මාතලේ මූලික රෝහලේ ඉන්ටර්න්ශිප් කිරීමෙන් පසුම මාගේ මුල්ම පශ්චාත් සීමාවාසික පත්වීම ලැබුනේ ස්ථාන භාර වෛද්‍ය නිලධාරී කොලොන්ගොඩ ග්‍රාමීය රෝහලටය. මෙම රෝහල මිණිපේ ප්‍රදේශයේ තිබූ රෝහලක් වූ අතර වාට්ටු තුනකින් යුක්ත විය. රෝහලේ මට අමතරව සහකාර වෛද්‍ය නිලධාරියෙකුද (AMO), මිඩ් ෆයිෆ්ලා තිදෙනෙකුද විය. මිණිපේ ප්‍රදේශයේ අති දුෂ්කර ප්‍රදේශයක තිබූ කොලොන්ගොඩ ග්‍රාමීය රෝහල කොලොන්ගොඩ ග්‍රාමයට පමණක් නොව සුළු ගුනේ , උඩගල දෙබොක්ක, හීන් ගඟ ආදී ප්‍රදේශ වලට තිබූ එකම රෝහල විය. දිනපතා රෝගීන් 100 අධික පිරිසක් බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ගැනීමට පැමිනියහ. එසේම නේවාසිකව රෝගීන් 40 පමණ නැවතී සිටියහ.
1996 වසරේ මාර්තු මාසයේ පශ්චාත් සීමාවාසික පත්වීම ගෙන කොලොන්ගොඩ ග්‍රාමීය රෝහලට ගිය මා හට දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදු විය. රෝහලට නිසි ජල පහසුකමක් නොවීය. රෝහල් කාර්‍ය මණ්ඩලය අසල ලිං වලින් වතුර බාල්දි වලට පුරවාගෙන ගෙනා අතර එම ජලය ඉතා සකසුරුවමන් භාවිතා කරන ලදි. එසේම රෝහලේ බෙහෙත් හිඟයක් ද තිබුනේය. යටත් පිරිසෙන් තුවාල මැසීමට අවශ්‍ය කැට්ගට් සහ නිල් පැහැති සර්ජිකල් නූල්ද තිබුනේ නැත. එසේම කොලොන්ගොඩ ග්‍රාමයේ පාරවල් චන්ඳ්‍රයාගේ ආවාට වැනිය. රෝහලට පැමිනි මුල් මාසයේදීම මාගේ නිසාන් මාච් මෝටර් රථයේ සීවී ජොයින්ට් එක ගියේ වලවල් වල වැටීම නිසාය.
මෙම රෝහල 1960 ගනන් වල මිණිපේ ව්‍යාපාරය විසින් ආරම්භ කරන ලද රෝහලකි. 1996 තෙක් මෙම රෝහලේ සිටියේ සහකාර වෛද්‍යවරු පමණි. මෙම රෝහලට අනියුක්ත කරන ලද මුල්ම වෛද්‍යවරයා (MO) වූයේ මාය. එම නිසා මෙම දුෂ්කරතා වලට මුහුණ දීමට මා තීරණය කලෙමි. මේ කාලයේ සර්ජිකල් නූල් සහ කැට්ගට් නොමැති වීම නිසා රෝගීන් ගේ තුවාල මැසීමට මා අමුතු රළු ක්‍රමයක් භාවිතා කලෙමි. එනම් රෝගියාගේ මව හෝ බිරිඳ හෝ වෙන යම් කාන්තාවකගේ දිගු කොණ්ඩ කෑල්ලක් ගලවා එය සැව්ලෝන් ද්‍රාවණයේ බහා ඉන්පසු එය සර්ජිකල් ඉඳිකටුව තුලට දමා තුවාල මැසීමයි. මහනුවර බෙහෙත් ගබඩාවෙන් අපට අදාල සර්ජිකල් නූල් එවන තෙක් මේ ක්‍රමය මා භාවිතා කලෙමි. මේ ක්‍රමයේ හොඳ නරක මා නොදන්නෙමි. කෙසේ නමුත් කෙස් යොදා මැසූ තුවාල සුව වූ බව නම් නිරීක්‍ෂණය කලෙමි.
රෝහලේ ජල ප්‍රශ්නය ඉතා උග්‍ර විය. මේ නිසා රෝහලට ස්ථිර පිළියමක් දීමට මට අවශ්‍ය විය. රෝහලේ කාර්‍ය මණ්ඩලයත් සමග සාකච්චා කොට අප රෝහල් භූමියේ අළුත් ලිඳක් කැපීමට තීරණය කලෙමු. රෝහලේ කාර්‍ය මණ්ඩලය මට අගනා සහයෝගයක් දුන්නෝය. සහකාර වෛද්‍ය නිලධාරී ප්‍රේමරත්න මහතාත් , ඩිස්පැන්සරියේ රංජිත්, මැලේරියා එකේ මිල්ලගස්පතන , රෝහල් උපස්ථායකවරු වූ ලයනල්, ලලිත් රාජපක්ෂ , රෝහල් කම්කරු විජයරත්න බංඩා ජයම්පති ආදීන් සමග එක්වී මා ලිඳක් කැපුවෙමි. මිඩ් වයිෆ්ලා සහ උපථායකවරියන් අපට තේ ගෙනාවෝය. මෙලෙස රෝහලේ වැඩ වලින් පසුව අප ලිඳ කැපුවෙමු. එය අනවශ්‍ය බරක් නොව විනෝදමත් ක්‍රියාවක් විය. රෝහල් කාර්‍යමණ්ඩලය ලිඳක් කපන බව ආරංචි වී ගම්වාසීන් ද පැමිණ ලිඳ කැපීමට උදව් කලහ. බොහෝ දින වල අප මුළු රාත්‍රිය පුරා ලිඳ කැපූ අතර ගම්වාසීන් තේ සහ බනිස් ගෙන ආවෝය. සාමූහික සහයෝගයෙන් යෝධ වැඩ කල හැකි බව මට ලිඳ කපන විට පසක් විය. මෙලෙස මාස දෙක තුනක් ඇතුලත අප අඩි 26 පමණ ගැඹුරැති ලිඳක් කැපුවෙමු. පසුව ප්ලෑන් ආයතනය විසින් අපට ලිඳ සිමෙන්තියෙන් බැඳ ගැනීමට උපකාර කරන ලදි. ඉන් පසු රෝහලේ ජල ප්‍රශ්නය විසඳුනි.
මෑතකදී (2023) වසරේදී මම එවකට කොලොන්ගොඩ ග්‍රාමීය රෝහලේ උපස්ථායකයෙකු ලෙස සේවය කල ලයනල්ව දුරකථනයෙන් ඇමතුවෙමි. වසර 30 ආසන්න කාලයක් කොලොන්ගොඩ ග්‍රාමීය රෝහලේ සේවය කල ලයනල් මේ වන විට උඩත්තව රෝහලේ සේවය කරයි. ඔහු විශ්‍රාම යාමටද ආසන්නය. ලයනල් විසින් කියූ පරිදි 1996 වසරේ සිට මේ දක්වා කොලොන්ගොඩ ග්‍රාමීය රෝහලට ජලය ලබා ගන්නේ අප විසින් එදා කපන ලඳ ලිඳ මගිනි. කොලොන්ගොඩ රෝහල එදා මෙන් නොව වඩාත් සංවර්ධනයව ඇත. අළුත් ගොඩනැගිලි සහ වෛද්‍ය නිල නිවාසද ඉදිවී තිබේ. එය මට සතුට දනවන කරුණක් විය.
සෞඛ්‍යය අමාත්‍යාංශයේ එක සතයක්වත් වියදම් නොකොට 1996 වසරේ අප ලිඳක් කපා කොලොන්ගොඩ ග්‍රාමීය රෝහලේ ජල ප්‍රශ්නය විසඳුවෙමු. එහෙත් උත්ප්‍රාසය නම් කොලොන්ගොඩ ග්‍රාමීය රෝහලේ ජල ප්‍රශ්නය ලිඳක් කපා අප විසින් විසඳූ බව මේ වන තෙක් සෞඛ්‍යය අමාත්‍යාංශය දන්නේ නැත. මේ ක්‍රියාවට ස්තූති ලිපි හෝ උපහාර එදා ලිඳ කැපීමට ඉදිරිපත් වූ කිසිවෙකුට අවශ්‍ය නැත. රෝහල් කාර්‍යමණ්ඩලය සමගි වූයේ නම් විශාල වැඩ රජයේ අනුග්‍රහයෙන් තොරව කල හැකි බව එදා අප විසින් පෙන්වා දුන්නෙමු. එම පණිවිඩය සෞඛ්‍යය අමාත්‍යාංශයට යන්නේ නම් මැනවි.
1996 වසරේ අප විසින් ඉදි කරන ලද ලිඳෙහි වර්තමාන තත්වය මෙසේය
සෞඛ්‍ය දෙපාර්තමේන්තුව දන්නවා නම් අනවසරයෙන් ළිඳක් කැපීමට නිදහසට කරුණු විමසා චාජ් ෂීට් එක ගානේ එවයි.😀😀
ReplyDeleteeka nam sahathika athha
Delete