වෛද්‍ය රුවන් එම් ජයතුංග
ශ්‍රී ලංකාවේ සෑම යුගයකම බෞද්ධයන් සියලු දෙනාම සිංහල නොවූ අතර දෙමළ බෞද්ධයන් ද සිටියහ. ක්‍රිස්තු වර්‍ෂ 2 වැනි සියවසේ දී ශ්‍රී ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ බුදුදහම ව්‍යාප්ත වීම සමකාලීන සිදුවීම් ලෙස සැලකිය යුතු නමුත් එය හඳුන්වාදීමට වගකිවයුත්තේ අශෝක රජුගේ පුත් මහින්දය. අනාදිමත් කාලයක සිට ශ්‍රී ලංකාව සහ දෙමළ රට අතර ඉතා සමීප සංස්කෘතික බැඳීම් පැවති බැවින් දකුණු ඉන්දියාවේ බෞද්ධ ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාවේ බුද්ධාගමට යම් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් බලපෑම් කළ හැකි බව ආචාර්‍ය හිකෝසාකා පවසයි.
ඉන්දියාවේ මධුර, රාම්නාද් සහ තිර්නෙල්වේලි යන ද්‍රවිඩ දිස්ත්‍රික්කවල ස්වභාවික ලෙන්වල බිත්ති මත එවකට බ්‍රාහ්මී අක්‍ෂරයෙන් ලියා ඇති තමිල්නාඩුවේ පැරණිතම සෙල්ලිපි ක්‍රි.පූ තුන්වන සියවසට අයත් වේ. ඒ වන විටත් තමිල්නාඩුවට බුදුදහම පැමිණ තිබූ බව මෙම බ්‍රාහ්මී සෙල්ලිපිවලින් දැනගන්නට ලැබේ. ආදි පඬිවරුන් වූ බුද්ධඝෝෂ, බුද්ධදත්ත සහ ධම්මපාල දෙමළ රාජධානිවල බෞද්ධ ආයතන සමඟ සම්බන්ධ වූහ. බුද්ධඝෝෂ දෙමළ භික්‍ෂුවකි. ක්‍රිස්තු වර්‍ෂ 5 වන සියවසේ ජීවත් වූ දමිළ බෞද්ධ භික්‍ෂුවක් වන බුද්ධඅත්ත තෙර පිලිබඳවද වාර්තා ලැබී තිබේ. මේ අනුව දෙමළ බෞද්ධයන් ක්‍රිස්තු වර්‍ෂ 5 වැනි සියවසේදී පමණ ශ්‍රී ලාංකික බෞද්ධයන් සමඟ සමීපව ඇසුරු කළ බව පෙනී යයි. දෙමළ බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා තම ලේඛනවල දෙමළ භාෂාවට වඩා පාලි භාෂාව භාවිතා කළහ. එයට හේතුව බුදුන් වහන්සේ මාගධී ප්‍රාකෘත භාෂාවෙන් (පාලි) වදාළ බැවිනි.
බෞද්ධ දෙමළ කවියෙකු වූ සාතනර්ගේ දෙමළ බෞද්ධ වීර කාව්‍යක් වන මනිමේකලෙයි බුද්ධාගමේ සාරධර්ම ප්‍රචලිත කරන කෘතියකි. එහි නාගදීපයේ දෙමළ බෞද්ධයන් ගැන ද කතා කරයි. ක්‍රිස්තු වර්‍ෂ 5/6 වැනි සියවස්වල ජීවත් වූ බෝධිධර්ම දෙමළ බෞද්ධ භික්‍ෂුවක් බවත්, කාංචිපුරම්හි පල්ලව රජුගේ පුත්‍රයෙක් බවත් විශ්වාස කෙරේ. පැරණිතම දෙමළ ව්‍යාකරණ (ක්‍රි.පූ. 3 වැනි සියවස) තොල්කාප්පියම් ලියා ඇත්තේ දෙමළ බෞද්ධයෙකු විසිනි.
වර්තමාන දෙමළ ජනයා විසින් නටනාර් කෝවිල ලෙසද හඳුන්වනු ලබන රාජරාජ පෙරුම්පල්ලි ලෙසින් නම් කරන ලද ශ්‍රී ලංකාවේ වෙල්ගම් වෙහෙර බොහෝ පැරණි බෞද්ධ සිද්ධස්ථානයකි. බුදුදහම අතීතයේ දෙමළ ශිෂ්ටාචාරයේ කොටසක් විය. ඉතිහාසඥයින්ට අනුව, බුදුදහම තමිල්නාඩුවට ප්‍රබල බලපෑමක් ඇති කිරීමට පටන් ගත්තේ ක්‍රිස්තු වර්‍ෂ 3 වැනි සියවසේදීය. එම කාලය තුළ බුද්ධාගම තමිල්නාඩුවේ පුළුල් ලෙස ව්‍යාප්ත වූ අතර පාලකයන්ගේ අනුග්‍රහයද දිනා ගෙන තිබුණි. බුද්ධාගම තමිල්නාඩුවේ බොහෝ අභියෝගවලට මුහුණ දුන් අතර 16 වන සියවස වන විට පාහේ අතුරුදහන් විය. මහාචාර්‍ය ෂාක් පවසන්නේ පල්ලව පාලකයන් බුදුදහම හිතාමතාම කොන් කළ බවත් හින්දු ආගමට ප්‍රමුඛත්වය දුන් බවය.
යාපනය අර්ධද්වීපයේ බෞද්ධ විහාර කිහිපයක් තිබූ බව මහාවංශය පවසයි. දේවානම්පිය තිස්ස විසින්ම ජම්බුකොළපටුනට ආසන්නව තිස්සමහා විහාරය සහ පාචීන විහාරය යන විහාර දෙකක් කරවීය. යාපනයේ කන්දරෝඩෙයි, වල්ලිපුරම්, පොන්නලියා, මාකියාපිනි, නිලවරෙයි, උඩුවිල්, නයිනතිව්, පුංකුඩිතිව් සහ නෙඩුන්තිව් යන ප්‍රදේශවල ද්‍රවිඩ බෞද්ධයන් සිටියහ. පීටර් ෂාක්ට අනුව, ගෝඨාබය රජුගේ (309–322 හෝ 249–262) රාජ්‍ය සමයේ චෝලික සංඝමිත්තා නමින් හැඳින්වෙන දෙමළ භික්‍ෂුවක් සිටියේය. භික්‍ෂුවගේ කතාව මහාවංශයේ ද සඳහන් වේ. මහාවංශයට අනුව, දෙමළ කුලී හේවායන්, වෙළෙන්දන් සහ පදිංචිකරුවන් බෞද්ධයන් බවට පත් වූ අතර ඔවුන් හමුදා සහ සිවිල් පරිපාලනය තුළ පිළිගත්හ. මෙම දෙමළ බෞද්ධ කුලී හේවායන් පිලිබඳව මයිලන්කුලම්, මොරකකාවේලෙයි, විජයරාජපුරම් සහ පොළොන්නරුවේ සෙල්ලිපිවලින් අධ්‍යයනය කළ හැකිය. සංකවත්තෙයි (සංඝවත්ත), නාගර කෝවිල් (නාගකෝවිල), කන්දරොඩෙයි (කඳුරුගොඩ), තෙලිප්පලෙයි (තෙලිපොල), මල්ලාකම් (මල්ලාගම), විමන්කාමම් (වීමන්ගම), කීරමලෙයි (කිරිමලේ) ආදී ස්ථාන වල "දෙමළ බෞද්ධයෝ" සිටියහ.
වර්තමානයේ උතුරේ ද්‍රවිඩ බෞද්ධයන් සුළු පිරිසක් වාසය කරති. දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වලද ද්‍රවිඩ බෞද්ධයන් අතරින් පතර සිටිති. යාපනය දෙමළ බෞද්ධ සංගමයේ සභාපති රවි කුමාර් මහතා පවසන පරිදි ද්‍රවිඩ බෞද්ධයන් කෙරෙහි දකුනේ සිංහල භික්‍ෂූන් ගේ අවධානය යොමු විය යුතුය.
ආශ්‍රිත ලිපි
Tamil Buddhism in Ancient South India and Sri Lanka by J.L. Devananda
The Rise and Decline of Tamil Buddhism by P.K Balachandran
මං හරීයට උත්සාහ කරල තියෙනව බෝධිධර්ම හාමුදුරුවන් ගැන හොයන්න. ඒත්, වැදගැම්මකට ඇති දෙයක් හොයා ගන්න වුණේ නෑ. ලිපියට ස්තුතියි.
ReplyDeleteහරිම වටිනව ලිපිය.ඉරිද ලංකාදීප පත්තරෙත් තිබුන මෙවැනි පංසලක් ගැන ලිපියක්.
ReplyDelete