Thursday, September 21, 2017

ආගමික උමතුව

 


ආගමික උන්මාදය තිබූ පුද්ගලයන් ගනනාවක් මට හමුවී තිබේ. මොවුන් බොහෝ දෙනෙකු තමන් රහත් හෝ බුදු වී සිටින බව හෝ තමන් ජේසුස් ක්‍රිස්තුස් ගේ පුනරුප්පතිය කියා විශ්වාස කලහ​. මොවුන් බොහෝ දෙනෙකු පසුව භින්නෝන්මාදයෙන් පෙලෙන බවට සනාත වූයේය​. 

අපගේ වෛද්‍ය පීඨයේ සිටි චරිත දෙකක් මට මෙහිදී මතක් වෙයි. එක් අයෙකු නම් නයිජීරියාවෙන් පැමිණි සිසුවියකි. ඇය අධික ආගමික භක්තියක්  පෙන්වූවාය​.  මේ සිසුවිය සෑම දිනකම පාහේ උදෑසන හතරට පමන නැගිට අපගේ මහල් නවයකින් යුත් නේවාසිකාගාරයේ වහලය මතට නැග ආගමික ගීත අප්‍රිකානු ඉංග්‍රීසි ඌරුවකින් ගායනා කරන්නීය​. ශීත කාලයේ හිම වැටෙනා විටද මේ සිසුවිය අධි ශීතද නොසලකා නේවාසිකාගාරයේ වහලය මතට නැග යේසුස් පිළිබඳ ගීත ගායනා කලාය​. මේ හැර පාර දිගේ යන විට මුණ ගැසෙන ඕනෑම කෙනෙකුට " යේසුස් වාස් ලූබිත් ( ජේසුස් ඔබට ආදරය කරයි ) කියා කීවාය​. කෙසේ නමුත් මේ අධික ආගමික භක්තිය නිසා ඇයගේ අධ්‍යාපන කටයුතු අඩාල වන්නට පටන් ගත්තේය​. විභාග තිබෙන දින වලදී පවා මේ තරුණිය විභාගයට නොගොස් පාරවල් දිගේ යමින් මුණ ගැසෙන පුද්ගලයන්ට යේසුස් වාස් ලූබිත් කීවාය​. අවසානයේදී වෛද්‍ය පීඨයේ බලධාරීන් විසින් ඇයව නයිජීරියාවට යවන ලදි. මේ තරුණියට වෛද්‍ය උපාධිය නිම කිරීමට නොහැකි වූවාය​. 

ආගමික උන්මාදය තිබූ තවත් සිසුවෙක්  නම් සොලමන් ය​. ඔහු මට වඩා  වසර තුනක් පමණ ජ්‍යෙෂ්ඨය​. ඔහු සිටියේ වර්තමානයේ ශල්‍ය වෛද්‍ය විශේෂඥයෙකු ලෙස සේවය කරන කීත් චැප්මන් ගේ වසරේය​. සොලමන් පන්ති කට් කලේ ආගමික උන්මාදය නිසාය​. ඔහු යාඥා කරන්නේ අර නයිජීරියානු තරුණිය මෙන් මුදු හඞින් නොවේ.  සොලමන් යාඥා කරන විට නේවාසිකාගාරය දෙදරයි. ඔහුගේ ඝෝෂාකාරී හඞ ඇසෙත්ම ඔහුගේ මහලේ ජීවත් වූ සෝවියට් සිසුවෙකු වූ වැලේරා ආර්යා නම් රුසියානු හෙවි මෙට්ල් කණ්ඩායමේ ගීත වාදනය කරයි. 

ක්‍රමක් ක්‍රමයෙන් සොලමන් ගේ ආගමික උන්මාදය වැඩි විය​. ඔහු සමහරක් අවස්ථා වලදී ගුරුවරුන් සමගද සාහසික ලෙස වාද කලේය​. වෛද්‍ය පීඨයේ විදේශීය සිසුන් සම්බන්ධයෙන් පීඨාධිපති වූ ෆ්‍රාන්ස් ෆ්‍රාන්සේවිච්ටද වරක් ඔහු බැණ වැදුනේය​. මේ හැර සොලමන් ඉතා පිළිකුල් දනවන ක්‍රියාවක් කලේය​. එනම් ඔහුගේ කාමරයේදී පිඟන් වලට මළපහ කොට ඔහු ජීවත් වූ අට වන තට්ටුවේ ජනේලයෙන් විසි කිරීමයි. අප නේවාසිකාගාරයට ගියේ කොයි මොහොතේ හෝ කක්කා පිරි පිඟානක් උඩින් වැටේදෝ කියා බියෙනි.  තවද සොලමන් බාල්දි වලට වතුර ගෙනවිත් කාමරයේ නාන්නට විය​. මේ හේතූන් නිසා පස් වන වසරේදී සොලමන්ව වෛද්‍ය හේතූන් මත වෛද්‍ය පීඨයෙන් අස් කරන ලදි. 

1999 කාල වකවානුවේ මම මීගමුව රෝහලේ බාහිර රෝගී අංශයේ සේවය කලෙමි. දිනක් රාත්‍රී වැඩමුරය  තිබූ දිනයක උදෑසන හතරට පමණ තරුණියක් මුළු රෝහල දෙදරණ හඞින් කෑ ගසමින් ආවාය​. ඇයගේ පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු පමණ ඇයව අසීරුවෙන් ආම්බාන් කර ගනිමින් බාහිර රෝගී අංශය වෙත ගෙන ආහ​. 

මේ තරුණිය කෑ ගැසුවේ " මට ජේසූ ඕනේ "  කියාය​. රෝගීන් ඇතුළු කරන බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයා ලෙස මම මේ තරුණිය ඇඩ්මිට් කිරීම සඳහා ඇඳ ඉහ පතක් අතට ගත් විට එකී තරුණිය " මට මූව එපා මට මට ජේසූ ඕනේ " කියා යටි ගිරියෙන් කෑගැසුවාය​. ඇය මූ කියා කීවේ මටය​. කෙසේ වෙතත් මම එම රෝගී තරුණියට එන්නතක් විද ඇයව මෙඩිකල් වෝඩ් එකට යොමු කලෙමි. ඒ කාලයේ මීගමුව මූලික රෝහලේ මානසික සෞඛ්‍ය වාට්ටුවක් නොතිබූ අතර සියළු උමතු රෝගීන් යවන ලද්දේ මෙඩිකල් වෝඩ් එකට ය. 

විශේෂඥ මනෝ වෛද්‍ය  ලලින් ප්‍රනාන්දු  මහතා යටතේ මීගමුව රෝහලේ මානසික සෞඛ්‍ය සායනයේ සේවය කරන විට ආගමික උන්මාදය තිබූ රෝගීන් කිහිප දෙනෙකු මට හමු විය​. තවද විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු  මහතා යටතේ අංගොඩ රෝහලේ පුහුණුව ලබන විට තමන් බුදුවූ බව කියූ , තමන් නිවන් දැක තිබෙනු කියූ පුද්ගලයෝ රැසක් දැක ගන්නට ලැබුණි. මින් එක් පුද්ගලයෙකු තමා මෛත්‍රි බුදුන් බවට තර්ක කරමින් බුද්ධ ශාසන අමාත්‍යාංශයටද ගොස් තිබුනේය​. 

යුද හමුදා රෝහලේදී යුද ආතතියට ලක් වීම නිසා විඝටන ආබාධ ( Dissociative disorders)  වලට ලක්වූ සොල්දාදුවන් බොහෝ දෙනෙකු අප හඳුනා ගත්තෙමු. සමහරු නෙයෙකුත් දෙවි දේවතාවුන් ගේ ආරූඩය ලැබූ බව කී අතර වෙනස් කට හඞවල් වලින්ද  කතා කලහ​. එහෙත් ඖෂධ සමග මනෝ ප්‍රතිකාර ලැබීමේදී මේ රෝගී තත්වයන් සමනය වී යන ලදි.නමුත් ඉතා සුළු පිරිසක් මේ විඝටන තත්වය තමන්ට වාසිදායක අන්දමින් යොදාගෙන දේවාල අරඹා මෝඩ මිනිසුන් රවටමින් සාත්තර කීමෙන්ද  සෙත් සාන්ති කිරීමෙන්ද  මුදල් උපයා ගත්හ​. 

 වරක් එක් සාජන්වරයෙක් තමන් දන්ත කුමාරයා බවත් අසල්වැසි නිවසක තරුණියක් හේමමාලා කුමරිය බවත් තරයේ විශ්වාස කලේය​. මොහු මේ මෝහයට කොතෙක් මුලාවීද යත් එම තරුණිය හේමමාලා කුමරිය නිසා ඔහු සමග අනිවාර්‍යෙන්ම විවහා විය යුතු බව කීවේය​. මෙම රෝගියාට ප්‍රතිකාර කල විශේෂඥ මනෝ වෛද්‍ය නීල්  ප්‍රනාන්දු  මහතා ඔහුට ප්‍රති මනෝව්‍යාධික  ඖෂධ නිර්දේශ කල අතර ඔහුගේ රෝගී තත්වය Erotomania හෙවත් කාමොන්මාදය බවට රෝග නිර්ණය කලේය​. උක්ත ප්‍රතිකාරයෙන් පසු මෙම මෝහය සමනය වී යන ලදි.


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

12 comments:

  1. ඇති යන්තම් දන්ත කුමාරයා නැවත හේමමාලා කුමරිය සමග දන්ත ධාතුව නෙනේමුයි යෝජනා නොකිරීම
    විචාරක දියණිය

    ReplyDelete
  2. 1990 දශකයේ මා ඉතාලියේ හිටියා.උතුරු ඉතාලි ජාතිකයෝ එතරම් කතෝලික ආගමට ලැදි නෑ.මා හිටපු නගරයේ ආගමේ පෙරහැරකට පාර වැසූවිට මිනිස්සු බැන බැන පාර පැන්නා.නමුත් දකුණු ඉතාලියේ මේ දේවල් තියෙනවා.ජපානයෙත් ආගමික උමතුව තියෙන අය ඉන්නවා.අප්‍රිකාවේනම් ගොඩක්ම.ඒ වගේම පිලීපීනය.මම ඉතාලියේ ඉන්නකොට අමෙරිකාවෙන් ආපු ආගම් දේශනාකරන්නෝ වගයක් මිතුරු උනා.හරිම හොඳයි,නමුත් ඒ අයගේ මතය තමයි හරි.අපි සවන් දෙන්නයි ඕනෑ.මා අසනීපයෙන් ඉන්නාවිට මා බලන්න ආවේ ගෙදර හදපු කේක් එකක් එක්ක.ඒ ඇවිත් දේශනාව පටන් ගත්තා.අනිත් කට්ටිය හරේ රාමා කියන සුදු ජාතිකයෝ. සමහරු ආගම හරහා ශාස්ත්‍ර කීමත් පටන්ගන්නවා,පිටරටත්.දැන් තමයි නියම මොකද කියන එකයි,අහන එකයි.ලන්කාවේ නම් බුදුරැස්,රූප,ගස්වල රූප මතුවීම වගේ කාලෙන් කාලෙට.අපි ඒ අදහස් වලට එකඟ නොවෙද්දී අවුල ආරම්භ වෙනවා.රුවන් කීවාවගේ ක්‍රිස්තියානි,මුස්ලිම් ආගම් වලත් මේක තියනවා.චීන අයනම් ආගම් තකන් නෑ.උමතුව නෑ.ලන්කාවේ ආගම් උමතුවෙන් කෝටිපතියන් බිහිවෙනවා.අන්න එතකොට තමයි හිතෙන්නේ මේකනේ සැප කියලා.සමාජයක අසහනය වැඩිවෙද්දී ආගමේ උමතුවෙන් දුවනවා සැනසීම සොයා.

    ReplyDelete
    Replies
    1. සමාජයක අසහනය වැඩිවෙද්දී ආගමේ උමතුවෙන් දුවනවා සැනසීම සොයා.////////////// 100 % true Lalith

      Delete
  3. සමාජයක අසහනය වැඩිවෙද්දී ආගමේ උමතුවෙන් දුවනවා සැනසීම සොයා. අැත්ත තමයි. ඒ්ත් මේ සත්‍යය වටහාගන්නේ කී දෙනා ද ........

    ReplyDelete
  4. දන්ත කුමාරය ධාතු වඩම්මන්නත් කතා කලාද දන්නෑ :-)

    ReplyDelete
  5. මානසික ආබාධ වලට ලක් උන අයට සේවා සපයන ආයතන මොනවාද?

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook