ලීල් ගුණසේකර මහතා 71 කැරැල්ලට සහභාගී වු කැරැලිකරුවන් පුනරුත්ථාපනයේදී සුවිශේසී කාර්‍ය භාරයක් ඉටු කලේය. මා ඔහුව මුලින්ම හඳුනා ගත්තේ පෙත්සම හා අත්සන යන කෘතින් හරහාය. පාසල් කාලයේදී අප ඉතා ආශාවෙන් කියවූ මෙම පොත් දෙකේ කතෘ මට ඔහුගේ තිම් බිරිගස්‍යාය නිවසේදී හමුවිය. ලීල් ගුණසේකර මහතා 71 කැරැලිකරුවන් පුනරුත්ථාපනය පිලිබඳව මෙසේ කියා සිටී.
1970 සමගි පෙරමුණ ඇමති මන්ඩලයේ ලේකම් ලෙස මම කටයුතු කළා. ඒ කාලයේ රටේ තරුණ පිපිරීමක ලකුණු දකින්නට තිබුනා. සමඟි පෙරමුණ බලයට ඒම සඳහා කැරැල්ලට සහභාගී වූ තරුණයන් විශාල ප්‍රමාණයක් සහය දුන් බව සඳහන් කළ යුතුයි. සමගි පෙරමුණ බලයට පත්වීමෙන් පසුව නව ව්‍යවස්ථාව සම්පාදනය පිළිබඳව අවධානය යොමු කළා. මේ නිසා තරුණ තරුණියන්ගේ ගැටළු කෙරෙහි අවධානය ගිලිහී යන්නට ඇති. මට මතකයි ඇතැම් ඇමතිවරුන් විශේෂයෙන් අමාත්‍ය ආර්.එස්.පෙරේරා ලඟ එන තරුණ කැරැල්ලක් පිලිබඳව මැතිණියට අනතුරු ඇඟවූ අයුරු.
71 කැරැල්ලට සිරිමාවෝ බන්ඩාරනායක අගමැතිනිය ඉතා හොඳින් මුහුණ දුන්නා. ඇය අනවශ්‍ය ලෙස බියට හෝ කලබලයට පත් වූයේ නැහැ. එසේම කැරැලිකරුවන් වග විභාගයකින් තොරව මරා දැමීමටත් ඇය එරෙහි වූවා. ඇය නිතරම කිව්වේ කැරලිකරුවන් අපේ රටේ තරුණයන්. ඔවුන්ව අපි ඝාතනය නොකොට යහ මඟට ගත යුතු බවයි.
කැරළිකරුවන් පුනරුත්තාපනය කිරීමට මැතිණියට අවශ්‍ය වුනා. ඒ අනුව සිවිල් සේවයේ නියතුව සිටි නිලධාරින් 12 දෙනෙකු සම්මුඛ පරීක්‍ෂණයට ලක් කිරීමෙන් පසු මට එම තනතුර දුන්නා. එම තනතුරේ නාමය වූයේ අතිරේක ලේකම් පුනරුත්ථාපන කටයුතු යන්නයි.
මෙම කටයුත්ත ඉතා බැරෑරුම් එකක්. මෙය ආරම්භ කලේ කැරැල්ලෙන් පසුව 1972 ජුනි මාසයේදි පමණ. ඒ වෙන කොට විශාල කැරලිකරුවන් සංඛ්‍යාවක් අතඩංගුවේ හිටියා. යම් කොටසක් යටි බිම්ගතවද ක්‍රියාත්මක වුනා.
කැරැල්ලට සහභාගී වූ තරුණ තරුණියන් උගත් එහෙත් රැඩිකල් චරිත. ඔවුන් නිබඳව රාජ්‍ය තන්ත්‍රයේ අඩුපාඩු ප්‍රශ්න කරපු අය. එවැනි පිරිසක් පුනරුත්ථාපනය කිරීම ලේසි පහසු කාර්‍යයක් නොවෙයි. පුනරුත්තථාපනය සඳහා මූලික වන්නේ හැඟීම් හා දැනීම. තරුණයන් වෙනුවෙන් යමක් කළ යුතු බව හා ඔවුන් අප රටේ කොටසක් යන හැඟීම හා ඔවුන්ට නිසි අයුරින් පුනරුත්ථාපනය කිරීම සඳහා අවශ්‍ය දැනුම මේ සඳහා ඉවහල් වූවා.
හැඟීම් හා දැනිම තිබූ නිලධාරින් මා විසින්ම මෙම කාර්‍යය සඳහා තෝරා ගත්තා. අපට 20 000 පමණ කැරලිකරුවන් පිරිසක් සිටියා. එසේම පුනරුත්ථාපන කඳවුරු 18 ඇති කළා. මේ කඳවුරු විද්‍යෝදය, විද්‍යාලංකාර විශ්ව විද්‍යාල වල, කුන්ඩසාලේ, අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර, බදුල්ල හා දිවයිනේබන්ධනාගාරවලද ක්‍රියාත්මක කෙරුණා.
පුනරුත්ථාපන කර්තව්‍යයේදී බන්ඩාරනායක මැතිණි කියූ දෙයක් තමයි කැරැලිකරුවන් පමණක් නොවේ ත්‍රිවිධ හමුදාව් සාමාජිකයන් ද පුනරුත්ථාපනය කළ යුතු බවයි. මේ අනුව කැරලිකරුවන්ට මානුෂිකව සැලකීම පිළිබඳව ත්‍රිවිධ හමුදා සාමාජිකයන් දැනුවත් කළා. රළු අයුරින් ඔවුන්ට නොසැලකීමත් හිංසනයට ලක් නොකිරීමටත් උපදෙස් දෙනු ලැබුවා.
1960 සහ 70 දශක වල තරුණ තරුණියන්ට ගැටළු තිබුණා. ඒ කාලයේ නිර්මාණය වූ කවි කෙටිකථා, නවකථා වල තරුණ අසහනය පෙන්නුම් කෙරුණා. මට මතකයි ඒ කාලයේ තමයි නාට්‍ය වලට මුලින්ම තුවක්කු යොදා ගත්තේ. අපට පුතේ මඟක් නැතේ වගේ නාට්‍ය මගින්ද තරුණයන් මුහුණ දුන් ගැටළු අසාධාරණ පෙන්නුම් කලා.
ගම් වල ඉඩම් ගැටළු තිබුණා. රජයේ නිලධාරින් ඇතැම් විට මිනිසුන්ගෙන් ඈත් වීමද කැරලි තත්වය ඇති වීමට එක් හේතුවක්. උදාහරණයක් හැටියට මම 1966 කෑගල්ල දිස්ත්‍රික්කයේ දිසාපති. 1966 න් පසුව 1971 දක්වා දිසාපතිවරු 5 හෝ 6 සිටියා. ඔවුන් ජනතාවට සමීප වූයේ නැහැ. මේ නිසා කෑගල්ලේ නොසන්සුන්තාවන් වැඩි වශයෙන් වර්ධනය වීමට එක් හේතුවක් උනා. ඇල්පිටිය වැනි ප්‍රදේශ ගණනාවක මෙම සාධකය මම දුටුවා. දිසාපති ජනතාවගෙන් ඈත් වූ ප්‍රදේශ වල කැරලි උග්‍ර වීමේ සම්භාවිතාවක් තිබුනා කිව හොත් නිවැරදියි.
මුලින්ම මෙම කැරැල්ලට සහභාගී වූ තරුණ තරුණියන් කිහිප දෙනෙකු සම්මුඛ සාකච්ඡාවට ලක් කලා. ඔවුන් කිව්වා ඔවුන් කැරළිකරුවන් වීමට හේතු පාදක වූ කරුණු. මේ සඳහා විරැකියාව ඉඩම් නොමැතිකම කුළ පීඩනය සමාජ අසාධාරණය වගේ කරුණු ඔවුන් පෙන්වා දෙනු ලැබුවා. ඒ වගේම එක් අයෙක් ප්‍රකාශ කළා ඔහු කැරලිකරුවෙක් වූයේ චේගුවේරා යුනිෆෝම් ඇඳගත් තරුණියන් වාහන වල යන විට ඔහුටත් එලෙස යුනිෆෝම් ඇඳ යාමට සිත් දුන් බවයි.
අපි පුනරුත්ථාපන මධ්‍යස්ථාන 18 ආරම්භ කළා. කාන්තාවන් සඳහා මීරිගම මධ්‍යස්ථානය ඇරඹුවා. මෙම කටයුත්ත ආරම්භයේදීම අපි විනිශ්චය විරහිත බව, ඔවුන් කැරලිකරුවන් වැරදිකරුවන් ලෙස සලකා දෝෂාරෝපණය නොකිරීම, ඔවුන්ගේ ප්‍රශ්න වලට මුල් තැනක් දීම වැනි මානුෂික ප්‍රවේශයකින් කටයුතු කල යුතු බවට ගිවිස ගත්තා.
සිරගතව සිටි කැරලිකරුවන්ට තම ඥාතීන් මුන ගැසීට අවශ්‍ය වූවා. අපි ඒ සඳහා අවකාශ ලබා දුන්නා. දෙමාපියන්ට තම දරුවන් බැලීමට නොමිලේ ගමන් බලපත්‍ර දෙනු ලැබුවා. අපි තරුණ කැරලිකරුවන්ට ආධ්‍යාත්මික මාර්ගෝපදේශයන් දුන්නා. ඒ වගේම සංස්කෘතික දැනුම වර්ධනය නාට්‍ය, ගීත ගැයීම් වැනි අවස්ථා ලබා දුන්නා. රැඳවියන්ට විභාග කිරීමට, අධ්‍යාපනය ලැබීමට, අවකාශ දුන්නා. ඒ අතර පුද්ගල කුසලතා වර්ධනයටත් තැනක් දුන්නා.
බොහෝ කැරළිකරුවන් මගේ කෘතින් කියවා සිටි පාඨකයන්. ඒ නිසා ඔවුන් හා මා අතර සන්නිවේදන ගැටළු මතු වුනේ නැහැ. මෙම තරුණියන් පුනරුත්ථාපනය කිරීමේදී පී.එම්. විෙජ්කෝන්, එම්.ඩී. ගුණපාල, ඩී.එස්. ලියනගේ වැනි නිලධාරින්ද වෛද්‍ය බුද්ධදාස බෝධිනායකද සහාය ලබා දුන්නා. අපි පුනරුත්ථාපන කටයුතු වලදී මනෝ වෛද්‍යවරයකුගේ සහාය ද ලබා ගත්තා. වෛද්‍ය චන්න විජේසිංහ මහතා දක්‍ෂ මනෝ විශේෂඥයෙක්. එතුමා අපට ඛෙහෙවින්ම උපකාර කළා මෙම පුනරුත්ථාපන ක්‍රියාවලියේදී.
මම සෑම රැඳවියෙකුටම ෆයිල් එකක් විවෘත කෙරුවා. ඔවුන්ගේ ඉතිහාසය, කුසලතා, අධ්‍යාපන මට්ටම මෙහි සඳහන් කළා. එසේම ඔවුන්ට දේශන පැවැත්වීමට පූජ්‍ය පක්‍ෂය හා විවිධ මාතෘකා ඔස්සේ දැනුම ලබා දීමට දේශකයන් අප පුනරුත්ථාපන මධ්‍යස්ථාන වලට යැව්වා.
ඇතැම් කැරලිකරුවන් සුළු ව්‍යාපාර ඇරඹීමේ අපේක්‍ෂාවෙන් හිටියා. අපි ඔවුන්ට මූල්‍ය පහසුකම් ලබා දුන්නා. මට මතකයි වික්ටර් බන්ඩාර සේනාරත්නට නාට්‍ය කිරිමට අවශ්‍ය වුනා. අපි ඔහුට සංගීත භාන්ඩ ලබා දුන්නා. අද ඔහු වේල්ලස්සේ වෙඩි හඞ වැනි ඉතා ජනප්‍රිය නාට්‍ය කරන අධ්‍යක්‍ෂකවරයෙක්.
මට මතකයි වරක් මම, අමාත්‍ය කේ.බී. රත්නායක සමඟ තෝපා වැව පුනරුත්තපන කඳවුර බලන්නට ගිය ගමන. එහිදි අතීත කැරලිකරුවන් අපිව වට කර ගත්තා. මම හැමදෙනාවම සන්සුන් වෙන්න කියලා ඉල්ලීමක් කළා. සිටින ස්ථාන වලම වාඩිවන ලෙසට.
එතන හිටපු එක් තරුණයෙක් මට කිව්වා ඔබතුමා මට පාසල් යන කාලයේදී දහම් පාසල් උත්සවයක දී තෑග්ගක් දී තිබූ බවට. මම ඒ තරුණයාට පැවරුවා ඇමතිතුමා පිළිගැනීමේ කථාව කරන්න. ඔහු ඉතා හොඳින් එම කථාව කළා. එසේම අනෙකුත් රැඳවියන් සංගීත ප්‍රසංගයක් හා නාට්‍යයක් රඟදැක්වූවා. වැඩසටහන අවසානයේදී අමාත්‍ය කේ.බි. රත්නායක මහතා ඉතා හැඟිම්බර කථාවක් කෙරුවා. ඒ කථාව මම මගේ ත්‍රිකෝන අරගලය කවි පොතේ දැක්වෙන්නේ මෙහෙමයි.
මොකක් හරි දෙයක් සිදු වුන බව ඇත්තයි
දුකක් තියෙන්නේ එහි බිහිසුනු පැත්තයි
ගියදේ ඉතින් ළමයිනි ඔහෙ ගියා වේ
බිය නොව ඉදිරියට විත් මේ වෙලාවේ
දිය යුතු වෙලාවයි ඔබ සැම සහයෝගේ
මෙතනින් ඉඳගන්න හොඳ ලමයින් වාගේ
ඔබලා වැනි පුතුන් දෙදෙනෙකු ඇත මටද
දරු සෙනෙහසින් උණුවෙයි මාගේ හදද
මා හා මෙහි පැමිණි ලේකම් අතිරේක
ඔබලා ගැන ලියා ඇත පොත පත නේක
අනුකම්පාව ඇති අගමැතිනියගෙ අතින්
හෙලිකොප්ටරෙන් ආවෙමු අපි අදම සැනින්
ජනතා මැද උපන් ජනතා වෙතට සෙමින්
යන අපි අද ආවේ නොපුරුදු ගමන දුකින්
ජාතික වස්තුවක් වන හෙළ තරුණ පෙල
සුමගට යොදවන්න කටයුතු සකස් කළ
පුනරුත්තාපනේ වැඩටික සකස් කළ
ගරු අගමැතිනි ඔබලා වෙත පෙමිනි දළ
කඳවුරු තුළ සිටින ඔබලට කෑම ටික
අසනීපයක් හැදුනොත් නිසි ඛෙහෙත් ටික
තිබුණත් නොයෙක් අතවර තව තිඛෙත හැක
දුරුකරගන්න ආවෙමි මම හිතේ සැක
පිරි පීඩිතව කඳවුරු තුළ කඳුළු බි බී
ඉන්නා සැටි දුටිමි සැම තැනකටම එබී
සෑම කඳවුරකටම ගොස් මම කරුණු සොයා
නෙක පැන වලට හැකි පිළියම් සොයන නිසා
රජයට සන්දේශයක් නිසි පරිදි ලියා
කටයුතු යොදමි ඔබ නිදහස් කරන නියා
ගරු ඇමතිඳුනි අවසර වචනෙකට එක
මේ වැනි දෙයක් සිදු වුනි නම් වෙන රටක
අප සැම දෙනා පෙල ගස්වා බිත්තියක
වෙඩිමුර කිහිපෙකින් අවසන් වනු නිසැක
සතවෙත පතළ මෙත් කරුණා බීජ හෙළ
වැපුරූ බිමේ ආසිරියෙන් වීර බල
ලත් ඇමතිදුනි අප වෙනුවෙන් සටන් කළ
ඔබ වැනි අයයි ජාතික ගැමි මුදුන් මුල
පුනරුත්ථථාපනෙන් නිසි සෙත සැල සේවා
ගුණ නැණ බලය ඉන් අප වෙත ලං වේවා
එඩිතර තරුණ ශක්තිය එක මුතු වේවා
රට වැසියන්ට හා රජයට සෙත් වේවා
මීරිගම කාන්තා කඳවුරේ තරුණියන් 700 පමණ සිටියා. ඔවුන්ටත් අපි විශේෂ පුනරුත්ථාපන වැඩ සටහන් ක්‍රියාත්මක කෙරුවා. වරක් මේම කඳවුර බැලීමට විදේශිකයෙක් ආවා. ඔහුගේ නම ඩග්ලස් හයිඩ්. ඩග්ලස් හයිඩ් මීරිගම කඳවුරට පැමිණි දිනයේ කාන්තා රැඳවියන් ඉතා හොඳ වැඩසටහනක් පැවැත්වූවා. ගීත ගායනා කළා. මේ පුනරුත්ථාපන වැඩ සටහන ඩග්ලස් හයිඩ් ගේ ප්‍රසාදයට ලක් වුණා.
මෙම වැඩසටහන අවසානයේ දී ඩග්ලස් හයිඩ් මට කිව්වා ඔහු ඉන්දුනීසියාවේ කාන්තා පුනරුත්ථාපන කඳවුරක් අධීකෂණය කිරීමට ගිය විට කාන්තා රැඳවියන් ඉතා අපහාසාත්මක අයුරින් හැසුරුණු ආකාරය. ඔවුන් තම නිරුවත පවා පෙන්වා තිඛෙනවා. මීරිගම අපේ කාන්තා රැඳවියන්ගේ ශිෂ්ඨ හැසිරීම ඔහු ඉතා ප්‍රශංසා මුඛයෙන් කථා කළා.
1971 කැරැල්ලේ පුනරුත්ථාපනය අපි අපට හැකි ඉහලම ආකාරයට කෙරුවා. යම් යම් අඩුපාඩු තියෙන්න ඇති. නමුත් අපේ කර්තව්‍ය සාර්ථකයි කියලා හැෙඟන්නේ අපේ පුනරුත්ථාපන ක්‍රියාවලියේ හිටපු කැරළිකරුවන් 0.1% වත් 88/89 කාලේ දෙවන කැරැල්ලට සහභාගි වුයේ නැහැ. ඒ වගේම දෙවන කැරැල්ල හිස එසවූයේ ඉතා අමානුෂික ආකාරයට ඝාතන වැලකින්. දෙවන කැරැල්ලේ කැරලිකරුවන් කෙසේ පුනරුත්ථාපනය කළාද යන්න මම දන්නේ නැහැ. නමුත් පුනරුත්ථාපනයට වඩා කලේ ඔවුන්ව ශාරීරිකව විනාශ කර දැමීමයි.
එහෙත් 71 කැරැල්ලේදී එවකට පැවති රජය පුනරුත්ථාපනයට ඉඩක් දුන්නා. 71 කැරැල්ලෙන් පසු කොපමණ ප්‍රමාණයක් යළි සාර්ථකව සමාජගතවී සිටිනවාද? ඔවුන් වැඩි ප්‍රමාණයක් අද ඵලදායී පුරවැසියන්. ඒ ගැන සිතන විට එදා අපගේ දායකත්වය ගැන මට ඉතා සතුටක් දැනෙනවා.
(71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් කෘතිය ඇසුරෙනි – වෛද්‍ය රුවන් එම් ජයතුංග)
No comments:
Post a Comment
Appreciate your constructive and meaningful comments