Thursday, February 5, 2026

මිනිසුන් තුළින් ලෝකය දුටුවෙමි ගොඩ්වින් කොඩිතුවක්කු ගේ ඇසින්




වෛද්‍ය රුවන් එම්. ජයතුංග ගේ මිනිසුන් තුළින් ලෝකය දුටුවෙමි කෘතිය පිලිබඳ විස්තරයකි. විදෙස් රටවල දී ලබන අත්දැකීම්, ලේඛන ගත කිරීමේ සම්ප්‍රදායයට දායක වන ලේඛකයන් සිටිනුයේ ටික දෙනෙකි. ෆාහියන්, ඉබන් බතුතා වැනි දේශාටන චාරිකාවල යෙදුණු අය, ස්වකීය අත්දැකීම් ලේඛන ගත කළ නිසා, වත්මනෙහි මහජනයා ඔවුන් ගැන මෙන් ම ඔවුන් ජීවත් වූ කාල වකවානු ගැන ද කරුණු දනිති. ඉන්දියාවේ බෙෘද්ධ ඉතිහාසය සොයා යාමේ දී චීනයේ සිට පැමිණ, ඉන්දියාවේ සංචාරය කළ ෆාහියන් භික්ෂුව, බෙෘද්ධ සිද්ධස්ථාන ගැන තැබූ වාර්තා ද, මූලාශ්‍රය ලෙස ඉවහල් වූ බව පැහැදිලි ය. වත්මනෙහි, විදෙස් ගත වන දසදහස් ගණන් පිරිසක් සිටියත්, ස්වකීය අත්දැකීම් ලේඛන ගත කරන්නේ නම් කිහිප දෙනෙකි. මේ පසුබිම මත වෛද්‍ය රුවන් එම්. ජයතුංග ලියූ "මිනිසුන් තුළින් ලෝකය දුටුවෙමි" කෘතිය, දේශාටන සාහිත්‍යය විෂය ක්ෂේත්‍රයේ වැදගත් භූමිකාවක් ඉටු කර ඇත. 

රුවන් එම්. ජයතුංග, තමා ලද විදෙස් අත්දැකීම්, නව මානයකින් රචනා කර ඇත. විදෙස් ගත ව සිටිය දී තමාට හමු වූ විවිධ රටවල මිනිසුන්ගේ චර්යා රටා ඇසුරින්, ඒ ඒ රටවල පුද්ගල චරිත ඉස්මතු කරමින් විස්තර කරන අතර ම, ඒ පුද්ගල චරිත හා සම්බන්ධිත සමාජ සංස්කෘතික පරිසර ද ඒ ඒ පුද්ගලයා ජීවත් වන රටෙහි විවිධ සමාජ සංස්කෘතික දේශපාලන ධාරාවල ලක්ෂණ ද ඉස්මතු කරන්නට හැකි ලෙස කෘතිය රචනා කර ඇත. ඒ අතර ම ශ්‍රී ලංකාවේ මෙන් ම විදේශ රටවල ද අනාගත සමාජ රටා වෙනස් විය යුතු ධනාත්මක පාර්ශ්ව ගැන සිතිවිලි ධාරා ද ඉස්මතු කරන්නේ ය. 

උදාහරණයක් ලෙස පහත සදහන් උපුටනය කියවමු. "හාත්පස අඳුරෙන් පිරී යයි. දුම්රිය මැදිරියේ වූයේ මලානික එළියකි. අප තිදෙනා ග්‍රීකයන් දෙදෙනෙක් සහ සිංහලයෙක්. අපි එක්සත්ව රාත්‍රී ආහාරය ගතිමු. රට ජාතිය, භාෂාව, සංස්කෘතිය කුමක් වුව ද මිනිසුන්ට මෙලෙස සහෝදරත්වයේ මේසයේ එකට සිට ක්‍රියා කළ හැකි බව ඒ අත්දැකීම මට ඒත්තු ගැන්වී ය. යළි අපි කිසි දිනෙක හමු නො වනු ඇත. එහෙත් එදා අප අතර තිබූ සහෝදරත්වය අන්තර්ජාතික සාමය සඳහා කදිම නිදසුනක් වනු ඇත." (117 වන පිටුව). 

මේ අපූරු ශෛලියෙන් වෙනත් කෘතියක් ලෝකයේ ලියැවී ඇත්දැයි නො දනිමි. පුද්ගලයන් පිළිබද චරිත කතා සහ ස්වයං චරිතාපදන නම් බහුල නමුත් ලේඛකයකු විසින් තමාට හමු වූ පුද්ගල චරිත ඇසුරින් මෙවැනි අත්දැකීම් සංගෘහිත කරනු ලැබීමක් නම් මා කියවා නැත. ඇෆ්ගනිස්ථානය, ඇසර්බයිජානය, ආජෙන්ටිනාව, ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව, ඇන්ගෝලාව, ආර්මේනියාව, බෙනින්, බිලරූස්, බුර්කින ෆසෝ වැනි ලෝකයේ සියලු මහාද්වීප නියෝජනය කරන, ඒ අතර ම විවිධ මිනිස් රටා නිරූපණය කරන, මිනිසුන් හා ඔවුන් සමඟ ඇති කර ගත් සම්බන්ධතා පාදක කර ගෙන ලියා ඇති කෘතිය, ඒ කියවන පාඨකයා ව, ලෝකය පුරා මනසින් රැගෙන යාමට සමත් වන්නේ ය. දැනට ඇමරිකාවේ වෙසෙන නිමල් දුනුහිඟ නම් ලාංකික ලේඛකයා, ලෝකයේ විවිධ සම්ප්‍රදායවල විවිධ කවි ද කලා නිර්මාණ ද ඇසුරින් අපූරු ස්වතන්ත්‍ර කවි නිර්මාණය කරමින්, ඒ කවිවලට පදනම් වූ රට හෝ සමාජ සංස්කෘතික පසුබිම අපට පෙන්වා දෙන අතර ම, ශ්‍රී ලංකාවේ විවිධ පැතිකඩ ද වක්‍රාකාරයෙන් මෙන් නිරූපණය කරන්නට සමත් වන්නේ ය. එහෙත් රුවන් එම්. ජයතුංග, කරනුයේ විවිධ රටවල විවිධ පුද්ගලයන් හා ඇසුරින් ලද අත්දැකීම් ගද්‍යාඛ්‍යාන ලෙස ඉදිරිපත් කරමින් ලෝක රටා නිරූපණය කරන අතර, ශ්‍රී ලංකාවේ වෙසෙන අපට, අප ගැනත් ලංකාව ගැනත් ප්‍රත්‍යවේක්ෂණය කරන්නට සහ වඩා හොඳ ශ්‍රී ලංකාවක් සදහා අදහස් ජනනය කර ගන්නට මග පෑදීම ය. එකී ගද්‍ය ලේඛන මගෙහි අපූර්වත්වය නම් අපූරු ම ය. මේ කෘතිය ලබා ගැනීමට කැමති අයට නොමිලේ ඊමේල් කර ලබා දීමෙන්, වෛද්‍ය රුවන් එම්. ජයතුංග කළ මෙහෙය අගයමි. මෙය ඉල්ලා සිටින ශ්‍රී ලාංකික මගේ මිතුරන්ටත් ගෝලයන්ටත් බෙදා හැරීමට ද ඔබේ අවසරය පතමි. එමගින් ඔබ ගැන මෙන් ම ලෝකය ගැන ද ශ්‍රී ලාංකික පර්යාලෝක පළල් කිරිමට තවදුරටත් ඉඩ හසර පෑදෙනු ඇත.( by Godwin Kodituwakku) 

2 comments:

  1. Hello, I am live in Dubai. I am a long time member and love to read Dr.Ruwan Articles. How can I get this book ? Can I buy from Sri Lanka

    ReplyDelete
    Replies
    1. pl email me : ruwanmjayatunge@gmail.com ; I will send you the pdf

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook