එළියකන්ද වද කඳවුරේ හිටපු රැඳවියෙකු වන අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද ශාස්තෘ නවකතාව තේමා කර ගන්නේ සමාජය වෙනස් කිරීම සඳහා තමන්ට සුවිශේෂ කාර්‍යභාරයක් ඉතිහාසය විසින් පවරා ඇති බවට තරයේ විශ්වාස කරන පුද්ගලයෙකු පිළිබඳවය. මෙවැනි පුද්ගලයන් ලෝකයේ අනෙකුත් රටවල විවිධ සමාජ වල කාලයෙන් කාලයෙන් මතුවෙති.
ශක්තිමත් සදාචාර පද්ධතියක් ඇති ආත්ම ශක්තිය කැපවීම බුද්ධිය ඇති පුද්ගලයන් එසේ ධනාත්මක ලෙස සමාජය වෙනස් කරති. මාටින් ලූතර් කිං , මැන්ඩෙලා වැනි නායකයන් ඔවුන් ගේ ඉල්ලක්ක කරා ගියේ ඔවුන් සතුව පැවති උත්කර්‍ෂවත් නායකත්වය , ශක්තිමත් සදාචාර පද්ධතිය වැනි ගුණාංග නිසාය. නමුත් එවැනි ශක්තිමත් සදාචාර පද්ධතියක් නොමැති අන්තවාදය පිටුවහලක් කර ගනිමින් සමාජය වෙනස් කිරීම සඳහා තමන්ට සුවිශේෂ කාර්‍යභාරයක් ඉතිහාසය විසින් පවරා ඇති බවට විශ්වාස කරමින් සමාජයක් විනාශය කරා ගෙන යන්නෝද සිටිති. උදාහරණ ලෙස පොල්පොට් , ජිම් ජෝන්ස් , ඩේවිඩ් කොරේෂ් වැනි පුද්ගලයන් නම් කළ හැකිය.
හයිපෝමේනියාව, පෞරුෂ අක්‍රමතා (Personality Disorders) , පැරනොයිඩ තත්වයන් ආදිය නිසා තමන්ට සමාජය වෙනස් කිරීමට විශේෂ බලයක් , යුතුකමක් , කර්තව්‍යක් පැවරී ඇති බව සිතා ප්‍රචන්ඩත්වය, ජාතිවාදය හෝ ත්‍රස්තවාදය භාවිතා කරමින් සමාජ පරිවර්තන කරන්නන් ද සමාජ තුල බිහි වෙති . ඔවුන් නිසා සමාජ වියසන ඇතිවේ.
හිට්ලර් සහ ස්ටැලින් යන චරිත දෙක දෙස බලන විට ඔවුන් ගේ දේශපාලන ක්‍රමවේදයන්ට අන්තිවාරම වැටෙන්නේ ළමා කාලයේ අත්දැකීම් අනුවය. හිට්ලර් සහ ස්ටැලින් ළමා කාලයේදී බරපතළ ලෙස පියාගේ හිංසනයට ලක් වීමත් පියාගේ ප්‍රතික්ශේප කිරීමටත් ලක් වූහ. පසුකාලීනව මොවුන් දෙදෙනා සමාජය පාළනය කරන්නේ දණ්ඩනය පෙරදැරි කරගෙනය.
සැන්ඩිනිස්ටා ගරිල්ලන් පිළිබඳව මනෝ විද්‍යාඥයන් විසින් කරන ලද පරියේෂණ අනුව ඔවුන් ගරිල්ලා ජීවිත වලට ආකර්ෂණය වීම සඳහා කුඩා කාලයේ මාතෘ වියෝග කාන්සාව හේතු කාරකයක් වී තිබේ. එසේම ජර්මනියේ බාඩර් මෙයින්හොෆ් ගරිල්ලා සාමාජිකයන් කුඩා කාලයේදී ළමා හිංසනයන්ට ලක් වීම නිසා ඔවුන් සමාජ අධිකාරියන් කෙරෙහි සෑම විටම දැක්වූ ප්‍රතිරෝධය , ක්‍රම විරෝධී බව ,වැඩිහිටියන් විශ්වාස නොකිරීම , එදිරිවාදී (Hostility) බව අධ්‍යනය කොට තිබේ.
ලංකාවේ දකුනේ සහ උතුරේ ඇතිවූ කැරලිකාරීත්වය සඳහා සමාජ අසාධාරයන්ට ලක් වීම ,කුළ පීඩනයන්ට අසු වීම මෙන්ම චර්‍යාත්මක අක්‍රමතා (conduct disorders) ද හේතු කාරක වූ බවට විශ්වාස කිරීමට හේතු සාධක තිබේ. මේ හැර ආගමික අන්තවාදය ප්‍රවර්ධනය කරන්නන් බොහෝවිට ළමා කාලයේදී බරපතල ලිංගික අපයෝජන වල ගොදුරුවූවන් වීමද විශේෂයෙන් සඳහන් කළ යුත්තකි.
වර්තමාන ශ්‍රී ලාංකික සමාජය තුල ළමා හිංසනය , ළමා ලිංගික අපයෝජන , මව්වරු මැපෙරදිග යාම නිසා මාතෘ දුරස්ථකරණය පැතිරීම යනාදී සාධක නිසා අනාගතයේ සද්‍යෝෂී ශාස්තෘවරු මතුවීමේ හැකියාව ගැනද මානසික සෞඛ්‍ය වෘත්තීයවේදීහු ගැඹුරින් සිතිය යුතුය.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
හිතන්නට යමක් එක් කරල + ඊළඟ විපලවය වැඩි ඈතක් නැතිද?
ReplyDeleteඑදා තිබූ ඒ සමාජ ඝට්ටනම තවමත් ලාංකික සමාජයේ එදාටත් වඩා තියෙනවනේ?
ප්‍රියන්ති 1971 ටත් වඩා අපේ සමාජය පසුගාමීයි කියලා හිතනවා
Delete