Wednesday, February 15, 2017

සෝවියට් සමාජය සහ පන්ති වෙනස

සමාජවාදී රට වල පන්ති භේදයක් නොමැති බව ලංකාවේ වම්මු විශ්වාස කළහ​. එහෙත් මගේ සත් වසක අද්දැකීම් අනුව සෝවියට් සමාජවාදී රාජ්‍යයේද එකල සෙසු සමාජවාදී රටවල් වූ පෝලන්තය , නැගෙනහිර ජර්මනිය​, බල්ගේරියාව රුමේනියාව යන රටවලද පන්ති භේද තිබූ බව නිරීක්‍ෂණය විය​. 

වෛද්‍ය පීඨයේ ධනවත් බලවත් සිසු සිසුවියන් මෙන්ම දුප්පත් සාමාන්‍ය පවුල් වලට අයත් වූ  සිසු සිසුවියන් ද වූහ​. මින් සමහර දෙනෙකු මට තවම මතකය​. 

අප සමග නේවාසිකාගාරයේ සිටි ඊගර් පැමිණියේ කියෙව් නගරයෙනි. ඔහු සතුව වටිනා ඇඳුම් පැළඳුම් තිබූ අතර මේවා ඔහුගේ පියා මිලදී ගන්නා ලද්දේ බටහිර රටවල කරන ලද සංචාර වලදීය​. ඊගර් ගේ පියා කියෙව් නගරයේ කොමියුනිස්ට් පක්‍ෂයේ බලවතෙකි. 

ඊගර් මගේ මිතුරෙකු විය​. ඔහු සතුව එකල ජනප්‍රිය පොප් ගායක ගායිකාවන් ගේ ගීත අඩංගු කැසට් එකතුවක් ද විය. මා ලඟ තිබූ බැරී ගිබ් ගේ කැසට් එකක් දී මම ඔහුගේ කැසට් ගොනුව පීරා බැළුවෙමි. එහි සෝවියට් දේශයේ මිලදී ගත නොහැකි රොක් ගීත කණ්ඩායම් වල ඇල්බම් සමූහයක්ද විය​. වෛද්‍ය පීඨයේදී පළමු වසර අවසන් කිරීමෙන් පසු ඊගර් කීයෙව් හි වෛද්‍ය පීඨයකට මාරුවක් සදාගෙන ගියේය​. මේ සඳහා ඔහුගේ පියා උපකාර වූවාට සැක නැත​. 

කියෙව් නගරෙයෙන් පැමිණි යූල්‍යා අතිශයින් රූමත් සිසුවියකි. ඇය ඇඳ පැළඳියේ අලංකාර ඇඳුම් පැළඳුම්‍ ය​. යූල්‍යා දකින විට මට මතක් වූයේ වංශවත් ධනවත් රොස්තෝව් සිටුවරයාගේ දියණිය වූ නතාලියා රොස්තෝවාය​. රුසියානු මෙන්ම විදේශික සිසුන් ද යූල්‍යාගේ  ආදරය පතා ඇය පසුපස ගිය නමුදු ඇය කිසිවෙකු තඹයකට ගනන් නොගත්තාය​. යූල්‍යා ගේ පියා රතු හමුදාවේ උසස් නිලධාරියෙකු විය​. යූල්‍යා ගේ අත ගැනීමට කඩවසම් තරුණ කේජීබී නිලධාරියෙකු සූදානමින් සිටින බවත් ඔහු  ඩ්‍රෙස්ඩේන් නගරෙයේ මේ දින වල සිටින බවත් ඉවනාෂ්කා මට කීවේය​. 

වෛද්‍ය පීඨයේ මගේ සමකාලීනයෙකු වූ මක්සීම් හිත හොඳ සිසුවෙකු විය​. ඔහු මා සමග මිතුරුය​. ඔහුගේ මිතුරන් ද ඔහු මෙන් ලීවයිස් ඩෙනිම් සහ අගනා තුර්කි ලෙදර් ජැකට් ඇඳ සිටි අතර ඔවුන් අත නිතරම  මාර්ල්බරෝ සිගරට් තිබුනහ​. 

මක්සීම් ගේ පියා විනිට්සා  නගරයේ මිලිත්සියා නොහොත් පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියෙකු විය​. වරක් අසෙර්බයිජාන් ජාතිකයෙකු නේවාසිකාගාරයේ මගේ කාරමරේ දොර කඩා ඇතුළුවී මගේ මුදල් ඇඳුම් සහ කැමරා උපකරණ සොරකම් කලේය​. සොරා පසුව අත් අඩංගුවට පත් වූ නමුදු සොරා ගත් හාණ්ඩ මුදා හැරීම පොලිසිය ප්‍රමාද කලේය​. මේ නිසා මම මැක්සීම්ට මේ පිළිබඳව කීවෙමි. එය එල දරා පැය විසි හතරක්  ඇතුලත මගේ සොරා ගත් භාණ්ඩ ලබා ගැනීමට පොලිස් ස්ථානයට එන ලෙස මට පණිවිඩයක් ලැබුනි. පොලිසියට ගිය විට වී.අයි.පී සැලකිල්ල සමග සොරා ගත් භාණ්ඩ මට දෙන ලදි. මක්සීම් ගේ පියා කෙතරම් ප්‍රබල පුද්ගලයෙකුද කියා මට එදින ඒත්තු ගියේය​.

ධනවත් සහ බලවත් පුද්ගලයන් අතර සාමාන්‍ය පවුල් වලින් පැමිණි දුප්පත් සිසු සිසුවියන් ද මට මතකය​. අපගේ නේවාසිකාගාරයේ සිටි වැලේරාට තිබුනේ පරණ ජර්සි කීපයක් , ශත වර්ශ කාලක් පමණ පරණ වූ හම ගිය හිම කබායක් සහ කලිසම් කීපයකි. ඔහු ඩෙනිම් කලිසම් වලට කෙතෙක් ඇළුම් කලේද යත් මගේ කාමරයට පැමිනි විට මා බටහිර ජර්මනියෙන් මිලදී ගත් ඩෙනිම් කලිසම් ආශාවෙන් අතගෑවේය​. රීගා පලාතේ තරුණයෙක් ඩෙනිම් කලිසමක් අත් කර ගැනීම සඳහා මිනිසෙකු මරා දැමූ කතාවක් ද ඔහු මට කීවේය​. වැලේරා කී පරිදි ඩෙනිම් කලිසම ඇඳි පුද්ගලයා පාළු පාරක යන විට ඔහුගේ ඩෙනිම් කලිසමට ලොබ බැඳි තරුණයෙක් කලිසම්කරුගේ හිසට ගලකින් ගසා ඔහුව මරා දමා ඩෙනිම් කලිසම පැහැර ගන්නා ලදි. පසුව පොලිසිය විසින් මිනීමරුවාව කොටු කර ගන්නා ලද්දේය​. 

අපගේ කණ්ඩායමේ සිටි වලෝෂ්නා දෙවන වසරේදී වින්ටර් විභාගයෙන් පසු ඉකි ගසමින් අඞනවා මම දුටුවෙමි. එයට හේතුව මම ලීනා ගෙන් ඇසුවෙමි. ලීනා කීවේ ඇයට ඇනටමි විභාගයට තුනක් ලැබී ඇති බවයි. (වෛද්‍ය පීඨයේ ලකුණු දුන්නේ මෙසේය ; පහ යනු විශිෂ්ඨද , හතර යනු හොඳ ලෙසටද තුන යනු සාමාන්‍ය මට්ටමද දෙක යනු අසමත් ලෙසටද යනුවෙනි ) වලෝෂ්නා අසමත් වී නැති බවත් සාමාන්‍ය මට්ටමේ තුනක් ලැබුවාට පොළවේ හැපී අඞා වැටීම අනවශ්‍ය බවත්  මම ලීනාට කීවෙමි. ඊට පිළිතුරු ලෙස ලීනා පැවසුවේ විභාගයට තුනක් ලැබීම නිසා ලබන සිමෙස්ටරය දක්වා වලෝෂ්නාට ස්තිපෙන්දියා (stipend ) නොලැබෙන බවත් ඇයගේ දෙමාපියන් දුප්පත් ගොවීන් බවත් ය​. 

දුප්පත් සිසුවෙකු වූ ශ්මේරින්කා හි යූරා දිවා ආහාරය ගැනීමට ස්තලෝවයා අවන්හලට ගිය විට තෝර තෝරා ගත්තේ ලාභ  ආහාරය​. ඔහු නිතරම අනුභව කල ආහාර වූයේ සුප් එකක්, කළු පාන් කැබලි කීපයක්  ලුණු විනාකිරි දැමූ ගෝවා සලාදයක් විය​. යූරා ලාභ කෑම පමණක් ගන්නා විට අප ස්තලෝවයා එකේ තිබූ ඉස්තරම්ම ආහාර ඇණවුම් කලෙමු. එකල අපට යූරාගේ බඩගින්න ගැන අවබෝධයක් නොවීය​. ඔහුද කිසිවෙකුට අත නොපෑවේය​. ඔහුගේ පියා ශ්මේරින්කා නගරයේ  දුම්රිය කම්කරුවෙකු විය​. 

යූක්‍රයීනයේ පිටිසර ගමකින් පැමිනි සාෂ්කා ගොරහැඩි සිසුවෙකි. ඔහු නිතරම කුණුහරප වදන් කීවේය​. නමුත් ඔහු දක්‍ෂ ෆුට්බෝල් ක්‍රීඩකයෙකි. ඔහු අනෙකුත් සිසුන් සමග ෆුට්බෝල් ගසන විට සාෂ්කා ගේ සාප කිරීම් පිටිය පුරා ඇසුනේය​. ඔහු බෝලය පසුපස දුවන්නේද කුණුහරප වදන් වැලක් කියමිනි. 

වරක් වෛද්‍ය පීඨයේ ග්‍රවුන්ඩ් එක අසලින් ගිය ස්මෝල්ස්කි සාෂ්කා ගේ කුණුහරප අසා ඉද්ද ගැසුවා සේ නැවතුනේය​. ස්මෝල්ස්කි සෝවියට් සිසුන් ගේ කටයුතු සම්බන්ධයෙන් කටයුතු කල ඩීන් හෙවත් පීඨාධිපති කෙනෙකි. ස්මෝල්ස්කි කොම්සොමෝල් සිසු නායකයා කැඳවා සාෂ්කා  ෆුට්බෝල් ගසන විට ඝෝෂා සහිතව කුණුහරප කීම නවත්වන ලෙස දැන්වීය​. කොම්සොමෝල් සිසු නායකයා සාෂ්කාට අවවාද කරන ලදි. නමුත් යළි දින දෙක තුනකට පසුව සාෂ්කා පෙරසේ බෝලය පසුපස දුවමින් කුණුහරප කීවේය​. සාෂ්කා වරක් මටද කුණුහරපයක් ඉගැන්වීය​. එය නම් "ඉදි කිබෙනි මාතිරි" යන වචනයයි. මේ හරුපය නූගත් යූක්‍රයීන ගොවීන් නිතරම කියන වදනකි.

වරක් සාෂ්කා ගේ පියා ඔහුට ඇපල්, අර්තාපල්,  වේලන ලද මස් යනාදී කෑම ගෝනියක් ගෙනාවේය​. ඔහු සාෂ්කා සොයමින්   වෛද්‍ය පීඨයේ ඒ මේ අත යද්දී අනෙකුත් සිසුන් පියාව  සාෂ්කා සිටි පන්තිය වෙත  ගෙන ආවේය​. 

සාෂ්කා ගේ පියා ආකෘතික රුසියානු මුෂිකී හෙවත් ග්‍රාමීය ගොවියෙකුගේ ප්‍රතිමූර්තියකි. ඔහු ඇඳ සිටියේ කිළිටි රළු කබායකි. ඔහු පැළඳ සිටි සපොගී හෙවත් බූට්ස් යුවල ගොවීන් පළඳින එකක් වූ අතර එහි තැවරී තිබූ මඩ මාස ගනනකින්වත් සෝදා නැත​. 

පියා දැකීමෙන් සාෂ්කා නොසන්සුන් විය​. පියා දයාබර ලෙස ඔහුගෙන් සැප දුක් විමසූ නමුදු සාෂ්කා පිළිතුරු දුන්නේ නොසැලකිලිමත් ලෙසටය​. පියා ඔහුගේ අධ්‍යාපන කටයුතු පිළිබඳවද ඇසූ අතර සෑම ප්‍රශ්නයකටම ඔහු " චොර්ත් ඉවෝ ස්නායෙත් (යකා තමයි ඒ ගැන දන්නේ ) කියා උත්තර දුන්නේය​. අවසානයේදී දිළිඳු ගොවියා තම පුතා හෙවත් අනාගත වෛද්‍යවරයාව සිප වැළඳ යන්නට ගියේ ගමට යන බස් රථයට ප්‍රමාද නොවීම සඳහාය​. 

මොස්කව් නගරයේදී මට හමුවූ ඊගර් හොඳින් ඉංග්‍ර්‍රීසි බස කතා කල රුසියානු තරුණයෙකි. ඔහුට අළුත්ම වොල්ගා රථයක් තිබේ. ඔහු ඉගෙන ගත්තේ මොස්කව් විශ්ව විද්‍යාලයේය​. ඊගර් ගේ පියා පර්තින්නය හෙවත් සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂයේ ඉහල නිලයක් දරන්නෙකි. 

වරක් මොස්කව් දුම්‍ රිය පොලේදී මට හංගේරියාව බලා යන රුසියානු පවුලක් මුණ ගැසුනි. ඔවුන්  යුරෝපීය ඉහල මධ්‍යම පාන්තිකයන් ලෙස ඇඳ පැළඳ සිටි අතර හැසිරුනේද ඒ මට්ටමිනි. පසුව හෙලිවූ පරිදි මෙම පවුලේ මව තානාපති සේවයේ නියතු අයෙකි. ඇයගේ පවුල ජීවත් වූයේ හංගේරියාවේය​. 

පෝලන්තයේදී මට දිලිඳු ගොවීන් අඩු ආදායම්ලාභී කම්කරුවන් මෙන්ම ධනවත් රාජ්‍ය නිලධාරීන් හමු විය​. මේ පිරිස් අතර පන්ති පරතරය විශාල විය​. මේ පන්ති දෙක අතර පද් පෝල්නය ස්පෙකුලාන්ති හෙවත් බටහිර රට වලින් ඇඳුම් , සිගරට් , මත්පැන්, සුවඳ විළවුන් යනාදිය ගෙනවිත් විකුණන හොර බඩු ජාවාරම්කරුවන් ද සිටියහ​. ඔවුන් ගේ නිවෙස් ගොවීන් ගේ නිවාස මෙන් කුඩා සහ දිළිඳු ලෙස පෙනුනද ගෙවල් ඇතුලේ වීඩියෝ ඩෙක් ඇතුළු සියළු සුපෝඛභෝගී භාණ්ඩ තිබුනි. සමාජවාදී කඳවුර බිඳ වැටීමෙන් පසුව මේ පිරිස් සුළු සහ මධ්‍යම පරිමාන වියාපාරිකයන් බවට පරිවර්තනය වූහ​. 

ධනවාදී ක්‍රමයේ මෙන්ම සමාජවාදී ක්‍රමය තුලද පන්ති භේදය නොනැසී ක්‍රියාත්මක වන බව මාගේ අදහසයි. පන්ති භේදයන් නොමැති උටෝපියාවන් නිර්මාණය කිරීමට සමහරු උත්සහ දැරුවද එය සාර්ථක වේද කියා සැකයක් මා තුල පවතියි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග  

26 comments:

  1. ඕවා තියා මෙලෝ මළදානයක් දන්නේ නෑ මෙහේ ඉන්න හරක්... උන් එක්ක කතා කලාම උන් ලෝකය තියා ලංකාව ගැනවත් මෙලෝ හසරක් නොදන්න බව මොනවට අවබෝධ වෙනවා...

    මේ ඇත්ත අපි ලියන කොට ඔය ගොන්නුන්ට අම්බානට මල පනිනවා..

    ReplyDelete
    Replies
    1. අපි ලියන කොට ගොන්නුන්ට අම්බානට මල පනිනවා.////////// eka nam athha

      Delete
    2. +++++++++++++++++++++++++++++

      Delete
  2. මේ කියන්නේ නිලධාරී පන්තිය සහ වැඩකරන පන්තිය නමින් තිබුණු වෙනස ගැනයි.

    නමුත් ඒ දිනවල ව්‍යවසාය හිමි පන්තියක් තිබුණේ නෑ නේද? සියළුම ව්‍යවසාය හිමිවුනේ රජයටයි, එනම් (ලංගම වැනි ආයතන සමබන්ධයෙන් වගේ) ජනතාවටයි!

    ඉනික්බිති ආවේ පෙරොස්තොයිකාවයි.

    ReplyDelete
    Replies
    1. “නමුත් ඒ දිනවල ව්‍යවසාය හිමි පන්තියක් තිබුණේ නෑ නේද? “
      සමාජවාදයෙනුත් සමාන කරන්න බැරි නං මොකද්ද ඇති වැඩේ!

      Delete
    2. සියළුම ව්‍යවසාය හිමිවුනේ රජයටයි. රජය තමයි ලොකුම සූරා කන්නා

      Delete
  3. People (so-called revolutionaries) here, though they preach otherwise, know this I think.That's why even in their dreams they never think of sending their children to settle in those countries but instead seek for a country of "the enemy of their revolutionary class...!"

    ReplyDelete
  4. පුර්ණ සමාජවාදයක් ඇති කරන්න පුළුවන් කියලා විශ්වාස කරන එක මිත්‍යාවක්.එකට වඩා කරන්න තියෙන හොඳම දේ තමයි නීතියේ සමානාත්මතාවය තහවුරු කර ප්‍රජාතන්ත්‍රවාදය දියුණු කිරීම.

    ReplyDelete
  5. නිලධාරීවාදය සෑහෙන්න තිබුන කියනව මාත් අහල තියනව. ඒක එහෙම වෙන්නත් එපාය හැම දේම රජය හරහා කරන්න ගත්තම.

    ReplyDelete
    Replies
    1. රජය තමයි ලොකුම සූරා කන්නා

      Delete
  6. පොතේ තියෙන දේම වමාරනවා මිසක් අත්දැකීම් අඩුයිනේ අපේ අයට. යුරෝපය "සුරපුරක්" කියලත් සමහරු කියනවනේ. ඒත් අත්දැකීම් නැති නිසාවෙන්නැති..

    රුවන් උදාහරනයට අරන් තියෙන චරිත ටිකනම් හරි රසවත්.

    ReplyDelete
  7. මම දැනට ලියාගෙන යන මේ කතාවේ තරමක් දුරට මේ තත්වය ගැන පැහදිලි කිරීමක් කරගෙන යනවා. මම බුකියේ
    ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ - දහතුන
    සෝවියට් දේශය ගැන මේ වගේ කතවක් ලිව්වහම වජිර යාපා කියල මහත්මයෙක් තද චෝදනාවක් කලා ඔබට මතක ඇති. සෝවියට් දේශයේ මිනිසුන්ගේ මුදලින් ජිවත් වෙලා එයට පහරනවා කියල. නමුත් අපි ඇත්ත කතා කලේ නැත්නම් අනිත් අය ඒ ගැන දැනගන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. agree / මම සත්‍ය පරාවර්තනය කරමි. සත්‍ය සමහර විට කටුක විය හැකිය

      Delete
  8. හැබැයි මේකට පන්ති භේදය කියල කියන එක වැරදියි කියලයි මගේ මතය. ආචාර්ය නලිද සිල්වා (සමසමාජ ඉන්න කාලේ ) ඕක ගැන හෙන වාදයක් ගියා. ද සිල්වා මහත් කිවේ සමාජවාදී පන්තියක් තියනවා කියල.
    හැබැයි පන්තිය කියල මාක්ස් කියන්නේ සම්පුර්නයෙන්ම වෙනත් දේකට. (එංගලන්තයේ පවා) ඒ කියන්නේ Labour FORCE එකට තම මාක්ස් සහ එංගලන්තේ වම පන්තිය කිව්වේ. ශ්‍රමය විකුණන අයට. ඒ කියන්නේ අපි හැමෝම. අපි හැමෝම අපේ දැනුම/ශ්‍රමය විකුණන අය. ඒකට අප එකිනෙකාට කොපමණ සල්ලි තියනවද කියන එක අදාළ නැහැ. මාක්ස් ගේ කාලේ ශ්‍රමය විකුණන බහුතරය අතිශයින් දුප්පත්. එනිසා නිර්ධන් පන්තිය කියල කෑල්ලකුත් ආව. එතකොට අනිත් පැත්ත ධනපති හෙවත් ප්‍රග්ධනය් තියන එවුන්.
    දැන් සෝවියට් දේශයේ ඔය කියන ඉහළ නිලය තියෙන එවුන්,, කේජිබි එක උන්ටික , පක්ෂේ ඉහල නිලධාරීන්- උන්ට ප්‍රාග්ධනය නැහැ. සල්ලි නැහැ. මිනිසුන්ගේ සල්ලි නේ පාවිච්චි කළේ.අනික කොමියුනිස්ට්වාදය් පතුරුවන්න් මුදල් වියදම් කල නිසා, වානේ කම්හල්, තුල්හිරිය පෙහෙකම්හල , ඊජිප්තුවේ වේල්ල හෙම නොමිලයේ කරා තමන්ගේ රටේ වැසියා දුප්පත්ව ඉඳිද්දී.
    //සාෂ්කා ගේ පියා ආකෘතික රුසියානු මුෂිකී හෙවත් ග්‍රාමීය ගොවියෙකුගේ ප්‍රතිමූර්තියකි. ඔහු ඇඳ සිටියේ කිළිටි රළු කබායකි. ඔහු පැළඳ සිටි සපොගී හෙවත් බූට්ස් යුවල ගොවීන් පළඳින එකක් වූ අතර එහි තැවරී තිබූ මඩ මාස ගනනකින්වත් සෝදා නැත​. // රුවන් මෙහෙම ලියන රුස්සන්ගේ ගෙවල් වලට ගියානම් පෙනේවි උන් දුප්පත්ම නැති බව පෙනෙයි. උන්ට කන්න තිබ්බ. ගෙවල් තිබ්බ. නමුත් බටහිර වගේ ඇඳුම් පැළඳුම් තිබ්බේ නැහැ. ඒ පැත්තෙන් වැටිලා. අර වගේ //සුව හෙලිවූ පරිදි මෙම පවුලේ මව තානාපති සේවයේ නියතු අයෙකි. ඇයගේ පවුල ජීවත් වූයේ හංගේරියාවේය// එවුනට් තමා තිබ්බේ. මේක ඔය මාක්ස් කියන පන්ති භේදයම නොවේ. මේ භේදය නැති කරන්න හරිම අමාරුයි.
    කිසියම් ඇතිනැති පරතරයක්. නිලධාරී වාදී ස්තරය කිව්වනම් හරි නේද?

    ReplyDelete
    Replies
    1. ඔබගේ එක්ස්පලනේෂන් එක එක්තරා ආකාරයකට හරි. නමුත් ධනය බලය තිබ්බ පන්තියක් හිටියා නේද ? ​

      Delete
    2. //නමුත් ධනය බලය තිබ්බ පන්තියක් හිටියා නේද// මම හිතන්නේ පක්ෂය සහ රජය අත තමා ධනය සහ බලය තිබ්බේ. ඉතින් ඔය මාක්ස් කියන විධිහට ගත්තොත් රජය මිනිස්සු සූරා කෑව වගේ දයක් නේද වෙන්නේ. අර සිරිමා ආණ්ඩුව කාලේ රජයේ අයට හැම දෙයක්ම තිබ්බ වගේ. මිනිස්සු පෝලිම් වල ඉන්දෙද්දී.

      Delete
  9. කියනකොට එහෙමයි කරණකොට මෙහෙමයි...

    මේ ලොකේ හැදිලා තියෙන්නේ ඇති එකා නැති එකාව තවතවත් හූරන් කන්න, එහෙම නැත්නම් බලවතා දුර්වලයාව පෙලන්න.. ඒක වෙනස් කරන්න හදන සමාජවාදය විකෘත්තියක්...ඕකෙන් ගැලවෙන්න තියන එකම මග තමා තමනුත් කොහොම හරි ධනවතෙක්, බලවතෙක් වෙන එක, සමජයේ ඉහල පන්තියට රිංගා ගැනීම..

    ReplyDelete
  10. Read Revolution betrayed by Trotsky it explains this all

    ReplyDelete
    Replies
    1. ඒ පොතේ තමා තියෙන්නේ නිලධාරිවාදය පන්තියක් නෙමේ කියල.

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook