Thursday, May 4, 2023

ශබ්ද දූෂණයේ කායික මානසික සෞඛ්‍ය බලපෑම්

 



මෑත කාලයේ සිට ශ්‍රී ලාංකික ජනතාව ශබ්ද දූෂණයේ ගොදුරු බවට පත් වෙමින් සිටිති. යාන වාහන  කර්මාන්තශාලා පමණක් නොව ආගමික මධ්‍යස්ථානයන් පවා ශබ්ද දූෂණයේ ප්‍රභවයන් වෙති. ශබ්ද දූෂණය මහජන සෞඛ්‍යයට සැලකිය යුතු ලෙස බලපායි. අධ්‍යනයන් මගින් ශබ්ද දූෂණය කාංසාව (Anxiety), විශාදය , නින්ද නොයාමේ  රෝග (insomnia) අධි රුධිර පීඩනය, හෘද රෝග සහ ආඝාතය (stroke) වැනි සෞඛ්‍ය ගැටලු වර්ධනය කිරීමට දායක විය හැකි බව පෙන්වා දෙයි. 


මිනිසුන් හට  පරිසරයේ ශබ්දය පාලනය කිරීමේ හැකියාව නැති වූ විට බලාපොරොත්තු රහිත බවක් හෝ අසරණ බවක් දැනේ. එය අසහනය,  මානසික තෙහෙට්ටුව, මාංශ පේශි කැක්කුම, ආතතිය සහ කාංසාව, කරකැවිල්ල, හිසරදය සහ ඉරුවාරදය, කෝපය, ආක්‍රමණශීලී බව  ඇති කරයි. එසේම පුද්ගල එලදායිතාව අඩුවී යයි. තිරසාර ශබ්ද දූෂණයට නිරාවරණය වීම චිත්තවේගීය අස්ථාවරත්වය,  සහ මනෝ ව්‍යාධි' වලට පවා දායක විය හැකි බව  පරියේෂකයෝ උපකල්පනය කරති

මිනිස් මොළය නින්දේදී පවා අනතුරුදායක සංඥා සඳහා ශබ්ද පිලිබඳව විමසිලිමත් වෙයි. මෙය පරිනාමයෙන් එන ක්‍රියාවලියකි. නිරන්තර ශබ්ද වේගවත් අක්‍ෂි චලන නින්ද කෙරෙහි අහිතකරව බලපායි.  වේගවත්   අක්‍ෂි චලන නින්ද නොහොත්  REM -  Rapid Eye Movement Sleep සිහින දැකීම, මතකය, චිත්තවේගීය සැකසුම් සහ නිරෝගී මොළයේ වර්ධනය සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. ශබ්ද දූෂණය  REM - වේගවත් අක්ෂි චලන නින්දේ ප්‍රමාණය වෙනස් කරමින් නින්දේ ගැඹුර සහ ගුණාත්මක භාවය අඩු කිරීම සිදු කරයි. මේ නිසා නින්දේදී ලැබිය යුතු කායික මානසික සහනය නොලැබී යයි.

ශබ්ද දූෂණය  ස්නායු පද්ධතියට සහ අන්තරාසර්ග පද්ධතියට බලපාන ආතතියකි. ඝෝෂාකාරී ශබ්ද සෘජුවම ශ්‍රවණාබාධ ඇති කරයි. ඇතැම් පර්යේෂණවලින් පෙනී යන්නේ ශබ්ද දූෂණය වෙනත් සෞඛ්‍ය තත්ත්වයන්ට වක්‍රව දායක විය හැකි බවයි.හෘද රෝගවල සිට  දියවැඩියාව දක්වා, ශබ්දය මිනිසුන්ගේ සෞඛ්‍යයට දරුණු බලපෑම් ඇති කරයි. 

2018  වසරේ කැනඩාවේ සිදු කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ ශබ්ද දූෂණයට නිරාවරණය වන ගර්භනී කාන්තාවන් ගර්භණී සමයේදී අධි රුධිර පීඩනය ඇති කරන  Preeclampsia තත්ත්වයට ගොදුරු විය හැකි බවයි. එම නිසා භර්භාෂයේ වැඩෙන දරුවාගේ වර්ධනය අඩාල වෙයි. එසේම ළමුන්  සම්බන්ධ අධ්‍යයනයන් මගින්  ශබ්ද දූෂණය  දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපාන බව වාර්තා කර ඇත.  ළමුන් තුල  අවධානය යොමු කිරීමේ ගැටළු ,  සංජානන දුර්වලතා, චර්යාත්මක ගැටළු,  නින්ද නොයෑම  සහ ශ්‍රවණාබාධ ශබ්ද දූෂණය  නිසා ඇති විය හැක.

ශබ්ද දූෂණය පාලනය කිරීමට සහ එහි ප්‍රතිවිපාක වැලැක්වීමට නිසි සැලසුම් සැලසුම් කිරීමේ අවශ්‍යතාව වැඩි වෙමින් පවතී. මෙය බරපතල සෞඛ්‍ය ගැටළුවක් නිසා සෞඛ්‍ය අංශ මේ ඉදිරිපත් විය යුතුය. ඒ ඒ ප්‍රදේශ වල ශබ්ද දූෂණයේ යෙදෙන ආයතන , ආගමික මධ්‍යස්ථාන අධිකාරියන්ට ශබ්ද දූෂණයේ ආදීනව දැණුවත් කිරීම, රාත්‍රී කාලයට සහ ශබ්ද අවම කිරීම පිලිබඳව පෙන්වා දීම වැදගත් වෙයි. මේ සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාල  පෙරමුණ ගත යුතුය. මේ හැර පොලිසිය, නීති සම්පාදක ආයතන ශබ්ද දූෂණය පිලිබඳ දැණුවත් වී ඒ සඳහා නීති ගෙන ඒම සහ නීති ක්‍රියාත්මක කිරීම කල යුතුය.  

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook