Sunday, April 10, 2022

ඥාණක්කා සහ රතු නූල් කල්ට් එක

 




ඥාණක්කා යනු අනුරාධපුර රෝහලේ සේවය කල ඇටෙන්ඩන්වරියකි. ඇයගේ සැමියා ගිලන් රථ රියැදුරෙකි. ඇගේ සැමියා භීෂණ සමයේ ඝාතනය වීමත් සමගම ඇය ආරූඩ වීමට පටන් ගත්තාය​. මනෝ විද්‍යාත්මකව  පෙන්වා දීමේදී ඉතා තීවුර ක්‍ෂිතිමය අත්දැකීමක් නිසා ඇය ලක්වූ විඝටන ආබාධය ( Dissociative Disorder  ) දේව වරමක් ලෙස පසුගාමී නූගත් සමාජයක් විසින් අර්ථකථනය කරන ලදි. නමුත් ඇය තමන් තුල පවත්නා මැනිපුලේටිව් සහ කමියුනිකේෂන් ස්කිල්ස් මගින් විචාර බුද්ධියෙන් අඩු, හීනවූ ආත්ම ශක්තීන් ඇති , තමන් කෙරෙහි විශ්වාසය අඩු, නිරන්තරයෙන්ම භීතියෙන් , චකිතයෙන් පෙලන , තීරණ ගැනීමේදී කුකුසෙන් පෙලෙන දේශපාලකයන් , කූට ව්‍යාපාරිකයන් , හමුදා නිලධාරීන් තමන් වෙත ආකර්ශණය කර ගැනීමට සමත් වූවාය​.  

මහින්ද රාජපක්‍ෂ මැතිවරණයකදී මෛත්‍රීපාල සිරිසේනට පරදින බව සංඛ්‍යා ලේඛන සහ දත්ත විශ්ලේශනයෙන් මලිත් ජයතිලක පෙන්වා දුන්නේය​. එහෙත්   ඥාණක්කා මෛත්‍රීපාල සිරිසේනට ජනාධිපති විය හැකි බව අනුමාන වශයෙන් කී විට බොහෝ දෙනෙකු සිතුවේ ඥාණක්කා දේව ඥාණයෙන් අණාවැකියක් කියූ බවයි. මේ නිසා ඇය වඩාත් ප්‍රසිද්ධ වූ අතර බොහෝ පිරිස් ඇයගේ අනුගාමිකයන්බවට පත් විය​.    මේ වන විට ඇය රතු නූල් කල්ට් එකක් දක්වා තම ආගමික ආධිපත්‍ය ප්‍රවර්ධනය කරගෙන තිබෙන අතර බොහෝ දෙනෙකු පවසන පරිදි  මේ වන විටත් ලංකාව පාලනය වන්නේ ඥාණක්කා ගේ උපදෙස් මතය.
 
කල්ට් එකක් යනු සමාජ අසමානතාවයේ රෝග ලක්‍ෂණයක් ලෙස දැකිය හැක. කල්ට් එකක් ක්‍රියාත්මක වන්නේ කන්ඩායම් ගතිකයන් (group dynamics) අනුවය​. කල්ට් නායකයා අනුගාමිකයින්ට අර්ථය සහ අරමුණ පිළිබඳ හැඟීමක් ලබා දෙයි. කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ සායනික මහාචාර්‍ය ආතර් ඩීක්මන් ඔහුගේ The Wrong Way Home: Uncovering the Patterns of Cult Behavior in American Society කෘතිය මගින් කල්ට් වල මනෝ ගතිකයන් පැහැදිලි කලේය. කණ්ඩායමකට අයත් වීමට ගැඹුරු මානව අවශ්‍යතාවකි. එසේම වැඩිහිටියෙකු වූ පසුද යලිත් මව් කෙනෙකු හෝ පිය කෙනෙකුගේ ආඥාවට යටත් වීමට  ඇතැම් පුද්ගලයන් තුල අවිඥාණික ආශාවන් පවතියි. මෙවැනි පුද්ගලයෝ කල්ට් සරණ යති.  

මිනිසුන් පිරිසක් මිත්‍යාවක් බෙදාගත් විට මනෝ විද්‍යාඥයන් එය හඳුන්වන්නේ ලබ්ධියක් ලෙසටය​. ලබ්ධියක් නිර්වචනය කරන්නේ “සාමාන්‍යයෙන් ආන්තික දෘෂ්ටිවාදයක් සහිත කණ්ඩායමක් හෝ ව්‍යාපාරයක් ලෙසටය.  කල්ට්  එකක් සාමාන්‍යයෙන් ප්‍රචලිත නායකයෙකු තුළ මූර්තිමත් වූවකි.   කල්ට් නායකයන් බලය සඳහා ආශාවක් ඇති මනෝ ව්‍යාධිකයින් වන අතර බොහෝ විට ඔවුන්ගේ අරමුණ ඉටු කර ගැනීම සඳහා ආගම භාවිතා කරති.  කල්ට් හෙවත් ලබ්ධීන් අත්‍යවශ්‍යයෙන්ම ගොඩනැගී ඇත්තේ ආන්තික, අසාමාන්‍ය හෝ ආන්තික ආගමික විශ්වාසයන් වටාය​. බොහෝ විට කල්ට් එක තුල චින්තන-ප්‍රතිසංස්කරණ වැඩසටහන් භාවිතා කෙරේ. කල්ට් නායකයා සාමාජිකයන්ට ඉතා ආකර්ශයණීය පොරොන්දු ලබා දෙයි. ඔබ මීලඟ ජනාධිපතිය​, ඔබ මීලඟ අගමැති හෝ ප්‍රබල ඇමතිවරයෙකි, නැතහොත් හමුදාපතිය​, ඉහලම ව්‍යාපාරිකයාය යනාදී වශයෙන් පුද්ගලයා තුල විශ්වාසයක් ගොඩ නැංවීමෙන් ඔහු හෝ ඇය ලබ්ධිය තුලට බද්ධ වෙයි.  කණ්ඩායමට ආකර්ෂණීය (හෝ සමහර විට දිව්‍යමය) බලය ආරෝපණය කරයි. කල්ට් සාමාජිකයෝ  කල්ට් නායකයාට  අවිවාදිත පක්‍ෂපාතීත්වය පෙන්නුම් කරති. ඔබ යම්කිසි කල්ට් එකකට අභියෝග කලහොත් සාමාජිකයෝ කුපිත වෙති. සමහරක් කල්ට් නායකයා වෙනුවෙන් මිනී මැරීම හෝ කල්ට් නායකයා වෙනුවෙන් දිවි නසා ගැනීමට වූවද සූදානම් ය​.

සෑම කාලයකදීම ලංකාවේ කල්ට් පැවතුනි. සමහර කල්ට් ප්‍රසිද්ධ ඒවා වූ අතර සමහර  කල්ට් අප්‍රසිද්ධ ඒවා විය​. මේවා අතරින් අලව්වේ ජයසූරිය බුදුන් කල්ට් එක ( මේ කල්ට් එකට අයත් වූ විමළගුණ නම් දන්ත වෛද්‍යවරයෙකු මා හට කීවේ යම් ලෙසකින් මම අලව්වේ ජයසූරිය බුදුන් හමුවට ගියහොත් ඔහු මාව සෝවන් තත්වයට පත් කරන බවයි. මේ අනුව පෙනී යන්නේ සමාජයේ වෘත්තිකයන් පවා කල්ට් වලට තම විචාර බුද්ධිය පාවා දෙති.) එසේම ගාල්ල ප්‍රදේශයේ වත්තක ලිපිකරුවෙකු තමන් මතු උපදින මෙතේ බුදුන් බව කියමින් නවසීලන්තයේ ජීවත් වන ලාංකිකයන් පවා ග්‍රහණය කර ගනිමින් කල්ට් එකක් ගොඩ නැංවීය.  

කල්ට් සාමාජිකයින් සම්පූර්ණයෙන්ම අසමතුලිතව තබා ගැනීමෙන්,   ඔවුන්ව  නායකයා මත යැපීම වැඩි කරයි. ඔබට බලවත් අපලයක් තිබේ, අනාගතයේ මාරකයක් තිබේ යනාදී මගින් කල්ට් සාමාජිකයින් තුල භීතිය , අවිනිශ්චිතතාව වර්ධනය කරමින් තමන් ඒකායන ගැලවුම්කරු ලෙස කල්ට් නායකයා පෙනී සිටියි.  

බොහෝ කල්ට් නායකයෝ   Delusional disorder තත්වයක් නිසාද නැතහොත් Narcissistic personality disorder තත්වය  නිසාද තමන් ගේම කල්ට් එකට මුලාවී සිටිති. ඉතා සුළු ප්‍රමාණයක් බොරුවට තමන් ගේ කල්ට් භූමිකාවේ රඟපාති. බොරුවට රඟපාන්නෝ අති දක්‍ෂ නළුවන් වන අතර බොහෝ උගත් වෘත්තිකයෝද මොවුන්ට රැවටෙති. ලබ්ධියකින් ඉවත් වීමද අසීරුය. කැනඩාවේ දී   මා විසින් පශ්චාත් ව්‍යසන අක්‍රමතාවයෙන් (PTSD) පෙළුනු සුදු ජාතිකයෙකුට ප්‍රතිකාර කල කල අතර පසුව ඔහු මට පැවසුවේ තමන් ගේ දෙමාපියන් සහ මුළු පවුලම  The World Tomorrow නම් නිකායේ Herbert W. Armstrong නම් ඉවැන්ජලික නායකයාට යටත්ව ජීවත් වූ බවයි. ඔහු එම ලබ්ධියෙන් ඉවත් වීමත් සමගම අන්‍ය සාමාජිකයන් විසින් ඔහුව බලවත් ගැරහීමකට, අපකීර්තියට පත් කොට තිබේ. ටොම් කෘස් පවා සාමාජිකයෙකු වන සයන්ටෝලොජි ලබ්ධියේද ඉවත් වන සාමාජිකයන්ට බොහෝ කරදර වලට මුහුණ පාන්නට සිදුවේ.

ඥාණක්කා සහ රතු නූල් කල්ට් එක අවිචාරයෙන් යුතුව වර්තමානයේ ලංකාව විශාල අර්බුධයකට හෙලා තිබේ.  මේ අර්බුධයෙන් ගොඩ ඒමද ලේසි නැත. බලය සඳහා පෙරට එන අවශේෂ නායකයෝද  වෙනත් කල්ට් වල හෝ මිත්‍යාවල සරණ ගිය පුද්ගලයෝ වෙති. එම නිසා විචාර බුද්ධියෙන් යුතු නායකත්වයක් පහල වන තෙක් මේ අර්බුධ වලින් ගොඩ ඒමක් නොමැත​.


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook