වෛද්‍ය රුවන් එම් ජයතුංග
ෆ්‍රෙඩ්‍රික් නීට්‍ෂේට දේශපාලන දර්ශනයක් තිබේද යන්න පිලිබඳව බොහෝ විද්වතුන් විවාද කරති. එසේම "නීට්‍ෂේ යම් ආකාරයක රජයක් අනුමත කරන්නේද? පිලිබඳව විවිද අදහස් තිබේ. නීට්‍ෂේගේ දේශපාලන න්‍යාය ගවේෂණය කිරීම අසීරු කරුණකි. එහෙත් නීට්‍ෂේ ගේ Zarathustra ප්ලේටෝනික දේශපාලන දර්ශනයේ ප්‍රධාන අංශ කිහිපයක් වැළඳ ගන්නා බව පෙනී යයි. Zarathustra ආඛ්‍යානය පෙන්වන්නේ සාමූහික මානව පැවැත්ම පිළිබඳ දේශපාලනික වශයෙන් පදනම් වූ විවේචනයකිනි. නීට්‍ෂේ රාජ්‍යය සහ බහුජන සමාජය විවේචනය කරයි. නීට්‍ෂේ ජාතික රාජ්‍යයේ විවේචකයෙකු ලෙස පිළිගනු ලැබුවද, නූතනත්වයේ දෝෂ සහිත දේශපාලන ක්‍රමය පුනරුථාපනය කිරීම සඳහා නීට්‍ෂේ සමාජයේ නව ආකෘතියක් අපේක්‍ෂා කරන බව පෙනී යයි. මේ අනුව එක්තරා ආකාරයකින් නීට්‍ෂේ ගේ Thus Spoke Zarathustra වනාහී දේශපාලන සාක්‍ෂියකි.
නීට්ෂේ සහ දේශපාලන යනු නීට්ෂේගේ විස්තීර්ණ හැඳින්වීමකි. නීට්ෂේ දේශපාලන ක්‍රියාවන් ගැන සෞන්දර්යාත්මකව සිතන්නා සේම, ඔහුගේම කලාවට දේශපාලන අරමුණක් ඇත. ඔහු සමාජ, සංස්කෘතික හා දේශපාලන ප්‍රභූවක් ගොඩනැගීමට අපේක්‍ෂා කරයි. ඔහුගේ දර්ශනය යම් දුරකට "Postmetaphysical" Political Philosophy - "පශ්චාත් පාරභෞතික" දේශපාලන දර්ශනයක් ලෙසට හැඳින්විය හැකිය. ඔහු බලය, නිදහස, ආධිපත්‍යය, සමානාත්මතාවය, යනාදී අංශයන් පිලිබඳව කතා කරයි. නීට්‍ෂේගේ දේශපාලන අදහස් වංශාධිපති රැඩිකල්වාදය, බොනපාට්වාදය, පුද්ගලවාදී අරාජිකවාදය යන මාවත් හරහා විහිදී යයි. ඔහුගේ දේශපාලන චින්තනය සඳහා නූතනත්වය පිළිබඳ ඔහුගේ විවේචනය වෙත යාම වැදගත් වෙයි.
ඔහුගේ නූතනත්වය පිළිබඳ විවේචනයට නූතන දේශපාලනය ද ඇතුළත් වේ. නූතන දේශපාලන චින්තනයේ ප්‍රධාන ගැටළු පිලිබඳව නීට්‍ෂේ අදහස් දක්වා තිබේ. ඔහු දහනව වන සියවසේ සමාජය හා දේශපාලනය දුෂ්ට හා ඍණාත්මක ලෙස දුටුවේය. නූතන "රාජ්‍යය" යනු නීට්‍ෂේ වැඩියෙන්ම පහර දෙන සතුරන්ගෙන් එකකි. නූතන "රාජ්‍යය" බොරුවක් සහ නිර්මාණශීලී පුද්ගලයාගේ වර්ධනය වළක්වන රාක්‍ෂයෙක් බව ඔහු කීවේය.
නීට්‍ෂේ විසින් දේශපාලනය කෙරෙහි දැඩි පිළිකුලක් ප්‍රදර්ශනය කළ නමුදු ඉන් ඔහුගේ දේශපාලන චින්තනය ක්‍ෂයවී නොයයි. නීට්‍ෂේ නවතාවයට අනුග්‍රහය දක්වමින් පැරණි සදාචාරයේ ක්‍රම හෙළා දකින අතර දේශපාලනය සඳහා ද ඔහු එලෙස ක්‍රියාත්මක වෙයි. පැරණි දේශපාලන භාවිතය ජයගත යුතු දෙයක් බව ඔහු අවධාරණය කරයි. ඔහු "මහා දේශපාලනයක්" ( grand politics) ගැන අදහස් දැක්වීය. එහි නිදහස හා ස්වෛරීත්වය පිළිබඳ දැක්මක් ඇත. එය පරමාධිපත්‍යය පිළිබඳ දැක්මකි.
උසස් සංස්කෘතිය ඉහල තළයේ දේශපාලනයේ ප්‍රකාශනයකි. නීට්‍ෂේට උසස් සංස්කෘතිය වැදගත් වන්නේ එයට බලය ඇති බැවිනි. පුද්ගලයන්ට ජීවිතය තහවුරු කිරීමට සමාජය විසින් කොන්දේසි ස්ථාපිත කළ යුතු බව ඔහු තර්ක කරයි. ශ්‍රේෂ්ඨ පුද්ගලයන් ඔවුන් සිටින සංස්කෘතීන් වැඩිදියුණු කරති. එමඟින් මෙම සමාජ අනෙකුත් සමාජයන්ට වඩා කැපී පෙනේ. ඕනෑම සමාජයක ඉලක්කය විය යුත්තේ උසස් නිර්මාණයක් බව නීට්‍ෂේ ප්‍රකාශ කරයි. නීට්‍ෂේ විශ්වීය සමාන අධ්‍යාපනයට එරෙහිව තර්ක කරයි. ඔහුගේ විවේචනය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අධ්‍යාපනය නිර්මාණශීලී ප්‍රතිභාව වගා කිරීම අඩාල කරන බවයි. නීට්‍ෂේට ධූරාවලි සමාජයක් පිහිටුවීමට අවශ්‍ය විය.
ක්‍රිස්තුස් තමන් ගේ රාජ්‍ය්‍ය මෙලොව නොපවතින බව කීවේය. එසේම යුද ශක්තිය, තේජස, උදාරත්වය යන පුරාණ වීර ගුණයන් පාපකාරී බව ක්‍රිස්තුස් දේශනා කළහ. නීට්‍ෂේ පුරාණ වීර ගුණයන් අගයයි. නීට්‍ෂේ ක්‍රිස්තියානි සදාචාරය සහ වෙනත් සමාන විශ්වීය සදාචාරයන් ප්‍රතික්ශේප කලේය. ඔහු මූලික ක්‍රිස්තියානි පරමාදර්ශයන් මිනිසා සහ රාජ්‍යය දුර්වළ කරන බව ලිවීය. නීට්‍ෂේ ලිබරල්වාදය, සමාජවාදය සහ ඔහුගේ කාලයේ අනෙකුත් දේශපාලන පද්ධති සැලකුවේ ක්‍රිස්තියානි ධර්මය විසින් දියාරු කළ ව්‍යාපාර ලෙසටය. (නීට්‍ෂේ පවසන පරිදි ඔහු ක්‍රිස්තියානි පරමාදර්ශයට එරෙහිව සටන් කරන්නේ “එය විනාශ කිරීමේ අරමුණින් නොව නව පරමාදර්ශ සඳහා මාවත පැහැදිලි කිරීමට සඳහා පමණක්” බවය). මෙම වර්ධනයට ප්‍රතිරෝධය දැක්වීම සඳහා, වඩාත් ප්‍රාථමික හා පැරණි රදළ දෘෂ්ටිය වෙත නැවත පැමිණීම නීට්ෂේට අවශ්‍ය විය. දුක් විඳීමෙන් හා යටත් වීමෙන් නොව බලයට ඇති කැමැත්ත ඔස්සේ කලාත්මක හා දේශපාලනික ජයග්‍රහණ පිලිබඳව ඔහු සිහින දුටුවේය.
ඇරිස්ටෝටල් සහ රූසෝ මිනිසා මූලික වශයෙන් සමාජ ජීවියෙකු ලෙස සැලකූ අතර එබැවින් මිනිසාව තේරුම් ගැනීමට ඔහු ස්වභාවිකව ගොඩනඟන සමාජ පරිසරයන් කෙරෙහි අවධානය යොමු කළ යුතු බව කීවේය. නීට්‍ෂේ මෙය අනුගමනය කරයි. නීට්‍ෂේ සමාජය වාසස්ථානයක් ලෙස සලකයි. පුද්ගලයා කෙරෙහි සාරධර්ම කාවද්දන ලද්දේ සමාජයයි, එය පුද්ගලයාගේ බොහෝ කායික තත්ත්වයන් තීරණය කරයි යන්න ඔහුගේ අදහස විය. පරම්පරාගත ආගමික විශ්වාසයන්ගේ ශුන්‍යවාදී හරය හෙලිදරව් කිරීම ඔහුගේ අභිලාෂය විය. ඔහු පෙන්වා දුන්නේ පැරණි ලෝකයේ ආගමික පරමාදර්ශ බොහොමයක් ගලා එන්නේ විශිෂ්ටත්වයෙන් නොව, දුර්වලකම, අමනාපය සහ රෝගී වූ චිත්තවේගයන්ගෙන් බවය. මෙම ඝර්හිත පරමාදර්ශ මිනිසුන් විශිෂ්ට ව්‍යාපෘති පසුපස හඹා යාමෙන් වළක්වන බව ඔහු පෙන්වා දුන්නේය. මිනිසා හොඳ සහ නරක විනිශ්චයන් තමාටම නිර්මාණය කරගත්තේ කුමන තත්වයන් යටතේද? ඔහු ප්‍රශ්න කලේය.
නීට්‍ෂේගේ බලය - Will to Power පිළිබඳ දර්ශනය ඔහුගේ දේශපාලනයෙන් ඉවත් කළ නොහැක. 1880 ගණන්වල ආරම්භයත් සමඟම, නීට්ෂේ "බලය සඳහා වූ ආශාව" (Machtgelüst) ගැන කතා කිරීමට පටන් ගත්තේය. බලයට ඇති කැමැත්ත මිනිසුන්ගේ ප්‍රධාන ගාමක බලවේගය ලෙස නීට්‍ෂේ විශ්වාස කරයි. නීට්‍ෂේ කියා සිටින්නේ මිනිසාට තමා අභිබවා යාමට තම බලය තහවුරු කර ගැනීම අත්‍යාවශ්‍ය බවයි. නීට්‍ෂේට බලය යනු මානවවාදී ස්වයං පරිපූර්ණත්වය මෙන්ම බාහිර, දේශපාලනික, ප්‍රභූ, රදළ ආධිපත්‍යය වෙයි.
බලයට ඇති කැමැත්ත, සදාකාලික නැවත පැමිණීම සහ සුපිරි මිනිසාගේ ආගමනය පිළිබඳ ප්‍රධාන අදහස් නීට්‍ෂේගේ දේශපාලන චින්තනය තුල තිබේ. මිනිසාට සමාජ ජීවියෙකු ලෙස පැවැත්ම සඳහා බලයට ඇති කැමැත්ත පිළිබඳ නීට්‍ෂේගේ සංකල්ප වැදගත් වෙයි. ඔහු කෲරත්වය සඳහා වූ ආශාව බලය පිළිබඳ හැඟීමේ සතුට සමඟ සම්බන්ධ කරයි. නීට්‍ෂේට අනුව "අතෘප්තිය” යනු බලයට ඇති කැමැත්තට උත්තේජකයකි. "මිනිසා ප්‍රතිරෝධය සොයයි, ඔහුට විරුද්ධව යමක් අවශ්‍යයි " නීට්‍ෂේ පවසයි. නීට්‍ෂේ මිනිසාගේ කායික විද්‍යාව ප්‍රමුඛස්ථානයකට ඔසවා තබයි. ඔහු සෞඛ්‍යය සම්බන්ධ කරන්නේ බලයට ඇති කැමැත්තේ ශක්තිමත් ප්‍රකාශනයක් සමඟ ය.
බලයට ඇති කැමැත්ත පිළිබඳ සංකල්පය අරගලයේ සංකල්පය ද ඇතුළත් බව පෙන්වා දිය හැකිය. බලයට ඇති කැමැත්ත ජීවිතයේ ස්වභාවය සංලක්ෂිත යටින් පවතින බලවේගයයි. බලයට ඇති කැමැත්ත පිළිබඳ නීට්ෂේගේ මූලධර්මයෙන් ගම්‍ය වන්නේ සමාජයකට ඵලදායි ලෙස තමන්ව ආරක්ෂා කර ගත හැක්කේ තරඟකාරීත්වය සමඟ සංවිධානාත්මක අරගලයකින් පමණක් බවයි. එසේම සතුරන් සිටීමේ වැදගත්කම Twilight of the Idols හි සඳහන් කරයි. සතුරා සමාජ සංවිධානයක් ස්ථාපිත කිරීම සහ පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් බව නීට්‍ෂේ පෙන්වා දෙයි. (අප අපේ සතුරන් හෙළා නොදැකිය යුතු බවත්, ඔවුන් සිටීම පිලිබඳව ආඩම්බර විය යුතු බවත්, සරතුස්ත්‍රා කීවේය). උතුම් මිනිසාගේ' අත්‍යවශ්‍ය ලක්‍ෂණයක් වන්නේ ඔහුගේ සතුරා නපුරු ලෙස හැඳින්වීම නොවන බව ඔහු අවධාරණය කරයි
නීට්‍ෂේට අනුව ඕනෑම විද්‍යාත්මක, ආගමික, සදාචාරාත්මක හෝ බුද්ධිමය වර්ධනයක් ආරම්භ වූයේ නොදැනුවත්කම, ලෞකිකත්වය, ම්ලේච්ඡත්වය, ව්‍යාකූලත්වය හෝ තරඟකාරී සංස්කෘතික ආකෘතීන් ජය ගැනීම සඳහා අතෘප්තිය සහ ආවේගයන් සමඟ ය. සාමවාදය පවා - මානව ප්‍රචණ්ඩත්වය ජය ගැනීමේ ආවේගයක් ලෙසත්, අපගේ තිරිසන් ස්වභාවය අභිබවා යන උසස් ජීවන රටාවක් ලෙසත් - බලයට ඇති කැමැත්තේ අවස්ථාවක් ලෙස තේරුම් ගත හැකි බව ඔහු කියයි. බලය පිලිබඳව නීට්‍ෂේ මෙසේ කියයි; - Power includes human mastery “over his own savagery”
සංස්කෘතිය යනු ස්වභාවධර්මයේ ම්ලේච්ඡ බලවේගයන්ට පටහැනි දෙයක් යන අදහසට එරෙහිව තර්ක කරමින්, නීට්‍ෂේ පුරාණ ග්‍රීසියේ පැතිරී තිබූ තරඟකාරීත්වය පෙන්වා දුන්නේය. එය සියලු සංස්කෘතික කටයුතු (මලල ක්‍රීඩා, කලා, කථික, දේශපාලනය සහ දර්ශනය තුළ) ක්‍රියාත්මක විය. එය බොහෝ ග්‍රීක මිථ්‍යාවන්, කාව්‍යයන් සහ දර්ශනයන්හි ප්‍රකාශිත ලෝක දෘෂ්ටියක චාරිත්‍රානුකූල ප්‍රකාශනයක් ලෙස දැකිය හැකි විය. නීට්ෂේ සඳහා, ජීවිතය යනු සෑම ප්‍රගතියක්ම කිසියම් බාධාවක් හෝ ප්‍රතිබලයක් ජය ගැනීමකි. එබැවින් ගැටුම යනු සටන්කාමී බලවේගවල අන්‍යෝන්‍ය සහයෝගීතාවකි.
නීට්‍ෂේ රාජ්‍යය සහ ආගම අතර සමීප සම්බන්ධයක් දුටුවේය. නීට්ෂේ. "ආගම සහ රජය" යන මාතෘකාව තම Human, All Too Human කෘතියේ සාකච්චාවට බඳුන් කරයි. නීට්ෂේ ප්‍රකාශ කළේ රාජ්‍යය ආක්‍රමණ මත රඳා පවතින බවයි. සාම්ප්‍රදායික බල දේශපාලනය මූල්‍යමය වශයෙන් බරක් වූ අතර සංස්කෘතියට වෙනත් ආකාරයකින් දායක විය හැකි තරුණයින්ගේ ජීවිත අහිමි කලේය. නීට්‍ෂේ සඳහා රාජ්‍යය යුක්තිසහගත වන්නේ එය ප්‍රතිභාව තුළින් සංස්කෘතියට පළමු වරට සමෘද්ධිමත් විය හැකි අවකාශයක් විවෘත කරන විටදීය.
අප සිටින්නේ ආගමේ මරණයේ යුගයක බව නීට්‍ෂේගේ අදහස විය. ඔහු සාම්ප්‍රදායික යුරෝපීය සදාචාරය සැලකුවේ "රංචු සදාචාරය" ("herd morality") ලෙසටය. ජනතාව තනි කැමැත්තක් නොමැතිව කණ්ඩායම් සහජ බුද්ධියෙන් ජීවත් වන රංචු සතුන් මෙනි. "රංචු සදාචාරය" මධ්‍යස්ථභාවයෙන් සියල්ලන්ටම සමාන වීමේ ප්‍රජාතන්ත්‍රවාදී කැමැත්ත නිරූපනය කරයි. දෙවියන්ගේ මරණය යුරෝපීය මිනිසා විශ්වීය ඉලක්කයක් නොමැතිව වල්මත් කලේය. වල්මත් වූ රංචු සදාචාරයේ විලංගු බිඳ දැමීමට නිදහස් ආත්මයන් උත්තේජනය කිරීමට අවශ්‍ය බව නීට්‍ෂේ අවධාරණය කරයි. පාපය පිළිබඳ සංකල්පය අපගේ සහජ බුද්ධිය නොමඟ යැවීමට නිර්මාණය කරන ලද අතර අවසානයේ ඒ පිළිබඳ සංකල්පය මිනිසා සහ රාජ්‍යය දුර්වළ කර දමයි.
නීට්ෂේගේ මැකියාවෙලියන් දේශපාලනය අවිවාදිතය. මැකියාවෙල්ලි මිනිසා දකින්නේ දේශපාලන සතෙකු ලෙසටය. බලය සෙවීමේදී ඔහුට වේගයෙන් ක්‍රියා කළ යුතු අතර ඉතා කපටි විය යුතුය. දේශපාලන බලය අල්ලා ගැනීමට සහ තහවුරු කර ගැනීමට නම් සතුරන් විනාශ කල යුතු බව මැකියාවෙල්ලි උපදෙස් දෙයි. නීට්‍ෂේ සහ මැකියාවෙල්ලි නිහතමානීත්වය සහ යුක්තිය වැනි ක්‍රිස්තියානි ආචාර ධර්මවලට එරෙහිව පෙනී සිටියහ. ක්‍රිස්තියානි ආචාර ධර්මයේ මූලික කරුණු සමඟ දෙදෙනාම එකඟ නොවූහ. මැකියාවෙල්ලි සහ නීට්ෂේ යන දෙදෙනාම උපකල්පනය කරන්නේ ස්වයං සංරක්ෂණය, ස්වයං සත්‍යකරණය සහ ස්වයං උසස් කිරීම (self preservation, self actualization and self aggrandizement) සඳහා ක්‍රියා කිරීමේ අවශ්‍යතාවය අතිමහත් බවයි. දේශපාලනය සදාචාරයට සම්බන්ධයක් නැත" යනුවෙන් මැකියාවෙල්ලි ලියන විට නීට්‍ෂේ එයට එකඟතාවක් දක්වයි. මේ අනුව දාර්ශනික ආස්ථානයන් සම්බන්ධයෙන් ගත් කල නීට්‍ෂේ මැකියාවෙලිගේ දේශපාලන ඉගැන්වීම්වලට දායක වෙයි.
කාල් මාක්ස් සහ නීට්‍ෂේ අතර බොහෝ අසමානකම් දැකිය හැකිය. නීට්‍ෂේ සහ මාක්ස් දේශපාලනය, සමාජය සහ සදාචාරය පිළිබඳ විවිධ දෘෂ්ටිකෝණ දැරූ නමුත් ඔවුන් දෙදෙනාම සම්ප්‍රදායිකව විවේචනාත්මක වූ බව පෙනී යයි. මාක්ස් හේතුව වෙනුවෙන් පෙනී සිටි අතර, නීට්‍ෂේ ආශාව වෙනුවෙන් පෙනී සිටියේය. මාක්ස් සාමූහිකත්වය විශ්වාස කළ අතර නීට්‍ෂේ පුද්ගලයා වෙනුවෙන් පෙනී සිටියේය. මාක්ස් මහජනතාවගේ සහ පීඩිතයන් වෙනුවෙන් පෙනී සිටියේය . නීට්ෂේ ‘රංචුව’ පිළිකුල් කළ අතර සමාජයේ පහළම පුද්ගලයන් පාලනය කළ යුතු බව විශ්වාස කළේය. මාක්ස් සමානාත්මතාවය සඳහා විය. නීට්ෂේ ධුරාවලිය සඳහා විය.
මාක්ස්වාදය ඉතා සරල බවත් එය මිනිස් ස්වභාවය ආර්ථික සාධක දක්වා ඌනනය කරන බවත් නීට්‍ෂේ විශ්වාස කළේය. එසේම මාක්ස්වාදී න්‍යායේ ප්‍රධාන අංගයක් වන ඓතිහාසික නියතිවාදය (historical determinism ) පිළිබඳ අදහස නීට්‍ෂේ ප්‍රතික්‍ෂේප කළේය. කම්කරු හා පන්ති අරගලයේ ස්වභාවය පිළිබඳ මාක්ස්ගේ න්‍යායන් "වැදගත් සහ සත්‍ය" බව නීට්‍ෂේ ලිවීය. එහෙත් ඔහු "පංති විරහිත සමාජයක්" පිළිබඳ අදහස ඉතා විඥානවාදී සහ යථාර්ථවාදී නොවන බව ඔහු පෙන්වා දුන්නේය. නීට්ෂේගේ දර්ශනය පුද්ගලවාදයේ වැදගත්කම, ස්වයං අභිබවා යාම සහ සම්ප්‍රදායික වටිනාකම් ප්‍රතික්ෂේප කිරීම අවධාරණය කරන අතර මාක්ස්වාදය ධනේශ්වර පීඩනයට එරෙහිව කම්කරු පන්තියේ අරගලය සහ පන්ති විරහිත සමාජයක් නිර්මානය කිරීම කෙරෙහි අවධානය යොමු කරයි.
ඇතැමුන්ට අනුව නීට්‍ෂේගේ චින්තනයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ලිබරල් විරෝධී බව දක්නට තිබේ. නීට්‍ෂේ ප්‍රජාතන්ත්‍රවාදී ජීවිතය තුළ මානව ශ්‍රේෂ්ඨත්වය අහිමි වීමේ ප්‍රවණතාව, මානව අභිලාෂයන්, බුද්ධිමය විශිෂ්ටත්වය යටපත් වීම පිලිබඳව කනස්සල්ල පළ කලේය. ඔහු ප‍්‍රජාතන්ත‍්‍රවාදය දුටුවේ අතලොස්සක් පීඩාවට පත්කිරීමේ මහජනයාගේ මෙවලමක් ලෙසටය. නීට්‍ෂේ සමාජ කොන්ත්‍රාත් න්‍යාය (social contract theory) ප්‍රතික්‍ෂේප කරයි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීන් මිනිසා රංචු සතෙකු බවට පත් කල බව නීට්‍ෂේ කියයි.
දේශපාලන දර්ශනයේ එක් ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ පාලන තන්ත්‍ර නීත්‍යානුකූල කිරීම සම්බන්ධයෙනි. නීත්‍යානුකූල රජය යනු කුමක්ද සහ පුරවැසියන් කීකරු විය යුත්තේ මන්ද? යන පිළිතුරු පදනම් වී ඇත්තේ පාලකයන් ගේ කැමැත්ත සහ පුද්ගලයන්ගේ සමානාත්මතාවය මත ය. පුරවැසියන්ගේ කැමැත්ත ඇතිව පාලනය කිරීමේදී පාලකයෙකු නීත්‍යානුකූල වේ. නීට්‍ෂේ මෙය විශාල වැරැද්දක් ලෙස සලකයි. ඔහු යුරෝපීය චින්තනය ආක්‍රමණය කිරීමට මූලාශ්‍ර දෙකකින් හඹා යයි: දෙවියන් ඉදිරියෙහි ආත්මයන් සමාන ය යන ක්‍රිස්තියානි ධර්මය; සහ තාර්කික ආත්මයේ නිදහස සහ ස්වාධිපත්‍යය ආචාර ධර්මවල (පරමාදර්ශී) පදනම බව කාන්ට්ගේ මූලධර්මය -ඔහු මේ ප්‍රභවයන් දෙකටම පහර දෙයි.
නීට්‍ෂේගේ ප්‍රජාතන්ත‍්‍ර විරෝධී සහ සමානාත්මතා විරෝධී ස්ථාවරය තේරුම් ගත යුතුව ඇත්තේ වඩාත් පළල් වූ මනසකිනි. ඔහුගේ අතිවිශාල දාර්ශනික ආස්ථානය තුළ පටු නිගමනයන්ට ඒම සුදුසු නොවේ. නීට්ෂේ අවසානයේ උත්සුක වන්නේ ඔහුගේ "ඉහළ" මිනිසුන්ගේ එකමුතු ශ්‍රේෂ්ඨත්වය විසින් හීලෑ කරන ලද රැඩිකල් තරඟකාරී බහුත්වවාදයට ඉඩ දීමෙන්, පොදුවේ සහ පුද්ගල මට්ටමින් මනුෂ්‍යත්වය උත්කර්ෂයට නැංවීම ගැන ය.
නීට්‍ෂේගේ චින්තනය නාසිකරණය එතිහාසික වරදකි. නීට්‍ෂේ යුදෙව් විරෝධීන් පිළිකුල් කළේය. යුදෙව් විරෝධය (Anti-Semitism) යනු දුර්වල, පහත් මිනිසුන් සඳහා වූ හැඟීමක් බව ඔහු කීවේය. මේ අනුව නීට්‍ෂේ හිට්ලර් ගේ දේශපාලනයට සමපාත නොවේ. නාසිවාදය සහ ෆැසිස්ට්වාදය සමඟ නීට්‍ෂේ ගෙ සබඳතාවක් නොමැත. ඇතැම් න්‍යායවාදීන් නීට්‍ෂේ භයානක ලෙස අසමානතාවාදියෙකු ලෙස තේරුම් ගනිති. එහෙත් නීට්‍ෂේ ලිබරල්වාදයේ ස්වභාවික සතුරෙකු ද නොවේ.
කේම්බ්‍රිජ් ඉතිහාසඥ හියුගෝ ඩ්‍රොචොන් තර්ක කරන්නේ නීට්‍ෂේගේ දේශපාලන අදහස් මුලින්ම තේරුම් ගත යුත්තේ බිස්මාර්ක්ගේ ප්‍රතිපත්ති, විශේෂයෙන්ම ඔහුගේ "මහා දේශපාලනය", දහනවවන සියවසේ අගභාගයේ ජාත්‍යන්තර දේශපාලනය පරිවර්තනය කළ ආලෝකයෙන් බවයි. (පසුකාලීනව බිස්මාර්ක් සහ කයිසර් විල්හෙල්ම් II ගේ බල දේශපාලනය වෙනුවට, නීට්ෂේ තමාගේම "ශ්‍රේෂ්ඨ දේශපාලනයක්" යෝජනා කළේය) මෙහිදී රාජ්‍යය යහපත් යුරෝපීය" සංස්කෘතික ප්‍රභූවක් විසින් මෙහෙයවනු ලබන අතර එහි ඉලක්කය ග්‍රීක උසස් සංස්කෘතියේ නැවත ඉපදීම දිරිමත් කිරීමයි. සත්‍ය ධර්මයක් (a doctrine of truth) පවත්වා ගැනීම යනු ජීවිතයේ කොන්දේසි සීමා කිරීමයි. ඩ්‍රොචොන් තර්ක කරන්නේ 1889 දී ඔහුගේ මානසික බිඳවැටීමට (දාර්ශනිකයාගේ සිෆිලිටික් පරිහානියට) පෙර වසරවලදී, නීට්‍ෂේ ඔහුගේ අභිලාෂකාමී සංස්කෘතික අරමුණු ඉදිරියට ගෙන යාම සඳහා දේශපාලනයට සෘජු ප්‍රවේශයක් සැලසුම් කළ බවයි.
සාම්ප්‍රදායික සදාචාරය සහ දර්ශනය සමඟ රැඩිකල් ලෙස බිඳී ගිය මානව විමුක්තියේ අනාගතවක්තෘවරයෙකු ලෙස නීට්‍ෂේ ගෞරවයට පාත්‍ර වී ඇත. නීට්‍ෂේ හුදු නිෂේධාත්මක විවේචකයෙකු නොවේ. ඔහු දේශපාලනය" පිළිබඳ නැවුම් අර්ථකථනයක් සපයයි. ඔහුගේ චින්තනය වර්තමාන ස්වරූපයෙන් මනුෂ්‍ය වර්ගයා ජය ගන්නේ කෙසේද යන ප්‍රශ්නය ගැන සැලකිලිමත් වෙයි. ඔහු පවසන්නේ ජීවිතයේ ස්වභාවයට අනුගතව සිටීමට සහ මානව සමෘද්ධියට ඉඩ සැලසීමට වර්තමානය අඛණ්ඩව ජය ගැනීම අවශ්‍ය බවයි.
මිනිසාගේ දියුණුව පිළිබඳ ඔහුගේ පුද්ගලවාදී දැක්ම සුවිශේෂීය. සාරධර්ම නිදහස් ප්‍රතිනිර්මාණය කිරීමේ හැකියාව ඇත්තේ තෝරාගත් කිහිප දෙනෙකුට පමණක් බව ඔහු පෙන්වා දෙයි. අනාගතයේ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයින් සහ නායකයින් කිහිප දෙනෙකුට පමණක් "සාරධර්ම නිර්මාණය කිරීමට හැකි වනු ඇතැයි නීට්‍ෂේ විශ්වාස කලේය. මේ අනුව ඔහුගේ දර්ශනය විස්තර කරන්නේ ප්‍රභූ අධිකාරීවාදී සමාජයකි.
නීට්‍ෂේ විසින්ම දේශපාලන සඳහා අත්‍යවශ්‍ය ශිල්පීය ක්‍රම සපයනු ලබයි. ඔහු පෙන්වා දුන් පරිදි ග්‍රීකයින් ඔවුන්ගේ ආත්මාර්ථකාමී පෞද්ගලික අනන්‍යතාවයෙන් ඉවත් වූ අතර සාමූහිකව ඒකාබද්ධ සංස්කෘතික ඒකකයක් ලෙස හඳුනා ගත්හ. නීට්‍ෂේ මිනිස් ජීවිතයේ "ඩයෝනිසියානු" පැතිකඩ පිලිබඳ විවර කරයි. වංශාධිපතිත්වය නැවත ස්ථාපිත කිරීමේ සහ මිනිසුන් සඳහා නව ශ්‍රේෂ්ඨත්වයක් සොයා ගැනීමේ හැකියාව වඩාත් ශුභවාදී ලෙස තහවුරු කෙරෙන පිවිසුමක් නීට්‍ෂේ ඉල්ලා සිටියි. මිනිසා අද්විතීය වන්නේ ඔහුගේ සෞඛ්‍යයේ ඉහළම ප්‍රකාශනය බුද්ධිමය හා අධ්‍යාත්මික නිර්මාණශීලිත්වය මත බව ඔහු පෙන්වා දෙයි. උසස් රාජයක් ගොඩ නගා ගත හැක්කේ මේ හරහා බව ඔහු විසින් අවධාරණය කරයි.
References
De Abbey, R.(1988). “Nietzsche and the Will to Politics,” The Review of Politics 60, 83-114.
Detwiler, B.(1990). Nietzsche and the Politics of Aristocratic Radicalism. Chicago: University
of Chicago Press.
Ezekiel, A.(2013). human cry, Philosophy & Social Criticism, 10.1177/0191453713498253, 40, 9, (913-930).
Hollingdale, R.J.(1997). Cambridge: Cambridge University Press.
Nietzsche, Friedrich. Beyond Good and Evil. Translated by Walter Kaufmann. New York:
Random House, Inc., 1966.
Nietzsche, Friedrich. Human, All too Human. Translated by RJ Hollingdale. Cambridge:
Cambridge University Press, 1996.
Nietzsche, Friedrich. The Gay Science. Translated by Walter Kaufmann. New York: Vintage,
1974.
Nietzsche, Friedrich. The Portable Nietzsche. Translated by Walter Kaufmann. New York:
Random House, Inc., 1967.
Rorty, R (2007).Contingency, Irony, and Solidarity. Cambridge: Cambridge University Press.
No comments:
Post a Comment
Appreciate your constructive and meaningful comments