Wednesday, April 29, 2015

දඩයක්කාරයා හමුවීම

 
                     

 සයිමන් නවගත්තේගම යනු සිංහල සාහිත්‍යයේ මනෝවිශ්ලේෂණාත්මක  සලකුණ සනිටුහන් කල  ලේඛකයා කිවහොත් නිවැරදි බව සිතේ. ඔහු නිර්මාණකරණයේදී මනෝවිශ්ලේෂණාත්මක සංකේත බහුලව යොදා ගත්තේය.  සයිමන්ගේ  සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා කෘතිය මුළුමනින්ම පිරි තිබෙන්නේ මනෝවිශ්ලේෂණාත්මක  සංකේත වලිනි. මනෝවිශ්ලේෂණාත්මක   සංකේත  යොදා ගනිමින් සයිමන් නවගත්තේගම දඩයක්කාරයාගේ ප්‍රයාණය විස්තර කරයි. මේසා ගැඹුරු මනෝවිශ්ලේෂණාත්මක ප්‍රවේශයකින්   සිංහල නවකතාවක් ලියන ලද ප්‍රථම ලේඛකයා සයිමන් නවගත්තේගම ශුරින් විය යුතුය. 
 . 

මුලින්ම මනෝවිශ්ලේෂණාත්මක ප්‍රවේශයකින් නවකතාවක් පළ වන්නේ 1923 වසරේ  Ettore Schmitz   විසින් ලියන ලද    Confessions of Zeno   නවකතාව සමගය. නමුත් මනෝවිශ්ලේෂණවාදය  බොහෝ කාලයක් යන තෙක්  ලාංකික ගත්කරුවන් ගැඹුරින් යොදා නොගත් බව පෙනී යයි.   මාර්ටින් වික්‍රමසිංහගේ විරාගය , ගුණදාස අමරසේකරගේ කරුමක්කාරයෝ වැනි කෘතීන් යම්තාක් දුරකට මිනිස් මනසේ අවිඥානික ගැටුම් හෙළි කෙරුවද සයිමන් නවගත්තේගම තරම්  ගැඹුරු මනෝවිශ්ලේෂණාත්මක මුහුණුවරකින් නවකතාවක් ලියු වෙන කිසිදු ලේඛකයෙකු ගැන  සිතා ගැනීමටවත් නොහැක.  

 සයිමන් නවගත්තේගම විසින් භාවිතා කරන ලද මනෝවිශ්ලේෂණාත්මක   සංකේත පිලිබඳ  ලිපියක්   මම  වසර කීපයකට ඉහතදී ලියුවෙමි.   ( මෙම ලිපිය ලංකා ඩේලි නිවුස් පුවත් පතේ පළ විය)  Psychoanalytic symbols used by Simon Nawagaththegama යන එම ලිපියේ ඔහු විසින් භාවිතා කරන ලද  සංකේත  ගැන මෙසේ සඳහන් වේ.  

Simon used symbols in his novels hiding the conventional meanings. Deconstructive reading would reveal the actual meanings which he gives in his novels especially Dadayakarayage Kathawa. Simon gives broader interpretation of a carried meaning. According to the Psychoanalytic notion symbols are not the creations of mind, but rather are distinct capacities within the mind to hold a distinct piece of information. Simon’s novel is full of elements of unconscious and repressions that struggle in our minds beyond the cultural and religious barriers. Created by collective unconscious archetypes these symbols carry an important socio cultural meaning.   

සයිමන් ගේ පුතු සනී  සනී නවගත්තේගම මගේ සමකාලින පාසල් මිතුරෙකි. ඔහු අධ්‍යාපනය ලැබුවේ ආනන්ද මහා විද්‍යාලයේය. අප දෙදෙනා උසස් පෙළ සත්ව විද්‍යා උපකාරක පන්ති වලදී බොහෝ විට වාඩි වුයේ එකටය. ඇතැම් විට මම සනී සමග එක්වී ඔටුවා කේන්ති ගැස්සුවෙමු. අප ඔටුවා ලෙස හැඳින්වුයේ සිදත් ප්‍රනාන්දුය. බෙල්ල දිග සිදත් නිතර වාඩි වුයේ නාලක ගුණවර්ධන සමගය. සනී පසුපස සිට පුද්ගලික බස් කොන්දොස්තරවරයෙකුගේ ස්වරයෙන් ඔටුව පිටකොටුව කියයි. එවිට මම සනී තවත් උනන්දු කරවමින් සිනාසෙමි. අපගේ  විහිළුව නිසා කෝප ගන්නා සිදත් පසුපස හැරී රවා බලයි.  ඒ  කාලයේදී  පන්ති වලදී අප විසින් ළමුන්ට කල විහිළු ගැන ඇතැම් විට දැන්  දුකක් සිතේ. නමුත් කොළු කාලයේ  මේවා ගැන හැඟීමක් අපට නොවිය. නාලක දැන් ප්‍රවීණ විද්‍යා   ලේඛකයෙකි.  ඔටුවා  ගැන තොරතුරක් නැත. ඔහු මට යලි මුණ ගැසුනොත් සනී සමග එක්වී විහිළු කලාට සමාව ඉල්ලා සිටීමට ඉටාගෙන තිබේ.  

 සනී වෛද්‍ය විද්‍යාව හැදෑරුවේය. දැන් ඔහු කැල්ගරි හි ජිවත් වේ. ඒ කාලයේ මට නිතර සනී මුණගැසුනද ඔහුගේ පියා  මට මුණ ගැසීමට අවස්ථාවක් නොවිය.   සයිමන් නවගත්තේගම  ශුරින් මට මුණ ගැසී ඇත්තේ එකම එක වරකි.    1999 වසරේදී   වරක් මට ඔහුව මරදානේදී හමු විය. කැප් තොප්පියක් ලා ගත් මේ මහා ගත් කතුවරයා දුටු විගසම මම ඔහුව හඳුනා ගත්තෙමි.  

 " මම සනීගේ යාළුවෙක් " මම මා පිලිබඳ කෙටි හැඳින්වීමක් කලෙමි.  

 ආ එහෙමද ? ඔහු ඉතා ලෙන්ගතුව මා සමග විනාඩි විස්සක් පමණ  කතා කළේය. ඒ අප හමු වූ ප්‍රථම සහ අවසන් වතාවයි.  

 2008 වසරේදී පමණ  මා පුත්තලම දිස්ත්‍රික් මානසික සෞඛ්‍ය සම්බන්ධිකරණ වෛද්‍ය නිලධාරී ලෙස සේවය කල කාලයේ වරක් නවගත්තේගම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට රාජකාරියක් උදෙසා ගියෙමි. නවගත්තේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා  මිත්‍රශීලි අයෙකි. අවාසනාවකට මෙන් මට ඔහුගේ  නම දැන් අමතකවී තිබේ. රාජකාරිය අවසන් කිරීමෙන් පසුව සයිමන් නවගත්තේගම ජිවත් වූ නිවස බැලීමට යාමට මට ආශාවක් ඇති විය. මෙම වෛද්‍ය නිලදාරියා මට සයිමන් නවගත්තේගම ජිවත් වූ නිවෙස  පෙන්වීමට පැමිණියේය. දැන් එම නිවස වනජීවී දෙපාර්තමේන්තුවේ කාර්යාලය  බවට පත් කොට තිබේ.   

  සයිමන් නවගත්තේගම යනු ශ්‍රේෂ්ඨ ලේඛකයෙකි. ඔහුගේ කෘතීන් අන්තර් ජාතික ප්‍රජාවට පරිශීලනය කිරීමට අවස්ථාව ලබා දිය යුතුය. මෙම  සාහිත්‍යධරයාගේ සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා කෘතිය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වුවහොත් එයට ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහල වනු ඇත . එසේම එය  විශ්ව සාහිත්‍යට ගිය ප්‍රථම ජනප්‍රිය සිංහල නවකතාව වනු  නියතය. 

 වෛද්‍ය රුවන් එම් ජයතුංග  

11 comments:

  1. // සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා කෘතිය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වුවහොත්/// බැරෑරුම් වැඩක්.. කවුරුහරි අතගහනවනම් හොඳයි..

    නාලක පහුගිය දවසක හම්බුනා බ්ලොග් සම්මාන උළෙලේදී... ඒ වගේම ඔහු අපත් සමඟ ඉදිරියේදි සිංහල බ්ලොග් වෙනුවෙන් කටයුතු කිරීමටත් සූදානම්. කරදරයක් නොවේනම් නිදහසේ කියවා මේ පිළිබඳ ඔබේ අදහසත් දක්වන්න.

    http://kalahitha.blogspot.com/2015/04/bloggers-guild-proposed-action-plan-1.html

    ReplyDelete
    Replies
    1. හොඳයි මම කියවා බලන්නම්

      Delete
  2. /* ඔහු අධ්‍යාපනය ලැබුවේ ආනන්ද මහා විද්‍යාලයේය. */

    කොහෙද මේ? කොට්ටාවේ ආනන්ද මහා විද්‍යාලයේ ද, මෝදර එකේද?

    මං උසස් පෙළ කලේ නම් කොළඹ මරදානේ පිහිටා ඇති "ආනන්ද විද්‍යාලයේ" යි.

    ReplyDelete
    Replies
    1. ඔහු අධ්‍යාපනය ලැබුවේ කොළඹ මරදානේ පිහිටා ඇති "ආනන්ද විද්‍යාලයේ

      Delete
  3. මා හිතනවා මේ මහා ගත්කතුවරයා ප්‍රාමාණික වශයෙන් ඇගයීමට ලක්වුයේ නැතැයි කියා. ඔහු සමග ගුවන්විදුලියේ/රූපවාහිනියේ කළ සාකච්ඡා අසා/බලා සිටීමේදී, ඔහු කොතරම් වෙනස් චින්තනයක් ඇති පුද්ගලයකුද යන්න පැහැදිළි වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔහු විශේෂ වර්ගයේ චින්තකයෙක්

      Delete
  4. සයිමන් අපුර්ව චින්තකයෙක්.. ලංකාවේ නවකතාව මේ තරමින් හෝ තියෙන්නේ ඔහු නිසයි.. හැබැයි මට මාර දුකක් තියෙනවා. ඔහුගේ මරණින් පසුව ඔහුගේ බිරිද විසින් සයිමන් විසින් ලියු බාගෙට පොත් කිහිපයක් පල කරල තියෙනවා.. කාටවත් නෙමෙයි සයිමන්ටයි ලැජ්ජාව.. එකක් සන්ධ්‍යා සහ විනද්‍යා.. තවත් එකක් කියෙව්වා ඒනේ නම මතක නැහැ..

    ReplyDelete
    Replies
    1. මේ බ්ලොග් එකේ බ්ලොග් ආකයිව් දෙකක්ම තියෙනවා එකක් අයින් කරා නං හොදා..

      Delete
    2. සයිමන් ගේ අවසන් නොකළ පොත් කීපයක් තිබ්බා

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook