Saturday, September 30, 2017

අපේ කාලයේ වෛද්‍යවරයෙක්


වෛද්‍ය වසන්ත දිසානායක  කෙලින් කතා කරන කෙලින් වැඩ කරන අවංක වෛද්‍යවරයෙකි. ඔහු පිලිකා රෝහලේ සිදු වෙමින් තිබූ මිලියන ගනනක ඔෟෂධ වංචාවන්ට විරුද්ධවී ඒ ගැන හෙලි කලේය​. එහෙත් හොරුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වූයේ නැත​. හොරුන් ගේ මාෆියාව විසින් වෛද්‍ය වසන්ත දිසානායකව මහරගම පිලිකා රෝහලේ සිට කෑගල්ල රෝහලට මාරු කර දමන ලදි. එය ලංකාවේ අපේක්‍ෂා කල යුතු තත්වයකි.
සන්නිවේදන කුසලතා මෙන්ම සහකම්පනීය අවබෝධයකින් යුතුව රෝගීන් කෙරෙහි කරුණාවෙන් වැඩ කරන වෛද්‍ය වසන්ත දිසානායක කොලඹ ආනන්ද විද්‍යාලයේ නිෂ්පාදනයකි. මාගේ මව වූ විනිතා ජයතුංග මහත්මිය ආනන්ද විද්‍යාලයේ ප්‍රාථමික ශ්‍රේනියේදී වෛද්‍ය වසන්ත දිසානායකට උගන්වා තිබුනු බව මා දැනගත්තේ මෑතකදීය​. ඔහු මගේ මවගේ අතිජාත ගෝලයෙකි.
කොලඹ වෛද්‍ය පීඨයෙන් අධ්‍යාපනය ලබා රෝගී සත්කාරයට පැමිනි වසන්ත දිසානායකලා වැනි වෛද්‍යවරු අද දුලබය​. සහකම්පනීය අවබෝධය අවම මුදල් දේවත්වයෙන් පුදන ඊගෝ එක වෙනුවෙන් රෝගීන් ගේ ජීවිත අනතුරේ හෙලන වෛද්‍යවරු අතර වසන්ත දිසානායකලා යනු ජීවක පරපුරේ වෛද්‍යවරු වෙති. එවැනි වෛද්‍යවරුන් ගේ සේවය අගය කිරීම අපගේ යුතුකමකි.

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Friday, September 29, 2017

ජනාධිපති තාත්තා පොතෙන් පිටුවක්

 


...... තාත්තා නොසන්සුන් තත්වයකින් සිටි දිනයක් මට මතකය​. ඔහු සිටියේ ඒ මේ අත දුරකථනයෙන් කතා කරමිනි. මල්ලී  ගංජා පානය කොට මාළු මාළු හෝටලයේදී පොලිස් නිලධාරියෙකුගේ පුතෙකුට පහර දී තිබුනේය​. මෙම ක්‍රියාව නිසා තාත්තා උරණ විය​. කෙසේ නමුත් අධිකරණ වෛද්‍යවරයා සහ පොලිසිය මගින් මෙම  සිද්ධිය සමථ වන ආකාරයට කටයුතු කරන ලදි.  නමුත්  ටික කාලයකට පසුව  ඔහු බීමතින් සමාජ ශාලාවකට ගොස් එහි වීදුරු කඩා දැමුවේය​. මෙම දෙවන සිද්ධිය ආරංචි වූ විට තාත්තා ගත් කටටම  කීවේ මූ නම් හැදෙන්නේ අර රාජුවා  වගේ කියාය​. .........

Thursday, September 28, 2017

පිහිනුම් සමාජය

 


මුලින්ම මා පිහිනුම් තටාකයකට බැස්සේ වයස අවුරුදු පහේදී පමණය​. ඒ  ආනන්ද විද්‍යාලයේ පිහිනුම් සමාජය හරහාය​. මාගේ වැඩිමහල් සොහොයුරන් ආනන්ද විද්‍යාලයේ පිහිනුම් සමාජයේ සාමාජිකයන් වීම නිසා පෙර පාසල් ළමයෙකු ලෙස මමද සාන්ත ජෝසෆ් විද්‍යාලයේ පිහිනුම් තටාකයට බැස ගැට්ට අල්ලාගෙන සිටියෙමි. මාගේ අත් දෙපස කහ පාට පුම්බන ලද විංස් කියා හඳුන්වන රබර් බැළුම් දෙකක් තිබූ නිසා මම තටාකයේ නොගිලී පාවුනෙමි. ඒ කාලයේ පිහිනුම් උපදේශකයා වූයේ ටෙම්ප්ලර් මහතාය​. ඔහු ඉතා කරුණාවන්ත පුද්ගලයෙකු වූ අතර සිසුන්ට පිහිනීම ඉගැන්වූයේය​. තවද චුයිංගම් බබල්ගම් වැනි  ඒකාලයේ ඉතා විරළ දේවල් ද ළමුන්ට ගෙන එන නිසා ටෙම්ප්ලර් මහතාට ළමෝ ඇළුම් කලහ​. නාවික හමුදාපති කරන්නාගොඩ මහතා පවා ටෙම්ප්ලර් මහතා යටතේ පුහුණු වූ බව මම සිතමි. අවාසනාවකට මෙන් 1972 වැනි කාලයක ටෙම්ප්ලර් මහතා පැදවූ මෝටර් සයිකලය බසයක හැපී ඔහු ජීවිතක්‍ෂයට පත් විය​. ඉන් පසුව ආනන්දා විද්‍යාලයේ පිහිනුම් උපදේශයා වූයේ ඔලිම්පික් පවා ගිය සේන් මහතාය​. ඔහු දීර්ඝ  කාලයක් පිහිනුම් උපදේශකයෙකු ලෙස කටයුතු කල අතර එක් දහස් නවසිය අනූ ගනන් වලදී පිහිනුම් ඉසව්වකදී  හෘධ ආබාධයක්  වැළඳී මිය යන ලදි. 

නාලන්දා විද්‍යාලයේ පිහිනුම් සමාජය ආරම්භ කරන ලද්දේ ආනන්දා විද්‍යාලීය පිහිනුම් සමාජය ආරම්භ කොට බොහෝ කාලයකට පසුවය​. එකල නාලන්දා විද්‍යාලයට පිහිනුම් තටාකයක් නොවූ නිසා සාන්ත ජෝසෆ් විද්‍යාලයේ පිහිනුම් තටාකය සෙනසුරාදා දින වල පස්වරු 2 සිට 3 දක්වා භාවිතා කරන ලදි. පිහිනුම් සමාජය භාර ආචාර්‍යවරයා වූයේ සිසිල් ගමගේ මහතාය​. 

1979 දී මම නිල වශයෙන් නාලන්දා විද්‍යාලයේ පිහිනුම් සමාජයට බැඳුනෙමි. ඒ කාලයේදී අපගේ පුහුණුකරු වූයේ අබේදාස මහතාය​. පසු කාලයක මට අබේදාස මහතා ඔටර්ස් ක්ලබ් එකේදී හමු විය​. ඒ වන විට ඔහු මහළුව සිටි මුත් ගතින් ශක්තිමත් විය​. නාලන්දා විද්‍යාලයේ ජේෂ්ඨ සිසුන් දෙදෙනෙකු විද්‍යාලීය පිහිනුම් සමාජයේ සම්බන්ධීකරණ කළහ​. එක් ජේෂ්ඨ සිසුවෙක් තමන්ට වඩා පිහිනීමට දස්කම් ඇති පුද්ගලයන් කපා දැමීමත් ඔවුනට පළා බෙදීමත් කලේය​. මේ නිසා හොඳ පිහිනුම්කරුවන් සංගමය හැර ගියහ​. එසේම මේ පුද්ගලයා විද්‍යාලීය පිහිනුම් කාමරයේ  තුනී ලෑලි වලින් බිත්ති ගසා වෙන් කොට එක් පැත්තක ඇඳක් ද තැබීම නිසා ඔහු විදුහල්පති ධර්ම ගුණසිංහ මහතාගේ දෝෂාරෝපණයට ලක් විය​. එසේම වහාම මෙම ඇඳ පිහිනුම් කාමරයෙන් ඉවත් කරන ලෙස විදුහල්පතිතුමා ඔහුට නියෝග කරන ලදි.  

මෙම ජේෂ්ඨ සිසුවාගේ අනාරක්‍ෂිත මානසිකත්වය නිසා පිහිනුම් සමාජය පරිහානියට පත් වූවද කණිෂ්ඨ පිහිනුම්කරුවන් වූ අප මෙම දේශපාලනයන්ට සම්බන්ධ නොවී පුහුනුවීම් කලෙමු. අපගේ ශ්‍රේණි වල සිටි ශාන්ත ඉතා හොඳ ඩයිවර් කෙනෙකු වූයේය​. ඔහු විද්‍යාලන්තර තරඟ වලටද සහභාගි වී ජය ලැබීය​. අපද විද්‍යාලන්තර තරඟ වලට සහභාගි වූයෙමි. පිහිනුම් තරඟ වලින් මම සහතිකපත් කිහිපයක්ද දිනා ගත්තෙමි. මේ කාලයේදී මම වැල්ලවත්ත කිංරොස් වෙත ගොස් මුහුදේ පිහිනුවෙමි. 

මුහුදේ පිහිනීම ගත සිත උද්දීපනය කරන අත්දැකීමකි. එහෙත් අණතුරුදායකය​. හය මසකට වරක් හෝ පිහිනීමට ගිය අයෙකු ගිලී මළ හෙයින් අප මුහුදේ පිහිනුවේ ඉතා ආරක්‍ෂාකාරී අන්දමිනි.  කිංරොස් මුහුදේ දියේ ගිලී ගිය නෞකාවක් තිබේ. අප මුහුදේ දුරට පීනා මෙම නැවටද ගොඩ වූයෙමු. නැව කොරල් පරයක සිරවී තිබෙන අතර මෙම කොරල් පරයට නැගිය හැකිය​. එහෙත් ඉකිරියන් සිටින නිසා කකුල් තුවාල වේ. මා ලඟ ෆ්‍රොග් ලෙග්ස් දෙකක් සහ ඇස් වලට වතුර නොයන පිහිනුම් කණ්නාඩි දෙකක් තිබූ නිසා ඇතැම් දින වලදී මම කොරල් පරයට නැග්ගෙමි. 

වරක් ගැඹුරු මුහුදේ පීනමින් සිටින විට මම අත්දැකීම් කීපයකට මුහුණ දුන්නෙමි. මා සතුව ගොගල්ස් දෙකක් තිබූ නිසා මම කිමිදීමද කලෙමි. අඩි 10 - 15 පමණ යටට කිමිදෙන අප මුහුදු පතුලේ තිබෙන ආශ්චර්‍යට වශී වූයෙමු. වරක් එසේ කිමිදෙන විට මුහුදු පතුලේ සිටි ලොකු මඞුවෙකු මම දුටුවෙමි. රොඩ්නි ජොන්ක්ලාස් ගේ වාලම්පූරි පොත කියවා මඞු වල්ගයෙන් පහර ලැබූ මුතු කිමිදෙන්නන් අත් දකින වේදනාව සිහිපත් වූ හෙයින් මම වහාම දිය මතුපිටට ආවෙමි. 

තවත් වරක් මම අඩි 40 - 50 පමණ ගැඹුරු මුහුදේ පීනමින් සිටින විට සුදු තරමක් පාරදෘෂ්‍ය වස්තුවක් මා අසලින් ගියේය​. මෙම වස්තුව අඩි අටක පමණ උසකින් යුක්ත වූ අතර දිගින් අඩි 10 පමණ විය​. මේ විශාල මත්සයෙකු බව සැක කල මා තැති ගත්තෙමි. මා බිය වූයේ තල්මස් මෝරුන්ටය​. මේ කාලය වන විට ජෝස් චිත්‍රපටයද නරඹා තිබූ නිසා භීතිය දෙගුණ තෙගුණ විය​. එහෙත් මේ වස්තුව මත්සයෙකු නොව විශාල පොලිතීන් කැබැල්ලක් බව අවබෝධ වීම නිසා බිය පහව යන ලදි. 

පිහිනුම් සමාජයේ තිබූ අර්බුධකාරී තත්වයන් නිසා වසර කිහිපයකදී මම පිහිනුම් සමාජයෙන් ඉවත් වූ නමුත් පිහිනීම නොකඩවා කලෙමි. මේ කාලයේදී මාගේ දෙමාපියන් විසින් සාන්ත ජෝසෆ් තටාකයේ ෆැමිලි මෙම්බර් ෂිප් ලබා ගත් නිසා මම සතියේ දිනවල සවස පවුලේ සාමාජිකයන් සමග ගොස් පිහිනුවෙමි. 

සෝවියට් දේශයට ගිය කාලයේ එහි තිබූ පිහිනුම් තටාක දැක මා විමතියට පත් වූයෙමි. එම තටාක ඉතා දිගින් සහ පලලින් යුක්ත විය​. වෛද්‍ය සිසුවෙකු ලෙස අධ්‍යනය ලබන විටදී ග්‍රීෂ්ම කාලයේදී අප ගංගා වල සහ විල් වල පිහිනුවෙමු. ද්නේපර් නදියේ පිහිනීමට ලැබීම මා ලැබූ එක් සුවිශේෂී අත් දැකීමකි. 

වෛද්‍යවරයෙකු ලෙස ග්‍රාමීය ප්‍රදේශ වල සේවය කරන විට මා ඇළ දොල සහ වැව් වල පිහිනුවෙමි. වරක් මිනිපේ ප්‍රදේශයේ එක් වැවක මගේ බල්ලා සමග පීනන විට එක් වෘධ ගැමියෙකු වැව්  ඉවුරට විත් " මහත්තයා ඔය වැවේ කිඹුලෙක් ඉන්නවා ; කිඹුලන්ට බල්ලෝ කියන්නේ හකුරු වගේ කීවේය​" මේ නිසා මම වහාම ගොඩට ආවෙමි. 

ජාතික ශිෂ්‍ය බළකායේ වෛද්‍යවරයා ලෙස සේවය කරන විට මම අනෙකුත් නිලධාරීන් සමග රන්ටැඹේ ඇළ දොල වල පිහිනුවෙමි. රන්ටැඹේ නොගැඹුරු ජලාශ බොහෝ ගනනක් තිබුනේය​. එසේම ජලයද ඉතා සිසිල් විය​. මේ හැර අප මිනිපේ නාගදීප ඇළටද බැස ඵිනුවෙමු. එහෙත් අප විශාල ජලාශ වලට බැස්සේ නැත​. එලෙස රන්ටැඹේ විශාල ජලාශයක පිහිනූ ජාතික ශිෂ්‍ය බළකායේ කපිතාන්වරයෙකු වරක් කිඹුලෙකු විසින් ගොදුරු කර ගන්නා ලදි. පසුව මම මහියංගනය රෝහලට  ගොස් මෙම නිලධාරියාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය කල වෛද්‍යවරයා හමු වූයෙමි. ඔහු කියූ පරිදි කිඹුලා විසින් මෙම නිලධාරියාගේ අත්ල සපා ඔහුව වතුර යටට ගෙන ගොස් මඩ වල හිර කොට තිබේ. ඒ නිසා මරණය සිදු වන්නේ දියේ ගිලීම නිසාය​. කිඹුලා සිරුර කා දමා තිබුනේ නැත​. 

රන්ටැඹේ ජාතික ශිෂ්‍ය බළකා කඳවුරේ කුඩා පිහිනුම් තටාකයක් තිබූ අතර මම මෙම තටාකයේ පිහිනුවෙමි. වරක් දියවැඩියාවෙන් පෙළුණු නිලධාරියෙකු දියවැඩියා ඖෂධ ගෙන පිහිනූ අතර රුධිරයේ සීනි මට්ටම අඩු වීමෙන් පිහිනුම් තටාකයේ සිටියදී ඔහු විසංඥ වී තටාකයේ ගිලී මිය යන ලදි. මේ නිසා කඳවුර භාර නිලධාරී ගේ අවසරයකින් තොරව නිලධාරීන්ට මෙම පිහිනුම් තටාකයේ පිහිනීම තහනම් කරන ලදි. 

කොලඹ ප්‍රදේශයේ සේවය කරන විට මම රාජකීය විද්‍යාලයේ පිහිනුම් තටාකයේ සාමාජිකයෙකු වූයෙමි. එසේම මගේ පුතා සමග මම පිහිනීම කලෙමි. මුල් කාලයේදී ඔහු වතුරට බිය වූවද පිහිනුම් උපදේශක එල් වී ප්‍රනාන්දු මහතා යටතේ  පිහිනීමට ඉගෙන ගෙන පසුව මා සමග මුහුදේද පිහිනුවේය​. 

ඕස්ටෙ‍්‍රලියාවේදී පැසිෆික් සාගරයට බැස පිහිනීමට මට අවශ්‍ය වූවද ජලය ඉතා ශීත නිසා එම අදහස අත් හැර දැමුවෙමි. එසේම ජලය ශීත නිසා මෙක්සිකෝ වලදීද මුහුදට බැසීමට අවසර නොවීය​. එහෙත් ග්‍රීෂ්ම කාලයේදී මම උතුරු ඇමරිකාවේ තිබෙන විශාල විලක් වන ලේක් ඊරි වලට බැස පිහිනුවෙමි. ග්‍රීෂ්ම කාලයේදී වූවද එහි ජලය ශීත විය​. 

2002 පමණ කාලයේදී මම නාලන්දා විද්‍යාලයේ පිහිනුම් තටාකය දුටුවෙමි. එය ඉදි කර තිබෙන භූමිය අපගේ කාලයේ කුඩා කැලෑ රොදක් වූවා කියා මතකය​. වර්තමානයේ විද්‍යාලීය සිසුන් වාසනාවන්තය​. අප මෙන් වෙනත් විද්‍යාල වල පිහිනුම් තටාක වල සීමිත කාලයකට මැදිව පිහිනීමට ඔවුනට සිදු නොවේ. ඔවුන්ට තමන් ගේම පිහිනුම් තටාකයක් තිබේ. මේ නිසා ඉන් එල ප්‍රයෝජන ගැනීම ඔවුන් කල යුතුය​. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Wednesday, September 27, 2017

Understanding Autism

  

By Dr Ruwan M Jayatunge


The word autism was coined by the Swiss Psychiatrist Eugine Bleuler in 1910. In 1938, Hans Asperger of the Vienna University Hospital adopted Bleuler’s terminology and in 1981 the Clinical Community widely recognized Autism as a separate diagnosis. Autism is classified as a Pervasive Developmental Disorder affecting young children and adults in which impaired development in communication, social interaction and behaviour are more pronounced. The degree of autism can range from mild to severe.

According to the DSM4 (The Diagnostic and Statistical Manual of Mental Disorders) the essential features of Autistic Disorder are the presence of markedly abnormal or impaired development in social interaction and communication and a markedly restricted repertoire of activity and interests. Manifestations of the disorder vary greatly depending on the developmental level and age of the individual.

What causes Autism?
Some researches have speculated the genetic basis in Autism. Although some have queried childhood vaccines as the causing agent the vaccine hypotheses lack any convincing scientific evidence. Therefore, contemporary views deny the vaccine theory.

There have been numerous studies and theories about the cause of Autism. Researchers believe it is multifactoral. Abnormal development of the brain inborn errors of metabolism and viral effects are under speculation. Recent studies have found that the gene for at least one kind of familial autism may be on chromosome 13. The holistic view highlights combination of environmental (including infections, toxins, nutrition) and genetic factors contribute to the development of autism.

The prevalence of Autism
The prevalence of the Autistic Spectrum Disorder is about 6 per 1,000 people with about four times as many boys as girls. (Rutter M 2005). Higher numbers of cases have been reported since 1980 may be due to awareness and sophisticated diagnostic tools, but some point out environmental pollution and a higher range of artificial chemicals in food affects the genetic factor. Autism can cause structural and functional changes in the brain. Therefore, symptoms tend to continue through adulthood.

Risk Factors
Autism affects children of all races and nationalities. Studies show that boys are three to four times more likely to develop autism than girls are. Families who have one child with autism have an increased risk of having another child with the disorder. Research increasingly suggests that having an older father may increase a child’s risk of autism. One large study showed that children born to men 40 years or older were almost six times more likely to have autism spectrum disorder than were children born to men younger than 30 years.

Main features of Autism
Autism typically appears during the first three years of life. Autistic children show less attention to social stimuli, a reciprocal smile, (often not responding to their names), less attachment towards their caregivers, meagre eye contact. Sometimes Autism is associated with aggression, destruction of property, and tantrums .Children with a history of language impairment can go into tantrums quite frequently. Autistic children can display many forms of stereotyped (hand flapping, head rolling, or body rocking), compulsive behaviour (follow strict rules such as arranging objects, resistance to change), repetitive behaviour, ritualistic behaviour and restricted behaviour (limited in focus, interest, or activity) Autistic children fail to form the normal social contacts. Affected behaviours can include facial expressions and body postures as well. Although Autistic individuals demonstrate affection and bonding may differ from others, many are capable of exhibiting in their own way. They find difficult to develop normal peer and sibling relationships. Habitually the child seems isolated. Affected children have little interest in normal age-appropriate activities. Deficits in language comprehension include the inability to understand simple directions, questions, or commands. Sometimes hypersensitivity to sensory input through vision, hearing, or touch is associated.

How to Diagnose
A qualified child Psychiatrist must make the diagnosis after a series of clinical observations. Early diagnosis is important because early intervention can be recommended. Comprehensive assessment and evaluation must be done to establish the diagnosis and determine the level of deviation.

Treatment of Autism
There is no magic bullet for the treatment of Autism. Treatment models are designed for the educational and clinical settings. Treatment options may include different modes.

Behavioural and communication therapies
Behaviour analysis should be done via careful longitudinal and sometime surreptitious observations. Behaviour analysis would help the therapist to modify the erroneous behaviour. Modification of the environment would help the child to minimize unwanted and disturbing stimuli. Creating a safety environment around the child is essential.

Some autistic children have accident-prone features. The child should be exposed to favourable stimuli that would enhance his communication skills and cognitive development. Behaviour modifications focus on reducing problem behaviours and teaching new skills. Other programmes focus on teaching children how to act in social situations or how to communicate better with other people.

Speech Therapy
Some autistic children lack marked impairment in speech and language skills. Speech and language therapies have been developed to address the range of social and language difficulties associated with autism.

The chief focus of skill development for children with autism is communication because it is the most pervasive area of developmental delay. Communication is most crucial for socialization and cognitive development, and it relates to the occurrence of problem behaviours.
Instruction in communication is designed to provide a generative tool that will serve many immediate needs throughout the child’s life.

Drug therapies
Sometimes medication has been prescribed to control repetitive and aggressive behaviours. Medication should be prescribed by a qualified Physician after intricate clinical analysis.

Educational therapies
Children with autism often respond well to highly structured educationprograms. These educational programmes are geared to improve reading skills, writing skills and develop mathematical ability. Children with autism often respond well to highly structured education programmes.
Successful programmes often include a team of specialists and a variety of activities to improve social skills, communication and behaviour.

Educational Psychologists advise autistic children should be placed in a mainstreamed classroom to absorb vicarious learning from the healthy children and minimize social discrimination. Apart from the normal educational programme, autistic children need extra lesions and special educational therapy. In educational therapeutic environment autistic children are benefited by Speech language therapy, Social skills therapy, Occupational therapy, Sensory Integration therapy and Integrated Cognitive therapy.

Art and Music Therapy
Autistic children have aesthetic skills that can be aroused in therapeutic settings for growth promotion. Art Therapy provides them to express themselves creatively and artistically, using a wide variety of art materials. The power of music should not be undermined in the treatment. It can be used as a healer, relaxation mode and to reduce impulsivity.

Play therapy
Play therapy enhances autistic children’s own interests or obsessions to develop relationships and social/communication skills. Various colourful toys can be used to pick the child’s interest and attention.
Play therapy builds reciprocal skills, imaginative skills and sometimes-abstract thinking skills (putting together puzzles, solving problems) give knowledge and enjoyment as well.

Diet and Vitamin Therapy
As a complementary approach, some researchers recommend diet, vitamins, and minerals to affected children. Professor Vevskaya a researcher in Spectrum Disorders recommends natural food supplements without artificial ingredients for Autistic children since food allergies can negatively affect the metabolism. Some Australian researchers too concur and in addition, recommend natural bees honey as a good food source for these children.

How to ease parental stress
Parents are often devastated when they hear that the child is being diagnosed with Autism. Parents too need counselling on how to cope with an autistic child and they should be taught how to enjoy the child’s ongoing success and not to compare him with other children, not to be over vigilant about child’s behaviour in public. With appropriate treatment and guidance the child can successfully become himself which is worth to them the whole wide world.

Autistic children can be trained as fun lovers. Sitting and cuddling together, tickling, hugging give more warmth, affection and ease to the parents rather than thinking and suffering. Other families struggling with the challenges of autism can be a source of useful advice. Many communities have support groups for parents and siblings of children with autism. Do not regard other people’s opinions and comments. The autistic child has a mind of his own even enjoying the childishness of his autistic behaviour would give more satisfaction and stress release to the parent.

Parents are the best Teachers
Autistic individuals must be taught how to communicate and interact with others. Parents of an autistic child must continually educate themselves and help the child to develop. Parents are the best mentors if trained properly to handle autistic children.

Gifted Features in Autism
Every person on the autism spectrum is unique. About 10% of people with autism have some form of gifted features such as memorizing lists, calculating calendar dates, drawing, or musical ability. The famous Hollywood movie Rain Man (starring Dustin Hoffman) narrates a series of gifted and specific abilities of an Autistic person. Therefore, the parents should discover and improve the stereotyped gifted feature in the child rather than comparing and judging him.

Tuesday, September 26, 2017

මිනිසුන් තුලින් ලෝකය දුටුවෙමි - දෙවන මුද්‍රණය - ගොඩගේ ප්‍රකාශකයන් වෙතින්

මිනිසුන් තුලින් ලෝකය දුටුවෙමි- ඉවක් අනුව වන ලෝකය දැකීමක්

උපතින් පසු විපත සටහන් වන දිනය දක්වා, කිසිවකුට ගමේ, රටේ, ලෝකයේ දී නිරන්තර ගනුදෙනුවක යෙදෙන්නට සිදුවන්නේ විවිධාකාර මිනිසුන් සමඟය. මේ ගනුදෙනුව ගැටළුකාරී නොවන්නට හා සතුටුදායී වන්නට උපයෝගී කොට ගත යුත්තේ, මිනිසුන් හරිහැටි හඳුනාගැනීමේ කුසලතාවයය. ඉවක් ගැන වන කතා බහකදී කෙනකුගේ මතකයට නැගෙන්නේ සුනඛයා වුවත්,මේ ඉව මිනිසුන් අතර ගැවසීමේදී මිනිසාටද අත්‍යවශ්‍යය. එබඳු ඉවක් ගොඩන`ගා ගත හැකිවන්නේ, සිය ජීවිතයේදී එක්කොටගන්නා හැදෑරීම් හා විවිධ අත්දැකීම් සමුදායකට අනුරූපවය. 

රුවන් එම් ජයතුංග වෛද්‍ය වරයාගේ, "මිනිසුන් තුලින් ලෝකය දුටුවෙමි" කෘතියෙන් අප දකින්නේ ජීවිතයට අත්‍යවශ්‍ය මේ ඉව නොඅඩුව හිමිකොටගත් ලේඛකයකුගේ නිර්මාණශීලී ව්‍යායාමයක පිළිබිඹුවය. උපන් රටේදීද, නොරටදීද විවිධ අවස්ථාවලදී හමුවූ, විවිධාකාර පුද්ගල චරිත හරහා කතුවරයා අපට හෙලිදරව්  කරන්නේ පෞද්ගලික කතාවක්ම නොව ලෝකයට, මනුෂ්‍යත්වයට අතිශය පොදු වූ කතාවය. පාඨකයාට කියවා ලිස්සා යන්නට නොව හිතන්නට යමක් එක්කොට ගන්නට ඉඩ සලසන මේ ව්‍යායාමය තවදුරටත් සැලකිය හැක්කේ, කාලීන අවශ්‍යතාවයක් ඉටුකරලීමක්ද වශයෙනි. ශ්‍රි ලාංකිකයින් ලෙස කිසිවකුට වැරදුන තැන් හා කිසිවකු අදටත් වරද්දා ගන්නා තැන්ද එහිදී ලක්වන්නේ සාධාරණ විමසුමකටය. 

එවැනි, විමර්ශණශීලී සටහන් කිහිපයක් අතරින් මේ උපුටාගැනීම දක්වන්නේ එක් උදාහරණයක් වශයෙනි.   ‘ ඉංග්‍රීසීන් රෝමන් වරුන්ගෙන් සබන් පාවිච්චිය ඉගෙනගනිමින් සිටි කාලයේදී, වළගම්බා නරපතියා අලු විහාරයේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමට මූලික විය. දියුණු භාෂාවක් වන සිංහල භාෂාව රටගිය ඇත්තන්ගේ දරුවෝ අමතක කරති. එසේම එංගලන්තයේ සිංහල දෙමාපියන් තමාගේ දරුවාට සිංහල නොහැකිබව පවසන්නේ ආඩම්බරයෙනි.නමුත් මව් භාෂාවක් නොමැති, තමාගේ සංස්කෘතික අනන්‍යතාව අහිමිකරගෙන සිටින සංස්කෘතික අවජාතකයන්ට සුද්දෝ නොසලකති. එය එංගලන්තයේ පමණක් නොව බොහෝ යුරෝපීය රටවල දක්නට ලැබෙන කරුණකි.’ 

යුරෝපීය රටවල දක්නට ලැබෙන මේ ස්වභාවයන්, පෞද්ගලිකව නොදකින හෝ නොතකන සංස්කෘතික අවජාතකයින් පිළිබඳව කතුවරයාගෙන් එලෙස සැපයෙන්නේ පැහැදිලි අර්ථකතනයකි.  යුරෝපීය රටවල විශ්වවිද්‍යාල නේවාසිකාගාර පහසුකම් ශ්‍රී ලංකාව හා සංසන්දනයට ලක්කරමින් වෛද්‍ය රුවන් සටහන් කරන්නේ පෞද්ගලිකව අපටද දෘෂ්‍යමාන කතාවය. වයිරස උණක් හෝ වෙනත් ආසාදනයක් එක් කාමරයකදී හතර පස් දෙනකුට හෝ ඇතැම්විට දහ පහලොස් දෙනකුට ලබාගැනීමේ පහසුකම මෙරටදී සැපයෙන මේ මාර්ගයේ දී, මානසික සමතුලිතතාවයටද හැකිවන්නේ පහසුවෙන් පිට පනින්නටය. 

සන්නිවේදනයේදී ගලපා ගත යුතු උපායශීලීබව හා සංයමය සම්බනෝයෙන්ද වැදගත් අදහස් ‍මෙම කෘතියට ඇතුළත්ව ඇත. ඒඩ්ස් රෝගය අප්‍රිකාවෙන් පැමිණි වසංගතයක් ලෙසට වෙනත් රටක සිසුවකු කළ අදහස් දැක්වීමකදී, පියෙර් නම් අප්‍රිකානු සිසුවා පළ කළ ප්‍රතිචාරය තුළ ගැබ්ව ඇත්තේ මේ කාරණයය.     ‘ මේ කරුණ නිසා අප්‍රිකානු සිසුන්ගේ මුහුණු වල  නොසන්සුන්තාවයක් දැකගන්නට මට හැකිවිය. නමුත් පියෙර් සන්සුන්ව සිටියේය. පන්තිය අවසානයේදී ඉතා පැහැදිලි ඉංග්‍රීසියෙන් නිනාද් ඇමතූ ඔහු , ක්‍ෂය රෝගය මුලින්ම සොයාගත්තේ යුරෝපයෙන් බවත්, එසේම මහාමාරිය විනාශකාරී අන්දමට පැතිරගියේ යුරෝපයේ නමුත් ඒ රෝග ගැන කතා කිරීමේදී අප යුරෝපය සමච්චලයට ලක් නොකරන බවත් පැවසීය.’ මේ උපුටා ගැනීම තුල  අන්තර්ගත වන්නේ යහපත් සන්නිවේදනයක පිළිබිඹුවය. 

අපට වෙච්ච දේ ගැනද කතුවරයා දක්වන අදහස්  එයීමට ලක්විය යුතුය. චීනය ගැන වන ලිපියේදී, චීන ජාතික චෙන්දිබුගෙන් ඉගෙනගත් පාඩමක් අපට පවසමින් වෛද්‍ය රුවන් කාලීන අර්ථකතනයක යෙදෙන්නනේ මෙලෙසිනි.  ‘සැලසුම් සහගතව දේශමාමක අදහස් වර්ධනය කිරීම, පරිසරය සුරකින පරම්පරාවක් ගොඩනැගීමට කටයුතු කිරීම මෙතෙක් ඉටුව නැත. දේශපාලන පාට අනුව අපි බෙදී සිටිමු. එසේම ජාතින් වශයෙන් මරා ගක්ස්මු. ඒ අතරතුරේ ලෝකයේ බුද්ධිමත් ජනයා දියුණුවනු ඇත. සයිබර් තාක්‍ෂනය, ජාන තාක්‍ෂනය මඟින් ආර්ථිකව හා ජීව විද්‍යාත්මකව ඔවුන් අපව අභිබවා යනු ඇත. අවසානයේ අපි වැද්දන් මෙන් චාරයක් නොමැති ජන කොට්ඨාශයක් ලෙස අන්තර්ජාතික ප්‍රජාව ඉදිරියේ පෙනී සිටිමු. අපට තිබුනේ අතීතයක් පමණි.’ 

අපට දැනෙන්නේ , මිනිසුන් තුළින් ලෝකය දුටුවෙමි කෘතිය ලෝකයද, මිනිසුන්ද හරි හැටි හඳුනාගැනීමේ කුසලතාවයකට අනුරූපව වූ නිර්මාණයක් බවය. 

 -වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි

Monday, September 25, 2017

ලලිත් ගුණවර්ධන - 8 ඩී පන්තියේ මිතුරා



ලලිත් මට මුණ ගැසුනේ 1979 වසරේදී මම හතේ පන්තියේ සිටියදීය​. නමුත් ඔහු මා සමග අට ශ්‍රේනියට පැමිනි විට ඔහු මා සිටි මේසය ආසන්නයට ආවේය​. ඉන් අපේ මිතුදම වැඩුනි. ලලිත් මේසයට ඉදිරියෙන් සිටි අතර මා සිටියේ පසුපසිනි. ලලිත් පාසලට ආවේ රුක්මලේ ප්‍රදේශයෙනි. ඔහු පහ වසර ශිෂ්‍යත්වය සමත්වී නාලන්දාවට ආ සිසුවෙකි. ලලිත් කෙරෙහි මා මිතුදම් ඇති කර ගැනීමට එක් ප්‍රධාන හේතුවක් වූයේ ඔහු මා විසින් පන්තියේ කරන ලද විකාර වැඩ වලට ඉත සිතින් සහභාගි වීමත් මට මනා අනුබලයක් දෙමින් මාව දිරිමත් කිරීමත් ය​. මින් අදහස් වන්නේ ලලිත් මැනිපුලේට් කල බවක් නොවේ ,  ඔහු මාව සියයට සියයක්ම පිළිගැනීමට ලක් කල බවය​. 

ලලිත් නිතරම පසුපසට හැරී මා සමග කතා කිරීමට පුරුදුව සිටියේය​. ඕනෑම යාන් හෑල්ලක් ඔහු මා සමග බෙදා ගනියි. එසේම අප දෙදෙනා කෘෂිකර්ම ගුරුතුමා , මාජරීන් හෙවත් උපතිස්ස සර් අවුස්සමින් එකිනෙකා හා සිනාසුනෙමු. 

අපගේ පන්තිභාර ගුරුවරිය වූයේ රොටියාගේ මව වූ රොද්‍රිගු ටීචය​. රොටියාද අපගේ පන්තියේ සිටි අතර ඔහුද හේත්තුවී සිටියේ අපගේ බජාර් එකටය​. මේ නිසා රොද්‍රිගු ටීච ගෙන් රොෂාන් හෙවත් රොටියාද නිතරම බැණුම් අසයි. 

වරක් අපගේ පන්තියට බුද්ධ පූජාව ගේන්නට නියම විය​. මේ නිසා රොද්‍රිගු ටීච අපගේ පන්තිය අමතා බුද්ධ පූජාව සඳහා ගෙන හැකි ආහාර මොනවාද කියා ඇසුවාය​. බුදුන් කෙරෙහි හෝ බුද්ධ පූජාව කෙරෙහි අගෞරවයෙන් නොව හුදු රොද්‍රිගු ටීචව ඇවිස්සීම සඳහා මම සහ ලලිත් විවිධ ආහාර වල නම් කියා කෑගැසුවෙමු. වරක් ලලිත් පොල් ටොෆී යෝජනා කල අතර මම මාළු පාන් යෝජනා කලෙමි. අප විසින් රොද්‍රිගු ටීචව ඇවිස්සීම සඳහා කරන මේ ක්‍රියාව ඇය තේරුම් ගෙන  අවසානයේදී රොද්‍රිගු ටීච මටත් ලලිත්ටත් බැණ වැදුනාය​. එපමණක් නොවේ. අපගේ බෞද්ධ විරෝධී ක්‍රියාව ඇය සුගුණධම්ම හාමුදුරුවන්ටද දන්වා සිටි අතර පසුදින සුගුණධම්ම හාමුදුරුවෝ බුද්ධ පූජාව  ආරම්භ කිරීම සඳහා පන්සිල් දීමෙන් අණතුරුව " මට ආරංචියි සමහර ළමයි බුද්ධ පූජාවට අගෞරව වෙන ආකාරයේ දේවල් කියලා තියන බව කියා කී සේක​. එහිදී පන්තියේ කොල්ලන් සියළුමදෙනා මා දෙසත් ලලිත් ගුණවර්ධන දෙසත් බලන්නට වූ අතර අප දෙදෙනා සැදැහැවතුන් මෙන් වැඳගෙන සිටියෙමු. 

කෘෂිකර්ම ගුරුතුමාට කොල්ලන් කීවේ බොහොඞා කියාය​. ඔහුට වචන උච්චාරණ දෝශයක් තිබුනේය​. මේ නිසා කෘෂිකර්ම ගුරුතුමා කියන සමහරක් වචන වලට ලලිත් පසුපස හැරී මා දෙස බලමින් සිනාසෙයි. අප කෘෂිකර්ම ප්‍රායෝගික වැඩ සඳහා එළවළු කොටුවට ගිය විට අප දෙදෙනා කියන කතා වලට කොල්ලෝ සිනාසෙති. එවිට ශබ්ද නඟා සිනාසෙන කොල්ලන්ට බොහොඞා තරවටු කරයි. 

වරක් කොල්ලෙක් ගුරු පුටුවේ වේවැල් මත චෝක් කෑල්ලක් ඇතිල්ලුවේය​. මාගේ මතකය නිවැරදි නම් මෙය කරන ලද්දේ සකලසූරියයි. සකලසූරිය මෙය කරන ලද්දේ කෘෂිකර්ම පීරියඩ් එකට ප්‍රථමය. ඉන් පසු අප නොයිවසිල්ලෙන් කෘෂිකර්ම ගුරුතුමා එන තෙක් සිටියෙමු. පන්තියට පැමිනි කෘෂිකර්ම ගුරුතුමා ළමයින්ට ආයුබෝවන් කියා චෝක් කුඩු රැඳුනු පුටුව උඩ වාඩි විය​. 

බොහොඞා පුටුව උඩ වාඩිවූ විගසම ලලිත් පසුපස හැරී මා දෙස බලා සිනාසුනේය​. එදින කෘෂිකර්ම ගුරුතුමා ඇඳගෙන සිටියේ කළු පැහැති කලිසමකි. ඔහු පීරියඩ් එක අවසානයේ නැගිට යන විට කළු කලිසමේ තිබූ සුදු පළු දෙක දැක අප ඔහුට සොරෙන් සිනාසුනෙමු. වැඩිපුරම සිනාසුනේ ලලිත් ය​. 

රිලීෆ් පීරියඩ් එකක් ආ විට උපතිස්ස සර් හෙවත් මාජරීන් පන්තියට පැමිණ උගන්වයි. ඔහු උගන්වන්නේ නියමිත විශයක් නොවේ. ඔහු කැමති දෙයකි. නිතරම පොත් කියවන්නෙකු වූ උපතිස්ස සර්ට බොහෝ විශයන් ගැන දැණුමක් තිබුනේය​. සමහරක් විට ඔහු ඉංග්‍රීසි පොයම්ස් සිංහලට හරවා අප ලවා ගායනා කරවයි. එසේම ටිකිරි ටිකිරි ටිකිරි ලියා වැනි සිංහල ගීත ඉංග්‍රීසියට හරවා අපට ගායනා කිරීමට විධාන දෙයි. මෙවැනි අවස්ථාවල අප උපතිස්ස සර් ඇවිස්සීම සඳහා ඝෝෂා කලෙමු. එවිට උපතිස්ස සර්  අවානක් බඳු ඔහුගේ විශාල් අත්ලෙන් ලඟ සිටින කොල්ලක් ගේ පිටට පහරක් ගසයි. එයද අපට ත්‍රිල් එකකි. සමහරක් විට කපිල විදානරාල " සර් පූසෙක් පූසෙක් " කියමින් බිම බලාගෙන ඤාව් කියයි. පන්තියට බළල් තඩියෙක් ඇවිත් බව උපතිස්ස සර් සිතයි. අපද තරඟයට මෙන් ව්‍යාජ පූසාට ' චිප් චිප් කියා කෑගසන්නෙමු. කපිල විදානරාල පා පහර කා දුවන පූසා කරන ශබ්දය කරයි. එවිට සිනහවෙන් කුල්මත් වන ලලිත් පසුපස හැරී මදෙස බලා සිනාසෙයි. 

ලලිත් නිතරම පසුපස හැරී මා සමග සංවාදයේ යෙදීම අපගේ පන්ති භාර ගුරුවරිය වූ රොද්‍රිගු ටීච දුටුවේ ලලිත් මට බාධා කිරීමක් ලෙසටය​. එහෙත් සත්‍ය නම් ලලිත්ට නොයෙකුත් විච්චූර්ණ කියමින් බාධා කලේ මාය​. මා හෝ ලලිත් වෙනත් ස්ථානයකට මාරු කල යුතු බව රොද්‍රිගු ටීච කීවද වසර අවසානය තෙක් එය වූයේ නැත​. 

අපට විද්‍යාව ඉගැන්වූයේ අත්තනායක ටීචය​. ඇය සිනමා නළු උපාලි අත්තනායකගේ බිරිඳ වූවාය​.  අප  විද්‍යාව කාල පරිච්ඡේදයේදී පහත මාලයේ තිබෙන ලැබ් එකට ගියෙමු. මේ ලැබ් එකේ අප විසින් කරන විකාර වැඩ නිසා අත්තනායක ටීච සමහර විට අපට බැණ වදින්නීය​. වරක් කොල්ලෙකු විසින් සිදත් සුරේන්ද්‍රගේ කවකටු පෙට්ටිය සඟවන ලදි. තම කවකටු පෙට්ටිය සොයමින් ඒ මේ අත ගිය සිදත් සුරේන්ද්‍ර අත්තනායක ටීච ගෙන් බැණුම් අසන ලදි. තවත් වරක් කළටුවාව ලැබ් එකේ ගෑස් එන කරාමය ඇර නිසොල්මන්ව සිටියේය​. ලලිත් සිටියේ මා අසලය​. මචං ගෑස් ගඳක් එනවා කියා ලලිත් කීවේය​. ඉන් පසු වෙනත් සිසුවෙක් විසින් ගෑස් කරාමයට පොලිතීන් උරයක් සවි කොට ගෑස් වලින් එය පිරවීමට උත්සහ කලේය​. ඔහුගේ වෑයම වූයේ  ගෑස් පිරවූ පොලිතීන් උරය උඩ යැවීමටය​. එහෙත් මේ විකාර වැඩය නැවතුනේ යාබද ලැබ් එකේ සිටි කාලිදාස සර් පැමින ඔහුගේ පිට හරහා පහරක් ගසා " ගොනෝ ගෑස් එක්ක සෙල්ලම් කරන්න එපා " කියා කීවේය​. අපද කාලිදාස සර් අනුව යමින් මේ කොළුවාට උක්ත ක්‍රියාව නොකරන ලෙස අපද ඔවදන් දුන් බව කීවෙමු. 

ඉංග්‍රීසි පීරියඩ් එකට අපගේ පන්තිය දෙකට බෙදන ලදි. කොටසක් තෙවන මහලට ගොස් මාම්පිටිය ටීච වෙත ගියෝය​. මා අයත් වූයේ මේ කොටසටය ලලිත් ඇතුළු අනෙකුත් ළමයින්ට ඉංග්‍රීසි සඳහා ආවේ නෝන්ජල් ගුරුවරියකි. මට ඇයගේ නම මතක නැත​. කොල්ලෝ ඇයව හැම්මන් කියා හැඳින්වූහ​. මාම්පිටිය ටීච සැරය​. පන්තියේ විගඩම් කල නොහැක. මා මෙන්ම රොටියා සහ අනෙකුත් ළමයින් මාම්පිටිය ටීච යටතේ මීයන් මෙන් සිටින විට ලලිත් ඇතුළු අනෙකුත් ළමයි හැම්මන්ව හොල්මන් කරවමින් ගන්නා අාතල් ගැන අප ඉරිසියා කලෙමු. මේ නිසා මාම්පිටිය ටීච පන්තිය අවසන් කරන විටම අප දිව ගොස් ලලිත්ලා සිටින හැම්මන් ගේ පන්තියට කර පොවා බැළුවේ සජීවීව විනෝද සමය නැරඹීමටය​. 

වරක් මාම්පිටිය ටීචර් අච්චු පොතේ පාඩමක් පෙරලා වර්බ්ස් ( Verbs ) යටින් ඉරි ගසන්න කියා  පැවරුමක් දී පන්තියෙන් ගියාය​. වර්බ්ස් යනු කුමක්ද කියා නොදත් කොල්ලෝ  හිතෙන හිතෙන වචන යටින් ඉරි ඇන්දහ​. සමහරු තලාහේන මහා විද්‍යාලය යන නම යටින් ද ඉරක් ගැසූහ​. මාම්පිටිය ටීචර් ඒමට ප්‍රමාද විය . ඒ නිසා මම උඩ මහලේ ලලිත්ලාගේ පන්තියේ වෙන්නේ කුමක්ද කියා බැලීමට ගියෙමි. හැම්මන් උගන්වන විට ළමුන් රිසි රිසි පරිදි පන්තියෙන් එලියට යති, යලි පන්තියට එති. ඔවුන් හැම්මන්ට බිය වූයේ නැත​. මේ නිසා මමද ලලිත්ලාගේ පන්තියට ගොස් විනෝද සමය නැරඹුවෙමි. 

මෙසේ ඔවුන් ගේ පන්තියේ විනාඩි පහලවක් පමණ වාඩිවී සිට මම එලියට ආවේ මාම්පිටිය ටීචර් ඒමට ප්‍රථම පන්තියට යාම සඳහාය​. එහෙත් අනපේක්‍ෂිත ලෙස මාව  කොරිඩොවේදී මෝරාට අසු විය​. 

මෝරා හෙවත් කුමාරසිංහ මයා ඉගැන්වූයේ ගණිතය විශයයි. ඔහු ඉතා උස මහත ගුරුවරයෙකි. ඔහු හල්ක් බඳුය​. හැම්මන් ගේ පන්තියේ සිසුන් විනයක් නොමැතිව හැසිරෙන නිසා දඟ කරන සිසුන් මට්ටු කිරීම සඳහා කුමාරසිංහ මයා වරින් වර ඉංග්‍රීසි පන්තියට එබිකම් කිරීමට පුරුදුව සිටියේය​. මේ ගැන ලලිත් මාව දැණුවත් කලේ නැත​. 

තමුසේ මොකද පන්තියෙන් එලියට ආවේ ? කියා කුමාරසිංහ මයා අහස ගොරවන හඞින් මගෙන් ඇසීය​. මට දීමට උත්තරයක් නැත​. "ඉංග්‍රීසි අච්චු පොත ගෙනියන්න ආවා" කියා මම හීන් හඞකින් කීවෙමි. කුමාරසිංහ මයා ඔහුගේ විශාල අතින් මගේ කණ මිරිකා පිට පුපුරන්නට පහරක් දුන්නේය​. එම පාරේ සැරකමට මම අඩි දෙකක් පමණ ඉදිරියට විසිවී ගියෙමි. " දුවනවා පන්තියට " කියා ඔහු මාව වැරදි පන්තිය වෙත යොමු කලේය​. පන්ති පැටලිල්ල ලෙහන්නට ගියහොත් මෝරාගෙන් තව කන්නට සිදුවේ. ඒ නිසා මම අඩියට දෙකට හැම්මන් ගේ පන්තියට දිව්වෙමි. 

" අඩෝ මෝරගේ මාර ශොට් එක නේද ? කියා ලලිත් මගෙන් ඇසීය​

ඔව් බං පිට එයාකන්ඩිෂන් උනා " මම වේදනාවෙන් කෙඳිරුවෙමි.  

මේ කාලයේ එවැනි පාරක් ළමයෙකු කෑවේ නම් ළමයා සහ ඔහුගේ දෙමාපියන් මානව හිමිකම් යනු ඇත​.  නමුත් අපේ කාලයේ ගෙවල් වලට ගොස් සර් පහර දුන් බව කීවේ නම් ගෙවල් වලින් ද වේවැල් පාරවල් ලැබේ. මේ නිසා ගුටිය පාසැලේම තබා මම ගෙදර ආවෙමි. 

වරක් ලලිත් අපට පිටරට ටොෆී ගෙනාවේය​. මෙහි මධ්‍යයේ මී පැණි තිබේ. බුල්ටෝ සහ අතරින් පතර ඩෙල්ටා හෝ චෙස්ටෝ කෑ අපට ලලිත් ගේ පිටරට ටොෆී අමුතු අත්දැකීමක් විය​. මෙම ටොෆී ගෙන ආවේ පිටරට ගිය ඔහුගේ නැන්දා  කියා ලලිත් කීවේය​. 

වරක් මම ලලිත් සමග බ්ලූමැන්ඩල් පාරේ පිහිටි අගමැති විද්‍යාලයට ගියෙමි. මාගේ මව අගමැති විද්‍යාලයේ විදුහල්පතිනිය වූවාය​. මව හමු වීමට යාමට ප්‍රථම මම පාසලේ හොඳ ළමයෙකු බවට මවට කියන ලෙස ඔහුව ගිවිස්සවා ගත්තෙමි. අගමැති විද්‍යාලයේදී මගේ මව ඉදිරියේ ලලිත් මා පිලිබඳ ඉතා හොඳ ගුණ කථනයක් දුන්නේය​. 

වසර අවසානයේදී අප නවය ශ්‍රේණියට සමත් වූ නමුදු ලලිත් සහ මා වෙනත් පන්ති වලට වැටුනි. මේ නිසා අපගේ මිතුදම දුරස්ථ වූයේය​. උසස් පෙළ කරන කාලයේ ලලිත්ව මට මුණ ගැසුනේ ඉතාම කලාතුරකිනි. 1985 පාසල හැර යාමෙන් පසුව ලලිත් පිලිබඳ මතකය ක්‍රමක් ක්‍රමයෙන් බොඳ විය​. යලිත් මට ඔහුව හමු වන්නේ වසර 32 පසුවය​. එනම් 2017 වසරේදී මා විසින් ලියන Transylvania බ්ලොගයට  ලලිත් ගුණවර්ධන විසින් කොමෙන්ටුවක් තැබීමෙනි. නමුත් මේ හමු වීම භෞතික වශයෙන් නොවේ. පසුව ලලිත් මට ඊ ලිපියක් සමග ඔහුගේ චායාරූපයක් එවීය​. ලලිත් එතරම් වෙනස් වී නැත​. ඔහුගේ හිසකෙස් පමණක් සුදු වී තිබේ. වර්තමානයේ ලලිත් ගේ පදිංචිය රුක්මලේ ය​. ඔහු තම වියපත් දෙමාපියන් බලා ගනිමින් ජීවත් වෙයි. 

අපගේ මිතුදම වසර 38 ක් පැරණිය​. ලලිත් මා සමග පන්තියේ කිට්ටුවෙන්ම සිටියේ   එක අවුරුද්දක් පමණි. එහෙත් එම කාලය තුල අප විසින් කරන ලද විගඩම් වැඩ තවමත් අමතක නැත​. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Sunday, September 24, 2017

හන්දියක ඇක්සිඩන්ට් වැඩි නම් කල යුත්තේ කුමක්ද ?



දියුණු සමාජ වල හන්දියක ඇක්සිඩන්ට් වැඩි නම් මාර්ග ඉන්ජිනේරුවන් පාර සර්වේ කරති. විසිබිලිටි වැඩි කරති, මාර්ගයට යොදා තිබෙන තාර වල සංයුතිය වෙනස් කරති. එහෙත් ලංකාවේ හන්දියක ඇක්සිඩන්ට් වැඩි නම් පොලිසිය හන්දියේ පෙරේත ගොටු තබති පිරිත් කියවති.

Saturday, September 23, 2017

කොලඹ ආනන්දා මහා විද්‍යාලයේ පාසල් ගීතය කැප කොට තිබෙන්නේ බ්‍රිතාන්‍ය රොක් ගායක ඩේවිඩ් බෝවි (David Bowie ) වෙනුවෙන්ද ?



කොලඹ ආනන්දා මහා විද්‍යාලයේ පාසල් ගීතය කැප කොට තිබෙන්නේ බ්‍රිතාන්‍ය රොක් ගායක ඩේවිඩ් බෝවි (David Bowie ) වෙනුවෙන්. එම පාසල් ගීතය ආරම්භයේම මෙසේ කියවෙනවා. ..... දින දින කිතු ගොස බෝවී . එහි තේරුම නම දිනෙන් දින ඩේවිඩ් බෝවි ගේ කීර්තිය වැඩේවා කියාය​. එසේම ඩේවිඩ් බෝවි ගේ කීර්තිය මෙන්ම ආනන්දා මාතාවද වැජබේවා කියාය.
දින දින කිතු ගොස බෝවී -වැජබෙනු අනදප මාතා
සුදිලී - ජයවී -ලොවෙහී සාදා දීලා සිප්සත හා -
කල ද විනී ද පහදා එදිතර සින්හල දරු කැල සදලා
දින දින කිතු ගොස බෝවී - වැජබෙනු අනදප මාතා
ලකෙහි බෝ අනන්දේ පතුරා අනද තෙරුන් සේ ලෝ වැඩ සලසා
පේවී සේවේ නිසා වෙසේවා පමාද නොවෙමූ
තිලෝනා දෙසූසේ දින දින කිතු ගොස බෝවී -
වැජබෙනු අනදප මාතා.............

(ආනන්දා මහා විද්‍යාලයට අපහාස කලා කියා එකෙක්වත් කියන්න එපා . අයියලා 3 දෙනෙක් ආනන්දියන්ස්ලාය​. අම්මා ආනන්දේ වසර 10 ඉගැන්නුවේය​ )

එම ගීතය මෙතනින් ග්‍රවණය කල හැකිය https://www.youtube.com/watch?v=TP8Y9YrAYOw

Friday, September 22, 2017

1988 /89 නීතියෙන් බේරී ගිය අපරාධකාරයන්


2006 වසරේ අග භාගයේ සිට 2009 මැයි මාසය දක්වා මා සේවය කලේ පුත්තලම දිස්ත්‍රික් මානසික සෞඛ්‍ය සම් බන්ධීකරණ නිලධාරී ලෙසටය​. මාගේ කාර්‍යාලය තිබුනේ මාදම්පේ නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය  සේවා අධ්‍යක්‍ෂක කාර්‍යාලයේය​. මේ කාලයේදී මම 71 කැරැල්ල පිලිබඳ පොතක් ලියමින් සිටියෙමි. වරක් පුත්තලම රෝහලට නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය  සේවා අධ්‍යක්‍ෂක වෛද්‍ය ආර්.එම්.එස්.කේ රත්නායක මහතා සමග යමින් සිටියදී වෛද්‍ය  රත්නායක මා විසින් ලියාගෙන යන පොත පිලිබඳ ඇසුවේය​.  අපගේ සංවාදයට රථයේ රියැදුරා විමසිලිමත්ව සවන් දෙන බව මට තේරුණි. ඉන් පසු සතියක මම මේ රියැදුරා සමග නවගත්තේගම රෝහලට ගියෙමි. ඒ යන ගමනේදී ඔහු මෙසේ කීවේය​. " සර් 71 කැරැල්ල ගැන නොවෙයි 1988 -89 භීෂණ කාලය ගැන ලියනවා නම් හොඳ විස්තරයක් මට කියන්න පුලුවන් " 

මේ රියැදුරා කියූ පරිදි ඔහු 1988 / 89 කාලයේදී ජවිපෙ සමග වැඩ කොට තිබේ. ඔහුගේ ප්‍රාදේශීය නායකයා  ව්‍යාපාරයේ නමින් බොහෝ මංකොල්ලකෑම් සිදු කල අතර කැරැල්ල අවසන් වන කාලයේදී කිසිවෙකුටත් නොදන්වා එම මුදල් සමග ඉතාලියට පැන ගොස් තිබේ. මෙම රියැදුරා පසුව අත් අඩංගුවට පත්වී සිරගතව පුනරුථාපනය වී පැමින ඇත​. ඉන් පසුව ඔහුට සෞඛ්‍ය අමාත්‍යාංශයේ රැකියාවක් ලැබී ඇත​. 

1988 / 89 භීෂණ කාලයේ මංකොල්ලකෑම , මිනී මැරුම් , ස්ත්‍රී දූෂණ කල යම් කොටසක් විදේශ රට වලට පැන ගොස් එහි ජීවත් වෙති. මේ අතර මංකොල්ලකෑම් , මිනී මැරුම් , ස්ත්‍රී දූෂණ  කල යම් කොටසක් පසුව ගෝනිබිල්ලන් ලෙස රහසින් ආරක්‍ෂක අංශ වලට සහයෝගය දුන් නිසා  ඔවුනට අනියම් සමාවක් ලැබුණි. මේ කොටස් ලංකාවේ ජීවත් වෙති.  

1988/89 දී සමාජවාදයේ නාමයෙන් මිනී මැරූ , මංකොල්ලකෑම් ස්ත්‍රී දූෂණ සිදු කල මොවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වූයේ නැත  

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

ජානගත කුහක කම පිලිබඳ නිදර්ශනයක්



(මේ කුහක ඉරිසියා මානසිකත්වයට එක හේතුවක් තමයි මේ වෛද්‍යවරුන් පිටරට සමාජ වල ගැවසිලා ලෝකේ දැකලා නැති එක​. කන්සල්ටන්ට්ලා උනත් ජීවිත විද්‍යාව අතින් නූගත්. මොවුන් ඉන්නේ දැඩි අසහනයක​ ඉස්කෝලෙ යන කාලේ ස්පෝර්ටස් කරලා නෑ ,ටීම් වර්ක් දන්නේනෑ , සමාජයේ ගැවසිලා නෑ. අත්දැකීම් සීමිතයි. )

සැත්කම පසෙක තබා කඹ ඇදිල්ලක


මහනුවර මහ රෝහලේ සිදු කිරීමට ගිය දෙවන හදවත් බද්ධ කිරීමේ ශල්‍යය කර්මය සඳහා මොළය මියගිය අයෙකුගේ හදවතක් සූදානම් කර හදවත් බද්ධය සඳහා ලක්වීමට නියමිතව සිටි රෝගියාට අවශ්‍යය එන්නත් පවා ලබාදී තිබියදී වෛද්‍යවරුන්ගේ කඹ ඇදිල්ලක් හේතුවෙන් සැත්කම අතහැර දැමීමට සිදුව ඇත.
අදාළ කඹ ඇදිල්ල හේතුවෙන් සැත්කම අතහැර දැමීමට සිදුවීම නිසා මොළය මියගිය තරුණයාගේ සිරුරෙන් ඉවත් කර යන්ත්‍රයට සම්බන්ධ කර තිබූ හදවතට කළ රුධිර සැපයුම නතර කිරීමට සැත්කම සඳහා සූදානම්ව සිටි වෛද්‍යවරු පියවර ගෙන තිබෙන අතර ඉන් විනාඩි 30කට පසු එම හදවත සම්පූර්ණයෙන්ම අකර්මණ්‍යය වී තිබේ.
පො‍ළොන්නරුව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටි මොළය මියගිය පුද්ගලයකුගේ සිරුර පෙරේදා (21) රාත්‍රියේ විශේෂ වෛද්‍ය කණ්ඩායමකගේ අධීක්‍ෂණය යටතේ මහනුවරට රැගෙන විත් තිබෙන අතර ඔහුගේ හදවත ශල්‍යකර්මයකින් ඉවත්කර යන්ත්‍රයක් මගින් ක්‍රියාත්මක වීමට සලස්වා රෝගී තරුණියගේ හදවත ඉවත් කිරීම සඳහා ඇයව සැත්කමට ලක් කිරීමට ගිය අවස්ථාවේ විශේෂඥ වෛද්‍යවරුන් රෝගියාගේ අවදානම බාර ගැනීමට නොහැකි බව දැනුම් දීමත් සමඟ සෙසු වෛද්‍යවරු දැඩි අසීරුතාවට පත්ව තිබෙන බව වාර්තා වෙයි.
මේ සම්බන්ධව මහනුවර මහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සමන් රත්නායක මහතාද ඊයේ (22) සැත්කමට සම්බන්ධව සිටි වෛද්‍යවරුන්ගෙන් කරුණු විමසීමක් කර තිබේ.
මේ හේතුවෙන් සැත්කම සඳහා ලක්වීමට නියමිතව සිටි අලුත්ගම ප්‍රදේශයේ පදිංචි සචිනි සෙව්වන්දි නැමැති දහනව හැවිරිදි තරුණියගේ ජීවිතය අවදානමකට ලක්ව තිබෙන අතර ඇගේ හදවතේ ක්‍රියාකාරීත්වය මේවන විට 10 % ක් පමණ අගයක් දක්වා අඩු වී තිබෙන බව වාර්තා වෙයි.
පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිව සිටි හමුදා සෙබළෙකු වන ආර්.එම් තරංග (26) නමැති අය යතුරු පැදි අනතුරකින් බරපතළ තුවාල ලැබ පොළොන්නරුව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මොළය මියගිය රෝගියකු බවට වෛද්‍යවරු නිර්දේශ කිරීමෙන් පසු ඔහුගේ අවයව බද්ධ කිරීම සඳහා ලබාදීමට ඥාතීන් කැමැත්ත පලකර තිබිණි.
එම පුද්ගලයාගේ හදවත ,වසර ගණනාවක සිට හදවත අකර්මණ්‍යය වීමේ රෝගයට ගොදුරුව ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටි සචිනි සෙව්වන්දිගේ සිරුරේ රුධිර ගණවලට 100 % ක්ම ගැලපීම නිසා එය ඇයට බද්ධ කිරීම සඳහා වෛද්‍යවරුන්ගේ අවධානය යොමු වී ඇත.
පසුගිය ජූලි මස 07වැනි දින මහනුවර මහ රෝහලේදී සාර්ථකව සිදුකෙරුණු මෙරට ප්‍රථම හදවත් බද්ධය සඳහා වෛද්‍යවරුන්ගේ වැඩි අවධානයක් යොමුව ඇත්තේ සෙව්වන්දි නිසා වන අතර මුල් හදවත් බද්ධය සඳහා වෛද්‍යවරු ඇයව යොමුකර නැත්තේ එම අවස්ථාවේ මියගිය පුද්ගලයාගෙන් ලබාගත් හදවත ඇගේ ශරීරයට නොගැලපුණු බැවිනි.
මරණය සමඟ සටන් කරමින් පසුගිය මාර්තු මස සිට මහනුවර මහ රෝහ‍ලේ හදවතක් අපේක්‍ෂාවෙන් කල් ගෙවන තම දියණියට ගැලපෙන හදවතක් ලැබිලත් එය බද්ධ කිරීමට නොහැකි වූයේ වෛද්‍යවරුන්ගේ වරදින් නිසා බවත් ඒ පිළිබඳ පරීක්‍ෂණයක් පවත්වන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බවත් සෙව්වන්දිගේ පියා වන මහේෂ් කුමාර පවසයි.
හදිසි අනතුරකින් මියගිය තරංග නමැති හමුදා සෙබළාගේ වකුගඩු හා අඥ්‍යාශය රෝගීන් තිදෙනකුට මහනුවර මහ රෝහලේ වකුගඩු සැත්කම් ඒකකයේදී විශේෂඥ ශල්‍යය වෛද්‍ය පී.කේ හරිශ්චඳ්‍ර මහතා ඇතුළු කණ්ඩායමක් විසින් බද්ධ කර රෝගීන් තිදෙනකුගේ ජීවත බේරාගෙන තිබේ.
ශල්‍යයකර්මය සඳහා ලක් කිරීමට තම දියණියට ආහාර පවා නොදී ඊයේ (23) පෙරවරුවේ සූදානම් කළ බවත් ඇයට ගැලපෙන හොඳ හදවතක් ලැබුණු බව විශේෂඥ ශල්‍යය වෛද්‍ය අනිල් අබේවික්‍රම මහතා තමන්ට දැනුම් දී තිබූ බවත් සෙව්වන්දිගේ පියා පවසයි. හදවතේ ක්‍රියාකාරීත්වය අඩපණ වෙලා කියලා ශල්‍යයකර්මය කරන්න බැරි බව පසුව මට දැන ගන්න ලැබුණත් ඇත්තටම වෙලා තියෙන්නේ විශේෂඥ වෛද්‍යවරුන් තුන්දෙනෙක් සැත්කම කරන්න අකමැති ‍වීමයි.මම මේ ගැන මහනුවර පොලිසියට පැමිණිල්ලක් කරන්න පියවර ගන්නවා යැයිද සෙව්වන්දිගේ පියා පවසයි.
මගේ වැඩිමහල් දියණිය අවුරුදු 17 දී මියගියෙත් මේ රෝගයෙන් .දැන් දෙවැනි දුවටත් ඒ රෝගයම වැළදිලා.ජානමය තත්ත්වයක් හේතුවෙන් මේක වෙනවා කියලා තමයි වෛද්‍යවරු කියන්නේ.වෛද්‍යවරු ඉන්නේ ලෙඩ්ඩු මරන්න නොවෙයි.ජීවත් කරවන්නයි.මට දැන් මගේ දෙවැනි දුවත් අහිමි වෙයි කියලා බයක් දැනෙනවා යැයි මහේෂ් කුමාර පවසයි.
මේ සම්බන්ධව කළ විමසීමකදී නිර්වින්දන වෛද්‍ය විශේෂඥ ජගති පෙරේරා මහත්මිය පැවසුවේ මේ හදවත් බද්ධ කිරීමේ සැත්කම පිළිබඳව තමන් කල්තියා දැන නොසිටි බවත් රෝහල් අධ්‍යක්‍ෂවරයා හදවත් බද්ධය සම්බන්ධව දුරකතනයෙන් දැනුම්දී තමන් කටයුතු කළ සෙසු සෙසු නිර්වින්දන වෛද්‍යවරු දැනුවත් කරන ලෙස දැනුම් දුන් අවස්ථාවේ තමන් මෙය දැනගත් බවත්‍ය. රෝහලේ ඇතැම් උපකරණ වසර 11ක් පමණ පැරණි ඒවා බවත් මේවායින් කටයුතු කර අවදානමක් බාර ගැනීමට නොහැකි බවත් ඇය කීවාය.
මුල් සැත්කමේ සාර්ථකත්වය ඊට සම්බන්ධවූ සැමට හිමිවන නමුත් එහිදී කිහිපදෙනකු පමණක් විශේෂයෙන් මතුවී සෙසු අය‍ගේ සේවය නිසි ඇගයීමකට ලක් නොවුණු බවත් විශේෂඥ වෛද්‍යවරිය ප්‍රකාශ කළාය. (දිනමිණ)

Thursday, September 21, 2017

ආගමික උමතුව

 


ආගමික උන්මාදය තිබූ පුද්ගලයන් ගනනාවක් මට හමුවී තිබේ. මොවුන් බොහෝ දෙනෙකු තමන් රහත් හෝ බුදු වී සිටින බව හෝ තමන් ජේසුස් ක්‍රිස්තුස් ගේ පුනරුප්පතිය කියා විශ්වාස කලහ​. මොවුන් බොහෝ දෙනෙකු පසුව භින්නෝන්මාදයෙන් පෙලෙන බවට සනාත වූයේය​. 

අපගේ වෛද්‍ය පීඨයේ සිටි චරිත දෙකක් මට මෙහිදී මතක් වෙයි. එක් අයෙකු නම් නයිජීරියාවෙන් පැමිණි සිසුවියකි. ඇය අධික ආගමික භක්තියක්  පෙන්වූවාය​.  මේ සිසුවිය සෑම දිනකම පාහේ උදෑසන හතරට පමන නැගිට අපගේ මහල් නවයකින් යුත් නේවාසිකාගාරයේ වහලය මතට නැග ආගමික ගීත අප්‍රිකානු ඉංග්‍රීසි ඌරුවකින් ගායනා කරන්නීය​. ශීත කාලයේ හිම වැටෙනා විටද මේ සිසුවිය අධි ශීතද නොසලකා නේවාසිකාගාරයේ වහලය මතට නැග යේසුස් පිළිබඳ ගීත ගායනා කලාය​. මේ හැර පාර දිගේ යන විට මුණ ගැසෙන ඕනෑම කෙනෙකුට " යේසුස් වාස් ලූබිත් ( ජේසුස් ඔබට ආදරය කරයි ) කියා කීවාය​. කෙසේ නමුත් මේ අධික ආගමික භක්තිය නිසා ඇයගේ අධ්‍යාපන කටයුතු අඩාල වන්නට පටන් ගත්තේය​. විභාග තිබෙන දින වලදී පවා මේ තරුණිය විභාගයට නොගොස් පාරවල් දිගේ යමින් මුණ ගැසෙන පුද්ගලයන්ට යේසුස් වාස් ලූබිත් කීවාය​. අවසානයේදී වෛද්‍ය පීඨයේ බලධාරීන් විසින් ඇයව නයිජීරියාවට යවන ලදි. මේ තරුණියට වෛද්‍ය උපාධිය නිම කිරීමට නොහැකි වූවාය​. 

ආගමික උන්මාදය තිබූ තවත් සිසුවෙක්  නම් සොලමන් ය​. ඔහු මට වඩා  වසර තුනක් පමණ ජ්‍යෙෂ්ඨය​. ඔහු සිටියේ වර්තමානයේ ශල්‍ය වෛද්‍ය විශේෂඥයෙකු ලෙස සේවය කරන කීත් චැප්මන් ගේ වසරේය​. සොලමන් පන්ති කට් කලේ ආගමික උන්මාදය නිසාය​. ඔහු යාඥා කරන්නේ අර නයිජීරියානු තරුණිය මෙන් මුදු හඞින් නොවේ.  සොලමන් යාඥා කරන විට නේවාසිකාගාරය දෙදරයි. ඔහුගේ ඝෝෂාකාරී හඞ ඇසෙත්ම ඔහුගේ මහලේ ජීවත් වූ සෝවියට් සිසුවෙකු වූ වැලේරා ආර්යා නම් රුසියානු හෙවි මෙට්ල් කණ්ඩායමේ ගීත වාදනය කරයි. 

ක්‍රමක් ක්‍රමයෙන් සොලමන් ගේ ආගමික උන්මාදය වැඩි විය​. ඔහු සමහරක් අවස්ථා වලදී ගුරුවරුන් සමගද සාහසික ලෙස වාද කලේය​. වෛද්‍ය පීඨයේ විදේශීය සිසුන් සම්බන්ධයෙන් පීඨාධිපති වූ ෆ්‍රාන්ස් ෆ්‍රාන්සේවිච්ටද වරක් ඔහු බැණ වැදුනේය​. මේ හැර සොලමන් ඉතා පිළිකුල් දනවන ක්‍රියාවක් කලේය​. එනම් ඔහුගේ කාමරයේදී පිඟන් වලට මළපහ කොට ඔහු ජීවත් වූ අට වන තට්ටුවේ ජනේලයෙන් විසි කිරීමයි. අප නේවාසිකාගාරයට ගියේ කොයි මොහොතේ හෝ කක්කා පිරි පිඟානක් උඩින් වැටේදෝ කියා බියෙනි.  තවද සොලමන් බාල්දි වලට වතුර ගෙනවිත් කාමරයේ නාන්නට විය​. මේ හේතූන් නිසා පස් වන වසරේදී සොලමන්ව වෛද්‍ය හේතූන් මත වෛද්‍ය පීඨයෙන් අස් කරන ලදි. 

1999 කාල වකවානුවේ මම මීගමුව රෝහලේ බාහිර රෝගී අංශයේ සේවය කලෙමි. දිනක් රාත්‍රී වැඩමුරය  තිබූ දිනයක උදෑසන හතරට පමණ තරුණියක් මුළු රෝහල දෙදරණ හඞින් කෑ ගසමින් ආවාය​. ඇයගේ පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු පමණ ඇයව අසීරුවෙන් ආම්බාන් කර ගනිමින් බාහිර රෝගී අංශය වෙත ගෙන ආහ​. 

මේ තරුණිය කෑ ගැසුවේ " මට ජේසූ ඕනේ "  කියාය​. රෝගීන් ඇතුළු කරන බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයා ලෙස මම මේ තරුණිය ඇඩ්මිට් කිරීම සඳහා ඇඳ ඉහ පතක් අතට ගත් විට එකී තරුණිය " මට මූව එපා මට මට ජේසූ ඕනේ " කියා යටි ගිරියෙන් කෑගැසුවාය​. ඇය මූ කියා කීවේ මටය​. කෙසේ වෙතත් මම එම රෝගී තරුණියට එන්නතක් විද ඇයව මෙඩිකල් වෝඩ් එකට යොමු කලෙමි. ඒ කාලයේ මීගමුව මූලික රෝහලේ මානසික සෞඛ්‍ය වාට්ටුවක් නොතිබූ අතර සියළු උමතු රෝගීන් යවන ලද්දේ මෙඩිකල් වෝඩ් එකට ය. 

විශේෂඥ මනෝ වෛද්‍ය  ලලින් ප්‍රනාන්දු  මහතා යටතේ මීගමුව රෝහලේ මානසික සෞඛ්‍ය සායනයේ සේවය කරන විට ආගමික උන්මාදය තිබූ රෝගීන් කිහිප දෙනෙකු මට හමු විය​. තවද විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු  මහතා යටතේ අංගොඩ රෝහලේ පුහුණුව ලබන විට තමන් බුදුවූ බව කියූ , තමන් නිවන් දැක තිබෙනු කියූ පුද්ගලයෝ රැසක් දැක ගන්නට ලැබුණි. මින් එක් පුද්ගලයෙකු තමා මෛත්‍රි බුදුන් බවට තර්ක කරමින් බුද්ධ ශාසන අමාත්‍යාංශයටද ගොස් තිබුනේය​. 

යුද හමුදා රෝහලේදී යුද ආතතියට ලක් වීම නිසා විඝටන ආබාධ ( Dissociative disorders)  වලට ලක්වූ සොල්දාදුවන් බොහෝ දෙනෙකු අප හඳුනා ගත්තෙමු. සමහරු නෙයෙකුත් දෙවි දේවතාවුන් ගේ ආරූඩය ලැබූ බව කී අතර වෙනස් කට හඞවල් වලින්ද  කතා කලහ​. එහෙත් ඖෂධ සමග මනෝ ප්‍රතිකාර ලැබීමේදී මේ රෝගී තත්වයන් සමනය වී යන ලදි.නමුත් ඉතා සුළු පිරිසක් මේ විඝටන තත්වය තමන්ට වාසිදායක අන්දමින් යොදාගෙන දේවාල අරඹා මෝඩ මිනිසුන් රවටමින් සාත්තර කීමෙන්ද  සෙත් සාන්ති කිරීමෙන්ද  මුදල් උපයා ගත්හ​. 

 වරක් එක් සාජන්වරයෙක් තමන් දන්ත කුමාරයා බවත් අසල්වැසි නිවසක තරුණියක් හේමමාලා කුමරිය බවත් තරයේ විශ්වාස කලේය​. මොහු මේ මෝහයට කොතෙක් මුලාවීද යත් එම තරුණිය හේමමාලා කුමරිය නිසා ඔහු සමග අනිවාර්‍යෙන්ම විවහා විය යුතු බව කීවේය​. මෙම රෝගියාට ප්‍රතිකාර කල විශේෂඥ මනෝ වෛද්‍ය නීල්  ප්‍රනාන්දු  මහතා ඔහුට ප්‍රති මනෝව්‍යාධික  ඖෂධ නිර්දේශ කල අතර ඔහුගේ රෝගී තත්වය Erotomania හෙවත් කාමොන්මාදය බවට රෝග නිර්ණය කලේය​. උක්ත ප්‍රතිකාරයෙන් පසු මෙම මෝහය සමනය වී යන ලදි.


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Wednesday, September 20, 2017

පශ්චාත් නූතනවාදී ලෙස ලිවීම



සාමා අමර සමග ඇවිත් පැණි දොඩම් කැඩුවාය යන වාක්‍යය පශ්චාත් නූතනවාදී ලෙස ලියන්නේ මෙසේය

හයිඩෙගරියානු පූර්ව-තාක්ෂණික අවධියක සිටි සාමා යථාකරණය වී සහ හෙජමොනිය සමඟ සංයෝජනය වී අනුභූතික ලාලාසමය හා ගර්භීය ලක්‍ෂණ එක් කර ගනිමින් අමර සමග සංයෝජනය වී සංස්ථිතියකව පැණි දොඩම් කැඩුවාය.

Monday, September 18, 2017

එක් සත්‍ය කතාවක්

 


2006 වසරේදී විශේෂඥ  මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා යටතේ ජාතික රෝහලේ මනෝ වෛද්‍ය සායනයේ සේවය කරන විටදී මානසික ව්‍යාකූලතාවක් සමග ඉතා තරුණ කාන්තාවක් කිරි දරුවෙකු සමග ආවාය​.  මෙම තරුණ කාන්තාවගේ තනියට ඇයගේ මවද ගැබිණි නැගෙනියද ඇවිත් සිටි අතර සුපුරුදු ලෙසින් මම ඔවුන් ගේ විස්තර විචාලෙමි. ඔවුන් පැවසූ කරුණු අසා මම කම්පනයට පත් වූයෙමි. 

මේ පවුල ඉතා දුප්පත් ය​. පියා වර්තමානයේ රැකියාවක් නොකරන්නෙකි. සහෝදරියන් දෙදෙනා සහ ඔවුන් ගේ අට හැවිරිදි සොහොයුරා ජීවත් වන්නේ මව විසින් සොයන ආදායමෙනි මව කුලී වැඩ කරන්නීය​. මව ගෙදර නොමැති අවස්ථාවලදී පියා විසින් වැඩිමහල් දුවට පහර දී බිය වද්දා ඇයව දූෂණය කොට තිබේ. මෙලෙස දූෂණයට ලක් වීම නිසා ඇය ගැබිනියක වූවාය​. මින් අතිශයින්ම කම්පා වූ මව එය  පවුලේ රහසක්ව තබා ගත්තාය​. කල් ඉකුත් වීමේදී වැඩිමහළු සොහොයුරිය දරුවෙකු ප්‍රසූත කලාය​. මේ එම දරුවාය​. වැඩිමහළු දුව දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගත වූ විට ඇය අසල සිටියේ මවය​. දරු ප්‍රසූතියෙන් පසු දුව සහ බිළිඳා ගෙදර ගෙන එන විට මව දුටුවේ තවත් ව්‍යසනයකි. ඇය ගෙදර නොසිටි කාලයේ සැමියා දෙවන දියණියද දූෂණය කොට තිබුනාය​. දැන ඇයද ගැබිනියකි. 

තව දුරටත් රහස් ආරක්‍ෂා කිරීමෙන් එලක් නොවන බව තේරුම් ගත් ඇය පොලිසි ගියාය​. දැන් පියා රිමාන්ඩ් භාරයේය​. එහෙත් දැන් මුළු පවුලම ගිනි ගොඩකට මැදිවී සිටියි. මේ චිත්තාවේගී පීඩාවන් නිසා වැඩිමහල් සොහොයුරිය විශාදයේ ලක්‍ෂණ පෙන්වන බව පෙනී යයි. මෙම පවුලට ඖෂධ වලටත් වඩා අවශ්‍ය කෙරෙන්නේ උපදේශනය සහ මනෝ සමාජීය සහන සේවාවන් වෙති. එහෙත් ජාතික රෝහලේ සීමිත පරාසයක සේවය කරන අප කෙසේ මේ ව්‍යසනයට පත් වූ පවුලට මනෝ සමාජීය සහන සේවා සපයන් ද ? නමුත් සුනාමි සමයේදී අපගේ රෝගීන්ට මනෝ සමාජීය සහන සේවා සැපයූ ආයතන මතක් වූයෙන් මම ඔවුන් ව එකී ආයතන වලට යොමු කලෙමි. 

ඉන් පසු මෙම පවුල යලි සායනයට පැමිනියේ නැත​. දෙවන දියණියද දරුවා ප්‍රසූත කරන්නට ඇත​. ඔවුන් ගේ පියා සිරගෙට නියම වූයේද නැතහොත් ඇප ලබා පැමිනියේද කියා මම නොදනිමි. එහෙත් කුඩා ශරීරයකින් හෙබි සියළු දුක් පීඩා වලට මුහුණ දුන් ඔවුන් ගේ මව තම අන්තිම හුස්ම පොද දක්වා ඇයගේ දරුවන් සහ ව්‍යභිචාරය නිසා උපන් කිරි දරුවන් දෙදෙනා පෝෂණය කරනු ඇත​. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග

Sunday, September 17, 2017

බර්ටි ගලහිටියාව පිළිබඳ මතකය



ඒ 1985 සැප්තැම්බර්  මාසයයි.  අපොස උසස් පෙළ විභාගය ලිවීමෙන් පසු ලැබෙන දිග නිවාඩුව මම  ගත කරමින් සිටියෙමි. මා සමග කොළඹ නාලන්දා මහා විද්‍යාලයේ උසස්පෙළ හැදෑරු සිසුන් බොහෝ දෙනෙකු පරිගණක , විදේශීය  භාෂා අධ්‍යයනය වැනි කාර්යන් වල නිරත වී සිටියහ. නිකරුනේ ගෙදර කාලය ගත කිරීම නුසුදුසු බව සැලකු මගේ පියා තාවකාලික පදනම මත ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉංග්‍රීසි අංශයේ බාහිර නිෂ්පාදකයෙකු ලෙස  වැඩ කොට අත්දැකීම් ලබා ගන්නා ලෙසට මා උනන්දු කළේය. එම නිසා ඒ සඳහා ඉල්ලුම්පත්‍රයක් මම  යැව්වෙමි. මා විසින් යවන ලද ඉල්ලුම්පත්‍රය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ලිවී විජේමාන්න මහතා අනුමත කළේය.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ බාහිර නිෂ්පාදකයෙකු ලෙස මාස තුනක් පමණ සේවය කරන විට බීබීසීයේ කීර්තිමත් නිවේදකයෙකු   වු ස්ටුවර්ට් වේවල් මහතා විසින් පැවැත්වීමට නියමිතව තිබු පුහුණු වැඩසටහනට මාව තෝරාගෙන ඇති බව  වීරමන් මහතා  ඉංග්‍රීසි සේවයේ අධ්‍යක්‍ෂක සරත්  ප්‍රනාන්දු මහතා මාර්ගයෙන් මට  දැනුම් දුන්නේය. එය සෑම  මාධ්‍යවේදියෙකුගේ සිහිනයකි. මෙම පුහුණු වැඩසටහනට බර්ටි ගලහිටියාව වැනි ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි ශිල්පින් ද පැමිණ සිටියහ. එහි සිටි  ලාබාලම  තැනැත්තා වුයේ පාසල්   අධ්‍යාපනය නිම කොට මාස හයක්වත් නොඉක්මවූ මා ය. 

බර්ටි ගලහිටියාව බොහෝ අත්දැකීම් ඇති ගුවන් විදුලි ශිල්පියෙකි. ඔහු තමන්ගේ රසවත් අත්දැකීම්  අපට පැවසිය.බර්ටි ගලහිටියාව ඉතා මිත්‍රශීලී මිනිසෙකි. හොඳ ගුරුවරයෙකි. ඔහු තමාගේ ගුවන් විදුලි අත්දැකීම් අප හා කීවේය​. ඒ කාලයේ ගුවන් විදුලියේ පටිගත කිරීම් වලට ඈත ගම් වලට ගිය විට පන්සල් වල ; ගස් යට රාත්‍රිය ගත කල ආකාරය ගැන කීවේය​. 

වරක් ඔහු මට අපූරු කතාවක් කීවේය​. 70 දශකයේ පමණ සයිප්‍රසයේ ආච් බිශොප් මාකාරියොස්ව බලයෙන් පහ කරන ලදි. මෙම පුවත මුලින්ම ලෝකයේ ගුවන් විදුලි සේවා අතරින් විකාශණය කරන ලද්දේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයයි. 

බර්ටි ගුවන් විදුලි කලාව පිලිබඳ  පතාක යෝධයෙකි. එහෙත් ඔහු ප්‍රසිද්ධිය හඹා නොගියේය​. දේශපාලකයන් පසුපස පන්දම් අල්ලන්නට නොගියේය​. ඒ කාලයේ අග්‍රාමාත්‍ය ඒකකය කියා නොනිල සේවයක් තිබුණු අතර එම අංශයේ වැඩ කල සමහරුන්ට තිබුනේ හැකියාවට වඩා පන්දම සහ බෙලි කැපීමේ දක්‍ෂතාවය ය​. මේ අග්‍රාමාත්‍ය ඒකකයට ඉතා පහසුවෙන් හේත්තු වීමට තිබුනද බර්ටි දේශපාලන පුබ්බඩයන් කරන එකී ලාමක දේවල් නොකලේය​. 

බර්ටි නියෝජනය කලේ ගුවන් විදුලියේ එක් කීර්තිමත් යුගයකි.

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Find Us On Facebook