ජයතිස්ස කුමාරගේ මහතා 71 කැරැල්ලට සම්බන්ධ වූවෙකි. තව ද ක්‍රියාශීලීව නායකත්වය දැරුවෙකි. ඔහු එම සිද්ධිය විස්තර කළේ මෙසේ ය.
මගේ පාසල් කාලය අර්බුදකාරී පාසල් කාලයක් වගේම සමහරු ගුරුවරුන්ගේ අර්බුදකාරී විෂම තත්ත්වයන්ට ලක් වෙච්ච කෙනෙක්. 9 ශ්‍රේණියේ දී මම ශිෂ්‍ය නායක පදවියටත් පත්වෙනවා. ඒ ශිෂ්‍ය නායකකම දුන්නහම සමහරු ගුරුවරු යම් යම් අකටයුතු කම් කළා. ඒ අපේ පවුල්වල තත්ත්වය අනුව ශිෂ්‍ය නායකකම මට නොගැලපෙන්නක් යයි සිතා. ඒ ප්‍රශ්න නිසා මට පාසල් ජීවිතය එපා වෙනවා. ඒ එපාවීම තුළින් මම වැටෙනවා දඩබ්බර ලීලාවෙන් මැර ස්වරූපයට. ඒ 1968 විතර ඒ 10 ශ්‍රේණියේ දී විතර. පළමු වරින් ම මා සාමාන්‍ය පෙළ සමත් වෙයි කියන විශ්වාසය යම් යම් ගුරුවරුන් තුළ තිබුණා. ඒ නිසා ඔවුන් මා උසස් පෙළ පන්තිවලට යොමු කරනවා. ඒ වෙනකොට මට පාසල් ජීවිතය සහ විභාග ජීවිතේ ම එපා වෙලා ඉවරයි. පළමු වර විභාගයෙන් පසු මා ජනතා විමුක්ති පෙරමුණේ පන්ති පහට සහභාගි අවසන්. ඒ අනුව දෙවන වර විභාගයේ දී ප්‍රශ්න පත්‍රරවලට හරියට උත්තර ලියන්නේ නැහැ හරියටම කියනවා නම්, ලියන්නේ පන්ති පහේ දී උගන්නපු දේවල්වලින් පිළිතුරු. ඒ 1968 විතර ඒ 10 ශ්‍රේණියේ දී විතර.
මේ කාලේ තරුණ සමාජ තුළ මාව සටන්කාමියෙකු විදියට තමයි හැඳින්වෙන්න පටන් ගන්නේ. අපේ ක්‍රීඩා සමාජය මේ කාලේ වේගයෙන් විවිධ ක්‍රියාකාරකම් කරන්ඩ උත්සාහ කරමින් සිටියා. මේ කාලේ අපේ පළාතේ තරුණයින් අතර මා සමාගම කියන පිළිගැනීමක් තිබුණා. ඔය කාලේ අපේ පළාතේම හිටපු ‘මාටින්’ සහ ‘ගාමිණී’ දෙදෙනා සමාජයේ කැපී පෙනෙන තරුණයින් වුණි. ඔවුන් දෙදෙනො තමයි මුලින් ම මා මුණ ගැසී එවක රටේ තත්ත්වය ගැන මට පැහැදිලි කරන්න උත්සාහ ගත්තේ. පවතින සමාජ ක්‍රමයේ අසාධාරණත්වය ගැන ඔව් කතා කළා. ඔවුන් මට සහෝදරයා කියලා ඇමතුව ම මට ඒක අලුත් දෙයක් වුණා.
මෙම කාලයේ අපි ත්‍රාසය රස විඳීමට ආසා කළෙමු. අඳුරේ ඇවිදීම අපට ත්‍රාසජනක දෙයක් විය. සටන් පිරි චිත්‍රපටි බැලීම අනිවාර්‍ය දෙයක් විය. හේනාවල කීර්ති සිනමා ශාලාවට නමයේ චිත්‍රපටි දර්ශන බැලීමට ගිය අප ආපසු ගෙදර පැමිණියේ චිත්‍රපටි චරිතවලට ආරූඪ වී ගෙන ය. අපි මෙසේ වින්දනීයව ආපසු එන ගමනේ දී බාල්දි කිහිපයක් හා තවත් මොනවාදෝ මිටි කිහිපයක් කරේ තබාගත් පිරිසක් අප ඉදිරියට එමින් සිටිනවා දුටුවෙමු. මේ මහා රෑ මෙසේ මහ පාරේ ඇවිදින පිරිස කවුදැයි මටත් අත්තනායකටත් සැකයක් ඇති වූ නිසා අපි ඔවුන් ගැන දැන ගැනීමට ආසා කළෙමු. ගෙදරක් ඉදිරියේ ඇති බැම්මක් ළඟ පිරිස නතර විය. හතර දෙනෙක් සිටි මේ පිරිසේ එක් අයෙක් බාල්දියක් බැම ළඟ තැබූ පසු තවත් කෙනෙක් විශාල බුරුසුවක් එයට ඔබා බැම්මේ එය අතුල්ලනවාත් සමග ඔවුන් දැන්වීම් පත්‍රිකා අලවන පිරිසක් බව අපට වැටහුණි. ඒ දැන්වීම් මොනවාදැයි දැන ගැනීමට ඇති වූ කුතුහලය නිසා අපි ඔවුන් වෙත වේගයෙන් ගියෙමු. මාටින් සහ ගාමිණී සමග තවත් අප නොදන්නා දෙදෙනෙකු එම පිරිසේ වූහ. අප දුටු මාටින් සරදම් සිනහවකින් අප දෙස බැලුවේ මට තරමක කෝපයක් ද ඇති කරමිනි. ”හා... කොහෙද ගියේ?” ”අපි චිත්‍රපටිය බැලුවා” ”ඕවා තමයි ඔය කට්ටියට ලොකු දේවල්” මට ඔහුගේ වචනවලින් මොනවා අදහස් කළේදැයි තේරුණේ නැත. ඔවුන් අප ගණන් ගත්තේ නැත. ලොකු දැන්වීම් පත්‍ර දෙකක් තාප්පයේ ඇල වූ ඔවුන් අප පසුකර කඩුගන්නාව දෙසට ගමන් කළේ දිග ගමනක් යන ආකාරයෙනි. ඔවුන් ඇල වූ දැන්වීම් මොනවාදැයි අපි බැලුවෙමු. “මව්බිම නැත්නම් මරණය! අපි දිනමු. ජනතා විමුක්ති” “අප මරා දැමුව ද අප නඟන හඬ සදා නොමියනු ඇත. ජනතා විමුක්ති පෙරමුණ” මෙම පාඨ දෙක කිය වූ මට නව පණක් දැනුනා සේ විය. මාටින් සහ ගාමිණී පවසන දෙය තුළ කුමක් හෝ ඇත්තක් ඇත. ඔවුන් සමග නැවත කතා කළ යුතු ය. අත්තනායක ද මගේ අදහස අනුමත කළේ ය.
මාටින් හා ගාමිණි කියන දේ තුළ මොනවාදැයි ඇත්තේ කියවා කයලා හිතිලා තව දුරටත් ඔවුන් සමග කතා කරන්න හිතුණා. ඔය අතරේ තවත් දේශපාලන සංවිධාන ගැන තොරතුරු අපට මිතුරෙකුගේ මාර්ගයෙන් දැන ගන්නට ලැබුණා. ඒ වෙනකොට මට අවශ්‍ය වෙලා තිබුණේ කුමක් හෝ සංවිධානයක්. ඒ අනුව මම ඒ සංවිධානයට බැඳෙන්න තීරණය කළා. ඒ සඳහා සාකච්ඡා කරන්න ඒ සංවිධානයේ සාමාජිකයෙකුගේ නිවසට ගියා. අපි පස්දෙනෙක් විතර එතැනට ඇවිල්ලා සිටියේ. ඒ ගෙදර කටුමැටි ගහපු ඉතා කුඩා ගෙයක්. මැදිවියේ වැදගත් පෙනුමක් ඇති මහතෙකු උපදේශකයා ලෙසත් මහනුවරින් පැමිණ සිටියා. ඔහුගේ දේශනය අපඅතර සිටියට ඒ ගැන එච්චර තැකීමක් අපට තිබුණේ නෑ. පස්සේ දිහාදි තවත් මිතුරෙකු වූ සමරකෝන් ද මේ සංවිධානය සමාජිකත්වය දරන් තියෙනවා කියලා දැන ගත්තා. අප හැරෙන්නට බොහෝ අය මේ වන විටත් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වී තිබුණි. අපේ ක්‍රීඩා සමාජය ද මෙම සංවිධානයේ හොඳ කතා කරන්නට පටන් ගෙන ඇත. සමරකෝන් ද එහි සාමාජිකත්වය ලබා ඇති බව අපට දැනගන්නට ලැබුණි. ඔහුගේ සමීප මිතුරෙකු වූ දංතුරේ විජේනායක මඟින් ඔහු මෙම සම්බන්ධය ඇති කරගෙන ඇත. කිසිවෙකුත් අපට ඔවුන්ගේ ජේ. වී. පී. සම්බන්ධතාවය ගැන කියන්නේ නැත. මා සමරකෝන් සමග ඒ ගැන කතා කළ පසු ඔහු කීවේ විජේනායක සමඟ ඒ ගැන කතාකර තීරණයක් ගන්නා බවය. මෙම පක්‍ෂයට සාමාජිකයින් බඳවා ගැනීමට එකල කීව්වේ ”කොක්ක ගහනවා” කියාය. මාටින් සහ ගාමිණි මට කොක්ක ගැසීමට කළ පළමු වෑයමින් පසු කිසිවෙකුත් දැන් අපට කොක්ක ගසන්නට කැමැත්තක් නැත. “මේක ජයේ ආණ්ඩුවට විරුද්ධව කරන යුද්ධයක්. විප්ලව කියන්නේ මේවට. ඒකට ඕනෑ කෙලින් වැඩ කරන මිනිස්සු. මට කිව්වා ජනේලා ගැන ෂුවර් එකක් නෑ කියල. මං කිව්වා ජයේලා එහෙම නෑ. කියලා. ජයේලා සටන පාවා දුන්නොත් මට තමා තුවක්කුව හැරෙන්නේ“ සමරකෝන් පසු දිනෙක අප මුණ ගැසී එසේ කියද්දී අපට මහා සතුටක් දැනුණි. ඔහුගේ සමීප මිතුරෙකු වූ දංතුරේ විජේනායක මගින් මටත් පක්‍ෂයට බැඳෙන්න සූදානම් වුණා.
සමරකෝන් පස්සේ කීවා ප්‍රාදේශීය නායකත්වයට අපට බදවා ගන්න අනුමැතිය දීලා තියෙනවා කියලා. ඒ කලේ මෙම සංවිධානයට බැදෙන එකට කියන්නේ ‘කොක්ක’ ගහනවා කියලා. අප බඳවා ගැනීමට ප්‍රාදේශීය නායකත්වය අනුමැතිය දී ඇත. අපි සෑහෙන වෑයමකින් කොක්ක ගසා ගත්තෙමු. පක්‍ෂය පිළිබඳ අවබෝධය ලබා ගැනීමට පන්ති පහක් පැවැත්විණි. ආර්ථික අර්බුදය පළමුවෙනි පන්තියයි. එයට සහභාගී වීමට අප ගියේ විජේනායකගේ දංතුරේ ටවුමේ තිබූ කඩ කාමරයකටය. දේශකයා විශ්ව විද්‍යාලයෙන් පැමිණි කෙනෙකි. ඔහුගේ දේශනයෙන් පසු අපට සුදු ආක්‍රමණියන් කෙරෙහි දැඩි වෛරයක් ඇති විය. “බලන්න සහෝදරයා සුදු අධිරාජ්‍යවාදීන් අපේ ආර්ථික රටාව විනාශ කරලා තියෙන හැටි. එදා අපේ කවියන් කියූ ලක්මිණියගේ සතර අතට ගලා ගිය නිල්වන් ශෙකලාපය බඳු ගංගාවන්වලට වෙලා තියෙන දේ බලන්න. අද ඒවායේ ගලනේ බොර දිය. ලක් මෑණියන් වයෝවෘද්ධ වෙලා. වෙලා නෙවෙයි කරලා. උන් අපේ වනාන්තර විනාශ කරලා. උන්ගේ ආර්ථික උවමනාවන්ට අපේ ආර්ථික රටාව යට කරලා. අධිරාජ්‍යගැති පන්තියකට රට භාරදීලා. අපි අපේ මව්බම මේ අධිරාජ්‍යගැති පන්තියෙන් නිදහස් කරගන්ට ඕනෑ. ඒක අපේ ජාතික යුතුකමක්” පළමු පන්තියෙන් පසුව අපි පක්‍ෂයේ ක්‍රියාකාරී සාමාජිකයින් වූයෙමු.
ඒ කාලේ සාමාන්‍ය ජනතාව අපිව හැඳින්වූයේ ‘චේගුවේරා කල්ලිය’ කියලා. සංවිධානයට සම්බන්ධ වුණාට පස්සේ අපේ තිබුණ සුරාපානය, දුම්පානය, වැනි දේ ඉබේම නැතිවුණා. කතාකරන භාෂාව පවා වෙනස් වුණා. මේ කාලේ වෙනකොට අපි පාසල් ඡීවිතයෙන් සමුගෙන හිටියේ. දෙවැනි වතාවට විභාගයට මුහුණ දුන්නේ ඒක අපට විභාගයක් වුණේ නෑ. අපේ උත්තර පත්තරවල ලිව්වේ ජනාත විමුක්ති පෙරමුණ පන්තිවලින් ලැබුණු අදහසක්. මේ ආකාරයට තමයි මම ජනතා විමුක්ති පෙරමුණට බැඳිලා 71 කැරැල්ලට සම්බන්ධ වෙන්නේ. කැරැල්ලේ දී කඩුගන්නාව ප්‍රහාරය සිදුවූ අයුරු හා ඉන් හානි ඡීවිත පිළිබඳ කියනවා නම් 1970 මැතිවරණයෙන් පස්සේ මමත් ජනතා විමුක්ති පෙරමුණේ දේශකයෙකු වශයෙන් පුහුණු වුණා. ඒ පුහුණුවීම් සඳහා ගිය විවිධ අවස්ථාවන්වලදී පිස්තෝල වැනි සුලු අවි හැසිරවීමත් ඉගෙන ගත්තා. ඒ වෙනකොට ඡීවිත පූජාවෙන් විප්ලවයට කැපවෙනවා කියලා මම හිතලා ඉවරයි. මට දැන් දිවි පිදීමට පමණක් ඇත කියලා තමයි මට හිතෙන්නේ. ඒ කාලේ මම නායකයින්ගෙන් ඉල්ලා සිටියේ බෝම්බයක් සහිත රථයක් මට දෙන්න. එය රැගෙන හමුදා කඳවුරකට යන්න වුණත් මම සූදානම් කියලයි. එහෙම කියනකොට ඔවුන් මගේ පිටට තට්ටු කරමින් කිව්වේ ‘නියම බුලට් සහෝදරවරු කියන්නේ ඔය කට්ටියටම’ තමයි කියලයි.
මම පක්‍ෂය වෙනුවෙන් මුදල් එකතු කිරීමේ යෙදෙන්නට පටන් ගතිමි. මුදල් එකතු කිරීමට සකස් කර තිබූ ටින් කැටයක් ඇතිව පිටිය හා පිටිය අවට, ඉන් ඔබ්බට මාකට් පාර ද පසුකර මහ පාර දක්වා ගියෙමි. පිටිය සහ ඒ අවට කොතෙක් සෙනගින් පිරි තිබුණ ද කිවහොත් රැස්වීම් භූමියට පැමිණීමට නොහැකිව ස්ටේෂන් පාරට වී විශාල සෙනගක් වූහ. ඉහළ පැලැන්තියේ රථ නතර කර මගේ කැටයට රුපියල් පනහේ කොළ, සීයේ කොළ දැමූ අවස්ථා ද විය. ජනතාව එතරම්ම ජනතා විමුක්ති පෙරමුණ එදා පිළිගෙන තිබුණි. ඔවුන් එය දැක තිබුණේ දේශප්‍රේමී, රට පිළිබඳ අව්‍යාජ හැඟීමකින් යුතු බලවේගයක් ලෙසිනි. එදා ඔවුන් දැක තිබූ එකම විකල්පය එය විය. තවද අපට පක්‍ෂය වෙනුවෙන් මුදල් සෙවීමේ වගකීම හින්දම මංකොල්ල කන්නයි, සොරකම් කරන්නයිත් සිදුවුණා. ඔය අතරේ තමයි පේරාදෙණිය වලේ පක්‍ෂ රැස්වීමක් පැවැත්වුණේ. එදා විජේවීරත් සහෝදරයන් මහින්ද විඡේසේකර කතා කළා. ඒ රැස්වීමෙන් පස්සේ 1970 සැප්තැම්බර් 29 වන දින බෝගම්බර් පක්‍ෂ රැස්වීමක් සංවිධානය වුණා. ඒ රැස්වීම අතිශයින්ම සාර්ථක වුණා. එය මහනුවර පැවැත්වෙන අවසන් රැස්වීම බවත් අපට කියා තිබුණා. ඉන් ටික දිනකට පස්සේ සියලු දෙනාගේම මතය වුණේ දැන් සටනට කාලය සුදුසු බවයි. ඒ අනවු සෑම පාළාතම මෙන්ම සටන සඳහා සූදානම් වුණා.
මේ වනවිට කෑගලු දිස්ත්‍රික්කයේ නෙලුම්දෙනිය ප්‍රදේශයේ සාමාජිකයින් පරිසක් 2 වන කරු හා බෝම් සෑදීමේ දී සිදු වූ පිපිරීමකින් මියගොස් තිබුණා. විජේවීරත් මේ වනවිට අත් අඩංගුවට පත්ව තිබුණ. මේවා සිදුවීම් වශයෙන් අප දැන ගත්තා මිස ඒවාට හේතු වූ පසුබිම පිළිබඳ කිසිවක් දැන සිටියේ නෑ. කෙහොම වුණත් පක්‍ෂයේ ඩයිනමයිට් දමා කුඩාවට කැපූ කටුකම්බි කෑලි වලින් ඒවා පුරවා බෝම්බ හැදුවා. හරියටම අප්‍රේල් 05 වැනි දා අපේ පළාත් නායකයා වහා වහා පැමිණ එදින රාත්‍රී ලංකාවේ සියලු පොලිසිවලට පහරදීමට තීරණය වී ඇති බව අපට කීවා. පැය කිහිපයක් වැනි සුලු කාලයක් ඇතුළතදී අපි සටනට සූදානම් විය යුතු ය. අපි සතුව එක තුවක්කුවක්වත් තිබුණේ නෑ. පතරොම් තිබුණෙත් නෑ. මමත් පියදාසත්, ජිනේත්, නුවරට ඇවිත් දාසය හා දොළහ බැරලයට ඇති තරම් පතොරම් පෙට්ටි 04ක් මිලදී ගත්තා. ඒ කාලේ බලපත්‍ර නැතුව පතොරම් මිලදී ගන්න පුලුවන්.
වේලාව හවස හතරට විතර වුණා. අප සාමාජිකයින් පළාතේ විසිර ගොස් අනිත් සියලුම සමාාජිකයින්ට මේ තත්ත්වය දැනුම් දිලා මාලිගාතැන්න පන්සලට සවසට එකතුවෙන්න කියලා කිව්වා. මේ වෙනකොට පළාත් නායකයා ආගිය අතක් නැහැ. සියලු දෙනාට බලාපොරොත්තු වුණේ මගේ නායකත්වයයි. මම මුලු හිතින්ම ඒ මේ සූදානම් වුණා. ඊළඟට ආව ප්‍රශ්නෙ තමයි තුවක්කුවක් හොයා තොහොමද කියන එකත කුඩා ඔය ගමේ ‘ගුණදාස මුදලාලි’ ගේ ගෙදර තුවක්කුවක් තියෙනවා කියා අපිට ආරංචි වුණා. “කොහොමද ජයේ මං මේක කරන්නේ. මට නං බෑ. පුළුවන්නම් ඔය කට්ටිය ගිහිල්ල කතා කරල බලන්ට. අම්මයි නංගිලයි විතරයි ගෙදර” හරී. ”හරි ගුණේ අපි ගිහිල්ලා බලන්නං” මමත්, ජිනදාසත්, අත්තනායකත් ගුණදාස මුදලාලිගේ ගෙදරට පැමිණියෙමු. දොර වසා තිබුණි. මේ මොහොත වන විට රට පුරා ඇඳිරි නීතිය පනවා ඇත. වැල්ලවාය පොලිසියට පහර දීමට ගිය පිරිසක් ප්‍රහාරය අසාර්ථක වී පොලිස් අතඩංගුවට පත් වී ඇත. සෑම ගෙදරකම ගුවන් විදුලි යන්ත්‍ර ක්‍රියාත්මකව ඇත. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රහාරය හෙළි වී අවසන්‍ය. සෑම පොලිස් ස්ථානයක්ම සටනකට මුහුණ දීමට සූදානම්ව සීරුවෙන් සිටී. ඒ කෙසේ වුවත් සටන අත් නොහැරිමේ අදිටන්නේ සියල්ලෝ එකා මෙන් සිටියහ. ගුල්ලාගේ ගෙදර දොරට තට්ටු කළ විට දොර ඇරියේ ගුණේ අම්මාය. සන්සුන්ව අපි ගෙට ඇතුළු වීමු. අම්මා අප දෙස විමතියෙන් බලා සිටී. ඇය අප ජේ. වී. පී. සාමාජිකයන් බව දනී. අපේ ඇතුළුවීමේ හඩත් සමග ගුනේගේ නංගිලා ද අප ඉදිරියට පැමිණියහ. “අපි ආවේ තුවක්කුව ඉල්ලා ගන්ට. අද අපිට ඒක කොහොම හරි ඕන. අද තමා අපිට සටන තියෙන්නේ “ මගේ වචනවලට ඇය පිළිතුරක් නොදී ඉවත බලා ගත්තාය. නැවත මා වෙත හැරී ප්‍රහේළිකා සහගතව ටික වේලාවක් බලා සිටියාය. ”පුතා කොහොමද ඉතින් අපි තුවක්කුව දෙන්නෙ? ඔක්කොම අමාරුවේ නේද ඊට පස්සේ” ඇගේ කතාව සාධාරණය. මා ඔවුන් බේරෙන ආකාරයට කතා කළ යුතුය. “අම්මලාට මොකුත් වෙන්නෙ නෑ. අපි ඒක බලා ගන්නම්. මම ලියුමක් දෙනවා. මේ ගෙදර තුවක්කුව අපි ගත්තේ ගෙදර අයගේ කැමැත්තෙන් නෙවෙයි. අපේ බල කිරීම හින්දා කියලා” ලයනල් මොහොතක් කල්පනා කළ ඇය රකුසු වේශයෙන් මෙන් සිටින අප දෙස ටික වෙලාවක් මාතෘ සෙනෙහසින් බලා සිටියාය. ”මං දන්නෑ පුතා” ඇයට මම ලියුම ලියා අත්සන් කර දී තුවක්කුව අතට ගත්තෙමි.
මට මහා ජවයක් දැනණි. ගුනේගේ අම්මාත් නංගිලාත් අප දෙස විමතියෙන් බලා සිටියා මිස කිසිවක් නොකීවෝය. “පියදාස දෙතුන් වතාවක් මා දෙස බලා යමක් කියන්නට වෑයම් කර නැවත එය නොකියා සිටීමට තැත් කරන බවක් මට දැනුණි. “මොකක්ද සහෝදරයා කියන්ට” මම ඇසුවෙමි. “සහෝදරයා, අද අපි මැරෙන්ටත් පුළුවන්, බේරෙන්ටත් පුළුවන්. මට හිතෙනවා ටිකක් බොන්ට” යැයි ඔහු පැවසීය. “ඔහු අරක්කු බෝතලයක් ද මිලදී ගත්තේ ය. මට ඔහුගේ ඉරියව්වලට සිනහ ගියා මෙන් ම අනුකම්පාවක් ද දැනුණි. මීට පෙර ඔහුගේ කලින් ජිවිතයේ ඔහු තදින් මත්පැන් පානය කළ අයෙකි. පක්‍ෂය වෙනුවෙන් එය අත් හැර සිටිය ද අවසානය ළඟා වී ඇතැයි සිතන ඔහුට මේ මධුපැන මතක් වූවා විය යුතු ය. සියල්ල රැගෙන අප ආපසු පැමිණියේ ඊළඟට කළ යුත්තේ කුමක්ද කියා සිතමිනි. මම ගෙදර පැමිණියෙමි. සියළු දේ කියන අම්මාට මේ ගැන කිව යුතුය. එය මට සතුටක් විය. “අම්මා අද තමා පොලිසියට ගහන්නේ‘ අම්මා ගොළු වී මා දෙස විමතියෙන් බලා සිටින්නට වූවාය. “මොකක්ද කිව්වේ” මා කියූ දේ ඇයට විශ්වාස කළ නොහැකි විය. මා සියල්ල විස්තර කර අවසන් වනතුරු ඇය සෘජුව මා දෙස එක එල්ලේ බලා සිටියාය. ඇය සන්සුන් බවක් දක්වන්නට වූවාය. “උඹල කරන හටන...” එසේ කී ඇය නිහඬ වූවා ය. “එහෙනං මං ගියා“ අම්මා දෙස බලා සමුගත් මා ආපසු ඒමට හැරුණි. “උඹ පස්සෙම පලයං” අම්මා එසේ කියද්දී මා ගොළු විය. මගේ බල බිඳුනා සේ දැනුණි. යළි ඈ වෙත හැරුණු මම මොහොතක් ඇය දෙස බලා සිට යළි සිත සදාගත් විගස පිටත් වුනෙමි. සටනක් ගැන අප කතා කළද එවැන්නක් අපෙන් කිසිදාක කෙරෙන බවක් ඇය නොසිතුවා විය හැක.
“අප සතුව තුවක්කුවක් හා බෝම්බ පිරවූ පෙට්ටි දෙකක් ද ඇත. අපි රාත්‍රී ආහාරය වහ වහා ගත්තෙමු. සියල්ලෝම සතුටින් මෙම ක්‍රියාවට එකතු වූහ. විවිධ ආකාරයේ ඇඳුම්වලින් ඔවුන් සටනට සූදානම්ව පැමිණ ඇත. තද කළු පාටට හුරු වර්ණවලින් යුතු ඇඳුම් ඇඳගත් මෙම සටන්කරුවන්ට නායකත්වය දෙන මට සටන් නායකයෙකුගේ ජවය හා නොසැලෙන මානසිකත්වය දැනෙන්නට විය. පියදාස පෙනෙන්නට නැත. මා ඔහුට කතා කළ විට ඔහු වහා පැමිණ මට කතා කළේය. “සහෝදරයා, මම අරක්කු ටිකක් බිව්වා. එන්ට ටිකක් බොන්ට” ”මට එපා” ”අනේ ජයේ, අද අපි බේරන්ටත් පුළුවන්. මැරෙන්ටත් පුළුවං. මං වෙනුවෙන් මේ චුට්ට ගන්ට” ඔහු මට ඔහුගේ මධු විතෙන් ස්වල්පයක් දුන්නේ අප මරණයට යනවාදෝ යන සැකයෙන් මෙනි. ‘වෙලාව පිළිබඳ අපට හැගීමක් නොවීය. දැන් පොලිසියට පහර දීමට යා යුතුව ඇත.
මම අපේ පිරිස කොටස් දෙකකට බෙදුවෙමි. එක් කණ්ඩායමක් මාර්ග අවහිර කිරීමටත්, අනෙක් කණ්ඩායම විදුලි රැහැන් කපා දැමීම සඳහාත්‍ය. ප්‍රහාරය සඳහා දොළොස් දෙනෙකු ගෙන් යුතු කණ්ඩායමක් සිටියහ. එම පිරිස මුල සිටම සටන උනන්දු සහගතව පැතු අය වූහ. ගමන පිටත් වීමට පෙර මම සියල්ලන් අමතා කෙටි කතාවක් කළෙමි. “මේ සටන සාර්ථක උනත්, අසාර්ථක උනත් ඒක දෙවෙනි කාරණේ. අපි අපේ යුතුකම ඉටු කිරීමට බැඳී සිටින නිසා අපට එය කළ යුතුව තියෙනවා. දැන් අපි යමු” අපේ සිත්වල කිසිම සසල බවක් නැතිව සුපුරුදු ගමනක් යන්නා සේ මාලිගාතැන්න පන්සලේ සිට කඩුගන්නාව පොලිසිය බලා යමින් සිටිමු. අප අතේ ඇත්තේ එක තුවක්කුවකි. එය මා අතය. විදුලි රැහැන් අක්‍රීය කිරීමට භාරගත් කණ්ඩායම තම කාර්‍යයේ යෙදෙමින් සිටිනු අපට පෙනේ. කඩුගන්නාව දුම්‍රිය ස්ථානය පසු කර කොළඹ නුවර මාර්ගයට සම්බන්ධ වන ස්ථානයට අප පැමිණියෙමු. අපේ කණ්ඩායම දෙකට බෙදුණි. හය දෙනෙක් කිරිටින් බෝම්බ පෙට්ටියක්ද ඇතිව පොලිසිය පිටුපසින් පහර දීමට යාමට තීරණය විය. ඔවුන් ඒ ගමනට පිටත් වූහ. මා ඇතුළු ඉතිරි හය දෙනා පොලිසියට ඉදිරියෙන් පහර දීමට ක්‍රියාත්මක වුණෙමු.
අපි රේල් පාර දිගේ පොලිසිය දෙසට එමින් සිටියෙමු. අප යන මාර්ගයේ පොලිසිය දක්වා ඇති කොටස උස් භූමි වලින් යුක්තය. ක්‍රමයෙන් අපි පොලිසියට ළං වෙමින් සිටිමු. බල්ලන් දෙදෙනෙකු අප වෙතට බුරාගෙන එමින් සිටී. අපි අපේ ඉදිරියට යන ගමනේ යෙදී සිටිමු. බල්ලන් රේල් පාරට පිවිසෙන තැනට පැමිණ නතර වී බුරමින් සිටී. සූදානම් කරගත් තුවක්කුව ද ඇතිව රේල් පාරෙන් පොලීසියට බසිනා මහාමාර්ගයට මා එනවාත් සමඟම රයිපලයක් මා වෙතට එල්ල කරගත් පොලිස් නිළධාරියෙක් රයිපලයේ කොකාට ඇගිල්ල තබනවා මට පෙනේ. ඔහු මා දැක ඇත. ඔහුගේ ඉලක්කය මාය. සැනින් ක්‍රියාත්මක වූ මගේ තුවක්කුවේ වෙඩි හඩත් සමග පොලිසිය නිශ්ශබ්ද වූ බවක් අපට දැනුණි. නැවත අඩියක් පස්සට ගත් මා අපේ පිරිසට සිදු වූ දේ කීමත් සමග ඔවුහු සටන් පාඨ කියමින් හඬ දෙන්නට පටන් ගති. ඒ මා තුවක්කුවකින් වෙඩි තැබූ පළමු දවස ය.
සටන පටන් ගති. පොලිසිය අපට වෙඩි තබයි. අපේ එක තුවක්කුවෙන් වහ වහා වෙඩි හඬ පිටවෙයි. පොලිසියට අප සතුව තුවක්කු ගණනාවක් ඇතැයි සිතෙනු ඇත. කිරිටින් බෝම්බ හඬ දී පුපුරයි. පොලීසියට පිටුපසින් ගිය පිරිස ද කිරිටින් බෝම්බවලින් පොලීසියට දමා ගසමින් සිටී. ඒ හඬ ඇසෙන අපට අපේ ප්‍රහාරය ජය ගන්නා සේ දැනෙන්නට පටන් ගති. පොලිසිය ඉදිරියේ සිටින පිරිසත්, පිටුපස සිටින පිරිසත් දැන් තම ජයග්‍රාහක හඬ නගන්නට පටන් ගත්හ. මේ අතර එක් කිරිටින් බෝම්බයක් එක් අයෙකුගේ අත් වැරදීමකින් අප අසළට වැටුණි. අප සිතුවේ අප සියල්ලෝම එතනම එකවරම මිය යතැයි කියාය. “මේ එකක් ඇති දහ පහළොස් දෙනෙක් එතනම ඉවර කරන්ට” අපට එම බෝම්බවල පිපිරුම් බලය ගැන නායකයින් කියා තිබුණේ එලෙසය. අපේ කන් බිහිරි කරවමින් බෝම්බය පිපිරිණි. අපට කිසිවක් සිදු වී නැත. අපේ ඇඳුම්වල ඇමිණුන කටු කම්බි කෑලි හොඳින් පෙනෙන්නට ඇත. ඇගේ ඇළුණු තුත්තිරි කටු ගලවන්නා සේ අපි ඒවා ගලවා දැමුවෙමු. මෙම පිපිරිමත් සමග ඇති වූ කම්පනයෙන් අපි සියල්ලෝම මොහොතකට නිහඬ වීමු. ඒත් සමගම සියල්ල නිහඬ වී ඇත. තුවක්කුව තදින් රත් වී තිබුණි. නැවත දෙවතාවක් පමණ තුවක්කුවෙන් වෙඩි තැබුවත් දැන් පහර දෙන්නේ අපි පමණි. ප්‍රතිප්‍රහාරයක් නැත.
නැවත විමසිල්ලට පත් වූ අපට පොලිසිය කොටස මුළුමනින්ම නිහඬ බව දැනුණි. පොලිසිය පිටුපසින් පහර දුන් පිරිස ද අප සිටින තැනට පාර හරහා පැමිණ සම්බන්ධ වූහ. වැටී සිටින පොලිස් නිළධාරියා පාර මැදය. ඒ දුටු එම පිරිසට නව පණක් ලැබුණා සේ විය. . අපි වේගයෙන් පොලිස් ස්ථානයට ඇතුල්වෙන්න දිව ගියා. පොලීසිය ඇතුලේ කිසිවෙක් හිටියේ නෑ. අතුලතින් ඇදුනා. ‘සහෝරදයා, සහෝදරයා’ කියලා හඬක් බලනකොට පොලිස් සිරමැදිරියේ අතඩංගුවට ගත්ත අපේ පිරිසක් හිටියා. අපි උද්දාමයෙන් පොලීසිය ඇතුලේ සතුට සැමරුවා. වෙඩි වැදුණ පොලිස් නිලධාරියාගේ රයිපලයත් දැන් අපේ අතේ. ඔය අතරේ පොලීසිය දුරකථනය නාද වුණා. මම රිසවරය කනට ගත්තම ‘කඩුගන්නාව පොලිස් ස්ටේෂන්’ කියලා නුවර පොලීසියෙන් එන ඇමතුමක්. මම කිව්වා ‘ඔව්, කඩුගන්නාව පොලිස් ස්ටේෂන් තමයි ඒක දැන් අපි අතේ කියලා. මම උත්තර දුන්න ගමන්ම මේ “අරුන්නේ” කියලා රිසිවරය තිබ්බා. අපේ නායකයෙක් කියලා තිබුණා නුවරට පහර දෙන්න පිරිස මදි නිසා පේරාදෙණියට පහර දී බලයා අල්ගා ගත් පසු අප නුවර ප්‍රහාරයට ගෙන යන්න කඩුගන්නාවට පිරිසක් එවනවා කියලා. ඒ නිසා අපි හිටියේ ඔවුන්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන්. ටික වෙලාවකින් කඩුගන්නවා නගරය දෙසින් වාහන එළියක් මතු වුණා. ඒ වාහන පොලීසය දිහාවට එනවා. අපි හිතුවේ අපි ගෙනියන්න එන පිරරි කියලා. ඡීප් රියේ පෙරටුකරගන හමුදා ට්‍රක් රථ දෙකක් මා ඉදිරියට ආවා. හමුදා නිල ඇඳුම් වැනි දෙයකින් සැරසුණ පිරිසකුත් ඉන්නවා පේනවා. ඉදිරියේ ආ ඡීප් රථයට ළඟට ගිහින් විඟ්ස්ක්‍රීනය අත තබා ‘සහෝදරයා’ කියලා ඇතුල බැලුවා. විතරයි ඇවිත් හිටියේ හමුදාව කියලා අඳුනා ගත්තා. ‘හමුදාව’ කියලා කෑගහමින්ම මම තුවක්කුව පත්තු කලා. එතකොටම හමුදා නිලධාරියාත් ‘පයර්’ කියලා කෑ ගැහුවා. මගේ හිසට උඩින් වෙඩි වරුසාවක් ගියා. අසළ තිබුණු කාණුවට මම පැන්නා.
පොලීසය මගේ දිහාටම වෙඩි තබමින් හමුදාව ඇතුලට ගියා. අපේ අතේ සහෝදරයන් ඇතුළේ. මම බඩ ගා ගෙන පොලීසිය ඇතුළට යනවාත් එක්කම අපේ දෙන්නෙක්ට වෙඩි වැදී වැදෙනවා දැක්කා. මම ජනේලයක කවුලුවකින් හමුදාව දෙසට වෙඩි තැබුවා. ඊට පස්සේ සියල්ල නිහඬ වුණා. මම ඉදිරියට එනකොටම හමුදාව වෙඩි තබමින් එනවා ආයේ දැක්කා. ‘මෙහෙන් යමු’ කියලා කෑ ගහ ගහ මමත් පියදාසත්, පියසේනත්, පොලීසිය පිටුපසින් එළියට පැනලා උස් භූමියකට ගියා. අපි පොලීසිය පිටුපසින් ඇති කන්ද නැගලා පියාදසත් අක්ක කෙකෙනක් ඉන්න ‘සිංදුරම්’ කන්දට ගියා. එයෙම තමයි කඩුගන්නා ප්‍රහාරය සිද්ධ වුණේ. අපේ සමාජිකයන් පස් දෙනෙකු කඩුගන්නාව පොලීසියේ මිය ගොස් ඇති බව බට වූ අයගෙන් පසුව දැන ගන්න ලැබුණා.
කඩුගන්නාව ප්‍රහාරයේ දී එක් කැරලි කරුවෙකු කඩුගන්නාව පොලිස් ස්ථානාධිපතිට වෙඩි තබා මරා දමා ඔහුගේ නිල ඇඳුම් ඇඳගෙන පොලිස් ස්ථානාධිපති පුටුවේ ඉඳගෙන සිටි බව වික්ටර් අයිවන් මහතා සඳහන් කරනවා. මේ සිදුවීම ගැන පැහැදිලි කළොත් ඒ කවුද කියලා. ඒක හරි අසත්‍ය කතාවක්. කඩුගන්නාව ප්‍රහාරයේදී ඔය කියන ආකාරයේ කිසිවක් සිද්ධ වුණේ නෑ. කැරලිකරුවන් කඩුගන්නාව පොලීසියේ ස්ථානාධිපති වෙඩි තබා මරා දැමුවේ නෑ. ඔහුගේ නිල ඇඳුම් ඇඳගෙන පොලිස් ස්ථානාධිපති පුටුවේ ඉඳගෙන හිටියේත් නෑ. ඒක අමූලික බොරුවක්. වික්ටර් අයිවන් සිතා සිටින්නේ ජයතිස්ස කුමාරගේ නම් සහෝදරයා කඩුගන්නාව පොලීසියට සිදු කරන ලද ප්‍රහාරයේ දී මිය ගොස් ඇති බවයි. ඔහු ඒ බව යම් පුවත්පතක ප්‍රකාශයක් ද සිදු කර තිබුණා. එය ඔහු එම සිතිවිල්ල මත සිටිමින් සිදු කරන ලද කට කතාවක් පමණයි. එහි කිසිදු සත්‍යතාවයක් නැහැ.
කැරැල්ලෙන් පස්සේ අපේ කණ්ඩායමේ සමාජිකයෝ අඩුවෙන්න පටන් ගත්තා. සමහරු ගෙදර ගිය ගමන් ආපසු ආවේ නෑ. අපි සමාජිකයන් 10 දෙනෙකු පමණ මුණ ගැසි නැවත සංවිධාන කටයුතු ආරම්භ කලා. සැලසුම් සකස් කලත් ඒවා අහන්න නායකයෝ හිටියේ නෑ. මේ වෙනකොට අපි පක්‍ෂ පිළිබඳ ඇති කරගෙන තිබූ තක්සේරු කිරීමේ කිසිදු හරයකින් තොර ඒවා බව වැටහී තිබුණත් අපට වෙන මඟක් තිබුණේ නෑ. රජය අපිව ත්‍රස්තවාදීන් විධියට හැඳින් වූවා. මේ අතර මාටිනුත් හසලක ප්‍රදේශය අතහැරලා යළි අපේ කණ්ඩායමට සීමා වුණා. අන්තිමේ මමත් පියසේනත් විතරක් වුණා. ඊට පස්සේ අපි දෙන්නා වෙන් වෙන්න තීරණය කළා. මම ගෙදර ආවා. අම්මයි තාත්ත්‍යි දෙන්න හදන්නේ කොහොම හරි දැන් මාව අරක්‍ෂා කරන්න. අන්තිමේ මම මව්පියන්ගේ කීමට පිට පලාතක ගිහින් නැවතෙන්න කැමති වුණා. එතකන් ගමේ අයිනක තිබුණ ටිකිරි බණ්ඩාලාගේ ගෙදර කාමරයක හිටියා. ඊට පස්සේ තාත්තා මාව ගම්පොළ පැත්තේ දොළොස්බාගේ උඩගේතැන්න ගමේ අඳුනන ගෙදරක නැවැත්තුවා. ඒ ගෙදරට දරුවෙක් වගේ ගෙදර වඩ පළ කරගෙන මම ටික කාලයක් එහේ හිටියා. ඒ පැත්තට තිබ්බේ මේරිවිල්ල වතුයාය. ඒ ගෙදර මට හරි නිදහසේ හිටියා. පොත්පත් බොහෝ ගණනක් කියවමින් ඉංග්‍රීසි ඉගෙන ගත්තා. ටික කාලයක් ඉන්න කොට තාත්තාට සැකයක් ආවා මම ඉන්න තැන ගැන පොලීසියට ඉව වැටිලා ඇත්ද කියලා. ඊට පස්සේ ටික කාලකෙට වෙන තැනකට ගන්න අදහස් කළා. ඊට පස්සේ මම මේරිවිල්ල වතු යායෙන් නාවලපිටිය කොත්මලේ පාරේ කිලෝ මීටර් දෙකක් පමණ ගිය විට හමුවන ‘ග්‍රීන්වුඞ්’ වතුයායටම පැමිණියා. මම මේ ස්ථානයට ගියේ උයන්නා ලෙස වැඩ කිරීමට ය.
ටික කාලයක් ඉන්නකොට කැරැල්ලේ නඩු ඇසීමට වෙනම අධිකරණයක් පත් කළා. ‘අපරාධ යුක්ති විනිශ්චය කොමිසම’ නමින් නායකයින්ගේ නඩුව ‘මහ නඩුව’ නමින් ඇරඹුණා. විජේවීර ඇතුළු පක්‍ෂ නායකයින් 41 දෙනෙක් නඩුවේ චූදිතයින් වුණා. එදා ගුවන් විදුලියෙන් විස්තර ප්‍රචාරය වුණා. මෙම අධිකරණය මඟින් දිය හැකි උපරිම දඬුවම ඡීවිතාන්තය දක්වා සිරගත කිරීමේ කියලා. අපේ අම්මටත්, තාත්තටත් ඒක ලොකු සහනයක් වුණා. තාත්තා මම බැලීමට ආපු හැම දවසකම කිව්වේ හැමදාම මෙහෙම හැංගිලා ඉන්න බෑ ඒ හින්දා බාරවෙමු කියලයි. ඒක ඇත්ත කියලා මටත් හිතුණා. බාරවීම යටත්වීමක් කියලා මානයකුත් තිබුණා. 1972 ජුනි හෝ ජූලි මස 17 වදා තාත්තා ආව මාව බලන්න තවත් දන්නා හඳුනන් ගුරුවරයෙක් සහ ඔහුගේ මිත්‍රයෙකුත් එක්ක. ඔවුන්ගෙන් අඳුනන කෙනෙකුගේ මාර්ගයෙන් මම හමුදා බාරයට පත් කරන්න සැලසුම් කරලා තිබුණේ. ඒ අනුව මම වතුයායේ වෙන් වී අනුරාධපුරයට පැමිණියා. අනුරාධපුර හමුදා කඳවුරට මාව බාරකළා. එම හමුදා කඳවුරු තුළ අපට වෙනම යකඩ දොරක් දැමූ කාමරයක් තිබුණා. අපිට බාර වෙලා තිබුණේ ත්‍රස්ථවාදී කටයුතු පිළිබඳ අංශයට. මාත් එක්ක අනුරාධපුර පළාතෙන් අත් අඩංගුවට පත් කිහිප දෙනෙකුන් හිටියා. පසුදා එත් අඩංගුවේදි මගෙන් ප්‍රශ්න කිරීමට කොළඹින් වවිශ්‍ෂ නිළධාරීන් දෙදෙනෙකු පැමිණියා.
කඩුගන්නාව ප්‍රහාරය ගැන ප්‍රශ්න කරද්දී මට සඟවන්න දෙයක් නොවුණ නිසා සියල්ල හෙළිවෙලා තිබුණෙන් ඒ වන විටත් ඉන් පසුව මම හමුදාව විසින් අනුරාධපුර පොලිස් බාරයට පත් කළා. එතැනදී මා අත් දුටු දේ හමුදා කඳවුරට වඩා හාත්පසින්ම වෙනස්. අනුරාධපුර පොලීසියේ සිර කුටිය අපායකි. ආහාර ගැනීම සහ අනෙකුත් සියලුම දෑ සිදුවුණේ ඒ තුළමය. අත් අඩංගුවට ගන්නා සියුල්ලම හිටියේ මේ කුටියේ. හදා ගැනීමක් ඒ ගතකල කාලයේම තිබුණේ නෑ. ඊට පස්සේ කඩුගන්නාව පොලීසිය අනුරාධපුරට පැමිණි මාව කඩුගන්නාවට ගෙනාවා.
අවුරුදු 6ක් සිරිගතව සිටියා. මා හමුදාවට භාරවෙනකොට මට අවුරුදු 16යි. හිරෙන් නිදහස් වෙලා එනකොට අවුරුදු 24ක් වෙලා. එදා ගමේ භාෂාවෙන් දැලි රැවුලක් සහිත කොලු ගැටයෙක් වූ මා ගෙදර ආවේ උඩු රැවුලක් සහිත පුද්ගලයෙකු වෙලා. 1977 ආණ්ඩු මාරුවත් සමඟ අපිට විවිධ තොරතුරු ලැබුණා. කොමිසම අහෝසි කරන බවත් ඒ යටතේ දඬුවම් ලැබූ සියලු දෙනාම නිදහස ලබන බවත් කියලා. කෙටි දඬුවම් ලැබූ මහ නඩුවේ සමහරුන් නිදහස් වී ගියා. ඊට පස්සේ 1977 නොවැම්බර් 02 වන දා කිසිවෙකුටත් නොදන්වා විජේවීර කාර්‍යාලයට කැඳවා ඔහු නිදහස් කිරීමෙන් පසු අපි සියල්ලෝම එදිනම් නිදහස් කරන බව දැන්වූවා. සිරගෙදර අත්දැකීම් ගැන නම් ඉතා දීර්ඝ විස්තර කරන්න පුලුවන්. ඒ අත්දැකීම් ජීවිතේ කෙදිනකවත් වෙනත් කිසි තැනකින් ලබා ගන්නට බැරි දේවල්. මම බාර වුණ අනුරාධපුර හමුදා කඳවුරෙන් මාව කඩුගන්නාව පොලීසියට රැගෙන ආවා. දින කිපයකට පස්සේ මාව උසාවියට ඉදරිපත් කිරීමෙන් පසුව රිමාඟ් සිරභාරයට පත්වුණා. මා හිරභාරයට ගෙන ආවට පසුව මාගේ කටඋත්තරය සකස් කළේ සාජන් පීරිස් මහතා විසිනි. එය ඉංග්‍රීසියෙන් සකස් විය. පහර දීම සම්බන්ධ සියල්ල එහි අඩංගු විය. ඒ සියලු විස්තර මට තර්ජනයක් වූවා මිස මගෙන් පසු කිසිවෙකුත් අත් අඩංගුවට ගැනීමක් සිදු නොවීය. කට උත්තරය සකස් කර දින දෙකකට පසුව මා උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනුතුරුව රිමාඟ් සිරභාරයට පත් කෙරුණි. මා උසාවියේ සිටින අවස්ථාවේ, අප, පොලීසියට පහරදෙන විට එම ස්ථානය භාරව සිටි ස්ථානධිපතිවරයා ද මා මුණ ගැසීමට පැමිණියේ ය. ඔහු ද මා සමග කතා කළේ වැඩිහිටියෙකුගේ ඉරියව්වලින් මිස කිසිම ආකාරයක නිලධාරි මානයකින් හෝ හෝ ද්වේෂයකින් තොරව ය. ඔහු ද සේනානායක නම් වූ කෙනෙකි. පසුදිනක ඔහු කොළඹ දුම්‍රියපොළේ දී සිදු වූ දුම්‍රිය අනතුරකින් මිය ගිය බව ආරංචි විය.
ඔවුන් නිලඇඳුමට කූඩු වූ අහංකාර රූකඩ නොව, උසස් මහත්වරුන් යයි කීම මට සතුටකි. ඔහුගේ භාරකාරත්වය නිසා අප්‍රේල් කැරැල්ලේ දී සමහර පළාත්වල සිදුවූ ගෙවල් ගිනි තැබීම්, අත්තනෝමතික මරා දැමීම්, දූෂණ වැනි බොහෝ දේ අපේ පළාත්වල සිදුවූයේ නැත. පොලීසිය අපේ ගෙදරට ගිනි තැබීමට සියලු දේ සූදානම්ව පැමිණෙද්දී මෙම ස්ථානධිපතිවරයාගේ නියෝගය මත එම පිරිස පිළිමතලාවෙන් ආපසු හරවා යවා ඇති බව මට දැන ගන්නට ලැබුණි. රිමාන්ඩ් බන්ධනාගාරය තිබුණේ මහනුවර ඇහැලේපොල වලව්ව තිබූ කොටසේ. එක් කොටසක් කාමර සහිතව ගොඩනැගිල්ලක්. කවුරුත් මේ ස්ථානය හැඳින්වූයේ ‘රජවීදිය රිමාන්ඩ් බන්ධනාගාරය’ කියලා. ඉඩම් නඩුවල ඉදලා මිනීමැරුම් නඩු දක්වා වූ විවිධ නඩුවල විත්තිකරුවන් මෙතන හිටියා.
රිමාන්ඩ් බන්ධනාගාරයට පැමිණි පසුදින මගේ අතඩංගුවට පත් වීම පිළිබඳව පුවත එකල ‘සවස’ පුවත්පතේ මුල් පිටුවේ පළවී තිබුණා. ‘කඩුගන්නාව නායකයා අතඩංගුවේ’ කියන සිරස්තලය යටතේ. තාත්තා මාව බලන්න එනකොට මේ පුවත්පත මට ගෙනත් දුන්නා. සතියක් දෙකක් රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉන්න කොට අපේ ගමේ නතරවෙලා හිටපු විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් මාව බලන්න ආවා. ඔහු මාත් එක්ක කතා කලේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය ගැන. ඔහු විසිටින් කාමරයේ ඉඳලා යනකොට එබිල සාමාජිකයන් විසින් අසන ලද ප්‍රශ්නවලට විජේවීර දුන්න උත්තර සහිත පෙතක් දුන්නා. ඒක රිමාඟ් සිරමැදිරියේ නිලධාරියා ඔහු භාරයට ගත්තා. ටික වේලාවකින් මාව ප්‍රධාන කාර්‍යාලයට කඳවලා ප්‍රශ්න කරලා. ‘තමුසේ බෝගම්බරට යවනවා කියලා.’ එදිනම සවස මාව බෝගම්බරට සිර ගෙදරට යැව්වා. මාව රඳවලා තැබුවේ පරණ කණ්ඩායමට නියම වූ සිරකරුවන් අසල වූ මැද කොටසක යකඩ පොලුවලින් වෙන් කල කුඩා කොටසකට. උදේ 6.00ට සිරකුටි විවාත කරනවා. සවස 5.00ට නැවත ඒවා වසනවා. උදේ හයේ ඉඳලා සවස 5 වෙනතුරු ඉන්න එළිමහන් කොටසක් තිබුණා. මට ඇවිදීමට තිබුණේ ඉතා කුඩා ප්‍රමාණයක්. මගේ කොටසේ මට කතා කරන්න හිටියේ දරුණු සිරකරුවන් යයි නම් වූ පිරිසක්. මිනීමැරුම්, කොල්ලකෑම්වලට සම්බන්ධ මේ පිරිස සිරගෙදර නීතියට හා නිලධාරීන්ට අවනත නොවීම නිසා මෙහෙම වෙන්කරලා තිබුණා. ඔවුන් අතර විවිධ පළාත්වල අය හිටියා. ‘මරදානේ මහතුන්’ කියලා තරුණයෙක් ඔවුන් අතර හිටියා. ‘සේප්පු විමලේ’ නමින් කෙනකුත් හිටියා. ඔහු සේප්පු ඇරීමට බොහෝ ක්‍රම දන්නා කෙනෙක්. ‘මායාන්ඩී’ නම් දෙමළ තරුණයෙකුත් හිටියා. ඔවුන් සියලු දෙනාම තම තමන්ගේ දරුණුකම ගැන ආඩම්බරයකින් ඉන්නවා කියලා තමයි මට දැනුණේ. ‘අපි සෙකන්ඩ් වෙන්නේ නෑ මල්ලී මුන් එකෙකුටවත්’ මරදානේ මහතුන් නිතර කියපු දෙයක්.
මාසයක් විතර මෙතන හිටිය පස්සේ මම කැරැල්ලේ රැඳවියන් සිටින කොටසට මාරු කළා. එතැන හිටිය අපි ඔක්කොම එක මඟ ගිය අය. හැමෝම මාව හැඳින්වූයේ කඩුගන්නාවේ ජයතිස්ස කියලා. මේ කාලයේ ජේ.වී.පී. දේශපාලනයෙන් ඉවත් වූ මම මගේ ඉංග්‍රීසි දැනුම දියුණු කර ගැනීම සඳහා නිතර පොත් කියවන්නටත් දැනුම ඇති අයගේ උදව් ලබා ගන්නට උනන්දු වුණා. සිරගෙදර ‘සලාකය’ සමහර අවස්ථාවල නිසි ආකාරයෙන් නොලැබුණ නිසා සහෝදර සිරකරුවන් වෙනුවෙන් කතා කිරීම නිසා සමහර නිලධාරීන් මා දිහා බැලුවේ තරහින්. මේ වගේ සිද්ධි නිසා දවසක් ‘තමුසේ තමා මේ සේරටම මුල’ කියලා මම අනිත් අයගෙන් වෙන්කර දඬුවම් කාමරයට ගෙන ගියා. ඒක ඇතුළට දාලා ඔවුන් දන්න අසභ්‍ය වචනයෙන් බනිමින් මට පහර දෙන්නට පටන් ගත්තේ අගක් මුලක් නොදන්නා මා ඔවුන් දෙස විමතියෙන් බලා සිටිද්දීය. ඔවුන්ගේ පහරට උත්තර වශයෙන් මම ද ක්‍රියාත්මක උනෙමි. මගේ පහර කෑ එක් නිලධාරියෙක් බිම වැටුණි. අනිත් දෙදෙනා වහා පැන එළියට පැන ගත්තෙ කෑ ගසාගෙනය. වැටුණු ජයසූරිය නැගිට යන්නට සූදානම් වෙනවාත් සමග පැන ගිය දෙදෙනා සමග තවත් නිළිධාරින් හය හත් දෙනෙක් බැටන් පොලු ද ඇතිව මා වෙත කඩා පැන, උමතු වූ රාස්සියන් මෙන් මට පහරට දෙන්නට වූහ. මා බිම වැටුණි. මට පහර දීම ඔවුන් නතර කළේ නැත. මට ඉතිරි වූයේ මගේ සිහිය පමණි.
බැටන් පහර, අත් පහර පා පහර වදින හඬ මුලදී දැනුණ ද පසුව මට පහරවල් සංවේදී නොවී ය. මගේ නාසයෙන් ලේ ගලවා මට දැනුණි. මම සිටි අයුරින් ම සිටියෙමි. ඒ සමගම පැමිණි බන්ධනාගාර සහකාර අධිකාරිවරයා ඔවුන්ගෙන් ඇසුවේ හරිද වැඬේ කියාය. මාගේ නාසයෙන් ලේ ගැලීමේ හේතුවෙන් බන්ධනාගාර වෛද්‍ය පෙතියාගොඩ මහතා මා පරික්‍ෂාකර බන්ධනාගාර ආරෝග්‍යශාලාවට යොමුකළේය. මෙම වෛද්‍යවරයා මා පරික්‍ෂා කරන ගමන්ම මට ඉතා සෙමින් අවවාද කළේය. “මුන් තිරිසන්නු මුන් එක්ක හැප්පෙන්ට යන්ට එපා.” ඊට පස්සේ මාව රෝහල් ගත කලා. සතියක් විතර ගියාට පස්සේ තමයි අම්මට තාත්තට මාව බලන්න දුන්නේ. දඬුවම් කොටසින් ඉවත් කලාට පස්සෙත් මාව තිබ්බේ තවත් එවැනිම තැනක. එතැන හිටියා. ‘තෝමස් අයියා’ කියලා අවුරුදු හතලිස් පහක් විතර සිරකරුවෙක්. මේ කාමරේ හිටිය අනිත් සිරකරුවන් සමලිංගික සේවනය උමතුවූවන් විදියටයි හැඳින්වූයේ. මේ කාමරේ හිටපු ‘තෝමස් අයියා වැඩිය කතා නැති කෙනෙක්. අපි කාමරේට දාලා වහලා රාත්‍රී කෑම පිඟාන දුන්නාට පස්සේ තෝමස් අයියා කීවා. ‘ඔය ලමයා මේ සෙල් එකට දැම්මේ හොඳකට නොවෙයි. ඔය ළමයට අයිති මේ කාමරේ නොවෙයි’ කියලා කිව්වා. එහෙම කියලා ඔහු ඔහුගේ පිඟානේ තිබුණ මස් කෑල්ල මගේ පිඟානට දැම්මා. ‘ඔය වයසට කන්ට ඕන’ කියලා ඔහු පාඩුවේ කන්න ගත්තා. ඇත්තටම ඒ වේලාවේ මට මතක් වුණේ මගේ තාත්තාව. මේ සිරකුටි තුළ ඒ වගේ උදාර මිනිසුන් හිටියා.
සිරගෙදර දී මම හුඟාක් පොත් කියෙව්වා. ඉංග්‍රීසි ඉගෙන ගත්තා. හිර ගෙදර ඇතුලෙත් දේශපාලන මත තිබ්බා. ඒ කාලේ හිරෙන් පැන්නා. බර්ටි රංජිත් නැමති කෙනෙක් ‘පෙරදිග සුළඟ’ නම් සංවිධානයට බැඳී හිටියා. ඔහුගේ අනුගාමිකයෝ මගේ අසලත් හිටියා. ඒ අයත් එතන එකතු වෙලා හිරෙන් පැනලා. ‘පෙරදිග සුළඟ’ සංවිධානයට බැඳෙන්න මටත් හිතුණා. ඊට පස්සේ ආරෝග්‍ය ශාලාවට ගමනක් සකස් කරගෙන ඒ මොහොතේ පැනල යන්න සැලැසුම් කළා. ඒ වුණාට ඔවුන් මාව ආයෙත් අල්ල ගත්තා. ඊට පස්සේ මාව ආයෙත් දඬුවම් කාමරේට දැම්මා. දඬුවම් කාලය නිම වුණාට පස්සේ මාව ඊ වාට්ටුවේ කාමරයකට මාරු කලා.
මරණ දඬුවමට නියම වූවන් සිටියේ ඩී වාට්ටුවේ අපි අසලමයි. ඔවුන් සමඟ නිතර කතා බහ කරන්නට ද මට අවස්ථාව ලැබුණා. දිනක් මරණ දඬුවම් ලද කෙනෙක් එල්ලා මරණ දිනය ළං වුණා. එවිට ඔවු වෙනම කාමරයකට දාලා වහනවා. ඔහු සිටින කාමරයට ඉහළින් ඇති කාමරයට ගිහින් මම ඔහුත් සමඟ කතා කළා. ‘මල්ලි මම අනිද්දා යනවා. කවදා හිටියත් යන්න ඕනනේ.’ කිව්වා. ඔහු එල්ලා මැරීමට පෙර හාමුදුරු නමක් ගෙනවිත් බණක් කිව්වා. පවුලේ අය අවසන් වතාවට ඔහු බල්න ආවා. මරන දඬුවම ක්‍රියාත්මක දාට උදේ සිරගෙදරට යකඩ තැටි හඬ දෙන්නේ නෑ. නීතියට අනුව මරණ දඬුවම තිබුණේ උදේ 8.05ට. හිරකරුවෝ ඔක්කෝම කුටිවලට දාලා වහනවා. මරණ දඬුවම දුන්නට පස්සේ තමයි ආයෙත් අරින්නේ.
මා හිරබාරයේ සිටියදී මා හට පොත් කියවීමට දැඩි ආශාවක් දැනෙන්නේ ය. අප අතර සිංහල සහ ඉංග්‍රීසි පොත් බහුලව තිබිණි. ඉගෙන ගන්නා අය සඳහා අප අතරම සංවිධානය වූ පන්ති තිබුණි. ඒ අතර ඉංග්‍රීසි පන්ති කිහිපයක් ද විය. ඒවා අප විසින්ම සකස් කරගත් ඒවා විය. පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව නමින් සිරගෙදර කාර්‍යාලයක් තිබුණ ද, එයින් බෝගම්බරදී අප ලැබූ කිසි දෙයක් නැතියි කීම හැරකියන්නට දෙයක් නැත. අප වෙනුවෙන් බන්ධනාගාර අධිකාරිය සමග කතා කිරීමට එම ලබාගෙන තිබුණු පොත් සහ ශබ්ධ කෝෂ අපේ අධ්‍යයනයන්ට උපකාරී විය. දැනුම ලබාගැනීමේ යෙදුණ පිරිස තම තමන්ගේ උත්සාහයෙන් ඒවායේ යෙදුණහ. ටික කාලෙකට පස්සේ අපිට කොළඹ මැගසින් බන්ධනාගාරෙට මාරු කළා. මම හිතන්නේ 1975 දී විතර 71 කැරැල්ලේ ඉදිරිපෙළ නායකයෝත් මෙහි හිටියා. විජේවීරටත් ඡීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වෙලා තිබුණා. පසුව ඔහුගේ දඬුවම් අවුරුද 20 ක්වා අඩු කලා.
මට දීර්ඝ කාලීන සිර දඬුවම් ලැබුණ නිසා මාව වැලිකඩ බන්ධනාගාරයෙන් මැගසින් බන්ධනාගාරයට මාරු කළා. ඒ නිසා මාව මහනඩුවේ පිරිස අතරට එකතු කළා. මා සිටි ශාලාවේ කාමර 6ක් තිබුණා. එහි විරාජ් ප්‍රනාන්දු, වික්ටර් අයිවන් හෙවත් පොඩි අතුල, රංජිත් කුරුකුලසූරිය, සුනන්ද දේශප්‍රිය, ආනන්ද පෙරේරා, සහ ජයසිරි කුලරත්න යන නායක මට්ටමේ අය හිටියා. මා සිරගෙදරින් නිදහස් වූ අයුරු හා ඉන් පසු ඡීවිතය පිළිබඳ සඳහන් කලොත් හිරෙන් නිදහස් වෙන්නේ 1977 නොවැම්බර් 02 දා. ගෙදර ගියේ දුම්‍රියෙන්. මට ඕන වුණේ අම්මා, තාත්තා, සහෝදර, සහෝදරියන් සමඟ එකතු වෙන්න. පිළිමතලාවට දුම්‍රිය ළං වෙත්දි හවස 4.00ට විතර වුණා. දුම්‍රිය පොළෙන් බහිනවිට තාත්ා පාරේ ඉඳලා විශාල ජයක් ලැබුවා වගේ මගේ දිහා බලාගෙන ඉන්නවා. දැක්කා. ගෙවුණු වසර 6ට ගම හුඟාක් වෙනස් වෙලා තිබුණා. ගෙදරට ළංවෙත්දී අම්මත්, තාත්තාත්, නංගිත්, ඔවුන් පිටපසින් අයියත් බලාගෙන හිටියා. බොහෝ අය මාව බලන්න ගියත් ඔවුන් පෙර මෙන් මගේ ඇසුර ප්‍රිය නොකල බව දැනුණා. සමහරු මා දැක නුදුටුවා වගේ ඉවත බලාගෙන ගියා.
අපේ ගෙදර මුලු ආර්ථික බරම තාත්තා අතේ තිබුණේ. ඒකට පිළියමක් විදියට කුමක් හෝ කරන්න මට ඕන වුණා. මගේ ඉංග්‍රීසි දැනුමෙන් ප්‍රයෝජන අරගෙන ඉංග්‍රීසි පංතියත් පටන් ගත්තා. මට පළමු මාසික පඩිය විදියට රු. 120/-ක් ලැබුණා. ඒ සල්ලි එහෙම පිටින්ම මම අම්මට දුන්නා. ටික කාලයකින් ගමේ අවට අය අතර මම ප්‍රිය පුද්ගලයෙක් බවට පත් වුණා. සමහරු මට මැතිවරණයකට තරග කරන්න කියලත් කිව්වා. දිනෙන් දිනම ඉංග්‍රීසි පන්ති ටික වර්ධනය වෙන්න පටන් ගත්තා. ඔය අතරේ ස්ථිර රැකියාවක් සොයා ගත්තොත් හොඳයි කියලත් හිතුවා. ඔබ්‍රෝයි හෝටලයේ ආරක්‍ෂක තනතුරට අයදුම්පතක් යොමු කලා. ඒත් 71 කැරැල්ලට සම්බන්ධ වූ කෙනෙක් නිසා ඒ රැකියාව අහිමි වුණා. ඒ නිසා ආතිරේක ඉංග්‍රීසි පන්තිය කරන්න පටන් ගත්තා. එකල ඔබ ප්‍රබල ක්‍රියාකාරී ජනතා විමුක්ති පෙරමුණේ සාමාජියෙකු වුවත් වර්තමානයේ ඔබ ඉන් ඉවත්ව ඡීවත් වෙනවා. එසේ සිදුවීමට හේතු දැක්වුවහොත් කාලයක් ගත වනවිට ඔවුන්ගේ අදහස්වල අන්තවාදී බව මට වැටහුණා. ඔවුන් කතා කල භාෂාව මට ප්‍රිය එකක් වුණේ නෑ. ඔවුන් අතරම විවිධ පිල් බෙදී තිබුණා. තම මතය පමණක් නිවැරදි බව නායක මට්ටම්වල අය සිතුවා. අප්‍රේල් කැරැල්ල පෙර අත්දැක තිබූ නායක බලය එලෙසම තිබුණා. ඔවුන් තුළ තිබුණේ හරසුන් බරපතල වාග් කෝෂයක් පමණයි. සුලු දෙයක් කීමට පවා ‘විකාර’ බවකින් යුතු භාෂාවක් පාවිච්චි කලා. පක්‍ෂයේ තිබුණ නායක ඇදහිල්ල මා ප්‍රිය කලේ නැහැ. කඩුගන්නාව පොලීසියට සිදුකරන ප්‍රහාරය අවස්ථාව වනවිටත් මෙම කැරැල්ලේ නිසරු බව අප අවබෝධ කරගෙන සිටියා. නමුත් පටන් ගත් දෙය අවසනායටම සිදුකළ යුතු නිසා අප පසුබට වීමක් සිදු නොකර ඉදිරියටම පියනැගුවා. මෙම කැරැල්ල කිසිදු හරයක් නොමැති ව හරියාකාර නායකත්වයකින් තොරව කිසිදු එකමුතුබවක් නොමැතිව සිදු කරන ලද කැරැල්ලක්. නායකයන් අතර තිබුණේ පිල් බෙදීමක්. යටින් කේලම් කීමක්. නඩු විභාගයේදී එය මනාව ඔප්පු වෙලා තියෙනවා.
වෛද්‍ය රුවන් එම් ජයතුංග ගේ 71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් කෘතිය ඇසුරෙනි