මුලින්ම මා පිහිනුම් තටාකයකට බැස්සේ වයස අවුරුදු පහේදී පමණය. ඒ ආනන්ද විද්‍යාලයේ පිහිනුම් සමාජය හරහාය. මාගේ වැඩිමහල් සොහොයුරන් ආනන්ද විද්‍යාලයේ පිහිනුම් සමාජයේ සාමාජිකයන් වීම නිසා පෙර පාසල් ළමයෙකු ලෙස මමද සාන්ත ජෝසෆ් විද්‍යාලයේ පිහිනුම් තටාකයට බැස ගැට්ට අල්ලාගෙන සිටියෙමි. මාගේ අත් දෙපස කහ පාට පුම්බන ලද විංස් කියා හඳුන්වන රබර් බැළුම් දෙකක් තිබූ නිසා මම තටාකයේ නොගිලී පාවුනෙමි. ඒ කාලයේ පිහිනුම් උපදේශකයා වූයේ ටෙම්ප්ලර් මහතාය. ඔහු ඉතා කරුණාවන්ත පුද්ගලයෙකු වූ අතර සිසුන්ට පිහිනීම ඉගැන්වූයේය. තවද චුයිංගම් බබල්ගම් වැනි ඒකාලයේ ඉතා විරළ දේවල් ද ළමුන්ට ගෙන එන නිසා ටෙම්ප්ලර් මහතාට ළමෝ ඇළුම් කලහ. නාවික හමුදාපති කරන්නාගොඩ මහතා පවා ටෙම්ප්ලර් මහතා යටතේ පුහුණු වූ බව මම සිතමි. අවාසනාවකට මෙන් 1972 වැනි කාලයක ටෙම්ප්ලර් මහතා පැදවූ මෝටර් සයිකලය බසයක හැපී ඔහු ජීවිතක්‍ෂයට පත් විය. ඉන් පසුව ආනන්දා විද්‍යාලයේ පිහිනුම් උපදේශයා වූයේ ඔලිම්පික් පවා ගිය සේන් මහතාය. ඔහු දීර්ඝ කාලයක් පිහිනුම් උපදේශකයෙකු ලෙස කටයුතු කල අතර එක් දහස් නවසිය අනූ ගනන් වලදී පිහිනුම් ඉසව්වකදී හෘධ ආබාධයක් වැළඳී මිය යන ලදි.
නාලන්දා විද්‍යාලයේ පිහිනුම් සමාජය ආරම්භ කරන ලද්දේ ආනන්දා විද්‍යාලීය පිහිනුම් සමාජය ආරම්භ කොට බොහෝ කාලයකට පසුවය. එකල නාලන්දා විද්‍යාලයට පිහිනුම් තටාකයක් නොවූ නිසා සාන්ත ජෝසෆ් විද්‍යාලයේ පිහිනුම් තටාකය සෙනසුරාදා දින වල පස්වරු 2 සිට 3 දක්වා භාවිතා කරන ලදි. පිහිනුම් සමාජය භාර ආචාර්‍යවරයා වූයේ සිසිල් ගමගේ මහතාය.
1979 දී මම නිල වශයෙන් නාලන්දා විද්‍යාලයේ පිහිනුම් සමාජයට බැඳුනෙමි. ඒ කාලයේදී අපගේ පුහුණුකරු වූයේ අබේදාස මහතාය. පසු කාලයක මට අබේදාස මහතා ඔටර්ස් ක්ලබ් එකේදී හමු විය. ඒ වන විට ඔහු මහළුව සිටි මුත් ගතින් ශක්තිමත් විය. නාලන්දා විද්‍යාලයේ ජේෂ්ඨ සිසුන් දෙදෙනෙකු විද්‍යාලීය පිහිනුම් සමාජයේ සම්බන්ධීකරණ කළහ. එක් ජේෂ්ඨ සිසුවෙක් තමන්ට වඩා පිහිනීමට දස්කම් ඇති පුද්ගලයන් කපා දැමීමත් ඔවුනට පළා බෙදීමත් කලේය. මේ නිසා හොඳ පිහිනුම්කරුවන් සංගමය හැර ගියහ. එසේම මේ පුද්ගලයා විද්‍යාලීය පිහිනුම් කාමරයේ තුනී ලෑලි වලින් බිත්ති ගසා වෙන් කොට එක් පැත්තක ඇඳක් ද තැබීම නිසා ඔහු විදුහල්පති ධර්ම ගුණසිංහ මහතාගේ දෝෂාරෝපණයට ලක් විය. එසේම වහාම මෙම ඇඳ පිහිනුම් කාමරයෙන් ඉවත් කරන ලෙස විදුහල්පතිතුමා ඔහුට නියෝග කරන ලදි.
මෙම ජේෂ්ඨ සිසුවාගේ අනාරක්‍ෂිත මානසිකත්වය නිසා පිහිනුම් සමාජය පරිහානියට පත් වූවද කණිෂ්ඨ පිහිනුම්කරුවන් වූ අප මෙම දේශපාලනයන්ට සම්බන්ධ නොවී පුහුනුවීම් කලෙමු. අපගේ ශ්‍රේණි වල සිටි ශාන්ත ඉතා හොඳ ඩයිවර් කෙනෙකු වූයේය. ඔහු විද්‍යාලන්තර තරඟ වලටද සහභාගි වී ජය ලැබීය. අපද විද්‍යාලන්තර තරඟ වලට සහභාගි වූයෙමි. පිහිනුම් තරඟ වලින් මම සහතිකපත් කිහිපයක්ද දිනා ගත්තෙමි. මේ කාලයේදී මම වැල්ලවත්ත කිංරොස් වෙත ගොස් මුහුදේ පිහිනුවෙමි.
මුහුදේ පිහිනීම ගත සිත උද්දීපනය කරන අත්දැකීමකි. එහෙත් අණතුරුදායකය. හය මසකට වරක් හෝ පිහිනීමට ගිය අයෙකු ගිලී මළ හෙයින් අප මුහුදේ පිහිනුවේ ඉතා ආරක්‍ෂාකාරී අන්දමිනි. කිංරොස් මුහුදේ දියේ ගිලී ගිය නෞකාවක් තිබේ. අප මුහුදේ දුරට පීනා මෙම නැවටද ගොඩ වූයෙමු. නැව කොරල් පරයක සිරවී තිබෙන අතර මෙම කොරල් පරයට නැගිය හැකිය. එහෙත් ඉකිරියන් සිටින නිසා කකුල් තුවාල වේ. මා ලඟ ෆ්‍රොග් ලෙග්ස් දෙකක් සහ ඇස් වලට වතුර නොයන පිහිනුම් කණ්නාඩි දෙකක් තිබූ නිසා ඇතැම් දින වලදී මම කොරල් පරයට නැග්ගෙමි.
වරක් ගැඹුරු මුහුදේ පීනමින් සිටින විට මම අත්දැකීම් කීපයකට මුහුණ දුන්නෙමි. මා සතුව ගොගල්ස් දෙකක් තිබූ නිසා මම කිමිදීමද කලෙමි. අඩි 10 - 15 පමණ යටට කිමිදෙන අප මුහුදු පතුලේ තිබෙන ආශ්චර්‍යට වශී වූයෙමු. වරක් එසේ කිමිදෙන විට මුහුදු පතුලේ සිටි ලොකු මඞුවෙකු මම දුටුවෙමි. රොඩ්නි ජොන්ක්ලාස් ගේ වාලම්පූරි පොත කියවා මඞු වල්ගයෙන් පහර ලැබූ මුතු කිමිදෙන්නන් අත් දකින වේදනාව සිහිපත් වූ හෙයින් මම වහාම දිය මතුපිටට ආවෙමි.
තවත් වරක් මම අඩි 40 - 50 පමණ ගැඹුරු මුහුදේ පීනමින් සිටින විට සුදු තරමක් පාරදෘෂ්‍ය වස්තුවක් මා අසලින් ගියේය. මෙම වස්තුව අඩි අටක පමණ උසකින් යුක්ත වූ අතර දිගින් අඩි 10 පමණ විය. මේ විශාල මත්සයෙකු බව සැක කල මා තැති ගත්තෙමි. මා බිය වූයේ තල්මස් මෝරුන්ටය. මේ කාලය වන විට ජෝස් චිත්‍රපටයද නරඹා තිබූ නිසා භීතිය දෙගුණ තෙගුණ විය. එහෙත් මේ වස්තුව මත්සයෙකු නොව විශාල පොලිතීන් කැබැල්ලක් බව අවබෝධ වීම නිසා බිය පහව යන ලදි.
පිහිනුම් සමාජයේ තිබූ අර්බුධකාරී තත්වයන් නිසා වසර කිහිපයකදී මම පිහිනුම් සමාජයෙන් ඉවත් වූ නමුත් පිහිනීම නොකඩවා කලෙමි. මේ කාලයේදී මාගේ දෙමාපියන් විසින් සාන්ත ජෝසෆ් තටාකයේ ෆැමිලි මෙම්බර් ෂිප් ලබා ගත් නිසා මම සතියේ දිනවල සවස පවුලේ සාමාජිකයන් සමග ගොස් පිහිනුවෙමි.
සෝවියට් දේශයට ගිය කාලයේ එහි තිබූ පිහිනුම් තටාක දැක මා විමතියට පත් වූයෙමි. එම තටාක ඉතා දිගින් සහ පලලින් යුක්ත විය. වෛද්‍ය සිසුවෙකු ලෙස අධ්‍යනය ලබන විටදී ග්‍රීෂ්ම කාලයේදී අප ගංගා වල සහ විල් වල පිහිනුවෙමු. ද්නේපර් නදියේ පිහිනීමට ලැබීම මා ලැබූ එක් සුවිශේෂී අත් දැකීමකි.
වෛද්‍යවරයෙකු ලෙස ග්‍රාමීය ප්‍රදේශ වල සේවය කරන විට මා ඇළ දොල සහ වැව් වල පිහිනුවෙමි. වරක් මිනිපේ ප්‍රදේශයේ එක් වැවක මගේ බල්ලා සමග පීනන විට එක් වෘධ ගැමියෙකු වැව් ඉවුරට විත් " මහත්තයා ඔය වැවේ කිඹුලෙක් ඉන්නවා ; කිඹුලන්ට බල්ලෝ කියන්නේ හකුරු වගේ කීවේය" මේ නිසා මම වහාම ගොඩට ආවෙමි.
ජාතික ශිෂ්‍ය බළකායේ වෛද්‍යවරයා ලෙස සේවය කරන විට මම අනෙකුත් නිලධාරීන් සමග රන්ටැඹේ ඇළ දොල වල පිහිනුවෙමි. රන්ටැඹේ නොගැඹුරු ජලාශ බොහෝ ගනනක් තිබුනේය. එසේම ජලයද ඉතා සිසිල් විය. මේ හැර අප මිනිපේ නාගදීප ඇළටද බැස ඵිනුවෙමු. එහෙත් අප විශාල ජලාශ වලට බැස්සේ නැත. එලෙස රන්ටැඹේ විශාල ජලාශයක පිහිනූ ජාතික ශිෂ්‍ය බළකායේ කපිතාන්වරයෙකු වරක් කිඹුලෙකු විසින් ගොදුරු කර ගන්නා ලදි. පසුව මම මහියංගනය රෝහලට ගොස් මෙම නිලධාරියාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය කල වෛද්‍යවරයා හමු වූයෙමි. ඔහු කියූ පරිදි කිඹුලා විසින් මෙම නිලධාරියාගේ අත්ල සපා ඔහුව වතුර යටට ගෙන ගොස් මඩ වල හිර කොට තිබේ. ඒ නිසා මරණය සිදු වන්නේ දියේ ගිලීම නිසාය. කිඹුලා සිරුර කා දමා තිබුනේ නැත.
රන්ටැඹේ ජාතික ශිෂ්‍ය බළකා කඳවුරේ කුඩා පිහිනුම් තටාකයක් තිබූ අතර මම මෙම තටාකයේ පිහිනුවෙමි. වරක් දියවැඩියාවෙන් පෙළුණු නිලධාරියෙකු දියවැඩියා ඖෂධ ගෙන පිහිනූ අතර රුධිරයේ සීනි මට්ටම අඩු වීමෙන් පිහිනුම් තටාකයේ සිටියදී ඔහු විසංඥ වී තටාකයේ ගිලී මිය යන ලදි. මේ නිසා කඳවුර භාර නිලධාරී ගේ අවසරයකින් තොරව නිලධාරීන්ට මෙම පිහිනුම් තටාකයේ පිහිනීම තහනම් කරන ලදි.
කොලඹ ප්‍රදේශයේ සේවය කරන විට මම රාජකීය විද්‍යාලයේ පිහිනුම් තටාකයේ සාමාජිකයෙකු වූයෙමි. එසේම මගේ පුතා සමග මම පිහිනීම කලෙමි. මුල් කාලයේදී ඔහු වතුරට බිය වූවද පිහිනුම් උපදේශක එල් වී ප්‍රනාන්දු මහතා යටතේ පිහිනීමට ඉගෙන ගෙන පසුව මා සමග මුහුදේද පිහිනුවේය.
ඕස්ටේරලියාවේදී පැසිෆික් සාගරයට බැස පිහිනීමට මට අවශ්‍ය වූවද ජලය ඉතා ශීත නිසා එම අදහස අත් හැර දැමුවෙමි. එසේම ජලය ශීත නිසා මෙක්සිකෝ වලදීද මුහුදට බැසීමට අවසර නොවීය. එහෙත් ග්‍රීෂ්ම කාලයේදී මම උතුරු ඇමරිකාවේ තිබෙන විශාල විලක් වන ලේක් ඊරි වලට බැස පිහිනුවෙමි. ග්‍රීෂ්ම කාලයේදී වූවද එහි ජලය ශීත විය.
2002 පමණ කාලයේදී මම නාලන්දා විද්‍යාලයේ පිහිනුම් තටාකය දුටුවෙමි. එය ඉදි කර තිබෙන භූමිය අපගේ කාලයේ කුඩා කැලෑ රොදක් වූවා කියා මතකය. වර්තමානයේ විද්‍යාලීය සිසුන් වාසනාවන්තය. අප මෙන් වෙනත් විද්‍යාල වල පිහිනුම් තටාක වල සීමිත කාලයකට මැදිව පිහිනීමට ඔවුනට සිදු නොවේ. ඔවුන්ට තමන් ගේම පිහිනුම් තටාකයක් තිබේ. මේ නිසා ඉන් එල ප්‍රයෝජන ගැනීම ඔවුන් කල යුතුය.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
පිහිණුම් තටාකය තිබුනු තැන රබර් වත්තක් තිබුනා මතකද?මම හිතන්නේ කොළඹටම තිබුනු එකම රබර් වත්ත!
ReplyDeleteඔව් ලලිත්
Deleteසුපිරි සෙල්ලමක් තමා ඉතිං :)
ReplyDeleteඅනිවා
DeleteI think swimming is one of the best ways to relax your body and mind. Especially in the sea. Doctor have you had a chance to swim in the Maldives?
ReplyDeleteno i have never been to Maldives
Delete