1982 වසරේ අප සිටියේ 10 එෆ් පන්තියේය. අපට බුද්ධාගම ඉගැන්වූයේ කොක්මාදූවේ ගුණසිරි හිමියන්ය. දිනක් කොක්මාදූවේ ගුණසිරි හාමුදුරුවන් පන්තියට එන විට එහා පන්තියේ කොල්ලෙක් ගුණසිරි බුල්ටෝ කියා කෑගැසුවේය. ඒ නිසා හාමුදුරුවන් පන්තියට ආවේ කේන්තියෙනි. ඒ අතරවාරයේ මමත් , කපිල ජාසිංහත් , ඩබල් එන් පී රත්නායකත් වාදයක පැටලී හයියෙන් කතා කරමින් සිටියෙමු.
කොක්මාදූවේ ගුණසිරි හිමියන් පන්තියට පැමිණි විට ආයුබෝවන් නොව "ස්වාගතං භන්තේ " කිව යුතුය. සමහර කොල්ලෝ "ස්වාගතං භන්තේ " වෙනුවට ආයුබෝවන් සර් හෝ සාගතයට බෝණ්ඩේ කියා හාමුදුරුවන්ව කුපිත කරති. සමහර කොල්ලෝ විශේෂයෙන් සිදත් සුරේන්ද්‍ර ඉංග්‍රීසි ටීචට ගුඩ් මෝනිං ටීච කීම වෙනුවට ඉංග්‍රීසි ටීචට "ස්වාගතං භන්තේ " කීවේය. මේ නිසා කාට ගුඩ් මෝනිං කාට ආයුබෝවන් කාට "ස්වාගතං භන්තේ " කිව යුතුද යන්න පැටලී සිටි අප කොක්මාදූවේ ගුණසිරි හිමියන් පන්තියට පැමිණි විට කලබල වූයෙමු. සමහරු "ස්වාගතං භන්තේ " ද සමහරු ආයුබෝවන් ද කීහ.
හාමුදුරුවෝ ළමුන්ට වාඩි වන ලෙස දන්වා ගාථා පාඩම් ගත් සේක.
එම ගාථාව අපගේ බුද්ධාගම අච්චු පොතේ තිබූ ගාථාවකි. මේ ගාථාව නම් ඉධ තප්පති පෙච්ච තප්පති ගාථාවයි. මේ ගාථාව කාටවත් පාඩම් තිබුනේ නැත. මට ගාථාව පාඩම් තිබුනේ නැති අතර බුද්ධාගම අච්චු පොතද මා අත නොවීය. එම නිසා මෙම ද්විත්ව වරදට කොක්මාදූවේ ගුණසිරි හිමියන් විසින් මාව පන්තියෙන් එලියට දමා පාඩම කරගෙන ගියේය.
මෙසේ පන්තිය කරගෙන යන අතරමගදී හාමුදුරුවන් සතර බ්‍රක්ම විහරණ මොනවා දැයි පන්තියෙන් ඇසූහ. පන්තියේ එක කොල්ලෙකුටවත් උත්තර දීගත නොහැකි වූ මෙම ප්‍රශ්නයට මම කොරිඩෝවේ සිට පන්තියට ඔළුව දමා මෙත්තා කරුණා මුදිතා උපේක්‍ෂා කියා කීවෙමි. කොල්ලෝ සිනාසුණහ. මේ නිසා හාමුදුරුවන්ට තරහ ගියේය. හාමුදුරුවන් මට යළිත් බැන වැදී "එලියට දාපු කෙනාගෙන් මම ඇහුවේ නෑ " කී සේක.
මෙම සිද්ධිය ගැන හාමුදුරුවන් පසුව අපගේ පන්ති භාර ගුරුතුමිය වූ ගුණතුංග ටීචට කියූ අතර ගුණතුංග ටීච ජයවර්ධන සර් හට මෙය රපෝර්තු කළාය.
ගුණතුංග ටීච අපට ඉගැන්වූයේ සිංහලය. ගුණතුංග ටීච උගන්වන විට මම , ලාල් රූපතුංග , කපිල ජාසිංහ , ඩබල් එන් පී රත්නායක , ලියනපතිරණ , සකලසූරිය පන්තිය දෙවනත් කරන හෙයින් ගුණතුංග ටීච හාමුදුරුවන් ගේ පැමිණිල්ලද තවත් අතිරේක පැමිණිලිද එකතු කොට අපගේ සෙක්‍ෂනල් හෙඩ් වූ ජයවර්ධන සර් හට මා පිලිබඳ පරිසමාප්ත වාර්තාවක් දුන්නාය.
ගුණතුංග ටීච සද්ධර්ම රත්නාවලිය උගන්වන විට සකලසූරිය එක එක කතා කියයි. වරක් නන්ද කුමාරයා ජනපද කල්‍යාණිය අමතක කොට දෙවඟනන් ගැන සිත සිතා හිටි බව කී විට සකලසූරිය එක විටම ඇසුවේ "නන්ද කුමාරයා කෙට්ටු වෙන්න ඇති නේද? කියාය. කෙසේ නමුත් සකලසූරිය කරන බාධාද ගියේ මගේ කර පිටිනි.
ගුණතුංග ටීච ගේ වාර්තාව අනුව ජයවර්ධන සර් මට ඔහුගේ කාර්‍යාලයට එන්නට නියෝග කලේය. මෙම නියෝගය ලද මා එෆ්.සීඅයිඩියට හෙවත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට සිතාසි ලද අමාත්‍යාංශ ලේකම් කෙනෙකු මෙන් ගැහි ගැහී ගියෙමි. මම ජයවර්ධන සර් ගේ කාර්‍යාලයට ගිය වහාම " මොකක්ද අයිසේ තමුසේ මේ පන්තියේ ගුරුවරු උගන්නන කොට බාධා කරනවා කියන්නේ. හෙට ඉස්කෝලේ එන කොට අම්මව හරි තාත්තව හරි අරගෙන එනවා "කියා නියෝග කොට මට යන්නට අතින් සන් කලේය.
හෙට ඉස්කෝලේ එන කොට අම්මව හරි තාත්තව හරි අරගෙන එනවා කියා ජයවර්ධන සර් කීවෙන් වැඩේ දෙල් වූ බව මට වැටහුණි. මෙය නම් මාරම කෙළ වීමකි. ගෙදර ගොස් ජයවර්ධන සර් හෙට එන්න කිව්වා කියා මවට හෝ පියාට කීවේ නම් හේතුව අසනු ඇත. හේතුව කීවේ නම් පියාගෙන් පෝරියල් වැලකි. එසේම හෙට මව හෝ පියා නැතිව පාසල් ඒමට නොහැක. ජයවර්ධන සර් මාව අල්ලා ගනු ඇත.
මෙවැනි හදිසි අවස්ථාවල කොල්ලන්ට පිහිටට සිටියේ සයිමන් අයියාය. සයිමන් අයියා පාසල අසල කොණ්ඩය කපන සැලූන් එකක් දමා සිටි අතර කොල්ලන් ගේ බරපතළ ප්‍රශ්න වලදී උපදේශකයෙකු මෙන්ම සහායකයෙකුද විය.
එදින පාසල අවසන් වීමෙන් පසු මම සයිමන් අයියා සොයා ගියෙමි.
" සයිමන් අයියේ හෙට අම්මව හරි තාත්තව හරි අරගෙන එන්න කියලා ජයවර්ධන සර් කිව්වා. බැරිද පැයකට විතර පියෙක් හොයා ගන්න " මම සයිමන් අයියාගෙන් ඇසුවෙමි.
" එකෙක් නං ඉන්නවා කුප්පියාවත්ත හෝටලේ වේටර් කෙනෙක් , ප්‍රශ්නේ ඌ දවල්ටත් කණමදයා වගේ බීගෙන ඉන්නේ. ඕකට හොඳම කෙනා අර මයිනර් එක එලවන මෑන්. මීට කලිනුත් මෑන් ළමයි වෙනුවෙන් පෙනී ඉඳලා තියනවා. හැබැයි ජයවර්ධන මහත්තයා මිනිහව අඳුරනවා "
වැඩය හරි යන්නේ නැත. කුප්පියාවත්ත හෝටලේ වේටර් හෝ මයිනර් කාරයා මෙයට අරගෙන යා නොහැකි බව මට වැටහිණි. කෙසේ හෝ හෙට මව හෝ පියා අරගෙන පාසල් ආ යුතුය.
එදින රාත්‍රියේ කෑම කන විට මම සාමාන්‍ය ස්වරයකින් මෙසේ කීවෙමි. " හෙට ඉස්කෝලෙ ගුරු දෙගුරු රැස්වීමක් තියනවා. හෙට අම්මා හරි තාත්තා හරි එක්ක ඉස්කෝලේ එන්න කිව්වා
" ඉතින් ඉස්කෝලෙන් ලියුමක් දුන්නේ නැද්ද පියා ඇසුවේය.
" නෑනෙ ලියුම් මොකුත් දුන්නෙ නෑ හෙට ඉස්කෝලේ එන කොට අම්ම හරි තාත්තව හරි එක්ක එන්න කිව්වා. "
කෙටි සාකච්ඡාවකින් පසු මගේ මව පසුදා පාසලට ඒමට එකඟ වූවාය. මා ගැන සැක කල ඇය එන්නට කියූ හේතුව ඇසුව මුත් මම කීවේ "දන්නෙ නෑ ඉස්කෝලේ අලුත් බිල්ඩිං එකක් හදන්න යන හින්දා අාධාර ඉල්ලන්න වෙන්න ඇති" කියාය.
පසු දින උදයේ මම මව සමග ජයවර්ධන සර් ගේ කාර්‍යාලයට ගිය විට ජයවර්ධන සර් මා දෙස බැලූ බැල්මෙන් මෙය ගුරු දෙගුරු රැස්වීමක් නොව මා සම්බන්ධ නඩුවක් බව මව වටහා ගත්තාය.
මුලින්ම ආවේ ගුණතුංග ටීචය. ඒ සමග කොක්මාදූවේ ගුණසිරි හිමියන් ද ජයවර්ධන සර් ගේ කාර්‍යාලයට වැඩම කලේය. ගුණතුංග ටීච චෝදනා පත්‍රය කියවූවාය. ජයවර්ධන සර් වරින් වර මා දෙසත් මව දෙසත් බලයි. මට ඇපත් නැති වන බව වැටහුණි. මම හිස නවාගෙන ජයවර්ධන සර් ගේ මේසයේ කොණක් නියපොත්තෙන් සීරුවෙමි.
මේ අවස්ථාවේදී දෙවියන් විසින් එව්වාක් මෙන් ජයමහ සර් ජයවර්ධන සර් ගේ කාර්‍යාලයට ආවේය. ජයමහ සර් අපට සෞඛ්‍යය උගන්වන ගුරුවරයාය. මම සෞඛ්‍යය පන්තියේ කීකරු ගුණ යහපත් ළමයෙකි. "හී ඉස් අ වෙරි ගුඩ් බෝයි " කියා ජයමහ සර් මා වෙත අත දික් කොට ජයවර්ධන සර්ට කීවේය. ඒ සමගම අපට ඉංග්‍රීසි ඉගැන්වූ උසුලා විජේසූරිය ටීචද ජයවර්ධන සර් ගේ කාර්‍යාලයට පැමින පොතක අත්සන් කරන ගමන් මා දෙස බලා "යියස් රුවන් ඉස් අ වෙරි ගුඩ් බෝයි "කියා ජයවර්ධන සර්ට කීවාය.
ජයමහ සර් මෙන්ම උසුලා විජේසූරිය ටීචද මා ගැන කරන ගුණ කථන ඇසූ කොක්මාදූවේ ගුණසිරි හිමියන් " නෑ ඉතින් ඒ ළමයා තමයි පන්තියෙන් එලියට දැම්මත් ප්‍රශ්නෙට හරි උත්තරේ දුන්නේ " කී සේක. මේ පරස්පර ප්‍රකාශ ඇසූ ජයවර්ධන සර් ආකූල විය.
දැන් නඩු නැත , උසාවි නැත. චූදිත වනාහී යහපත් දරුවෙක් බව ගුරුවරු දෙදෙනෙක්ම කියන අතර හාමුදුරුවන් ද මා ගැන ගුණ කථනයක් දෙයි. ගුණතුංග ටීච හොල්මන් වී සිටින්නීය. ජයවර්ධන සර්ට මෙය හතර බීරි කතාවකි. මගේ මවටද සිදු වන්නේ කුමක්ද කියා එකවර වැටහුනේ නැත. කෙසේ නමුත් ජයවර්ධන සර් නඩුව විසුරුවා හැර මට පන්තියට යන ලෙස කීවේය. මම ඉබ්බා දියට කියා වහ වහා පන්තියට ගියෙමි.
එදින සවස පියා නඩුව අැසීමට සූදානම් වූ අතර මම වහ වහා ඩිෆෙන්ස් ලයින් එක ඇද්දෙමි. " දැං අම්ම ඉස්සරහම සෞඛ්‍යය සර්රුයි ඉංග්‍රීසි ටීචයි කිව්වනේ මම පන්තියේ හොඳට වැඩ කරනව කියලා "
මව හිස සැළුවාය.
" ඒ වගේම හාමුදුරුවොත් කිව්වනේ පන්තියේ ළමයි එක්කෙනෙක්ටවත් උත්තර දෙන්න බැරි උන ප්‍රශ්නෙට මම විතරයි හරි උත්තරේ දුන්නෙ කියලා "
මව එකඟතාවයෙන් හිස සැළුවාය.
පියාගේ නඩු ඇසීම ඉන් අහවර විය.
එදින රාත්‍රියේ පියා මව සමග කතා කරමින් මාව නාලන්දා විද්‍යාලයෙන් අස් කොට ආනන්ද විද්‍යාලයට දැමිය යුතු බව කියනවා ඇසුනි.
මෙය නම් අති විශාල ව්‍යසනයකි. ආනන්ද විද්‍යාලයට අළුත් සිසුවෙකු ලෙස ගිය විට කොල්ලන් ගෙන් ටොකු ලැබෙනු ඇත. එසේම ලාල් රූපතුංග , කපිල ජාසිංහ , ඩබල් එන් පී රත්නායක , ලියනපතිරණ , සකලසූරිය වැනි අතිජාත අපාය සහයක මිත්‍රයන් අත් හැර ආනන්ද විද්‍යාලයට යාමට මට බැරිය. එම නිසා මම වෙන පැලෑනක් ගැසුවෙමි.
මේ සිදුවීමෙන් දින දෙකකට පසුව මම දෙමාපියන් අමතා මෙසේ කීවෙමි. "අද ජයවර්ධන සර් මට කතා කරා. සර් හරි හොඳින් කතා කලේ. ඔයා හොඳට ඉගෙන ගන්න කිව්වා. ඔක්කොම ගුරුවරු ඔයාට කැමතියි ඒ නිසා ඕ ලෙවල් වලින් පස්සේ ශිෂ්‍ය නායක කමකට ඇප්ලයි කරන්න කිව්වා "
අනාගත ශිෂ්‍ය නායකයෙකු වන බව කියා මම ආනන්ද මරාලයෙන් ගැලවුනෙමි.
මේ කේස් එකෙන් පසු ජයවර්ධන සර් මට කතා කල බව සැබෑය. නමුත් ඔහු මට කීවේ මෙයයි.
" තමුසෙට මම අන්තිම පාර කියන්නේ , ආයේ සැරයක් පන්තියේ ගුරුවරු උගන්වන කොට කෝලං කරලා එන්න එපා , මම තමුසෙට වේවැල කැඩෙනකං ගහනව. තේරුණාද ?
ජයවර්ධ සර් ගේ මේ සැල් එකෙන් පසු මම පන්තියේ කේස් දමා ගත්තේ නැත.
මාව නඩුවෙන් ගලවා ගැනීම සඳහා මා වෙනුවෙන් සාක්‍ෂි දුන් ජයමහ සර් මීට වසර කීපයකට ඉහතදී මිය ගියේය. ඔහු නව යොවුන් වියේ ළමුන් ගැන අවබෝධයක් තිබූ යහපත් ගුරුවරයෙකු විය. ජයමහ සර් ගේ පුතා හේම එරන්ද ජයමහ මගේ මුහුණු පොතේ මිතුරෙකි. ඔහු ඇමරිකාවේ ජීවත් වෙයි.
කොක්මාදූවේ ගුණසිරි හිමියන් මීට දස වසකට ඉහත දී අපවත් වූ සේක. ඉංග්‍රීසි ඉගැන්වූ උසුලා විජේසූරිය ටීච මට 2002 වසරේ හමුවූ අතර ඇය විශ්‍රාමිකව පානදුරේ වෙසෙන්නීය. ඉංග්‍රීසි භාෂාවෙන්ද පොත් ලියන මා හට ඉංග්‍රීසි භාෂා අන්තිවාරම් වැටුනේ ඇය වැනි ගුරුවරියන් ගෙනි. මගේ දක්‍ෂතා මෙන්ම අඩුපාඩුද දැන සිටි උසුලා විජේසූරිය මිය ඉස්මතු කලේ මගේ අඩුපාඩු වරදවල් නොව හැකියාවන් ය. මාව ඉංග්‍රීසි විවාද කණ්ඩායමට බඳවා ගැනීමට ඇය මුල් වූවාය.
ගුණතුංග ටීච මා සමග කිසිම තරහක් නැත. වරක් නාලන්දා විද්‍යාලයේ ගුරු භවතුන් සඳහා සංවිධානය කොට තිබූ වෛද්‍ය සායනයකදී ඇය මගෙන් බෙහෙත් ගැනීම සඳහා ආවාය. අප නව යොවුන් වියේ විසේ කමට ගුණතුංග ටීච උගන්වන විට ඇයව ඇවිස්සූ බව සැබවි. එය සුදුසු ක්‍රියාවක් නොවන බව මම අද දිනයේ සිතමි.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
දැන් සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ ඉන්න අය ඔක්කෝම ඉස්සර නොටොරියස් කේස් ටිකක් නේද?.
ReplyDeleteතාමත් නොටොරියස්
Deleteමටත් මේ වගේ අලකලංචියක් වෙලා අපේ ගමේ මහතුන් කියලා මිනිහෙක් තමයි අය්යා කියලා ඉස්කෝලෙට එක්කන් ගියේ. මේකට යන්න කලින් කසිප්පු බාගයක් ඕන කිව්වා. මූ කොච්චර හොඳට රඟපෑවද කිව්වොත් ප්‍රින්සිපල් ඉස්සරහම මට නෙලන්න හැදුවෙ. අන්තිමට ප්‍රින්සිපල් තමයි මාව බේරගත්තේ.
ReplyDelete/මූ කොච්චර හොඳට රඟපෑවද කිව්වොත් ප්‍රින්සිපල් ඉස්සරහම මට නෙලන්න හැදුවෙ. අන්තිමට ප්‍රින්සිපල් තමයි මාව බේරගත්තේ/
Delete++++++++++++
ha ha ha ha
Deleteමරු කතාවක්.
ReplyDeleteThanks Raj
Delete/එෆ්.සීඅයිඩියට හෙවත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට සිතාසි ලද අමාත්‍යාංශ ලේකම් කෙනෙකු මෙන් ගැහි ගැහී/
ReplyDeleteමොන ගැහි ගැහිද? ඔතෙන්ට යන්ට වෙන පට්ට හොරු යන්නෙම ෆුල් ආතල් එකේ හිනා වෙවී ටෙලිවිෂන් කාරයින්ට එහෙමත් කලින් කියල...ඔතනට යන්ට වෙන එකම ඇති බයියො අතරෙ මහා වීරයෙක් වෙන්ට...:)
අනේ බන් විකාර කියවන්න එපා, එහෙම ආතල් එකේ යන්නේ රනිල්ලා, සිරාලා විජේදාසලා වගේ එකම ජාතියේ පල් හොරුන් එක්ක හොඳ ෆිට් එකේ ඉන්න ගමන් උඩින් බොරු තරහක් මවල පෙන්නල ගංවමින් රඟපාල අහිංසක ගංකබරු රවටන මරා, ගෝඨා, බැසිල, නාමලා, විකටවංස, මන්ගොංපිලා වැනි ගල් කපටියන්.
Deleteමේ වන විට රජයේ ආයතනවල වැඩකල අහිංසක එකවුන්ටන්ලා සහ හිත හොඳ නිලධාරීන් රැසක් "අත්සන්" කළ වරදට රිමාන්ඩ් වෙලා කොච්චර කට්ටක් කනවද කියල හොයල බලපන්? උන්ගෙත් වරද ලොක්කන්ට පණ බයේ කියන කියන විතිහට අත්සන්/ ලියුම්/ ඇපෲවල් දීපු එක. කපටි පොරවල් නම් ශේප් එකේ ජල්තරස් දාල බේරිලා ඉන්නෙ.
mmmmmmmm
Deleteරේවි, ඇද්ද අහගත්තා?
Delete++++++++++++++++++
ReplyDeletesalute
DeleteIn 1974 when I see him first time as my Bio teacher was exactly like this photo.
ReplyDeletehe has not changed much
Deleteගුරුවරු ගැන නම් කතා කියනවා නම් තියනවා පෝස්ට් එකක්ම ලියන්න.. සමහර ගුරුවරු දකින්නේ ළමයින්ගේ වැරදිමයි. ඒකයි ප්‍රශ්නේ. මමත් දැන් ගුරුවරයෙක් නිසා මේ ගැන මමත් දන්නවා..
ReplyDeleteළමයි අමුතුයි, බාහිරෙන් පෙන්වන එක නෙවෙයි ඇතුලේ තියෙන්නේ
Deleteරුවන් ආනන්ද මරාලෙන් බේරෙන්න ගහපු බොරුව නම් නියමයි. දෙමව්පියොත් හොල්මන්වෙන බොරු. නියම කතාව.
ReplyDeleteදැන් හිතෙනවා ආනන්දෙට ගියානම් හොඳයි කියලා එතකොට තව කොල්ලෝ සෙට් එකක් අඳුරගන්නවා
Deleteඉතාම සුන්දර පාසල් මතකයන්...මෙවැනිම මතක සමුදායක් මටත් තියෙනවා...සමහරක් ඒවා මේ වන විටත් කාමරේ ලියවිලා....
ReplyDeleteසිරා කොලුවා ඇතුලු නඩයක් සමාජ සත්කාරයකට අත ගැහුවා..කාමරේ පැත්තෙ ඇවිත් කියවලා බලන්න. හැකි නම් සහයෝගයකුත් දෙන්න. ඔබට ජය !
++++++++
Deleteරුවන් අයියා . නිලවීර සෑර් ගැන මතකයන් නැද්ද?
ReplyDeleteGalbatha ; Matakai matakai
Deleteඑකට සමහරක්, දෙකේ පන්තියේදී ටොකු ඇන්න ටීචර් ගැන මතක්කරකර සාප කරනවනේ!
ReplyDeleteov ov
Delete