Wednesday, April 26, 2023

හලාවත රෝහලේ ආතල්

 



හලාවත රෝහලට මම ආවේ උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලේ ඇනස්තීසියා පුහුණුව ලබලා 2001 ඇනස්තටිස්ට් කෙනෙක් ලෙසට. ඒ කාලේ හලාවත රෝහලේ කන්සල්ටන්ට් ඇනස්තටිස්ට් කෙනෙක් හිටියේ නෑ. හිටියේ ඉන්ද්‍රානි ධනපාල​, ශ්‍රියානි , පද්මරාජ් , ඊවා පෙරමුණ, සහ සභාරත්නම්.  අපි සෙට් එක තමයි   ඇනස්තීසියා ඩිපාට්මන්ට් එක රන් කලේ අපේ රාජ්ජේ වගේ. ඉන්ද්‍රානි ධනපාල ගේ සැමියා වෛද්‍ය ධනපාල , ඕපීඩී එකේ හිටියේ. හොඳ පොරක් , දෙපාර්තමේන්තුවේ නීති රීති හොඳට දන්නා කෙනෙක් . ඒ නිසා මම ඇඩ්වයිස් ඕන උනාම ධනපාල ලඟට ගියා. ඉන්ද්‍රානි හතර පෝයට සිල් ගන්නවා. ඉතා යහපත් කාන්තාවක්. ඊවා පෙරමුණ ගේ සැමියා රුවන් පෙරමුණත් හලාවත රෝහලේ හිටියේ. පාටි වලට ජොලි පොර​. බුකියේ කවිත් ලියනවා. ඒකාලේ පොර කවි ලියනවා කියලා මම දැනගෙන හිටියේ නෑ. සභාරත්නම් ලෝකයා. හොඳ පීපී එකක් කලා. ඒ වගේම හලාවත ඉස්සෝ බිස්නස් එකත් කලා.  පද්මරාජ් අහිංසක පොලිස් මගේ බොක්කේ යාලුවා. අපි දෙන්නා ශිෆ්ට් මාරු කර ගන්නවා.  පද්මරාජ්ට හොඳට සිංහලත් පුලුවන්. පස්සේ United States Medical Licensing Exam කරලා ඇමරිකා ගියා. දැන් ඉන්නේ යූ එස් වල​.

හලාවත රෝහලේ  හිටපු සර්ජන් වෛද්‍ය බී.ජී.එන් රත්නසේන , වීඕජී  වෛද්‍ය නිහාල් රාජපක්‍ෂ, ඕඑම් එෆ් (OMF) සර්ජන් ගාමිනී නවරත්න අපේ ඇනස්තීසියා ටීම් එකට හරිම ආදරෙයි. අපි කිසිම වාතයක් නොකර උපරිම සහයෝගය ඒ මහතුන්ට ලබා දුන්නා. 

සර්ජන් වෛද්‍ය බී.ජී.එන් රත්නසේන මුල් කාලයේදී මම විදේශ උපාධිධාරී වෛද්‍යවරයෙක් නිසා ටිකක් බැළුවේ රුවිතෙට. ඒකාලේ දේශීය ෆොරින් ගැටුම් ගිය කාලයක්.

වරක් ඉපදිලා දවස් දෙකක් වයස බිළිඳෙක්ව හදිසි ඔපරේශන් එකකට සිහි නැති කරන්න සිදු උනා. කන්සල්ටන්ට් ඇනස්තටිස්ට් කෙනෙක් නැති නිසා මේ කේස් එකට අත ගහන්න සමහරු බය උනා. මේක අනිවාර්‍යෙන්ම කොලඹ යවන්න ඕන කේස් එකක් නමුත් පරක්කු උනොත් ළමයාගේ ජීවිත හානි වෙන්න පුලුවන් බඩවැලේ කේස් එකක් නිසා. ඒ වෙලාවේ මම ඉදිරිපත් වෙලා  බිළිඳව සිහි නැති කරලා ඔපරේශන් එක කරන්න දුන්නා. ඔපරේශන් එක ඉවර වෙලා බිළිඳට සිහියත් ගත්තා. බිළිඳාගේ ජීවිතය බේරුනා. එදා පටන් රත්නසේන සර් මට ෆුල් ආදරෙයි.  ඊට පස්සේ  ෆොරින් ග්‍රජුවේස්ලාට ගහන කොට මුලින්ම  සර් කියනවා  "මේ අපි කියන්නේ රුවන් වගේ ෆොරින් ග්‍රජුවේස්ලා ගැන නොවෙයි"  කියලා. පස්සේ සර් මම ගැන සර්ගේ මස්සිනා උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලේ සර්ජන් වෛද්‍ය සරත් කොල්ලූරේ ගෙන් මා ගැන අහලා තිබ්බා. සර්ජන් කොල්ලූරේ ආසම ඇනස්තටිස්ට්ලා වූ  රූබි, මුරලිදරන් , සාගරිකා, ග්‍රේෂන් අතර මමත් හිටියා.  කොල්ලූරේ සර් මා ගැන ගුණ කථනයක් දීලා තිබ්බා නියමට. අපි සර්ජන් යන ස්පීඩ් එක අඩාල වෙන්න නොදී ලෙඩාගේ ජීවිතයත් බේරගෙන දඩබඩ ගාලා වැඩකලා. නියම ටීම් වර්ක් එකක් කලා.

පුරාජේරුවකට මම මේ කතාව කියනවා. රෝහලේ ස්පයිනල් ඇනස්තීසියා බෙස්ට්ම මගේ. මම විනාඩි ගනනක් ඇතුලත ( ප්‍රවේසමත් සලකලා) ස්පයිනල් ඇනස්තීසියා එක දෙනවා. බොරු නම් හලාවත රෝහලේ තියටර් එකේ දීපා මිස් ගෙන් අහන්න​. එයා තාමත් හලාවත ඉන්නවා. දීපා මිස් මට ආම්ස්ට්‍රෝං කියලා නමක් දාලත් තිබ්බා. මම කවදාවත් ස්පයිනල් ඇනස්තීසියා දෙන කොට ලෙඩාගේ පිට පෙනේර කලේ නෑ. වන් ශොට් පිට කොන්දේ අදාල ස්ථානයට ගැහුවා. 

ඒ කාලේ අපි තියටර් එකේ නර්ස්ලවත් බයිට් කරනවා. මම , දැන් ඊ.එන්.ටී කන්සල්ටන්ට් කෙනෙක් වෙච්ච රිස්වි ශව්කත්, යාපා, එස් එච් ඕ කෙනෙක් චෙච්ච වෛද්‍ය සිඩ්නි තමයි හෙදි බයිට් එක කලේ. සරීර ප්‍රමාණයෙන් කුඩා පාසල් දැරියක් වගේ නර්ස් කෙනක් හිටියා අපි එයාට කතා කලේ ගැටමාන්න මිස් කියලා. මේ නම මිස්ට රෙජිස්ටර් උනා. තව කෙට්ටු මිස් කෙනෙක් හිටියා , එයාට කිව්වේ කටුවපිටිය මිස්. අශෝකා මිස් අවිවාහක මධ්‍යම වයසේ කෙනෙක්. මම අශෝකා මිස්ව ඔරොප්පු කරනවා. වරක් අශෝකා මිස් ගේ තියටර් සී ආර් පොතේ පිට කවරේ " හෙදියකගේ අනුවේදනීය දිනපොත කියලා" ලක්බිම පත්තරේ තිබ්බ කෑල්ලක් අලවලා කොරපු එකා හොයා ගන්න බැරුව  අශෝකා මිස් පොදුවේ ඔක්කොටම බනිනවා. 

හලාවත හිටියා නියම කොල්ලෝ සෙට් එකක්. ඒ අතරින් ප්‍රියාන් සෙනෙවිරත්න මාත් එක්ක ආමි එකේ හිටියා. ශිෆ්ට් එක ඉවර උනාම ප්‍රියාන් කෙලින්ම එන්නේ ඇනස්තීසියා ඔන් කෝල් රූම් එකට මාව හොයාගෙන​. ප්‍රියාන් වැඩ කලේ ඕපීඩී එකේ . ඉගන ගෙන තිබුනේ පී.එම්.සී ( ප්‍රයිවෙට් මෙඩිකල් කොලෙජ් ) එකේ . ඒ නිසා කිසිම සමාජ ඇරියස් නෑ. එල බුවා. ප්‍රියාන්ට හලාවත ටවුන් එකේ මිතුරු ව්‍යාපාරික සෙට් එකකුත් හිටියා. ඒ නිසා ඒ සෙට් එක මගේ මිතුරන් උනා. ප්‍රියාන් දැන් පිලියන්දල රෝහලේ ඩී.එම්.ඕ. 

හලාවත රෝහලේ හිටපු තවත් එල බුවෙක් තමයි පේරාදෙනිය ෆැකල්ටි එකේ චන්ද්‍රසේන තෙන්නකෝන්. මමයි තෙන්නයයි හලාවත රෝහල සලිත කරවගෙන හිටියේ. තෙන්නයා සුමාන දෙක තුනකට සැරයක් තෙන්නයාගේ රූම් එකේ කොල්ලෝ එක්ක සෙට් වෙනවා. බයිට් මදි උනාම චමරියේ අනිත් වෛද්‍යවරුන්ට රාත්‍රියට උයලා තියන කෑම වල බිත්තර , චිකන් කෑලි උස්සගෙන එනවා. ආතල් කෝටියයි. වරක් තෙන්නයා තමන් ගේ අලුතින් හදපු ජා ඇල ගෙදර පාටියක් දුන්නා. මේ පාටි එකට සිළුමිණ පත්තරේ මෙන්දක අබේසේකර  එහෙමත් ඇවිල්ලා හිටියා. පාටිය උදේ 4 වෙනකම් ගියා. මම උදේ 4 ට ජා ඇලින් ඇවිල්ලා කඳානේ මගේ නිවසට ඇවිදින් උදේ 6 වෙනකම් පැය දෙකක් නිදාගෙන ආපසු උදේ 8 වෙනකොට ඕ.එම්.එෆ් සර්ජන් ගාමිනී නවරත්න ගේ ලිස්ට් එකක් කරන්න හලාවත රෝහලට ගියා. 

තෙන්නයා එක්ක සෙට් එකක් හිටියා. ඔවුන් අතරින් යාපා, සුසිත්, රන්ජන් , දයාල් ෆනෑන්ඩුපුල්ලේ , නිරෝශ් වගේ එවුනුත් අපි වගේම වළකාරයෝ.  යෙනිකා කියලා කෙල්ලෙකුත් හිටියා. ඒ වගේම ජී එල් පීරිස් ගේ දුවත් හිටියා. තවත් පොරක් හිටියා යසස් ජයසිංහ කියලා. පොර ටිකක් මුට්ටිය අල්ලනවා. ඒ නිසා කොල්ලෝ අතරින් ටිකක් ඈත් වෙලා හිටියේ. ඌ බරකාරයා. තාත්තා නුවර පැත්තේ දොස්තර කෙනෙක්. එක සැරයක් පොර තාත්තාගේ බී.එම්.ඩබ් එක එලවගෙන රෝහලට ආවා නයා පාරකට. රක්‍ෂිත කියලා අප්සෙට් ජොකියෙක් හිටියා. මෑන් බී.එම්.ඩබ් එකේ රෝද වල හුලං යවන්න හදලා අපි අමාරුවෙන් ඒක වලකව ගත්තා යසස්කාරයාට " මුට්ටිය බිඳුනොත් ඔක්කොම ඉවරයි " කියන සිංදුව කියන කොට මළ. ඒ නිසා වෛද්‍ය නිල නිවාස වල පාටි වලදී කොල්ලෝ මේ සින්ඳුව කියලා තමයි සාද අරඹන්නේ.

එක සැරයක් වීඕජී  වෛද්‍ය නිහාල් රාජපක්‍ෂ සර් ගේ සීසර් එකක් ඉවර වෙලා මධ්‍යම රාත්‍රියේ මමයි තෙන්නයයි , සුසිතුයි , රන්ජනුයි ,  දයාල් ෆනෑන්ඩුපුල්ලෙයි චැලි දෙකක නැගලා (චැලි දෙක තෙන්නෙගෙ යාලුවෙක්ගේ) හෙල්මට් නැතුව හලාවත නයිට් කඩයකට ගියා බනිස් එකක් කාලා කෝපි එකක් බොන්න​. නයිට් කඩය ලඟ නවගත්තේගමට යන බස් එක එනකම් සරමක් ඇඳගෙන අහිංසක ගැමියෙක් හිටියා. තෙන්නයා සහ මම ගිහිල්ලා ගැමියාව බදාගෙන ( බඩටත් කිස් එකක් දීලා) අනේ මේ අපේ මාමානේ කියලා බලෙන්ම වගේ ගැමියවත් අරගෙන නයිට් කඩයට ගිහිල්ලා " මේ අපේ මාමා , ඉඩම් කඩම් විකුනලා අපිට ඉගැන්නුවේ කියලා මාමට  නයිට් කඩයේ තිබ්බ බනිස් , ලෑතර, එළවලු රොටී, ඤාණකතා කැව්වා. ගැමියත් අපේ ආතල් එක දැනගෙන ඊට අනුකූලව හැසිරුනා. පස්සේ නවගත්තේගමට යන බස් එක ආවම අපි මාමව බස් එකේ  නග්ගවලා කොන්දට කිව්වා " මේ අපේ මාමා පරිස්සමින්  නවගත්තේගමට ගෙනියන්න කියලා. 

ගැමි සීන් එකෙන් පස්සේ අපි රෝහල බලා පිටත් උනා. පාර කරුවළයි. අපි පාර අයිනේ චැලි නවත්තලා පාද අද්දරට මුත්‍රා කලා. පස්සේ තමයි තේරුනේ මේ අපි මුත්‍රා කරන්නේ ගෙවල් පේලියක දොරවල් වලට කියලා. ගෙවල් අයිතිකාරයෝ මන්නා පිහි එක්ක එලියට එන්න කලින්  අපි චැලි වලින් මාරු උනා.  

හලාවත ටවුමේ තියන වටරවුම ලඟදී පොලිස්කාරයෝ සෙට් එකක් අපිව නැවැත්තුවා. හෙල්මට්, ලයිසන් මොකුත් නෑ . මම ටක් ගාලා පොලිස්කාරයාට කතා කලා. මේ වගේ අවස්ථා වලදී මම කරන්නේ බොරුවට ගොත පාට් එකක් දාන එක​. මම කීව්ව 

" ..... රර ර ර ර ... රාළහාමි අපි හ හ හ හ ... හලාවත රෝහලේ දො. දො දො ...  දොස්තරලා. ඔ ඔ ඔ ... ඔපරේෂන් එකක් ඉවර  ක් ක් ක් ක් කරලා රැ රැ.. රැ . රෑට කෑම කන්න ගියා කියලා. පොලිස් කාරයා කිව්වා " මහත්තුරු එහෙනම් පරිස්සමින් ඉස්පිරිතාලෙට යන්න කියලා.

මම 2002 යුද හමුදාවේ සක්‍රිය සේවයට යනකම් හිටියේ හලාවත රෝහලේ. මේ රෝහලේ අපි ගත්ත ආතල් කෝටියයි. ඒත් අපේ කොල්ලෝ දැන් විසිරිලා , යාපා සහ තෙන්නේ ඕස්ට්‍රේලියාවේ.  අනික් සෙට් එක ලංකාවේ විවිධ පලාත් වල. සමහරු විශ්‍රාම ගිහින්. ජීවිතේ ඉතින් ඔහොමයි. කාලය යනවා. ආතල් ඉතිරි වෙනවා. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook