Tuesday, August 22, 2017

වෛද්‍ය චාන්දනී ගල්වඩුගේ


වෛද්‍ය චාන්දනී ගල්වඩුගේ මම එම් ඕ එච් හෙවත්  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ලෙස සේවය කල කාලයේදී අපගේ ප්‍රධානියා හෙවත් බොසිය වූවාය​. ඇය මට අමතක කල නොහැකි චරිතයකි. 

එම් ඕ එච් තනතුර මාරය. සමහරු එය මහත්තයාට ඕන විදිහට කියාද අර්ථ දක්වති. සමහරෙකු මෙම තනතුරට කැමති නැත​. හේතුව ලෙස   ක්ලිනිකල් දැණුම මොට වෙනවා කියා ඔවුන් කියති. එහෙත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තනතුර ඉතා වැදගත් තනතුරකි.   ඒ දැණුම රෝහල තුලින් ලබා ගත නොහැකිය​. 

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ලෙස සේවය කල කාලයේදී මම ප්‍රජා සෞඛ්‍යය ගැන බොහෝ දේවල් ඉගෙන ගත්තෙමි. ඒ වෛද්‍ය චාන්දනී ගල්වඩුගේ නිසාය​. ඒ දැණුම මට පසුකාලයක යුද හමුදාවේ මෙන්ම පුත්තලම් දිස්තික්කයේ  මානසික සෞඛ්‍යය ප්‍රවර්ධනයේදී ඉතා උපකාරී විය​. මේ හැර සෞඛ්‍ය අධ්‍යාපන පොත පත ලිවීමටද මා හුරු වූයේ මේ කාලයේ ලද පුහුණුව නිසාය​. එපමනක් නොවේ විද්වත් සභාවක් ඇමතීමේ කලාවද මේ සමයේදී මට ප්‍රගුණ  කිරීමට හැකි විය​. පසු කාලයක උතුරු ඇමරිකාවේ හාවර්ඩ් , වොෂ්බර්න් , යෝක් වැනි විශ්ව විද්‍යාල වල දේශන කිරීමේ හැකියාවද ලැබුනේ මේ පුහුණුව ඔස්සේය​.   වර්තමානයේ  උතුරු ඇමරිකාවේ ප්‍රජා මානසික  සෞඛ්‍ය වැඩ වලදී ප්‍රජාව සමග වැඩ කිරීම සඳහා ඇයගෙන් ලැබුණු දැණුම මාර්ගෝපදේශනය ම​ට වැදගත් වෙයි. මේ නිසා එදා මිනිපේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ලෙස සේවය කල කාලය ජීවිතයේ වැදගත් සන්ධි ස්ථානයක් ලෙස මම සලකමි. ඒ ජීවිතයට මම තවමත් ඇළුම් කරමි. 

මාගේ එම් ඕ එච් වසම අයත් වූයේ මහනුවර දිස්ත්‍රික්කයටය​. ඒ කාලයේ  මහනුවර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක වූයේ පිලපිටිය මහතාය​. ඔහු වෛද්‍යවරයෙකු නොවූ අතර පරිපාලන සේවයේ නිලධාරියෙකු විය​. එහෙත් ඔහු ඉතා හොඳ සන්සුන් වෛද්‍යවරුන්ට ගරුත්වයකින් සැලකූ පරිපාලකයෙකු විය​. පසුකාලයක නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක ලෙස එල්.බී දෙනුවර මහතා විදෙස් පුහුණුවකින් පසුව ආවේය​. ඔහුද ඉතා සුහද පුද්ගලයෙකු විය​. 

මුළු මහනුවර දිස්තික්කයේ එම් ඕ එච් වසම් ගනනාවක් තිබුණි. සමහර වසම් මට මතකද නැත​. නමුත් ප්‍රධාන ඒවා ලෙස කඩුගන්නාව , ගඟ වට කෝරලේ, ගල ගෙදර , පන්විල , මැදමහනුවර , උඩ දුම්බර , මිනිපේ යනාදී ප්‍රදේශ තිබුනේය​. සෞඛ්‍ය වෛද්‍ය ඒකකය තිබුනේ වෛද්‍ය  ගල්වඩුගේ මහත්මියගේ කර මතය​. සියලු වගකීම් භාරගත් ඇය ඉතා අනර්ඝ නායකත්වයක් සැපයූවාය​.  

වෛද්‍ය  ගල්වඩුගේ මිය ඉතා සුහදය​. ඇය තුල ඇරියස් මානසිකත්වයක් තිබුනේ නැත​. එසේම පංගු පේරු , මයි මෑන් සිස්ටම් , යටින් ගේම් , ප්‍රොෆෙෂනල් ජෙලසි හෙවත් අන්‍ය වෘත්තිකයන් කෙරෙහි ඉරිසියාව ,කුඩුකේඩු වැඩ , පුද්ගලික පලි ගැනීම් මානසිකත්වය ඇයගේ න්‍යාය පත්‍රයේ නොවීම නිසා අප ඉතා සතුටින් සේවය කලෙමු. ඇය ඉතා හොඳ මෝටිවේටර් කෙනෙක් හෙවත් අභිප්‍රේරණය සපයන්නියක් වූවාය​. එසේම දක්‍ෂයන් හඳුනා ගැනීමේ සහජ ඉවක් තිබුනාය​. 

මා ඇයගේ රේඩාර් එකට වැටුනේ ඉතා ආධුනික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීයෙකු ලෙස මිනිපේ දිස්ත්‍රික්කය භාරගෙන මාස දෙක තුනක් වැනි කාලයකදීය​. මේ කාලයේදී මම මිනිපේ දිස්ත්‍රික්කයේ මාතෘ මරණ ගැන ප්‍රසන්ටේ‍ෂන් එකක් කොලඹ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී කලෙමි. මල්ටි මීඩියා නැති  ඕවර් හෙඩ් ප්‍රොජෙක්ටර් එකකින් මට පෙර සිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීයාගේ කාලයේ සිදුවූ මාතෘ මරණ කීපයක් සහ ඊට පාදක වූ හේතූන් මම පෙන්වා දුන්නෙමි. ආධුනිකයෙකු ලෙස මා විසින් කල දේශනය වෛද්‍ය චාන්දනී ගල්වඩුගේ මහත්මිය ගේ මෙන්ම ප්‍රජා වෛද්‍ය විශේෂඥ වික්‍රමසූරිය මහතාගේ ප්‍රසාදයට ලක් වූයෙන් ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ගේ කවයට මාවද ඇතුළු කරන ලදි. 

වෛද්‍ය  ගල්වඩුගේ මසකට වරක් හෝ මහනුවර දිස්තික්කයේ එම් ඕ එච් කාර්‍යලයකට විත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ද ගෙන්වා ගෙන අධ්‍යාපනික වැඩසටහන් කලාය​. මේ නිසා වෘත්තියේ යෙදෙන ගමන් අපගේ ප්‍රායෝගික දැණුම වැඩුනි. පෝලියෝ ඇතුළු ප්‍රතිශක්තිකරන වැඩසටහන්  සහ අනෙකුත් වසංගත රෝග මර්ධනයේදී ඇය අපට  නිසි මාර්ගෝපදේශනය දුන්නාය​. ඇය අපට නියෝග දුන්නේ නැත​. අපව දිරිමත් කලාය​. අවශ්‍ය ස්ථානයේදී පමණක් මැදිහත් වෙමින් උදව් කලාය​. එසේම ඉතා හොඳ ටීම් වර්ක් එකක් ඇය එම් ඕ එච් ලා සමගින් ගෙන ගිය බව කිව යුතුය​. ඇය පුද්ගලික ව්‍යාපාර අංශයේ සිටියේ නම් ඉතා විශිෂ්ඨ ඩිරෙක්ටර් කෙනෙකු වනවා නොඅනුමානය​. 

ඒ කාලයේ තරුණ වෛද්‍යවරු වූ මා ඇතුළු තව කිහිප දෙනෙකු වෛද්‍ය  ගල්වඩුගේ මහත්මියගේ දේශන වලදී , වැඩසටහන් වලදී විහිළු තහළු කලෙමු. අප අතර සිටි එවකට කඩුගන්නාවේ එම් ඕ එච් වූ වෛද්‍ය ගමගේ මහතා ජොලි පොරක් වූයෙන් කෙටි විනෝද සමයන් අප නිර්මාණය කර ගත්තෙමු. ඒ කාලයේ මා කොලඹ යන විට සමහරක් දින වලදී වෛද්‍ය ගමගේ මහතා ගේ කඩුගන්නාව නිල නිවාසයේ වාහනය නවතා ගියෙමි. ඔහු පසු කාලයක නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂකවරයෙකු ලෙස පත්වීම් ලැබ මාතලේට ගියේය​. 

වෛද්‍ය චාන්දනී ගල්වඩුගේ මහත්මියද සමහරක් විට මා සහ වෛද්‍ය ගමගේ ගේ විනෝද සමයන් වලට හවුල් වූවාය​. අප ඉතා විනෝදයෙන් සහ සමගියෙන් ඒකකයේ වැඩ කලෙමු. තවද ප්‍රජා වෛද්‍ය විද්‍යාව ඉහලට ඉගෙන ගන්නා ලෙසටද විභාග කිරීමටද ඇය අපව දිරිමත් කලාය​. ඇයගේ උපදෙස් අනුව වෛද්‍ය ශ්‍රීමාල් පෙරේරා වැනි තරුණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ප්‍රජා වෛද්‍ය විද්‍යාව වැඩිදුර හැදෑරූහ​. 

පසු කාලයක වෛද්‍ය චාන්දනී ගල්වඩුගේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ තනතුරකට ගියාය​. වෛද්‍ය චාන්දනී ගල්වඩුගේ වැනි ප්‍රජා වෛද්‍ය මූලිකයන් විසින් ග්‍රාමීය ප්‍රදේශ වල කරන ලද කාර්‍යභාරය අද දිනයේදී සංවාදයට බඳුන් වෙන්නේ ඉතා අඩුවෙනි. ඔවුන් ගේ  ගේ දායකත්වය නිසා ලංකාව ඇතැම් සෞඛ්‍ය දර්ශකයන් දියුණු රට වල අගයන්ට ආසන්න විය​. එසේම ග්‍රාමීය ප්‍රදේශ වල මාතෘ සහ ළදරු මරණ අවම කිරීමටද ඔවුන් ප්‍රශස්ථ සේවාවක් කළහ​. මේ නිසා ශ්‍රී ලංකාවේ ප්‍රජා සෞඛ්‍ය ඉතිහාසය ලියන කාලයකදී වෛද්‍ය චාන්දනී ගල්වඩුගේ වැන්නවුන් ගේ නාමයන් ඉහලින්ම සඳහන් වනු ඇත​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

15 comments:

  1. එහම් හොඳ බොස් ල ඉන්න කොට වැඩ කරන්නත් ලෙහෙසියි.

    ReplyDelete
  2. එවැනි මිනිසුන් වෘත්තිකයන් තමා අපිට ඕන.. ජය වේවා

    අර පින්තුරේ ඉන්නේ බෝනික්කෙක්ද? ඉකෝ කියන බොට් කෙනෙක්ද?? හැක්

    ReplyDelete
  3. //ඇය තුල ඇරියස් මානසිකත්වයක් තිබුනේ නැත​. එසේම පංගු පේරු , මයි මෑන් සිස්ටම් , යටින් ගේම් , ප්‍රොෆෙෂනල් ජෙලසි හෙවත් අන්‍ය වෘත්තිකයන් කෙරෙහි ඉරිසියාව ,කුඩුකේඩු වැඩ , පුද්ගලික පලි ගැනීම් මානසිකත්වය ඇයගේ න්‍යාය පත්‍රයේ නොවීම//

    තමා සමඟ සේවය කල කෙනෙකුගෙන් මේ වචන අහන්නට ලැබෙන්නේ අතලොස්සකටයි

    ReplyDelete
  4. තම වෘත්තිය තුලින් සැබෑ සමාජ සේවයක් කරන උතුම් මිනිසුන් බොහෝ විට සමාජය ඉදිරියේ හඳුනා ගැනීමකට හෝ ලක් නොවේ.
    සීනි බෝල සරුවපිත්තල නළු නිළියන්ට ලැබෙන පිළිගැනීමෙන් අංශු මාත්‍රයක්වත් මෙවන් සැබෑ ප්‍රජා සේවකයින්හට නොලැබේ. එහෙත් ඔවුන් කිරීමෙන් තෘප්තිය ලබන මිනිසුන්ය.
    මේකත් ලෝක ධර්මතාවයක්.

    ReplyDelete
    Replies
    1. මේ අය තුල ස්වයං තෘප්තිමත්භාවය තිබෙන නිසා ඔවුන් සමාජයෙන් ඒක ලැබුනේ නෑ කියලා කම්පා වෙන්නේ නෑ

      Delete
  5. //ඇය තුල ඇරියස් මානසිකත්වයක් තිබුනේ නැත​. එසේම පංගු පේරු , මයි මෑන් සිස්ටම් , යටින් ගේම් , ප්‍රොෆෙෂනල් ජෙලසි හෙවත් අන්‍ය වෘත්තිකයන් කෙරෙහි ඉරිසියාව ,කුඩුකේඩු වැඩ , පුද්ගලික පලි ගැනීම් මානසිකත්වය ඇයගේ න්‍යාය පත්‍රයේ නොවීම//

    අන්න වචන

    ReplyDelete
  6. කවුරු කොහොම කිව්වත් බොහෝ වෛද්‍යවරු රටට විශාල සේවයක් කරනවා.

    ReplyDelete
  7. මෙවැනි උතුම් වයිද්දයවරියන් මෙරටේ පහල වීමම අප සැමගේ වාසනාවක්. ඇයට නිරෝගි සුව සහා දීර්ඝායුශ නිරතුරුවම පතමි.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook