතුට භීතියක් බවට පරිවර්තනය උනේ මා පසු පස පොලිසිය හා හමුදාව ලූහු බදින නිසා. එබැවින් මම වැඩි වෙලාවක් ගෙදර ගත කලේ නැහැ. සමාජයෙන් හා තමන් හදා වඩාගත් දෙමාපියන්ගෙන් ප්‍රතික්ෂේප වීමට බල කෙරුණු මම තීරණය කළා කාගම අවසන් නොකරපු ඉලක්කය, ඒ විල්පත්තු ගමනට යළි යන්නට. මෙවර මම එහි යන්නේ නිරායුධ වෙස් වලාගත් කැරලිකරුවකු ලෙස.


මම හා ජයතිලක පොල්ගහවෙලට ගියේ ගනේවත්තට යාමටයි. ඒත් අපිට වැඩි දුරක් යන්නට ලැබුනේ නැහැ පොල්ගහවෙල පොලිසිය අපිව අත්අඩංගුවට ගත්තා. මෙවර අපිව දැම්මේ මඩකලපු බන්ධනාගාරයට. ඒ බන්ධනාගාරයේ ෙජ්ලර්වරයෙක් හිටියා සාතන් වගේ ඔහු පරපීඩකයෙක් පහර දෙන විට සිරකරුවන් නඟන ලතෝනිය ඇසීමෙන් ඔහු විශාල වින්දනයක් ලැබුවා. අපිව මඩකලපුව බන්ධනාගාරේ රඳවා තිබුනෙ මාසයක් වගේ කාලයක්. මේ කාලය තුලදි මේ පරපීඩක නිලධාරියා අපට හිතේ හැටියට පහර දුන්නා. වරක් ඔහු අපේ ගුද මාර්ග වලට බටන් පොළු එබුව නිසා දින ගණනක් නොකඩවා රුධිර වහනය උනා. අපි වැසිකිලි ගියේ වේදනාවෙන් මිරිකෙමින්.






No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook