Monday, October 31, 2016

ඩබල් එන් පී රත්නායක - මගෙ මිතුරා හොඳ මුනියා



ඩබල් එන් පී රත්නායක නාලන්දේ මා සමග පුරා වසර තුනක් පන්ති වල සිටියේය​. ඔහු මුලින්ම මා  සමග වැටුනේ අට වසරටයි. ඉන්පසු නවය  දහය පන්ති වලදී රත්නායක එකම පන්තියේ සිටියේය​. 

රත්නායකට ඩබල් එන් පී නම වැටුනේ අට වසරේදීය​. ඒකාලේ අපේ පන්ති භාර ගුරුතුමිය වූයේ ඇන්තූරියම් මල් රොඩ්‍රිගෝ ටීච ය​. ඇන්තූරියම් මල් පාසලේ වැවූ නිසා රොඩ්‍රිගෝ ටීච මල් රොඩ්‍රිගෝ විය​. 

රොඩ්‍රිගෝ ටීච එක එක ලමයාගෙන් නම අසන විට එන් එන් පී රත්නායක තම නම ඩබල් එන් පී රත්නායක කීවේය​. මෙයට මුළු පන්තියම සිනාසුනහ​. ඉන්පසු කොල්ලෝ රත්නායකට ත්‍රිබල් එන්පී යනාදී වශයෙන් නම් කීවෝය​. 

අට වසරේදී වරක් මට විහිළු කරන නමක්  කීම නිසා  කෝප වූ මා  රත්නායකට පහර දෙන බවක් පෙන්වා කටින් බය කර ගත්තෙමි. රත්නායක මට වඩා උසය​.  ඒ නිසා රත්නායක මම කටින් බය නොකර ගත්තේ නම් සිදු වන්නට තිබුනේ ජංජාලයකි. කෙසේ නමුත් රත්නායකද මා මෙන්ම තකට තක පන්තියේ නොටෝ‍රියස් වූයෙන් අප මිතුරන් වූයෙමු. 

ඒ කාලයේ අපේ අට ඩී පන්තියේ මම , රත්නායක , සකලසූරිය​, ලියනපතිරණ යන සතරදෙනා පන්තිය උඩු යටිකුරු කරන ලදි. අප විසින් මාජරීන් හෙවත් උපතිස්ස සර් උගන්වන විට කෑගැසීම , කෘෂිකර්ම සර් වූ විජේවර්ධන සර් නොහොත් බොහොඞා ඇවිස්සීම​,  විද්‍යාව ඉගැන්වූ අත්තනායක ටීචගේ පන්තියේදී උගන්වන විට බාධා කිරීම යනාදී වශයෙන් බොහෝ දඟ වැඩ කලෙමු. මේ නිසා අපගේ පන්තිභාර ගුරුතුමිය වූ රොඩ්‍රිගෝ ටීච ගෙන් සතියකට වරක් වත් අප හතර දෙනා බැණුම් අසන්නෙමු.

නවය වසරේදී අපගේ සිංහල ගුරුතුමිය වූයේ ගුණතුංග ටීචයි. අප සතරදෙනා ගුණතුංග ටීච ගුත්තිලය​, සද්ධර්ම රත්නාවලිය , සුභාශිතය උගන්වන විට කෝලම් කතා කියමින් ටීචව ප්‍රකෝප කලෙමු. ගුණතුංග ටීච පාඩම නවත්වා අපට බනින විට අප සතරදෙනාට මෙන්ම පන්තියේ අනෙකුත් කොල්ලන්ටද මාර ත්‍රිල් එකක් තිබුනි. 

ගුණතුංග ටීච සන්ධි ගැන උගන්වමින් පූර්වලෝප සන්ධිය යනාදී කියාදී අපෙන් සන්ධි ගැන අැසුවාය​. " දැන් සන්ධි දන්න ලමයෙක් අත උස්සලා සන්ධියක නමක් කියන්න" කියා කීවිට රත්නායකයා අත ඔසවා කීවේ සර්පණ සන්ධිය සහ සැද සන්ධිය කියාය​. මේ සර්පණ සන්ධිය සහ සැද සන්ධිය මිනිස් ශරීරයේ තිබෙන සන්ධි වන අතර මේවා අපට ඉගැන්වූයේ සෞඛ්‍යය පාඩමේදීය​. 

වරක් සමාජ අධ්‍යනය ඉගැන්වූ වැලිකල ටීච " ඕගොල්ලන්ට විභාගෙට අඟලේ සිතියමකුත් තියනවා " කියූ විට ඩබල් එන් පී රත්නායක "ඔහේ තිබිච්චාවේ "කීවේය​. මේ අතර අපගේ සූරයන් හතර දෙනා හට තවත් සූරයෙක් එකතු විය​. ඔහු අරුණ ශාන්ත හෙවත් මිනී ඔළුවාය​. මේ පස් දෙනා ගේ ගෝසා නිසා වැලිකල ටීච අපගේ පන්තියෙන් ගොස් තිලකරත්න ටීච සමාජ අධ්‍යනය ඉගැන්වීමට ආවාය​. 

ඩබල් එන් පී තිලකරත්න ටීච සමගද කෝලම් කලේය​. වරක් තිලකරත්න ටීච කළු ලෑල්ලේ සිතියමක් ඇඳ "මෙහෙන් එහා කැළනි ගඟ"  කීවාය​. එවිට ඩබල් එන් පී " ඔතනින් එහා කළු ලෑල්ලනේ " කීවෙන් මුළු පන්තියම බකස් ගා සිනාසුනෝය​. තිලකරත්න ටීච රත්නායක දෙස රවා බැළුවාය​. 

අපගේ නවයේ පන්තියට ජීව විද්‍යාව ඉගැන්වූ සර්ට කොල්ලන් කීවේ පූසා කියාය​. පූසා සර් උගන්වන විට වරක් රත්නායක සහ මිනී ඔළුවා ඤාව් ගෑවෙන් මුළු පන්තියම ජීව විද්‍යා සර් ගෙන් කෑමට ආසන්න විය​. මේ අතර ඉංග්‍රීසි ඉගැන්වූ පතිරගේ ටීච්ගේ පන්තියට රත්නායක පොකට් රේඩියෝවක් ගෙනවිත් ක්‍රිකට් විස්තර ඇසුවේය​. එම තරඟයේදී රෝයි ඩයස් හතරේ පහරක් එල්ල කලෙන් රත්නායකට ඉංග්‍රීසි පන්තියද අමතක වී ඔල්වරසන් දුන්නේය​. එම නිසා පතිරගේ ටීච පොකට් රේඩියෝව සමග රත්නායකව පන්තියෙන් එලියට දැම්මේය​. ඉක්බිති ඔහු කොරිඩෝවේ ඇණ තබාගෙන ක්‍රිකට් විස්තර ඇසුවේය. 

දහය වසරේදී මම , රත්නායක , සකලසූරිය​, ලියනපතිරණ සහ මිනී ඔළුවා පන්තියේ පිස්සු නටන නිසා ෆිසික්ස් ඉගැන්වූ අත්කොට හැට්ට ඇඳි ගුරුතුමිය අපගේ පන්තියට ඒම ප්‍රතික්ශේප කළාය​. මේ කාලයේදී මිනී ඔළුවා කාඩ් පැක් එකක් ගෙනවිත් රත්නායකට ඔමී ගසන හැටි උගන්වන ලදි . ඉන් පසු නිදහස් කාල පරිච්ඡේද වල ඔවුන් ඔමී ගැසූහ​. අප වටවී බලා සිටියෙමු. 

මේ මදාවි කොල්ලන් කණ්ඩායමේ ක්‍රියා නිසා සතියකට වතාවක් ජයසූරිය සර් හෝ ජයවර්ධන සර් අපගේ පන්තියට පැමිණ දෝස් මුරයක් දී වේවැල පෙන්වා තර්ජනය කරති. එහෙත් මේ මදාවියන් ඒ අවස්ථාවේදී පූසන් මෙන් සිට පසුව පන්තියේ කෝලම් නටති. 

බුද්ධාගම ඉගැන්වූ කොක්මාදූවේ ගුණසිරි හාමුදුරුවන්ටද මොවුන්  විකාර කතා කීමෙන් බාධා කලහ​. එම නිසා හාමුදුරුවන් ඉදිරි පේලි වල සිටි ඉගෙන ගැනීමට උනන්දුව දැක්වූ ළමුන්ට පමණක් ඇසෙන සේ පාඩම කරගෙන ගිය අතර ටික වෙලාවක් යන විට මොවුන් ද හාමුදුරුවන් අසලට විත් ඉතා උනන්දුවෙන් පාඩමට සවන් දෙන්නාක් මෙන්  නෙත් අයාගෙන සිටියහ​.  

වරක් බුද්ධාගම පීරියඩ් එකකදී ඈතින් අපගේ පන්තියෙ වෙත වඩින කොක්මාදූවේ ගුණසිරි හාමුදුරුවන්  දුටු රත්නායක සහ ගැන්සිය එක වරම හයියෙන් ගෙල වට බැන්දා  වූ මුතු පොටේ ගීතය ගැයුවෝය​. පන්තියේ අනෙකුත් ළමෝද ගැයීමට හවුල් වූ අතර පන්තියේ ගෝසාව නිසා හාමුදුරුවන් ආපසු හැරී ගුරු විවේකාගාරයට වැඩි සේක​. අප අහම්බෙන් මෙන් ලැබුනු  ෆ්‍රී පීරියඩ් එකේ ගීත ගයමින් විනෝද වූයෙමු. මේ විනෝදය කැඩී ගියේ අල්ලපු පන්තියක උගන්වමින් සිටි නිලවීර මයා වේවැල සමග කඩා වැදීම නිසාය​. 

අපට ගණිතය ඉගැන්වූයේ. වික්‍රම සෙනෙවිරත්න (කිරිහාමි) මහතාය. වරක් ත්‍රිකෝණ අංග සම කිරීම ඉගැන්වූ වික්‍රම සෙනෙවිරත්න මහතා   ඒ කෝණය සමානයි බී   කෝණය , සී කෝණය සමානයි ඩී කෝණය , ඒබී පාදය සමානයි ඩීසී පාදය එම නිසා ත්‍රිකෝණ දෙක අංග සමයි කී විගසම ඩබල් එන් පී සෙමෙන් " අම්මප " කීවේය​. එය ඇසුනු අප සිනාසුනෙමු. වික්‍රම සෙනෙවිරත්න මහතා විහිළුවට බර නිසා රත්නායක එදා කෑවේ නැත​. 

ගුරුවරුන්ට විජ්ජා පෙන්වීමෙන් පමණක් නොනැවතුනු ඩබල් එන් පී රත්නායක සහ පිරිස පන්තියේ සිටි උස මහත ළමයා වූ කපිල මුණසිංහ හෙවත් බඩා මුනේව බයිට් එකට ගත් හ. මේ විහිළු කතා නිසා උරණ වන බඩා මුනේ පහර දීමට එන විට මේ කොල්ලන් කණ්ඩායම දුවති. මුණසිංහ මහත නිසා ඔහුට දිවීමට නොහැක​. 

වරක් වාර්ශික ඕල්කට් දානයට කළමනා ඉල්ලාගෙන  ශිෂ්‍ය නායකයන් හතර දෙනක් අපේ පන්තියට ආවෝය​. මමත් ඩබල් එන් පී රත්නායකත්  මුණසිංහට කවට කමක් කිරීමට ගිවිස ගත්තෙමු. රත්නායක ශිෂ්‍ය නායකයන් වෙත ගොස් කරවල කිලෝ හතරක් දානයට පොරොන්දු විය​. 

"මල්ලිගේ නම මොකක්ද ? කියා ශිෂ්‍ය නායකයෙක් ඇසූ විට රත්නායක "කපිල මුණසිංහ" කියා කීවේය​. එම ශිෂ්‍ය නායකයා කපිල මුණසිංහගේ නම ලියා එයට ඉදිරියෙන් කරවල කිලෝ හතරයි කියා ලිව්වේය​. ඉන් සති දෙකකට පසුව  ඕල්කට් දානයට කළමනා එකතු කිරීමට ආ ශිෂ්‍ය නායකයන් පිරිසක් අපගේ පන්තියට ආවෝය​. එවිට අපට තිබුනේ සෞඛ්‍යය  පීරියඩ් එකයි. අපට සෞඛ්‍යය ඉගැන්වූයේ ජයමහ සර් ය​. එක් ශිෂ්‍ය නායකයෙක් කපිල මුණසිංහගේ නම  කියා "කෝ කරවල කිලෝ හතර? කියා ඇසුවේය​. කපිල මුණසිංහ උඩ බිම බැලූ  අතර මටත් රත්නායකටත් සිනහව නවතා ගත නොහැකි විය​. කරවල නොලැබුනු නිසා ශිෂ්‍ය නායකයන්  මුණසිංහට දොස් කියමින් ගියෝය​. ඉන් පසුව කොල්ලන් මුණසිංහට කරවල මහත්තයා කියා නමක් පට බැන්දෝය​. 

ජයමහ සර් මැලේරියාව ගැන වරක් උගන්වමින් 1930 ගනන් වල ලංකාවේ මැලේරියාව පැතිරී ගිය බවත් ජනතාවට සහන බෙදමින් ගිය එන් එම් පෙරේරාට මිනිසුන් පරිප්පු මහත්තයා කියූ බවත් පැවසුවේය​. එසැනින්ම අප කපිල මුණසිංහට අප පරිප්පු මහත්තයා කියාද නමක් පට බැන්දෙමු. 

 දිනක් ගමනායක වෙරළු තොගයක් පන්තියට ගෙනාවේය​. රත්නායක ඇතුළු කණ්ඩායම වෙරළු කා ඇට වලින් කොල්ලන්ට ගැසූහ​. වැඩියෙන්ම ගැසුවේ කොකටුවාටය. හිසට වැදෙන වෙරළු ඇට නිසා කොකටුවා කුඩයක් ඉහලාගෙන සිටියේය​. මෙය දුටු සකලසූරිය කොල්ලෙක් ගේ පොත් බෑග් එකක් කුඩය ඉහලාගෙන සිටි කොකටුවා ගේ හිස මතට යැවීය​. කුඩයද කඩාගෙන පොත් බෑග් එක කොකටුවා ගේ හිස මත වැටුණි. කොකටුවා ජයවර්ධන සර් ගේ කාර්‍යාලයට ගොස් පැමිණිලි කරන බවට තර්ජනය කොට නැගිට්ටා පමණි ඩබල් එන් පී ඔහුව බදා ගත්තේය​. ඉන් ටික වේලාවකට පසුව සෞඛ්‍යය පාඩම සඳහා ජයමහ සර් ආවෙන් කොකටුවා සන්සුන්ව වාඩි විය​. ඔහුට කොල්ලන් කොකටුවා කීවේ ඔහුගේ නාසය කොකටුවෙකුගේ මෙන් වක් වී තිබීම නිසාය​. 

අපට ඉංග්‍ර්‍රීසි ඉගැන්වූයේ උසුලා විජේසූරිය මහත්මියයි. වරක් ඇය Some areදමා වාක්‍යයක් කියන්න කීවාය​. ජානක පෙරේරා Some are from America කීවේය​. ගොඩකන්ද Some are from UK  කීවෙය . එවිට ඩබල් එන් පී,  සම්මා සම් බුදුන් කීවෙන් පන්තිය සිනහවෙන් පිරී ගියේය​. 

මෙලෙස තෙවසරක් පුරා ඩබල් එන් පී රත්නායක සමග පන්ති වලදී කෝලම් කිරීමෙන් පසුව සාමාන්‍ය පෙළ විභාගය ලියා අප උසස් පෙළට ගියෙමු. උසස් පෙළදී මමත් රත්නායකත් වෙන්වූයෙමු. ඉන් පසු පුරා වසර තිස් එකක් අප හමු නොවූයෙමු. අප යළි හමු වන්නේ 2016 දී මුහුණු පොතෙනි.  

වර්තමානයේ රත්නායක දේපළ වෙලඳාම් කරන ව්‍යාපාරිකයෙකි. එසේම නාලන්දා ආදි  ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයෙකි. දෙදරු පියෙකි. ඔහු දැන් ඉතා සීරියස් පුද්ගලයෙකි. ඒකාලයේ ඔහු විසින් කරන ලද විකාර වැඩ  සමහරක් ඔහුටද මතක නැත​. නමුත් ඒවා මට අද වූවද මැවී පෙනේ. 

මා මෙන්ම ඩබල් එන් පී රත්නායක සහ පිරිස පාසලේ පරමාදර්ශී සිසුන් නොවූයෙමු. අප පාඩම සමග කොළු කාලයේ කරන කවටකම් සොයා ගියෙමු. අපව වරදවා වටහා ගත් සමහරක් ගුරුවර ගුරුවරියන්  අප අධ්‍යාපනය කාබාසිනියා කරගෙන කාලකන්නි වන බවට අණාවැකි කිව්වෝය​. එහෙත් මේ අණාවැකි අප බොරු කලෙමු. මිනී ඔළුවා පමණක් අකාලයේ මිය ගිය මුත් ඩබල් එන් පී ඇතුළු විකාර කල්ලිය අද වැඩදායී පුරවැසියන් වෙති. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග

30 comments:

  1. රත්නායකට කියන්න තිබුණේ, some are sum Budun කියලා ඉංග්‍රීසියෙන්. මිනිහා සිංහලෙන් කිව්ව එකයි වැරැද්ද.

    ReplyDelete
  2. //සම්මා සම් බුදුන්//

    මේකනේ ටෝක.....

    ReplyDelete
  3. ///ඒකාලයේ ඔහු විසින් කරන ලද විකාර වැඩ සමහරක් ඔහුටද මතක නැත​. නමුත් ඒවා මට අද වූවද මැවී පෙනේ. ///
    මම මේ වගේ අතීත සිද්ධි අමතක කරලා දාන මිනිස්සුන්ට කැමති නැහැ...

    ReplyDelete
  4. මේක ඉස්සර ලියපු බ්ලොග් එකක්. මට රුවන්ගෙ කතා කියවද්දි මතක් වුනේ.

    https://ibikatha.wordpress.com

    ReplyDelete
  5. සුළඟේ ලෙලෙනා මල් සේ දඟපා අප පාසැල් ගිය කාලයේ .......

    ReplyDelete
    Replies
    1. අප පාසැල් ගිය කාලයේ .......

      Delete
  6. මේක කියෙව්වේ වයිෆ් එක්ක. මේ මනුස්සයා හිනාවෙනවා හෝ ගාලා. මම ඇහුවා ඇයි කියලා. මට සම්මා සම් බුදුන් පෙන්නුවා. හිනා කාලා මැරුනා.

    ReplyDelete
    Replies
    1. ඌ කරපු ඒවා තව තියනවා ඔය බ්ලොග් එකෙ දාන්න පුලුවන් ඒවා

      Delete
  7. නාලන්දේ අයනේ? :P

    උඩ පින්තූරේ ඉන්නේ ඩබල් එන් පී රත්නායකද? හම්මෝ හරි නරක ලමයි ටිකක්. අපි නම් ඔය වගේ දඟ වැඩ කිසිම දෙයක් කලේ නෑ.

    ReplyDelete
    Replies
    1. නාලන්දෙ අයට එච්චර පණ නෑ කිව්වේ මෙඩුසා රුවන්. බලාගෙන.

      Delete
    2. උඩ පින්තූරේ ඉන්නේ ඩබල් එන් පී රත්නායක

      නාලන්දෙ අයට එච්චර පණ නෑ?????

      Delete
  8. අපිත් ඔය පාඩම කලා. අපි ඕකට තව දෙකක් එකතු කරලා බැණුම් ඇහුවා.

    සම් ආ ආජීව
    සම් ආ වායාම

    නාලන්දෙ අවුලක් වෙන්නැති

    ReplyDelete
  9. රුවන් දන්නවද දන්නෙ නැහැ, වැලිකල ටීච අවුරුද්දකට විතර කලින් නැති උනා කියලා.

    ගිය සෙනසුරාදා (29 දා) අවුරුද්දෙ දානමය පිංකම තිබුණ "ටොරෝන්ටෝ මහා විහාර" ස්වාමින් වහන්සේලාගේ සහබාගිත්වයෙන්.

    ReplyDelete
    Replies
    1. වරක් 10 වසරේදී පාසලට අලුතින් ආපු ලමයෙකුට පසුපසින් සිට සකලසූරිය ඔලුවට තට්ටුවක් දැම්මා මෑන් ඒක මම කරේ කියලා හිතලා මට එකක් ගැහුවා. මම පොරව පෙරලගෙන ගුටි දෙනකොට වැලිකල ටීච ඇවිත් ගෝරිය බේරලා අපි දෙන්නා දෙපැත්තට ඇදලා ගත්තා. පස්සේ අලුත් මෑන්ව වෙන පන්තියකට දැම්මා. ඒ කාලේ වැලිකල ටීචට 1982 එච්චර වයසක් තිබ්බේ නෑ

      Delete
  10. අදාල පීරියඩ් එකේ ඉගනගන්නැතුව කොහොම හරි ගුරුවරයව ට්‍රැක් පන්නන එක තමා ඒ කාලෙ තිබුන ලොකුම වීරකම.. හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ට්‍රැක් පන්නන එක අපේ විනෝදාංසේ

      Delete
  11. මේ වගේ මතක බොහොමයක් තියෙනවා. බොහොම ස්තූතියි පෝස්ට් එකට

    ReplyDelete
  12. ෆේස්බුක් එක මරු තැනක් අප්පා... සකර්බර්ක් මහතා බුදුන් දැක නිවන් දකින්න ඕන..

    ReplyDelete
  13. මේ වගේ සොඳුරු මතක අමතක නොවී තිබෙන එකම මදැයි.කොකටුවා කුඩේ ඉහලාගෙන පන්තියේ හිටි හැටි මැවිලා පෙනුනා.

    ReplyDelete
    Replies
    1. කොකටුවාට මල , කුඩය කැඩුනා පොත් බෑග් එක වැටිලා

      Delete
  14. අපේ පන්තියේ හිටියා ජයසිංහ කෙනෙක් මුල අකුරු පහක් විතර නමට තිබුන. එයාව ඇල්ෆබට් ජයසිංහ කියලා බෞතීස්ම කලේ අපේ ඉංග්‍රීසි ටීචර් කරුනාරත්න මිය. 77 අපි 12 වසරේ ඉන්නකොට අපේ පංතියේ හිටියා පිස්සු පොරක් අනුර කියලා .නමේ ඉතුරු හරිය මතක නෑ. මිනිහා ඒ කාලේ ඔය අත බලලා සාත්තර එහෙම කියනවා.ඒකා කසාද බැන්දා කියලා මොකක් හරි ඉරිදා පත්තරේක ලියන්නෙක් අල්ලගෙන ලිපියක් දාගෙන තිබුනා. පහුවදා අපේ ක්ලාස් ටීචර් රංජනී මිස් ඇවිල්ලා හෙන ගෝරියක් දැම්මා . පුදුමයි ජයසූරිය සර් ඇවිත් දෝස්මුරයක් දැම්මා කිව්වහම. වැරදිලාවත් කොල්ලෙකුට බනින්නේ නෑ හයියෙන්. ඒකට ලොකු විතාන සර්.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook