Friday, May 8, 2020

අපස්මාරය සහ හමුදා සෙබළුන්

 

මීමැස්මොරය නිසා යුද හමුදා සෙබලෙකු දඹුල්ලේදී  බිම ඇද වැටී මිය යාම නිසා මීමැස්මොරය  හෙවත් අපස්මාරය පිලිබඳව කථිකාවක් ඇති වුණා. දඹුල්ල බස් නැවතුම්පොළ අසළ දී හදිසියේ ඇදවැටී මියගිය හමුදා සාමාජිකයා ගැන හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසූ පරිදි එම හමුදා සාමාජිකයාට විටින් විට අපස්මාරය රෝගය වැළඳෙන බවට තොරතුරු ලැබුණු බවත් ඔහු එක කඳවුරක සිට තවත් කඳවුරකට සේවයට වාර්තා කිරීමට යන අතරතුර එසේ මියගොස් ඇති බවයි වාර්තා වූයේ. 


මීමැස්මොරය  හෙවත් අපස්මාරයෙන් පෙළන පුද්ගලයන් හමුදා සේවයට බඳවා ගන්නවාද කියා බොහෝ දෙනෙකු අසා සිටියා. එම නිසා මේ පිලිබඳව යමක් ලිය යුතු බව මට සිතුනා. 

අපස්මාරය හෙවත් මීමැස්මොරය මොළයේ සිදුවන සාමාන්‍ය විද්‍යුත් ක‍්‍රියාදාමයේ සුළු මොහොතකට ඇති වන අසාමාන්‍ය අධිවේගී වෙනසක් නිසා ඇතිවන රෝගී තත්ත්වයක්. ස්නායූ රෝග විශේෂඥ මහාචාර්‍ය රංජනී ගමගේ මහත්මිය පවසන පරිදි ශ‍්‍රී ලංකාවේ අපස්මාර රෝගීන් ලක්‍ෂ 03ක් පමණ සිටිනවා. මේ අනුව අපස්මාර රෝගීන්ට හමුදාවට බැඳිය හැකිද ? පිළිතුර නම් අපස්මාර රෝගීන් හමුදාවට බඳවා ගන්නේ නැත​. නමුත් හමුදා සෙබළුන්ට අපස්මාර තත්වයන් සේවා කාලය තුලදී ඇතිවී තිබීම මම නිරීක්‍ෂණය කලා. මාගේ අත්දැකීම අනුව මේ පිලිබඳව පැහැදිළි කරන්නම්. 


වෙඩි උණ්ඩ සහ අර්ටිලරි ප්‍රහාර වලට ලක්වී මොලයට හාණි සිදුවීම නිසා  අපස්මාර තත්වයට ලක්වූ සොල්දාදුවන් ගනනාවකට අප ප්‍රතිකාර කොට තිබෙනවා. මොවුන් Posttraumatic Epilepsy  තත්වයෙන් පෙලෙන රෝගීන්. ඔවුන් තුල පෞරුෂ වෙනස්කම් චිත්තාවේගී අසමබරතාවන්  , විශාදය , ප්‍රජානන දුර්වලතා (cognitive impairments ) තිබීම නිරීක්‍ෂණය කල හැකියි. මොවුනට ඖෂධ ප්‍රතිකාර මෙන්ම මනෝ චිකිත්සක ප්‍රතිකාර අවශ්‍ය වෙනවා.  මෙම Posttraumatic Epilepsy  තත්වයෙන් පෙලෙන ශ්‍රී ලාංකික සොල්දාදුවන් පිලිබඳව වරක් මා පරියේෂණ ලිපියක් පළ කලා. 

මේ හැර ව්‍යාජ අපස්මාර තත්වයෙන් පෙලෙන රෝගීන් ගනනාවකට මා ප්‍රතිකාර කොට තිබෙනවා. ව්‍යාජ අපස්මාරය හෙවත් Pseudo Epilepsy රෝගීන් හිතා මතා ව්‍යාජව රෝග ලක්‍ෂණ පෙන්වන තත්වයක් නොවන බව වටහා ගන්න​. බොහෝ විට ව්‍යාජ අපස්මාරය හට ගන්නේ අවිඥාණික මානසික ගැටළු නිසා. යුද ආතතියට ලක්වී ව්‍යාජ අපස්මාරයට ලක්වී සිටි සොල්දාදුවන් ගනනාවකට මා මනෝ චිකිත්සක ප්‍රතිකාර කොට ඔවුන්ව සුව කොට තිබෙනවා. මේ සොල්දාදුවන් ගේ සායනික ප්‍රගතිය මාගේ ගුරු වූ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා නිරීක්‍ෂණය කලා. 

ව්‍යාජ අපස්මාරයට ලක්වී සිටි තවත් සොල්දාදුවෙක්ව මට මතක් වෙනවා. ඔහුට මේ තත්වය හට ගන්නේ යුද ආතතිය නිසා නොවෙයි. යුද හමුදාවට බැඳීමට පෙර වරක් ඔහු දකිනවා ඔහුගේ මව තම ගමේ අසල්වැසි පිරිමියෙකු සමග පඳුරක් තුල ලිංගිකව එකතු වන ආකාරය​. මේ නිසා ඔහු මවට වෛර කිරීමට පටන් ගන්නවා. මේ හේතුවෙන් ඔහු නිවසින් පලා ගොස් හෝටලයක වැඩ කරනවා. පසුව වයස 18 පූර්ණ වීමෙන් අණතුරුව හමුදාවට බැඳෙනවා. මේ කාලය තුල ඔහුට ආරංචි වෙනවා තම මව පිළිකාවකින් පෙලෙන බව සහ ඇයගේ ජීවිතය අන්තිම අඩියේ බව​. මේ නිසා හට ගන්නා මානසික ඝට්ටනය නිසා ඔහුට අපස්මාර තත්වයක් හට ගන්නවා. ඔහුව රෝහල් ගත කොට පරීක්‍ෂණ සිදු කරනවා අපස්මාරය සම්බන්ධයෙන් ඒ පරීක්‍ෂණ වල දෝශයක් සඳහන් වන්නේ නෑ. ඉන් පසුව මෙම සොල්දාදුවාව අප වෙත යොමු කරනවා. එහිදී ඔහුගේ අවිඥාණික මානසික ගැටුම හඳුනාගෙන ඔහුට මනෝ චිකිත්සක ප්‍රතිකාර ලබා දෙනෙවේ. මේ ප්‍රතිකාර මගින් ඔහු සුව වෙනවා. 

අපස්මාරය යක්‍ෂ-භූත බලපෑමක් ලෙස ග්‍රාමීය පළාත්වල සමහර විට හඳුන්වා රෝගීන්ට නිසි ප්‍රතිකාර ලබා දීම වෙනුවට සාවද්‍ය ප්‍රතිකාර ලබා දෙනවා. මේ නිසා ඔවුන් ගේ රෝගී තත්වයන් උත්සන්න විය හැකියි. මීමැස්මොරය  හෙවත් අපස්මාරය රෝගයට බිය විය යුතු නෑ.. මෙය බෝවන රෝගයක් නොවෙයි. අපස්මාරය හෙවත් මීමැස්මොරය නැමති රෝගය නිසි ප්‍රතිකාර මඟින් සුව කර ගත හැකි බව විශේෂඥ ස්නායු වෛද්‍ය මහාචාර්ය රංජනී ග‍මගේ මහත්මිය  පෙන්වා දෙනවා.  



වෛද්‍ය රුවන් එම් ජයතුංග 

4 comments:

  1. අපස්මාරය හැදිලා මේ වගේ මිය යන්න පුළුවන්ද ?

    ReplyDelete
    Replies
    1. ඔව් ස්වශනය අවහිර වීමෙන්

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook