ලලිත් මට මුණ ගැසුනේ 1979 වසරේදී මම හතේ පන්තියේ සිටියදීය. නමුත් ඔහු මා සමග අට ශ්‍රේනියට පැමිනි විට ඔහු මා සිටි මේසය ආසන්නයට ආවේය. ඉන් අපේ මිතුදම වැඩුනි. ලලිත් මේසයට ඉදිරියෙන් සිටි අතර මා සිටියේ පසුපසිනි. ලලිත් පාසලට ආවේ රුක්මලේ ප්‍රදේශයෙනි. ඔහු පහ වසර ශිෂ්‍යත්වය සමත්වී නාලන්දාවට ආ සිසුවෙකි. ලලිත් කෙරෙහි මා මිතුදම් ඇති කර ගැනීමට එක් ප්‍රධාන හේතුවක් වූයේ ඔහු මා විසින් පන්තියේ කරන ලද විකාර වැඩ වලට ඉත සිතින් සහභාගි වීමත් මට මනා අනුබලයක් දෙමින් මාව දිරිමත් කිරීමත් ය. මින් අදහස් වන්නේ ලලිත් මැනිපුලේට් කල බවක් නොවේ , ඔහු මාව සියයට සියයක්ම පිළිගැනීමට ලක් කල බවය.
ලලිත් නිතරම පසුපසට හැරී මා සමග කතා කිරීමට පුරුදුව සිටියේය. ඕනෑම යාන් හෑල්ලක් ඔහු මා සමග බෙදා ගනියි. එසේම අප දෙදෙනා කෘෂිකර්ම ගුරුතුමා , මාජරීන් හෙවත් උපතිස්ස සර් අවුස්සමින් එකිනෙකා හා සිනාසුනෙමු.
අපගේ පන්තිභාර ගුරුවරිය වූයේ රොටියාගේ මව වූ රොද්‍රිගු ටීචය. රොටියාද අපගේ පන්තියේ සිටි අතර ඔහුද හේත්තුවී සිටියේ අපගේ බජාර් එකටය. මේ නිසා රොද්‍රිගු ටීච ගෙන් රොෂාන් හෙවත් රොටියාද නිතරම බැණුම් අසයි.
වරක් අපගේ පන්තියට බුද්ධ පූජාව ගේන්නට නියම විය. මේ නිසා රොද්‍රිගු ටීච අපගේ පන්තිය අමතා බුද්ධ පූජාව සඳහා ගෙන හැකි ආහාර මොනවාද කියා ඇසුවාය. බුදුන් කෙරෙහි හෝ බුද්ධ පූජාව කෙරෙහි අගෞරවයෙන් නොව හුදු රොද්‍රිගු ටීචව ඇවිස්සීම සඳහා මම සහ ලලිත් විවිධ ආහාර වල නම් කියා කෑගැසුවෙමු. වරක් ලලිත් පොල් ටොෆී යෝජනා කල අතර මම මාළු පාන් යෝජනා කලෙමි. අප විසින් රොද්‍රිගු ටීචව ඇවිස්සීම සඳහා කරන මේ ක්‍රියාව ඇය තේරුම් ගෙන අවසානයේදී රොද්‍රිගු ටීච මටත් ලලිත්ටත් බැණ වැදුනාය. එපමණක් නොවේ. අපගේ බෞද්ධ විරෝධී ක්‍රියාව ඇය සුගුණධම්ම හාමුදුරුවන්ටද දන්වා සිටි අතර පසුදින සුගුණධම්ම හාමුදුරුවෝ බුද්ධ පූජාව ආරම්භ කිරීම සඳහා පන්සිල් දීමෙන් අණතුරුව " මට ආරංචියි සමහර ළමයි බුද්ධ පූජාවට අගෞරව වෙන ආකාරයේ දේවල් කියලා තියන බව කියා කී සේක. එහිදී පන්තියේ කොල්ලන් සියළුමදෙනා මා දෙසත් ලලිත් ගුණවර්ධන දෙසත් බලන්නට වූ අතර අප දෙදෙනා සැදැහැවතුන් මෙන් වැඳගෙන සිටියෙමු.
කෘෂිකර්ම ගුරුතුමාට කොල්ලන් කීවේ බොහොඞා කියාය. ඔහුට වචන උච්චාරණ දෝශයක් තිබුනේය. මේ නිසා කෘෂිකර්ම ගුරුතුමා කියන සමහරක් වචන වලට ලලිත් පසුපස හැරී මා දෙස බලමින් සිනාසෙයි. අප කෘෂිකර්ම ප්‍රායෝගික වැඩ සඳහා එළවළු කොටුවට ගිය විට අප දෙදෙනා කියන කතා වලට කොල්ලෝ සිනාසෙති. එවිට ශබ්ද නඟා සිනාසෙන කොල්ලන්ට බොහොඞා තරවටු කරයි.
වරක් කොල්ලෙක් ගුරු පුටුවේ වේවැල් මත චෝක් කෑල්ලක් ඇතිල්ලුවේය. මාගේ මතකය නිවැරදි නම් මෙය කරන ලද්දේ සකලසූරියයි. සකලසූරිය මෙය කරන ලද්දේ කෘෂිකර්ම පීරියඩ් එකට ප්‍රථමය. ඉන් පසු අප නොයිවසිල්ලෙන් කෘෂිකර්ම ගුරුතුමා එන තෙක් සිටියෙමු. පන්තියට පැමිනි කෘෂිකර්ම ගුරුතුමා ළමයින්ට ආයුබෝවන් කියා චෝක් කුඩු රැඳුනු පුටුව උඩ වාඩි විය.
බොහොඞා පුටුව උඩ වාඩිවූ විගසම ලලිත් පසුපස හැරී මා දෙස බලා සිනාසුනේය. එදින කෘෂිකර්ම ගුරුතුමා ඇඳගෙන සිටියේ කළු පැහැති කලිසමකි. ඔහු පීරියඩ් එක අවසානයේ නැගිට යන විට කළු කලිසමේ තිබූ සුදු පළු දෙක දැක අප ඔහුට සොරෙන් සිනාසුනෙමු. වැඩිපුරම සිනාසුනේ ලලිත් ය.
රිලීෆ් පීරියඩ් එකක් ආ විට උපතිස්ස සර් හෙවත් මාජරීන් පන්තියට පැමිණ උගන්වයි. ඔහු උගන්වන්නේ නියමිත විශයක් නොවේ. ඔහු කැමති දෙයකි. නිතරම පොත් කියවන්නෙකු වූ උපතිස්ස සර්ට බොහෝ විශයන් ගැන දැණුමක් තිබුනේය. සමහරක් විට ඔහු ඉංග්‍රීසි පොයම්ස් සිංහලට හරවා අප ලවා ගායනා කරවයි. එසේම ටිකිරි ටිකිරි ටිකිරි ලියා වැනි සිංහල ගීත ඉංග්‍රීසියට හරවා අපට ගායනා කිරීමට විධාන දෙයි. මෙවැනි අවස්ථාවල අප උපතිස්ස සර් ඇවිස්සීම සඳහා ඝෝෂා කලෙමු. එවිට උපතිස්ස සර් අවානක් බඳු ඔහුගේ විශාල් අත්ලෙන් ලඟ සිටින කොල්ලක් ගේ පිටට පහරක් ගසයි. එයද අපට ත්‍රිල් එකකි. සමහරක් විට කපිල විදානරාල " සර් පූසෙක් පූසෙක් " කියමින් බිම බලාගෙන ඤාව් කියයි. පන්තියට බළල් තඩියෙක් ඇවිත් බව උපතිස්ස සර් සිතයි. අපද තරඟයට මෙන් ව්‍යාජ පූසාට ' චිප් චිප් කියා කෑගසන්නෙමු. කපිල විදානරාල පා පහර කා දුවන පූසා කරන ශබ්දය කරයි. එවිට සිනහවෙන් කුල්මත් වන ලලිත් පසුපස හැරී මදෙස බලා සිනාසෙයි.
ලලිත් නිතරම පසුපස හැරී මා සමග සංවාදයේ යෙදීම අපගේ පන්ති භාර ගුරුවරිය වූ රොද්‍රිගු ටීච දුටුවේ ලලිත් මට බාධා කිරීමක් ලෙසටය. එහෙත් සත්‍ය නම් ලලිත්ට නොයෙකුත් විච්චූර්ණ කියමින් බාධා කලේ මාය. මා හෝ ලලිත් වෙනත් ස්ථානයකට මාරු කල යුතු බව රොද්‍රිගු ටීච කීවද වසර අවසානය තෙක් එය වූයේ නැත.
අපට විද්‍යාව ඉගැන්වූයේ අත්තනායක ටීචය. ඇය සිනමා නළු උපාලි අත්තනායකගේ බිරිඳ වූවාය. අප විද්‍යාව කාල පරිච්ඡේදයේදී පහත මාලයේ තිබෙන ලැබ් එකට ගියෙමු. මේ ලැබ් එකේ අප විසින් කරන විකාර වැඩ නිසා අත්තනායක ටීච සමහර විට අපට බැණ වදින්නීය. වරක් කොල්ලෙකු විසින් සිදත් සුරේන්ද්‍රගේ කවකටු පෙට්ටිය සඟවන ලදි. තම කවකටු පෙට්ටිය සොයමින් ඒ මේ අත ගිය සිදත් සුරේන්ද්‍ර අත්තනායක ටීච ගෙන් බැණුම් අසන ලදි. තවත් වරක් කළටුවාව ලැබ් එකේ ගෑස් එන කරාමය ඇර නිසොල්මන්ව සිටියේය. ලලිත් සිටියේ මා අසලය. මචං ගෑස් ගඳක් එනවා කියා ලලිත් කීවේය. ඉන් පසු වෙනත් සිසුවෙක් විසින් ගෑස් කරාමයට පොලිතීන් උරයක් සවි කොට ගෑස් වලින් එය පිරවීමට උත්සහ කලේය. ඔහුගේ වෑයම වූයේ ගෑස් පිරවූ පොලිතීන් උරය උඩ යැවීමටය. එහෙත් මේ විකාර වැඩය නැවතුනේ යාබද ලැබ් එකේ සිටි කාලිදාස සර් පැමින ඔහුගේ පිට හරහා පහරක් ගසා " ගොනෝ ගෑස් එක්ක සෙල්ලම් කරන්න එපා " කියා කීවේය. අපද කාලිදාස සර් අනුව යමින් මේ කොළුවාට උක්ත ක්‍රියාව නොකරන ලෙස අපද ඔවදන් දුන් බව කීවෙමු.
ඉංග්‍රීසි පීරියඩ් එකට අපගේ පන්තිය දෙකට බෙදන ලදි. කොටසක් තෙවන මහලට ගොස් මාම්පිටිය ටීච වෙත ගියෝය. මා අයත් වූයේ මේ කොටසටය ලලිත් ඇතුළු අනෙකුත් ළමයින්ට ඉංග්‍රීසි සඳහා ආවේ නෝන්ජල් ගුරුවරියකි. මට ඇයගේ නම මතක නැත. කොල්ලෝ ඇයව හැම්මන් කියා හැඳින්වූහ. මාම්පිටිය ටීච සැරය. පන්තියේ විගඩම් කල නොහැක. මා මෙන්ම රොටියා සහ අනෙකුත් ළමයින් මාම්පිටිය ටීච යටතේ මීයන් මෙන් සිටින විට ලලිත් ඇතුළු අනෙකුත් ළමයි හැම්මන්ව හොල්මන් කරවමින් ගන්නා අාතල් ගැන අප ඉරිසියා කලෙමු. මේ නිසා මාම්පිටිය ටීච පන්තිය අවසන් කරන විටම අප දිව ගොස් ලලිත්ලා සිටින හැම්මන් ගේ පන්තියට කර පොවා බැළුවේ සජීවීව විනෝද සමය නැරඹීමටය.
වරක් මාම්පිටිය ටීචර් අච්චු පොතේ පාඩමක් පෙරලා වර්බ්ස් ( Verbs ) යටින් ඉරි ගසන්න කියා පැවරුමක් දී පන්තියෙන් ගියාය. වර්බ්ස් යනු කුමක්ද කියා නොදත් කොල්ලෝ හිතෙන හිතෙන වචන යටින් ඉරි ඇන්දහ. සමහරු තලාහේන මහා විද්‍යාලය යන නම යටින් ද ඉරක් ගැසූහ. මාම්පිටිය ටීචර් ඒමට ප්‍රමාද විය . ඒ නිසා මම උඩ මහලේ ලලිත්ලාගේ පන්තියේ වෙන්නේ කුමක්ද කියා බැලීමට ගියෙමි. හැම්මන් උගන්වන විට ළමුන් රිසි රිසි පරිදි පන්තියෙන් එලියට යති, යලි පන්තියට එති. ඔවුන් හැම්මන්ට බිය වූයේ නැත. මේ නිසා මමද ලලිත්ලාගේ පන්තියට ගොස් විනෝද සමය නැරඹුවෙමි.
මෙසේ ඔවුන් ගේ පන්තියේ විනාඩි පහලවක් පමණ වාඩිවී සිට මම එලියට ආවේ මාම්පිටිය ටීචර් ඒමට ප්‍රථම පන්තියට යාම සඳහාය. එහෙත් අනපේක්‍ෂිත ලෙස මාව කොරිඩොවේදී මෝරාට අසු විය.
මෝරා හෙවත් කුමාරසිංහ මයා ඉගැන්වූයේ ගණිතය විශයයි. ඔහු ඉතා උස මහත ගුරුවරයෙකි. ඔහු හල්ක් බඳුය. හැම්මන් ගේ පන්තියේ සිසුන් විනයක් නොමැතිව හැසිරෙන නිසා දඟ කරන සිසුන් මට්ටු කිරීම සඳහා කුමාරසිංහ මයා වරින් වර ඉංග්‍රීසි පන්තියට එබිකම් කිරීමට පුරුදුව සිටියේය. මේ ගැන ලලිත් මාව දැණුවත් කලේ නැත.
තමුසේ මොකද පන්තියෙන් එලියට ආවේ ? කියා කුමාරසිංහ මයා අහස ගොරවන හඞින් මගෙන් ඇසීය. මට දීමට උත්තරයක් නැත. "ඉංග්‍රීසි අච්චු පොත ගෙනියන්න ආවා" කියා මම හීන් හඞකින් කීවෙමි. කුමාරසිංහ මයා ඔහුගේ විශාල අතින් මගේ කණ මිරිකා පිට පුපුරන්නට පහරක් දුන්නේය. එම පාරේ සැරකමට මම අඩි දෙකක් පමණ ඉදිරියට විසිවී ගියෙමි. " දුවනවා පන්තියට " කියා ඔහු මාව වැරදි පන්තිය වෙත යොමු කලේය. පන්ති පැටලිල්ල ලෙහන්නට ගියහොත් මෝරාගෙන් තව කන්නට සිදුවේ. ඒ නිසා මම අඩියට දෙකට හැම්මන් ගේ පන්තියට දිව්වෙමි.
" අඩෝ මෝරගේ මාර ශොට් එක නේද ? කියා ලලිත් මගෙන් ඇසීය
ඔව් බං පිට එයාකන්ඩිෂන් උනා " මම වේදනාවෙන් කෙඳිරුවෙමි.
මේ කාලයේ එවැනි පාරක් ළමයෙකු කෑවේ නම් ළමයා සහ ඔහුගේ දෙමාපියන් මානව හිමිකම් යනු ඇත. නමුත් අපේ කාලයේ ගෙවල් වලට ගොස් සර් පහර දුන් බව කීවේ නම් ගෙවල් වලින් ද වේවැල් පාරවල් ලැබේ. මේ නිසා ගුටිය පාසැලේම තබා මම ගෙදර ආවෙමි.
වරක් ලලිත් අපට පිටරට ටොෆී ගෙනාවේය. මෙහි මධ්‍යයේ මී පැණි තිබේ. බුල්ටෝ සහ අතරින් පතර ඩෙල්ටා හෝ චෙස්ටෝ කෑ අපට ලලිත් ගේ පිටරට ටොෆී අමුතු අත්දැකීමක් විය. මෙම ටොෆී ගෙන ආවේ පිටරට ගිය ඔහුගේ නැන්දා කියා ලලිත් කීවේය.
වරක් මම ලලිත් සමග බ්ලූමැන්ඩල් පාරේ පිහිටි අගමැති විද්‍යාලයට ගියෙමි. මාගේ මව අගමැති විද්‍යාලයේ විදුහල්පතිනිය වූවාය. මව හමු වීමට යාමට ප්‍රථම මම පාසලේ හොඳ ළමයෙකු බවට මවට කියන ලෙස ඔහුව ගිවිස්සවා ගත්තෙමි. අගමැති විද්‍යාලයේදී මගේ මව ඉදිරියේ ලලිත් මා පිලිබඳ ඉතා හොඳ ගුණ කථනයක් දුන්නේය.
වසර අවසානයේදී අප නවය ශ්‍රේණියට සමත් වූ නමුදු ලලිත් සහ මා වෙනත් පන්ති වලට වැටුනි. මේ නිසා අපගේ මිතුදම දුරස්ථ වූයේය. උසස් පෙළ කරන කාලයේ ලලිත්ව මට මුණ ගැසුනේ ඉතාම කලාතුරකිනි. 1985 පාසල හැර යාමෙන් පසුව ලලිත් පිලිබඳ මතකය ක්‍රමක් ක්‍රමයෙන් බොඳ විය. යලිත් මට ඔහුව හමු වන්නේ වසර 32 පසුවය. එනම් 2017 වසරේදී මා විසින් ලියන Transylvania බ්ලොගයට ලලිත් ගුණවර්ධන විසින් කොමෙන්ටුවක් තැබීමෙනි. නමුත් මේ හමු වීම භෞතික වශයෙන් නොවේ. පසුව ලලිත් මට ඊ ලිපියක් සමග ඔහුගේ චායාරූපයක් එවීය. ලලිත් එතරම් වෙනස් වී නැත. ඔහුගේ හිසකෙස් පමණක් සුදු වී තිබේ. වර්තමානයේ ලලිත් ගේ පදිංචිය රුක්මලේ ය. ඔහු තම වියපත් දෙමාපියන් බලා ගනිමින් ජීවත් වෙයි.
අපගේ මිතුදම
වසර 38 ක්
පැරණිය. ලලිත්
මා සමග
පන්තියේ කිට්ටුවෙන්ම
සිටියේ එක අවුරුද්දක් පමණි.
එහෙත් එම
කාලය තුල
අප විසින්
කරන ලද
විගඩම් වැඩ
තවමත් අමතක
නැත.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
ඒ සුන්දර දඟකාර අතීතයට අප සියල්ලන්ම රැගෙන යමින් ඔබ කරන්නේ අපුරු සේවයකි. මේ තරම් චමත්කාරජනක සිද්ධීන් මගේ පාසැල් වියේදී නොතිබුණද තවමත් මතක සිද්ධීන් කිහිපයක් නැතුවා නොවේ. මුල අමතක නොවීම උසස් මිනිස් ගතියකි. ඔබ අයත් වන්නේද ඒ උසස් මිනිසුන්ගේ ගණයටය.
ReplyDeleteSalute ++++++++++++++++
Delete+++++++++++++++++++
Deleteඅතීතයේ මිතුරුකම,පාසැල්වියේ සරල සුන්දරත්වය ,ඒ සිදුවීම් මනස සැහැල්ලුවෙන් අපව නිදහසට රැගෙන යමින්.. අද සමාජ ජාලා තුලින් පරන යාලුවෝ දැක්කාට බොහෝදෙනා තුල සැහැල්ලු බව නැහැ.අපි ඉන්නේ වේගවත් ගමනක.බොහෝ අයගේ ඉහල මට්ටම් දැක සතුටක් දැනුනා.තවත් යාලුවෝ සොයා ගන්න නෑ.තමන්ගේ පාඩුවේ ඇති.නොනවතින ,ඉක්මනකින් යම් ඉලක්කයකට යමින් බොහොමයක් දෙනා.නමුත් මා ප්‍රිය මිතුරු රුවන් අතීතය මේ මොහොතට ගෙනත්,මිනිසත්බව කැටිකොට.එදා රුවන් තුල දුටුවේ දඟකාර,ඕනෑම "ගේමකට" හරි යාලුවෙක්.අපි රුවන්ව ඇවිස්සුවොත් ලෝක ලෙඩක්.ඒත් එදා ඔබතුල ඉන්න කෙනා දුටුවේ නෑ.පමාවී අවුරුදු තිස්ගානකට පසුව මානවහිතවාදී සරල මිනිසා දුටුවා.හිස් මිනිස්සු අතර සැබෑ මිනිසෙකු දැක්කා.ඔබ අපට ආඩම්බරයක්! ඒ මිනිසුන්ගේ දුක දන්න කෙනෙක් මගේ මිත්‍රයෙක් නිසා.
ReplyDelete++++++++++++++++++++++++++++++++++++
Delete@@@@@@@
ReplyDeleteහරිම සුන්දරයි !!
ReplyDelete