Wednesday, April 19, 2023

අරගලකාරීන් මානසික රෝගීන් ලෙසට ලඝු කිරීම සාධාරණද ?

 





එරන්ද ගිනිගේ විසින් අරගලයේ මානසික රෝග 5 ක් යන ලිපිය හරහා ගෝල්ෆේස් භූමියට පැමිණි අරගලකරුවන් යැයි කියාගත් අය තුළ විවිධ මානසික රෝගී තත්ත්වයන් තිබුනු බව ව්‍යංගයෙන් පවසයි. ඔහු තවද මෙසේ කියයි ;

 " අරගලයට සම්බන්ධ වූ බොහෝ තරුණ තරුණියන් තුළ කාංසාව නමැති මනෝව්‍යාධිය තිබෙන්නට ඇතැයි සිතිය හැක්කේ අනාගතය පිළිබඳව ඔවුන් තුළ දැඩි ව්‍යාකූල බවක් සහ බියක් තිබෙන බව ඔවුන් පෙන්වූ නිසාය.බොහෝ අරගලකරුවන්ගේ මනෝභාවයන් අන්ත දෙකක දෝලනය වෙන බව නිරීක්‍ෂණය කළ හැකි විය. එක් අවස්ථාවක ඉතා දැඩි උද්‍යෝගයකින් සහ යුෆෝරික සතුටකින් ලයිව් එන ඔවුන් ඊට ආසන්න මොහොතක ඉතා කනස්සල්ලෙන් දුර්මුඛව හැසිරෙනු දැකගත හැකි විය. වයින් කළාක් මෙන් නොනවත්වා වේගයෙන් එකම දෙය කියවන අරගලකරුවන් දැකගත හැකි විය. අඩනිරුවතින් විසම චර්‍යාවන් පෙන්වන අරගලකරුවන්ගේ ඡායාරූප දැකගත හැකි විය. විකෘති ලිංගික චර්‍යා සහිත ප්‍රකාශන අත දරාගත් අරගලකරුවන් බොහෝ විය.  විටෙක ඉතාම අහිංසක විලාසයෙන් හැසිරෙන අරගලකරුවන් ඊළඟ මොහොතේ ප්‍රචණ්ඩකාරීව හැසිරෙනු දැකගත හැකි විය. මා දන්නා හඳුනන ශිෂ්ට සම්පන්න ජීවිත ගත කරන ඇතැමුන් අරගලය තුළ ඉතා දරුණු නූගත් අතාර්කික අවිද්‍යාත්මක වනවාරී මිනිසුන් ලෙස හැසිරෙනු මම නිරීක්‍ෂණය කළෙමි. " 

 අරගලයට සහභාගි වූ පුද්ගලයන් තුල මානසික රෝගී තත්ව තිබූ බව කීම හිතළුවකි. ගෝටාභයගේ වැරදි තීරණ නිසා විශාල ආර්ථික සහ සමාජීය ගැටළු මතු විය​. එම අවස්ථාවේදී මධ්‍යම පාන්තිකයන් විශාල ප්‍රමාණයක් අරගල භූමිය කරා ආහ​. අරගලයේ ගාමක බලවේගය වූයේ මෙම මධ්‍යම පාන්තිකයන්‍ ය​. අරගලයට පොල්පොට්කාරයන්   , වැසිකිලි කඩන පසුගාමී  නියැඞතාල්වරු පෙරමුණ ගැනීම නිසා වෙනසක් අපේක්‍ෂා කල සාධාරණ මිනිසුන් අරගලයෙන් ඈත්ව ගිය අතර අරගලයේ ගිණිසිළු මැකී ගියේය​.

ඕනෑම සමාජ අරගලයකදී  ලූම්පන් පාදඩ කොටස් අරගල වලට එක් වෙති. එසේම මානසික අර්බුධ වලින් පෙලෙන පුද්ගලයන් ද අරගලයේදී අධි රංගන වල නිරත වෙති.  ගවේශනාත්මක මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න ගේ ආධාරයෙන් ජවිපෙ දෙවන කැරැල්ල පිලිබඳව කරන ලද කරන ලද කරුණු සොයා බැලීමක දී ඝාතනයට ලක්වූ සිසුන්ගෙන් සියයට 25ක පමණ ප්‍රමාණයක් තුල  කුඩා කාලයේ සිය මව හෝ පියා මියගොස් තිබිණි. නැතහොත් දෙදෙනාගෙන් එක් අයෙකු අතහැර ගොස් තිබිණි. එබැවින් ඔවුහු පීතෘ හෝ මාතෘ වියෝග කාන්සාවට ලක්ව සිටියහ. ඇතමෙකුට ද්‍රරිද්‍රතාවය සහ තවත් අයෙකුට සමාජ පීඩනයද උරුම විය.  සමහරෙක් කුල පීඩනය නිසා සමාජය කෙරෙහි වෛරයෙන් යුතුව බැලීමට පුරුදුව සිටියහ​. ජර්මානු බාඩර් මයින්හොෆ් සහ සැන්ඩිනිස්ටා ගරිල්ලන් පිලිබඳව පසුකාලීනව කල අධ්‍යනයන් වලින් පෙනී ගියේ ඔවුන් රැඩිකල් වියාපාර වෙත යොමු වීම සඳහා ළමා කාලයේ අත් දුටු කාංසාමය සිද්ධීන් හේතු කාරක වූ බවය​. ළමා කාලයේ සිට මෙවැනි කාන්සාමය තත්වයන් ගෙන් පීඩා විඳි කොටස් සමාජ අරගල වලට ඇදී එන්නේ කාඳම් සේය​. ඔවුන් තමන් ගේ සමාජ වයිරය විතැන් කිරීමට අරගල යොදා ගනිති. මෙම සාමාජිකයන් තුල අනන්‍යතා අර්බුධ , ග්‍රාමීය පසුගාමීත්වය , ප්‍රචණ්ඩත්වය ගැටළු නිරාකරණය සඳහා එකම මධ්‍ය බව ඇති විශ්වාසය​, හීනවූ සහකම්පනීය අවබෝධ්‍ය සහ බොහෝ විට  පෞරුෂ අක්‍රමතා හඳුනා ගත හැකිය.

අරගලය තුල පශ්චාත් ව්‍යසන ක්ලමථ  අක්‍රමතාවයට ( Post-traumatic stress disorder -PTSD) ලක්වූ කොටස් සිටි බව එරන් ද ගිනිගේ පවසයි. පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය  යනු ක්ලමථ සහ ක්‍ෂිතිමය කම්පන සහගත අත්දැකීමකින් පසුව ආරම්භ වන කාංසා අක්‍රමතාවයකි.  සරලව දක්වන්නේ නම් පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය යනු කම්පන සහගත, බියජනක හෝ භයානක සිදුවීමක් අත්විඳ ඇති සමහර පුද්ගලයින් තුළ වර්ධනය වන ආබාධයකි. සමූහ ප්‍රචණ්ඩත්වයට (collective violence) නිරාවරණය වන පුද්ගලයින්ගෙන් සියයට 67 ක් තුල පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය වර්ධනය වන බව පෙන්නුම් කර ඇත. තවද ඔහු  විඝටන ලක්‍ෂණ තිබූවන් අරගලය තුල සිටි බව කියයි. විඝටන ලක්ෂණ (Dissociation) යනු කම්පනයට පොදු ප්‍රතිචාරයකි. කම්පන සහගත අත්දැකීම් වලට මුහුණ දී ඇති බොහෝ පුද්ගලයින්ට ඔවුන්ගේ අත්දැකීම්වල ප්‍රතිඑලයක් ලෙස බිය, වේදනාව හෝ ශෝකය වැනි හැඟීම් ඇති වූ විට පවා සිදුවූ දේ තාවකාලිකව මතක තබා ගැනීමට නොහැකි බව පෙනී යයි.  එසේම බොහෝ අවස්ථාවන්හිදී, පුද්ගලයා කම්පන සහගත අත්දැකීම් සිහිපත් කරන උත්තේජකවලට මුහුණ දෙන විට විඝටන ලක්ෂණ අත්විඳියි. අරගලය තුල පශ්චාත් ව්‍යසන ක්ලමථ  අක්‍රමතාවයට / විඝටන ලක්ෂණ (Dissociation) පෙන්වන ලද පිරිස් සිටින්නට ඇත​. එහෙත් ඔවුන් නියෝජනය කලේ අරගලයේ බහුතරය නොවේ.

තවද විශාදය , දිවි නසා ගැනීමේ චර්‍යාව , ආත්ම හානියේ යෙදුනු පුද්ගලයෝ මත් ලෝලීන් අරගලය තුල සිටි බව එරන් ද ගිනිගේ වැඩි දුරටත් පවසයි. මෙම තත්වය බොහෝ සමාජ අරගල වලට පොදුය​. බොල්‍ෂවික් විප්ලවයේද , මාටින් ලූතර් කිං ගේ අවිහිංසාවාදී අරගලවලදීද මෙවැනි කොටස් සිටියහ​. ලංකාවේ අරගලය තුලද මෙවැනි කොටස් දැකගත හැකි විය​. එහෙත් ඔවුන් නියෝජනය කලේ අරගල කරුවන් ගෙන් සුළු ප්‍රතිශතයකි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 


3 comments:

  1. අරගලය (එක විදිහකින්) අවසන් වී අවුරුද්දක් ගත වෙන්නත් එනවනෙ!

    අද සමාජයේ කොච්චර ඉන්නවද මානසිකව වැටුණු අය? අනාගතය ගැන අවිනිශ්චිත අය?
    මා දන්නා බොහෝ තරුණයන් රට හැර ගියා- යමින් ඉන්නවා- යන්න සුදුසුකම් සපුරා ගනිමින් ඉන්නවා.

    මා දන්නා වැඩිහිටියන් ගොඩක් දෙනෙක් ගෙවල්වල තනි වීමට සිදුවීම ගැන තැවෙනවා. ඔවුන්ටත් මානසික ලෙඩුන් වෙන්නයි වෙන්නේ. වැරැද්ද කොතනද?

    ReplyDelete
  2. ගෝල් ෆේස් අරගලය ආරම්භ කලේ හෝ එහි ජිවගුණය පවත්වාගෙන ගියේ මානසික රෝගීන් කියල කියන්න පුළුවන් දේශපාලනික කුලී ලියන්නෙකුට පමණයි,
    ගොවියන්ගේ පොහොර තහනම නිසා එදිනෙදා භාවිතා කරන භාණ්ඩවල මිල ගණන් අහස උසට ගියා , අඛණ්ඩව විදුලිබලය වාහන සදහා තෙල් දෙන්න ආණ්ඩුව අපොහොසත් උනා..

    ReplyDelete
  3. Aragalakaruwan miya giye ho aragalaya miya giye nehe.adu ugath pissan aga bagayedi ekathuweema abaggiyak. Adipathiwadin ayuda. Rekawaranaya laba etha. Duk windinnanma owun reka geneema. Kedanthayaki. Bahutaraya peeda windith. Sahal seruwata pin padiyata duppathu. Kiribati Kathi

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook