Saturday, April 4, 2015

යසනාත් රාවය



දියුණු සමාජ වල වෛද්‍යවරුන් පුහුණු කිරීමේදී ඔවුන්ට humanities හෙවත් මානව ශාස්ත්‍ර ඉගෙන ගැනීමට  දිරිමත් කරති. එසේම සෞන්දර්‍යාත්මක විශයන් ඉගෙන ගැනීමටද යොමු කරති. මෙහි අරමුණ රෝගීන් කෙරෙහි වඩා සංවේදී වූ මානුශික වෛද්‍යවරුන් බිහි කර ගැනීමටය​. 

අප  ර​ෙට්  සමහර විට සාමාන්‍ය වෛද්‍යවරුන් අතර පමණක් නොව විශේෂඥ වෛද්‍යවරු අතරද සන්නිවේදන කුසළතා ,  සංවේදීභාවයේ ඌණතාවන් දැකිය හැකිය​. එවැනි යුගයක යසනාත් ධම්මික බණ්ඩාර නැමැති සෞන්දර්‍යාත්මක කුසළතා ප්‍රගුණ කල වෛද්‍යවරයෙකු අප අතර සිටීම වාසනාවකි. ඔහු කැළණිය වි.වි. වෛද්‍ය පීඨයේ සහ ජයවර්ධන පුර වි. වි. වෛද්‍ය පීඨයටයේ  පුහුණුව ලැබූ වෛද්‍යවරයෙකි.  කාව්‍ය සහ ගීත රචනයෙහි නිරතව සිටින වෛද්‍ය යසනාත්ගේ නිර්මාණ උත්කෘෂ්ටය​. 

මේ ඔහුගේ කාව්‍ය සංකල්පනාවකි 



හේමන්ත නිද්‍රාවෙන් මිදුණු කවියෙකුගේ කවියක්....
 
ඉදින් කවියට පිටුපා
ලියන්නේ යැයි ගී පද
ගැරහූහ ඔවුන් මට.......

එහෙත් එකළ
ගී අංකුර 
ලියලමින් එකිනෙක
ගී ලියන්නට තතනන
තුරුණු කවියෙකුවූ සඳ
කවියෙකිය වෙසෙස් ඔබ
පැසසීය ඔවුන් මට
මා වෙසෙස් කවියෙකු නොවුනද.....

කවියේද ගීයේද සියුම් ඉසියුම් 
වෙනස තවමත් නොහැඳින
ලියයි ඔබ ගී පද
නොවේ මැයි ඒ ගී පද
ගැරවූහ ඔවුන් මට.......

එහෙත් නොවුනද කවියෙකු
සොඳුරු ගී වැල් පබඳින
නුඹ වෙසෙස් කවියෙකි
නැවත පැසසූහ ඔවුන් මට
මා වෙසෙස් කවියෙකු නොවුනද....

ඔවුන් ගැරහූ ගී පදම
එකින් එක ගී වූ සඳ
අසා වියතුන් සභා මැද
අසුවිනැයි සියුම් ඉසියුම් වූ 
ඒ වෙනස
ගීයේද කවියේද
පැසසූහ ඔවුන් මට....

ඉදින් දිවියේ හේමන්තයක් සපැමිණ
නේක හැල හැප්පිලි ගැහැට මැද
හේමන්ත නිද්‍රාවකට එළඹුනි
අමතක විය ඔවුනට
මගේ කවි ගී පද.....

කාලය කෙමෙන් වියැකින
හේමන්ත නිද්‍රාවෙන් අවදි වින
සොයා අළු දූලි බැඳි කවු ගී
මුසු කළෙමි සුළඟට
පෙර රසික විචාරක හදවත් 
සොයා යන අණ ලැබ....

ඇසෙන විට දැන් නැවත
ඒ ගී ම ඒ කවු ම
කවිද නොව ගී ද නොව
ගැරහූහ ඔවුන් මට......

හේමන්ත නිද්‍රා කාලයේ
මගේ නිද්‍රාව ගැන දුක ලියූ
අවදි විය යුතු යැයි දෙසමින්
නින්දෙන් කීද්දූ
ඒ නින්ද ගී කවු කෙතට
මහත් පාඩුවකැයි කිවු
ඔවුහුම
ගැරහූහ ඇහැරුණු කළ.....

එහෙත් ඒ නිද්‍රාව තුළ සිටි කළ
කියා දුන් පාඩමක් විය මට
ස්වභාවය එය මය
මා උගත් පාඩම....


වෛද්‍ය යසනාත් ධම්මික බණ්ඩාර විසින් කළ නිර්මාණයන් අතර කිදුරු ගීතය - ගීත නිර්මාණ 16 ක් අඩංගු සියුක්ත තැටිය - වර්ෂ 1998, “පතන්බිම“ කාව්‍ය සංග්‍රහය - 1995, “ හඩ “ විශාරද ගුණදාස කපුගේ , ඔහුගේ නිර්මාණ සහ සමකාලීන සාහිත්‍ය කලා විමර්ශන - තිඹිරියාගම බණ්ඩාර, මහින්ද කුමාර දළුපොත සමග - 1996, මුරගල -කාව්‍ය සංග්‍රහය -1997, අගුටුමිට්ටාගේ ප්‍රේමය - ගීත රචනා එකතුව - 1998, තෝල්ස්තෝයි ළමා කතාන්දර - 2 (පරිවර්තන)- වර්ෂ 1999, උයන්පල්ලා සහ සදවතිය - ගීත රචනා එකතුව - 2000 ආදිය හැඳින්විය හැක.

 යසනාත් ඔබට ජය​. තව තවත් මෙවැනි නිර්මාණ මගින් මිනිසුන් ගේ සිත් සතන් පහන් කිරීමට හැකිවේවායි පතමි. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

8 comments:

  1. වෛද්‍ය රුවන් එම් ජයතුංග, මා ඔබේ බ්ලොග් අඩවියෙහි වරින් වර සැරිසැරුවද, එහි ඇති කවක් සිංහලට නැගූවද, එහි මෙවැන්ක් ලියවෙතැයි නොසිතුවෙමි. මෙය දුටු විට ඇති වූයේ මහත් සතුටකි. ලැබුනේ ශක්තියකි. ස්තුතියි ඔබට.....

    ReplyDelete
    Replies
    1. යසනාත් ඔබ වැනි සෞන්දර්‍යාත්මක වෛද්‍යවරුන් බිහි වේවා යන්න මගේ පැතුමයි

      Delete
  2. ශ්‍රී ලාංකික වෛද්‍ය ක්ෂේත්‍රයේ සෞන්දර්යවාදීන් සැලකිය යුතු ප්‍රමාණයක් අතීතයේ සිටම පැවති බවයි මගේ අදහස. මට මතකයි 1960 දශකයේ අග භාගයේ රත්නපුර රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් Smoke Signals නමින් සංගීත කණ්ඩායමක් පිහිටුවාගෙන තිබුණා. මහාචාර්ය නන්දදාස කෝදාගොඩ ශූරීන් වැනි අය හෙළ ගී ආර නංවන්න මහත් මෙහෙයක් ඉටුකළා. මා හිතනවා වෛද්‍යවරයකුගේ අත්දැකීම් ඔහුගේම චිත්ත සන්තානය විසින් කුප්පනු ලැබුවිට විවිධ සාහිත්‍යාංග නිරුත්සාහයෙන්ම බිහිවන බව.

    වෛද්‍ය යසනාත් ධම්මික බණ්ඩාර මෑත යුගයේ බිහිවූ විශිෂ්ඨ සාහිත්‍යධරයකු ලෙස හඳුන්වන්න කැමතියි.

    ReplyDelete
    Replies
    1. විචාරකතුමා මමද එයට එකඟ වෙමි

      Delete
  3. බ්ලොග් අවකාශයේත් මෑත කාලීනව වෛද්‍ය වෘත්තිකයින් කිහිප දෙනෙකුම කැපී පෙණුනා.. වෛද්‍ය යසනාත් ධම්මික සුවිශේෂයි.. නොනිදා ඉන්න එපා දේවී.. ගාන තෙල් සඳුන් වරලස.. සුවඳ මල් රේණු පිස එන.. මගේ ප්‍රියතම සින්දු..

    ReplyDelete
    Replies
    1. නොනිදා ඉන්න එපා දේවී.. ගාන තෙල් සඳුන් වරලස ++++++++++++++++++++++++++++

      Delete
  4. මහාචාර්ය නන්දදාස කෝදාගොඩ ශූරීන් මාත් ඉතාමත් අගය කල කෙනෙක්. ඔහුගේ හැම වැඩ සටහනක්ම වාගේ අසන්නටත් නරඹන්නටත් පුරුදු වෙලා හිටියා. අද වෛද්‍ය යසනාත් ධම්මික බණ්ඩාරයන්ගේ ලිපි කියවන්නේ ඉතාම ආසාවෙන්. ඔහුගේ ගීත සියල්ලක්ම පාහේ හදවත ස්පර්ශ කරන සංවේදී ගීතයි. වෛද්‍ය තුමණි ඔබටත් අපේ ගෞරවය! දීඝායු වේවා!

    ReplyDelete
  5. Chandi ඔබ​ට ස්තූතියි

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook