Sunday, August 27, 2023

ගණිතඥයෙකු, දේශපාලනික සහ ආගමික ගුරුවරයෙකු වූ පයිතගරස් (Pythagoras of Samos)



වෛද්‍ය රුවන් එම් ජයතුංග 

අයෝනියානු ග්‍රීක දාර්ශනිකයෙකු වූ පයිතගරස් Pythagoras of Samos (570 ක්‍රි.පූ- 495 ක්‍රි.පූ) ඔහු ප්‍රාග් සොක්‍රටික් දාර්ශනිකයකි. පයිතගරස් පළමු ගණිතඥයා ලෙස විස්තර කෙරේ. ඔහු ගණිතය, දර්ශනය, තාරකා විද්‍යාව සහ සංගීතය කෙරෙහි උනන්දුවක් දැක්වීය​. පයිතගරස්ගේ දර්ශනය ඇරිස්ටෝටල්, ප්ලේටෝ වැනි දාර්ශනිකයන්ගේ සහ තවත් බටහිර චින්තකයින් කිහිප දෙනෙකුගේ ඉගැන්වීම්වලට බෙහෙවින් බලපෑවේය.

තරුණ වියේදී පයිතගරස්  සයිරෝස්හි ෆෙරෙකයිඩ්ස් ගේ බලපෑමට ලක් විය. දෙදෙනාටම ජීවිතය පිළිබඳ සමාන අදහස් තිබූ අතර දෙදෙනාම එකිනෙකාට ලෙස නැඹුරු වූහ. මැදපෙරදිග පුරා සහ ඉන්දියාවට පුළුල් ලෙස සංචාරය කළ ෆෙරෙකයිඩ්ස් පුනරුත්පත්තිය සහ ආත්මයේ අමරණීයභාවය පිළිබඳ මූලධර්ම ඉගෙන ගත් අතර, පයිතගරස් වෙත මෙම නව විශ්වාසයන් ගෙන ආවේය. එසේම මිලේටස් හි ජීවත් වූ තේල්ස් සහ ඔහුගේ ශිෂ්‍ය ඇනක්සිමැන්ඩර් පයිතගරස් ගේ දැණුම වර්ධනය කෙරෙහි කෙරෙහි බලපෑවේය. පයිතගරස් වයස අවුරුදු 18 ත් 20 ත් අතර කාලයේ මිලේටස් හි තේල්ස් වෙත ගිය බව කියනු ලැබේ. තේල්ස් පයිතගරස්ගේ ගණිතය සහ තාරකා විද්‍යාව කෙරෙහි ඇති උනන්දුව සඳහා දායක වූ අතර, මෙම විෂයයන් පිළිබඳ වැඩිදුර ඉගෙන ගැනීමට ඊජිප්තුවට යන ලෙස ඔහුට උපදෙස් දුන්නේය. ඇනක්සිමැන්ඩර් ජ්‍යාමිතිය සහ විශ්ව විද්‍යාව ගැන උනන්දු වූ අතර එම විෂයයන් පයිතගරස් ග්‍රහනය කර ගත්තේය. 

පයිතගරස් විශාල වශයෙන් සංචාරය කළ බව කියනු ලබන අතර ඩයෝජිනීස් ලාර්ටියස් පවසන පරිදි ඊජිප්තුවරුන්, බැබිලෝනියන්, ෆිනීෂියානුවන්, පර්සියානුවන්, යුදෙව්වන්, සහ ඉන්දියානුවන්  ගෙන් දැණුම ලබා ගත්තේය.  ඇතැම් විට ඔහු ගෞතම බුද්ධ පිලිබඳව දැන සිටින්නටත් ඇත. කර්මය පිළිබඳ ඔහුගේ විශ්වාසය බෞද්ධයන් වෙතින් ලබා ගත්තේද යන සැකය මතු වේ. ඇතැමෙකු පයිතගරස් සොරොස්ට්‍රියානු Zoroaster ගේ ශිෂ්‍යයෙකු බව කියති. 

පයිතගරස් ලියූ ලේඛන කිසිවක් ඉතිරි වී නැත. පයිතගරස්ගේ ඉගැන්වීම් පිළිබඳ මුල්ම මූලාශ්‍රය ඔහුගේ සමකාලීනයෙකු වූ කොලොෆොන්හි සෙනෝෆන්ස් විසින් ඔහුගේ මරණයෙන් පසුව ලියන ලද  ලද්දකි. ඔහුගේ සමකාලීනයෙකු වූ ක්‍රෝටන්හි ජීවත් වූ වෛද්‍යවරයකු වූ ඇල්ක්මියොන් පයිතගරස් ඉගැන්වීම් ඔහුගේ ලේඛනවලට ඇතුළත් කලේය. එපීසස් හි හෙරක්ලිටස් කවියා ද පයිතගරස් පිලිබඳව ලිවීය. පයිතගරස් පිළිබඳ පළමු සංක්‍ෂිප්ත විස්තරය පැමිණෙන්නේ ඉතිහාසඥ හෙරොඩෝටස් ගෙනි. 

පයිතගරස්   ග්‍රීක, ලෙවන්ටයින් සහ මෙසපොතේමියානු සංස්කෘතීන්ගේ බලපෑමට ලක් වූ අයෙකි. අනෙකුත් බොහෝ වැදගත් ග්‍රීක චින්තකයින් මෙන්ම පයිතගරස් ද ඊජිප්තුවේ අධ්‍යාපනය ලැබූ බව පැවසේ. ඇතැම් පැරණි ලේඛකයන් කියා සිටියේ පයිතගරස් ඊජිප්තුවරුන්ගෙන් ජ්‍යාමිතිය සහ metempsychosis මූලධර්මය ඉගෙන ගත් බවයි. ෆිනීෂියානුවන් පයිතගරස්ට ගණිතය උගන්වා ඇති අතර කල්දිවරුන් ඔහුට තාරකා විද්‍යාව උගන්වා ඇත.  පුරාණ මූලාශ්‍රවල පයිතගරස් විවිධ ස්වදේශික ග්‍රීක චින්තකයින් යටතේ අධ්‍යාපනය ලැබූ බව ද වාර්තා වේ.

ඇරිස්ටෝටල් පයිතගරස්ගේ ඉගැන්වීම් ගැන දීර්ඝ වශයෙන් ලියයි. ඇරිස්ටෝටල්ට අනුව, පයිතගරස්ගේ අනුගාමිකයන් වූ පයිතගරස්වරු ගණිතය භාවිතා කළේ ප්‍රායෝගික භාවිතයකින් තොරව හුදෙක් ගුප්ත හේතුන් සඳහාය. සියලු දේ සංඛ්‍යා වලින් සෑදී ඇති බව පයිතගරස්වරු විශ්වාස කළහ. වෝල්ටර් බර්කර්ට් තර්ක කරන්නේ පයිතගරස් ප්‍රතාපවත් දේශපාලනික සහ ආගමික ගුරුවරයෙකු වූ බවයි. ප්ලේටෝ සහ අයිසොක්‍රටීස් යන දෙදෙනාම ප්‍රකාශ කරන්නේ, අන් සියල්ලටමත් වඩා, පයිතගරස් නව ජීවන රටාවක නිර්මාතෘවරයා ලෙස හඳුන්වන ලද බවයි. 

පයිතගරස්, ගණිතයේ ආරම්භයට සැලකිය යුතු දායකත්වයක් ලබා දුන් බව අවිවාදිතය. සංඛ්‍යා" සහ ගණිතය තුළින් භෞතික ලෝකය අවබෝධ කර ගත හැකි බව පයිතගරස් උපකල්පනය කලේය. පයිතගරස්ට, ගණිතය යනු ඥානාලෝකය සහ අවබෝධය කරා යන මාර්ගය විය. ගණිතයේ මූලධර්ම, සංඛ්‍යා සංකල්පය, ත්‍රිකෝණ, ඉරට්ටේ සහ ඔත්තේ සංඛ්‍යා, ත්‍රිකෝණාකාර සංඛ්‍යා, පරිපූර්ණ සංඛ්‍යා ,ගණිතමය රූප පිළිබඳ සංකල්පය සහ සාධනයක් පිළිබඳ වියුක්ත අදහස් කෙරෙහි ඔහු උනන්දු විය. පයිතගරස්  සිතුවේ සංඛ්‍යා "[මිනිස්] මනසින් පිටත" පවතින බවත් ලෝකයෙන් වෙන් වූ බවත්‍ ය​. ගණිතයට මානව හැඟීම් සහිත ලෝකය පැහැදිලි කළ හැකි බව පයිතගරස් විශ්වාස කලේය. පයිතගරස් දර්ශනය, ගණිතය සහ ආගම ඒකාබද්ධ කලේය. ආත්මය පිරිසිදු කිරීමට හොඳම මාර්ගය ගණිතය හැදෑරීම බව ඔහු ප්‍රකාශ කලේය.

පයිතගරස් චින්තනයේ වඩාත් ප්‍රසිද්ධ මූලධර්මය වන්නේ, "සියල්ල සංඛ්‍යා"’ යන්නයි. ස්වාභාවික ලෝකය තේරුම් ගැනීමට ගණිතය භාවිතා කළ හැකි බව මුලින්ම යෝජනා කළේ පයිතගරස් ය. පයිතගරස්ට පෙර, බොහෝ මිනිසුන් ගණිතය දුටුවේ භෞතික ලෝකයට කිසිදු සම්බන්ධයක් නැති තනිකරම වියුක්ත විෂයයක් ලෙස ය. පයිතගරස් ඒ සියල්ල වෙනස් කළේ ගණිතමය සංකල්ප මගින් නිරීක්ෂිත සංසිද්ධීන් පැහැදිලි කළ හැකි ආකාරය පෙන්වා දීමෙනි.

පයිතගරස් සංගීතය පිළිබඳ ගණිතමය හා පර්‍යේෂණාත්මක අධ්‍යයනයේ පුරෝගාමියා විය. පයිතගරස් සංගීතයේ ගණිත න්‍යාය සඳහා කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන්නේය. පයිතගරස් දක්‍ෂ සංගීතඥයෙක් වූ අතර, මනෝභාවයට බලපෑම් කිරීමට සංගීතය භාවිතා කිරීම විශ්වාස කළේය. ඔහු තම සංගීතයෙන් මිනිසුන් සුවපත් කිරීමට පවා සමත් වූ බව කියනු ලැබේ. පයිතගරස් සංගීතයට ගණිතමය අත්තිවාරම් ඇති බව කීවේය. සංගීත සටහන් ගණිතමය සමීකරණවලට පරිවර්තනය කළ හැකි බව ඔහු සොයා ගත්තේය. පයිතගරස් විශ්වාස කළේ සංගීතය ශරීරයට පවිත්‍ර කිරීමක් වන්නා සේම සංගීතය ආත්මයටත් පිරිසිදු කිරීමක් බව ය. චිකිත්සක නැටුම්, දර්ශනීය මාර්ග ඔස්සේ දිනපතා උදෑසන ඇවිදීම සහ මලල ක්‍රීඩා පයිතගරස් ජීවන රටාවේ ප්‍රධාන කොටස් විය.

ජ්‍යාමිතික මූලද්‍රව්‍ය සංඛ්‍යා සමඟ අනුරූප වන සහ පූර්ණ සංඛ්‍යා සහ ඒවායේ අනුපාත තාර්කික හා සත්‍ය පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය වූ සම්පූර්ණ ගණිත පද්ධතියක් ගොඩනැගිය හැකි බව පයිතගරස් සොයා ගත්තේය. පයිතගරස්ගේ සමයේ ග්‍රීක ශිෂ්ඨාචාරයේ ස්වභාවික සංඛ්‍යා - එනම් ධන නිඛිල (ශුන්‍යයක් නොතිබුණි). නමුත් ඔවුන්ගේ ග්‍රීක සමකාලීනයන් මෙන් නොව, පයිතගරස්  සංඛ්‍යා නිරූපණය කළේ සංකේතාත්මකව මිස අකුරු හරහා නොවේ. පයිතගරස් අක්ෂීය ජ්‍යාමිතියේ (axiomatic geometry) ආරම්භයට බලපෑමක් ඇති කළ දාර්ශනික ගණිතඥයෙකි. පයිතගරස් ප්‍රමේයය මගින් විස්තර කරන ලද සම්බන්ධතාවය බැබිලෝනියාවේ, චීනයේ, මෙසපොතේමියාවේ, ඉන්දියාවේ ගණිතඥයින් දැන සිටියත්, එය ඔප්පු කළ පළමු පුද්ගලයා පයිතගරස් ය

පයිතගරස් විද්‍යාවේ මූලධර්ම පරීක්‍ෂා කරමින් සහ ප්‍රමේයයන් අභෞතික හා බුද්ධිමය ආකාරයෙන් විමර්ශනය කළේය. එසේම අතාර්කික හා ගොඩනැගීමේ න්‍යාය සොයාගත්තේ ය. පයිතගරස්ගේ ඉගැන්වීම් සහ පයිතගරස්වාදය ක්‍රි.පූ. 5 වැනි සියවසේ භෞතික විශ්ව විද්‍යාව, මනෝවිද්‍යාව, ආචාර ධර්ම සහ දේශපාලන දර්ශනය පිළිබඳ ප්ලේටෝගේ ලේඛනවලට බලපෑවේය. පයිතගරස්ගේ සදාචාරාත්මක ඉගැන්වීම් මුල් ක්‍රිස්තියානි ධර්මයට බලපෑ අතර මුල් ක්‍රිස්තියානි ග්‍රන්ථ වලට උකහා ගත්හ.

තාරකා විද්‍යාව කෙරෙහි ඔහු තුළ වූ ආකර්ෂණය, සංඛ්‍යා පිළිබඳ ඔහුගේ ගැඹුරු අවබෝධය සමඟින් පයිතගරස් පෘථිවිය ඇත්ත වශයෙන්ම ගෝලයක් බව තහවුරු කිරීමට හේතු විය​.  තාරකා විද්‍යාවේ දී පයිතගරස් ඉගැන්වූයේ පෘථිවිය විශ්වයේ මධ්‍යයේ ඇති ගෝලයක් බවයි. චන්ඳ්‍රයාගේ කක්‍ෂය පෘථිවි සමකයට නැඹුරු වී ඇති බව ද ඔහු හඳුනා ගත් අතර සවස් කාලයේ දිස් වූ තරුව සිකුරු ග්‍රහලෝකය බව මුලින්ම වටහා ගත් පුද්ගලයන් ගෙන් එක් අයෙකු විය. ග්‍රහලෝක ගණිතමය සමීකරණවලට අනුව චලනය වන බවත් කීවේය. ඔහු විශ්වාස කළේ සංඛ්‍යා විසින්ම විශ්වයේ සැබෑ ස්වභාවය පැහැදිලි කරන බවයි.පෘථිවිය දේශගුණික කලාප පහකට බෙදූ පළමු පුද්ගලයා ඔහු බවත් කියනු ලැබේ.

ඔහු පුනරුත්පත්තිය - ආත්මයන්ගේ සංක්‍රමණය පිළිබඳව කථා කලේය. සියලුම ආත්මයන් සදාකාලික බවත්, භෞතික ශරීරය මිය ගිය විට, එය සරලව පාවී ගොස් ජීවත් වීමට නව ශරීරයක් සොයා ගන්නා බව ඔහු කීවේය. පයිතගරස්ට අනුව, මිනිස් ආත්මයට එක් මිනිස් සිරුරකින් තවත් ශරීරයකට පමණක් නොව, සතුන් හෝ ශාක වැනි වෙනත් ජීවීන්ගේ ශරීරවලටද සංක්‍රමණය විය හැකිය. 

පයිතගරස්වාදය යනු පයිතගරස්ගේ විශ්වාසයන් මත පදනම් වූ දර්ශනයක් සහ ලබ්ධියකි. පයිතගරස්වරු සංඛ්‍යා වන්දනා කළ අතර, පුනරුත්පත්තිය විශ්වාස කළ අතර නිර්මාංශත්වය ප්‍රගුණ කළහ. පයිතගරස්වාදය ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේදී ආරම්භ විය. එය ආගමික සංවිධානයක් බඳු විය​. පයිතගරස්වාදය ප්‍රධාන ක්‍ෂේත්‍ර දෙකක් වටා කැරකුණි. මෙම ක්‍ෂේත්‍ර වන්නේ පයිතගරස් ප්‍රමේයන් සහ පයිතගරස් ගුප්තවාදයයි. පයිතගරස් දර්ශනයේ ප්‍රධාන ආඥාව වූයේ “යථාර්ථය යනු සංඛ්‍යාවයි” පයිතගරස්වරු විශ්වාස කළේ ලෝකය ඒකීය ලක්‍ෂ්‍යයකින් (නූතන මහා පිපිරුම් වාදය වැනි) ඇති වූ බවයි. මිනිසා විශ්වය වැනි චක්‍රවලින් බැඳී ඇති බව පයිතගරස් දුටුවේය. විනාශකාරී චක්‍රවලට වඩා  ගොඩනඟන සමබර චක්‍රවලට අනුගත වීමට උත්සාහ කළ යුතු බව ඔහු සිතුවේය. ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් යන දෙදෙනාම ඔවුන්ගේ දාර්ශනික ලේඛන පුරාවටම පයිතගරස්වරුන් ගැන සඳහන් කරති

මේ අර්ථයෙන් ගත් කල පයිතගරස් ආගමික කල්ට් නායකයෙකි. ඔහුගේ අනුගාමිකයෝ ඔහුව භක්තියෙන් අනුගමනය කළහ​. මුල් පයිතගරස් නිකායන් සංවෘත සමාජ වූ අතර නව පයිතගරස්වරුන් තෝරාගනු ලැබුවේ කුසලතා සහ විනය මත ය. පයිතගරස්වාදය දාර්ශනික සම්ප්‍රදායක් මෙන්ම ආගමික පිළිවෙතක් ද විය. මුල් පයිතගරස්වාදය පදනම් වූයේ පර්‍යේෂණ සහ අනෙකුත් දාර්ශනිකයන් විසින් ලියන ලද පොත්වලින් ලබාගත් දැනුම සමුච්චය කිරීම මත ය.ඔවුන් දැඩි බුද්ධිමය ජීවිතයක් සහ ආහාර, ඇඳුම් පැළඳුම් සහ හැසිරීම් පිළිබඳ දැඩි නීති රීති අනුගමනය කළහ. පයිතගරස්වරුන්ටද ඔවුන් කැමති නම් ප්‍රජාව හැර යා හැකි විය. ඔවුන් වරප්‍රසාද ලත් මරණින් මතු ජීවිතයක් ලබා ගැනීමේ අරමුණින් නිශ්ශබ්දතාවය ප්‍රගුණ කරමින්, සරලව ඇඳුම් ඇඳීමෙන් සහ මස් මාංශ අනුභවයෙන් වැළකී දැහැමි ජීවිතයක නිරත වූහ. ආගමික ප්‍රජාවක් ලෙස ඔවුන් වාචික ඉගැන්වීම් මත විශ්වාසය තැබූහ. පයිතගරස්වරු අල්පේච්ඡ ජීවිතයක් දේශනා කළහ. 

පයිතගරස් පුරාණ ඊජිප්තු දර්ශනයෙන් පුනරුත්පත්තිය පිළිබඳ ඔහුගේ විශ්වාසයෙන් ආභාෂය ලැබීය. මේ ජීවිතයේ ආත්මය සඳහා සොහොන් ගෙයක් ලෙස ක්‍රියා කරන ශරීරය තුළ ආත්මය තැන්පත් කර ඇති බව ඔවුහු විශ්වාස කළහ. මනුෂ්‍යයෙකුට ලබා ගත හැකි ඉහළම තළය වූයේ ආත්මය දෙවියන්ගේ ජීවිතයට එක්වීම සහ වෙනත් මිනිස් සිරුරක පුනර්භව චක්‍රයෙන් ගැලවීමයි. පයිතගරස්වරු විශ්වාස කළේ මිනිස් ආත්මය මරණයේ සහ පුනරුත්පත්තියේ අඛණ්ඩ චක්‍රයක සිරවී ඇති බවයි. මෙම චක්‍රයෙන් මිදීමට ඇති එකම මග අභ්‍යවකාශ චින්තනය සහ දාර්ශනික අධ්‍යයනය තුළින් විශ්වය පිළිබඳ උසස් අවබෝධයක් ලබා ගැනීම වෙයි. 

ජීවිතයේ චක්‍රීය ස්වභාවය සහ ආත්මයේ අමරණීයභාවය පිළිබඳ සංකල්පය පයිතගරස් චින්තනයේ හදවත විය. පයිතගරස්වරු ආත්මය සහ උත්පත්ති රෝදය (wheel of birth)  විශ්වාස කළහ. උත්පත්ති රෝදයෙන් නිදහස් වීම ගැනද ඔවුහු තර්ක කළහ. උත්පත්ති රෝදය සහ​උත්පත්ති රෝදයෙන් නිදහස් වීම පැරණි ජෛන දාර්ශනිකයන් විසින් හඳුන්වා දුන් ජෛන ආගමේ කේන්ද්‍රීය සංකල්පයකි. එසේම භවචක්‍රය ලෙසද හඳුන්වන උත්පත්ති රෝදය බෞද්ධයන් විශ්වාස කරන පැවැත්මේ චක්‍රයේ සංකේතාත්මක නිරූපණයකි. බෞද්ධයන් උපත, ජීවිතය, මරණය යන අඛණ්ඩ චක්‍රය විශ්වාස කරති. මේ අනුව පයිතගරස් යම් ප්‍රමානයකට බුදු දහම පිලිබඳවද දැන සිටි බව අනුමාන කල හැකිය.​පයිතගරස්  බුදුන්, ලාඕ ට්සු සහ කොන්ෆියුසියස්ගේ සමකාලීනයෙක් වීම මෙහිදී සැලකිල්ලට ගත යුතුය​. 

ජෛන ආගම පිළිබඳ පැරණිතම ශිලා ලේඛන සාක්‍ෂි ලැබෙනුයේ පයිතගරස්ගේ මරණයෙන් සියවස් තුනකට පමණ පසු ක්‍රි.පූ දෙවන සියවසේ පමණ සිට වූවද ජෛන ආගම සහ එහි දර්ශනය යම් ප්‍රමාණයකට පයිතගරස් කෙරෙහි බල පවත්වන්නට ඇත.​සැමුවෙල් ඉනොක් ස්ටම්ෆ්ට අනුව, “පයිතගරස් නිකාය ආත්මය පවිත්‍ර කිරීමට සහ එහි අමරණීයභාවය සහතික කිරීමට මාර්ග සපයන ගැඹුරු අධ්‍යාත්මික ආගමක්  විය. ශ්‍රීමත් විලියම් ජෝන්ස් පයිතගරස් ඔහුගේ දර්ශනයේ පදනම ඉන්දියාවෙන් ලබා ගත් කියයි. පයිතගරස් ජෛන දර්ශනයේ සහ ජෛන ආගමේ සංකල්පවල බලපෑමට ලක් වූ බව පෙනී යයි. (ක්‍රි.පූ. 9 වැනි සියවසට අයත් වන පාර්ශ්වනාථ  පිලිබඳව පයිතගරස් දැන සිටින්නට ඇත​). 

පයිතගරස් නිර්මාංශිකයෙකු වූ අතර නිර්මාංශ වීම පයිතගරස්වරුන්ට අනිවාර්‍ය දෙයක් විය. නිර්මාංශ වීම ජෛන තාපසයින්ට සහ ගිහි අනුගාමිකයන්ට අනිවාර්‍ය දෙයක් බව කැපී පෙනේ. ජෛනයන් මෙන්, පයිතගරස්වරු සියලු වර්ගවල ජීවීන්ට ගරු කළහ. පයිතගරස්ගේ අනුගාමිකයින් සඳහා සරල සුදු ලිනන් ඇඳුම් පැළඳුම් කේතය විය. මෙය ශෛතම්බර ජෛනයන් සිහිපත් කරවයි. පුරාණ ඉන්දියානුවන් සහ ග්‍රීකයන් අතර සබඳතා පැවති නිසා පයිතගරස්ගේ සමකාලීනයෙකු වූ වර්ධමාන් මහාවීර්ගේ දර්ශනය පයිතගරස්ට හඳුන්වා දෙන්නට ඇතැයි සිතිය හැකිය.

පයිතගරස්වරු යුක්තිය ජ්‍යාමිතික සමානුපාතිකයට සමාන කළහ,මන්දයත් සමානුපාතය මඟින් එක් එක් කොටසට ලැබිය යුතු දේ ලැබෙන බව සහතික කළ බැවිනි. විශ්ව යුක්තිය පිළිබඳ පයිතගරස් සම්ප්‍රදාය පසුව ප්ලේටෝ විසින් සඳහන් කරන ලදී. පයිතගරස් දාර්ශනිකයන් සඳහා ආත්මය යුක්තියේ මූලාශ්‍රය වූ අතර ආත්මයේ සමගිය තුළින් දේවත්වය සාක්‍ෂාත් කරගත හැකි විය. පයිතගරස් පුනරුත්පත්තිය විශ්වාස කලේය. පයිතගරස්වරුන් ආත්මයන් සංක්‍රමණය කිරීම පිළිබඳ න්‍යාය සඳහා ප්‍රසිද්ධ ය. පයිතගරස් metempsychosis නොහොත් "ආත්ම සංක්‍රමණය" (සෑම ආත්මයක්ම අමරණීය බවත්, මරණයෙන් පසු නව ශරීරයකට ඇතුල් වන බව ) පිලිබඳව විශ්වාස කලේය. පයිතගරස්ගේ ඉගැන්වීම් වලින් පෙන්වා දෙන ආත්මය පිළිබඳ න්‍යාය, "ආත්ම සංක්‍රමණය" ඉන්දියානු පුනරුත්පත්තිය පිළිබඳ සංකල්පය මත පදනම් වන්නට ඇත.

පයිතගරස් සතුට ආත්මයේ සංඛ්‍යාවල පරිපූර්‍ණත්වය පිළිබඳ දැනුමෙන් සමන්විත වන බව කීවේය. පයිතගරස්වරුන් විශ්වාස කළේ ශරීරය සහ ආත්මය එකට ක්‍රියා කරන බවත්, නිරෝගී ශරීරයකට නිරෝගී මනෝභාවයක් අවශ්‍ය බවත්‍ ය. පයිතගරස් සදාකාලික, නිමක් නැති පුනරුත්පත්තියක් උපකල්පනය කරන බව පෙනේ. ( මෙය බෞද්ධ සංසාර චක්‍රය සමග සසඳන්න). පයිතගරස්වරු සතුන්ට සැලකීම පිළිබඳ පදනම් වූ න්‍යායක් ඉදිරිපත් කළහ. ඕනෑම ජීවියෙකුට අනවශ්‍ය ලෙස වේදනාවක් ඇති නොකළ යුතු බව ඔවුහු විශ්වාස කළහ. මිනිසුන්ට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් භුක්ති විඳීමට සතුන්ට වේදනාවක් ඇති කිරීම අවශ්‍ය නොවන බැවින්, සතුන් අනුභව කිරීම සඳහා සතුන් මරා නොදැමිය යුතු බව ඔවුහු විශ්වාස කළහ. සතෙකු මිනිසෙකුට තර්ජනයක් නොවන්නේ නම් සතෙකු මැරීම යුක්ති සහගත නොවන බවත් එසේ කිරීමෙන් මිනිසාගේ සදාචාරාත්මක තත්ත්වය හීන වන බවත් පයිතගරස්වරු තර්ක කළහ. සත්වයාට යුක්තිය පෙන්වීමට අපොහොසත් වීමෙන් මිනිසුන් තමන්වම හීන කර ගන්නා බව ඔවුන් කීහ. පයිතගරස්වරු සිතුවේ සතුන් සංවේදී සහ අවම තාර්කික බවයි. පයිතගරස්වරුන් විශ්වාස කළේ මිනිසුන් සතුන් බවත්, නමුත් දියුණු බුද්ධියක් ඇති බවත්, එබැවින් මිනිසුන්ට පුහුණුව තුළින් තමන්ව පිරිසිදු කළ හැකි බවත් ය. පිරිසිදු කිරීම තුළින් මිනිසුන්ට විශ්වය පුරා පැතිරී ඇති මානසික බලවේගයට සම්බන්ධ විය හැකිය.

පයිතගරස් සෑම දෙයක්ම සංඛ්‍යාවක් බව යෝජනා කලේය. "මුළු විශ්වයම පරිමාණයක් සහ සංඛ්‍යාවක්" බව ඔහු ඉගැන්වූයේය. පයිතගරස්වරු යම් ආකාරයක සංඛ්‍යා ශාස්ත්‍රයක් හෝ සංඛ්‍යා නමස්කාරයක් ප්‍රගුණ කළ අතර, සෑම අංකයකටම ආවේණික වූ චරිතයක් සහ අර්ථයක් ඇති බව සැලකූහ. උදාහරණයක් ලෙස, අංක එක සියලු සංඛ්‍යා උත්පාදක යන්ත්‍රය විය; දෙකක් නියෝජනය කරන මතය; තුන, සමගිය; හතර, යුක්තිය; පස්, විවාහය; හය, මැවීම; හත, ග්‍රහලෝක හත ..... යනාදී වශයෙනි.  ඔත්තේ සංඛ්‍යා ස්ත්‍රී ලෙසත් ඉරට්ටේ සංඛ්‍යා පිරිමි ලෙසත් ඔවුන් සැලකූහ. සියල්ලටම වඩා ශුද්ධ අංකය වූයේ ““Tetractys” හෙවත් දහය, එක, දෙක, තුන සහ හතර යන එකතුවෙන් සමන්විත ත්‍රිකෝණාකාර අංකයකි.

සොක්‍රටීස් සහ පයිතගරස් යන දෙදෙනාම විවිධ කාලවල ජීවත් වූ පුරාණ ග්‍රීක දාර්ශනිකයන් වූ නමුත් දෙදෙනාම බටහිර දර්ශනය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කළහ. සොක්‍රටීස් සහ පයිතගරස් යන දෙදෙනාම බටහිර දර්ශනය සහ සංස්කෘතිය වර්ධනය කිරීමේ වැදගත් පුද්ගලයින් ලෙස සැලකේ. ඔවුන් ආචාර ධර්ම, සදාචාරය සහ දැනුමේ ස්වභාවය අධ්‍යයනය කිරීමට උනන්දු වූහ. දාර්ශනිකයන් දෙදෙනාම ස්වයං දැනුමේ වැදගත්කම විශ්වාස කළ අතර ප්‍රඥාව මිනිස් ජීවිතයේ ඉහළම ඉලක්කය බව විශ්වාස කළහ. සොක්‍රටීස් පයිතගරස් ගේ න්‍යාන් පිලිබඳව අවබෝධයෙන් සිටි බවට සාධක තිබේ. ප්ලේටෝගේ ෆේඩෝ (Plato's Phaedo) අනුව මෙය තහවුරු කල හැකිය. ප්ලේටෝ, ඔහුගේ ෆේඩෝ හි, සොක්‍රටීස්ගේ අවසාන දිනයේ කතාව සඳහා  පයිතගරස්ගේ ෆිලියස්ගේ සබැඳිය භාවිතා කරයි. එම සංවාදයේ සොක්‍රටීස්ගේ මැදිහත්කරුවන් වන සිම්මියස් සහ සීබ්ස් ඔෆ් තීබ්ස් යන දෙදෙනාම පයිතගරස්වරුන් වූහ​. 

කාලයත් සමග පයිතගරස් ප්‍රජාවන් දේශපාලනප්‍රජාවන් බවට පරිවර්තනය වූ බව පෙනේ. පයිතගරස්වරු ප්‍රතිපත්තිමය වශයෙන් ප්‍රජාතන්ත්‍ර විරෝධී නොවූහ.​ පොලිබියස් පවසන  අන්දමට ක්‍රි. පූ 440 වන විට ආගමික සමාජයකට වඩා අත්‍යවශ්‍යයෙන්ම දේශපාලනික වීම නිසා ඔවුන් මාරාන්තික ප්‍රහාර වලට ලක් වී ඇත​. පයිතගරස්වරුන්ගේ ආගමික-තපස්වාදී අදහස් පසුකාලීනව අනෙකුත් ප්‍රජාවන් වෙතද බල පවත්වන්නට වීමද එක් හේතුවකි​. පයිතගරස්වරුන්ගේ දේශපාලන සාර්ථකත්වයේ වසර පස්වන සියවස දක්වාත් විශාල කලාපයක් පුරාත් ව්‍යාප්ත වී ඇති බව පෙනේ. ඇතැම් වාර්තා පවසන්නේ දේශපාලන විරුද්ධවාදීන් පයිතගරස් ආධිපත්‍යය ඇති සියලුම නගරවල සියලුම පයිතගරස් රැස්වීම් කාමර ගිනිබත් කළ බවයි. මෙම  ප්‍රහාර පසුපස සයිලෝන් නම් ධනවත් පුද්ගලයෙකු සිටි බව පැවසේ. සයිලෝන්, පයිතගරස් සමාජයට බැඳීමට අවශ්‍ය වූ අයෙකි, නමුත් වසර කිහිපයක පරිවාස කාලයෙන් පසු ඔහු ප්‍රතික්‍ෂේප කිරීම නිසා ඔහු කෝපයට පත් විය. එහෙත් පයිතගරස් ගේ අදහස් යටපත් කරන්නට නොහැකි විය 

පයිතගරස් ගේ අදහස් පිළිබඳ විවේචනාත්මක සමාලෝචනයක් ඇරිස්ටෝටල් ඉදිරිපත් කලේය​. ඇරිස්ටෝටල් පයිතගරස්ගේ සංඛ්‍යා සංකේතවාදය විවේචනය කරන ලදි. ක්‍රිස්තු පූර්ව 4 වැනි සියවසේ ඇරිස්ටෝටල් ලෝකය පිළිබඳ විමර්ශනය සහ අවබෝධය සඳහා වූ මෙවලමක් ලෙස ගණිතය ප්‍රතික්‍ෂේප කළේය. ඔහු විශ්වාස කළේ සංඛ්‍යා හුදෙක් ප්‍රමාණාත්මක නිර්ණායකයක් වන අතර එහි ජීව විද්‍යාත්මක අගයක් නොමැති බවයි. ඇරිස්ටෝටල් පයිතගරස්වරුන්ට එරෙහිව තර්ක කළේ පයිතගරස්වරු ස්වභාවධර්මයේ නොපෙනෙන දේවල් මත ඔවුන්ගේ විශ්වය පදනම් කරගත් බව කියමිනි. ඇරිස්ටෝටල් විශ්වාස කළේ අහස නිරපේක්‍ෂ බලවේග විසින් මෙහෙයවනු ලබන බවය.

පයිතගරස් ඔහුගේ යුගයට වඩා බුද්ධිමත්ව සමාජ පරිපූර්ණත්ව දැණුමෙන් සිටි දාර්ශනිකයෙකි. ඔහුගේ දැණුම ජීව විද්‍යාව කෙරෙහිද යොමු විය​. පයිතගරස් යනු මිනිස් ජීවිතය ආරම්භ වන්නේ පිරිමි සහ ගැහැණු තරල හෝ ශුක්‍රාණු මිශ්‍රණයකින් බව අනුමාන කළ පළමු විද්වතුන් ගෙන් කෙනෙකි. ඔහු නව ජීවයක් සෑදීමට පිරිමි සහ ගැහැණු ශරීර සම්මිශ්‍රණයක් අවශ්‍ය වේ යන අදහස ඉදිරිපත් කළේය. පයිතගරස්  විශ්වාස කළේ සියලුම ජීවීන් සමාන ලෙස නිර්මාණය කර ඇති අතර ගෞරවයෙන් සැලකිය යුතු බවයි. කාන්තාවන් කෙරෙහි ඔහුගේ ආකල්ප ප්‍රගතිශීලී විය. පයිතගරස්වරු සමානාත්මතාවාදී වූ අතර, සංස්කෘතිය තුළ ඉගෙනීමට කාන්තාවන්ට සමාන අවස්ථා තිබුණි. පයිතගරස් ප්‍රජාවෙන් පැමිණේ. වඩාත්ම කැපී පෙනෙන කාන්තා පයිතගරස් දාර්ශනිකයා වූයේ පයිතගරස්ගේ බිරිඳ වන ක්‍රෝටන්හි තියානෝ ය. 

පයිතගරස්  ගේ දැණුම ප්ලේටෝට බලපෑම් කළේය. ප්ලේටෝගේ ඉගැන්වීම් පයිතගරස් මූලධර්මවලට අනුව අර්ථකථනය විය. ප්ලේටෝ පයිතගරස්ගෙන්  ගණිතය සහ වියුක්ත චින්තනය දර්ශනය, විද්‍යාව සහ සදාචාරය සඳහා පදනමක් ලබා ගත්තේය.  ප්ලේටෝ ගේ දෙබස් පයිතගරස් ඉගැන්වීම් ප්‍රදර්ශනය කරයි.  දර්ශනවාදයේ ඉතිහාසඥ ෆ්‍රෙඩ්‍රික් කොප්ලෙස්ටන් ප්‍රකාශ කරන්නේ ප්ලේටෝ බොහෝ විට ආත්මය පිළිබඳ ඔහුගේ ත්‍රෛපාර්ශ්වික න්‍යාය පයිතගරස්වරුන්ගෙන් ණයට ගත් බවයි. බර්ට්‍රන්ඩ් රසල්, ඔහුගේ 
A History of Western Philosophy කෘතියේ, ප්ලේටෝ සහ අනෙකුත් අය කෙරෙහි පයිතගරස්ගේ බලපෑම කෙතරම්ද යත්, ඔහු සර්වකාලීනව වඩාත්ම බලගතු දාර්ශනිකයා ලෙස සැලකිය යුතු බව තර්ක කරයි. (බොහෝ විද්වතුන් ප්ලේටෝ විසින් පයිතගරස් දර්ශනය පැහැරගෙන පසුව නැවත ප්‍රකාශ කළ බවට විශ්වාස කරති).

ග්‍රීක වාස්තුවිද්‍යාත්මක අනුපිළිවෙලෙහි, සෑම මූලද්‍රව්‍යයක්ම ගණනය කර ගොඩනගනු ලැබුවේ ගණිතමය සම්බන්ධතා මගිනි. ගණිතමය පරිපූර්ණත්වය පිළිබඳ පයිතගරස් අදහස් පැරණි ග්‍රීක කලාවට ද බලපෑවේය. ක්‍රිපූ හයවන සියවසේදී, පයිතගරස්වරුන්ගේ සංඛ්‍යා දර්ශනය ග්‍රීක මූර්ති කලාවේ විප්ලවයක් ඇති කළේය. ග්‍රීක මූර්ති ශිල්පීන් සහ ගෘහ නිර්මාණ ශිල්පීන් සෞන්දර්යාත්මක පරිපූර්ණත්වය පිටුපස ඇති ගණිතමය සම්බන්ධය ( canon) සොයා ගැනීමට උත්සාහ කළහ. 

පයිතගරස් ක්‍රි.පූ. 495 හෝ ඒ ආසන්න කාලයේදී මිය ගිය අතර ක්‍රිස්තු ධර්මය වර්ධනය වූයේ ක්‍රි.ව. පළමු සියවසේදී, එනම් දළ වශයෙන් වසර 500කට පසුවය. බොහෝ මුල් කාලීන කිතුනුවන් පයිතගරස් කෙරෙහි ගැඹුරු ගෞරවයක් දැක්වූහ. ගණිතය සහ දේවධර්මයේ සංකලනය පයිතගරස්ගෙන් ආරම්භ විය. එය ග්‍රීසියේ, මධ්‍යතන යුගයේ සහ කාන්ට් හරහා ආගමික දර්ශනය සංලක්‍ෂිත විය. ප්ලේටෝ, ඇක්වයිනාස්, ඩෙස්කාට්, ස්පිනෝසා සහ කාන්ට් පයිතගරස්ගෙන් ආභාෂය ලැබුවෝ වෙති. ප්ලේටෝවාදය මූලික වශයෙන් පයිතගරස්වාදය විය. සදාකාලික ලෝකය පිළිබඳ සමස්ත සංකල්පය බුද්ධියට හෙළි කළ නමුත් ඉඳ්‍රියයන්ට නොවන බව පයිතගරස්ගේ ඉගැන්වීම් පෙන්වා දුන්නේය. පයිතගරස් ඇත්ත වශයෙන්ම ගණිතඥයෙකු හෝ තාරකා විද්‍යාඥයෙකුට වඩා ආගමික නායකයෙකු විය. අධ්‍යාත්මික වර්ධනය සහ පුද්ගලික ඥානාලෝකය පිලිබඳ ඔහු කතා කලේය. 

මධ්‍යතන යුගය පුරාවටම පයිතගරස් ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙකු ලෙස සලකනු ලැබූ අතර ඔහුගේ දර්ශනය නිකලස් කොපර්නිකස්, ජොහැන්නස් කෙප්ලර් සහ අයිසැක් නිව්ටන් වැනි විද්‍යාඥයින් කෙරෙහි විශාල බලපෑමක් ඇති කළේය. නිකලස් කොපර්නිකස් කිසි විටෙකත් ඔහුගේ ලෝක දැක්ම 'කොපර්නිකන් පද්ධතිය' ලෙස සඳහන් නොකරයි; ඔහු එය Astronomia Pythagorica ලෙස නම් කරයි. ජොහැන්නස් කෙප්ලර්, පයිතගරස්, විශ්වය ගණිතමය ස්වරූපයෙන් ගොඩනඟා ඇති බව කීවේය​. තවද ජොහැන්නස් කෙප්ලර් තමා පයිතගරස් වරයෙකු ලෙස සැලකුවේය. පයිතගරස් බටහිර තාර්කික දර්ශනයේ වර්ධනයට දායක වූ මූලධර්ම සකස් කරන ලදී. පසුකාලීන දාර්ශනිකයන් කෙරෙහි පයිතගරස්ගේ බලපෑම සහ පොදුවේ ග්‍රීක දර්ශනයේ වර්ධනය අතිමහත් විය.
 
අයිසැක් නිව්ටන් විශ්වයේ ගණිතමය සංහිඳියාව සහ පිළිවෙල පිළිබඳ පයිතගරස් ඉගැන්වීම දැඩි ලෙස විශ්වාස කළේය. ඇල්බට් අයින්ස්ටයින් විශ්වාස කළේ විද්‍යාඥයෙකු "ප්ලේටෝවාදියෙකු හෝ පයිතගරස්වාදියෙකු විය හැකි බව ඔහු විශ්වාස කළේ තාර්කික සරල බව පිළිබඳ දෘෂ්ටිකෝණය ඔහුගේ පර්යේෂණ සඳහා අත්‍යවශ්‍ය සහ ඵලදායී මෙවලමක් ලෙස සලකන බැවිනි.

නීට්‍ෂේ තම Birth of Tragedy කෘතිය හරහා පයිතගරස් පිලිබඳව අදහස් දක්වයි. 1872 දී ලියන ලද "On the Pathos of Truth" කෘතියේද නීට්‍ෂේ පයිතගරස් පිලිබඳව ලියයි. නීට්‍ෂේ පාරභෞතික සත්‍යයක් ලෙස සදාකාලික පුනරාවර්තනය පිලිබඳව අදහස් දැක්වීය​. මේ අනුව ජීවිතය නැවත නැවතත් සිදුවනු ඇත. විශ්වයේ අවසානයේ සෑම දෙයක්ම නැවත ආරම්භ වනු ඇත, ඉතිහාසය නැවත නැවතත් සිදුවනු ඇත. පයිතගරස්ගේ ඉගැන්වීම්වලින් එකක් වූයේ " නිශ්චිත කාලපරිච්ඡේදවලින් පසුව, එම සිදුවීම් නැවත සිදු වේ" සහ "කිසිවක් සම්පූර්ණයෙන්ම අලුත් නොවීය" යන්නයි. මේ අනුව  ​පයිතගරස්, ෆෙඩ්‍රික් නීට්‍ෂේ  ගේ සදාකාලික පුනරාවර්තන න්‍යාය පූර්ව නිරූපණය කරයි. 

ගණිතයේ ඉතිහාසය ආරම්භ  කල පයිතගරස්ගේ දර්ශනය  නවෝත්පාදනයේ බොහෝ පැතිවලට මඟ පෙන්වීය​. ඔහු දර්ශනවාදයට සහ ආගමික ඉගැන්වීම්වලට බලගතු දායකත්වයක් ලබා දුන්නේය. පයිතගරස් බටහිර දර්ශනයේ ආරම්භක දොරටුවේ වඩාත්ම ප්‍රසිද්ධ නම වේ. මුල් ග්‍රීක දර්ශනය පිළිබඳ ප්‍රවීණයන් වන André Laks සහ Glenn Most ලියා ඇති පරිදි, "සියලු මුල් ග්‍රීක දාර්ශනිකයන් අතරින්", පයිතගරස් "නූතන යුගයේ ආරම්භය දක්වා දීර්ඝතම බලපෑමක් ඇති කළ බවට සැකයක් නැත."

 
References

Fontenrose, Joseph, Python, F.J.(1980). A Study of Delphic Myth and Its Origins (Berkeley, Calif: University of California Press, Ltd.

Loomis, E. S. (Ed.) (1940). The Pythagorean proposition. Washington, DC: National Council of Teachers of Mathematics.

Russell, B.(1945). A History of Western Philosophy, Simon and Schuster Touchstone Books, New York. 

Scudellari M. (2016). Science and Culture: Dancing with Pythagoras. Proc Natl Acad Sci U S A.   22;113(12):3123-4. doi: 10.1073/pnas.1523757113.

Shampo MA, Kyle RA.(1082). Pythagoras. JAMA. 7;247(17):2422. doi: 10.1001/jama.247.17.2422. PMID: 7040714.

Stumpf, S.E.(1989).  Philosophy,  History  and  Problems. New York: McGraw –Hill. Inc. 

 

 

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook