Thursday, September 14, 2017

දන්ත චිකිත්සකවරියන්‍

 


අපගේ විද්‍යාලයේ දන්ත ශල්‍යාගාරයක් හෙවත් ඩෙන්ටල් එකක් තිබුනේය​. මෙම ඩෙන්ටල් එකේ සේවය කලේ දන්ත චිකිත්සකවරියන්‍ ය​. ඔවුන් අති විශාල සේවාවක් පාසල් ළමා ප්‍රජාව උදෙසා කළහ​. අහේතුවකට මෙන් ශ්‍රී ලංකාවේ දන්ත වෛද්‍ය සේවය ඉතා කුහක ලෙස මේ දන්ත චිකිත්සකවරියන්‍ විසින් දශක ගනනාවක් පුරා කල අනගි සේවය ගැන කතා නොකරති. සත්‍ය වශයෙන්ම මේ දන්ත චිකිත්සකවරියන්‍ අපගේ මෙන්ම අපට ඉහත පරම්පරාවේ දන්ත සෞඛ්‍ය රැක ගැනීම සඳහා අතිශයන්ම දායක වූහ​. 

හලාවත රෝහලේ නිර්වින්දන වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන විටදී මම සෙනසුරාදා දින වල උදෑසන විශේෂඥ දන්ත වෛද්‍ය ගාමිනී නවරත්න මහතා ගේ රෝගීන් නිර්වින්දනය කලෙමි. මෙම රෝගීන් අතර පාසල් දරුවන් යම් ප්‍රමාණයක් ද වූ අතර ඔවුන් ගේ දත් බෙහෙවින්ම දිරා තිබුනේය​. මේ ළමුන්ට දන්ත වෛද්‍ය පහසුකම් ලැබී තිබුනේ නැත​. මේ ළමුන් සමග බැලීමේදී අප වාසනාවන්ත වූයෙමු. අපට පාසලේදී නිති පතා දන්ත වෛද්‍ය පහසුකම් ලැබුණි. දන්ත චිකිත්සකවරියන්‍ අපට ප්‍රතිකාර නොකරන්නට අපගේ දත්ද නරක් වී යාමේ ඉඩ ප්‍රස්ථාව තිබුණි. මේ නිසා අප මෙම දන්ත චිකිත්සකවරියන්‍ට නය ගැති වන්නෙමු. 

අපගේ ඩෙන්ටල් එකේ සේවය කල දන්ත චිකිත්සකවරියන්‍ ළමුන්ට අතිශයින්ම  කරුණාවන්ත වූහ​. සත්‍ය වශයෙන් කියන්නේ නම් මේ දන්ත චිකිත්සකවරියන්‍ පාසලේ බොහොමයක් ගුරුවරියන්ට වඩා ළමුන්ට ආදරය සෙනෙහස පෙන්වූහ​. දත් පිරවීමේදී හා ගැලවීමේදී ඉතා ඉවසිලිවන්ත වෙමින් ආදරයෙන් කරුණාවෙන් කතා කොට ළමුන් ගේ බිය පහ කළහ​. ළමුන් මේ දන්ත චිකිත්සකවරියන්‍ට කතා කලේ ඇන්ටි කියාය​. 

පාසලේ දන්ත චිකිත්සක සේවය කෙරුනේ ඉතා ක්‍රමාණුකූලවය​. ප්‍රාථමිකයේ සිටි සෑම ළමයෙකුටම රෝස පැහැති කාඩ් එකක් තිබුනේය​. සෑම මාස 4 -6 වරක් අපගේ දත් පරික්‍ෂාව කරන ලදි. මෙම පරික්‍ෂාව කෙරුනේ අපූරු ලෙසටය​. මුලින්ම ඩෙන්ටල් එකට එන්නට කියා ළමුන් තුන් හතර දෙනෙකුට පණිවිඩ ලැබෙයි. ඔවුන් ඩෙන්ටල් එකට ගිය විට දන්ත චිකිත්සකවරිය ඉතා ආදරයෙන් කරුණාවෙන් කතා කොට දත් බලන්නීය​. දත් පිරවීම් අවශ්‍ය විටදී දත් පුරවන යන්තරය කකුලෙන් පාගමින් දත් පුරවන්නීය​. මෙම දත් පිරවීම වේදනාත්මකය​. ළමුන් නිබඳවම දඟලති. එහෙත් මේ ඉවසිලිවන්ත දන්ත චිකිත්සකවරියන් ළමුන්ට වේදනාව අවම වන ලෙසින් දත් පිරවීම කරති. 

දත් පිරවීම සිදු කිරීමෙන් පසු තවත් ළමුන් දෙතුන් දෙනෙකුගේ කාඩ් දත් පිරවූ ළමුන් අතට දී පන්ති වලට ගොස් ඔවුනට දෙන්න කියා කියති. එවිට ළමුන් අදාල පන්ති වලට ගොස් ගුරුවරියගේ අතට මෙම රෝස පැහැති කාඩ් දෙති . ගුරුවරිය කාඩ් එකේ නම බලා දත් පරික්‍ෂාව අවශ්‍ය කෙරෙන ළමුන්ට වහාම දන්ත චිකිත්සාගාරයට යන්නට කියා කියති. මෙලෙස එක් දිනකදී දන්ත චිකිත්සකවරියක් ළමුන් බොහෝ ගනනක් පරික්‍ෂා කරති. අපගේ දන්ත චිකිත්සාගාරයට අවට පාසල් වල ළමුන් ද ආවෝය​. මෙම ළමුන් ද චිකිත්සකවරියන් පරික්‍ෂා කළහ​. ඇත්ත වශයෙන් මෙම දන්ත චිකිත්සකවරියන් ඉතා කැප වීමෙන් මහන්සිවී තම සේවය කල බව කිව යුතුය​. 

සමහර අවස්ථා වලදී දන්ත චිකිත්සකවරියන් නරක් වූ දත් ඇති ළමුන් ගේ දත්  ගලවති. ඊට පෙර වේදනා නාශක ඉන් ජෙක්‍ෂන් එකක් ගසනු ලැබේ. ඉන් පසු අඞුවකින් දත අල්ලා ගලවා දමනු ලබයි. දත ගලවන විට තවත් දන්ත චිකිත්සකවරියක් මෙන්ම  ළමයෙකුගේ අම්මා කෙනෙක් කොල්ලාව අල්ලාගෙන සිටින්නේ ඔහු දැඟලීම වලක්වනු සඳහාය​. වේදනාවෙන් සහ භීතියෙන් මොර දෙන කොල්ලාට සැනසිලි වදන් කියන දන්ත චිකිත්සකවරිය අඞුවෙන් දත ගලවා එය බෙලෙක් කෝප්පයකට දමන්නීය​. එවිට අවශේශ කොල්ලෝ ලේ සහ කෙල වලින් සපිරි එම කෝප්පය දෙස ඈතින් සිට බලති. දත ගැලවූ පසු කොල්ලා සන්සුන් වෙයි. දත ගැලවූ ස්ථානයට පුළුන් ගුලියක් තබන දන්ත චිකිත්සකවරිය කොල්ලාට තම මුදල් වලින් සත දහයක් දෙන්නේ අයිස් ක්‍රීම් එකක් කෑමටය​. 

නාලන්දේ ඩෙන්ටල් එකේ සිටි දන්ත චිකිත්සකවරියන්‍ අතරින් පර්ල් ඇන්ටි මට සිහිපත් වෙයි. ඇය ඉතා කාරුණික තැනැත්තියකි.  පර්ල් ඇන්ටි  දත් පුරවන විට මම ඇය අසල සිටියෙමි. ඇය මට දත් විදින කටු බහාලන හිස් ප්ලාස්ටික් කොපු දෙන්නීය​. මේවා එකතු කරගෙන ගෙදර යන මම ඉන් පසු මේ ප්ලාස්ටික් කොපු වලින් සෙල්ලම් කරමි. සමහර විට වැඩ කිරීම නිසා වෙහෙසවී සිටින පර්ල් ඇන්ටි වතුර උණු කොට තේ එකක් බොන්නීය. පර්ල් ඇන්ටි තේ බොන විට මටද හකුරු කෑල්ලක් ලැබෙයි. 

වරක් 1974 වසරේ දෙකේ පන්තියේ සිටින විට මම පාසැලෙන් පසුව අපගේ පන්ති පසුපස භූමියට ගොස් තාප්පයෙන් එහා පාරට වැටෙන සේ ගල් ගැසුවෙමි. මට මේ ක්‍රියාව ඉගැන්වූයේ සරත්න රත්න හෙවත් ටිප් ටොප් විසිනි. මෙසේ වරක් මම ගල් ගසන විට සරමක් ඇඳි දාමරිකයෙකු බඳු මිනිසෙක් පාසැලට කඩා වැදී මා පසුපස එලවාගෙන ආවේය​. බියගත් මා ඩෙන්ටල් එකට දිව ගොස් දත් පුරවමින් සිටි පර්ල් ඇන්ටි ගේ පසුපස සැඟවූනෙමි. දන්ත චිකිත්සාගාරය තුලට ඒමට උත්සහ නොගත් මිනිසා දොරකොඩ අසල රැඳී සිටිමින් බොහෝ වේලාවක් යන තෙක් ම​ට දෙස් දෙවොල් තැබීය​. පසුව පර්ල් ඇන්ටි මාව සුරක්‍ෂිතව බසයකට නැංවීම සඳහා වෙනත් සිසුවෙකුගේ මවකට භාර දුන්නාය​. 

පර්ල් ඇන්ටි විසින් 1973 වසරේදී මගේ දතක්  පිරවූවාය​. මෙම ශක්තිමත් බදාමය 2016 වසර තෙක් තිබූ අතර එම වසරේදී කැනඩාවේදී දන්ත වෛද්‍ය බහීරදන් මහතා එම පැරණි බදාමය ගලවා අළුත් බදාමයක් දැමුවේය​. එම පැරණි බදාමය ගැලවී යත්ම මට පර්ල් ඇන්ටි සිහිවී භාවාත්මක දුකක් දැණුනි. 

1997 වසරේ මම මිනිපේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක ලෙස සේවය කරන විට මගේ දතක වේදනාවක් ආවේය​. මම දත පෙන්වීම සඳහා මහියංගන රෝහලේ සේවය කරන දන්ත වෛද්‍යවරයෙක් වෙත ගියෙමි. මෙම දන්ත වෛද්‍යවරයා මගේ දත බේරා ගත නොහැකි බවත් එය ගලවා දැමිය යුතු බවත් කීවේය​. එහෙත් දත ගැලවීමට මම එක​ඟ නොවූයෙමි. ඉන් පසු මම හසලක දන්ත චිකිත්සකවරිය ලෙස සේවය කරන නිලන්තී වතුලියැද්ද මෙනෙවිය වෙත ගියෙමි. ඇය මගේ දත පුරවා දැමුවාය​. ඉන් පසු දතේ වේදනාව ඇති නොවීය​. මේ දක්වා එම දත නිරෝගීව තිබේ. සමහරක් විට සූර්‍ය එළියට නොපෙනෙන දේවල් කුඩා පහන් එළියට පෙනෙති. 

යුද හමුදා රෝහලේ සේවය කරන ලද කාලයේ මම දත් පිරවීම සඳහා ගියේ එම රෝහලේම සේවය කල මේජර් වෛද්‍ය ඇන්ජලෝ ලඟටය​.  ඇන්ජලෝ ඉතා දක්‍ෂ දන්ත වෛද්‍යවරයෙකි. එසේම ඉතා හිත හොඳ මිනිසෙකි. පසු කාලයක ඇන්ජලෝ ඕස්ට්‍රේලියාවේ පදිංචියට යන ලදි. ඇන්ජලෝ පිටරට යාම නිසා මට ස්ථිර දන්ත වෛද්‍යවරයෙක් නොවීය​. මෙම කාලයේ ඉතා දක්‍ෂ අත්දැකීම් බහුල දන්ත චිකිත්සකවරියක් වූ කරුණා ගමගේ මිය හඳුනා ගැනීමට හැකි විය​. ඇය ඉතා සාර්ථකව මට ප්‍රතිකාර කලාය​. මේ නිසා මගේ බිරිඳ මෙන්ම දරුවාද දන්ත ප්‍රතිකාර සඳහා කරුණා ගමගේ මිය වෙත යාම ඇරඹූහ​. 

නවක දන්ත වෛද්‍යවරු ක්‍ෂේත්‍රයට ඒම නිසා දන්ත චිකිත්සකවරියන්‍ ගේ සේවය ක්‍රමක් ක්‍රමයෙන් අභහාවයට යාම ඇරඹුනි. නමුත් දන්ත චිකිත්සකවරියන්‍ තුල තිබූ කැපවීම , කරුණාවන්ත බව , ඉවසීම නවක දන්ත වෛද්‍යවරු විසින් අධ්‍යනය කොට ඒවා තමන් තුල වගා කර ගත යුතුය​. දන්ත වෛද්‍ය විද්‍යාව පිළිබඳව දැණුම සහ උසස් පුහුණුව තිබූ පමනින් කෙනෙකු හොඳ දන්ත වෛද්‍යවරයෙකු වෙන්නේ නැත​. පර්ල් ඇන්ටි , කරුණා ගමගේ මිය වැනි  දන්ත චිකිත්සකවරියන්‍ තුල තිබූ මානව දයාව​, වෘත්තීය කැපවීම නව පරම්පරාවේ දන්ත වෛද්‍යවරු තුල දකින්නට මම උත්සහ කරමි. එහෙත් සමහර දන්ත වෛද්‍යවරු තුල එම ගුණාංග දැකීමට නොමැති බව කණගාටුවෙන් යුතුව මම ප්‍රකාශ කරමි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 


14 comments:

  1. ඔබ විස්තර කර ඇති අත්දැකීම මාද අතීතය කරා රැගෙන ගියේය. අපගේ පාසැලේ දන්ත ශල්‍යාගාරය විවෘත කල පසු සියලුම සිසුන්ට ඔවුන්ගේ දන්ත සෞඛ්‍යය මනාව රැක ගැනීමට අවශ්‍ය උපදෙස් සහ පිළියම් ලැබුණි. 1960 දී පමණ අපේ පාසැලේ සිටි ඉතා ලක්ෂණ දත් හෙදි මෙනෙවියක් පිරවූ මගේ දත් දෙකක් තවමත් ඒ පිරවුම් වලින්ම සුරැකිව පවතී. දොස්තර ජයතුංගයන් ලියා ඇති පරිදිම මේ චිකිත්සකවරියෝ අපිට ඉතා කරුණාවෙන් සැලකුහ. මාගේ දත් පිරවීම භාර ගත් හෙදිය දත් පුරවන්නට කලින් මා හා විහිලු කතා කියමින් මාගේ නොසන්සුන් බව නැති කළ ආකාරය මට තවමත් මතකය. පාසල් දන්ත චිකිත්සාගාරයන් තවමත් තිබෙන්නේදැයි මා දන්නේ නැත. නමුත් ඒවායින් සිසු සිසුවියනට නොමිළේ සැපයු සේවය නම් කෙදිනකවත් මිළ නොකලැකි උතුම් සේවයක් බව නම් මම දනිමි. අපගේ මතකය අවදි කොට ඒ සුන්දර අතීතයට නැවතත් ගෙන යාම ගැන ඔබට බොහොම පිං.

    ReplyDelete
  2. //පර්ල් ඇන්ටි විසින් 1973 වසරේදී මගේ දතක් පිරවූවාය​. මෙම ශක්තිමත් බදාමය 2016 වසර තෙක් තිබූ අතර//
    2016 වසර වන තුරු තිබුණානම් මෙය ස්ථිර දතක් විය යුතුය. 1973දී ඔබේ වයස වසර 7ක් පමණ විය යුතු නිසා මෙය කිරිදත් හැලී මුලින්ම වාගේ පැමිණි දත් වලින් එකක් විය යුතුය. එහෙමනම් දත් එන පරක්කුවටම නරක් කරගෙන වගේ...:) මමත් ඔය වයසේදී දත් ගණනක් පාසලේ දන්ත චිකිත්සාගාරයේදී ගැලවීම හෝ පිරවීම කළා. හැබැයි ඒ කිරිදත්. අලුත් දත්නම් කිරිදත් වලට වඩා ටිකක් හොඳින් පරිස්සම් කරගත්තා.

    ReplyDelete
  3. මා නමවෙනි ශ්‍රේණිය දක්වා ඉගෙන ගත් පාසල් තිබුණු ගම්පහ අධ්‍යාපන කොට්ඨාශයට ම පාසල් දන්තාගාරයක් තිබුණේ ගම්පහ රත්නාවලි බාලිකාවේ පමණයි.

    ඒ ළමුන් දහස දහස් සංඛ්‍යාවකට. මගේ මව මා එහි රැගෙන ගොස් තියෙනවා. මා හිතන විදියට එහි සේවය කලේ දන්ත හෙතියක්. දන්ත චිකිත්සකවරියන්‍ කියන්නේ එයට වඩා වැඩි පුහුණුවක් (මහරගම) ගත් අය බවයි මගේ අදහස.

    පසුව ආනන්දයට පැමිණි පසු එහි දන්තාගාරයක් තිබුණත්, මා කිසි දිනයක එහි හොස් නෑ. එවිට මා ළමා වයස පැනලා නිසා විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. රසික
      මුල් කාලයේ මේ සේවාව කල අය හැදින්වුනේ පාසල් දත් හෙදියන් ලෙස.පසුව ඒ නම පාසල් දන්ත චිකිත්සක වරියන් ලෙස වෙනස් කලා. හැමෝම මහරගම පුහුණු වුන අය.

      Delete
  4. /* මම දත පෙන්වීම සඳහා මහියංගන රෝහලේ සේවය කරන දන්ත වෛද්‍යවරයෙක් වෙත ගියෙමි. මෙම දන්ත වෛද්‍යවරයා මගේ දත බේරා ගත නොහැකි බවත් එය ගලවා දැමිය යුතු බවත් කීවේය​. එහෙත් දත ගැලවීමට මම එක​ඟ නොවූයෙමි. */

    ඇත්තටම මා ලංකාවේ දී ප්‍රතිකාර ගත් සෑම දන්ත වෛද්‍යවරයෙකු ම පාහේ කළේ එක එල්ලේම දත් ගැලවීමට යෝජනා කිරීමයි. අඩු කාලයකින් ලෙඩා ගෙදර යැවිය හැකි නිසා විය යුතුයි.

    මගේ දත් කිහිපයක් ම ඒ ආකාරයට නැතිවුණා. මා ඒ කළ මෝඩ ක්‍රියාව මට තේරුණේ පසුවයි.


    ReplyDelete
    Replies
    1. දතක් ගැලවිය යුත්තේ අවසාන ඔප්‍ෂන් එක ලෙසටයි

      Delete
  5. හොඳ අගය කිරීමක් රුවන්. පාසල් දන්ත චිකිත්සකවරියන් හෙවත් දත් හෙදියන් ඉතා වටිනා සේවාවක් පාසල් දරුවන් වෙනුවෙන් කළා. මගේ නැන්දා ඒ පුහුණුව ලද පලමු කණ්ඩායම් වලින් එකක සාමාජිකාවක්. මම ගමේ පාසලට යන කාලයේ මේ සේවාව ලබා ගන්න ගියේ මහරගම තිබුන පාසල් දත් හෙදියන් පුහුණු කල අභ්‍යාස විදුහලට මේ සේවාව ආරම්භ කරන්න ආධාර දීලා තියෙන්නේ New Zealand වලින්. දත් හෙදි ඇබෑසි විදුහල කියලා බෝඩ් එක ගහලා තිබුණා තවම මතකයි. එකම ප්‍රශ්නය වැඩි හරියක් ඉන්නේ පුහුණු වෙන්න අය නිසා සමහර වෙලාවට ටිකක් රිදෙනවා. හැබැයි රුවන් කියනවා වගේ වැඩිම වැඩි දෙනෙක් බොහොම කරුණාවන්ත අය.ජාගොඩ කියලා බොහොම ලස්සන ගෑනු ළමයෙක් දාපු මර්කරි පිලින් එකක් තවම මගේ දතක තියෙනවා කිසිම කරදරයක් නොදී. අවුරුදු හතළිස් 5ක් විතර වයසයි ඒකට. පස්සේ කාලවල nanda කොළඹ අවට ඉස්කෝලවල dental clinic වලට මාරු වෙලා ආවහම එයා වැඩකරන තැනට එක්කගෙන ගිහින් දත් බලලා ඕන දේවල් කළා.නැන්දා 1970/80 කාලයේ රෝයල් එකේ සහ මහානාමේ හිටියා. අපේ කාලයේ නාලන්දාවේ ඩෙන්ටල් එකක් තිබුනේ නෑ.ආනන්දෙට තමයි ගියේ. මේ වටිනා සේවාවට පස්සේ කාලෙක දත් දොස්තරලා ලෙඩක් දැම්මා. පාස් අවුට් වන දත් දොස්තරලාට රජයේ රෝහල් වල පත්වීම් නොදී ඉදලා ඒ අයව මේ දත් හෙදියන් වෙනුවට දැම්මා වගේ මට මතකයි.අලුතින් දත් හෙදියන් පුහුණු කරනවද දන්නෙ නෑ දැන්. ෝ

    ReplyDelete
    Replies
    1. New Zealand වලින් scholarship පවා දුන්නා මේ දන්ත චිකිත්සකවරියන්ට. අලුතින් ආව දන්ත වෛද්‍යවරුන්ට දන්ත චිකිත්සකවරියන් ලඟ තිබූ කොලිටිය නම් තිබ්බේ නෑ

      Delete
  6. මේ ලිපිය නිසා මාද අතෙතයට ගියාට අතර අප 2 වසරේ සිටින විට අප පාසලේ dental එකක් නොතිබුණු හෙයින් අසළ පාසලේ dental එකට ළමයින් රැගෙන ගොස් දත් සුද්ද කළ අකාරය තවාමත් මතකය. ඇත්තටම ලිප්පියෙ සඳහා පරිදි එම දන්ත චිකිත්සකවරියන් බොහෝ කරුණාවන්තය.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. දන්ත චිකිත්සකවරියන් බොහෝ කරුණාවන්තය. ///////////////////// true

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook