එදින මහියංගනය බදුල්ල මාර්ගයේ වාහන තදබදයක් නොමැති වූ නිසා වාහන ධාවනය වූයේ අධික වේගයෙනි. මෙම අවස්ථාව රූටා යාමට නොදුන් පෞද්ගලික බස් රථ වේග සීමාවද ඉක්මවා ධාවනය කිරිමට අමතක නොකළහ. එහෙත් ලංගම බස් රථයක් පැදවූ සීමන් වේග සීමාව කිසිවිටෙක උල්ලංඝනය නොකළේය. ඔහු නිතියට අනුකූල ලෙස නියමිත පරිදි තම බස් රථය පදවමින් සිටියේය.
මහාමාර්ගයේ අධික වේගයෙන් යන්නාවූ වාහන නිසා පොලිස් නිළධාරීහු වහ වහා ක්‍රියාත්මක වූහ. මාර්ගයෙහි තැනින් තැන වේග සීමා පරික්ෂා කිරීමට රථවාහන පොලිසිය පියවර ගත් අතර වේග සීමා උල්ලංඝනය කළ රියදුරන් සඳහා දඩකොළ ලියූහ. ඇතැමෙක් තම තරාතිරම් ගැන පවසා ගැලවී ගියහ. සමහරු නෝට්ටු කීපයක් රථවාහන බලපත්‍රය හා රක්ෂණ ආවරණය සමඟ කලවමේ පොලිස් නිළධාරීන් අතට දී ඔවුන්ගෙන් සමුගත්හ. වඩාත් අවාසනාවන්ත කොටස් දඩකොළ අතට ගෙන සකල පොලිස් වර්ගයාටම සාප කරමින්, වාහනයේ වේගය ඉතා සැලකිල්ලෙන් අඩු කොට ප්‍රවේශමින් තම රිය පැදවූහ.
වේග සීමා පරික්ෂාවේ යෙදී සිටි නිළධාරිහූ සීමන්ගේ අවධානයට යොමු නොවීය. සීමන් නීතිගරුක රියදුරෙකු ලෙස ඩිපෝවේ උස් පහත් සියළුම තරාතිරම්වල පුද්ගලයෝ දැනසිටිමින් ඔහුට සැලකූහ. සියලූම දෙනා ඔහු හැඳින්වූයේ "සීමන් අයියා˜ හෝ "සීමන් ඩ්‍රැයිවර උන්නැහේ˜ යන නමිනි. සීමන් ඩ්‍රැයිවර් උන්නැහේ සියළු දෙනාගේම මිතුරෙකි. ඔහු තම ඩිපෝවේ අනෙකුත් රියදුරන්ගේ ඕනෑම ගැටලූවකදී කර නොහැර ඉදිරිපත් විය. එසේම මගින්ට ඉතා කාරුණිකව හා විශේෂ අවධානයෙන් සැලකුවේය. බොහෝ රියදුරෝ මහළු පුද්ගලයෙකු දුටුවිට රථය නොනවත්වා යාමත්, මගීන් වාහනයෙන් බසින අවස්ථාවේදී ඔවුන්ගේ ආරක්ෂාව ගැන නොසලකා ඉක්මන් බහින ලෙස අණකරමින් රථය ඇද්දීමටත් පුරුදුව සිටිති. සීමන් එවැනි චර්යා විරෝධී කටයුතු කළ බවට කිසිතැනක වාර්තා වී නැත.
සමහර ලංගම රියදුරන් පෞද්ගලික බස් රියදුරන් සමඟ ගජ මිතුරන්ව සිටීමත් ඔවුන්ගෙන් නොමිළයේ ලැඛෙන කෑම පාර්සලයට හා ගල් අරක්කු වීදුරුවට වසඟවී, පෞද්ගලික බසයට සෙනඟ පුරවාගැනීමට ඉඩහැර සිටින බව ඇතැමුන්ගේ මතයකි. මේ නිසා තමාගේ ආයතනයට මුදල් අඩුවී, පාඩු සිදුවූවාට ඔවුන්ට කම්නැත. සමහර ලංගම රියදුරන් පෞද්ගලික බස් රථ සමග තරගයට ගොස් තම බසයේ ආදායම වැඩිකර ගැනීමට වෙහෙසෙමින් මාර්ග අනතුරුවලට පවා භාජනය වේ. එහෙත් සීමන් කිසිදිනක මේ අන්තගාමී පිළිවෙත් අනුගමනය නොකළේය. ඔහු ලංගම හෝ පෞද්ගලික වශයෙන් රියදුරන් ඛෙදීමක් නොකළේය. දෙවර්ගයේම අය කරන්නේ එකම වර්ගයේ රැකියාවක් බව ඔහු කල්පනා කළේය. ඕනෑම අවස්ථාවක රියදුරෙකුට යම් උපකාරයක් අවශ්‍ය වුවහොත් නොපැකිළ එය ඉටුකර වීමට ඔහු ඉදිරිපත්විය.
මෑතකදී පෞද්ගලික බස්රථයක් හදිසි ආපදාවකට ලක්විය. අසරණව සිටි රියදුරු සහ කොන්දොස්තර මගීන්ගේ මැසිවිලිවලට සවන් දෙමින් අබලන් රථය පණගැන්වීමට නොගත් උත්සහයක් නැත. එහෙත් ඔවුන්ගේ ව්‍යායාමය අසාර්ථක විය. මේ අතර එතැනට පැමිණි සීමන් ඩ්‍රැයිවර් උන්නැහේ˜ ඉෂ්ට දේවතාවෙකු ලෙස පිහිට විය. සීමන්ට එන්ජින් සම්බන්ධ සුළු කාර්මික දැණුමක් තිබු‚. එම දැනුම, අත්දැකීම් හා අනුන්ට පිහිටවීමේ උතුම් ගුණය නිසා එන්ජීම යළි පණගැන්වීමට ඔහුට හැකිවිය. මෙහිදී පෞද්ගලික බස් රියදුරු මුව නොසෑහෙනසේ සීමන්ට ස්තූති කළේය.
" සීමන් අයියා නොහිටින්න අපි පාරේ රස්තියාදු වෙනවා˜ යැයි කිව් පෞද්ගලික බස් රියදුරු — මේ කබල විකුණලා අළුත් බස් එකක් ෆිනෑන්ස් කරලා හරි ගන්න˜ කියලා අපි අපේ බොසාට කොච්චර කියනවද යනුවෙන් පෞද්ගලික බස් රියදුරු සීමන්ට කිවේ ඉතා ලෙන්ගතු මෙන්ම දුක් සහිත හඞකිනි.
"ඕවා ගණන් ගන්ට එපා මලේ, පරිස්මෙන් යන්ට. ක්ලච් එක හෙමින් පාගන්ට˜ කියා සීමන් ඔහුට උපදෙස් දුන්නේය.
සීමන් ඩ්‍රැයිවර් උන්නැහේට කිසි දිනෙක පොලිසියෙන් දඩ කොළ ලැබී නැත. එනමුදු පාර අද්දර පොලිස් නිළධාරීන් වේගසීමා පරික්ෂාවේ යෙදී සිටිනවා ඔහු දුටුවහොත් ඉදිරියෙන් එන වාහනවලට තම බස් රථයේ හෙඩ් ලයිටි දල්වා අවදානම පිළිබඳව සංඥා කිරීම ඔහු නිබදවම කළේය. මෙය නීති විරෝධී බව සීමන් නොදනියි.
ඩිපෝවේ නිළධාරිහු සීමන් ඉතා හොඳ රියදුරෙකු ලෙස සැලකූහ. බස්රථවලට අලාභ හානි කිරීම, හොරෙන් ඩීසල් ඇදීම, ඩිපෝවේ වාහන අමතර කොටස් හොරකම් කිරීම වැනි අක්‍රමිකතා සම්බන්ධයෙන් ඔහුගේ නම කිසි විටෙකත් ගෑවී තිබුණේ නැත.
සෑම හොඳ මිනිසෙකුටම යම්කිසි දුර්වලකමක් තිබේ. සීමන් සම්බන්ධයෙන්ද මෙම කරුණ සත්‍ය විය. ඔහු පමණ ඉක්මවා මත්පැන් පානය කළේය. එහෙත් රාජකාරි කරන අවස්ථාවේ ඔහු මත්පැන් බීවේ නැත.
බොහෝ රියදුරන් බස් ධාවනය කළේ ගල්, පොල් හෝ කසිප්පු සප්පායම් වීමෙනි. ඇතැමෙක් ගංජා සුරුට්ටුද පාවිච්චි කළහ. මීට අමතරව මදන මෝදකද හපමින් සුක්කානම කැරකූහ. එහෙත් සීමන් මීට හාත්පසින්ම වෙනස්ය. තමා බස්රථය පදවන අවස්ථා වලදී නොමිළයේ ලැබුණත් මත්පැන් නොබීමට තරම් හොඳ සංවරයක්, ආත්ම දමනයක් ඔහුට තිබුණි.
"කටගොන්නක් බීලා එලවන්නේ කොහොමද?˜ යි ඔහු කියයි.
" සීමන් අයියා ඕක මොකක්ද? පොඩි ෂොට් එකක් දාගන්න, මොකද බිව්ව කියල අපි වාහන හප්පගන්නවද?˜ මෙහි දී කටකාර රියදුරෙක් කියන්නේ අරක්කු බෝතලයේ මූඩිය අරින ගමන්ය.
"බෑ මලේ ඩිපෝවේ මහත්තයත් අද එළියේ. දන්නවනේ˜ ගැලවීමක් වශයෙන් ඔහු ආයතන ප්‍රධානියාගේ නමද පෙරට දමයි. සෙල්ලක්කාර රියදුරන්ට ඩිපෝ අධිකාරිද වලංගු නැත.
"එයා මොනව චැක් කරන්නද? අපි නොදන්නවැයි එයා සෙට්වෙන හැටි, ඕවා ගණන් ගන්න එපා. මෙන්න මේක ඉක්මනට ගහලා යමු.˜ යි එකෙක් කියයි.
"අනේ මලේ උඔලා ඔය බෝතලේ තියා ගනිල්ලා මම හවස එනවා. එතකොට බොමු...˜ එසේ කියමින් සීමන් ඔවුන්ගෙන් මිදී යයි. එහෙත් හවස වැඩ නිම වෙන විට රියදුරන්ද බෝතලයද නැත. එම නිසා සීමන් බස්රථය ඩිපෝවට බාරදී සැමි අයියාගේ බත් කඩයෙන් කාලක් පමණ උගුරට හලාගෙන ගෙදර යයි. රෑ කෑම කෑමෙන් පසු අසල්වාසීන් සමඟ පිළිසඳරට යාමට ඔහු අමතක නොකරයි. එහිදී බෝතලයක් එලියට එන අතර එම බෝතලයද හවුලේ ඉවරකිරීම ඔහුගේ සිරිතය. එහෙත් රෑබෝවෙන විට ඔහු මෙම සංගමයෙන් මිදීමට සමත්වෙයි.
"මට දැන් යන්ට ඕනෑ. හෙට උදේට වැඩට යන්ට තියෙනවා. හෙට හමුවෙමු˜ යි පිටත්වෙන ගමන් කියයි. මේ අතර යම් අයෙක් සීමන් නතර කිරීමට සැරසුනොත් "අනේ මලේ හෙට ඩ්‍රැයිවර්ලත් නැහැ. කොහොම හරි වැඩට යන්ට ඕනෑ.මෙන්න මම ගියා˜ කියමින් වැනෙමින් නිවසට ගොස් මළාක් මෙන් නිදාගනී.
එහෙත් උදේ පහ වනවිට ඔහු අවදි වෙයි. උදෑසන අවදි වී බිරින්දෑ අතට ගෙන දෙන කෝපි කෝප්පය පානය කොට ගෙදර ලිඳෙන් වතුර නා කාකි කමිසය සහ සුදු සරම ඇඳ පාරට බසියි. පාරේ එන ලංගම හෝ පෞද්ගලික බස් සීමන් පාරේ සිටිනවා දුටුවිට වහාම නැවැත්වෙයි. එම නිසා ප්‍රමාදයකින් තොරව හෙතෙම ඩිපෝවට පැමිණේ.සුක්කානම අතට ගත් වහාම තෙවරක් වැඳනමස්කාර කර එන්ජිම පණගන්වයි. "එහෙනම් රන්නත්තරේ සරණිං යං "කියමින් ඩිපෝවෙන් පිටත්වෙයි.
සීමන් වඩාත් ප්‍රිය කළේ කෙට්ටු, වැඩි කතාබහක් නැති තරුණයෙකු වූ පියසාන්ත කොන්දාස්තරටය. ඔහුගේ නියම නම ප්‍රියශාන්ත වුවද ඩිපෝවේ ඇත්තන් ඔහුගේ නම උච්චාරණය කළේ පියසාන්න නමිනි. වැඩි කලබලයක් නැති මෙම තරුණයා මගීන්ට කරුණාවන්තය. කථාබහ අඩු නිසා ඩිපෝවේ සමහරුන් ඔහු හැඳින්වූයේ "බම්මන්නා" නමිනි කෙසේ වෙතත් පියසාන්ත සීමන් ඩ්‍රයිවර උන්නැහැගේ සිත් ගත්තේය. පියසාන්ත නැති දිනවල වැඩට එන අනෙක් කොන්දාස්තරවරු මගීන්ට සැර දමති. නැතහොත් මගියා නැගීමට පෙර බෙල් එක ගසති. එවැනි අවස්ථා වලදී සීමන් උන්නැහේ "මලේ හදිස්සියක් නෑ හෙමිහිට යං˜ යනුවෙන් පවසයි.
නියමිත පරිදි ධාවනයේ යෙදෙන බස් රථය සවස ගාල් කිරීමෙන් පසු සැමි අයියාගේ කඩයට ගොඩවැදී කාලක් සප්පායම් වීම සීමන්ගේ දිනචරියාවේ අංගයක් විය. ඇතැම් දිනවල සැමි අයියා දෙන බඩුවල යූරියා වැඩි යැයි සමහරු පවසති. එවැනි දිනවල සීමන් බුලත් විටක් ද කෑවේ යූරියා ගතිය කටින් පහකර ගැනීමටය. මෙසේ කිසිම වැරුද්දක් දොසක් නැතිව කටයුතු කළ සීමන් උන්නැහේට ඉදහිටවත් දොසක් කිවුවේ ඔහුගේ මායියා පමණකි.
"මේ ඔහේගෙ බීම දැන්වත් නවත්වනවකෝ හැමදාම ගෙදර එන්නේ ගඳ ගස්සාගෙන. දැන් කොලූවත් ලොකුයිනේ "ඇය කියන්නේ තද ස්වරයකින් නොවේ.
"අනේ යෝදියේ නිකං ඉදිං මම ඉදල හිටල අඩියක් ගැහුවට වෙන ඩ්‍රයිවර්ල වගේ කුපාඩිකමේ යනවද? ගෙදරට මදිපාඩු කරනවද?˜ ඊට පිළිතුරු වශයෙන් ඔහු පවසයි.
මින් එහාට යමක් කීමට අපොහොසත් වන ඇඹනිය තමාගේ වැඩක නිරත වන්නීය. සීමන්ට වඩා අවුරුදු අටකින් පමණ බාල ඇයගේ රූ සපුව ලිපේ සහ ගෙවත්තේ වැඩටම දිය වී ගොසිනි. උදයට ලිප සමඟ ඔට්ටුවන ඇය දවල්ට කැත්ත උදැල්ල අතට ගනී. දෙමහල්ලන්ගේ අවධානය හා බලාපොරෙත්තුව තිබුනේ තම එකම පුතු වූ තිලකසිරි කෙරෙහිය. මේ වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත්වන තිලකසිරි ඉගෙනීමට සමත්ය. එසේම පාසලේ ක්‍රිඩා කටයුතු වලදීද ඔහු කැපී පෙනෙයි. මේ නිසා සීමන් උන්නැහේ සිටියේ ආඩම්බරයෙනි.
"අපේ පුතා දස්සයා. හොඳට ඉගෙන ගන්නවා විභාගේ පාස් උනහම පුතා ඩිපෝ අධිකාරි කෙනෙක් වෙයි.˜ බස් රථය ධාවනය කරන ගමන් සීමන් තම පුතු ගැන සිහින මැවීය. යන්තම් හතර වැනි පන්තියට උගත් සීමන් අධ්‍යාපනයේ වටිනාකම දන්නෙකි. ඔහුගේ දැනීමේ තරමට ලෝකයේ ඉහලම රැකියාව ඩිපෝ අධිකාරීකමය. එම නිසා පුතාගේ අධ්‍යාපනයට ඔහු ඉතා උනනන්දු විය.
"අපරාදේ කියන්ට බැහැ කොල්ල තනියම පාඩම් වැඩ කරනවා. කිසිම කරදරයක් නැහැ.˜ සීමන් තම බිරිඳ සමඟ පැවසුවේ පාසල් ගිය සමයේ තමා කැලේ පැන්න හැටි මතක්කරමිනි.
"පුතා දැන් ලොකු නිසා ඔහේගේ ඔය බොන පුරුද්ද අඩුකළොත් නරකද?˜ ඇයට කීමට ලැබුනේ මේ වචන ටික පමණයි. සීමන් උරණ විය
" අනේ යෝදියේ උඔ හැමදාම කියන්නේ ඔය බණේනේ. ඒක අහලා මට ඇති වෙලා.˜ මෙසේ කියමින් සීමන් අසල්වැසි සමරේ බාස් සොයාගෙන ගියේය. සමරේ සමඟ අඩිගහන අතරතුර බීම මදක් අඩුකළ යුතුබව ඔහුට සිතුනි. "පුතාට හරිනෑ නොවෑ˜ ඔහු සිතීය . එදින මදක් කළින් සමරේ බාස්ගෙන් මිදී ගෙදරට පැමිනීමට සීමන් සමත් විය.
පසුදින උදයේ වැඩට පිටත්වන විට බිරිය ඔහුට පණිවිඩයක් කීවාය. එනම් එදින දහවල පාසලේ ක්‍රීඩාභාර ගුරුතුමා සමඟ තම පුතා ඇතුළු ළමුන් කණ්ඩායමක් හමුදා කඳවුරට යන බවත්, දින දෙකක් එහි නැවතී පුහුණුව ලබන බවත්ය.
තිලකසිරි පාසලේ ශි්‍යෂ භටයෙකු විය. අධ්‍යාපන ඇමතිවරයා සහභාගීවන උත්සවයකට ආචාර පෙළපාලිය සංවිධානය කිරීම පැවරී තිබුනේ තිලකසිරි ඉගෙනීම ලැබූ පාසලටය. එම නිසා අසල කඳවුරේ අණදෙන නිළධාරි මාර්ගයෙන් ශිෂ්‍ය භටයින්ට ආචාර පෙළපාලිය පිළිබඳ පුහුණුවක් ලබාදීමට විදුහල්පතිවරයා පියවර ගෙන තිබුනි. මේ සම්බන්ධයෙන් සීමන් උන්නැහේ ඩිපෝවේ දී කතා කළේ තම පුතු පිළිබඳ උපන් සෙනෙහස හා ගෞරවයෙන් යුක්තවය.
"අපේ කොල්ලා අද කෑම්ප් එකට ගියා˜ ඔහු අන් රියදුරන් සමඟ කීවේය.
"ඇයි සීමන් අයියේ කොල්ලා හමුදාවට යවන්නද කල්පනාව˜ යැයි ඇසුවේ ඩිපෝ රියදුරෙකු වන ඩේවිඩ්ය. ඔහුගේ පුතුන් දෙදෙනාද හමුදාවේය.
˜නෑ ඩේවිඩ් කොල්ලා කැමති ඉගෙන ගන්ට. මේ ඉස්කොලේ සෙල්ලං වගයකට පුරුදු වෙන්ට ගිහිල්ලා˜ ඔහු ඩේවිඩ්ට පිළිතුරු දුන්නේය.
"එහෙනම් වෙඩි තියන්න පුරුදු කරනවා ඇති.˜ ඩේවිඩ් දැනමුත්තෙකු ලෙස කීවේය.
එදින සීමන් තම බසය පැදවූයේ පුතු ගැන සිතමිනි. "පුතාට මොනවාහරි කෑමක් ගෙනියන්ට ඕනෑ˜ දහවල් කෑමට මාතර බත් කඩේට ගිය සීමන්ට සිතු‚. පුතාට ගෙනයාම සඳහා යමක් සෙවීමට ඔහු යාබද කඩ දෙක තුනකට ගියේය. අවසානයේදී මිලෙන් වැඩි බිස්කට් ටින් එකක් ඒ සඳහා තෝරාගත්තේ කමලා ස්ටෝර්ස් එකෙනි. ඉතා අලංකාර ලෙස මුද්‍රණය කොට තිබූ බිස්කට් ටින් එක රට බිස්කට් ටින් එකක් විය යුතු යැයි ඔහු සිතිය. බිස්කට් ටින් එක ඔතාගත් ඔහු එය බස් රථයේ රියදුරු ආසනයට නුදුරු මුල්ලක තැන්පත් කළේ නැවත දිනමිණ පත්තරයක පිටුවකද ඔතමිනි. මෙම පත්තරය මගියෙකුට අමතකව බස්රථයේ දමාගිය එකකි. එන්ජින් ඔයිල් ගෑවෙතැයි ප්‍රවේසමෙන් පත්තර පිටුවල එතූ බිස්කට් ටින්එක ගමනාන්තය දක්වා ඔහුගේ දෙපාවල දැවටි දැවටී තිබුණේ පූස් පැටවෙකු තම ස්වාමියාගේ දෙපා අසල දැවටෙන්නාක් මෙනි.
පුතාට කන්ට ගෙනියන එක පයේ ගැටෙන්ට හොඳ නැහැ. යැයි සිතූ ඔහු එය උකුළ උඩ තබාගත්තේ බස්රථය ඩිපෝවට ඇතුළු කිරීමට මොහොතකට පෙරය. සවස් වරුවේ වැඩ නිමාවී කඳවුරට යාමට ඉටාගත් ඔහු පොත අත්සන් කළා පම‚. විනෝදකාමී රියදුරෙකු වන කුමාර සීමන් උන්නැහේව නතරකර ගත්තේය.
"සීමන් අයියා, මොකක්ද, බෝම්බයක්ද? ඔහු ඇසුවේ කට කොනකින් සිනාසෙමිනි.
"පිස්සුද මලේ මේක මේ අපේ කොල්ලට ගත්ත බිස්කට් ටින් එකක්. කොල්ලා කෑම්ප් එකේ. මම දැන් යනවා.˜ ඔහු පැවසුවේ කඩිනමිනි. හැකි ඉක්මනින් පුතු බැලීමට යාම ඔහුගේ අභිප්‍රාය විය.
"පොඩිඩක් ඉන්න සීමන් අයියා, දැන් සීමන් අයියට අපිව පේන්නේ නෑ තියෙන ආඩම්බර. දැන් ඉතින් ගණු දෙනු ආම් එකත් එක්කනේ˜ කුමාර කීවේ නොක්කාඩු ස්වරූපයෙන්ය.
"නැහැ මලේ රෑවෙන්ට කළින් යන්ට එපැයි˜
"අයියෝ සීමන් අයියා දැන් කීයද? තවම හය උනෙත් නැහැ පොඩ්ඩක් එන්න මෙහාට අද විල්බට් අයියා පොල් බොතල් දෙකක් ගෙනාවා පොඩ්ඩක් සෙට්වෙමු.˜ කුමාර ඔහුට පෙරැත්ත කළේය.
"හරි, හරි මලේ ඔන්න මම එතන ඉන්නේ පැය බාගයයි. පරක්කු වෙන්ට බැහැ˜ සීමන් පිළිතුරු වශයෙන් කීවේ කුමාර අමනාප වෙතැයි සිතාගෙනය.
"හරි හරි යමුකෝ...˜ කුමාර පය ඉස්සර කළේය. ඔව්හු ඩිපෝවට යාබදව තිබුණු වඩු මඩුවට ගියහ. විල්බට් සහ වඩු මඩුවේ ජයරත්න සීමන් සහ කුමාර පිළිගත්තේ ඉතාම සතුටිනි.
"අනේ සීමන් අයියා දැක්ක කල්. කාලෙකින් අපට ජොලියක් දාන්න බැරිඋනා.˜ විල්බට් කීවේ සීමන්ට තොත්තුවක්ද දෙන ගමන්ය.
"අපි අන්තිමට හමු උනේ සිංහල අවුරුදු දවසේ මතකද?˜ සීමන් විල්බට්ට සොදුරු දිනයක් මතක් කර දුන්නේය.
"හරි හරි සීමන් අයියා මතකයි. එදා අපි නියමෙට සැප ගත්තා. අදත් අපි ආතල් එකක් ගමු˜ විල්බට් බෝතල් දෙකක් වඩු මඩුවේ මුල්ලකින් ගත්තේය. "අද අස්සයෙක් වැඩකළා ඒකේ සතුට අපි ඛෙදා ගමු˜ විල්බට් කීවේ උද්දාමයෙනි.
"හැබැයි මලේ මට පරක්කු වෙන්ට බැහැ.˜ සිමන් පැවසුවේ තම පුතුට ගෙන යන බිස්කටි ටින් එක අතට ගනිමිනි.
"හරි හරි සීමන් අයියා අපි උගුරට දෙකට මේක ඉවර කරමු.˜ එසේ කියමින් විල්බට් කට කැපූ වීදුරුව සීමන්ට පිළිගැන්වීය. එකවරම අරක්කු වීදුරුව උගුරට හලාගත් සීමන් මොහොතක් දෑස් පියා ගත්තේය. ඉන් අනතුරුව කෙළ පිඩක් ගැසූ ඔහු
"මලේ හොඳ බඩු. සැමි අයියාගේ ජරාව වගේ නෙවෙයි.˜ යැයි පැසසුමක් ද කළේය.
"ඔව් සීමන් අයියා මේවා සංස්ථාවේ බඩු. සැමීගේ කුණු ජරාව වගේ නෙවෙයි.˜ විල්බට් කිවුවේ සැමීට පොඩි පහරක්ද ගසමිනි. ඊට හේතුව සැමී,—අද මුදලට හෙට ණයට˜ යන ප්‍රතිපත්තියට වැඩකළ හෙයිනි.
කුමාර, ජයරත්න, විල්බට් සහ සීමන් පළමු බෝතලය හිස්කරන විට හත පසු වී තිබුණි.
සීමන් හදිස්සි කළ සෑම අවස්ථාවකම කුමාර සහ විල්බට් ඔහු නවතා ගත්තේ "මොන පරක්කුවක්ද˜ කියමිනි. මෙසේ බෝතල් දෙක අවසන් වෙද්දී කුමාර සැමීගේ කඩෙන් සුදුවා බෝතල් දෙකක්ද ගෙනාවේ මයියොක්කා පිඟානක්ද සමගිනි.
සීමන් සැමීගේ බෝතලයෙන් කෝප්ප භාගයක් උගුරට හලාගෙන මයියොක්කා කෑල්ලක් හැපුවේ "දිවිය ලෝකේ රහයි මලේ˜ කියමිනි. "අනේ මලේ දැන් හොදටම රෑඋනා. කොල්ලව බලන්ට ඕනේ. මෙන්න මම ගියා˜ මෙසේ කියමින් සීමන් උන්නැහේ සමාගමෙන් ඉවත්වූයේ තවත් පෙරැත්තයකට ඉඩ නොතබමිනි. ගහෙන් ගෙඩි එන්නාක් මෙන් ඔවුන්ගේ සමාගමෙන් ඉවත්වීමෙන් තමාකළේ වැරැද්දක්දැයි සිතමින් සීමන් තැවුනේය. එහෙත් පුතු හමුවීමට ඇති අවශ්‍යතාව නිසා ඒ හැඟීම යටපත් විය.
වේලාව රාත්‍රි නවය පසුවී තිබු‚. පාරේ කිසිදු වාහනයක් නැත. රෑ බෝවීමට කලින් කඳවුරට ගොස් බිස්කට් ටින්එක පුතුට දෙන්නේ කෙසේදැයි ඔහු කල්පනා කළේය. සීමන් උන්නැහේට කැරකිලි ගතියක් දැනිණි. අද ටිකක් වැඩිඋනාවත්ද? ඔහු මදක් බමන ගතියෙන් පාරේ ඉදිරියට ගියේය. හැතැක්ම කාලක් යාමට පෙර අඳුර කපාගෙන වාහනයක් පැමිණි‚ අතර එය නිමල් පදවන පෞද්ගලික බස් රථය බව සීමන් හඳුනා ගත්තේය. වහාම පාරට පැන සීමන් බස් රථය නැවැත්වූයේ පොලිස් භටයෙකු මෙනි.
නිමල් බ්‍රේක් ගැසුවේ කුණුහරුපයක්ද කියමිනි. සීමන් හඳුනා ගැනීමෙන් පසු ඔහුගේ මුහුණේ ස්වරූපය වෙනස් විය.
"ආ මේ සිමන් අයියනේ. මොකද රෑ වෙලා˜ යැයි නිමල් සීමන් ගෙන් ඇසිය.
"පොඩ්ඩක් රෑ උනා මලේ. මාව කෑම්ප් එක ලඟින් බස්සන්ට. අපේ කොලූවා අද එහේ ගිහිල්ලා˜ සීමන් පැවසුවේ බිස්කට් ටින් එක තුරුළු කර ගනිමින්ය.
බස්රථයේ සිටියේ මගීන් ස්වල්ප දෙනෙකි. එම නිසා නිමල්ගේ රියදුරු අසුන අසල සිටම නිදහසේ කථා කිරීමට ඔහුට හැකිවිය.
"සීමන් අයියා අමාරු නම් වාඩිවෙන්න මොනද අද ටිකක් වැඩී වගෙද?˜ නිමල් ඇසුවේ බ්‍රේක් ගසනවිට සීමන් විසිවෙන අයුරු කණ්නාඩියෙන් දැකීම නිසාය.
"නෑ මලේ මොන වැඩියක්ද? මෙහෙම හොඳයි˜ ඔහු එක් අතකින් බිස්කට් ටින් එකද අල්ලාගෙන අනෙක් අතින් රියදුරු අසුනේ දාරය දැඩිව ග්‍රහනය කර ගත්තේය.
"මොකක්ද අද ඩිපෝවේ පාටියක්ද?˜ නිමල් ඇසුවේ කුතුහලයෙනි.
"නෑ මේ විල්බට් බලකරා˜ ඔහු තමා අතේ වරදක් නැති නියායෙන් කිවේය.
"කවුද විල්බට් ආ මේ ඩීසල් විල්බට්ද?˜ නිමල් ඇසුවේ විල්බට්ගේ තෝම්බුව එළියට දමමින්ය.
විල්බට් හොරෙන් ඩීසල් ඇදීම සඳහා නම් දැරුවෙකි. පදවන බස්රථය ගෙන ගොස් ඩීසල් බෑම ඔහුගේ සිරිතයි. එම නිසා අන් රියදුරන් විල්බට් හඳුන්වන්නේ මේ නමිනි.
"මලේ ඔය වංගුව ලඟ නවත්වන්ට, මම බහිනවා.˜ කඳවුර ආසන්න වෙත්ම සීමන් ඉල්ලීමක් කළේය. ඉල්ලීම ඉටු විය. බස්රථය හමුදා කඳවුර ලඟ නවත්වන ලදි. වැනෙමින් සිටි සීමන් නිමල්ට ස්තූති කොට බසයෙන් බැස්සේය.
"අනේ මලේ උඹ නොහිටින්ට මම තාම පාරේ. එහෙනම් දෙයියන්නේ පිහිටෙන් ගිහින් වරෙන්˜ මෙසේ කියා නිමල්ට ඔහු සමුදුන්නේය. බස් රථය පිටත්වූ විගස සීමන් යලි බිස්කට් ටින් එක තුරුල්කර ගත්තේ එය බිම වැටේ යන බියෙනි. බිස්කට් ටින් එක සුරක්ෂිත බව දැනුණු වහාම ඔහු වැනෙමින් කඳවුර ඉදිරියට පියමං කළේය.
පරක්කු වැඩීවත්ද? කොළුවා නිදා ගෙනද දන්නේ නෑ. මෙලෙස තමාටම තොල්මැතුරූ ඔහු "තිලකසිරි පුතේ˜ යැයි උස්හඬින් කෑගැසීමට සිතූ නමුත් එය නුසුදුසු යැයි සිතා කෑම්ප් එකේ මහත්තුරුන්ට කථාකරලම කොල්ලව බලනවා යැයි සිතා මුර කුටිය අසලට පියමැන්නේය.
මුර කුටියේ සිටි සෙබලා නගර් කෝවිල් සිට මෙම කඳවුරට පැමිණ ගතවූයේ සති දෙකක් පම‚. මේ ප්‍රදේශයේ ත්‍රස්තවාදී කලබල අඩු නමුදු ඔහු සෑම රැයේදීම රාජකාරි කළේ සැකයෙනි. පුහුණු සමයේ බංකරයේ නිදා ගැනීම නිසා සාජන්ගෙන් නොසෑහෙන සේ ගුටි කෑ ඔහු සුළු ශබ්දයකදී පවා තිගැස්සුණු අතර තුවක්කුව බඳට තදකරගෙන සූදානමින් සිටියි. වරක් උතුරේදී බංකරයේ නිදා සිටි තම මිතුරන් දෙදෙනෙකුගේ ඛෙලි සතුරන් විසින් කපා දමා තිබීම නිසා ඔහු සිටියේ වඩාත් විමසිල්ලෙනි. තියුණූ වක්පිහිය කටින් ගෙන ශබ්ද නොනැග බඩගාගෙන එන්නා වූ ත්‍රස්තවාදීන් ගැන බලාපෙරොත්තු තබාගෙනය. කොයි මොහොතේ හෝ තම අවිය පාවිච්චි කිරීමට ඔහු සුදානමින් සිටියේය.
මෙම ප්‍රදේශය උතුරු නැගෙනහිර මෙන් අවදානම් නොවුවද සෙබලා සිටියේ සූදා නම් ශරීරයෙනි. දිවා කාලයේදී හරි හැටි විෙවිකයක් නොලත් බැවින් හිටිහැටියේ ඔහුගේ දෑස පියවෙයි. යන්තමින් නින්ද යත්ම ඔහු ගැස්සී ඇහැරෙයි. "නිදිකිරනවා දැක්කොත් පෝරියල් ˜ යැයි තමාටම තොල්මතුරමින් සෝදිසියෙන් වටපිට බැලීය. එහෙත් දැඩි වෙහෙස නිසා සෙබලාගේ දෑස් පියවිණි. තුවක්කුව අඳුරට මානාගත් සෙබලා හිටගෙනම නිදා ගන්නට විය.
මුරකුටිය අසලටම පැමි‚ සීමන් මුරකුටියේ නිදිකිරමින් සිටි සෙබලා දිටීය. "කට්ටිය නිදි වගේ˜ කියමින් සීමන් ඩ්‍රැයිවර් සෙබලාට වඩාත් සමීප විය. එසේ සමිපවී සෙබලාගේ උරහිසට තට්ටුකොට "මහත්තයෝ˜ කිවේ බිය මුසු ගෞරවයෙනි. අඩනින්දේ සිටි සෙබලාට සීතල ස්පර්ශයක් දැනුණි. තිගැස්සුණු ඔහු බිරාන්ත විය. තියුණු වක් පිහිය තම ගෙල හරහා තබන බව සිතාගත් සෙබලා වහාම කය පසුපසට නමා තමා ඉදිරියේ ඇති ඡායාවට වෙඩි තැබීය.
වෙඩි හඞත් සමග කඳවුරේ ඇතිවූයේ ගාලගොට්ටියකි. ටෝච් එළි සමඟ කටහ~වල් මුරකුටිය දෙසට ගලා ආවේය. ටෙරා, ටෙරා, සෙබලා කෑගැසීය,ඒ හඞ පරයා සාජන්ගේ කටහඞ ඇසුණි.
"කවුද? කෝප්‍රල් බණ්ඩාරද ?˜ සාජන් ඇසීය.
"ඔව් සාජන් මම ඩවුන් ගිහිං ඉන්නේ. වටේ බඩු ඇති.˜ මෙසේ කියමින් සෙබලා මුරකුටිය අසල තිබුණු පොල් ගස දෙසට බඩගෑවේය.
විනාඩි විස්සක් පමණ ගතවිය. සීමන්ගේ කෙඳිරිය හැර කිසිදු ශබ්දයක් නොඇසු‚. ඒ අතරතුරේ කඳවුරේ සෙබලූ අවට ප්‍රදේශය පරික්ෂාවට ලක් කළහ.
" කවුද වැටිලා ඉන්නේ සිවිලියන් කෙනෙක්ද?˜ ඛණ්ඩභාර ලූතිනන් වරයා ලේ විලක් මැද කෙදිරිගාමින් සිටින සීමන් දෙස බලා සිට කීවේය.
"කෝප්‍රල් බණ්ඩාර තමුසේ ටෙරා කියලා ෆයර් කරලා තියෙන්නේ සිවිලියන් කෙනෙකුටයි.˜ සාජන් දොස් පවරණ හඬින් කෝප්‍රල්වරයාට කීවේය. කෝප්‍රල් බණ්ඩාර තවමත් පොල් ගසට මුවා වූ ගමන්ය.
"නෑ සාජන් මූ ඇටැක් එකටයි ආවේ. මම හෝල්ට් කිවිවා. ඒත් කෙලින්ම පිහියක්ද මොකක්ද අරගෙන මට අනින්න ආවා.˜ සෙබලා නිදහසට කරුණු කිවේය.
නැටී සිටි මිනිසා පරික්ෂා කල සෙබලූන්ට බිස්කට් ටින් එකක් හැර ආයුධයක් හෝ වෙන කිසිම දෙයන් සොයාගැනීමට බැරි විය.
"කෝප්‍රල් තමුසේ බුලක් ගහලා හොද වටයක් දැන් යන්න වෙයි. තුවාල කාරයා ඉස්පිරිතාලෙට ගෙනියන්න කැබ් එක ගේනවා.˜ යි ලූතිනන් වරයා විධානයක් දුන්නේය. ඉන්පසුව ලූතිනන්වරයා තුවාලකරු අමතා "ඕයි තමුසේ මේ රෑ කෑම්ප් එකට රිංගුවේ මොකද?˜ යි ඇසීය.
තුවාලකරුට කථා කිරීම අපහසු විය. ඔහු අමාරුවෙන් කැස්සේය. කහිනවිට ලේ සහිත කෙළ මුවින් පිටවිය. ඒ අතරවාරයේ කැබ් රථය පැමිණියේය.
"අයිසේ මිනිහව ප්‍රවේශමෙන් උස්සලා කැබ් එකට දානවා˜ ලූතිනන් සෙබලූ දෙදෙනාට අණකලේ හැකි ඉක්මනින් තුවාල කරු රෝහලට පිටත් කිරීම සඳහාය. අනතුරුව පණිවිඩ හුවමාරු යන්ත්‍රයෙන් කඳවුරේ අණදෙන නිළධාරියා ඇමතීය.
"පූමා වන්.....
"පූමා වන්.......˜
"සර් කඳවුරට අනවසරයෙන් ඇතුල්වෙන්න ට්‍රයිකරපු සිවිලියන් කෙනෙකුට වෙඩිතියලා දැන් ඉස්පිරිතාලෙට ගෙනියනවා ඕවර්.˜
ඊට පිළිතුරු වශයෙන් අණදෙන නිළධාරියාගේ හඞ ගොර ගොර˜ ගාමින් පණිවිඩ හුවමාරු යන්ත්‍රයෙන් පිටවිය.
" ඕකේ සර්. මැසේජ් අන්ඩස්ටුඩ් ඕවර්.˜ ලූතිනන් පිළිතුරු දුන්නේ ගෞරවයෙනි.
සෙබලූ දෙදෙනෙක් වැටීසිටි සීමන් ප්‍රවේශමෙන් ඔසවා ගත්හ. කැබ් රථයේ රියදුරා රථයේ පසුපස දොර හැරියේ තුවාල කරු හාන්සි කොට තැබීම සඳහාය. ලේ වැකුණු ශරීරය සීට් එක මත තැබීම නිසා සීට් කවරය ජරාවෙතියි ඔහු සිතිය. සීමන් අමාරුවෙන් දෑස් හැරිය. ගොතගසන ස්වරයෙන් ඔහු අවට සිටි සෙබලූන් අමතා
" අනේ මහත්තයෝ මේ බිස්කට් ටින් එක මගේ පුතාට දෙන්ට. කොල්ලගේ නම තිලකසිරි˜ යැයි කීය. ඒ සමඟම සීමන්ට කැස්සක් ආවේය. හෙතෙම ලේ කැටියක් මුවින් පිටකර නිසල විය.
වෛද්‍ය රුවන් එම්. ජයතුංග
මේක යුද්ධ කාලෙ වෙච්ච ඇත්ත සිද්ධියක් ද? හරිම සංවේදියි. පියෙක් ගෙ සෙනෙහස................!
ReplyDeleteචාන්දි මේක සත්‍ය සිද්ධියක් ඇසුරෙන් ගොඩ නංවපු කෙටි කතාවක්. මම කොලොන් ගොඩ රෝහලේ වැඩ කරපු කාලයේ අසල උඩත්තව කියන ගමේ සීටීබී ඩ්‍රයිවර් කෙනෙකු බීමතින් හමුදා කඳවුරකට යන්න ගොස් වෙඩි කා මිය ගියා. ඒ සිදුවීම මත මේ කතාව ගොඩ නැංවෙන්නේ
Deleteඋස්සලා පොලොවේ ගැහැව්වා වගේ!
ReplyDeleteඑහෙමද රසික ?
Deleteහැම හොඳ මිනිහගෙම මොකක් හරි වැරැද්දක් තියෙනවා.. ඔව්. ගොඩාක්ම වෙලාවට මේ වැරැද්දම තමයි ඒ මනුස්සයාගේ අවසානයටත් හේතු වෙන්නේ..
ReplyDeleteගොඩක් වෙලාවට එහෙමයි
Deleteසීමන් ගැන මුලින් කතාව ගොඩ නගාගෙන ආපු ව්‍යාජ හැසිරීම් ටික හැරෙන්න කතාව හොදයි. නමුත් ඔබගෙන් බලාපොරොත්තු වන තරම මේ කතාව තුල නැහැ. නමුත් බස් පිළිබද (ලංගම සෙල්ලම්) හොද විශ්වසනීය තොරතුරු ඉදිරිපත් කිරීමක් තියෙනවා.. ඇත්තම කිව්වොත් මට නං මේ කතාව ලාමක වැඩියි.. ජය
ReplyDeleteමේ දින වල මම වැඩිපුරම ආසාවෙන් කියවන්නේ ඔබගේ කතා නිසයි මෙහෙම කිව්වේ..
දේශකයා කරුණු දැක්වීමට ස්තූතියි. මේ කතාව මගේ මුල් කෙටි කතා වලින් එකක්. ඉදිරි කාලයේ හොඳ එකක් දෙන්නම්
Deleteමුල්ම කාලේ එකක් විත්තිය මම දැනං හිටියේ නැහැ. ස්තුතියි විස්තර කිරීමට.. ඔබ සැබෑ දක්ෂ, විශිෂ්ට පරිකල්පනයෙන් හා හැසිරීම් අත්දැකිම් ඇති අයෙක්.. ඔබව කියවීමට ලැබීම මා ලද භාග්‍යයකි.. එකක් කියනන් ඕන ඔබව මුලින්ම මට කියවන්න ලැබුනේ විවාරක නිසා. ඒකත් අමතක කරන්න බැහැ..
Deleteදේශකයා : මගේ නිහතමානී ආචාරය
Deleteරුවන් ඒම් ජයතුංගයන්ගේ නිර්මාණකරනයේ හැකියාව මේ තුළම ගැබ්වෙලා තියෙනවා...
ReplyDeleteකුරුටු ගෑ ගී පවුර ස්තූතියි
Deleteහිතපු නැති විදියේ අවසානයක්...කියවගෙන ගියේ කොයි වෙලාවක හරි පුතාට වෙඩි වදී කියලා හිතාගෙන.
ReplyDeleteකතාව කියලා තියෙන විදිය හරිම ලස්සනයි. අහිංසක ජීවිතයකට වුනු දේ දැක්කාම ඔලුවට පාරක් වැදුනා වගේ තමා.
මීට ආසන්න දෙයක් සත්‍ය ලෙසම සිදුවූවා
Deleteඑක හුස්මට කියෙව්වා. සංවේදී කතාවක්.
ReplyDeleteThanks
Delete