Saturday, August 4, 2018

වෛද්‍ය උපාධියක් මුදලට මිලදී ගත හැකිද ?



වෛද්‍ය උපාධිය මුදලට විකුනනවා යන්න ශිෂ්‍ය  සංගම් විසින් බොහෝ කාලයක් පුරා  කරන චෝදනාවකි.  වෛද්‍ය උපාධියක් මුදලට මිලදී ගත හැකිද ? වෛද්‍ය උපාධියක් මුදලට මිලදී ගත්  තැනැත්තෙකුට ඉස්පිරිතාලයක දී රෝගී ප්‍රතිකාරය සාර්ථකව කල හැකිද​? 

රෝගී ප්‍රතිකාරය යනු ඒකපාර්ශවික මැදහත්වීමක් නොවේ. එය ද්වී පාර්ශවික සබඳතාවකි. එය ප්‍රතිකාරාත්මක සන්ධියක් ලෙස හැඳින්වේ. රෝගී ප්‍රතිකාරය සාර්ථක වීම සඳහා වෛද්‍යවරයාගේ දැණුම , සන්නිවේදන කුසළතා, සහජ බුද්ධිය , සහජ ඉව , පෙර අත්දැකීම් , අචාර ධර්ම හේතුකාරකයන් වේ. මේ කුසළතා කාලයක් පුරා ගොඩ නගා ගත යුතු  කෞශල්‍යයන් වන අතර මුදල් ගෙවා මේ නිපුණතාවන් මිලදී ගත නොහැක. 

වෛද්‍යවරයෙකු වීම සඳහා මම සත් වසක් වෛද්‍ය පීඨයක පුහුණුව ලැබුවෙමි. මේ කාලය තුල සෙනසුරාදා දිනයන් වලදීද අපට දේශන තිබුනේය​. වෛද්‍ය උපාධි විභාගය සමත් වීමෙන් පසුව මම විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙකුගේ අධීක්‍ෂණය යටතේ පුරා පැය විසි හතරම වසරක කාලයක් සේවය කලෙමි. මෙම ඉන්ටන් කාලය සාර්ථකව නිම කිරීමෙන් පසුව මම ප්‍රථම වෛද්‍ය පත්වීම ලැබුවෙමි. 

යම් අයෙක් මුදලට වෛද්‍ය උපාධියක් මුදලට මිලදී ගෙන ආවා කියා සිතන්න​.  වෛද්‍ය විද්‍යත්මක දැණුම , පුහුණුව , කුසළතා නොමැතිව​ ඔහුට හෝ ඇයට විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙකුගේ අධීක්‍ෂණය යටතේ  ඉන්ටන් කාලය සතියක් වත් ගත කිරීමට නොලැබෙනු ඇත.  අපගේ කාලයේ දැණුම , පුහුණුව , කුසළතා තිබුනු වෛද්‍යවරු වූවද සුළු අතපසු වීමකදී පවා බොහෝ සෙයින් බැණුම් ඇසුවෝය​. වරක් මාගේ මිත්‍ර වෛද්‍ය ඉන්ටර්න්වරයෙකු  (ඔහු රෝගී ප්‍රතිකරයේ දක්‍ෂයෙකු විය ) මාතෘ වාට්ටුවේදී මාතාවක් බැලීමට මඳක් ප්‍රමාද වීම නිසා  නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය නීල් හල්පේ මහතා ඔහුට වාට්ටුවේ රෝගීන් ඉදිරි පිටදීම පෙරලී වැටෙන්නට පයින් පාරක් දුන්නේය.  මේ ක්‍රියාව මා අනුමත නොකරන නමුත් මා මෙහිදී පෙන්වා දෙන්නේ වෛද්‍ය විද්‍යාත්මක දැණුමක් නොමැතිව වෛද්‍ය උපාධියක් මිලදී ගත්  පුද්ගලයාට ඉන්ටර්න් පුහුණු කාලයේදී  විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙකුගේ අධීක්‍ෂණය යටතේ ග්‍රාම්‍ය භාෂාවෙන් කියන පරිදි බුල කෙලිය නොහැක​. ඔහු හෝ ඇය  ඉන්ටර්න් පුහුණු කාලයේදීම හැලී  යනු ඇත. 

ඉන්ටර්න් කාලය සාර්ථකව නිම කිරීමෙන් පසුව මා ග්‍රාමීය රෝහලකට මුල් පත්වීම ලැබුවෙමි. වැඩ භාරගත් මුල් දිනයේ ප්‍රථම රාත්‍රියේදී දරුවෙකු ප්‍රසූති කල මවකගේ වැදෑමහ ඝර්භාෂයේ හිර වූ අතර මම ඉතා සූක්‍ෂමව අත දමා ඝර්භාෂය කණපිට පෙරලීමට ඉඩ නොදී ලේ වහනය වීමකින් තොරව වැදෑමහ ඉවතට ගත්තෙමි. වෛද්‍ය විද්‍යාත්මක  පුහුණුවක් නොමැතිව  වෛද්‍ය උපාධියක් මිලදී ගත්  පුද්ගලයාට මෙවැනි අවස්ථාවකදී සිදු වන්නේ ග්‍රාමීය රෝහලේ කාර්‍ය මණ්ඩලය සහ ගම් වාසීන් ඉදිරියේ පචවී රෝහලෙන් පළා යාමටය. 

ප්‍රථම පත් වීමෙන් පසු මම  නාරි හා ප්‍රසව ජේෂ්ඨ වෛද්‍ය නිලධාරී ලෙස නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය  අජිත් සේමගේ මහතා යටතේ සේවය කලෙමි. මේ කාලයේදී මම සීසර් ශල්‍යකර්ම 723 කලෙමි. මාගේ අතින් එක මාතෘ මරණයක්වත් සිදු වූයේ නැත​. මට පෙර නාරි හා ප්‍රසව ජේෂ්ඨ වෛද්‍ය නිලධාරී ලෙස සේවය කල වෛද්‍ය ඒ. එම් ජයසිරි මහතා අතින් මාතෘ මරණ දෙකක් සීසර් ශල්‍යකර්ම වලදී සිදුවී තිබූ අතර ඔහුට   සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරීක්‍ෂණයකටද මුහුණ දීමට සිදු විය​. මා මෙතන පවසන්නේ වෛද්‍ය ඒ. එම් ජයසිරි ගේ අඩුපාඩුවක් පිළිබඳ නොවේ. මෙම නාරි හා ප්‍රසව අංශයේ තිබෙන අවදානම් සහිත බව පෙන්වා දීමටය​. වෛද්‍ය විද්‍යාත්මක  පුහුණුවක් හෝ දැණුමක් නොමැතිව  වෛද්‍ය උපාධියක් මිලදී ගත්  පුද්ගලයාට මෙවැනි අවදානම් අංශයකදී සිදු වන්නේ වහ කෑමටය​. 

නාරි හා ප්‍රසව පුහුණුවෙන් පසු මම නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ප්‍රියංගනී ආරියරත්න මහත්මිය යටතේ පුහුණුවී නිර්වින්දන වෛද්‍යවරයෙකු ලෙස වසර 4ක් මූලික රෝහලක සේවය කලෙමි. මින් වසර දෙකකට ආසන්න කාලයක් ආදාල රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙකු සිටියේ නැත​. සියළු වගකීම් තිබුනේ අපගේ කර මතය​. මේ කාලයේදී විශේෂඥ ශල්‍ය වෛද්‍ය නිමල් රත්නසේන මහතා වරක් මාගේ සේවා මුරයකදී ශල්‍යකර්මයක් කිරීම සඳහා දින 4 වයසැති බිලිඳෙකු  ගෙනාවේය​. මම සාර්ථකව  බිලිඳා නිර්වින්දනය කලෙමි. මේ කාලයේදී මම ශල්‍යකර්ම සඳහා ( විවිධ සෞඛ්‍ය සංකූලතාද තිබූ ) රෝගීන් 5000 - 8000 අතර ප්‍රමාණයක් නිර්වින්දනය කල අතර කිසිදු නිර්වින්දන ආශ්‍රිත මරණයක් සිදු නොවීය​. මෙවැනි තත්වයක් යටතේ සේවය කරන වෛද්‍ය උපාධියක් මිලදී ගත්  පුද්ගලයාට ගුටි කෑමට පමණක් නොව නඩු හබ වලටද මුහුණ දීමට සිදු වනු ඇත​. 

වෛද්‍ය වෘත්තිය ලංකාවේ ඉතා ආකර්ශනීය වෘත්තියකි. එය ගෞරවයක් , කීර්තියක් ලබන වෘත්තියක් මෙන්ම පන්තිය අතික්‍රමණය කල හැකි වෘත්තියක් බවට (ලංකාවේ ) පත්වී තිබේ. එම නිසා එම වෘත්තිය කෙරෙහි ඇල්මක් සමාජය තුල තිබේ. මේ නිසා වෛද්‍යවරු වීම සඳහා බොහෝ දෙනෙකු උත්සහ කරති. වෛද්‍ය උපාධිය මුදලට විකිනේය යන්න සමාජයේ මුල් බැසගත් භීතියකි. එහෙත් ප්‍රායෝගික තත්වයන් යටතේ මුදලට වෛද්‍ය උපාධියක් ගත් තැනැත්තෙකුට රෝහලක රෝගී ප්‍රතිකාරය කල නොහැකි බව පෙනී යයි. මෙම භීතිකාව යම් යම් දේශපාලන පක්‍ෂ සහ අන්තවාදී ශිෂ්‍ය  සංගම් විසින්  තමන් ගේ වාසියට ජනතාව කුලප්පු කිරීම සඳහා යොදාගෙන තිබෙන අතර මේ  භීතිකාවේ පදනමක් නොමැත. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

9 comments:

  1. දැන්නම් ලන්කාවේ සිසු උත්ගෝෂණ වලත්, දේෂපාලුවන් කියන කරන දේ වලත් කිසිම හරයක් නෑ.... මුලු රටේම කාලයයි මුදලුයි අපතේ යනවා මිසක්.. ඊට පස්සේ ණය වීමයි බදු ගැසීමයි...

    ReplyDelete
  2. ඔබතුමා මෙතන කියන්න උත්සාහ කරන්නෙ බරපතල තත්වයන් යටතේ ඔවුනට සේවය කරන්න බෑ කියන එක... නමුත් සීමාවාසික පුහුනුවේදි හැමෝටම ඔය වගේ සේවය කරන්න සිද්ද වෙනවද ? එතකොට යන්තම් එහ්හෙන් මෙහෙන් ඒක කරලා ශේප් වෙලා ඉන්න බැරිද ? රජයේ විශ්වවිද්‍යාල වල ඉගෙන ගෙනත් පිස්සු කෙලින ඩොක්ටර්ස්ලා ඉන්නකොට.. ඔහොම අය නැති වෙන්න විදිහක් නෑ නේද..? ඔබතුමාගෙම පරන ලිපි වල එහෙම අය ගැන ඕන තරම් තිබුනා..

    ReplyDelete
  3. වෛද්‍ය උපාදියක් ගන්න කලින් A/L පාස් වෙන්න ඕන. ඒක පාස් නැති කෙනෙක් ප්‍රයිවෙට් වෛද්‍ය විද්‍යාලයෙන් උපාදියක් ගත්තොත් ඒක මුදලට ගත්ත එකක් තමයි.
    ඩොක්ටර්ගෙ A/L රෙසල්ට් මොනවාද?

    ReplyDelete
  4. //මේ කාලයේදී මම සීසර් ශල්‍යකර්ම 723 කලෙමි. මාගේ අතින් එක මාතෘ මරණයක්වත් සිදු වූයේ නැත// Wow! You certainly got blessed hands doc :)

    ReplyDelete
  5. මගේ ජීවිතයේ පලවෙනි වතවටයි මම ඇහුවේ විශේෂඥ වෛද්‍යවරුන් දෙහ්ඩෙනෙක් යටතේ ඉන්ටර්න් කරා කියන කාරණාව. ඒ වගේම විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙඩෙක් හරියට බැලුවේ නෑ කියලා පයින් ගැහුවා කියන කාරණය. එහෙම ලෙඩ්ඩුන්ට ආදරය කරන වී ඕ ජී ලා එක්ක වැඩ කරන්න ලබන්න ඔබ විශාල පිණක් කරලා තියෙනවා. 1978 දී මම ඉන්ටර්න් කෙරුවේ පී එස් පෙරෙරා කියන මස් වැද්දාත් එක්ක ගාල්ලේ. ඌ සල්ලි ගෙවුවේ නැත්නම් ලෙඩෙක් දිහා බැලුවේ වත් නෑ. එක පාරක් අවුරුදු 14 ක් අන්ෆර්ටිල් වයස අවුරුදු 40 ක් ටීචර්ගේ ළමයා මැරෙන්න ඇරියා රු. 25ක් ගෙවලා චැනල් කලේ නෑ කියලා. ඔන්න ඕකයි මම ලබාපු අත් දැකීම්. හැබැයි මටත් හම්බ වෙලා තිනවා සිවකුමාරන් වගේ විශේෂඥ වෛද්‍ය වරු දෙවියන් හා සමාන.

    ReplyDelete
    Replies
    1. අපේ කාලේ ඉන්ටර්න්ශිප් වසර 1 මාස 6 ක් සර්ජරි , මාස 6 ක් ජින් ඇන්ඩ් ඔබ්ස් ; ඔබ කියන පරිදි මමත් මස් වැද්දන් කීප දෙනෙක් දුටුවා නම් ගම් සහිතව ලියන්නම්

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook