වෛද්‍ය රුවන් එම් ජයතුංග
සොක්‍රටීස් (ක්‍රි.පූ. 469-399) "පළමු" දාර්ශනිකයා - first” philosopher ලෙස හැඳින්වේ. සොක්‍රටීස් ප්‍රඥාවේ පරමාදර්ශයක් ලෙස සලකනු ලැබේ . ඔහු බටහිර දාර්ශනික සම්ප්‍රදායේ නිර්මාතෘවරයාය. සොක්‍රටීස්ව හඳුන්වන්නේ moral philosopher කෙනෙකු වශයෙනි.ඔහු සදාචාර දර්ශනයේ නිර්මාතෘ ය. ඔහු මිනිස් ජීවිතයේ ගුණාත්මකභාවය ගැන සැලකිලිමත් විය. සොක්‍රටීස්ගේ දර්ශනය මිනිසා ජීවත් විය යුතු ආකාරය විමසා බලයි. සොක්‍රටීස් දර්ශනය ප්‍රඥාව, යුක්තිය, ධෛර්‍යය, භක්තිවන්තකම ආදී විවිධ ගුණ ධර්ම පිළිබඳ සාකච්ඡා කරයි. ඔහු දේවධර්මය වෙනුවට මානව තර්කය මත පදනම් වූ ආචාර ධර්ම පද්ධතියක් ස්ථාපිත කිරීමට උත්සාහ කළේය.
සොක්‍රටීස්ට පෙර සිටි ප්‍රාග්-සොක්‍රටික් දාර්ශනිකයන් බොහෝ දුරට ස්වභාවික සංසිද්ධි විමර්ශනය කළහ. ඔවුන් විශ්වාස කළේ මිනිසුන් එක් ද්‍රව්‍යයකින් ආරම්භ වූ බවත්, එය ජලය, වාතය හෝ "ඇපේරෝන්" -Apeiron නම් ද්‍රව්‍යයක් විය හැකි බවයි. මෙම කණ්ඩායමේ එක් සුප්‍රසිද්ධ දාර්ශනිකයෙකු වූයේ පයිතගරස් ප්‍රමේයය නිර්මාණය කළ ගණිතඥයෙකු වන පයිතගරස් ය.
සොක්‍රටීස් වසර 50ක් පුරා තම ඇතන්ස් නගරයේ වීදියේ සැරිසැරුවේ අධිකාරිය, ආගම සහ ජීවිතයේ අරුත ප්‍රශ්න කරමිනි. සොක්‍රටීස් ග්‍රීක ආචාර ධර්ම ඉතිහාසය තුළ තීරණාත්මක කාර්‍යභාරයක් ඉටු කළේය. සොක්‍රටීස්ගේ ප්‍රායෝගික අරමුන වූයේ මිනිසුන් ජීවත් වන ආකාරය වැඩිදියුණු කිරීම සඳහා ඔවුන්ගේ සදාචාරාත්මක විශ්වාසයන් පරීක්‍ෂා කිරීමයි. ඔහුගේ මූලික ප්‍රශ්නය වන්නේ ‘යමෙකු ජීවත් විය යුත්තේ කෙසේද?’ යන්නය. ඔහු මේ සඳහා සංකල්පීය විශ්ලේෂණය"“(conceptual analysis) යොදා ගත්තේය.
සොක්‍රටීස්ට අනුව, ප්‍රඥාව යනු තමන්ගේ දැනුම සහ එහි සීමාවන් පිළිබඳ දැනුවත්භාවය සහ නිහතමානීකමයි. සොක්‍රටීස්ට අනුව පරම ප්‍රඥාව ඇති වන්නේ තමන් ගැන දැනගැනීමෙනි. සොක්‍රටීස් අවධාරනය කරන පරිදි මානව ප්‍රඥාව ආරම්භ වන්නේ කෙනෙකුගේම නොදැනුවත්කම හඳුනා ගැනීමෙන් පසුවය. සොක්‍රටීස් විශ්වාස කළ පරිදි ජීවිතය පරීක්‍ෂා කිරීමට හොඳම ක්‍රමය වන්නේ දයලෙක්තික විමර්ශන ක්‍රමය යොදා ගන්නා තර්කනයයි සොක්‍රටීස් දැනුම ලබාගැනීම සඳහා අපෝහක ක්‍රියාවලිය වර්ධනය කළේය. අපෝහක ක්‍රමය සොක්‍රටීස්ගේ දර්ශනයේ කේන්ද්‍රය වන අතර එතැන් පටන් එය සොක්‍රටික් ක්‍රමය ලෙසින් ප්‍රසිද්ධ වී ඇත. සෝක්‍රටීස් පැවසුවේ පරීක්ෂා නොකළ ජීවිතය ජීවත්වීම වටින්නේ නැති බවයි.
සොක්‍රටීස්ගේ දර්ශනයට අනුව, ඔබ යමක් ඉගෙන ගන්නේ ජීවිතය පරීක්ෂා කිරීමේදී මිස පිළිතුරක් ලබා ගැනීමට නොවේ. සොක්‍රටීස් මිනිසාගේ දැනුමේ සීමාවන් අවබෝධ කර ගැනීමට දැඩි උනන්දුවක් දැක්වීය. සොක්‍රටික් සදාචාර දර්ශනය තුළ, යහපත් ජීවිතයක් ගත කිරීමේ මාර්ගය ලෙස බුද්ධියට ප්‍රමුඛත්වය දෙනු ලැබේ. සොක්‍රටීස් උත්ප්‍රාසාත්මක වාදියෙකු (ironist ) ලෙසටද සැලකේ. සොක්‍රටීස්ගේ වචනවල උත්ප්‍රාසාත්මක මෙන්ම ද්විත්ව අර්ථයක් ද ඇත. සොක්‍රටීස් ඔහුගේ දාර්ශනික පණිවිඩ ඇතැම් විටදී උපහාසයෙන් සඟවයි.
සොක්‍රටීස්ගේ දර්ශනය බටහිර චින්තනය කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කළේය.සොක්‍රටීස්ගේ දර්ශනය බොහෝ දුරට ලේඛනගත වන්නේ ඔහුගේ ශිෂ්‍යයෙකු වන ප්ලේටෝගේ ලේඛන මගිනි. ප්ලේටෝ සොක්‍රටීස්ගේ ගෞරවනීය ශිෂ්‍යයා වූ අතර සොක්‍රටීස්ගේ දර්ශනයේ ප්‍රධාන ප්‍රචාරකයා විය. ඇරිස්ටෝටල් සොක්‍රටීස්ගේ මූලධර්ම විමර්ශනය කලේය. (ඇරිස්ටෝටල් සොක්‍රටීස්ගේ සමකාලීනයෙක් නොවේ; ඔහු වසර විස්සක් ප්ලේටෝගේ ඇකඩමියේ අධ්‍යාපනය ලැබීය).
සොක්‍රටීස් විශ්වාස කළේ මනුෂ්‍ය ස්වභාවය නියත වන බැවින් සදාචාරාත්මක වටිනාකම් ද පවතින බවයි. ඔහු විශ්වාස කළේ සාකච්ඡාවෙන් සත්‍යය ඉදිරිපත් කළ හැකි බවයි. කිසිවෙකු ස්වේච්ඡාවෙන් වැරදි නොකරන බව සොක්‍රටීස් විශ්වාස කළේය. සොක්‍රටීස් සඳහා යහපත් ජීවිතයක් සඳහා යතුර වූයේ යහපත් දේ පිළිබඳ දැනුම වන අතර මෙය ආචාරධර්ම ඥානවිද්‍යාව සමඟ සම්බන්ධ කරයි.සොක්‍රටීස් බොහෝ විට යුක්තිය පිළිබඳ මාතෘකාව සාකච්ඡා කළේය.
සොක්‍රටීස් ද්‍රව්‍යමය දේපළ හෝ ශාරීරික සුන්දරත්වය ගැන උනන්දුවක් නොදැක්වීම පිලිබඳව විවිධ විවේචන තිබේ. එපිකියුරියන්වරු (Epicureans) ඔහුව නෙරපා හැරියහ. (Epicureanism යනු පුරාණ ග්‍රීක දාර්ශනිකයෙකු වන Epicurus ගේ ඉගැන්වීම් මත පදනම්ව ක්‍රිස්තු පූර්ව 307 දී පමණ ආරම්භ කරන ලද දර්ශන පද්ධතියකි). ඔහු හෝමරික් දේවධර්මයේ සත්‍යය පිළිබඳ ගැඹුරු සැකයන් ප්‍රකාශ කළේය. ග්‍රීක සමාජය ඔහු අදේවවාදියෙකු ලෙස උපහාසයට ලක් කොට තිබේ.
සොක්‍රටීස් සත්‍යය ලුහුබැඳීම සඳහා සොෆිස්ට්වරුන් විසින් වර්ධනය කරන ලද තාර්කික උපක්‍රම භාවිතා කළේය. පාලකයන් දාර්ශනිකයන් වීම හෝ දාර්ශනිකයන් පාලකයන් වීම යන අදහස සොක්‍රටීස් විසින් හඳුන්වා දෙනු ලැබුවේ හැකියාව සඳහා කොන්දේසියක් වශයෙනි. සොක්‍රටීස් පුද්ගලයාගේ ප්‍රතිවිරෝධතා හෙළි කිරීමට සමත් විය. ඔහුගේ ක්‍රමය වූයේ ප්‍රතිවිරෝධතාවක් හෙළිදරව් වන තෙක් අඛණ්ඩ ප්‍රශ්න අසමින් අදහස්වල පදනමට යාමට උත්සාහ කිරීමයි. ඔහු විශ්වාස කළේ දැනුම හෝ තීක්‍ෂ්ණ බුද්ධිය ගුණධර්මයේ පදනම බවයි. එසේම සොක්‍රටීස් විශ්වාස කළේ මිනිසාට සත්‍යයට පැමිණීමට හැකියාව ඇති බවයි. හෛඩගර් විසින් හඳුන්වා දෙන ලද සංසිද්ධි ශාස්ත‍්‍රය phenomenology පිලිබඳ මුල් සංකල්පය ඉදිරිපත් කරන ලද්දේ සොක්‍රටීස් විසිනි.
සොක්‍රටීස් පාරභෞතික metaphysica ප්‍රශ්න ගැන සැලකිල්ලක් දැක්වූයේ නැත. සොක්‍රටීස් මානව තර්කනය මත පදනම් වූ ආචාර ධර්ම පද්ධතියක් ස්ථාපිත කිරීමට උත්සාහ කළේය. එමඟින් ආරම්භක උපකල්පනයේ හරි/ වැරදි බව සනාථ වේ. මෙය සොක්‍රටික් ක්‍රමය ලෙස ප්‍රකට වූ අතර, දර්ශනය සඳහා සොක්‍රටීස්ගේ කල්පවත්නා දායකත්වය විය. මෙමගින් විවේචනාත්මක චින්තන කුසලතා වර්ධනය කිරීම සිදු කරයි.
මානව විශිෂ්ඨත්වයේ ඉහළම ස්වරූපය තමා සහ අන් අයව ප්‍රශ්න කිරීම බව සොක්‍රටීස් වරක් ප්‍රකාශ කළේය. ඔහු සැබෑ භාෂණයේ නිදහස වෙනුවෙන් පෙනී සිටියේය. එසේම ඔහු දාර්ශනික ආචාර ධර්ම නිර්මාණය කළේය. ඔහුගේ දර්ශනය පාරභෞතික විද්‍යාව, ඥානවිද්‍යාව, තර්කනය, දේශපාලන දර්ශනය, අධ්‍යාපනික න්‍යාය සහ දර්ශනවාදයේ අනෙක් සෑම අංශයකටම විහිදී යයි.
වෛද්‍ය විද්‍යාවට පවා සොක්‍රටීස් ගේ බලපෑම තිබේ. මහජනතාවගේ සෞඛ්‍යය වෙනුවෙන් පෙනී සිටීම වෛද්‍යවරුන් ගේ සමාජ වගකීම බව සොක්‍රටීස් කීවේය.
එසේම ඔහු පැවසුවේ වෛද්‍යවරයෙකු රෝගියාගේ මුළු ශරීරයම නොමැතිව හිස සුව කිරීමට හෝ ආත්මය නොමැතිව ශරීරය සුව කිරීමට උත්සාහ නොකළ යුතු බවයි, මන්ද යමෙකුට සම්පූර්ණ සුවයෙන් තොරව කොටස් සුව කළ නොහැකි බැවිනි.
සොක්‍රටීස් විශ්වාස කළේ ඔහුට ප්‍රඥාව සෙවීමේ මෙහෙවරක් ඇති බවයි. ඔහු මිය ගියේ එම මෙහෙයුමට විශ්වාසවන්තව සිටිමිනි. සොක්‍රටීස් නොසිටියේ නම් ප්ලේටෝ දාර්ශනිකයෙකු නොවනු ඇත. එසේම බටහිර ලෝකය පමණක් නොව මුළු ලෝකයම වෙනස් ඉතිහාසයක් ඇති වෙනස් ස්ථානයක් වීමට ඉඩ තිබුණි!
References
Beversluis, J (2000). Cross-examining Socrates: A Defense of the Interlocutors in Plato’s Early Dialogues (Cambridge: Cambridge University Press.
Brickhouse, T .C. (1994). Plato’s Socrates (New York: Oxford.
Chessick, R. D. (2004). "The silence of Socrates." Am J Psychother 58(4): 406-419.
Hugh, H. B(1992). Ed. Essays on the Philosophy of Socrates. Oxford.
Taylor, C.(1999). Socrates. Oxford.
van Schaik, K. D. (2014). "A piece of my mind. Pimping Socrates." JAMA 311(14): 1401-1402.
No comments:
Post a Comment
Appreciate your constructive and meaningful comments