Friday, July 14, 2023

සොක්‍රටීස් සහ ප්ලේටෝ පිලිබඳව නීට්‍ෂේ ගේ විවේචන




වෛද්‍ය රුවන් එම් ජයතුංග 

සොක්‍රටීස්  (ක්‍රි.පූ. 470- ක්‍රි.පූ. 399 ) බටහිර දර්ශනයේ නිර්මාතෘ ලෙස සැලකේ. සොක්‍රටීස් ඇතන්ස් සමාජයේ ධ්‍රැවීකරණය වූ චරිතයකි.  ඔහුගේ දර්ශනය මූලික වශයෙන් පදනම් වී ඇත්තේ සංවාදයෙන් (අපෝහක ක්‍රමය මගින්) දැනුම අනාවරණය කර ගත හැකි බව යන අදහස මතය. ඔහු ප්‍රඥාව, යුක්තිය, ධෛර්‍යය, භක්තිවන්තකම ආදී විවිධ ගුණ ධර්ම පිළිබඳ සාකච්ඡා කලේය​. ඔහු දේවධර්මය වෙනුවට මානව තර්කය මත පදනම් වූ ආචාර ධර්ම පද්ධතියක් ස්ථාපිත කිරීමට උත්සාහ කළේය. සොක්‍රටීස්ට අනුව පරම ප්‍රඥාව ඇති වන්නේ තමන් පිලිබඳව දැනගැනීමෙනි.  සොක්‍රටීස්ගේ  තර්ක  ප්‍රධාන වශයෙන් පැමිණෙන්නේ ඔහුගේ ශිෂ්‍ය ප්ලේටෝගේ ලේඛන හරහාය.

සොක්‍රටීස් මෙන්ම ෆ්‍රෙඩ්රික් නීට්ෂේ ද දර්ශනයේ නව යුගයක් ආරම්භ කළේය. ඔවුන් දෙදෙනාගේම  බලාපොරොත්තු වූයේ ජීවිතය පිළිබඳ පුද්ගල දැක්මෙහි වෙනසක් ඇති කිරීමටයි.. නීට්ෂේ   පාරභෞතික විරෝධී ආස්ථානයක් ගත් පළමු දාර්ශනිකයාය​. ඔහු  මිනිසා පිළිබඳ  ස්වභාවික දෘෂ්ටියක් දැරීය. සොක්‍රටීස් කෙරෙහි නීට්‍ෂේගේ ආකල්පය ඔහුගේ චින්තනයේ කේඳ්‍රස්ථානයක් වෙයි. ඔහුගේ පළමු පොත (The Birth of Tragedy) සෘජුවම සොක්‍රටීස්ව  ආමන්ත්‍රණය කලේය.  

නීට්‍ෂේ , සොක්‍රටීස්ව දුටුවේ ලෝක ඉතිහාසයේ එක් හැරවුම් ලක්‍ෂ්‍යයක් සහ සුලියක් ලෙසටය​. සොක්‍රටීස්, නීට්‍ෂේ සඳහා  ප්‍රශ්නාර්ථ ලකුණක් විය. ඔහු සොක්‍රටීස් තමන් ගේ හොඳම විරුද්ධවාදියා සහ ප්‍රියතම සතුරා බව කියයි.  නීට්‍ෂේගේ වඩාත්ම කීර්තිමත් පරිවර්තකයා වන වෝල්ටර් කෆ්මන්, සොක්‍රටීස් කෙරෙහි නීට්‍ෂේගේ දිගුකාලීන පැහැදීම අවධාරණය කරන අතර සොක්‍රටීස් පිලිබඳ විවේචනද පෙන්වා දෙයි. 

සොක්‍රටීස් පිළිබඳ නීට්ෂේගේ ආස්ථානය බහුවිධ ය. සොක්‍රටිස්වාදය  ප්ලෙබියානු (plebeian) බව නීට්ෂේ   කියයි. නීට්ෂේ  සොක්‍රටික් දර්ශන ව්‍යාපෘතියේ  සීමාව වුල්ෆ්ගැන්ග් වොන් ගොතේ ගේ ෆවුස්ට් නාටකය හරහා නිරූපනය වන බව කීවේය​. ෆවුස්ට් ගොතේගේ සුප්‍රසිද්ධ නාට්‍යයේ ප්‍රධාන චරිතය වන අතර, ඔහු ලෝකයේ සියලු දැනුම හා සතුට වෙනුවෙන් තම ආත්මය යක්‍ෂයාට විකුණයි. ඔහු සොක්‍රටීස්ව "පළමු දුෂ්ටයා"  ("the first villain")  ලෙස හඳුන්වයි. 

සොක්‍රටීස්  සහ නීට්‍ෂේ  පුද්ගලික වගකීම් සහ ස්වයං දැනුවත්භාවයේ වැදගත්කම මනුෂ්‍ය පැවැත්මේ ආචාර ධර්මවල කාර්‍යභාරය අවධාරණය කළහ​. සොක්‍රටීස් ප්‍රඥාව සොයාගෙන යාම සහ සුචරිතවත් ජීවිතයක් ගත කිරීමේ වැදගත්කම කෙරෙහි දැඩි අවධානයක් යොමු කළේය. නීට්‍ෂේ සාම්ප්‍රදායික සදාචාරය සහ ආගම ප්‍රතික්‍ෂේප කළ අතර ස්වයං අභිබවා යාමේ සහ පුද්ගල බලයේ වැදගත්කම අවධාරණය කළේය.

නීට්‍ෂේ ග්‍රීක සංස්කෘතියට ඇලුම් කළ අතර, එය  වඩා සෞඛ්‍ය සම්පන්න සහ ශක්තිමත් බව ඔහුට හැඟුණි. නීට්‍ෂේ , සොක්‍රටීස් "ග්‍රීක ඛේදවාචකයේ වැටීම" ලෙස නිරූපණය කරයි. නීට්‍ෂේ සොක්‍රටීස්ව  විස්තර කරන්නේ "න්‍යායික මිනිසෙක්" ලෙසිනි. එසේම සොක්‍රටීස්  කිතුනුවකුගේ පූර්වගාමියෙකු (ප්‍රොටෝ ක්‍රිස්තියානියෙකු ) ලෙස සැලකීය​. සොක්‍රටික් ආකෘතිය යනු සංවාදශීලී විරුද්ධවාදීන් අභිබවා ජය ලබන, උපහාසාත්මක සහ වාචික උපක්‍රම මත යැපෙන, හඳුනාගත නොහැකි ආශාවන්ගෙන් පෙලඹී, මරණයෙන් වශී වන අයෙකු බව නීට්‍ෂේ පෙන්වා දෙයි. 

සොක්‍රටීස් ආත්මයේ සදාකාලිකත්වය සඳහා තර්ක හතරක් ලබා දෙයි. සොක්‍රටීස් පවසන්නේ මරණයේදී ආත්මය ශරීරයෙන් ඉවත් විය යුතු බවයි, මන්ද, පුද්ගලයෙකු මිය ගිය පසු ශරීර කොටස් තවමත් පවතින නමුත් ආත්මය ඉවත්ව ඇත. සොක්‍රටීස්ගේ ගෝලයෙකු වන සිම්මියාස් විසින් ආත්මය විග්‍රහ කරන්නේ වීණාවකින් නිපදවන ස්වරය ලෙසටය.  ආත්මයේ සදාකාලිකත්වය පිලිබඳව අදහස් නීට්‍ෂේ ඉවතලයි. එසේම සොක්‍රටීස්ට අවශ්‍ය වූයේ මිය යාමට බව නීට්‍ෂේ තර්ක කරයි.

ක්‍රිස්තු පූර්ව 427 දී උපත ලද ග්‍රීක දාර්ශනික ප්ලේටෝගේ ප්‍රධාන ඉලක්කය වූයේ ලෝකය ගැන, දැනුම ගැන, දර්ශනය ගැන සහ පුද්ගලයා ගැන සිතීමේ නව ක්‍රමයක් නිර්මාණය කිරීමයි.   ප්ලේටෝ සොක්‍රටීස් සියලු ගුරුවරුන්ගේ ස්වාමියා ලෙස සැලකුවේය.

ප්ලේටෝ දර්ශනවාදයේ ක්‍රමානුකූල සම්ප්‍රදාය ආරම්භ කලේය. පැරණි හෝමරික් දෙවිවරුන්ගේ මරණය හේතුවෙන් ඇතන්ස් සමාජය දරුණු අධ්‍යාත්මික අර්බුදයකට ලක්ව සිටි අවස්ථාවක ප්ලේටෝ ලෝකය පිළිබඳ නව සදාචාරාත්මක අර්ථකථනයක් ලබා දුන්නේය. ප්ලේටෝ දර්ශනවාදයේ ලිඛිත සංවාදයේ සහ අපෝහක ආකෘතිවල නවෝත්පාදකයෙකි. ප්ලේටෝ ඔහුගේ දර්ශනය ඉදිරිපත් කිරීමට සොක්‍රටීස්ගේ මුඛය භාවිතා කරයි.

ප්ලේටෝ පැහැදිලිවම නීට්ෂේ කෙරෙහි විශාල බලපෑමක් ඇති කළේය. ප්ලේටෝ නීට්‍ෂේගේ චින්තනයේ එක් ප්‍රධාන ස්ථානයක් ගන්නා බව පෙනේ. ප්ලේටෝ සහ නීට්‍ෂේ යන දෙදෙනාම ලෞකික සත්‍යය සහ සත්‍යවාදී බව සදාචාරාත්මකව දකිති. ප්ලේටෝගේ දාර්ශනික දායකත්වය බටහිර දර්ශනයට බලපෑ අතර නීට්‍ෂේ බටහිර දාර්ශනික පරමාදර්ශ දැඩි ලෙස විවේචනය කලේය. නීට්‍ෂේ නූතනත්වයේ විවේචනය ආරම්භ කරන්නේ ප්ලේටෝනික් ශිෂ්ටාචාරයේ අවසානය පිලිබඳ ලියමිනි.

ප්ලේටෝ විශ්වාස කළේ ප්ලේටෝනික් ක්‍ෂේත්‍රය හෙවත් අදහස් සහ නිරපේක්‍ෂ ස්වරූපයනි. එම ක්‍ෂේත්‍රය තුළ සංකල්ප ඇත. එම සංකල්ප සදාකාලික, වෙනස් කළ නොහැකි සහ සම්පූර්ණය. ප්ලේටෝ නිරපේක්‍ෂ සත්‍යයේ යුගයේ ආරම්භය රචනය කරන අතර  නීට්‍ෂේ එහි බිඳවැටීම නිවේදනය කළේය. 

ප්ලේටෝ ආත්මය සලකන්නේ ප්‍රඥාවෙන්, තාර්කිකත්වයෙන් සහ චින්තනයෙන් ප්‍රකාශ වන අද්භූත යථාර්ථයක් ලෙස ය. ප්ලේටෝගේ න්‍යායන් අද්භූතවාදීන්ට සහ ඔවුන්ගේ අධ්‍යාත්මික හැඟීම්වලට ආයාචනා කරන අතර, නීට්‍ෂේගේ න්‍යායන් යථාර්ථයට වඩා සමීප ය.  නීට්‍ෂේ  තර්ක කරන්නේ සියලු ජීවයේ මූලික ශක්තිජනකය වන්නේ ‘බලයට ඇති කැමැත්ත (will to power) බවය. සදාචාර අර්බුදයෙන් ගොඩ ඒම අවසානයේ පවතින්නේ දයානුකම්පිතව වර්තමානයේ ජීවත් වීම මතය. නීට්‍ෂේගේ කෘති අතීතයේ ජීවත්වීමේ ඍණාත්මක ප්‍රතිඵල  පිලිබඳව කරුණු ඉස්මතු කරයි. 

මිනිසා පූර්ණත්වයක්  සොයා ගන්නේ ඔහුගේ ශරීරය භාවිතා කිරීමෙනි.ශරීරය කෙරෙහි ප්ලේටෝගේ ආකල්පය කායික සංවේදනයන්ගේ යථාර්ථයන් බැහැර කරයි. නීට්‍ෂේ ආත්මය සහ ශරීරය පිළිබඳ දිව්‍ය විශ්වාසයන් බැහැර කරන අතර එය විද්‍යාව, ජීව විද්‍යාව සහ කායික විද්‍යාව සමඟ ප්‍රතිස්ථාපනය කරයි. නීට්‍ෂේගේ යොමුව වනාහී විශ්වයේ වෙනස්කම් පිළිගැනීම සහ අභ්‍යන්තර තෘප්තිය තුළින් පුද්ගල නිදහස සොයා ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීමයි. 

ප්ලේටෝගේ අධි තර්කානුකූල ආශාව නීට්‍ෂේගේ දෝශ දර්ශනයට හේතු විය. ප්ලේටෝ දර්ශනය එක තැන පල් වන බව සඳහන් කරන නීට්‍ෂේ හෙරක්ලිටස් මෙන් තමන්   ප්‍රවාහය දකින බව කියයි.  ප්ලේටෝ  බුද්ධිමය ලෝකයේ පාරභෞතිකය නිර්මාණය කර ඇති බවට තව දුරටත් චෝදනා කරයි. ප්ලේටෝගේ ජනරජයේ ගුහා උපමාව බටහිර පාරභෞතික විද්‍යාවේ අවිවාදිත ලෙස ආධිපත්‍යය දරයි. ලෝකය, හුදු සෙවනැලි පෙනුමේ ලෝකයකි. ප්ලේටෝ විශ්වාස කළේ ලෝකයේ සැබෑ යථාර්ථය පිළිබඳ සංවේදී හෙළිදරව්ව මිත්‍යාවන් විය යුතු බවයි. ශුන්‍යවාදය ජයගැනීමේදී, නීට්‍ෂේ ප්ලේටෝගේ ගුහාවේ උපමාව සිහිපත් කරයි. 

ගුහාව" යන උපමාවේදී, ප්ලේටෝ විස්තර කරන්නේ හිස් බිත්තියකට මුහුණලා ජීවිත කාලය පුරාම ගුහාවක බිත්තියට දම්වැල් බැඳගෙන ජීවත් වූ පිරිසක් ගැන ය. මිනිසුන් තම පිටුපසින් ඇති ගින්නක් ඉදිරිපිටින් ගමන් කරන වස්තූන්ගෙන් බිත්තිය මත ප්‍රක්‍ෂේපණය කරන ලද සෙවනැලි නරඹා මෙම සෙවනැලි වලට නම් ලබා දෙයි. සෙවණැලි යනු සිරකරුවන්ගේ යථාර්ථය වන නමුත් සැබෑ ලෝකය පිළිබඳ නිවැරදි නිරූපණ නොවේ. සෙවණැලි නිරූපණය කරන්නේ සාමාන්‍යයෙන් අපගේ ඉඳ්‍රියයන් හරහා අපට දැකිය හැකි යථාර්ථයේ කොටස වන අතර සූර්‍යයා යට ඇති වස්තූන් අපට තර්කයෙන් පමණක් වටහා ගත හැකි වස්තූන්ගේ සැබෑ ස්වරූපය නියෝජනය කරයි. දාර්ශනිකයා ගුහාවෙන් නිදහස් වූ සිරකරුවෙකු හා සමාන වන ආකාරය සොක්‍රටීස් පැහැදිලි කරයි. කෙසේ වෙතත්, ගුහාවේ අනෙකුත් රැඳවියන් ඔවුන්ගේ සිරගෙයින් පිටවීමට පවා කැමති නැත, මන්ද ඔවුන් වඩා හොඳ ජීවිතයක් නොදන්නා බැවිනි. නීට්ෂේ සැඟවුණු යථාර්ථයක් පිළිබඳ අදහස සමඟ මූලික වශයෙන් එකඟ නොවන අතර එය අපව අත්දැකීමෙන් ඉවත් කරන ආකාරය පිළිබඳ අදහස විනාශකාරී ලෙස දකියි.

ප්ලේටෝවාදය සඳහා ද්විත්වවාදයේ ගැටලුව තිබේ, ගැටලුව වන්නේ ආත්මය සහ පදාර්ථය අතර රේඛාවයි.  ප්ලේටෝ සහ නීට්‍ෂේ අතර  පාරභෞතික මාතෘකා පිළිබඳ පරස්පරතා තිබේ. නීට්‍ෂේ සහ ප්ලේටෝ  සදාචාරාත්මක හා සංස්කෘතික සංසිද්ධීන් කෙරෙහි උනන්දුවක් දක්වන බව සැබෑය. නීට්‍ෂේ ප්ලේටෝව “සදාචාරවාදියෙකු” ලෙස සලකයි.  ප්ලේටෝගේ සංකල්පයන් යථාර්ථයෙන් මිදීමේ සහ ලෝකයේ සංකීර්ණතා සමඟ ගනුදෙනු කිරීමෙන් වැළකී සිටීමේ මාර්ගයක් බව නීට්‍ෂේ විශ්වාස කළේය.

 ශරීරය පිළිබඳ ප්ලේටෝගේ මතය එනම් ශරීරය ආත්මයට වඩා පහත් බවත්, ශාරීරික සතුට නරක බවත් ප්ලේටෝගේ මතය ද නීට්‍ෂේ විවේචනය කළේය.  නිරෝගී සහ තෘප්තිමත් ජීවිතයක් සඳහා ශරීරය හා ශාරීරික සතුට වැළඳ ගැනීම අත්‍යවශ්‍ය බව නීට්‍ෂේ විශ්වාස කළේය. නීට්‍ෂේ ප්ලේටෝගේ සදාචාරය පිළිබඳ සංකල්පය සමඟ ද ගැටලූවක් ඇති කළේය, එය බලවතුන්ට ජනතාව පාලනය කිරීමේ මාර්ගයක් ලෙස ඔහු දුටුවේය. සැබෑ සදාචාරය අභ්‍යන්තරයෙන් පැමිණිය යුතු බවත් පුද්ගල අත්දැකීම් සහ ඉදිරිදර්ශනය මත පදනම් විය යුතු බවත් නීට්‍ෂේ විශ්වාස කළේය. නීට්‍ෂේ ප්ලේටෝගේ සදාකාලික සත්‍ය පිළිබඳ විශ්වාසය ද විවේචනය කළේ සත්‍යය සැමවිටම වෙනස් වන බවත් ස්ථාවර හා වෙනස් නොවන සත්‍යයක් නොමැති බවත් තර්ක කළේය.

ප්ලේටෝ මෙන් නොව, නීට්‍ෂේ ආශාවන් සහ පුද්ගලික ආත්මීය අවබෝධය ගැන සැලකිලිමත් වූ අතර ඒවා බලය සඳහා වූ කැමැත්තෙන් ලබාගත් අධ්‍යාත්මික කලාත්මක අත්දැකීම්වල ප්‍රතිඵලයක් මිස විඥානවාදය නොවේ යන ස්ථාවරය දැරුවේය.  ප්ලේටෝ ආත්මීයව නිර්මාණය කරන ලද කලා කෘති බැලීමෙන් අතාර්කිකව නැඟී  චිත්තවේගීයත්වයට විරුද්ධ වන අතර, නීට්‍ෂේ එහි විශාලතම යෝජකයා වේ. නීට්ෂේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වූ අතර බලවත් රාජ්‍යයකට කැමති විය. ප්ලේටෝ ජනරජයක් පිලිබඳ කතා කරයි. රාජ්‍යය දාර්ශනික රජවරුන් විසින් පාලනය කළ යුතු බව කීවේය.

ද්‍රව්‍යමය ලෝකය පරිපූර්ණ, සදාකාලික යථාර්ථයක අසම්පූර්ණ ප්‍රතිබිම්බයක් බව ප්ලේටෝ විශ්වාස කලේය. එසේම ඔහු නිරපේක්‍ෂ සත්‍යයේ සහ දැනුමේ පැවැත්ම විශ්වාස කලේය. නීට්‍ෂේ පරම සත්‍යය පිළිබඳ අදහස ප්‍රතික්‍ෂේප කළ අතර සියලු වටිනාකම් සහ විශ්වාසයන් පුද්ගලයාට සාපේක්‍ෂ බව විශ්වාස කළේය. සාම්ප්‍රදායික සදාචාරය පිළිබඳ ඔහුගේ විවේචනයට සහ සාම්ප්‍රදායික සදාචාරය ඉක්මවා ගොස් තමාගේම සාරධර්ම නිර්මාණය කළ පුද්ගලයෙකු වන "සුපිරි මිනිසා" හෝ "Übermensch" පිළිබඳ ඔහුගේ සංකල්පය සඳහා ඔහු ප්‍රසිද්ධය.  සාරාංශයක් ලෙස ප්ලේටෝ විශ්වාස කළේ පරම සත්‍යය සහ පරිපූර්ණ යථාර්ථයක් වන අතර, නීට්ෂේ පරම සත්‍යය ප්‍රතික්ෂේප කළ අතර සියලු වටිනාකම් පුද්ගලයාට සාපේක්ෂ බව විශ්වාස කළේය.

ප්ලේටෝ  විශ්වාස කරන්නේ සත්‍යය ආකෘතිවලින් පැමිණෙන අතර එය වෙනස් කළ නොහැකි ස්ථාවර අදහසක් බවයි. නීට්‍ෂේ අදහස් දක්වන්නේ සත්‍යය සොයා ගැනීමට මාර්ගය මිය යාම නම්, මූලික වශයෙන් සත්‍යය මිය ගොස් ඇති අතර, එයින් වක්‍රව අදහස් වන්නේ සත්‍යය නොපවතින බවයි. නීට්‍ෂේ සැබෑ සත්‍යයක් නොමැති බව විශ්වාස කරන බැවින් ඔහුට අවශ්‍ය වන්නේ පුද්ගලයන් නිර්මාණශීලී වීම මිස ස්ථාවර අදහස සැබෑ සත්‍යය ලෙස සැලකීම නොවේ.  ප්ලේටෝගේ අමරණීය ආත්මය සහ ශරීරය මරණයට හා පසු ජීවිතයට පෙර 'වාහකයෙකු' ලෙස ක්‍රියා කිරීම නීට්‍ෂේ බැහැර කරයි. ඔහු ප්‍රධාන වශයෙන් ඔහුගේ න්‍යායන් පදනම් කරන්නේ පාරභෞතික ද්විත්වවාදයේ ප්‍රතික්ශේප කිරීම (disapproval of metaphysical dualism ) මතය. ප්ලේටෝ මෙන් නොව, නීට්‍ෂේ විශ්වාස කරන්නේ බුද්ධිය සහ ශරීරය එකමුතුව ක්‍රියා කරන බවයි.

නීට්‍ෂේට අනුව සොක්‍රටික් තාර්කික චින්තනය දුර්වලකමේ සලකුණකි. ක්‍රිස්තියානි ධර්මය යනු ප්ලේටෝවාදයේ දිගුවක් පමණක් බව නීට්‍ෂේ ප්‍රකාශ කළේය. නීට්‍ෂේ ගේ දර්ශනයේ කේන්ද්‍රීය වන්නේ "ජීවිතය-තහවුරු කිරීමයි. Beyond Good & Evil හි පෙරවදනෙහි, නීට්ෂේ ප්‍රකාශ කරන්නේ "ක්‍රිස්තියානි ධර්මය යනු මහජනතාව සඳහා ප්ලේටෝවාදයයි". ප්ලේටෝ යථාර්තය තුළට   සදාචාරය එන්නත් කරන බව නීට්‍ෂේ පෙන්වා දෙයි. ප්ලේටෝනික සංවාද ඛේදවාචකය සහ පොදුවේ කලාව ප්‍රතික්‍ෂේප කරයි.   The Will to Power හි නීට්‍ෂේ    පවසන්නේ "සෑම විශ්වාසයක්ම අසත්‍ය වන්නේ සත්‍ය ලෝකයක් නොමැති නිසා" බවයි.  ප්ලේටෝට ප්‍රතිවිරුද්ධව, ආත්මය සදාකාලික අංශුවක් නොවන බව  නීට්‍ෂේ තර්ක කරයි.

නීට්‍ෂේ ඔහුගේම දර්ශනය "ප්‍රතිලෝම ප්ලේටෝවාදයක් ලෙස ඉදිරිපත් කරයි.  මේ අනුව නීට්‍ෂේ  දැඩි ලෙස ප්ලේටෝනික් විරෝධී වේ. නීට්ෂේ අපෙන් ඉල්ලා සිටින වෙනස ප්ලේටෝනික් / ක්‍රිස්තියානි ලෝක දෘෂ්ඨිය ආපසු හැරවීමක් බව නීට්ෂේ කියවීමෙන් අපට අවබෝධ විය යුතුය.


References 

Ahem, D.(1990). Anderson,M.(2014). Plato and Nietzsche: Their Philosophical Art, Bloomsbury.

Bett, R. (1986).Nietzsche and Plato. Oxford Studies in Ancient Philosophy. 

Friedrich Nietzsche, The Gay Science, transl. J. Nauckhoff, New York: Cambridge University Press, 2001.

Nehamas, A . (1987).Nietzsche: Life as Literature. Cambridge, MA: Harvard University Press.

 Reginster, B.(2008).The Affirmation Of Life, Harvard University Press, Cambridge.

Werner, J. D.(1974). Nietzsche’s View of Socrates. Ithaca: Cornell University Press. 

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook