වෛද්‍ය රුවන් එම් ජයතුංග
දාර්ශනික ආතර් ෂොපන්හෝවර් භාවිතා කළ "ජීවත්වීමට ඇති කැමැත්ත (Wille zum Leben / will to live) පිලිබඳ සංකල්පය වෙනුවට ෆ්‍රෙඩ්‍රික් නීට්‍ෂේ බලයට ඇති කැමැත්ත පිළිබඳ සංකල්පය හඳුන්වා දුන්නේය. බලයට ඇති කැමැත්ත "will to power" මිනිසුන්ගේ ප්‍රධාන ගාමක බලවේගය ලෙස නීට්‍ෂේ දුටුවේය. ඔහු බලයට ඇති කැමැත්ත පිළිබඳ සංකල්පය මනෝවිද්‍යාත්මක, ජීව විද්‍යාත්මක සහ පාරභෞතික මූලධර්මයක් ලෙස විවිධ ලෙස අර්ථකථනය කළේය.
බලයට ඇති කැමැත්ත යනු ජය ගැනීමට දරණ අඛණ්ඩ උත්සාහයයි. එයින් නීට්‍ෂේ අදහස් කරන්නේ තමාට බාධා කරන බාධක ජය ගැනීම සහ තමාව ජය ගැනීමයි. බලය යනු තමන්ගේම ජීවිතයේ ස්වාමියා වීමට ඇති හැකියාවයි. ඔහු කෲරත්වය සඳහා වූ ආශාව බලය පිළිබඳ හැඟීමේ සතුට සමඟද සම්බන්ධ කරයි. නීට්‍ෂේගේ විවේචනාත්මක විශ්ලේෂණය අනුව "බලය පිළිබඳ ආශාව" යන සංකල්පය මිනිස් ජීවිතය පිළිබඳ විශේෂිත අර්ථකථනයක් නියෝජනය කරයි. එසේම ඔහු මානව වර්ගයාට බලය පිලිබඳ පැරණි හර පද්ධතියෙන් මිදීමට හැකි බව තහවුරු කරයි.
මාර්ටින් හෛඩගර් පවසන පරිදි නීට්ෂේගේ ‘බලයට ඇති කැමැත්ත’ පාරභෞතික මූලධර්මයකි. බලයට ඇති කැමැත්ත මනෝ විද්‍යාත්මක මූලධර්මයක් ලෙස අවධාරණය කර ඇත්තේ නීට්‍ෂේ ය. පසුකාලීනව මනෝවිද්‍යාඥ ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර් බලයට ඇති කැමැත්ත ඔහුගේ පුද්ගල මනෝවිද්‍යාවට ඇතුළත් කළේය. නීට්‍ෂේ කියා සිටින්නේ " the "world is the will to power—and nothing"
නීට්‍ෂේ ප්‍රංශ-ප්‍රෂියානු යුද්ධය සමයේදී වෛද්‍ය නියාමකයෙකු ලෙස සේවය කළේය. මේ අත්දැකීම් හරහා ඔහු යුද්ධයේ බිහිසුණු බව මෙන්ම මිනිසා තුල ඇති යුද්ධය සහ බලය කෙරෙහි වූ ආශාව හඳුනා ගත්තේය.
නීට්‍ෂේ "බලයට ඇති කැමැත්ත" ( Will to Power ) පිළිබඳ විශ්වීය න්‍යායක් ඉදිරිපත් කළේය. ජීවත් වීමට ඇති කැමැත්ත ආධිපත්‍යය දැරීමට ඇති කැමැත්ත බවට පත්වන බව ඔහු කීවේය. නීට්‍ෂේ විශ්වාස කළේ මිනිසුන්ට ආවේණික වටිනාකම් නොමැති බවයි. නීට්‍ෂේට අනුව මිනිසුන් යනු කොල්ලකාරී සතුන් ය. ඔහු මෙසේ කියයි; "ඉතිහාසය මෙතරම් ප්‍රචණ්ඩ කර ඇත්තේ මත ගැටුමක් නොව, මතවල විශ්වාස ගැටුමයි, එනම් විශ්වාසයන්ගේ ගැටුමයි".
නීට්‍ෂේ විසින් පෙන්වා දුන් බලයට ඇති කැමැත්ත හෙවත් will to power සංකල්පය ඔහුගේ Beyond Good and Evil කෘතිය හරහා පැහැදිලි කරයි. එසේම නීට්ෂේගේ මුල් කෘති "Human, All Too Human (1878)", "The Dawn (1881)" සහ "The Gay Science (1882)", "බලය සඳහා ඇති ආශාව" පිළිබඳ ඔහුගේ පළමු මනෝවිද්‍යාත්මක අවබෝධය සපයයි. Thus Spoke Zarathustra කෘතියේ සරතුස්ට්‍රාට ඉදිරිපත් කිරීමට ඇති ප්‍රධාන ඉගැන්වීම් තුනක් අතරින් බලයට ඇති කැමැත්ත ප්‍රධාන වෙයි. (අනෙක් දෙක වන්නේ Ubermensch- සුපිරි මිනිසා සහ සදාකාලික පුනරාවර්තනයයි). නීට්‍ෂේ මූලික වශයෙන් සැලකිලිමත් වූයේ අන් අය කෙරෙහි නොව තමා කෙරෙහි අණ කිරීම හෝ බලය යෙදවීමයි. බලයට ඇති කැමැත්ත යනු බාධාවන් සමඟ ගැටීමේදී ප්‍රකාශ වන අඛණ්ඩ පැවැත්මේ සහ උත්සාහයේ ගතික බලවේගයයි. එය ස්වයං අවබෝධයේ ප්‍රකාශනයකි.
නීට්ෂේ බලයට ඇති කැමැත්ත වඩාත් සංක්ෂිප්තව Antichrist හි සාරාංශ කරයි. බලය සියලු පුද්ගලයන් තුළ දක්නට ලැබෙන, විවිධ අරමුණු කරා යොමු කළ හැකි අතාර්කික බලවේගයක් ලෙස ඔහු දකියි. මෙම කොස්මික් කැමැත්ත ස්වභාවධර්මය පුරා දැකිය හැකි බව ඔහු කියයි.
නීට්‍ෂේ "බලයට ඇති කැමැත්ත" විස්තර කරන්නේ "බලය ප්‍රසාරණය කිරීම" සඳහා ඇති වන සහජ බුද්ධිය ලෙසයි. නීට්ෂේ ජීවිතය තේරුම් ගන්නේ බලය සුරැකීමට සහ වැඩි දියුණු කිරීමට ඇති ආශාව අනුවය. බලයට ඇති කැමැත්ත ජීවිතයේ සාරයයි. ඔහු මෙසේ කීවේය; "මගේ අදහස නම්, සෑම නිශ්චිත ශරීරයක්ම සියලු අවකාශයේ ප්‍රධානියා වීමට සහ එහි බලය (බලයට එහි කැමැත්ත) දිගු කිරීමට සහ එහි දිගුවට ප්‍රතිරෝධය දක්වන සියල්ල පසුපසට තල්ලු කිරීමට උත්සාහ කරන බවයි".
ඇතැමුන් තර්ක කරන්නේ නීට්‍ෂේ ප්‍රචණ්ඩත්වය "සමාජ හා දේශපාලන ලෝකයට ආවේණික වූවක් ලෙස සලකන බවත්, එය ඉවත් කළ නොහැකි ස්ථාවරයක් ලෙස සලකන බවත් ය. ඇතැමුන් බලය පිලිබඳ නීට්‍ෂේ ගේ ප්‍රකාශයට ජීව විද්‍යාත්මක අර්ථකථනයක් දී එය යම් ආකාරයක සමාජ ඩාවින්වාදයකට සමාන කරති. ඩාවින් පැවැත්ම සඳහා වන අරගලයේදී ස්වභාවික වරණය හේතුවෙන් විශේෂ පරිණාමය වන ආකාරය පැහැදිලි කරයි. මේ අනුව ඩාවින් ජීවත් වීමට කැමැත්තක් ඉදිරිපත් නොකරයි. නීට්‍ෂේ බලය දකින්නේ නිර්මාණාත්මක, අලංකාර සහ ජීවය තහවුරු කරන බලවේගයක් ලෙසටය. පරිණාමය තුළ කැමැත්ත කිසිඳු කාර්‍යභාරයක් ඉටු නොකරයි. ස්වාභාවික වරණය, එනම් පරිසරය මගින් ඇතිවන පීඩන මාලාවක් පරිණාමය ක්‍රියා කරන ආකාරය සඳහා යාන්ත්‍රණය වේ.
නීට්‍ෂේ තර්ක කරන්නේ අපි අනෙක් මිනිසුන්ට ප්‍රතිලාභ ලබා දීමෙන් සහ ඔවුන්ට රිදවීමෙන් ඔවුන් කෙරෙහි බලය ක්‍රියාත්මක කරන බවයි. බලයට ඇති කැමැත්ත හොඳ හෝ නරක නැත. එය සෑම කෙනෙකු තුළම දක්නට ලැබෙන මූලික ආවේගයකි. එය විවිධ ආකාරවලින් ප්‍රකාශ වෙයි. ඔහු බලය ලුහුබැඳීම වෙනුවෙන් පෙනී සිටින්නේ නැත. ඒ වෙනුවට, බලයට ඇති කැමැත්ත නිර්මාණාත්මක ක්‍රියාකාරකම් බවට පත් කිරීම ඔහු ප්‍රශංසා කරයි. බලයට ඇති කැමැත්ත විශ්වය පුරා ක්‍රියාත්මක වන මූලික මූලධර්මයක් විය හැකිය යන අදහස නීට්‍ෂේ විශ්වාස කලේය.
මානව ස්වභාවය සම්බන්ධයෙන්, ෆ්‍රෙඩ්‍රික් නීට්‍ෂේ අවධාරනය කරන්නේ මිනිසා සංක්‍රාන්ති, අවසාන, සංවර්ධන අවධියක් නොවන බවයි. මිනිසා තුළ ඇති විශිෂ්ටත්වය නම් ඔහු පාලමක් මිස ඉලක්කයක් නොවේ. ඔහු මෙසේ කියයි ;" life itself is Will to Power" එනම් ජීවිතය යනු බලයට ඇති කැමැත්තයි. නීට්‍ෂේ විශ්ව සදාචාර සංග්‍රහයක පදනම සහ සීමාව ලෙස බලයට ඇති කැමැත්ත භාවිතා නොකරයි.
නීට්‍ෂේට අනුව ලෝකය කිසි විටෙක ස්ථාවර තත්ත්වයක නොපවතියි. ලෝකය පුරා ප්‍රතිරෝධයන් සහ ආතති දක්නට ඇත. මූලික වශයෙන් ප්‍රතිරෝධයන් සහ ආතති ගැටුම් පිලිබඳව ඔහු අවධානය යොමු කරයි. බලයට ඇති කැමැත්ත යනු පාරභෞතික එකමුතුවක් විශේෂිත ස්වරූපයන් ප්‍රකාශ කිරීමක් නොවන බව ඔහු කියයි. සතුට මගින් ජීවිතය මැනීමට නීට්‍ෂේගේ විරෝධයට හේතු වේ, මන්ද බලයට ඇති කැමැත්තේ ව්‍යුහය පෙන්නුම් කරන්නේ අතෘප්තිය සහ අප්‍රසාදය ජය ගැනීමද කල යුතු කාර්‍යක් වන නිසාය. මේ අනුව අතෘප්තිය” යනු බලයට ඇති කැමැත්තට උත්තේජකයකි. මිනිසා ප්‍රතිරෝධය සොයයි, ඔහුට විරුද්ධව යමක් අවශ්‍යයි යනුවෙන් නීට්‍ෂේ පවසයි. බලය මානව ප්‍රචණ්ඩත්වය ජය ගැනීමේ ආවේගයක් ලෙසටත් ඔහු හඳුනා ගනියි.
නීට්‍ෂේ තර්ක කරන්නේ බලය යනු ජීවිතයේ අවසාන සහ එකම ඉලක්කය වන අතර බලයට ඇති කැමැත්ත මිනිසුන් අභිප්‍රේරණය කරන බවයි. බලය සඳහා පුද්ගලයෙකුගේ කැමැත්ත සැබෑ නිදහසේ සහ නිර්මාණශීලීත්වයේ එකම මූලාශ්‍රය වෙයි. එය වැළඳගෙන වගා කළ යුතුය. බලයට ඇති කැමැත්ත අවසානයේ පුද්ගලයා සහ සමාජයේ බාහිර බලවේග අතර අරගලයක් බවත්, පුද්ගලයා පැවැත්ම සඳහා ශක්තිමත්ව සිටිය යුතු බවත් බලය සඳහා උත්සාහ කළ යුතු බවත් ඔහු විශ්වාස කළේය. බලයට ඇති කැමැත්ත මිනිසුන් තම ඉලක්ක කරා ළඟා වීමට සහ සාර්ථකත්වය සඳහා උත්සාහ කිරීමට පොළඹවන මූලික තල්ලුවක් බව ඔහු තර්ක කලේය. නීට්‍ෂේට අනුව, මෙම කැමැත්ත සහජ වන අතර එය සියලු මිනිස් ක්‍රියාකාරකම්වල මූලාශ්‍රය වේ. ඔහු තර්ක කළේ මෙම කැමැත්ත මිනිසුන් ප්‍රගතියට ගෙන යාමට සහ නව තාක්ෂණයන්, කලාව සහ සංස්කෘතිය නිර්මාණය කිරීමට හේතු වන බවයි. ඔහුගේ තර්කය වන්නේ සමාජයන් යනු බලයට ඇති කැමැත්තේ සාමූහික ප්‍රකාශනයක් බවයි.
නීට්‍ෂේ බලයට ඇති කැමැත්ත සදාචාරාත්මක මූලධර්මයක් ලෙස නොසලකයි. මිනිසුන් තම බලයට ඇති කැමැත්ත සම්මත හෝ සදාචාරාත්මක මූලධර්මයක් ලෙස අනුගමනය කළ යුත්තේ මන්දැයි ඔහු කිසිම අවස්ථාවක පැහැදිලි නොකලේය.එහෙත් බලයට ඇති කැමැත්ත මිනිස් හැසිරීම් වලට බලපාන බව නීට්‍ෂේ කීවේය. නීට්‍ෂේට අනුව, බලය සඳහා ඇති කැමැත්ත යනු බලය ලබා ගැනීමට සහ කෙනෙකුගේ ජීවිතය සහ පරිසරය පාලනය කිරීම සහජ මානව අවශ්‍යතාවයකි. මෙම අවශ්‍යතාවය මිනිස් හැසිරීම් පිටුපස ඇති ගාමක බලවේගය බව ඔහු තර්ක කළේය.
නීට්‍ෂේගේ දර්ශනය බලයේ සියලු සීමාවන්ට අභියෝග කරයි. ඔහු සාම්ප්‍රදායික යුරෝපීය සදාචාරය සැලකුවේ "රංචු සදාචාරය" (herd morality) ලෙසටය. එය ආගමික සාරධර්මවල යටත්වීම නිසා ඇති වන දුක්ඛිත ප්‍රතිවිපාකයකි. නීට්‍ෂේගේ දේශපාලන සන්දර්භය ආධිපත්‍යය දැරූ චරිතය ඔටෝ වොන් බිස්මාර්ක් වූ අතර බිස්මාර්ක් ප්‍රෂියානු දේශපාලනයේ වැදගත් චරිතයක් විය. සාමකාමී යුරෝපයක් තුළ ජර්මනියේ ස්ථාවර දේශපාලන තත්ත්වයක් පවත්වා ගැනීම සඳහා බිස්මාර්ක් දක්‍ෂ ලෙස බල තුලනය භාවිතා කළේය.
ප්‍රංශ විප්ලවයේ රූසෝ" සහ "සමානාත්මතාවයේ මූලධර්මය" කෙරෙහි නීට්‍ෂේ සැක පහළ කලේය. ප්‍රංශ විප්ලවය ස්වභාවධර්මයේ සහ මිනිස් ස්වභාවයේ යථාර්ථය ප්‍රතික්‍ෂේප කරන බව ඔහු කීවේය. රූසෝ ඉදිරිපත් කරන ප්‍රාථමික සමානාත්මතාවයට පටහැනිව "ස්වභාවධර්මය වෙත ආපසු යාම" ගැන නීට්‍ෂේ කතා කලේය. නැපෝලියන් ගේ පැමිනීම මේ අනුව ස්වභාවධර්මයට ආපසු යාම සලකුනු කරයි. (ප්‍රංශ ඉතිහාසඥ ජීන් රිචඩ් බ්ලොච් ප්‍රකාශ කරන්නේ නැපෝලියන් ගෙන් නූතන යුගය ආරම්භ වූ අතර එය ආගමික හෝ සදාචාරාත්මක ප්‍රතිවිරෝධතාවකින් තොරව එහි අසීමිතත්වය, බලය පිළිබඳ සංකල්පය මගින් නිර්වචනය වූ බවයි). නීට්‍ෂේ විප්ලවවාදී ආත්මයට විරුද්ධ වන අතර දෘෂ්ටිවාදී බලාපොරොත්තුවල අනපේක්‍ෂිත ප්‍රතිවිපාක පිළිබඳව සඳහන් කරයි. ඔහුගේ ලේඛනවල ඔහු සමානාත්මතා අරාජකවාදීන් (egalitarian anarchists) පිළිබඳ නිෂේධාත්මක දෘෂ්ටියක් දරයි.
දොන් ඩොම්බොව්ස්කිට අනුව, බලය පිළිබඳ මැකියාවෙලිගේ අදහස් නීට්‍ෂේට බලපෑවේය. මැකියාවෙල්ලි (1469-1527) වඩාත් ප්‍රසිද්ධ වන්නේ ඔහුගේ දේශපාලන නිබන්ධනය වන ද ප්‍රින්ස් නිසාය. මැකියාවෙල්ලි නූතන දේශපාලන දර්ශනයේ සහ දේශපාලන විද්‍යාවේ පියා ලෙස හඳුන්වනු ලැබේ. මැකියාවෙල්ලි මිනිසා දකින්නේ දේශපාලන සතෙකු ලෙසටය. මැකියාවෙල්ලි තර්ක කළේ ක්‍රිස්තියානි ධර්මය රාජ්‍යයන් දුර්වල කර ඇති අතර අනුගාමිකයින් රාජ්‍යයේ නියැලීමට වඩා කල්පනාකාරී ජීවිත ගත කරන බවයි. රාජ්‍යයේ අභිමතය පරිදි ජනතාව පාලනය කිරීමේ මාධ්‍යයක් ලෙස එය භාවිතා කිරීම ද ඔහු යෝජනා කළේය. බලය සෙවීමේදී පාලකයා වේගයෙන් ක්‍රියා කළ යුතු අතර ඉතා කපටි විය යුතුය. වේගයෙන් ගමන් කරන පුද්ගලයා පළමුව ජයග්‍රාහකයා බවට පත් වෙයි. මැකියාවෙල්ලි උත්සාහ කරන්නේ ලෝකයේ යථාර්ථය සමඟ ගනුදෙනු කිරීමට ය. මැකියාවෙල්ලි කියා සිටින්නේ සදාචාරය පිළිබඳ මනඃකල්පිත අදහස්වලට ඇලී සිටීම සහ ජීවිතයේ යථාර්ථය නොසලකා හැරීම විනාශකාරී බවයි. මැකියාවෙල්ලි ගුණධර්මවල හානිකර ස්වභාවය ඉස්මතු කරනවා පමණක් නොව, බලය පවත්වා ගැනීම සඳහා දුෂ්චරිතවල ඇති ප්‍රයෝජනය ගැන ද අවධානය යොමු කරයි. නීට්‍ෂේ සහ මැකියාවෙල්ලි දෙදෙනා අතර පවතින සමානකම ප්‍රධාන වශයෙන් ඔවුන්ගේ දාර්ශනික ආස්ථානයන් මත පදනම් වේ. නීට්‍ෂේ සදාචාරාත්මක බලය ගැන උනන්දු විය. මැකියාවෙලි සදාචාරයේ උපයෝගීතාව ප්‍රශ්න කරන විට, නීට්‍ෂේ ඒ වෙනුවට සදාචාරයේ කල්පවත්නා වලංගුභාවය සහ වෛෂයික අධිකාරිය (objective authority ) විමර්ශනය කරයි.
වහල් සදාචාරයට සෑම විටම පළමුව අවශ්‍ය වන්නේ සතුරු බාහිර ලෝකයකි. එහි ක්‍රියාව මූලික වශයෙන් ස්වාමි සදාචාරය කෙරෙහි වූ ප්‍රතික්‍රියාවකි. නීට්‍ෂේ විශ්වාස කරන්නේ මිනිසා තුළ ඕනෑම ආකාරයක සදාචාරයක් පැන නැගී ඇත්තේ ඔහුගේ සත්ව ස්වභාවය ඔහුගේ උසස් ආත්මය විනාශ කිරීම වැළැක්වීම සඳහා බවයි. ඔහු මෙසේ කියයි; සදාචාරය යනු [මෘගයා] අපව කැබලිවලට ඉරා නොදමනු පිණිස කියනු ලබන නිල බොරුවකි. දේශපාලනය සදාචාරයට සම්බන්ධයක් නැත යන්න මැකියාවෙලිගේ අදහසයි. මෙම හැඟීම නීට්‍ෂේගේ ලිවීම් වලින් ද සොයා ගත හැකිය. මැකියාවෙලිගේ දේශපාලනය තුළ, සදාචාරාත්මක වටිනාකම්වල වටිනාකම පිරිහී හා අඩු වැදගත්කමක් ඇති කරන අතර, බලය, ස්වෛරීභාවය සහ අවශ්‍යතාවල වටිනාකම ප්‍රධාන තැනක් ගනී.
ඔහුගේ ලේඛනවල යුද්ධය උත්කර්‍ෂයට නංවවන බව කීවද ඔහු "යුද්ධය" යන වචනය බුද්ධිමය හා අධ්‍යාත්මික සටන් සඳහා රූපකයක් ලෙස යොදා ගත්තේය. (යුද්ධය සැමවිටම විනාශකාරී දෙයක් නොවන බවත් සාමය සැමවිටම වටිනා දෙයක් නොවන බවත්, සාමය සැබවින්ම යුද්ධයේ ආකාරයක් විය හැකි බවත් නීට්‍ෂේ විශ්වාස කරයි). මිනිසුන් තම ජීවිතයේ යම් අර්ථයක් සහ වටිනාකමක් ඇති මූලාශ්‍ර හඳුනා ගත යුතු බවත්, විද්‍යාවෙන් එය සොයා ගැනීමට නොහැකි වුවහොත්, ඔවුන් ආක්‍රමණශීලී ජාතිකවාදයට සහ වෙනත් එවැනි මූලයන් වලට යොමු වන බවත් නීට්‍ෂේ පවසයි. මිනිසා ශක්තිය සහ බුද්ධිමය අවංකභාවය කෙරෙහි අවධානය යොමු කළේ නම්, ලෝකය වඩාත් සාමකාමී වනු ඇත. "ලෝකයේ සිදුවන සියලුම නපුරෙන් හතරෙන් තුනක්ම සිදු වන්නේ බියගුලුකම නිසා ය" නීට්ෂේ ලියයි. ඒකාධිපතිවාදය සහ ආඥාදායකත්වය පිළිගැනීම, රාජ්‍යයේ පුරවැසියන් මර්දනය කිරීමට රාජ්‍ය බලය අසීමිත ලෙස භාවිතා කිරීම සහ ආක්‍රමණශීලී ලෙස රටවල් යටත් කර ගැනීම නීට්‍ෂේ අනුමත නොකරයි. එහෙත් බලය පිලිබඳ කථිකාවේදී ඇතැමුන් නීට්‍ෂේගේ දර්ශනය මූලික වශයෙන් බටහිර සංස්කෘතියේ මරණ ප්‍රාර්ථනාවක් ලෙස සලකති. කෙසේ නමුත් බලය කෙරෙහි මිනිසාගේ ආශක්තවීම් නීට්‍ෂේ නිවැරදිව වටහා ගත් අතර, මාක්ස් හෝ ෆ්‍රොයිඩ්ට වඩා බලය ඉදිරියේ මානව හැසිරීම් පිළිබඳව වඩාත් පුළුල් සහ වඩාත් පිළිගත හැකි පැහැදිලි කිරීමක් ඉදිරිපත් කළේය.
References
Anderson, R. L. (1994). "Nietzsche's Will to Power as a Doctrine of the Unity of Science". Studies in History and Philosophy of Science. 25 (5): 738.
Berkowitz, P. (1995) Nietzsche: Ethics of an Immoralist. Cambridge: Harvard University Press.
Beiner, R. (2018). Dangerous minds: Nietzsche, Heidegger, and the return of the far right. Philadelphia: University of Pennsylvania
Press.
Danto, A. C.(1980). Nietzsche as Philosopher. (Columbia University Press).
Detwiler, B.(1990). Nietzsche and the Politics of Aristocratic Radicalism. Chicago: The University
of Chicago Press.
Klein, W.(1997). Nietzsche and the Promise of Philosophy. (State Univ. of New York Press).
No comments:
Post a Comment
Appreciate your constructive and meaningful comments