Thursday, February 2, 2017

පීරා, විල්සන් සහ සමන් ;අතීසාර මිතුරන්





පීරා , විල්සන් සහ සමන්  යන වෛද්‍යවරු  මා සමග මීගමුව රෝහලේ සේවය කළහ​. පීරා හෙවත් මාංජේෂ්ඨ පීරිස් කොළඹ වෛද්‍ය පීඨයේය , විල්සන් හෙවත් විල්සන් පීරිස් පේරාදෙනිය වෛද්‍ය පීඨයේය සමන් නොහොත් සමන් නානායක්කාර කොළඹ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ අතර පීරාට වඩා ජ්‍යෙෂ්ඨ විය​. මෙම වෛද්‍යවරු තිදෙනා මට කිසි දින අමතක නොවේ. 

මාංජේෂ්ඨ පීරිස්  නිර්වින්දන වෛද්‍යවරයෙකු වූ අතර ගම්පහ පදිංචිව සිටියේය​. ඔහු හිත හොඳ සොඳුරු මිනිසෙකි. එසේම අපගේ කර්කශ විහිළු වූවද කෝපයකින් තොරව සිනහවකින් භාර ගැනීමට පුරුදුව සිටියේය​. අප ශල්‍යාගාරයේදී පීරාට නිතරම විහිළු කලෙමු. ශල්‍යාගාරයේදී පීරා අපගේ බයිට් එකය​. 

පීරාගේ පවුලේ සොහොයුරු සොහොයුරියන්ට නම් තබා තිබුනේ බෞද්ධ කොඩියේ පාට අනුවය​. වැඩිමලා නීල පීරිස් ය​. දෙවැන්නා පීත ය , තෙවැන්නා ලෝහිත පීරිස් ය ,  හතරවැනියා ඕදාතය,  පස් වැනියා මාංජේෂ්ඨ ය. කෙසේ නමුත් අප මේ නම් මාරු කොට නීල,පීත,ලෝහිත,ඕදාත,මාංජේෂ්ඨ සහ ඕපපාතික කියා අතිරේක නමක් ද පීරාට එක් කලෙමු. සමහර විට ඔහුව අමතන ලද්දේ ඕපපාතික පීරිස් කියාය​. පසුව එය කෙටිවී ඕපයා විය​. 

වරක් මමත් පීරාත් නවරත්නත් පොලොන්නරුවේ සංචාරයකට ගියෙමු. අප නැවතී සිටියේ පොලොන්නරුවේ ගෙස්ට් හවුස් එකකය​. මෙම ගමන ගියේ මගේ නිසාන් මාර්ච් මෝටර් රථයෙනි. අප තිදෙනා මග දිගට විහිළු කරමින් සිනහසෙමින් පොලොන්නරු ගිය අයුරු මට මැවී පෙනේ. 

අප දිවා ආහාරය ගත්තේ කුරුණෑගල අවන්හලකිනි. වේටරට මා කුරුණෑගල එම් ඕ එච් හෙවත් කුරුණෑගල සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී ලෙස පීරා විසින් හඳුන්වා දුන් අතර වේටර පමණක් නොව කඩේ මුදලාලිද පැමිණ අපට සැලකිල්ලක් දක්වා කෑම ඉතා පිරිසුදුවට ගෙන ආවේය​. 

පොලොන්නරුවේදී අප නටඹුන් නැරඹීමට ගියෙමු. සවස සේනානායක සමුද්‍රයට ගොස් පිහිනුවෙමු. මෙලෙස  දින දෙකක් පොලොන්නරුවේ ගත කල අප  යළි රෝහලට ආවෙමු. මෙලෙස වසර ගනනාවක් අප සමග වැඩ කල  හිත හොඳ පීරා පසුව අපගෙන් වෙන්වී කුරුණෑගල රෝහලට ගියේය​. 

විල්සන් පීරිස් ද නිර්වින්දන වෛද්‍යවරයෙකු විය​. ඔහු කෑගල්ලෙනි. නාට්‍ය කෙරෙහි උනන්දුව දැක්වූ ඔහු සමග මම නාට්‍ය ගැන කතා කලෙමි. වරක් මම විල්සන් පීරිස් සමග එවකට පස් හැවිරිදි මගේ පුතාද කැටුව විහාර මහ දේවි උද්‍යානයට ගියෙමි. එවකට විල්සන් පීරිස් අවිවාහකයෙකි. කොළුවාද විල්සන් අංකල් ගේ අත අල්ලාගෙන විහාර මහ දේවි පාක් එකේ කරක් ගැසුවේය​. ඉන් පසු මම  රාත්‍රී ආහාරය සඳහා විල්සන් පීරිස් අපගේ නිවසට ගෙන ගියෙමි. වර්තමානයේ ඔහු කෑගල්ල රෝහලේ සේවය කරයි. 

සමන් නානායක්කාර විහිළුවට බර චරිතයක් වූවද ඔහු සීරියස් පුද්ගලයෙකි. එසේම මා විසින් කරන කවටකම් කිසිම උදහසකින් තොරව භාර ගත්තේය​. සමන් බොහෝ කියවන ලෝකය ගැන දැණුම අප්ඩේට් කරගෙන සිටි අයෙකි. සමහර විට අපි දෙදෙනා නැපෝලියන් ගැන චර්චිල් ගැන ශල්‍යාගාරයේදී කතා කලෙමු. 

සමන් නානායක්කාර ජීවත් වූයේ දංකොටුවේය​. මේ නිසා දංකොටුව ස්පෙෂල් විහිළු වලට ඔහු ලක් විය​. තවද සමන් රෝගීන් නිර්වින්දන සඳහා දංකොටුව ස්පෙෂල් ලබා දෙන බවද කීවෙමු. එහෙත් ඔහු මේ සෑම විහිළුවක්ම සිනහවෙන් භාර ගත්තේය​. 

වරක් අප  නාමල් උයන රෝස තිරුවාණා කන්දට යාමට ගිවිස ගත්තෙමු. අප වෛද්‍යවරු කණ්ඩායම මේ සඳහා බස් රථයක් කුලියට ගත් අතර සමන්ව දංකොටුවෙන් ගැනීමට පොරොන්දු වූයෙමු. සමන්ට උදේ පහට දංකොටුව ඔරලෝසු කණුව අසලට එන ලෙසට අපි නියම කලෙමු. එහෙත් සිරිත් පරිදි අපගේ කොල්ලන් සෙට් එක නැගිට්ටේ පරක්කුවී හත හමාරද පසුවීය​. මේ නිසා දඩිබිඩියේ ලෑස්තිවී අප ගමන ආරම්භ කලෙමු. 

අපගේ බස් රථය දංකොටුව නගරයට සේන්දු වූ වහාම ඈත ඔරලෝසු කණුව අසල සිටි සමන්ව දැකගත හැකි විය​. දැන් අප පැය ගනනක් පරක්කුවීය​. කල යුතු හොඳම දේ සමන්ට දොස් පැවරීම බව අප කොල්ලන් නඩයේ එකමතික තීරණය විය​. බස් රථය ඔරලෝසු කණුව අසල නැවතූ වහාම සමන් එයට ගොඩ විය​. අප කලින් කතා කරගත් පරිදි සමන්ට දෝෂාරෝපණය කලෙමු. 

සමන් "මම ඔරලෝසු කණුව අසල පැය ගනනක් බලා හිටියා" කියූ විට අප ඔහු එන තුරු දංකොටුව රෝහල අසල සිටි බව කීවෙමු​. "මාව ගන්නව කිව්වේ  ඔරලෝසු කණුව ලඟින් නේ" කියා අහිංසක හඞකින් සමන් කී විට සියළුම දෙනා එක හඞින් කීවේ ඔරලෝසු කණුව ලඟින් නොව දංකොටුව රෝහල අසලින් කියාය​. අවසානයේදී සමන් ද විශ්වාස කලේ ඔහු අතින් වරදක් වී ඔහු ඔරලෝසු කණුව අසල බලා සිටියා කියාය​.  සමන් ගේ ගැටළුව නිරාකරණය කරගෙන අපි රෝස තිරුවාණා කන්දට ගියෙමු. එම ගමන ඉතා විනෝදමත් විය​. 

වර්තමානයේ අපගේ කොළු නඩයෙන් මීගමුව රෝහලේ සිටින්නේ සමන් නානායක්කාර පමණි. කාලයත් සමග කොළු නඩය විසිරී ගොසිනි. එසේම නඩයේ සියළුම දෙනා පාහේ ජීවිතයේ පස් වන දශකයට ලංවී ඇත​. වසර 18 මෙපිට අප එකිනෙකා මුණ ගැසී නැත​. එහෙත් අපගේ මතකයන් තවමත් එදා මෙන් නැවුම් ය​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

13 comments:

  1. ඒ වගේ මතකයන් නම් හැමදාම සුන්දරයි.

    ReplyDelete
  2. "පීත පීරිස්" කියලත් හිටියද? මෙහෙම ලම‍යින් වධයට ලක් කිරීමගැන දෙමාපියන්ට නඩු දාන්න ඕනැනෙ.:-D හැබැයි "පීටර්" කියලා ලේසියෙන් කිව්වැකි.
    ආයතනයක මං දන්න කෙනෙක් හිටියා නම "සෙනිය" . ඇහුවාම මං මුලින් හිතුවෙ Xavier වගේ එකක් කියල. මිනිහට ඔක්කොම කතාකලේ "සේනියර්" කියලා. මිනිහ කිව්වා "සෙනිය බිම්බිසාර" කියලා පොත්වල තියන නිසා දාලයි කියල

    ReplyDelete
    Replies
    1. පීරගෙ පියා ආර්ටිස්ට් කෙනෙක් ඒ නිසා ඔහොම නම් දැම්මා

      Delete
  3. එතින් එන්නකෝ ඇවිත් යන්න යාලුවෝ එක්ක අඩියක් එහම ගහලා ...(කට්ටිය මදිනම් මමත් එන්නම් )

    ReplyDelete
  4. මාංජේෂ්ඨ කියන්නේ මොන පාටට ද ? යකෝ ඒ නම ඌ කියන්නේ කොහොමද ? මිනිස්සු බලයි මූට පිස්සු කියලා... :D

    ReplyDelete
    Replies
    1. අපි කිව්වේ පීරා / ඕපයා කියලා

      Delete
  5. විල්සන් පීරිස් ශිෂයෙකුව සිටිද්දී මා පේරාදෙනියේ සේවය කරමින් සිටි බැවින් සාහිත්‍යකලාදී කටයුතුවල දී නිතොර මුණ ගැසිණ. විශේෂයෙන් නාට්‍යකාරයෙකු වූ වෛද්‍ය ශිෂ්‍යයා හරිම නිරහංකාරයෙක් විය. කෑගල්ලේ බැවින් හඳගමලා, මචාඩෝලා සමඟද ඇසුරක් පවත්වාගෙන ගියා මතකය. අවුරුදු ගණනාවකින් හමු නොවුවද විල්සන් ගැන මතකය ඒ ආකාරමය.

    විටින් විට මීගමු රෝහල පැත්තේ යන බැවින් දොස්තර සමන් නානායක්කාර කවුරුන්දැයි දැක බලාගනු රිසිමි.

    ReplyDelete
    Replies
    1. මේ අය හමු වුවහොත් මම ආදරයෙන් මතක් කල බව කියන්න

      Delete
  6. දංකොටුව ස්පෙෂල් ඔරිජිනල් එක නම් ලෙඩෙකුට දුන්නත් වරදක් නෑ ඕං

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook