Tuesday, April 12, 2016

යුද සිරකරුවෙකුගේ කතාව


විශේෂඥ මනෝ වෛද්‍ය  නීල් ප්‍රනාන්දු මහතා විසින් මනෝ ප්‍රතිකාර සඳහා මා වෙත යොමු කරන ලද සෙබලා හිටපු යුද සිරකරුවෙකි. ඔහු 1993 දී එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් වැලිඔය කඳවුරට පහර දීමේදී අල්ලා ගන්න ලද ශ්‍රී ලංකා යුද හමුදාවේ සංඥා බලකායට අයත් සෙබලෙකි. ඔහුව එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් පුරා වසර පහක් සිරගත කොට තබාගන්නා ලදි. එම කාලය පුරා ඔහු විඳි ගැහැට අප්‍රමාණය​.   ඔහු අත් අඩංගුවට පත් වන්නේ යුද ගැටුමකදීය​. ඔහුගේ ඇස් ඉදිරිපිටම කොටින් ඔහුගේ ඉහල නිලධාරියෙකු වූ ලුතිනන්වරයෙකුට උදැල්ලෙන් ගසා ඔහුගේ දෙනෙත් ගලවා මරා දමන ලදි. ඉන්පසු ඇස් බැඳ තුවක්කු මිට වලින් පහර දෙමින් ඔහුව ගෙන යන ලදි. 

මුලින්ම ඔහුව මාස අටක් පමණ කරුවළ සිරමැදිරියක හුදකලා කොට  තැබුවේය​. මෙමගින් සිරකරුවාගේ ජීව විද්‍යාත්මක ඔරලෝසුව කඩනු ලබයි. ඉන්පසු ඔහුට දිවා රාත්‍රී පිළිබඳ සංවේදනය ක්‍රමක් ක්‍රමයෙන්  ක්‍ෂය වේ. මාස අටම ඔහුව ඉතා පීඩාකාරී ඉරියව් වලින් මාංචු දමා තබන ලදි. ඉන්පසු ඔහුව යොමු කරන්නේ ප්‍රශ්න කිරීම් වලටයි.   

මෙම සෙබලා අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ එල්.ටී.ටී.ඊ කේඩරයන්ට අතපසුවීමක් සිදු විය​. මෙම සෙබලා සිටියේ සිවිල් ඇඳුමින් නිසා ඔවුන් සිතන ලද්දේ මොහු  සංඥා බලකායේ උසස් නිලධාරියෙකු කියාය​. එම නිසා මෙම පුද්ගලයා වධයට ලක් කරමින් හමුදාව විසින් සන්නිවේදනයේදී භාවිතා කරන කේත  පිළිබඳ විස්තර මොහුගෙන් අසන ලදි. තමන් සාමාන්‍ය සෙබලෙකු බව පුන පුනා කීවද ටොසී ඔත්තු සේවයේ කාඩරයන් එය විශ්වාස නොකරන ලදි. ඔහුට තව  තව වද දෙමින් ඔවුන් ප්‍රශ්න කලහ​. 

මෙම සෙබලාගේ විස්තර ප්‍රකාශය අනුව  ඔහුගේ ලිංගේන්ද්‍රියට කරන්ට් අල්ලන ලදි . මේ වධ බන්ධනය නිසා ඔහු කිහිප විටක්ම සිහිසන් විය​. එසේම දිනපතා ඔහුට පහර දෙනු ලැබීය​. කිහිප විටක්ම වෙඩි තබා මරා දැමීම සඳහා ගෙන යමින් ඔහු තුල මරණ බිය ඇතිකරවන ලදි. වරක් ඔහු ඉදිරියේ ඊ පී ආර් එල් එෆ් සංවිධානයේ සාමාජිකයෙකු රත්වූ යකඩ වලින්ම මැරෙන තුරු පුළුස්සන ලදි.  එසේම තවත් දෙමල සිරකරුවෙක්ව ඔහුගේ දෑස් ඉදිරිපිට මරා දමන ලදි. 

මෙලෙස බොහෝ කාලයක් ඔහු යුද සිරකරුවෙකු ලෙස දුක් වින්දේය​. අවසානයේදී රතු කුරුස සංවිධානයේ මැදිහත් වීම නිසා ඔහු සාමාන්‍ය සෙබලෙකු බව සනාත විය​. ඉන් පසු තියුණු වධයන් වලට ලක් නොකෙරුනද අවිනිශ්චිත තත්වය​, නිදහස පිලිබඳව කිසි බලාපොරොත්තුවක් නොලැබීම නිසා ඔහු කාංසාවට ලක් විය​. අවසානයේදී වසර පහකට පසුව 1998 දී රතු කුරුස සංවිධානයේ  බලවත් ඉල්ලීම මත මෙම සෙබලාව නිදහස් කරන ලදි. 

නිදහස් වීමෙන් පසු ඔහු තම ඒකකයට ගියේය​. සති දෙකක නිවාඩුවක් ඔහුට දෙන ලදි. කොටි අත් අඩංගුවෙන් නිදහස් වූවද ඔහුගේ සිත බියෙන් පෙලුනි. යළිත් තමන්ව එල්.ටී.ටී.ඊ  සංවිධානය විසින් අල්ලාගනු ඇතැයි අනවතර බියක් ඔහුට ඇති විය​. මේ අතර මීලඟ හමුදා කිර්‍යාන්විතයට යාමට සූදානම් වන ලෙස ඔහුට දන්වන ලදි. තමාගේ අසනීප තත්වය ගැන කීවද ඔහුට සහනයක් නොලැබුනි. එක් උසස් නිලධාරියෙක් ඔහු වියාජ ලෙස රෝගයක් පෙන්වන බව කියා පරුෂ වචනයෙන් බැන ඔහුව දැන් පලාලි වලට යවන බව කියා තර්ජනය කලේය​. 

මේ බලවත් පීඩනය නිසා ඔහුගේ හිස තුල කම්පනය  අධික විය​. හෙතෙම විසංඥව ඇද වැටුනි. සිහිය එන විට ඔහු මනෝ මූල කටහඞ නැතිවීමකට (psychogenic aphonia)  ලක්ව සිටියේය​. ඔහුගේ කථනය අතුරුදහන් විය​. මෙලෙස 1998 සිට 2000 වසර දක්වා ඔහුව  විවිධ පීඩනයන්ට ලක් කෙරුණි. 

2000 වසරේදී යුද හමුදා රෝහලට යොමු කරන ලද මෙම   සෙබලා පශ්චාත් වියසන ක්ලම්ථ අක්‍රමතාවයෙන් (PTSD) පෙලෙන බවට රෝග නිර්ණය කරන ලදි. ඒ වන විට සිහිනෙන් බියවීම , තිගැස්ම , යුද සිරකරුවෙකු ලෙස ගත කල අත්දැකීම්   නිතර ආවර්ජනය වීම , තදබල විශාදිය​, කට හඞ රහිත බව​, ජීවිතාශාවෙන් තොර වීම වැනි ලක්‍ෂණ ඔහු තුලින් දක්නට ලැබුනේය​.විශේෂඥ මනෝ වෛද්‍ය  නීල් ප්‍රනාන්දු මහතාත් මමත් නොකඩවා මෙම රෝගියාට ප්‍රතිකාර කලෙමු. 

මෙම සෙබලා එල්.ටී.ටී.ඊ  සංවිධානය යටතේ යුද සිරකරුවෙකුව සිටි කාලයේ ඔහුට හිමි වැටුප් සහ දීමනා තවමත් ලැබී තිබුනේ නැත​. මා විසින් කරන ලද ඉල්ලීමක් නිසා මේ පිලිබඳව සොයා බැලූ මානුෂික ගුණාංගයන් ගෙන් සපිරි නිලධාරියෙකු වූ බ්‍රිගේඩියර් සිරි රණවීර මහතා (මෙතුමා පසුව ජෙනරාල්වරයෙකු වී විශ්‍රාම ගියේය​) මෙම සෙබලාට හිමි විය යුතු ලක්‍ෂ හතරකට ආසන්න මුදලක් ගෙවනු ලැබීය​. එසේම තවත් යහපත් නිලධාරියෙකු වූ සංඥා බළකායේ බ්‍රිගේඩියර් රොහාන් කඩුවෙල මහතා (මෙතුමාද පසුව ජෙනරාල්වරයෙකු වී විශ්‍රාම ගියේය​)  මෙම සෙබලාට සහන සැලසීමට අපට උපකාර වූයේය​. 

පශ්චාත් වියසන ක්ලම්ථ අක්‍රමතාව නිසා උක්ත සෙබලාගේ කායික මානසික සෞඛ්‍ය පිරිහී තිබුනි. ඔහු යුද ආබාධිතයෙකු  ලෙස සලකා යුද හමුදාවෙන් වැටුප් සහිතව ඉවත් කල යුතු බවට විශේෂඥ මනෝ වෛද්‍ය  නීල් ප්‍රනාන්දු මහතාත් මමත් යුද හමුදා රෝහලේ එවකට සිටි අණදෙන නිලධාරියාගෙන් ඉල්ලා සිටියෙමු. එහෙත් මානසික සෞඛ්‍ය හේතූන් මත මීට ඉහතදී කිසිම සෙබලෙකු යුද ආබාධිතයෙකු  ලෙස සලකා යුද හමුදාවෙන් වැටුප් සහිතව ඉවත් නොකර තිබෙන බව පෙන්වා ඔහු තර්ක කලේය​. ඔහුට අනුව ආබාධිත විය හැක්කේ ශරීරය පමණි. මනස ආබාධිත නොවේ. නමුත් අප අපගේ ඉල්ලීම ඉහලටද යොමු කලෙමු.  හමුදාවේ සෙබලුන් ගේ දුක තේරුම්ගත නොහැකි වූ ඔහු  දිගින් දිගටම ඊට එරෙහි විය. නමුත් අපද සටන් කලෙමු. 

අප සටන් කලේ කිසිම ලාභ ප්‍රයෝජනයක් නොබලා  කිසිම සිවිල් බලයක් නොමැති ඊලාම් යුද්දය නිසා ආබාධිතවූ  දුප්පත් සෙබලෙක් වෙනුවෙනි. අවසානයේදී 2005 වසරේදී මෙම සෙබලාට වැටුප් සහ දීමනා සහිතව හමුදාවෙන් ඉවත් වීමට ඉඩ දීමට ඉඩ ලැබුණි. එය ඊලාම් යුද්දය බලපෑමෙන්  පශ්චාත් වියසන ක්ලමථ අක්‍රමතාවයෙන් (PTSD) මානසිකව ආබාධිත වීම නිසා ඉවත් කල ප්‍රථම සෙබලා විය​.  එය ලංකාවේ මානසික සෞඛ්‍ය සේවයේ සන්ධිස්ථානයකි.     

මෙම ජයග්‍රහනයෙන් පසු අපට විඳින්නට වූ ගැහැට විශාලය​. අණ දෙන නිලධාරියා මාව හමුදා රෝහලේ ශ්‍ල්‍යාගාරයට මාරු කිරීමට තැත් කලේය​. එයට විශේෂඥ මනෝ වෛද්‍ය  නීල් ප්‍රනාන්දු මහතා තදබල ලෙස විරුද්ධ විය​. එසේම මාව සතියට දින දෙකක් රාත්‍රී සේවයට දැම්මේය​. 2002 සිට 2006 දක්වා මම කිසිම අතිකාල දීමනාවක් නොගෙන යුද හමුදා රෝහලේ සේවය කලෙමි. 

සතියට දින දෙකක් රාත්‍රී සේවය කලද මම අතිකාල දීමනා නොගත්තෙමි. තවද ඒ වන විට ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් මට මනෝ විද්‍යාව සම්බන්ධයෙන් MSc උපාධියකට ඇරයුම් ලැබී තිබුණි. හෙතෙම යටින් එය කඩාකප්පල් කලේය​. මම අධ්‍යන කටයුතු වල​ට ඇමරිකාවට යන විට මගේ වැඩ බැලීමට වෛද්‍යවරයෙක් අවශ්‍ය බවට බල කොට ඇමරිකා ගමනද බකල් කිරීමට උත්සහ ගත්තේය​.  අවසානයේදී මගේ පිහිටට ආවේ කර්නල් වෛද්‍ය ටී. ඒ දයාරත්න මහතාය​. එතුමා " පුතා උඹ ඇමරිකාවේ ගිහින් ඉගනගෙන වරෙන් මම වාට්ටුව බලාගන්නම් " කියා මාව දිරිමත් කලේය.

​කෙසේ නමුත්  විශේෂඥ මනෝ වෛද්‍ය  නීල් ප්‍රනාන්දු මහතාත් මමත් කොලඹ යුද හමුදාවේ 2002 වසරේ සිට අරඹා තිබූ යුද ආතති ප්‍රතිකාර මධ්‍යස්ථානය වසා දැමීමට මෙම නිලධාරියා උත්සුක වූයේය​. වරක් ජෙනරාල් වෛද්‍ය තිලක් ජයවීර මට කැඳවීමක් කලේය . අණ දෙන නිලධාරියා ඔබට අනවතරයේ කරන හිරිහැර මම දනිමි කියා ඔහු කීය​.  මම කිසිවක් නොකීවෙමි. 

යුද ආතති ප්‍රතිකාර මධ්‍යස්ථානය වසා දැමීමට උක්ත නිලධාරියාට ස්වර්ණමය අවස්ථාවක් උදා විය​. ඒ හමුදාපති සරත් ෆොන්සේකාට හමුදා මූලස්ථානයේ එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයත් සමග හමුදා රෝහල නාරාහේන්පිටට ගෙන යනු ලැබීය​. ඒ සමගම ඒ පිට දමා යුද ආතති ප්‍රතිකාර මධ්‍යස්ථානය වසා දැමින​. යුද ආතති ප්‍රතිකාර මධ්‍යස්ථානය නාරාහේන්පිට ස්ථාපිත කිරීම වැලැක්වීම සඳහා ඔහු සියළු දේ කලේය​. එසේම වෛද්‍ය නීල් ප්‍රනාන්දු විසින් කල සේවයට කිසිදු ස්තූති කිරීමක්වත්  නොකොට ඔහුට යන්නට දුන්නේය​. 

මෙම පුද්ගලයා සමග සීමාවාසික පුහුණුවේ නිරතවූ වෛද්‍යවරයෙකු පැවසූ පරිදි ඔහු එන්නේ ඉතාම ආර්ථික වශයෙන් දුෂ්කර පවුලකිනි. එසේම කුල පීඩනය නිසාම ඔහු තම ගමෙන් ද කොන් වූ අයෙකි . මේ හේතු නිසා හමුදාවට බැඳී තමට කිසිදා නොතිබූ ගරුත්වය සොයාගෙන යයි. අහේතුවකට මෙන් මෙවැනි සමාජ දුෂ්කරතා වලට මුහුණ දුන් පුද්ගලයෝ බොහෝ විට සමාජ සාධාරණතාව වෙනුවට පෙනී සිටින්නේ තමන් ගේ උදර පෝෂණය වෙනුවෙනි.  එසේම තමා අයත් වූ පන්තියේ මිනිසුන් කෙරෙහි පසුකාලීනව (පන්තිය මාරු කිරීමෙන් පසුව​) කිසිම සංවේදිතාවක් නොදක්වති. මොවුන් නරුම මිනිසුන් ලෙස මම දකිමි. මේ හේතුව නිසාදෝ අතීතයේ සුද්දා නිලධාරීන් ලෙස හමුදාවට බඳවා ගත්තේ තම ප්ලැටූනයට මසක් පුරා තම වියදමින් කෑම දීමට හැකියාවක් තිබෙන ප්‍රදේශයේ වැදගත්කමක් දැරුවා වූ පුද්ගලයන්‍ය​. වැඩවසම් චින්තනයක් ලෙස මෙය නිර්වචනය කල හැකි වූවද පසු කාලීනව හමුදාවේ ලී පවා හොරකම් කල නිලධාරීන් දකින විට සුද්දා නිවැරදි බව සිතේ. 

යුද ආතති ප්‍රතිකාර මධ්‍යස්ථානය වසා දැමීම නිසා මේ වන තෙක් දළ වශයෙන් සොල්දාදුවන් 400 කට ආසන්න සංඛ්‍යාවක් දිවි නසාගෙන තිබේ. එසේම  යුද කම්පනය නිසා නිරවුල් මනසකින් තොරව අපරාධ  කිරීම නිසා පෝරකය දෙස බලා සිටින සොල්දාදුවන් ද මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය  වැසුනු නිසා ප්‍රතිකාර අහිමි වූ පිරිසක් වෙති. ඔවුන් ද යුද්දයේ වින්දිතයන් ය. මේ සමාජ වියසන ගැන මෙම නිලධාරියා නිහඞය​. මෙම කරුණු ඕනෑම උසාවියක වාද කිරීමට මම  බිය නොවෙමි.  

අවසානයේදී  දුප්පත් සෙබලෙකුට පිහිට වීම නිසා අපට අහිමි වූ දේ බොහෝ වෙතත් මම එම ක්‍රියාව ගැන පසු නොතැවෙමි. යුද්ධය නිසා මානසික වශයෙන් ආබාධිත වූ විශාල දුක් කන්දරාවක් විඳි ශ්‍රී ලංකා යුද හමුදාවේ සංඥා බලකායට අයත් පුෂ්පකුමාර නම් මෙම සෙබලා දැන් අවම වශයෙන් කාටත් අත නොපා ජීවත් වේ. එය විශේෂඥ මනෝ වෛද්‍ය  නීල් ප්‍රනාන්දු මහතා සහ මා විසින් කල සද් ක්‍රියාවකි. එසේම එය මට විශාල සතුටක් ගෙන දෙයි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

35 comments:

  1. වෛද්‍ය වරයෙකු ලෙස ඔබ ඔබේ සීමාවන්ද ඉක්මවා අහින්සක මිනිසුන් වෙනුවෙන් සේවය කිරීම ගැන ස්තූතී.

    මම අසා තිබෙන කතාවලට අනුව හමුදාව යනු නිලධාරීවාදයෙන් සාමාන්‍ය සෙබලුන් සහ වෙනත් සුලු නිලයන් සහිත මිනිසුන් දැඩි ලෙස පීඩා විඳින තැනක්. තම සතුරා සමඟ යුද වැදුනු මොවුන් තම සාමාජිකයින් වෙනුවෙන් අමානුෂික වීම ඉතා කනගාටුදායකයි. හමුදා විනය පවත්වා ගැනීම සඳහා යම් දැඩි ක්‍රියාමාර්ග අවැසි වුවත් මෙවැනි අමානුෂික ක්‍රියා හමුදාවකට වුවත් නොගැලපෙන බවයි මගේ අදහස.

    මේ අදහස නිසා බ්ලොග් කියවන හමුදා නිලධාරීන් මා සමග අමනාප නොවන්න. රුවන් කියන්නා සේ ඉතා යහපත් නිලධාරීන් හිඟ තැනක් යැයි හමුදාව නිර්වචනය කල නොහැකියි. නමුත් මෙවැනි නිලධාරීන් නිසා හමුදාව ම අපකීර්තියට ලක්වීම ද සිදු වනවා. එය නොවිය යුක්තක්.

    ReplyDelete
    Replies
    1. යුද හමුදාවේ ඉතා යහපත් නිලධාරීන් මෙන්ම අධමයන් ද මම දුටුවා

      Delete
  2. අදනම් ලේත් රත් උනා... එවැනි එකෙක් ඇති මහා සමූහයක් වල පල්ලට දක්කන්න.. කෙසේ වෙතත් ඔබ කල සේවය උතුම්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. එකෙක් ඇති මහා සමූහයක් වල පල්ලට දක්කන්න++++++

      Delete
  3. හැමදාම මට හිතෙන දේ. ඔබ උපන් රටට ණය නැති වෛද්‍යවරයෙක්. උපන් රටට ණය නැති ලාංකිකයන් සුළු දෙනාගෙන් කෙනෙක්

    ReplyDelete
    Replies
    1. තුති ඉයන් මම කලේ මගේ රාජකාරියයි

      Delete
  4. අම්මෝ ඇග හිරි වැටුනා මේ කතාව නිසා...
    ඩොක්ටගේ අදහසට මාත් එකඟයි. ඒ වගේ මධ්‍යස්ථානයක් තිබුනානම් සෙඹලු අපරාධකරුවන් වෙන එකක් නෑ. සියදිවි නසා ගන්න එකක් නෑ. වෙනත් රට වල නම් මේ වගේ ආතති කළමනාකරණ මධ්‍යස්ථාන තියනවා නේද ඩොක්ටර්. යුද්ධය අවසන් උනත් ඒ වගේ දෙයක් නොකරපු එක ලොකු අඩුවක් නේද...

    ඔබටත් සුභ නව වසරක්වේවා..

    ReplyDelete
  5. "ඔහු එන්නේ ඉතාම ආර්ථික වශයෙන් දුෂ්කර පවුලකිනි. එසේම කුල පීඩනය නිසාම ඔහු තම ගමෙන් ද කොන් වූ අයෙකි" Sadly we hear this again and again.

    ReplyDelete
  6. //එහෙත් මානසික සෞඛ්‍ය හේතූන් මත මීට ඉහතදී කිසිම සෙබලෙකු යුද ආබාධිතයෙකු ලෙස සලකා යුද හමුදාවෙන් වැටුප් සහිතව ඉවත් නොකර තිබෙන බව පෙන්වා ඔහු තර්ක කලේය​. ඔහුට අනුව ආබාධිත විය හැක්කේ ශරීරය පමණි. මනස ආබාධිත නොවේ.//

    මිනිහටයි බෙහෙත් කරන්ඩ ඕන

    ReplyDelete
  7. පළමුව, මෙහි ඉහත කියා ඇති කොමෙන්ටු වලින්ද දැක්වෙන පරිදි, වෛද්‍ය වරයෙකු ලෙස ඔබ සේවයේ සීමාවන් වලින් පිට යමින් කල සද්ක්‍රියාවන් මා ඉතාමත් අගය කරනවා. දෙවනුව, යුද හමුදා රෝහලේ අන දෙන නිලධාරියා කවුරුන්ද යන්න නමින් හෙළි කරනවානම් එය ඔබගෙන් යුද හමුදාවට සිදුවිය හැකි මහඟු සේවයක්. පහත් සමාජ තල වලින් ඉහලට එන බොහෝ දෙනෙකුට ඇති 'සමාජ රෝගයක්' මේ නිලධාරියාටත් ඇති බව පෙනෙනවා. කලකට පෙර හමුදාවන්ට නිලධාරීන් බඳවා ගැනීමේදී, ඔවුන්ගේ පවුල් පසුබිම ගැන සොයා බැලීම කළා. මා නම් එය ඉහතදී දුටුවේ වැඩවසම් යුගයේ පුරුද්දක් හැටියටයි. එහෙත්, දැන් නම් මාත් ඒ ක්‍රමය ඉතා වැදගත් යයි සිතනවා. මගේත් අත් දැකීම් වලට අනුව, පහත සමාජ තල වලින් ඉහලට ගිය අය, තමන් පෙර අයත් වූ සමාජ තලයට අයත් වූවන් පාගා දැමීමට නොකරන දෙයක් නැහැ.

    මේ අදහස් 'politically incorrect' වුවත්, ඒවා ගැන විවාදයක් ඇති වෙනවානම් මා සතුටුයි. මා දැක ඇති තවත් දෙයක් නම්, උසස් යයි සම්මත ක්‍රිස්තියානි පාසල් වල උගත් නිලධාරීන්, පහත ක්‍රියා වල නිරත වීම ඉතා විරල බවයි. එහෙත්, උසස් යයි සම්මත බෞද්ධ පාසල් වල උගත් නිලධාරීන් මීට වඩා වෙනස් වන බව, එවන් පාසලක උගත් අයෙකු හැටියට කනගාටුවෙන් වුවත් කිව යුතුයි. මෙයින් මට පෙනී ගිය දෙය නම්, සිසුන් චර්යා ධර්ම වල පිහිටවීමට, ක්‍රිස්තියානි පාසල් වඩාත් සමත් වන බවයි. සමහර විට, බෞද්ධ පාසලක උගත් දොස්තර රුවන් මේ අදහසට එකඟ නොවෙනවා වෙන්නටත් පුළුවනි.

    ReplyDelete
    Replies
    1. //ඒවා ගැන විවාදයක් ඇති වෙනවානම් මා සතුටුයි. //

      විවාදයක් ඕනේ නැහැ මම නම් මේ කියපු ගොඩක් දේවල් වලට එකගයි.

      මම ඉගෙන ගත්තෙත් පැරණි ක්‍රිස්තියානි පාසලක. ඒ වුනාට අපේ සහෝදර බෞද්ධ පාසලේ සහ අපේ පාසලේ ය අතෙරේ එහෙම පොඩි වෙනස් කමක්වත් නැහැ. දැන් ඔය ඉස්කෝල ජාති දෙකම යන්නේ එකම පීල්ලක එකම ගමන. අපි ගෙදොල්ලොගේම අතරේ චර්යා ධර්ම පිහිටපු නොපිහිටපු දෙගොල්ලොම ඉන්නවා.

      Delete
    2. //අපි ගෙදොල්ලොගේම අතරේ චර්යා ධර්ම පිහිටපු නොපිහිටපු දෙගොල්ලොම ඉන්නවා.//

      එක ඇත්ත. මා කලින් කී දෙයින්, ක්‍රිස්තියානි පාසල් වල උගත් හැම දෙනාම චර්යා ධර්ම වලින් පොහොසත් බවක් වත්, බෞද්ධ පාසල් වලින් පැමිණි හැම දෙනාම චර්යා ධර්ම නොමැත්තන් බවත් අදහස් වන්නේ නැහැ. එහෙත්, හමුදා නිලධාරීන් අතර නම්, ක්‍රිස්තියානි පාසල් වල උගත් අයගේ මේ ගුණය වඩාත් හොඳින් පිහිටා තිබෙන බව අත් දැකීමෙන් මට කිව හැකියි.

      මා විවාදයක් ඇති වෙනවානම් හොඳයි කියා කීවේ මූලික වශයෙන් වෙනස් සමාජ තල වල ඇති චර්යා ධර්ම වල ඇති වෙනස් කම් ගැනයි. මේ ගැන විවාදයක් ඇති වීම සුදුසු වුවත්, අප ලිපියේ මාතෘකාවෙන් ඈත් වන නිසා මෙය ඊට සුදුසු තැන නොවන බව සිතනවා.

      Delete
    3. මේ කතාවේ යම් සත්‍යක් මම දකිනවා

      Delete
  8. ඇගේ ලේ රත්වෙනවා යකෝ..මේ වගේ එක කාලකන්නියෙක් ඇති 1000කට මිනී වලවල් කපන්න.තුං නොදකිං.
    ඔබ ගැන ආඩම්බරයි

    ReplyDelete
  9. දැන් කාලේ බොහෝ දෙනා කියන,
    "අනේ වැඩි වැඩ කරන්න ගිහින් නිකම් ලෙඩ දාගන්න මට බෑ. මම මොකටද ඕව හදන්න යන්නේ. මන් මගේ වැඩේ කරලා පඩිය අරගෙන පාඩුවේ ජීවත් වෙනවා."
    කියල කියන අයට තමුන්ගෙන් විය යුතු සේවය එයද යන්න නැවත හිතන්න හොද අවස්ථාවක් ඔබ දීල. මට නම් ජීවත් වෙනවා කියන්න සත්තු ජීවත්වෙනවා වගේ කාල බීල නිදාගෙන ටික කාලෙකින් මැරිලා යන එක නොවෙයි. මට නම් ජීවත් වීම යනු මගේ ප්‍රතිපත්ති වලට අනුව පෙනී සිටීමයි.

    මේ තරම් දුක් ගහට විදගෙනත් තම ප්‍රතිපත්ති වෙනුවෙන් ජීවත්වෙන නොදුටු ඔබ මා ගරු කරන ප්‍රිය කරන කෙනෙක්. කවද හෝ දවසක ඔබව සැබෑවට හමුවෙන්න ලැබුනොත් එය මගේ ලොකු වාසනාවක් ලෙසයි මම හිතන්නේ.

    ReplyDelete
  10. ඉදිර කාලයේදී මෙම කර්තවය ගැන යමක් කරන්න පුලුවන්ද කියලා අහලා සොයලා බලන්නම්

    ReplyDelete
  11. ඔබ රටට පමණක් නොව මනුෂ්‍යත්වයටත් ණය නැති මිනිසෙක්.

    ReplyDelete
  12. ඔබ රටට පමණක් නොව මනුෂ්‍යත්වයටත් ණය නැති මිනිසෙක්.

    ReplyDelete
    Replies
    1. මනෝජ් මම කලේ මගේ රාජකාරියයි

      Delete
  13. LTTE එක දෙවැනි වතාවටත් වැලිඔයට ගහන්න ආව වෙලාවේ (1997) පොලියත් එක්ක ගෙවන්න වුනා අපිට. අපෙ හමුදාව පන්න පන්නා ගැහුවා එදා උන් ඔක්කොටම. ඒ කාලේ බලසේනාධිපතිව හිටියේ ඝාතනයට ලක්වූ මේජර් ජෙනරල් ජානක පෙරේරා. එතුමාගේ නමින් ජානකපුර යනුවෙන් ගම්මානයක් නම්කර තිබෙනවා වැලිඔය ප්‍රදේශයේ.

    අපේ හමුදාව තවමත් පාලනය වන්නේ 1949 අංක 17 දරන යුද හමුදා පනතෙන්. මෙයට සංශෝධන එකතු වියයුතුයි. යුද්ධයක් නැති නිසා දැන් තමයි ඊට සුදුසුම කාලය.

    ඔබ මෙහි කියා ඇති හමුදා මෝඩ අහංකාර නිලධාරියා දැන් සේවයේ නැහැ නේද?

    ReplyDelete
  14. මට පුදුම අර ආලවකයා යටතෙ සේවය කරල ඔබට PTSD හැදුනෙ නැති එක ගැන.

    ReplyDelete
  15. ඔබේ මිනිසත්කම හද පත්ලටම වැදුනා .කුරිරු යුද්ධයෙන් බැට කෑ අහිංසකයන් ගැන දුක් වෙන අතර තවමත් යුද්ධයට ආ වඩන අය ගැන පිළිකුල් හිතෙනවා.
    ඔබට දීර්ඝායු වේවා!

    ReplyDelete
  16. සමහර වෙලාවට යුධමය චිත්‍රපට බැලුවහම මට ඇතිවෙන කම්පනය එක්ක බැලුවහම මට මේක හිතාගන්නත් අමාරුයි . හැබැයි මෙ වගේ ජීවිත කන්නෝ රාජ්‍ය සේවයේ වගේම පුද්ගලික අංශයෙත් ඉන්නවා

    ReplyDelete
  17. repeats...........දැන් කාලේ බොහෝ දෙනා කියන,
    "අනේ වැඩි වැඩ කරන්න ගිහින් නිකම් ලෙඩ දාගන්න මට බෑ. මම මොකටද ඕව හදන්න යන්නේ. මන් මගේ වැඩේ කරලා පඩිය අරගෙන පාඩුවේ ජීවත් වෙනවා."
    කියල කියන අයට තමුන්ගෙන් විය යුතු සේවය එයද යන්න නැවත හිතන්න හොද අවස්ථාවක් ඔබ දීල. මට නම් ජීවත් වෙනවා කියන්න සත්තු ජීවත්වෙනවා වගේ කාල බීල නිදාගෙන ටික කාලෙකින් මැරිලා යන එක නොවෙයි. මට නම් ජීවත් වීම යනු මගේ ප්‍රතිපත්ති වලට අනුව පෙනී සිටීමයි.

    ReplyDelete
  18. When I put my leaving papers up, I claimed that I am suffering from depression ( that time I did not know the term PTSD ) So I was asked to get a medical certification and went to MH. When the doc ( I didn't know his name, this was 1995/6 ) interviewed me and I said " I am a trained soldier, shoot to kill type and not an employee of a town coucil who may asked to kill dogs. Then he sent me to General Hospital for behavioral changes treatment. I attended the clinic only once. All I got on Form Medical 3 ( sick report form ) is spontaneous depression or something which is not a reason to leave. So I couldn't leave but sent out years later.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook