Wednesday, July 12, 2023

නීට්ෂේගේ දේශපාලන චින්තනය



වෛද්‍ය රුවන් එම් ජයතුංග 

සංස්කෘතිය, දර්ශනය සහ කලා ලෝකය කෙරෙහි නීට්‍ෂේගේ බලපෑම අවිවාදිතය. නමුත් ඔහුගේ දේශපාලන චින්තනය මතභේදයේ ගිලී පවතී. නීට්‍ෂේ සම්ප්‍රදායික අර්ථයෙන් දේශපාලන චින්තකයෙක් නොවීය​. ඔහු සාම්ප්‍රදායික දේශපාලන මතවාදයන් ප්‍රතික්‍ෂේප කලේය. ​ඔහුගේ චින්තනයට දේශපාලනය අනිවාර්‍යෙන් ඇතුලත් වෙයි. කලාව, ආචාර ධර්ම (ethics) සහ සංස්කෘතිය දේශපාලනයෙන් වෙන් කළ නොහැකි බව නීට්‍ෂේ පෙන්වා දුන්නේය​. නීට්‍ෂේගේ දර්ශනය නව ජීවිතයක්, නව දේශපාලනයක් නව මිනිසුන් හෝ ජනතාවක් සෙවීමේ ව්‍යාපෘතියකි.  නීට්‍ෂේට වැදගත් වූයේ මනුෂ්‍ය ශ්‍රේෂ්ඨත්වය සහ මානව ශ්‍රේෂ්ඨත්වයට සහාය විය හැකි සංස්කෘතියක් ඒකාබද්ධ කිරීමයි. 

නීට්‍ෂේට සිදුවූ බලවත්ම හාණිය නම් හිට්ලර් ඇතුළු නට්සීන් විසින් නීට්‍ෂේ චින්තනය විකෘති කොට එය ඔවුන් ගේ වාර්ගික ශුද්ද කිරීම් සඳහා යොදා ගැනීමයි. නාසීන් විසින් නීට්‍ෂේගේ දේශපාලන චින්තනය විකෘති කොට අත්පත් කර ගැනීම නිසා නීට්‍ෂේගේ දේශපාලන චින්තනය ලෝකයට විවර නොවීය​. එමගින් නීට්‍ෂේගේ දේශපාලන න්‍යාය යටපත් විය​. වෝල්ටර් කෝෆ්මන් නීට්‍ෂේ ගේ ලේඛණ අධ්‍යනය කොට ඔහුව පුනරුත්ථාපනය කරන තෙක් ලෝකය, නීට්‍ෂේ යනු  ප්‍රෝටෝ-නාසි දේශපාලන  දාර්ශනිකයෙකු ලෙස හඳුනාගෙන තිබුනි.  

දේශපාලන න්‍යායට නීට්‍ෂේගේ අදාළත්වය පිළිබඳ  කතිකාව 1970 ගණන්වල සිට ක්‍රමයෙන් වර්ධනය විය. නීට්‍ෂේට දේශපාලන දර්ශනයක් නොමැති බව බ්‍රයන් ලෙයිටර් තර්ක කරයි. ඔහුගේ චින්තනයේ දේශපාලන මානය ක්‍රමානුකූල නොවේ. ඔහු දේශපාලන බෙහෙත් වට්ටෝරු ඉදිරිපත් නොකරයි. එහෙත් ඔහුගේ ලේඛන දේශපාලනයට ඇඟවුම් නැති බව එයින් අදහස් නොවේ. ප්‍රධාන ධාරාවේ දාර්ශනික සම්ප්‍රදායෙන් පරිබාහිර චරිතයක් වූ ඔහුගේ කලාවට දේශපාලන අරමුණක් ඇත. ඔහු ප්‍රධාන වශයෙන් රූසෝ, කාන්ට් සහ මිල් වැනි අනෙකුත් දේශපාලන න්‍යායවාදීන් සමඟ ඔහුගේ චින්තනය නිරන්තරයෙන් සංසන්දනය කළ අතර, ප්‍රබුද්ධ ලිබරල්වාදයේ බංකොලොත් භාවයට විකල්පයක් ඉදිරිපත් කරන බව ඔහු කියා සිටියේය. නීට්‍ෂේ  පවත්නා දේශපාලන  මූලධර්මවලට විවිධ ආකාරවලින් අභියෝග කලේය. මේ අනුව  දේශපාලන චින්තනය සඳහා නීට්‍ෂේගේ අදාළත්වය පැහැදිලි වෙයි. තවද නීට්‍ෂේ ගේ දේශපාලන චින්තනය අවබෝධ කර ගැනීමට සංවේදී හා සියුම් ප්‍රවේශයක් අවශ්‍ය වෙයි. 

නීට්‍ෂේ "ශිෂ්ටාචාරයේ ගැටලුව" සහ මනුෂ්‍ය වර්ගයාට එහි ඉතිහාසයට ඉලක්කයක් සහ මඟ පෙන්වීමක් ලබා දීමේ අවශ්‍යතාවය ගැන සැලකිලිමත් වූ අතර, ඔහු මේ අර්ථයෙන්  දේශපාලන චින්තකයෙකු බවට පත් වෙයි. නීට්‍ෂේ යනු  මිනිසාට බලය කෙරෙහි ඇති ස්වභාවික උනන්දුව තුළින් නව දේශපාලන න්‍යායික අවබෝධයන් රාශියක් සකස් කළ දාර්ශනිකයෙකි. නීට්‍ෂේගේ දේශපාලන චින්තනයේ දාර්ශනික අර්ථකථනයන් වැදගත් ය. සමාජය තුළ බලය ක්‍රියාත්මක වන ආකාරය ඔහු විසින් පෙන්වා දෙයි.  සියලු මිනිස් හැසිරීම් වල මූලික අභිප්‍රේරණය බලය කෙරෙහි ඇති ආකර්ශනය මත සනිටුහන් වන බව නීට්‍ෂේ ගේ අදහසයි. නීට්‍ෂේ විශ්වාස කළේ සියලුම ජීවීන් බලයට ඇති කැමැත්තෙන් පාලනය වන බවයි. 

නීට්ෂේට ජාතිකවාදී දේශපාලනයේ හෝ සම්ප්‍රදායික වාම/දකුනු දේශපාලන වර්ණාවලියේ ඉඩක් නැත. සමාජය පුද්ගලයාට ඕනෑවට වඩා සීමා පනවා ඇති බව නීට්‍ෂේ විශ්වාස කලේය​. නීට්‍ෂේ පුද්ගලවාදය සහ ස්වයං-නිර්මාණයක අවශ්‍යතාවය ගැන  කතා කරයි. ඔහු ස්වයං පාලනය පිළිබඳ සංකල්පය ප්‍රවර්ධනය නොකරයි; ඔහු සැබවින්ම අරමුණු කළේ යථාර්ථයක් ලෙස පිළිසිඳ ගැනීමට යමෙකු ශක්තිමත් විය යුතුය යන පණිවිඩය ප්‍රවර්ධනය කිරීමයි. ඔහු සමාජ, සංස්කෘතික හා දේශපාලන ප්‍රභූවක් (élite) ගොඩනැගීමට අපේක්‍ෂා කලේය​. නීට්ෂේ ඔහුගේ  Ecce Homo (1888) කෘතියෙන් තමා  දේශපාලන චින්තකයෙකු බව කියයි. නීට්‍ෂේ එක්තරා ආකාරයකට අධි-දේශපාලන දාර්ශනිකයෙකි.

දාර්ශනිකයන් ස්වල්ප දෙනෙක් සැබවින්ම නීට්‍ෂේ "පුද්ගලවාදී" (Individualism) චින්තකයෙකු ලෙස සලකති. මෙම කියවීමට අනුව, ඔහු තෝරා ගන්නා  නිර්මාණශීලී සහ දක්‍ෂ පුද්ගලයන් කිහිප දෙනෙකුගේ යහපැවැත්ම ගැන සැලකිලිමත් වන අතර අවශේෂ  "රංචුව" ගැන එතරම් සැලකිල්ලක් නොදක්වයි. පුද්ගලවාදය යනු පුද්ගලයාගේ සහජ වටිනාකම අවධාරණය කරන සදාචාරාත්මක ස්ථාවරය, දේශපාලන දර්ශනය, දෘෂ්ටිවාදය සහ සමාජ දැක්මයි. පුද්ගලවාදීන් පුද්ගලයාගේ අරමුණු සහ ආශාවන් සාක්‍ෂාත් කර ගැනීම, ස්වාධීනත්වය සහ ස්වයං විශ්වාසය අගය කිරීම සහ පුද්ගලයාගේ අවශ්‍යතා රාජ්‍ය හෝ සමාජ කණ්ඩායමකට වඩා ප්‍රමුඛත්වය ලබා ගත යුතු බව ප්‍රවර්ධනය කරන අතරම, සමාජය හෝ රජය වැනි ආයතන විසින් තම අවශ්‍යතාවලට බාහිර ඇඟිලි ගැසීම් වලට විරුද්ධ වේ. නීට්‍ෂේ සිතන්නේ පුද්ගලවාදය වෙනුවෙන් පෙනී සිටිමින්, රංචු මානසිකත්වයකට ඇලී සිටීම ධනාත්මක දෙයක් නොවන බවයි. නීට්‍ෂේට අනුව පුද්ගලවාදය යනු බලයට ඇති කැමැත්තේ නිහතමානී සහ තවමත් අවිඥානික ආකාරයකි.

නීට්‍ෂේ බොහෝ විට මහජන ව්‍යාපාරවලට සහභාගී වූ සහ පොදු මහජන මනෝවිද්‍යාව බෙදාගත් සාමාන්‍ය ජනතාව හැඳින්වූයේ  "රංචුව" (herd) ලෙසිනි. ඔහු පුද්ගලවාදය අගය කළද ඔහුගේ සාමාන්‍ය දේශපාලන අදහස්වලට සාමාන්‍යයෙන් නූතන පුද්ගලවාදී මතවාදයන්ට නොගැලපෙන ධූරාවලි සහ අධිකාරීවාදී අදහස් ඇතුළත් විය. නීට්‍ෂේ වංශාධිපති සමාජ සහ මිලිටරි ප්‍රභූන් පැසසුමට ලක් කළේ ඔවුන් විසින් සංස්කෘතියේ ඉහළ ගුණාත්මක බවක් ඇති කරන බව පවසමිනි.   

නීට්‍ෂේගේ දේශපාලන අදහස් මුලින්ම තේරුම් ගත යුත්තේ බිස්මාර්ක්ගේ ප්‍රතිපත්ති විමර්ශනයට ලක් කිරීමෙනි. ඔටෝ, බිස්මාර්ක් 1862 සිට 1890 දක්වා ඔහු ප්‍රෂියාවේ ඇමති ජනාධිපති සහ විදේශ ඇමති විය. ඔහු 1871 දී ජර්මනිය එක්සත් කිරීමේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර 1890 දක්වා ජර්මානු අධිරාජ්‍යයේ පළමු චාන්සලර්වරයා ලෙස කටයුතු කලේය​. 1871 වන විට ප්‍රුසියානු ආධිපත්‍යය සම්පූර්ණ කිරීමත් සමඟ, සාමකාමී යුරෝපයක් තුළ ජර්මනියේ තත්ත්වය පවත්වා ගැනීම සඳහා බිස්මාර්ක් දක්‍ෂ ලෙස බල තුලනය භාවිතා කළේය. බිස්මාර්ක්ගේ ප්‍රතිපත්ති දහනවවන සියවසේ අගභාගයේ ජාත්‍යන්තර දේශපාලනය විශල වශයෙන්  පරිවර්තනය කරන ලදි.  බිස්මාර්ක්ගේ ආගමනය නීට්‍ෂේ සලකන ලද්දේ ග්‍රීක උසස් සංස්කෘතියේ නැවත ඉපදීමක් ලෙසටය. එක්සත්, විශ්වීය යුරෝපයක් සඳහා වූ නීට්‍ෂේගේ දැක්ම ඔහුගේ දේශපාලනය තුලින් හෙලි වෙයි. මේ අනුව නීට්‍ෂේ දේශපාලනික දාර්ශනිකයෙකු ලෙසටද වර්ගීකරණය කල හැක​. 

නීට්‍ෂේට ඉතාලි රාජ්‍ය තාන්ත්‍රිකයෙකු සහ දේශපාලන චින්තකයෙකු වූ නිකොලෝ මැකියාවෙලි ගැන මිශ්‍ර හැඟීම් තිබුණි. මැකියාවෙලි නූතන දේශපාලන දර්ශනයේ සහ දේශපාලන විද්‍යාවේ පියා ලෙස සැලකේ. නීට්‍ෂේ මැකියාවෙලි "භයානක ලෙස ජීවත් වූ" සහ මහා නිදහස් ආත්මයක්" ලෙස වර්ණනා කරයි. කෙසේ වෙතත්, නීට්‍ෂේ මැකියාවෙලිගේ "නරුමත්වය" සහ "සදාචාරය නොමැතිකම" ද විවේචනය කරයි බලය හඹා යාමේදී වංචාව සහ ප්‍රචණ්ඩත්වය භාවිතා කිරීම වෙනුවෙන් පෙනී සිටින බවට ඔහු මැකියාවෙල්ලිට චෝදනා කරයි. සමස්තයක් වශයෙන්, නීට්‍ෂේ මැකියාවෙලිගේ බුද්ධියට ගරු කර ඇති බව පෙනේ.

පැරිස් කොමියුනය පිලිබඳව නීට්‍ෂේගේ පිළිකුල පැහැදිලිය​. පැරිස් කොමියුනය 1871 මාර්තු 18 සිට මැයි 28 දක්වා පැරීසියේ බලය අල්ලා ගෙන සිටි අතර ඔවුන් පුද්ගල ත්‍රස්තවාදයද භාවිතා කලෝය​. නීට්‍ෂේ රෙනේ ඩෙකාට්ස් "ප්‍රංශ විප්ලවයේ සීයා" ලෙස නම් කලේය. ප්‍රංශ විප්ලවය හේගල් සඳහා භාරකරුවන් සහ නිෂ්පාදකයින් අතර පැරණි ප්ලේටෝනික බෙදීම අවසන් කළ සිදුවීම  විය. නීට්‍ෂේ ප්‍රංශ විප්ලවය සලකන ලද්දේ "වහල්-කැරලි" ක්‍රියාවලියේ වේදිකාවක් ලෙසය. 

නීට්‍ෂේ නැපෝලියන්ව​ අර්ථකථනය කළේ සාම්ප්‍රදායික සදාචාරයට ඉහළින් සිටි, ප්‍රංශ විප්ලවය අවලංගු කළ, යටත් විජිත වහල්භාවය ප්‍රතිෂ්ඨාපනය කළ,සහ රෝම අධිරාජ්‍යයේ, මිථ්‍යාදෘෂ්ටිකවාදයේ සහ පුනරුදයේ ප්‍රභූ ආත්මය ලෙසටය​. නීට්‍ෂේට අනුව නැපෝලියන් බලය සහ අධ්‍යාත්මික සෞඛ්‍යය මූර්තිමත් කළ අතර එබැවින් ප්‍රශංසනීය පුද්ගලයෙකි. ඔහු විශිෂ්ටත්වය කරා තම මාවත සෙවීමට අන් අයව පොළඹූ පුද්ගලයෙකු බව නීට්‍ෂේ විශ්වාස කලේය​.  නීට්‍ෂේ නැපෝලියන්ව වර්ග කරන්නේ මිථ්‍යාදෘෂ්ටික පෞරාණිකත්වයේ (pagan antiquity) සහ පුනරුද යුගයේ නියෝජිතයෙකු ලෙසටය.  නැපෝලියන්ගේ වැටීමෙන් පසු අහිමි වූ ප්‍රංශ දහහත්වන සහ දහඅටවන සියවස්වල උතුම් සාරධර්මවල අවසාන ප්‍රකාශනය ඔහු දුටුවේය   නීට්‍ෂේ ගේ නැපෝලියන් පිළිබඳ වාර්තාව ඒකපාර්ශ්වික නොවේ: ඔහු නැපෝලියන්ගේ දූෂණය ද විස්තර කරයි.

නීට්ෂේ යනු යුරෝපීය සංස්කෘතියේ ව්‍යාධි විද්‍යාව වඩාත් හොඳින් හඳුනාගත් චින්තකයෙකි. නීට්ෂේ ට අනුව බටහිර ශිෂ්ටාචාරය අර්බුදයකට ලක්ව ඇත්තේ එහි දෙවියන් මිය ගොස් ඇති නිසාත්, ඒ අනුව ක්‍රිස්තියානි ධර්මය විසින් ප්‍රදානය කරන ලද අර්ථයත්-එමෙන්ම කලාව, සදාචාරය සහ පාරභෞතික විද්‍යාව අනුව අනුගමනය කළ සියල්ලත් බිඳ වැටීමත් නිසාය. බටහිර සංස්කෘතිය සතු බුද්ධිමය සම්පත් තවදුරටත් ලෝකයට අරුතක් පුරවාලීමට හැකියාවක් නොමැති නිසා ඒවා යම් අවස්ථාවක දී බිඳ වැටිය යුතු බව නීට්‍ෂේ උපකල්පනය කරයි. නූතනත්වය මුහුන දෙන සදාතනික අනතුර ශුන්‍යවාදයයි (nihilism). නූතන ශුන්‍යවාදයේ අගාධය දෙස බැලීමට නීට්ෂේ නිර්භීත විය. නීට්‍ෂේ ඔහුගේ අවධානය “සුපිරි මිනිසා” වෙත යොමු කළේ මේ නිසාය​. නීට්ෂේ විශ්වාස කරන්නේ, බලය සඳහා ඇති ආශාව අපගේ ශරීර සහ සමාජය තුළ 'සෞඛ්‍ය සම්පන්න, ධූරාවලි සංවිධානයක්' ඇති කරනු ඇති බවයි. 

නීට්‍ෂේට ලිබරල් දේශපාලන දර්ශනය පිළිබඳ බරපතල විවේචන තිබුණි. චින්තකයෙකු ලෙස ඔහුව අගය  කරන්නන්  පවා නීට්‍ෂේ ලිබරල් විරෝධී සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී බව පොදුවේ පිළිගනී. නීට්ෂේ ගේ බලය පිළිබඳ දර්ශනය නූතන දේශපාලන චින්තනයේ ප්‍රධාන ස්ථානයක් ගනියි. නීට්ෂේ  පශ්චාත් නූතන ප්‍රජාතන්ත්‍රවාදී චින්තනය තුළ දාර්ශනිකයාගේ භාවිතය අභියෝගයට ලක් කරයි. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය යනු "මිනිසාගේ සාමූහික පරිහානිය" බව පවසමින් නීට්ෂේ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි සැක පහළ කරයි.  ප්‍රජාතන්ත්‍රවාදය නියෝජනය කරන්නේ සමානාත්මතාවයේ නැගීම බව ඔහුගේ උපකල්පනය විය​.  

නීට්‍ෂේ , ප්ලේටෝ, ෆ්‍රොයිඩ්, හොබ්ස් සහ රූසෝ මෙන්  මිනිස් ස්වභාවය විස්තර කරන්නේ මිනිසුන් එකිනෙකාට වෙනස් එකිනෙකා ගෙන් වෙනස් වන අද්විතීයභාවයන් සහිත වන බව කියමිනි. මේ නිසා ප්‍රජාතන්ත්‍රවාදී සමානාත්මතාව ව්‍යාජයක් බව නීට්‍ෂේ කියයි. ඔහු ප්‍රජාතන්ත්‍රවාදය දුටුවේ "රංචු මානසිකත්වය"  (herd mentality) වගා කිරීමක් ලෙසටය. රංචු-මානසිකත්වය බොහෝ මිනිසුන්ට සහජ ප්‍රකාශනයක් විය. නීට්‍ෂේ සාමාන්‍ය ජනතාව දකින්නේ තනි කැමැත්තක් නොමැති සහ කණ්ඩායම් සහජ බුද්ධියෙන් ජීවත් වන රංචු සතුන් ලෙසට ය. නීට්‍ෂේ "රංචු සදාචාරය" ගැන කතා කරන්නේ මධ්‍යස්ථභාවයෙන් සියල්ලන්ටම සමාන වීමේ ප්‍රජාතන්ත්‍රවාදී කැමැත්ත පිලිබඳවය​. ප්‍රජාතන්ත්‍රවාදය ජනතාව තුළ දුර්වලකම් ප්‍රවර්ධනය කරන බව ඔහු විශ්වාස කළේය. නීට්‍ෂේට අනුව ප්‍රජාතන්ත්‍රවාදය වැනි දේ තුළින් යුරෝපය පුරා ප්‍රචලිත වී ඇත්තේ ඔවුන්ගේ "වහල් සදාචාරය" ය. නීට්ෂේ මෙසේ ලිවීය: "උසස් සංස්කෘතියක් හටගත හැක්කේ සමාජයේ එකිනෙකට වෙනස් කුල දෙකක් ඇති තැන පමණි.  ලිබරල්වාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය අධ්‍යාත්මික අර්බුදයේ රෝග ලක්‍ෂණ ලෙස ඔහු පවසයි. ප්‍රජාතන්ත්‍රවාදී සමානාත්මතාවාදය සහ විශ්වීය මානව හිමිකම් පිළිබඳ ලිබරල් මූලධර්මය උසස් මානව වර්ගයන් බිහිවීමට බාධාවන් ඉදිරිපත් කරන බව ඔහු පෙන්වා දුන්නේය​. අනාගතයේදී යුරෝපයේ වඩ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් සංක්‍රමණවාදයට සහ මහජන හිස්ටීරියාවට වැටෙන බවට ඔහු අනතුරු ඇඟවීය.

නීට්‍ෂේ ප්‍රජාතන්ත්‍රවාදයේ නැගීම සහ බුද්ධිමතුන්ගේ ඉරණම පිලිබඳව කනස්සල්ල පළ කලේය​.  නීට්‍ෂේ මෙසේ කීවේය :"රාජ්‍යය අවසන් වන තැනින් පමණක් මනුෂ්‍යයා ආරම්භ වේ (Only where the state ends, there begins the human). නීට්ෂේ මෙසේ පෙන්වා දෙයි  :සමාජයක දක්‍ෂ හා නිර්මාණශීලී පුද්ගලයින් සිටින්නේ සීමිත ප්‍රමාණයකි. දුර්වල පුද්ගලයින් සමාජයේ බහුතරයක් වන බැවින්, ඔවුන් තමන්ගේම මානසිකත්වයක් සහ සදාචාරයක් ඇති රංචුවක් සාදයි. දුර්වල පුද්ගලයින්ට වැඩි බලයක් ඇති හෙයින් ඔවුන් දක්‍ෂ පුද්ගලයින් රංචුවේ කොටසක් බවට පත් වන තරමට මර්දනය කරයි. උදාහරණයක් ලෙස ඉතාලි තාරකා විද්‍යාඥයෙකු වූ ගැලීලියෝ ගේ චින්තනය කතෝලික පල්ලියේ ශුද්ධ ලියවිලි වලට පටහැනි නිසා ( රංචුවේ විශ්වාසයන්ට පටහැනි වූ නිසා ) ඔහුට චෝදනා ගොනු විය​. එසේම බ්‍රිතාන්‍ය ගණිතඥ  ඇලන්  ටියුරින් ගේ දැණුම සෛද්ධාන්තික පරිගණක විද්‍යාවේ දියුණුවට බෙහෙවින්ම බලපෑවේය​. එහෙත් ඔහු සමකාමී වීම (රංචුවේ අයෙකු නොවීම නිසා) ඔහුට දිවි නසා ගැනීමට සිදු විය.  

නීට්‍ෂේගේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී ආවේගයන් බටහිර දේශපාලන විචාරකයන්ට ඔහුව විවේචනය කිරීම සඳහා හේතූන් සපයයි. නීට්‍ෂේගේ දර්ශනය  ක්‍රමානුකූල නොවන ආකාරයෙන් ඉදිරිපත් කර ඇති බැවින් ඔහුගේ ප්‍රකාශයන්ට විවිධ අර්ථකථන සැපයිය හැක. 

න්‍යායවාදීන් නීට්‍ෂේ භයානක ලෙස අසමානතාවාදියෙකු (inegalitarian) ලෙස තේරුම් ගනිති. සමානාත්මතාවයේ සදාචාරයක් - සහ පරාර්ථකාමීත්වය සහ දුක් වේදනා සඳහා අනුකම්පාව - ඇත්ත වශයෙන්ම, මානව විශිෂ්ටත්වයට බාධාවක් බව නීට්‍ෂේ තර්ක කල බව සැබෑය​. ඔහු දේශපාලන පද්ධති කෙරෙහි උදාසීනය. නීට්‍ෂේ ලිබරල්වාදයේ සතුරෙකු නොවේ. ඔහු ඉල්ලා සිටින්නේ විශ්වීය සමානාත්මතාවයේ ව්‍යාජ නිදහසක් නොව අව්‍යාජ නිදහසකි.  නීට්ෂේ මෙසේ ලිවීය: මිනිසා ශක්තිය සහ බුද්ධිමය අවංකභාවය කෙරෙහි අවධානය යොමු කළේ නම්, ලෝකය වඩාත් සාමකාමී වනු ඇත. "ලෝකයේ සිදුවන සියලුම නපුරෙන් හතරෙන් තුනක්ම සිදු වන්නේ බියගුලුකම නිසා ය. 

ඔහු මිනිස් නිදහස සඳහා වූ අරගලයේ උද්‍යෝගිමත් ආධාරකරුවෙකු විය​. ඔහු ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම අරාජිකවාදය හා  කොමියුනිස්ට්වාදය ද විවේචනය කලේයසමාජවාදය සහ නිර්ධන පංති ව්‍යාපාරය කෙරෙහි නිෂේධාත්මක ආකල්පය නීට්ෂේගේ දර්ශනයේ වඩාත්ම ස්ථාවර තේමාවන්ගෙන් එකකි. නීට්‍ෂේ ප්‍රකාශ කරන්නේ සියලු මිනිස් හැසිරීම් සහ තර්ක 'බලයට ඇති කැමැත්ත' ප්‍රකාශනයක් බවයි. අනෙක් අතට, මාක්ස් තර්ක කළේ, සමාජ පද්ධති මූලික වශයෙන් පන්ති ගැටුමකින් සංලක්‍ෂිත වන අතර, පාලක පන්තිය අනෙකුත් පන්ති සූරාකෑම හරහා නිෂ්පාදන මාධ්‍යයන් පාලනය කරන බවය.  මාක්ස් විසින් පන්ති භේදය අභිබවා යන සමාජයක් අපේක්‍ෂා කළේය. එහෙත් නීට්‍ෂේ ඊට එකඟ නොවේ. නීට්‍ෂේ දෙවියන්ගේ මරණය ප්‍රකාශ කලේය, එහිදී මාක්ස් ධනවාදයේ මරණය ගැන පුරෝකථනය කලේය. ඔහු සමාජවාදය හැඳින්වූයේ "නීච හා මූඪ කුරිරු පාලන ක්‍රමයක් ලෙසටය​. ඔහු සමාජවාදය "ක්‍රිස්තියානිකරණයෙන් තොර ලෝකයේ ක්‍රිස්තියානි ධර්මයේ සහ රූසෝගේ අවශේෂ" බව පවසයි. 

සෝවියට් සංගමය විසින් නීට්‍ෂේ ප්‍රතිගාමී සහ ෆැසිස්ට්වාදියෙකු ලෙස සලකනු ලැබූ අතර ඔහුගේ කෘති සෝවියට් දේශය තුල සංසරණව වීම අවම කලේය​.   

නීට්‍ෂේගේ දේශපාලනය පිලිබඳ  සාවද්‍ය තක්සේරුව නම්  ඔහුව  නාසිවාදයේ පෙරගමන්කරුවෙකු ලෙස නම් කිරීමයි. ඔහු ජර්මානු ජාතිකවාදයට විරුද්ධ විය. ඔහු ජාතිකවාදී රාජ්‍යයට එරෙහිව සටන් කළේය. ජාතිකවාදය සහ යුදෙව් විරෝධීවාදය ඔහු ප්‍රතික්ශේප කලේය​. නීට්‍ෂේගේ සහෝදරිය සහ ඇයගේ සැමියා   යුදෙව් විරෝධි වූ අතර ඔවුන් ජාතිකවාදය සහ යුදෙව් විරෝධීවාදය පිළිබිඹු කිරීම සඳහා ඔහුගේ බොහෝ කෘති නොමඟ යවන ලෙස සංස්කරණය කළහ.  සැබෑ බලය යනු අන් අයව ආධිපත්‍යය දැරීමට නොව තමාව ජය ගැනීමට උත්සාහ කරන නිර්මාණශීලී, ශක්තිමත්, පුද්ගලයාගේ ගුණාංගයක් බව නීට්‍ෂේ පෙන්වා දුන්නේය​. සුපිරි මිනිසා යනු දේශපාලන අගතියෙන් තොර ස්වාමියා හෝ වහලෙකු නොවිය යුතු නව මිනිසෙකු බව ඔහු පෙන්වා දුන්නේය​.

අරාජකවාදීන් නීට්ෂේ වෙත ඇදී ගිය බොහෝ දේ තිබුණි. රාජ්‍යය පිළිබඳ ඔහුගේ විවේචනය ඔහු අරාජකවාදියෙකු ලෙස වරදවා වටහා ගැනීමට හේතු විය. අරාජකවාදයේ සන්දර්භය තුළ නීට්‍ෂේ ගේ දර්ශනය පවතින්නේ නැත​. නීට්ෂේ  අරාජකවාදය සලකන්නේ ක්‍රිස්තියානි ධර්මයේ ලෞකික ස්වරූපයක් ලෙස ය. නීට්‍ෂේට අනුව, අරාජකවාදීන් යනු මිනිස් තත්වය අස්වාභාවික හා විනාශකාරී අර්ථකථනයක් හරහා පරිහානියට පත් කරන්නන් ය.  ඔහු අරාජකවාදය දේශපාලන ව්‍යාපාරයක් සහ දෘෂ්ටිවාදයක් ලෙස සලකයි. අරාජකවාදීන් සහ සමාජවාදීන් "සමාජයේ පිරිහෙන ස්ථරයක්" නියෝජනය කරන බව ඔහු විශ්වාස කරයි. නීට්‍ෂේ අරාජකවාදයට සහය නොදැක්වූ අතර මේ අනුව නාසී චින්තනයට නීට්‍ෂේ කිසිදු වගවීමකින් තොරව නිදහස් වේ.

නීට්ෂේ ස්ත්‍රී විරෝධියෙකු ද නොවේ. 1874 දී ඔහු බාසල් විශ්ව විද්‍යාලයේ භාෂා විද්‍යාව පිළිබඳ මහාචාර්‍යවරයාව සිටියදී, විශ්ව විද්‍යාලයට කාන්තාවන් ඇතුළත් කිරීම පිළිබඳ ඡන්දයක් පවත්වන ලදී. නීට්‍ෂේ පක්‍ෂව ඡන්දය දුන් හතර දෙනාගෙන් කෙනෙකි. 1876 දී ඔහු ඉතාලියට ගියේ කාන්තාවන්ගේ විමුක්තිය වෙනුවෙන් දැඩි ලෙස උද්ඝෝෂණ කළ ස්ත්‍රීවාදියෙකු වූ මල්විඩා වොන් මේසෙන්බග් සමඟ සම්බන්ධ වීමට ය.   

ඇතැමෙකුට නීට්‍ෂේගේ චින්තනය ෆැසිස්ට්වාදය සමඟ යම් අසහනකාරී සම්බන්ධයක් ඇති බව පෙනේ. ඔහුගේ අදහස් ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ සමාජවාදී විරෝධී ය. එහෙත් ෆැසිස්ට්වාදය නීට්‍ෂේ පිලිගත්තේ නැත​. ෆැසිස්ට්වාදීන් ජර්මානු ජාතිය උසස් ජාතියක් ලෙස විශ්වාස කළහ. නීට්‍ෂේ එවැනි දෙයක් විශ්වාස කළේ නැත. නීට්‍ෂේ සමාජවාදියෙකු නොවන බවත්, ජාතිකවාදියෙකු නොවන බවත්, වාර්ගික චින්තනයට විරුද්ධ බවත් පෙනී යයි. නීට්‍ෂේ ජනවාර්ගික රේඛා ඔස්සේ නොව, සංස්කෘතික රේඛා ඔස්සේ සමාජයන් පිලිබඳ ප්‍රගතිය නිර්වචනය කලේය. සෑම උදාර  සංස්කෘතියක්ම ම්ලේච්ඡත්වයේ ආරම්භ වූ බව නීට්‍ෂේ පැවසීය​.  නීට්ෂේගේ පරමාදර්ශය සමාජයක් කුරිරු සහ කොල්ලකාරී හැසිරීම් වලට ආපසු යාම නොව, පුද්ගලයන්ට ස්වයං-තහවුරු කිරීම ය.

නීට්‍ෂේ රාජ්‍යය සහ ආගම අතර සමීප සම්බන්ධයක් දකින අතර මෙම ආයතන දෙක එකිනෙකාගෙන් යැපේ. මානව නිදහස සීමා කිරීම සඳහා ආගම විසින් මිනිස් සමාජය වෙත කරන ලද හානිය ඔහුගේ විවේචනයන්ට හසු වෙයි. රාජ්‍යය සහ ආගම අතර අන්තර් ක්‍රියාකාරිත්වය බොහෝ විට ව්‍යාකූලත්වයට හේතු වෙයි. ආගම රාජ්‍ය බලධාරීන්ට සහ රාජ්‍ය බලයට එහි නීත්‍යානුකූලභාවය ලබා දුන්නේය​. ජනාධිපති වොෂින්ටන් පවසන්නේ රාජ්‍ය (ආණ්ඩුව​) යනු අනපේක්ෂිත, අවුල් සහගත, භයානක සේවකයෙකු සහ බියකරු ස්වාමියෙකු බවයි. නීට්‍ෂේ රාජ්‍යවාදය හෙළා දකී; සහ පිළිකුල් කරයි.  නීට්‍ෂේගේ පුළුල් දේශපාලන චින්තනය වලංගු වන්නේ ඔහුගේ කාලයට පමණක් නොවේ. මානව පරිපූර්ණත්වය පිළිබඳ සංකල්පය ඔහුගේ දේශපාලන දර්ශනයට  ඒකාබද්ධ කිරීමට නීට්‍ෂේට අවශ්‍ය විය.ඔහු විශ්වාස කරන්නේ උසස් සංස්කෘතිය සහ කලාව සමෘද්ධිමත් විය හැකි අන්තර් ජාතික දේශපාලනයකි. එය සදාචාරය සහ ආගම වැනි  සීමාකාරී ආකාරවලින් මුදාගත් දේශපාලනයයි.  පුද්ගලයා සහ ඔහුගේ වැදගත්කම පිළිබඳ නව දැක්මක් මෙම ස්වාභාවික දේශපාලන ලෝකය තුළ විවෘත වේ. නීට්‍ෂේ පුද්ගලයාගේ සහ දේශපාලනයේ සාරය සමීපව සම්බන්ධ කරයි. ජෝර්ජස් බැටේල් පෙන්වා දෙන පරිදි නීට්‍ෂේගේ සිතුවිලි කිසිදු දේශපාලන ව්‍යාපාරයකට උපයෝගි කර ගත නොහැකි තරම් නිදහස් ය​.  


 
References 

Brobjer, T.(1999).“Nietzsche’s Knowledge, Reading and Critique of Political Economy”, Journal of Nietzsche Studies.

Dombowsky, D.(2014). Nietzsche and Napoleon: The Dionysian Conspiracy, Cardiff: University of Wales.

Drochon ,H.(2016). Nietzsche's Great Politics. Princeton University Press.

Hatab,L.J.(1995). A Nietzschean Defense of Democracy: An Experiment in Postmodern Politics (Chicago: Open Court Publishing Co.

Kaufmann, W.(1974). Nietzsche: Philosopher, Psychologist, Antichrist (Princeton: Princeton University Press.


No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook