Thursday, April 14, 2016

බලය තිබුන කාලයේ


පහත දැක්වෙන්නේ ජනාධිපති මහින්ද බලයේ සිටි අවසන් මාස කීපයේදී තිබූ දේශපාලන වාතාවරණයයි. උපුටා ගත්තේ දිවයින පුවත්පතෙනි 




අපරාජිත ජනාධිපතිට රූකාන්තගෙන් සින්දුවක්‌!

උලත් එකයි පිලත් එකයි මලත් එකයි නැතත් එකයි....



ජනාධිපතිවරණයක්‌ තවම ප්‍රකාශයට පත්කර නැතත් ජනාධිපතිවරණය ගැනම කතාවුණ දින කිහිපයක්‌ ලෙස තවත් සතියක්‌ ගෙවී ගියේය. එම සතිය තුළ වැඩිපුරම රටට දැකගත හැකිවූයේ විපක්‍ෂයේ ක්‍රියාකාරකම්ය. කොටින්ම කිවහොත් අපේක්‍ෂකයෙක්‌ තවම පෙනෙන්නට නැති විපක්‍ෂයේ පක්‍ෂ එකමුතුව තැන තැන රැස්‌වෙමින් සාකච්ඡා කරමින් විවිධ නම්වලින් ප්‍රවෘත්ති සාකච්ඡා කැඳවමින්, ප්‍රකාශ නිකුත් කරමින් රජයට එරෙහිව සියලු අවි ආයුධ ඔසවන්නට පටන් ගත්තත් ජනාධිපතිවරණය නම් ධාවන තරගයට සුදුසු ධාවකයෙක්‌ නම් එහි නොවීය.



සාධාරණ සමාජයක්‌ සඳහා ජාතික ව්‍යාපාරය, පිවිතුරු හෙටක්‌ සඳහා වන ජාතික ව්‍යාපාරය, එක්‌සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්‌ති පෙරමුණ හා සිහල උරුමය ඇතුළු විපක්‍ෂයේ ලොකු කුඩා පක්‍ෂ විශාල ගණනක්‌ මේ එකමුතුව ඇතුළේ සිටියත් ඒ සියලු බලවේග කේන්ද්‍රකරගත් නායකයා කවුද යන ප්‍රශ්නය එම සන්ධානය ඇතුළේම තිබිණි. බොහෝ විටම ඒ තත්ත්වයට බලපෑවේ ඊට සහභාගි වූ පක්‍ෂවල ඇතුලාන්තයේත් පොදු අපේක්‍ෂකයා සඳහා ඉදිරිපත් කරන නාමයෝජනාවට එකඟතාවයක්‌ නොතිබීමය.

චම්පික රතන ගම්මන්පිල
ත්‍රිකෝණාත්මක සංවාදය

මෙසේ කීවාට ජනාධිපති මහින්දට ද පක්‍ෂය ඇතුළේ අභියෝග තිබිණි. ජනාධිපතිවරණය ගැන කතාබහ වන්නට පෙර ඔහුට ප්‍රබල අභියෝගයක්‌ 
රැගෙන කරළියට ආවේ ජාතික නිදහස්‌ පෙරමුණේ නායක විමල් වීරවංශය. එහෙත් විමල් වීරවංශ කල් යැමත් සමඟ සටන් මග මුදු සුමුදු කළේය. ඔහු අභ්‍යන්තර සටන අතහැර ජනාධිපති මහින්ද දිනවීමේ බාහිර සටන් පෙරමුණේ කොඩිය අතට ගත්තේය. සටන තුළ ප්‍රබල සෙනවියා වූයේය.

එහෙත් චම්පික රණවක, ගම්මන්පිල හා අතුරලියේ රතන යන බලවේග ආණ්‌ඩුවේ අභ්‍යන්තර සටන් කරලියට ආවේ අසීරු මාතෘකාවක්‌ කතාබහට ගනිමිනි. ඔවුන්ට ප්‍රශ්න තිබුණේ වංචා දූෂණ අක්‍රමිකතා යහපාලනය වැනි මාතෘකාවලය. ඒ ඔස්‌සේ චම්පික හා රතන හිමි එල්ල කළ විවේචන රජයේ සමහර නායක කාරකාදීන්ට දරාගන්නට නොහැකි වූහ.

එහෙත් චම්පික හා ගම්මන්පිල දෙදෙනාම හිස ඔසවා ඉදිරි ගමන ගියේ සීරු මාරුවට ය. පරිස්‌සමිනි. පමණ ඉක්‌මවා වේගයෙන් ඉදිරියට ගිය රතන හිමිට ගමනේ වේගය බාල කළ නොහැකි විය. ආපසු හැරෙන්නට බැරි විය.

මේ නිසා වේගයෙන් ඉදිරියට ගිය රතන හිමි අද සිටින්නේ ජාතික හෙළ උරුමයේ මතයටත් එපිට තැනකය. ජාතික හෙළ උරුමයේ මතය රජය සම්බන්ධයෙන් පෙළගැසුනේ සංවර්ධනාත්මක විවේචනවල සිටය. රතන හිමි ගිය වේගය වැඩි නිසා නතර වන්නට වූයේ රජයේ සීමා මායිම් සියල්ලෙන් පිට විපක්‍ෂයට ආසන්න තැනකය. ඒ අනුව අද චම්පික හා ගම්මන්පිල මෙගොඩත් රතන හිමි තනිව එතෙරත් සිටින දෙගම්බඩ තත්ත්වයකට ජාතික හෙළ උරුමය පත්ව සිටිති.

මේ අතර පසුගිය දිනක ගම්මන්පිල ප්‍රසිද්ධ මාධ්‍යයක පළකළ අදහසක්‌ ගැන මගේ අවධානය යොමුවිය. ඔහු කීවේ රතන හිමි රජය සම්බන්ධයෙන් ගෙන එන විවේචන කිසිවක්‌ ජාතික හෙළ උරුමයේ විවේචනම නොවන බවය. ඒ පළවන්නේ එක එක්‌කෙනාගේ පුද්ගලික මත බව කී ගම්මන්පිල ජාතික හෙළ උරුමයේ පැහැදිලි මතය හැදෙන්නේ සියල්ලන්ගේම මතවල එකතුවකින් හැදෙන විසංවාදයක්‌ තුළ බව කීවේය.

මේ සියල්ලට අනුව ගම්මන්පිල හා චම්පික රජයේ ඉතිරි විය හැකි බවත් රතන හිමියෝ විපක්‍ෂය වෙත යා හැකි බවටත් අනාවැකි කියන්නෝ ද සිටියහ.

ජනාධිපති මහින්දත් 
විපක්‍ෂයට යනවලු

ජනාධිපති මහින්ද රාජපක්‍ෂට මේ දිනවල ආණ්‌ඩුව හැර යන මන්ත්‍රීවරුන්ගේ විස්‌තර කියන්නට බොහෝ දෙනා පැමිණෙති. සමහර ඇමැතිවරු නිලධාරීහු මෙසේ පැමිණ තමන්ගේ කණ්‌ පිරෙන්නට කියන කේලාම් ගැන ජනාධිපති මහින්ද පසුගිය සතියේ දිනක හරි අපූරු කතාවක්‌ කීවේය. ඒ කීවේ පසුගිය සතියේ නාලන්ද විද්‍යාලයේ පාගමනට සහභාගි වන්නට ජනාධිපතිවරයා ගිය මොහොතේය.

ඒ අවස්‌ථාවට නාලන්දයෙන් ඉගෙනගත් මැති ඇමැතිවරු දේශපාලනඥයෝ හා නිලධාරීහු මෙන්ම ආරක්‍ෂක ප්‍රධානීහු ද විශාල පිරිසක්‌ සහභාගිව සිටියහ. ජනාධිපති මහින්ද එහිදී කතාබහ කරමින් සිටියේ තිලංග සුමතිපාල, රාජිත සේනාරත්න ඇතුළු පිරිසක්‌ සමඟය.

මේ දවස්‌වල ඉන්න නෑ හලෝ මට කණක්‌ ඇහිලා එක එකා ඇවිත් කියන්නේ එක එක කතා. පුදුම මිනිස්‌සු. ඔන්න එක දවසක ඇවිත් කියනවා අහවලා ආණ්‌ඩුවෙන් යනවා කියලා. තවත් දවසක කියනවා තව එක්‌කෙනෙක්‌ යනවා කියලා. ඒ අස්‌සේ තවත් කෙනෙක්‌ ඇවිත් කියනවා මෙන්න මෙයත් (රාජිතව පෙන්වමින්) යනවා කියලා. බැරිම තැන මං කට්‌ටිකට කිව්වා තව ටික දවසකින් තමුසෙලා ඇවිත් මට කියාවි අන්න මහින්ද රාජපක්‍ෂත් යූ ඇන් පී එකට යන්න හදනවා කියලා.

ජනාධිපතිතුමාගේ කතාවට තිලංග කොක්‌හඬලා සිනාසෙද්දී ඇමැති රාජිත තවත් අපූරු කතාවක්‌ මතක්‌ කළේය.

ඔය වගේ මරු කතාවක්‌ ඉස්‌සර ඔසී අබේගුණසේකරත් කියනව නේ සර්.... ඒක වුණේ ප්‍රේමදාසගේ කාලේ.

ඒ කාලේ ඉතින් කවුරු කොතන කොහොම මැරුණත් ඒක දාන්නේ ප්‍රේමදාසගේ එකවුන්ට්‌ එකට නේ. ඔසී මෙන්න මෙහෙම කිව්වා.

දැන් බලන්න.... රිචඩ් ද සොයිසා මැරුණා. කවුද මැරුවේ... ප්‍රේමදාස ඊළඟට ලලිත් මැරුණා... කවුද මැරුවේ... ප්‍රේමදාස ඊළඟට අහවලා මැරුණා කවුද මැරුවේ.... ප්‍රේමදාස ඊළඟට රණසිංහ ප්‍රේමදාස කියල කෙනෙක්‌ මැරුණා කවුද මැරුවේ ප්‍රේමදාස...

ඔන්න ඔහොමයි මිනිස්‌සුන්ගේ පදනමක්‌ නැති කතා ගැන එදා ඔසී අබේගුණසේකර අවඥාවෙන් දැක්‌කේ....

මේ අයුරින් ජනාධිපති මහින්ද බොහෝ වේලාවක්‌ නාලන්ද පාගමනේ සිටියේ එහි සිටි ආදි නාලන්දීයයන් වන මැති ඇමැතිවරු හා නිලධාරීන් සමඟ ඉතා සුහදව කතාබහ කරමිනි.

මන්ත්‍රීවරයකුගේ මිල ගැන
සුජීව රනිල්ගෙන් අසයි

එක්‌සත් ජාතික පක්‍ෂයේ කණ්‌ඩායම් රැස්‌වීම ද බදාදා උදේ පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. මුලින්ම කතාබහ කළේ මෙවර අයවැය විවාදයේ කටයුතු ගැනය. එක්‌සත් ජාතික පක්‍ෂයේ කථිකයන්ගේ ලොකු සහභාගිත්වයක්‌ රනිල් මෙහිදී බලාපොරොත්තු වෙමින් තදබද විවේචන අවශ්‍ය බව කීවේය.

ඉන්පසුව කතා කළේ "පිවිතුරු හෙටක්‌" සංවිධානයේ මුත්තයියා පාර්ක්‌ රැස්‌වීම ගැනය. සියලුම දෙනා ඊට සහභාගි වන ලෙස රනිල් ආරාධනයක්‌ ද කළේය. කොහොමටත් මන්ත්‍රීවරු සිටියේ එදා හවස එම රැස්‌වීමට සහභාගි වන බලාපොරොත්තුවෙනි.

ඉන් අනතුරුව මංගල ආණ්‌ඩුවට එක්‌වනවාද නැද්ද කියා හරියටම දැනගන්නට මන්ත්‍රීවරුන්ට අවශ්‍යව තිබිණි. රනිල් ඒ ගැන විශ්වාසයෙන් කතා කළේය. මංගල නොයන බව කීවේය.

"කොහොමටත් අපෙන් එක්‌කෙනෙක්‌ දෙන්නෙක්‌ ආණ්‌ඩුවට අරන් රැල්ලක්‌ ඇති කරන්න ආණ්‌ඩුවේ ලොකු සැලැස්‌මක්‌ තියෙනවා. ඒක ගැන පරිස්‌සමින් ඉන්න. ඔයගොල්ලන්ටත් ඔµර්ස්‌ එහෙම එන්න බැරි නෑ. ආරංචියි එහෙම සූදානමක්‌.... රනිල් කීවේය.

කීයද දන්නේ නෑ ආණ්‌ඩුවේ ඔµර් එක. සුජීව සේනසිංහ විමසුවේය.

සුජීව එය ඇසූ ආකාරය ගැන කවුරුත් සිනාසෙන්නට වූහ...

ඒ අතර තවත් අඩුපාඩු රැසක්‌ ද කතාබහ කෙරිණි. සුජීවට කඩුවෙල ආසනයෙන් කොටසක්‌ දී වැඩ කරන්නට ලබා දී තිබූ ඉඩකඩ ගැන ඔහු කතා කළේ නොමනාපයෙනි.

ඒ වැරදි ඔක්‌කොම නිවැරැදි කරනවා. රනිල් කීවේය.

ජනාධිපතිවරණය හින්දම කරනවා වගේ නේ. දැන් කළොත් දැන්ම ඕන නැහැ. ජනාධිපතිවරණය ඉවරවෙලා නිවැරැදි කළාම ඇති... සුජීව කීවේය.

ඒත් සමඟම ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන ද රනිල් මන්ත්‍රීවරු සමඟ කතා කළේය. අලුත් අදහස්‌ තිබේ නම් යෝජනා තිබේ නම් ඊට ඇතුළත් කරන්නට ලබාදෙන මෙන් රනිල් ඉල්ලා සිටියේය. ඒ අනුව එජාප කණ්‌ඩායම විසිර ගියේය.

හවස මුත්තයියා පාර්ක්‌හිදී මහ සෙනඟක්‌ මැද "පිවිතුරු හෙටක්‌" සංවිධානය කැඳවූ යෝධ රැලිය පැවැත්විණි. එක්‌සත් ජාතික පක්‍ෂයේ රනිල් ඇතුළු එජාප නායකයෝ, ජවිපෙ ලාල්කාන්ත, හෙළ උරුමයේ රතන හිමි, මනෝ ගනේෂන්, අසාද් සාලි ඇතුළු නායකයෝ බොහෝ පිරිසක්‌ පැමිණ සිටියහ. විශේෂත්වය වූයේ මෙතෙක්‌ දිනක්‌ සිංගප්පූරුවේ ගොස්‌ ලංකාවේ දේශපාලන කතිකාවෙන් ඈත්ව සිටි මංගල සමරවීර ද මේ සඳහා සහභාගි වී සිටීමයි. මංගල, කරු ජයසූරිය සමඟ ලොකු අභ්‍යන්තර කතාබහක නිරතව සිටින බව එහිදී දැකගන්නට ලැබිණි.

මංගලයි ෆොන්සේකයි
සිංගප්පූරුවේදී හමුවෙයි

මංගල සමරවීර ගැන පසුගිය සතියේ විවිධ කතා පැතිර යද්දී ඔහු තරමක්‌ අප්‍රසිද්ධියේ සිංගප්පූරුවට ගියේ ඔහුගේ සාමාන්‍ය සෞඛ්‍ය කටයුතු සඳහාය. ඔහු සිංගප්පූරුවේ මවුන්ට්‌ එලිසබෙත් රෝහලේ නතර වූයේය. වසරක නොවැම්බර් මාසයේ මෙසේ එම රෝහලට ගොස්‌ පූර්ණ සෞඛ්‍ය පරීක්‍ෂණයකට බඳුන් වීම සාමාන්‍යයෙන් ඔහුගේ පුරුද්දකි. චර්යාවකි. මෙවර ද ඔහු එහි ගියේ ඒ සඳහාය. එය එවෙලේ ලංකාවේ ඔහුට තිබූ අනවශ්‍ය වාද විවාද හා සංවාදවලට බඳුන් වීමෙන් වැළකී ඉන්නට ද මහඟු අවස්‌ථාවක්‌ බව කිව යුතුය.

ඔය අතර එම දින කිහිපය තුළ සෞඛ්‍ය පරීක්‍ෂණයක්‌ සඳහා තවත් විශේෂ පුද්ගලයෙක්‌ සිංගප්පූරුවට පැමිණියේය. ඔහු සරත් ෆොන්සේකාය. 

සරත් ෆොන්සේකාගේ මුල්ම ශල්‍යකර්ම සියල්ල කළේ සිංගප්පූරුවේ ජාතික රෝහලේය. එහෙයින් ඔහු අසනීප තත්ත්වයන්හිදීත් සාමාන්‍ය වාර්ෂික සෞඛ්‍ය පරීක්‍ෂණවලදීත් නිරතුරුව ගියේ ජාතික රෝහල වෙතයි. මෙවරත් ඔහු ගොස්‌ නතර වී ප්‍රතිකාර ගත්තේ ජාතික රෝහලේය.

මේ අවස්‌ථාව මංගලටත් ෆොන්සේකාටත් හමුවී කතා බහ කරන්නට කදිම අවස්‌ථාවක්‌ විය. දෙදෙනාගේම මාතෘකාව එකකි. දෙදෙනාටම තිබුණේ ලොකු විචිකිච්ඡාවකි. ලංකාවේ සිදුවන දේශපාලන මතුවීම්, නැඟිටීම් මෙන්ම නාය යැම් ගිලා බැසීම් ගැන හොඳින් අවබෝධ කර ගෙන සිටි මේ දෙදෙනා තම තමන්ගේ ගැටලු ගැන කතා කර ගත්හ.

ඒ වනවිට ෆොන්සේකා සිටියේද ජනාධිපතිවරණය හා ඊට විපක්‍ෂයේ පොදු එකමුතුව තුළ ඇති සූදානම පිළිබඳ දෙගිඩියාවෙනිs. මංගල දෙලොවක්‌ අතරය. මංගලව එළියට ගෙන ආණ්‌ඩුවට සම්බන්ධ කර ගැනීමට ආණ්‌ඩුවේ පිරිසක්‌ උත්සාහ කළත් මංගල ගැන හොඳ හැටි දන්නා හා ඔහුගේ වැඩ කිරීමේ වපසරිය ගැන දන්නා රජයේම විශේෂිත පිරිසක්‌ පසු වූයේ තරමක නොමනාපයකිනි. ඔවුන් අප්‍රසිද්ධියේ කටයුතු කරමින් සිටියේ මංගල නොඑන තැනටය.

ඒ අතරම මංගලව මේ අවස්‌ථාවේ විපක්‍ෂයෙන් යවා ගතහොත් ඉන් ඇතිවන දේශපාලන මදිපුංචිකම හා දේශපාලන අලාභය ගැන ද රනිල්, මලික්‌ ඇතුළු එජාපයේ ඉහළ පෙළ නායකයෝ ද හොඳින් දැන සිටියහ. 

මේ නිසා මංගල ආණ්‌ඩුවට යන කඩුල්ල වසා දැමීමට එජාප නායකයෝද ඒ වන විට පියවර ගෙන සිටියහ. මලික්‌ සමරවික්‍රම එවන් දූත මෙහෙවර කටයුතුවලට නම් දැරූ සමතෙකු බැවින් මංගල හා කතා බහ කර ඔහු ආපසු නොයවනා වගකීම හා රඳවා තබා ගැනීමේ මෙහෙයුම බාරදී තිබුණේ මලික්‌ටය.

මංගලගේ කඳුළු පිහින්න
ඔන්න කරුත් ඇවිල්ලලු

මංගල ආපසු ආණ්‌ඩුවට යැම වළක්‌වා තබා ඔහුට පක්‍ෂය තුළ ඇති සැබෑ අර්බුද හා ගැටලු විස¹ දෙන්නට වෙහෙස වූ අනෙක්‌ පුද්ගලයා වූයේ කරු ජයසූරියයි. කරු සාමාන්‍යයෙන් මංගල හා මිත්‍රය. ඔහු පසුගිය සති දෙක පුරාමත් මංගල ලංකාවේ සිටි කාලයේත් සිංගප්පූරුවේ සිටි කාලයේත් මංගල හා සම්බන්ධ වූයේය. ඔහු හා කතා බහ කරමින් කරු අවංකවම බැලුවේ මංගලගේ ප්‍රශ්න සමථයකට පත් කර ගන්නටය.

මෙහිදී කරු - මංගල තුළ බලාපොරොත්තුවක්‌ දල්වමින් එක්‌ කරුණක්‌ අනාවරණය කළේය. කරු එය කළේ මංගල මවුන්aට්‌ එලිසබෙත් රෝහලේ වෛද්‍ය පරීක්‍ෂණවලට බඳුන් වෙමින් විවේකීව සිටියදී ඔහුට දුරකථනයෙන් කතා කරමිනි.

"මංගල....... ඔයා කලකිරෙන්න අවශ්‍ය නැහැ. ඔය වගේ අභියෝග මේ දේශපාලන ගමනේදී අපි කාටත් පොදු ධර්මතා. ඒ වුණාට ඔබ වැඩකට බැස්‌සොත් ඒ වැඩේ කරල ඉවරයක්‌ දකින්න හැකියාවක්‌ ඇති දක්‍ෂ සංවිධායකයෙක්‌ කියල මුළු පක්‍ෂයම දන්නවා. විශේෂයෙන් අපේ පාක්‍ෂිකයෝ හිතවත්තු ඔයාගේ හැකියාවන් අගය කරනවා. පක්‍ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් ඔයා කැප වෙන ආකාරය හා ප්‍රමාණය ගැන අපටත් අපේ පාක්‍ෂිකයන්ටත් විශ්වාසයක්‌ තියෙනවා. අපි හැමදෙනාගේම අපේක්‍ෂාව තමයි ඔයාගේ ඒ පූර්ණ කැපවීම නැවත පක්‍ෂයට ලබා ගැනීම. ගිය දේවල් ගියාවේ අපි එක්‌වෙලා වැඩ කරමු.

කරු මංගලට කතා කරමින් කීවේ එයයි. එහෙත් මංගල මුණිවත රකිමින් කිsසිදු තීරණයකට හෝ මතයකට නොවලහා තම මතය හෝ අදහස නොකියන්නට වග බලා ගත්තේය. නිහඬතාව දිගටම රකිමින් වෙන වෙන දේශපාලන කරුණු ගැන කතා කළා මිස ඔහු පක්‍ෂය හැර ආණ්‌ඩුවට යැම හෝ නොයැම ගැන කිසිවක්‌ම නොකියා සිටියේය.

හීරෝ වෙන්න බැරි රනිල් 
සීරෝ වෙන්න අකැමැතිලු

බදාදා දිනය විවිධ දේශපාලන හැල හැප්පිලි සහිත කලබලකාරී දිනයක්‌ම විය. ඊට හේතුව දේශපාලන බලවේග රැසකම කල්ලි කණ්‌ඩායම් කොළඹට එක්‌රැස්‌ වන රැලි මාලාවන් කිහිපයක්‌ම එදින සවස කොළඹදී සංවිධානය වී තිබීමයි. 

පිවිතුරු හෙටක්‌ සංවිධානයේ මෙහෙය වීමෙන් විපක්‍ෂයේ බලවේග කොළඹ මුත්තයියා පිටියේ ලොකු ජනතා රැලියක්‌ කරමින් සිටියහ. ඒ වෙලාවේම ජාතික සංවිධාන එකමුතුවේද තවත් එක්‌ රැලිsයක්‌ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්විණි. ජාතික සංවිධාන එකමුතුව වෙනුවෙන් එහි කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මෙම රැලිය සංවිධානය කර තිබූ අතර ජාතික සංවිධාන වෙනුවෙන් පූජ්‍ය මැදගම ධම්මානන්ද, බෙංගමුවේ නාලක, මැදගොඩ අභයතිස්‌ස, කිරම විමලජෝති යන ලොකු හාමුදුරුවන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයක්‌ ප්‍රවිණ නීතිවේදී ගෝමින් දයාසිරි, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ සෝමරත්න දිසානායක ප්‍රමුඛ උගතුන්, බුද්ධිමතුන් විශාල පිරිසක්‌ මේ සඳහා සහභාගිව සිටියහ.

ගුණදාස අමරසේකරයන්ගේ අදහස්‌ පැහැදිලි කිරීමේ කතාවෙන් පසුව විපක්‍ෂයට තදබල විවේචන සහිත ආන්දොaලනාත්මක කතාබහක නිරත වූයේ අමාත්‍ය විමල් වීරවංශය. "දැන් විපක්‍ෂයේ ප්‍රධාන පක්‍ෂය එක්‌සත් ජාතික පක්‍ෂයයි. එහි නායකයා රනිල් වික්‍රමසිංහ මහත්තයට තවමත් පක්‍ෂය දාල යන්න හිතක්‌ නෑ. ඒත් මේ පාර ජනාධිපතිවරණයට ඉල්ලන්න බයයි. එයාට ආසයි. ඒත් බයයි. ඒක නිසා 2010 දී දැම්මා ෆොන්සේකාව. රනිල් යන්තම් එතැනින් ගැලවුණා. 2015 දීත් රනිල් තාම බයයි. ඉන්නේ දෙගිඩියාවෙන්. තරගෙට ගිහින් පැරදුනොත් විපක්‍ෂ නායකකමයි පක්‍ෂ නායකකමයි දෙකම නැතිවෙනවා. ඔන්න ඒක නිසා හොයනවා පොදු අපේක්‍ෂකයෙක්‌ තමන් ගියොත් පරාදයි. එතකොට ඔක්‌කොම ඉවරයි. ඒක නිසා දිනන්න බැරි පොදු අපේක්‍ෂකයෙක්‌ දාල දිගටම තමන්ගේ තනතුර රැකගන්නයි රනිල්ට ඕන. මේකට තමයි කියන්නේ හීSරෝ වෙන්න බැරි වුණත් සීරෝ වෙන්න කැමැති නෑ කියලා. රනිල්ට හීරෝ වෙන්න බෑ. ඒත් සීරෝ වෙන්න කැමැති නෑ..... වික්‍රමසිංහගේ බැරි බැරියාවට හොයන තාවකාලික විසඳුම තාවකාලික තුලාන්තරේ තමයි මේ පොදු අපේක්‍ෂකකම. විමල් කිව් කතාවේදී ජනතා විමුක්‌ති පෙරමුණටද ඇඟිලි දිගුකරමින් විවේචනයක්‌ එල්ල කළේය.

ජනතා විමුක්‌ති පෙරමුණ ඇතුළෙත් ජනාධිපතිවරණයට ඉල්ලනවාද නැද්ද පොදු අපේක්‍ෂකට සහාය දෙනවාද කියන කරුණු පිළිබඳ අද ඇත්තේ එකඟතාවක්‌ නොව, විසංවාදයක්‌ බව විමල් පෙන්වා දුන්නේaය.

ජනාධිපතිවරණයට කරු ආවොත්
පබාත් ගම්පහින් එනවලු

කොළඹ මුත්තයියා පාක්‌හි පිවිතුරු හෙටක්‌ රැලිය පැවැත්වෙන අතරවාරයේ පාර්ලිමේන්තුවේ කුමාරසිරි හෙට්‌ටිගේ ගේ මෙහෙයුම් කාමරයේ මැති ඇමැතිවරු පිරිසක්‌ රැස්‌වී කතාබහ කරමින් සිටියේ මේ තිබෙන රැලි හා පොදු අපේක්‍ෂක සූදානම ගැනයි. ජොන්ස්‌ටන් ප්‍රනාන්දු, චන්දිම වීරක්‌කොඩි, µයිසර් මුස්‌තාපා, නිමල් විඡේසිංහ, උපේක්‍ෂා ස්‌වර්ණමාලී (පබා), මාලිනී ෆොන්සේකා ආදීහුද ඒ අතර සිටියහ. 

ජනාධිපති මහින්දත් එක්‌ක සටන් කරල පරදින්න බය හින්දා රනිල් වික්‍රමසිංහ මේ පාරත් 2010 කරපු දේම කරාවි. මතකනේ ෆොන්සේකාව අමාරුවේ දාල බේරුණ හැටි..... ජෝන්ස්‌ටන් කීවේය.

ඔව්. ඔව්.. රනිල් මේ පාර කරුට බල කරනවලු ජනාධිපතිවරණයට ඉල්ලන්න කියලා. යූ. ඇන්.පී. එක ඇතුලේත් කරුට ඒ සඳහා ලොකු ඉල්ලීමක්‌ හැදිල තියෙනවා. තවත් මන්ත්‍රීවරයෙක්‌ කීවේය.

එහෙම වුණොත් ඉතින් මේ අපේ උපේක්‍ෂා ස්‌වර්ණමාලිටත් වැඩ තියේවි........ නේද චන්දිම වීරක්‌කොඩි කීවේ ප්‍රකාශයේ බර උපේක්‍ෂාගේ පැත්තට තබමින් ඇඟ බේරා ගෙනය.

මම එහෙනම් ගම්පහින්ම ඒ සටන පටන් ගන්නවා. උපේක්‍ෂා කීවාය. 

ඔව්..... එහෙම වුණොත් ඉතින් අපට ඒ තරම් සටන්පාඨ ඕන වෙන එකකුත් නැහැ......... හෙට්‌ටිගේ කීවේය.

මේ අතරතුර ගාමිණී ලොකුගේ හා මහින්ද යාපා අබේවර්ධන එතැනට ආවේ පොලිස්‌ ස්‌ථානාධිපතිවරු මාරු කිරීම පිළිබඳව ලොකු ප්‍රශ්නයක්‌ ඇදගෙනය. ඒත් සමගම එතැන තිබූ කතාබහ වෙනත් පැත්තට හැරී ගියේය.

ආණ්‌ඩුවෙන් යන අය ගැන
රවී කරුණානායකගෙන් ඉඟියක්‌

සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේදී රවී කරුණානායක මන්ත්‍රීවරයා තරහ ගස්‌සන්න ලේසියි. ඒ සඳහා කළ යුත්තේ ඔහුව කතාවට ඈ¹ගෙන ඔහු අකැමැති නමක්‌ හෝ මාතෘකාවක්‌ කතාවට අල්ලා ගැනීමය. 

මේ අයුරින් පසුගිය දිනක රවී කරුණානායකට කුමාරසිරි හෙට්‌ටිගේට මුහුණට මුහුණ හමුවූයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී පිවිසුම අසලදීය.

මේ පාර ඔයගොල්ලන්ට ලේසි වෙන්නේ නැහැ. ජනාධිපතිවරණය දිනන්නේ අපි. හෙට්‌ටිගේටත් කලින් මෙවර කතාව පටන් ගත්තේ රවී කරුණානායකය. එහෙත් ඔහුට උත්තර දෙන්න බැරි ප්‍රශ්නයකින් හෙට්‌ටිගේ පිළිතුර ආරම්භ කළේය. 

හරි ඉතින් දිනනවා කියමුකෝ. ඉතින් කියන්න බලන්න කවුද ඔය දිනන අපේක්‍ෂකයා කියලා.

ඒවා අපි දාන්නේ හරි වෙලාවට. නියම වෙලාවට අපේක්‍ෂකයා එළියට ඒවි..... හදිස්‌සිය මොකක්‌ද.....

හදිස්‌සියක්‌ නෑ. හැබැයි මම එක දෙයකට ඔබලාට ගරු කරනවා. ඒ මොකද 28 වරක්‌ පැරදිලත් සටන අත්නොහැරපු එකට. වෙන අය නම් එකවරක්‌ දෙවරක්‌ පැරදුණාම සටන අත හරිනවා. නමුත් ඔබලා ඔන්න සාර්ථක 29 වැනි වතාවටත් පරදින්නයි යන්නේ.....

හරි...... ඔයාල හිතාගෙන ඉන්නේ එහෙමනේ. බලාගෙන ඉන්නකෝ පරදියිද කියල. ආණ්‌ඩුවෙන් කට්‌ටියක්‌ අපේ පැත්තට කඩාගෙන ආපුදාට තේරේවි.

හරි හරි.... අපේ පක්‍ෂය ඇතුලේ ඔය පුංචි පුංචි මත ගැටුම් තියෙනවා තමයි. ඒවා අපි ඇතුළේ කතා කරල විස¹ගන්නවා මිස ඔයාලා ළඟට ගේන්නේ නෑ..... ඒ වුණාට එකක්‌ මතක තියාගන්න. 30 අවුරුද්දක්‌ තිස්‌සේ මේ රටේ තිබුණ භයානක යුද්ධයක්‌ පරද්දලා රට නිදහස්‌ කරගත්ත නායකයාට විරුද්ධව මේ රටේ ජනතාව ඡන්දය දෙයි කියල හිතනවා නම් ඒක මුලාවක්‌. ඒක මතක තියාගන්න.

පොදු අපේක්‍ෂක ඔබදැයි
රනිල් කරුගෙන් විමසයි

පසුගිය සති දෙක තුළ ලංකාවේ අපේ දේශපාලන කතිකාවේ තිබූ ලොකුම ප්‍රශ්නය වූයේ විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා සොයා ගැනීමයි. නිසැකවම එය සොයා ගැනීමක්‌ නොව පොදු අපේක්‍ෂකයා පිළිබඳ සම්මුතියකට පැමිණීමය. එහෙත් විපක්‍ෂයේ දේශපාලනඥයන්ට ජනාධිපතිවරණය ජය ගන්නවාටත් වඩා කරගන්න අමාරුම කටයුත්ත වී තිබුණේද පොදු අපේක්‍ෂකයා තෝරා බේරා ගැනීමයි.

මේ අතරතුර පසුගිය සතියේ එක්‌සත් ජාතික පක්‍ෂ ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටු රැස්‌වීමේදී හරි අපූරු දෙයක්‌ ද සිදුවිය. මෙම මෙහෙයුම් කමිටුව නම් කර තිබුණේ "ජී ටුවෙන්ටි" කියාය. ඊට අදාළ නායකයෝ පක්‍ෂ නායක රනිල් සමග විශේෂ සාකච්ඡාවක සිටියදී රනිල්ගේ දුරකථනයට විශේෂ දුරකථන පණිවුඩයක්‌ පැමිණියේ ය. ඉන් කියුවුණ ප්‍රවෘත්තියෙන් රනිල් අන්ද මන්ද විය.

මේ මොකක්‌ද කියන්නේ කරු... ඔයාව පොදු අපේක්‍ෂක කියල නම් කරල එක්‌සත් භික්‍ෂු සංවිධානයෙන් හෙට ප්‍රෙස්‌ කම්µරන්ස්‌ එකක්‌ පවත්වන්න යනවයි කියන්නේ... මොකක්‌ද එකේ තේරුම....

කරු ඉන් මවිතයට පත් විය... නෑ නෑ නැහැ. මම නම් ඔය මුකුත් දන්නේ නැහැ. එක එක්‌කෙනා කියන දේවල්... කරු උත්තර දුන්නේය.

නෑ.. මෙන්න මෙහෙමයි පොදු අපේක්‍ෂකයෙන් හැටියට ඔයා ඉදිරිපත් වෙලා මේ සටන ජයග්‍රහණය කරන්න කැමැති නම් පක්‍ෂය එකඟනම් මගේ කිසි ප්‍රශ්නයක්‌ නෑ.... ඔයා ඉදිරිපත් වෙන්න... මම ඒක කලිනුත් කියලයි තියෙන්නේ.. රනිල් කීවේය....

මගේ මුකුත් වැඩ පිළිවෙළක්‌ නෑ කරු කීවේය.

හෙට ඔය හාමුදුරුවරු එකතුවෙලා එක එක ඒවා කියන එක හරි නෑ. මොකද හෙට හවස තියෙනවා "පිවිතුරු හෙටක්‌" සංවිධානයේ රැස්‌වීම. ඒකට අප මුහුණ දෙන්න ඕන හොඳට. එහෙම තියෙද්දී උදේ ප්‍රේස්‌ කම්µරන්ස්‌ තියල හාමුදුරුවරු ඔය බහු බූත කිව්වොත් හරි නෑනේ... පොදු අපේක්‍ෂක කතාව අපි එකඟතාවකට ආවත් ඡන්දය ප්‍රකාශ කරාට පස්‌සේ පක්‍ෂය විදියට යන්න තීන්දුව ඉදිරිපත් කරමු. එතකන්a අපි කලබල නැතුව ඉමු.. රනිල් කියද්දී හැමෝම ඒ අදහස පිළිගනිමින් අනුමත කළහ.

ඒ වන විට කරුට මුහුණ දෙන්නට සිදුවී තිබෙන ගැටලුව වුණේ පක්‍ෂයේ විවිධ ජාතික මුහුණුවරක්‌ සහිත කණ්‌ඩායම් කරුගේ අනුදැනුමකින් තොරවම ඔහුගේ නම ප්‍රසිද්ධ කිරීමය. නම යෝජනා කිරීමය. කරුගේ "ජාතික හැඩය" හා ප්‍රතිපත්තිය නිසා මහින්දට මුහුණ දීමට පක්‍ෂයෙන් කරු වැන්නෙක්‌ ඉදිරිපත් කළහොත් වඩාත් ප්‍රතිඵල දායක බව ඔවුන්ගේ අදහස වූහ.

යම් යම් අවස්‌ථාවලදී ඒ අදහස පක්‍ෂයේ කුඩා කණ්‌ඩායම් තුළින් මතු වුණත් කරු ඒ ගැන නිතර කිව්වේ පක්‍ෂයේ මතයට තමා ගරු කරන බවය.

කෙසේ වෙතත් පසුගිය සතියේත් කරුට විවේකයක්‌ ම නොවීය. ආගමික උත්සව සාමාජික උත්සව මාධ්‍ය සාකච්ඡා සම්මන්ත්‍රණ පක්‍ෂයේ අභ්‍යන්තර රහසිගත සාකච්ඡා කෙළවරක්‌ නොවීය. ඇක්‌වයිනාස්‌ ආයතනයේ උපාධි ප්‍රදානෝත්සවය, ඔසී අබේගුණසේකරගේ 20 වැනි ගුණ සමරුව, ගාමිණී දිසානායක මහතාගේ ගුණ සමරුව වෙනුවෙන් පැවැති දානමය පිංකම "සාධාරණ සමාජයක්‌" සංවිධානය කළ මාධ්‍ය සාකච්ඡාව "පිවිතුරු හෙටක්‌" පැවැත් වූ මුත්තයියා උද්‍යානයේ රැස්‌වීම ආදී අවස්‌ථා හා රැස්‌වීම් සිය ගණනක්‌ පසුගිය සතියේ ඔහුට සහභාගි වන්නට යෙදී තිබුq බව පැහැදිලිය.

මෛත්‍රීපාලත් ඔන්න
පොදු අපේක්‍ෂකයෙක්‌ලු

පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී එක්‌සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරු පිරිසක්‌ අතරට අහම්බෙන් මෙන් මෛත්‍රීපාල සිරිසේන පැමිණියේය. බදාදා උදේ එජාප මන්ත්‍රී කණ්‌ඩායම් රැස්‌වීම නිමවී ගයන්ත කරුණාතිලක, පාලිත රංගේ බණ්‌ඩාර, අශෝක අබේසිංහ, පාලිත තෙවරප්පෙරුම එළියට ආවේ එකටය. මෛත්‍රීපාල සිරිසේන ඔවුන්ගේ මුහුණට මුහුණ පැමිණියේය.

ආ... මේ ඉන්නේ අපේ ආණ්‌ඩුවේ පොදු අපේක්‍ෂකයා....

මෛත්‍රීපාල සිරිසේන ඉන් සලිත වූයේ නැත. කේන්ති ගත්තේ ද නැත. හයියෙන් සිනාසුණ ඔහු මන්ත්‍රීවරු ළඟ නතර වුණේය.

කොච්චර දෙයක්‌ ද ඔබතුමාලා මාව එහෙම හඳුන්වන එක. පොදු අපේක්‍ෂකයා කියල කියන එකත් ලොකු දෙයක්‌ නේ.

ඔන්න එහෙමනම් ඔටුට්‌යි නේ. අපි බලාගෙන ඉන්නවා. එහෙම වෙනව නේ... නේද... යි අසමින් මන්ත්‍රීවරු විහිළු කරද්දී මෛත්‍රී කාගේත් පිටට තට්‌ටු කර මන්ත්‍රීවරුන්ට කීවේ ඒ කතාව අසන්න ලැබීමත් සතුටට කාරණයක්‌ කියාය....

විපක්‍ෂයට අපේක්‍ෂකයෙක්‌ නැත්නම්
ජනපති කෙනෙක්‌ දෙන්නම්ලු

බ්‍රහස්‌පතින්දා හවස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සිටියේ මහනුවරය. ඒ සිටින ගමන් ඔහු පොල්ගොල්ලේ ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ ස්‌ථාපිත කළ මහින්ද රාජපක්‍ෂ රඟහල විවෘත කරන්නට ගියේය.

ජනාධිපතිවරයා එහි ගියේ අමාත්‍ය ජොන්ස්‌ටන් ප්‍රනාන්දු හා නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකරගේ ආරාධනයෙනි. අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න, මහින්දානන්ද අලුත්ගමගේ, කෙහෙළිය, ලොහාන්, සරත් ඒකනායක ඇතුළු දේශපාලනඥයෝ පිරිසක්‌ ද පැමිණ සිටියහ.

ඒ යන අතරතුර ජොන්ස්‌ටන් ජනාධිපතිවරයාට මේ ආයතනය ගැන ලොකු පැහැදිලි කිරීමක්‌ කළේය. මෙය 2002 කාලයේ ඉදිකර පසුකාලීනව ජරාවාස වී වල්බිහිව තිබී තම අමාත්‍යාංශය යටතේ යළි ගොඩනඟා නවීකරණය කළ අයුරු ඔහු පැහැදිලි කළේය. 

ඔක්‌කොම හරි.... ඇයි මේකට මගේ නම දැම්මේ... ඒ නම අපි යෝජනා කළ එකක්‌ නොවෙයි. සමුපකාර සමිතිය විසින් තමයි මේ නම ඒකමතිකව යෝජනා කරල තිබෙන්නේ.

මේ අයුරින් පැමිණ ශාලාව විවෘත කර උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා කතාවක්‌ ද කළේය. ඔහු විධායක ජනාධිපති ක්‍රමය ගැන විශේෂ අදහස්‌ කීපයක්‌ ප්‍රකාශ කළේ ද මෙහිදීය.

දැන් මේ කට්‌ටිය ඇවිත් මට කියනවා විධායක ජනාධිපති ක්‍රමය වෙනස්‌ කරන්නලු. සමහරු අහෝසි කරව් කියනවා. සමහරු ඉවත් කරන්න කියනවා. තවත් සමහරු ඉවත් කළොත් නේද හොඳ කියලත් කියනවා.

මෙහෙම යෝජනා කරපු අයට මම පසුගිය කාලේ කතා කළා එන්න ඇවිත් ඔයාලගේ යෝජනා දීල මේ ව්‍යවස්‌ථාව වෙනස්‌ කරගන්න කියලා. කාරක සභාවකුත් පත්කළා. ඔය කෑගහන එක්‌කෙනෙක්‌වත් ආවේ නෑ. මම විපක්‍ෂ නායකතුමාට කව්වා. ටී. එන්. ඒ. එක එන්නේ නැහැනේ. ඒක නිසා අපි ඇවිත් වැඩක්‌ නෑ කිව්වා. මම කිව්වා ඔයාලා වැඩ කරන්නේ ටී එන් ඒ එක කියන විදියට නොවෙයි නේ. එයාලට ඕන නම් එයාලටත් එන්න කියන්න කියලා. ඒත් ඇහුවේ නැහැ. ඒ වුණාට අද දොස්‌ කියනවා. දැන් බොරුවට සටන් පාඨ ඕන නිසා කෑගහනවා. ඒ වුණාට අද විපක්‍ෂය ඉන්නේ බොහොම දුර්වල මට්‌ටමක. අපේක්‍ෂකයෙක්‌ හැටියට ඉදිරිපත් කරගන්නවත් කෙනෙක්‌ නැතුව කෙනෙක්‌ හොයනවා.... මම කිව්වා හොඳ කෙනෙක්‌ නැත්නම් අපේ පැත්තෙන් හරි කෙනෙක්‌ ඔය පැත්තට එවන්නම් කියලා.

ඔව් ජනාධිපතිතුමා. එයාල තවම පොදු අපේක්‍ෂකයෝ හොයනවා. අපේ පොදුජන ජනාධිපතිතුමා අද ජනතාව අතරට ගිහින් සේවය කරනවා.... ජොන්ස්‌ටන් කීවේය.

මෙහිදී ජනාධිපති මහින්ද ජොන්ස්‌ටන්ට ස්‌තුතියක්‌ ද කළේය. 1977 න් පසුව සමුපකාරය විනාශ වී ගිය බව කී ජනාධිපතිවරයා මේ මෑතක ජොන්ස්‌ටන් පැමිණි පසු යළි එය ගොඩගත් හැටි පෙන්වා දුන්නේය.

මේ සියලු කතා බතාවලට පසුව සංස්‌කෘතිකාංග කීපයක්‌ තිබිණි. ජනාධිපති එය නොබලා යන්නට හදද්දී ජොන්ස්‌ටන් තව ටිකක්‌ ඉන්න කියා නතර කරවා ගත්තේය.

ඔය අතර රූකාන්ත ගුණතිලක ගීතයක්‌ කියන්නට පටන් ගත්තේය. ගීතය කියා ඔහු වචන කීපයක්‌ කතා කළේය.

"කවුරු මොනවා කිව්වත් මේ රටේ මහින්ද රාජපක්‍ෂ මැතිතුමා එදත් ජනාධිපති. අදත් ජනාධිපති. හෙටත් ජනාධිපති. කොච්චර මඩ ගැහුවත් කොච්චර කතා කිව්වත් විවේචන තිබුණත් මේ රටේ ජනතාව එතුමාට ගෙදර යන්න දෙන්නේ නෑ. රට බේරාගත් අපේ පොදුජන ජනාධිපතිතුමා වෙනුවෙන් මම මේ ගීතය ගායනා කරනවා... කියමින් රූකාන්ත සිය ප්‍රාසාංගික රංගනයෙන් මුළු සභාවම මුසපත් කළේය.

සංගීත සංදර්ශනය මෙසේ ඇදී යද්දී ජනාධිපතිවරයා ඇතුළු පිරිස ගියේ තේපැන් සංග්‍රහයටය. සුහදව කතාබහ කරමින් තේ බිව් ජනාධිපති යන්නට ගියේය. ජොන්ස්‌ටන් හේමාල් ඇතුළු පිරිස තවදුරටත් සමුපකාර සේවකයෝ සමඟ රැඳී සිටියහ.

බුලිත ප්‍රදීප් කුමාර

Tuesday, April 12, 2016

යුද සිරකරුවෙකුගේ කතාව


විශේෂඥ මනෝ වෛද්‍ය  නීල් ප්‍රනාන්දු මහතා විසින් මනෝ ප්‍රතිකාර සඳහා මා වෙත යොමු කරන ලද සෙබලා හිටපු යුද සිරකරුවෙකි. ඔහු 1993 දී එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් වැලිඔය කඳවුරට පහර දීමේදී අල්ලා ගන්න ලද ශ්‍රී ලංකා යුද හමුදාවේ සංඥා බලකායට අයත් සෙබලෙකි. ඔහුව එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් පුරා වසර පහක් සිරගත කොට තබාගන්නා ලදි. එම කාලය පුරා ඔහු විඳි ගැහැට අප්‍රමාණය​.   ඔහු අත් අඩංගුවට පත් වන්නේ යුද ගැටුමකදීය​. ඔහුගේ ඇස් ඉදිරිපිටම කොටින් ඔහුගේ ඉහල නිලධාරියෙකු වූ ලුතිනන්වරයෙකුට උදැල්ලෙන් ගසා ඔහුගේ දෙනෙත් ගලවා මරා දමන ලදි. ඉන්පසු ඇස් බැඳ තුවක්කු මිට වලින් පහර දෙමින් ඔහුව ගෙන යන ලදි. 

මුලින්ම ඔහුව මාස අටක් පමණ කරුවළ සිරමැදිරියක හුදකලා කොට  තැබුවේය​. මෙමගින් සිරකරුවාගේ ජීව විද්‍යාත්මක ඔරලෝසුව කඩනු ලබයි. ඉන්පසු ඔහුට දිවා රාත්‍රී පිළිබඳ සංවේදනය ක්‍රමක් ක්‍රමයෙන්  ක්‍ෂය වේ. මාස අටම ඔහුව ඉතා පීඩාකාරී ඉරියව් වලින් මාංචු දමා තබන ලදි. ඉන්පසු ඔහුව යොමු කරන්නේ ප්‍රශ්න කිරීම් වලටයි.   

මෙම සෙබලා අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ එල්.ටී.ටී.ඊ කේඩරයන්ට අතපසුවීමක් සිදු විය​. මෙම සෙබලා සිටියේ සිවිල් ඇඳුමින් නිසා ඔවුන් සිතන ලද්දේ මොහු  සංඥා බලකායේ උසස් නිලධාරියෙකු කියාය​. එම නිසා මෙම පුද්ගලයා වධයට ලක් කරමින් හමුදාව විසින් සන්නිවේදනයේදී භාවිතා කරන කේත  පිළිබඳ විස්තර මොහුගෙන් අසන ලදි. තමන් සාමාන්‍ය සෙබලෙකු බව පුන පුනා කීවද ටොසී ඔත්තු සේවයේ කාඩරයන් එය විශ්වාස නොකරන ලදි. ඔහුට තව  තව වද දෙමින් ඔවුන් ප්‍රශ්න කලහ​. 

මෙම සෙබලාගේ විස්තර ප්‍රකාශය අනුව  ඔහුගේ ලිංගේන්ද්‍රියට කරන්ට් අල්ලන ලදි . මේ වධ බන්ධනය නිසා ඔහු කිහිප විටක්ම සිහිසන් විය​. එසේම දිනපතා ඔහුට පහර දෙනු ලැබීය​. කිහිප විටක්ම වෙඩි තබා මරා දැමීම සඳහා ගෙන යමින් ඔහු තුල මරණ බිය ඇතිකරවන ලදි. වරක් ඔහු ඉදිරියේ ඊ පී ආර් එල් එෆ් සංවිධානයේ සාමාජිකයෙකු රත්වූ යකඩ වලින්ම මැරෙන තුරු පුළුස්සන ලදි.  එසේම තවත් දෙමල සිරකරුවෙක්ව ඔහුගේ දෑස් ඉදිරිපිට මරා දමන ලදි. 

මෙලෙස බොහෝ කාලයක් ඔහු යුද සිරකරුවෙකු ලෙස දුක් වින්දේය​. අවසානයේදී රතු කුරුස සංවිධානයේ මැදිහත් වීම නිසා ඔහු සාමාන්‍ය සෙබලෙකු බව සනාත විය​. ඉන් පසු තියුණු වධයන් වලට ලක් නොකෙරුනද අවිනිශ්චිත තත්වය​, නිදහස පිලිබඳව කිසි බලාපොරොත්තුවක් නොලැබීම නිසා ඔහු කාංසාවට ලක් විය​. අවසානයේදී වසර පහකට පසුව 1998 දී රතු කුරුස සංවිධානයේ  බලවත් ඉල්ලීම මත මෙම සෙබලාව නිදහස් කරන ලදි. 

නිදහස් වීමෙන් පසු ඔහු තම ඒකකයට ගියේය​. සති දෙකක නිවාඩුවක් ඔහුට දෙන ලදි. කොටි අත් අඩංගුවෙන් නිදහස් වූවද ඔහුගේ සිත බියෙන් පෙලුනි. යළිත් තමන්ව එල්.ටී.ටී.ඊ  සංවිධානය විසින් අල්ලාගනු ඇතැයි අනවතර බියක් ඔහුට ඇති විය​. මේ අතර මීලඟ හමුදා කිර්‍යාන්විතයට යාමට සූදානම් වන ලෙස ඔහුට දන්වන ලදි. තමාගේ අසනීප තත්වය ගැන කීවද ඔහුට සහනයක් නොලැබුනි. එක් උසස් නිලධාරියෙක් ඔහු වියාජ ලෙස රෝගයක් පෙන්වන බව කියා පරුෂ වචනයෙන් බැන ඔහුව දැන් පලාලි වලට යවන බව කියා තර්ජනය කලේය​. 

මේ බලවත් පීඩනය නිසා ඔහුගේ හිස තුල කම්පනය  අධික විය​. හෙතෙම විසංඥව ඇද වැටුනි. සිහිය එන විට ඔහු මනෝ මූල කටහඞ නැතිවීමකට (psychogenic aphonia)  ලක්ව සිටියේය​. ඔහුගේ කථනය අතුරුදහන් විය​. මෙලෙස 1998 සිට 2000 වසර දක්වා ඔහුව  විවිධ පීඩනයන්ට ලක් කෙරුණි. 

2000 වසරේදී යුද හමුදා රෝහලට යොමු කරන ලද මෙම   සෙබලා පශ්චාත් වියසන ක්ලම්ථ අක්‍රමතාවයෙන් (PTSD) පෙලෙන බවට රෝග නිර්ණය කරන ලදි. ඒ වන විට සිහිනෙන් බියවීම , තිගැස්ම , යුද සිරකරුවෙකු ලෙස ගත කල අත්දැකීම්   නිතර ආවර්ජනය වීම , තදබල විශාදිය​, කට හඞ රහිත බව​, ජීවිතාශාවෙන් තොර වීම වැනි ලක්‍ෂණ ඔහු තුලින් දක්නට ලැබුනේය​.විශේෂඥ මනෝ වෛද්‍ය  නීල් ප්‍රනාන්දු මහතාත් මමත් නොකඩවා මෙම රෝගියාට ප්‍රතිකාර කලෙමු. 

මෙම සෙබලා එල්.ටී.ටී.ඊ  සංවිධානය යටතේ යුද සිරකරුවෙකුව සිටි කාලයේ ඔහුට හිමි වැටුප් සහ දීමනා තවමත් ලැබී තිබුනේ නැත​. මා විසින් කරන ලද ඉල්ලීමක් නිසා මේ පිලිබඳව සොයා බැලූ මානුෂික ගුණාංගයන් ගෙන් සපිරි නිලධාරියෙකු වූ බ්‍රිගේඩියර් සිරි රණවීර මහතා (මෙතුමා පසුව ජෙනරාල්වරයෙකු වී විශ්‍රාම ගියේය​) මෙම සෙබලාට හිමි විය යුතු ලක්‍ෂ හතරකට ආසන්න මුදලක් ගෙවනු ලැබීය​. එසේම තවත් යහපත් නිලධාරියෙකු වූ සංඥා බළකායේ බ්‍රිගේඩියර් රොහාන් කඩුවෙල මහතා (මෙතුමාද පසුව ජෙනරාල්වරයෙකු වී විශ්‍රාම ගියේය​)  මෙම සෙබලාට සහන සැලසීමට අපට උපකාර වූයේය​. 

පශ්චාත් වියසන ක්ලම්ථ අක්‍රමතාව නිසා උක්ත සෙබලාගේ කායික මානසික සෞඛ්‍ය පිරිහී තිබුනි. ඔහු යුද ආබාධිතයෙකු  ලෙස සලකා යුද හමුදාවෙන් වැටුප් සහිතව ඉවත් කල යුතු බවට විශේෂඥ මනෝ වෛද්‍ය  නීල් ප්‍රනාන්දු මහතාත් මමත් යුද හමුදා රෝහලේ එවකට සිටි අණදෙන නිලධාරියාගෙන් ඉල්ලා සිටියෙමු. එහෙත් මානසික සෞඛ්‍ය හේතූන් මත මීට ඉහතදී කිසිම සෙබලෙකු යුද ආබාධිතයෙකු  ලෙස සලකා යුද හමුදාවෙන් වැටුප් සහිතව ඉවත් නොකර තිබෙන බව පෙන්වා ඔහු තර්ක කලේය​. ඔහුට අනුව ආබාධිත විය හැක්කේ ශරීරය පමණි. මනස ආබාධිත නොවේ. නමුත් අප අපගේ ඉල්ලීම ඉහලටද යොමු කලෙමු.  හමුදාවේ සෙබලුන් ගේ දුක තේරුම්ගත නොහැකි වූ ඔහු  දිගින් දිගටම ඊට එරෙහි විය. නමුත් අපද සටන් කලෙමු. 

අප සටන් කලේ කිසිම ලාභ ප්‍රයෝජනයක් නොබලා  කිසිම සිවිල් බලයක් නොමැති ඊලාම් යුද්දය නිසා ආබාධිතවූ  දුප්පත් සෙබලෙක් වෙනුවෙනි. අවසානයේදී 2005 වසරේදී මෙම සෙබලාට වැටුප් සහ දීමනා සහිතව හමුදාවෙන් ඉවත් වීමට ඉඩ දීමට ඉඩ ලැබුණි. එය ඊලාම් යුද්දය බලපෑමෙන්  පශ්චාත් වියසන ක්ලමථ අක්‍රමතාවයෙන් (PTSD) මානසිකව ආබාධිත වීම නිසා ඉවත් කල ප්‍රථම සෙබලා විය​.  එය ලංකාවේ මානසික සෞඛ්‍ය සේවයේ සන්ධිස්ථානයකි.     

මෙම ජයග්‍රහනයෙන් පසු අපට විඳින්නට වූ ගැහැට විශාලය​. අණ දෙන නිලධාරියා මාව හමුදා රෝහලේ ශ්‍ල්‍යාගාරයට මාරු කිරීමට තැත් කලේය​. එයට විශේෂඥ මනෝ වෛද්‍ය  නීල් ප්‍රනාන්දු මහතා තදබල ලෙස විරුද්ධ විය​. එසේම මාව සතියට දින දෙකක් රාත්‍රී සේවයට දැම්මේය​. 2002 සිට 2006 දක්වා මම කිසිම අතිකාල දීමනාවක් නොගෙන යුද හමුදා රෝහලේ සේවය කලෙමි. 

සතියට දින දෙකක් රාත්‍රී සේවය කලද මම අතිකාල දීමනා නොගත්තෙමි. තවද ඒ වන විට ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් මට මනෝ විද්‍යාව සම්බන්ධයෙන් MSc උපාධියකට ඇරයුම් ලැබී තිබුණි. හෙතෙම යටින් එය කඩාකප්පල් කලේය​. මම අධ්‍යන කටයුතු වල​ට ඇමරිකාවට යන විට මගේ වැඩ බැලීමට වෛද්‍යවරයෙක් අවශ්‍ය බවට බල කොට ඇමරිකා ගමනද බකල් කිරීමට උත්සහ ගත්තේය​.  අවසානයේදී මගේ පිහිටට ආවේ කර්නල් වෛද්‍ය ටී. ඒ දයාරත්න මහතාය​. එතුමා " පුතා උඹ ඇමරිකාවේ ගිහින් ඉගනගෙන වරෙන් මම වාට්ටුව බලාගන්නම් " කියා මාව දිරිමත් කලේය.

​කෙසේ නමුත්  විශේෂඥ මනෝ වෛද්‍ය  නීල් ප්‍රනාන්දු මහතාත් මමත් කොලඹ යුද හමුදාවේ 2002 වසරේ සිට අරඹා තිබූ යුද ආතති ප්‍රතිකාර මධ්‍යස්ථානය වසා දැමීමට මෙම නිලධාරියා උත්සුක වූයේය​. වරක් ජෙනරාල් වෛද්‍ය තිලක් ජයවීර මට කැඳවීමක් කලේය . අණ දෙන නිලධාරියා ඔබට අනවතරයේ කරන හිරිහැර මම දනිමි කියා ඔහු කීය​.  මම කිසිවක් නොකීවෙමි. 

යුද ආතති ප්‍රතිකාර මධ්‍යස්ථානය වසා දැමීමට උක්ත නිලධාරියාට ස්වර්ණමය අවස්ථාවක් උදා විය​. ඒ හමුදාපති සරත් ෆොන්සේකාට හමුදා මූලස්ථානයේ එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයත් සමග හමුදා රෝහල නාරාහේන්පිටට ගෙන යනු ලැබීය​. ඒ සමගම ඒ පිට දමා යුද ආතති ප්‍රතිකාර මධ්‍යස්ථානය වසා දැමින​. යුද ආතති ප්‍රතිකාර මධ්‍යස්ථානය නාරාහේන්පිට ස්ථාපිත කිරීම වැලැක්වීම සඳහා ඔහු සියළු දේ කලේය​. එසේම වෛද්‍ය නීල් ප්‍රනාන්දු විසින් කල සේවයට කිසිදු ස්තූති කිරීමක්වත්  නොකොට ඔහුට යන්නට දුන්නේය​. 

මෙම පුද්ගලයා සමග සීමාවාසික පුහුණුවේ නිරතවූ වෛද්‍යවරයෙකු පැවසූ පරිදි ඔහු එන්නේ ඉතාම ආර්ථික වශයෙන් දුෂ්කර පවුලකිනි. එසේම කුල පීඩනය නිසාම ඔහු තම ගමෙන් ද කොන් වූ අයෙකි . මේ හේතු නිසා හමුදාවට බැඳී තමට කිසිදා නොතිබූ ගරුත්වය සොයාගෙන යයි. අහේතුවකට මෙන් මෙවැනි සමාජ දුෂ්කරතා වලට මුහුණ දුන් පුද්ගලයෝ බොහෝ විට සමාජ සාධාරණතාව වෙනුවට පෙනී සිටින්නේ තමන් ගේ උදර පෝෂණය වෙනුවෙනි.  එසේම තමා අයත් වූ පන්තියේ මිනිසුන් කෙරෙහි පසුකාලීනව (පන්තිය මාරු කිරීමෙන් පසුව​) කිසිම සංවේදිතාවක් නොදක්වති. මොවුන් නරුම මිනිසුන් ලෙස මම දකිමි. මේ හේතුව නිසාදෝ අතීතයේ සුද්දා නිලධාරීන් ලෙස හමුදාවට බඳවා ගත්තේ තම ප්ලැටූනයට මසක් පුරා තම වියදමින් කෑම දීමට හැකියාවක් තිබෙන ප්‍රදේශයේ වැදගත්කමක් දැරුවා වූ පුද්ගලයන්‍ය​. වැඩවසම් චින්තනයක් ලෙස මෙය නිර්වචනය කල හැකි වූවද පසු කාලීනව හමුදාවේ ලී පවා හොරකම් කල නිලධාරීන් දකින විට සුද්දා නිවැරදි බව සිතේ. 

යුද ආතති ප්‍රතිකාර මධ්‍යස්ථානය වසා දැමීම නිසා මේ වන තෙක් දළ වශයෙන් සොල්දාදුවන් 400 කට ආසන්න සංඛ්‍යාවක් දිවි නසාගෙන තිබේ. එසේම  යුද කම්පනය නිසා නිරවුල් මනසකින් තොරව අපරාධ  කිරීම නිසා පෝරකය දෙස බලා සිටින සොල්දාදුවන් ද මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය  වැසුනු නිසා ප්‍රතිකාර අහිමි වූ පිරිසක් වෙති. ඔවුන් ද යුද්දයේ වින්දිතයන් ය. මේ සමාජ වියසන ගැන මෙම නිලධාරියා නිහඞය​. මෙම කරුණු ඕනෑම උසාවියක වාද කිරීමට මම  බිය නොවෙමි.  

අවසානයේදී  දුප්පත් සෙබලෙකුට පිහිට වීම නිසා අපට අහිමි වූ දේ බොහෝ වෙතත් මම එම ක්‍රියාව ගැන පසු නොතැවෙමි. යුද්ධය නිසා මානසික වශයෙන් ආබාධිත වූ විශාල දුක් කන්දරාවක් විඳි ශ්‍රී ලංකා යුද හමුදාවේ සංඥා බලකායට අයත් පුෂ්පකුමාර නම් මෙම සෙබලා දැන් අවම වශයෙන් කාටත් අත නොපා ජීවත් වේ. එය විශේෂඥ මනෝ වෛද්‍ය  නීල් ප්‍රනාන්දු මහතා සහ මා විසින් කල සද් ක්‍රියාවකි. එසේම එය මට විශාල සතුටක් ගෙන දෙයි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Monday, April 11, 2016

එම් ඕ එච් හෙවත් සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී




එම් ඕ එච් හෙවත් සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී ජනතාවගේ සෞඛ්‍යය රැක්ම සඳහා වැදගත් රාජකාරියක් කරයි. එසේම එය  අභියෝගාත්මක  රාජකාරියකි. මිනිපේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී ලෙස සේවය කල කාලයේදී මම විවිධ අත්දැකීම් ලැබුවෙමි. 

මිනිපේ දිස්ත්‍රික්කය විශාලය එහි බොහෝ ග්‍රාමසේවා වසම් තිබුනේය​. මේ සෑම ග්‍රාමසේවා වසමක්ම ආවරණය වන සේ පවුල් සෞඛ්‍යය සේවා නිලධාරිනියන් සේවය කලහ​. ඔවුන් ගර්භණී  මව්වරුන් ගේ සුවතාවය , ළමුන් ගේ ප්‍රතිශක්තිකරණ වැඩසටහන් , පාසල් ළමුන් ගේ සෞඛ්‍ය වැනි විශාල වපසරියක් තුල තම දායකත්වය ලබා දුන්හ​. 

මා යටතේ පවුල් සෞඛ්‍යය සේවා නිලධාරිනියන් මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්‍ෂකයන් , මැලේරියා මර්ධන ඒකකයේ නිලධාරීන් සිටි අතර අපගේ ප්‍රධාන කාර්‍යාලය පිහිටියේ හසලක නගරයේය​. ළමුන් ගේ ප්‍රතිශක්තිකරණ වැඩසටහන් වලදී මිනිපේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී ඒකකය විසින් විශාල වැඩකොටසක් කරන ලදි. ගලමුදුන උඩගල දෙබොක්ක වැනි වාහනයකින් යාමට පාරවල් පවා නොවූ අලින් ගෙන් ගහන වූ ප්‍රදේශ වලටද මේ සේවාවන් ලබා දෙන ලදි. 

වරක් වන ජීවී කාර්‍යාලයෙන් ආරක්‍ෂකයෙකු ලබාගෙන මම සෞඛ්‍යය සේවා නිලධාරිනියන් සහ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකයන් කිහිප දෙනෙකු සමගින් පයින්ම පුරා පැය තුන හතරක් දුෂ්කර මාර්ගයක ගමන් කොට ගලමුදුන ගම්මානයට ගොස් එහි සිටි ගම්වාසීන්ට සෞඛ්‍ය සායනක් කලෙමි.  දුප්පත් ගැමියන් අපට කොස් සමග බත් උයා දුන්හ​.තේ දුන්නේ ප්‍රණීත නැවුම් කිතුල් හකුරු සමගය.  අප ඔවුනට සැමන් ටින් සහ බිස්කට් ගෙන ගියෙමු.  සෞඛ්‍ය සායනය නිම කිරීමෙන් පසු අප සවස් වරුවේ නමෝ විත්තියෙන් පල්ලම් බැස්සේ අලියන් ගෙන් බේරීමටය​. වන ජීවී කාර්‍යාලයේ ආරක්‍ෂකයා ලඟ තුවක්කුවක් ද අලි වෙඩිද තිබුන නිසා සහනදායි හැඟීමක් පිරිසට දැනුන මුත් ඊට මාස කීපයකට එපිටදී අලියෙකු විසින් පහර දී ගම්වාසියෙකු මරු දැක තිබුනි. 

අප සමග කොලොන්ගොඩ ග්‍රාමයේ ගැමියන් කිහිප දෙනෙකුද ගමන් කල අතර හින්නි මුදලාලි නම් ගැමියා නොයෙකුත් විනෝද කතා කීමෙන් ,සීපද කීමෙන් අපගේ වෙහෙස දුරු කලේය​. මෙම දුෂ්කර ගමන දැන් අගනා සිහිවටනයකි.  මේ අත්දැකීම දිගාමඩුල්ල ගැන ලියූ මායා රන්ජන් ගේ අත්දැකීම් වලට සමාන වෙයි.  

වාර්ශිකව පෝලියෝ ප්‍රතිශක්තිකරණ වැඩසටහන් අප ඉතා ආශාවෙන් සහ උනන්දුවෙන් කලෙමු. ප්‍රජා වෛද්‍ය චාන්දනී ගල්වඩුගේ මිය අපට මනා සහයක් දුන්නාය​. එසේම මේ වැඩසටහන් සඳහා පවුල් සෞඛ්‍යය සේවා නිලධාරිනියන් විසින් ස්ව කැමැත්තෙන්ම කිසිම මැසිවිල්ලකින් තොරව කරන ලද වැඩ කොටස ගැන සිතන විට අද මා විමතියට පත් වෙමි. වාහන පහසුකම් , ශීතතකරණ පහසුකම් නොතිබූ නොදියුණු පසුගාමී දිස්ත්‍රික්කයක ඔවුන් සැතපුම් ගනන් පයින් ගොස් ළදරුවන්ට පෝලියෝ ප්‍රතිශක්තිකරණය ලබා දුන්හ​. 

පෝලියෝ වැක්සීනය නිරන්තරයෙන්ම අයිස් සමග ගැටෙමින් තිබිය යුතු අතර ශීතතකරණ නොමැති ප්‍රශ්නය අප නිරාකරනය කලේ ඉතා ගොරහැඩි නමුත් එලදායී ක්‍රමයක් මගිනි. අප උපත් පාලන කොපු වලට වතුර පුරවා ඒවා හසලක නගරයේ තිබූ ඉතා සීමිත ශීතතකරණ වල තබා අයිස් වන්නට හැරියෙමු. ඉන්පසු මේ   අයිස් කොපු කුඩා කන්ටේනර් වල බහා ඒ මධ්‍යයේ පෝලියෝ වැක්සීන වයල් තබා දිස්ත්‍රික්කය තුල අදාල ග්‍රාම සේවා වසම් වලට ප්‍රවාහනය කලෙමු.   

අපට තිබුනේ එකම එක ඩබල් කැබ් රථයකි. එහෙත් මා සමග මිතුරු කමින් සිටි  මිනිපේ  වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ  ඉංජීනේරුවරු වූ අබේරත්න සහ සිරිල් නානායක්කර යන මහතුන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කැබ් රථය  පෝලියෝ ප්‍රතිශක්තිකරණ දිනයේදී අපට දුන්නෝය​. එසේම  ජාතික ශිෂ්‍යභට බලකායේ රන්ටැඹේ කඳවුරේ මේජර්  සූරියකුමාර සහ කපිතාන් මිල්ලවාන ද අපට වාහන ලබා දීමෙන් මෙම වැඩසටහනට උපරිම සහයක් දුන්නෝය​. මේ හැර හසලක ප්ලෑන් ආයතනයද අපට උදව් කලහ​. 

විවිධ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සමග මා විසින් පවත්වාගෙන ගිය මිතුදම් නිසා එක දුරකථන පණිවිඩයක් මගින් බොහෝ දේ කර ගැනීමට හැකි විය​. පෝලියෝ ප්‍රතිශක්තිකරණ දිනවලදී මිනිපේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ රියැදුරු පුංචි  බණ්ඩා මහතා සහ අනෙකුත් නිලධාරී මහතුන් වූ මිල්ලගස්පතන , හේරත් (සමහරෙකුගේ නාමයන් මට අමතකය​) නොනිඳා සර්ව රාත්‍රිකව පෝලියෝ ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අවශ්‍ය දේවල් පිලියෙල කලෝය​. මේ සියලුමදෙනා සේවය කලේ වැටුපට නොව ආත්ම තෘප්තියටය​. 

මේ වැඩසටහන් වලදී විනෝද ජනක දේවල් ද සිදු වූ බව මතකය​. මමත් මිනිපේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ රියැදුරු පුංචි  බණ්ඩාත් අපගේ කැබ් රථයේ ලවුඩ්ස්පීකරයක් බැඳ පෝලියෝ ප්‍රතිශක්තිකරණ වැඩසටහන ගැන ගමින් ගමට යමින් ගැමියන් දැනුවත් කලෙමු. එක් පණ්ඩිත ගැමියෙකුද අපගේ වාහනයට නැග කවි බසින් ඒ මහා භයානක පේලියෝ රෝගය​ට  (ඔහු පෝලියෝ රෝගයට කිව්වේ පේලියෝ රෝගය කියාය​) ප්‍රතිශක්තිකරණ අහවල් දිනයේ අහවල් තැන තියෙන බව කියා අවසානයේ සාදුකාරයක් දුන්නේය​. 

තවද අපගේ පවුල් සෞඛ්‍යය සේවා නිලධාරිනී කෙල්ලකගේ ගේ අතපසුවීමකින් ප්‍රතිශක්තිකරණ වැඩසටහන අවසානයේදී කොන්ඩොම්වල බහාලූ අයිස්  දියවීමෙන් පසු ඉතිරි වූ කොපු ඇය කසල ගොඩකට විසි කරන ලදි. මෙම ප්‍රතිශක්තිකරණ වැඩසටහන මොරයාය ප්‍රදේශයේ පන්සලක තිබූ අතර පන්සලේ කසල ගොඩේ උපත් පාලන කොපු විසිරී තිබීම නිසා විහාරාධිපති  ස්වාමින් වහන්සේ අපගේ ඇඟට වැඩි සේක. මෙම අයිස් දමා තිබූ  ඉතිරි වූ උපත් පාලන කොපු  යළි හසලක සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයට ගෙනවිත් එහිදී බැහැර කරන ලෙස මා උපදෙස් දී තිබුනද මෙම මධ්‍යස්ථානයේ සිටි පවුල් සෞඛ්‍යය සේවා නිලධාරිනියන් දෙදෙනාට එය අමතක වීමෙන් මේ ගැටුම හට ගත්තේය​. අවසානයේදී අප විහාරාධිපතිගෙන් සමාව ඉල්ලා කසල ටික සිලි සිලි මළු වලට  පුරවාගෙන ගෙනැවිත් බැහැර කලෙමු. 

එම් ඕ එච් ලෙස සේවය කිරීමේදී වරක් මම හසලක නගරයේ අපිරිසිදු හෝටල් වැටලුවෙමි. එක් හෝටලයක කක්කුස්සිය අසලම ගැසූ නල ලිඳක් ද විය​. මේ අපිරිසිදු තත්වයන් සතියක් තුලදී වෙනස් කරන ලෙස මම ඔවුනට දැන්වූයෙමි. එසේම මේ හෝටල් වල අරක්කැමියන් ගේ නිය කැපීමටත් මාස හයක​ට වරක් ඔවුනට පණු බෙහෙත් ද ලබා දුන්නෙමු. 

සමහර වෛද්‍යවරු එම් ඕ එච් තනතුර   සායනක අත්දැකීම් වලින් තොර ඉතා කාන්සිජනක එකක් ලෙස සලකති. නමුත් ප්‍රජාව සමග සම්බන්ධ වෙමින් සෞඛ්‍යය වැඩසටහන් කරන අයුරු මා ඉගන ගත්තේ මිනිපේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී ලෙස සේවය කල සමයේදීය​. පසුකාලීනව පුත්තලම් දිස්ත්‍රික්කයේ මානසික සෞඛ්‍යය සම්බන්ධීකරණ නිලධාරී ලෙස සේවය කරන කාලයේදීද , කැනඩාවේ යෝක් විශ්ව විද්‍යාලයට අනුබද්ධිතව මහාචාර්‍ය ජිම් ඇල්කොක් යටතේ මානසික රෝගී තත්වයන් නිසා නිවාස  රහිත ( homeless )  ප්‍රජාව ගැන අධ්‍යනයේදීද මෙම මිනිපේ අත්දැකීම බොහෝ සෙයින් ප්‍රයෝජනවත් විය​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Sunday, April 10, 2016

කාලය මැවූ අරුමය​



මේ අතීතයේ උඩුකය නිරාවරණය කරගෙන යන ගැහැනියකි. මේ චායාරූපය දෙස බලන්න කිසිවෙකු ඊට අවධානය යොමු කරන්නේ නැත​. අද උඩුකය නිරාවරණය කරගෙන නොව තනපටක් දැක්කද මුළු මහත් රටක් ( ජනාධිපතිවරයාද සහිතව​) කලබල වේ. 

කාලය මැවූ අරුමය​. 


Friday, April 8, 2016

රසික සූරියඅාරච්චි ගේ සිව් වසරක් මරදානේ කෘතිය




රසිකසූරියඅාරච්චි ගේ සිව් වසරක් මරදානේ කෘතිය හැත්තෑව දශකයේ කොලඹ පාසලක හරස්කඩක් පෙන්වා දෙයි. ග්‍රාමීය පාසල් ද්‍රව්‍යමය වශයෙන් සහ ආකල්පමය වශයෙන් පසුගාමීවයේ සහ සංස්කෘතික ලැග්මේ වෙලී සිටින බවත් කොලඹ ප්‍රධාන පෙලේ පාසල් මේ ද්‍රව්‍යමය   සහ ආකල්පමය ලැග්මෙන් තොරව අභිවෘද්ධිය කරා යන බවට ඇති ජනප්‍රිය මතය ඔහු අභියෝගයට ලක් කරයි . මේ අනුව  කොලඹට කිරි අපට කැකිරි සංකල්පය සත්‍ය දැයි යලිත් වරක් සොයා බැලීමට සිව් වසරක් මරදානේ කෘතිය අපව පොලඹවයි. 

මේ කෘතියේදී පැයට එකසිය ගනනේ ඈනුම් යවන කම්මැලි හා ළමුන් ගේ අනාගතය නොතකා අයිස් ගසන ගුරුවරු , වැඩවසම් බව කර තබාගත් ගුරුවරු  අපට හමු වෙති. ඔවුන් මනංකල්පිත චරිත නොව මේ මහා විදුහලේ සිටි සැබෑ චරිතය​. ආර්ථික මෙන්ම සමාජයික බාධා ඔහුට හමුවේ. එවැනි බාධක හමුවේ වුවද උත්සහයෙන් ඉගෙනුම ලබා කථකයා විභාගය සමත් වෙයි.

මේ හැර එකල තවමත් අංකුර අවධියේ තිබූ ආගමික තලිබාන් මානසිකත්වය බුදු දහමටද අනුගත කිරීමට ගත් අඳබාලයන් ගැනද කතුවරයා හෙලි කරයි. සිව් වසරක් මරදානේ ගත කල කාලය තුලදී ඔහු සතලිස් වසරක අත්දැකීම් ලබා ගනී. 71 කැරැල්ල ,  1980 වැඩවර්ජනය , 83 කළු ජූලිය , ඊලාම් යුද්දය වැනි සමාජ ව්‍යසනයන් දුටුවන් ගේ පරම්පරාවට අයත්වන කතුවරයා  තමන් අත් දුටු යහපත් සහ අයහපත් අත්දැකීම්  එලදායී ලෙස ජීවිතයට මුහු කර ගැනීමට  සමත් වෙයි. 

රසිකසූරියඅාරච්චි ගේ සිව් වසරක් මරදානේ කෘතිය  අතීත ආවර්ජනයකි. එහි ප්‍රබල සමාජ  පණිවිඩයක් ගැබ් වී තිබේ.  


වෛද්‍ය රුවන් එම් ජයතුංග 




Find Us On Facebook