Monday, February 2, 2026

71 කැරැල්ලේ බර්ටි රංජිත්

 



විජේවීර ගේ ව්‍යාපාරය ගැන මට මුලින්ම දැනුම් දුන්නේ මගෙ මිතුරකු වූ ධර්මසිරි ෆොන්සේකා විසිනි. තරුණ කන්ඩායමක් විසින් ගෙන යන විප්ලවකාරී වැඩ පිළවෙලක් ගැන ඔහු මට කීවේය. මේ අනුව දිනක් බඩල්ගම සේනාරත්න කන්නංගරගේ (සේන කන්නංගර) නිවසේදි මට පියතිලක මුන ගැසුනි. මිල්ටන් සමග පැවති මුලික සාකච්ඡාවෙන් පසු එදිනම මිල්ටන් විසින් අපට පැය 2 1/2 පමණ දේශනයක් පැවැත්විය. මෙම දේශනය මූලිකව ඉන්දියානු ව්‍යාප්තවාදය ඇසුරෙනි.


ක්‍රම ක්‍රමයෙන් මම මෙම ව්‍යාපාරයේ සක්‍රිය ක්‍රියාකරුවෙක් වූයෙමි. නවකයන් බඳවා ගැනීමත් ඔවුන්ට පන්ති පැවැත්වීමත් මා නොකඩවා කලේය. එසේම ව්‍යාපාරයේ නායකන්ගේ නිර්දේශ අනුව සන්නද්ධ කටයුතුද කරගෙන ගියෙමි. රෝහණ විජේවීර අම්පාරේදී අත්අඩංගුවට පත්වූ පසු ඔහුව යාපනය බන්ධනාගාරයට ගෙන යනු ලැබීය. කැරැල්ල ආරම්භ කිරීම සඳහා දින නියමකරගත් පසු විෙජ්වීර යාපනය හිර ගෙදරින් ගලවා ගැනීමට අවශ්‍ය කෙරුනි. යාපනයට ගොස් විජේවීර සහෝදරයා බේරා ගන්නා ලෙසට මට දැනුම් දුන්නේ පියතිලක. උයන්ගොඩ හා ලයනල් බෝපගේ විසිනි. මේ සම්බන්ධයෙන් විශේෂ විස්තරයක් මගේ බක් මහ කඳුළු කෘතියේද සඳහන් වෙයි.

අපගේ මූළික නිගමනය වූයේ 250 ක පිරිසක් යාපනයට යා යුතු බවයි. නමුත් මගේ අදහස අනුව පහර දීමට සහභාගි වූ පිරිස 150 ටත් වඩා අඩුය. මගේ නායකත්වයෙන් හිර ගෙදරට පහර දීමට සහභාගි වූයේ 30 පමණ කණ්ඩායමකි. යාපනය පොලිසියට පහර දීමට ගොස් තිබූ ප්‍රමාණය 60 පමණ ය.

මම 1971 අප්‍රේල් 5 දින පාන්දර යාල්දේවි දුම්රියෙන් යාපනයට ගියෙමි. මා සමග අපගේ සාමාජිකයන් 10 දෙනෙකු දුම්රියේ ගිය බව මතකය. යාපනයට පහරදීමට අවශ්‍ය අත් බෝම්බද අපගේ ගමන් මළු වල විය. උදේ 5.45 ට කොළඹ කොටුවෙන් පිටත් වූ දුම්රිය සවස 1.45 පමන යාපනයට ලඟා විය. අප නාග විහාරයට ගොස් එහි සිට එදින රාත්‍රි 11.30 ට පමණ ප්‍රහාරය ආරම්භ කලෙමු.

අපගේ පහරදීමේදී ආයුධ විරහිත තරුණයන් පිරිසක් සන්නද්ධ පොලිස් හා හමුදා වලට මුහුණ දුන් ආකාරය අද නම් මට වටහා ගත නොහැකි තත්වයකි. අත් වල කිසිවක් නැති තරුණයන් වෙඩි තබන පොලිස් හා හමුදා ඉදිරියට දිව ගිය ආකාරය පුදුම සහගතය. අද නම් මම එවැනි දෙයක් නොකරන බව මට සහතිකය. අප මෙන්ම පොලිස් හා හමුදා වලටද සටනක් ගැන දැනුමක් නොතිබූ බව පැහැදිලිව පෙනෙන්නට තිබු කරුණකි. අපගේ පහර දීම ඉතා සරල හා බොළඳ එකකි. පොලිස් භටයන් ආයුධ රැගෙන දුව ගොස් සැඟවීම ඊටත් වඩා බොළඳය.

අප කණ්ඩායමක් හිරගෙදර තාප්පය දිගේ විජේවීර සිර කර ගෙන සිටි ඊ1 කාමර පෙළ අභියසට ගියෙමු. මේ කණ්ඩායමේ පියුමසේන කන්නංගර. සහ මැදගම කුඩා මහත්තයා සිටි බව මට මතකය. අපි විජේවීරට හඞ නගා කථා කළ නමුදු ඔහු නිහඞව සිටිනු ලැබීය. පසු කලක විජේවීර සමග ඇති වන ගැටුමේ මුලික බීජය මා තුළ පැලපදියම් වන්නේ මේ අවස්ථාවේදීය.

විජේවීරසිටි ඊ1 කාමර පෙල තිබුනේ බන්ධනාගාර පවුරට යාර 40 ක් 50වැනි දුරකිනි. අප පවුර දිගේ ඔහු සිටි මැදිරිය ආසන්නයට ගියෙමු. එතැන සිට මා විජේවීර ඇමතුවෙමි. අප කොටු පවුරේ ආවේ ගස්ලබු ගසක් මගින් තාප්පය අසල වහලයට නැග වහල දිගේ ගොස් පවුරට නැගීමේනි. මා හිතන විදිහට අප හා විජේවීර රඳවා තුබූ මැදිරිය අතර දුර යාර 40 පමණ. මා සමඟ සිටි ජයන්තට වෙඩි වදින විට උදේ 4.30 පමණ ඇත. අපගේ අවසාන බෝම්බය පාන්දර 5 ට පමණ විසිකරන්නට ඇත. උදේ 6.30 වන විට හමුදාව කොටුව තුලට ඇතුළු විය.

අපි ක්‍රම ක්‍රමයෙන් කොටු පවුර දිගේ සිරගේ පැත්තට පසු බැස ගියෙමු. උදේ 8 වන විට හමුදාව හා පොලිසිය අපගේ කණ්ඩායම කොටු කර අවසන්ය. යාපන බන්ධනාගාර ප්‍රහාරය පිළිබඳ තොරතුරු මගේ බක්මහ කඳුළු පොතේ සවිස්තරාත්මකව සඳහන් කොට තිබේ. ප්‍රහාරය අසාර්ථකවී අප අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් අපට පහර දුන් අමානුෂික ආකාරයද මෙහිදි පැවසිය යුතුය. සිංහල නිලධාරින් විසින් අපට පහරදී අපව මරා දැමීමට සූදානම් වූ අවස්ථාවේ සිංහල කැරලිකරුවන්ගේ ජීවිත බේරා ගත්තේ ද්‍රවිඩ නිලධාරියෙකු වූ සුන්දරලිංගම් මහතාය.

වර්ගවාදයේ පුහුබව මම ප්‍රායෝගිකවම පසක් කලේ එදාය. මෙම නිලධාරින් අද ජීවතුන් අතර සිටිනවා නොවිය හැක. එහෙත් ඔහු තුළ තිබූ උසස් මනුෂ්‍යත්වය මගෙ සිත තුළ සදාකාලිකව තැන්පත් වී තිබේ.

අපගේ යාපනයට පහර දීම අසාර්ථක වීමට හේතූන් විශාල ගණනක් මට අද දිනයේ යළි අතීතය සමාලෝචනය කිරීමෙන් පෙන්වා දිය හැකියි. අපට නිසි සැලැස්මක් නොතිබිණි, ආයුධ ලෙසට තිබුනෙ බාල ගෙඩි බෝම්බ කිහිපයකි. ඒවා පුපුරා ගියද සිදුවූ හානිය ඉතා අවමය. අප සමග සහභාගි වූ පිරිසට කිසිම සටන් පුහුණුවක් නොවීය. එම නිසා ප්‍රහාරයේදී ඔවුන් ව්‍යාකූල විම නොවැලැක්විය හැකි සංසිද්ධියක් විය. අප අතර කණ්ඩයමක්. ලෙසට සබඳතා නොවූ බව විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාර්යයකි. හිර ගෙදරට පහර දුන් සටනේදි මා සමග සහභාගි වූ පිරිසෙන් බොහෝ දෙනෙකු මා ඒ මොහොතේ දැන අඳුනා ගත් අය වූහ. පොදුවේ ගත් කළ 71 කැරැල්ල අසංවිධානාත්මක එකකි. එය යාපනය ප්‍රහාරයටද බල පෑවේය.

...................හැමන් හිල් සිර කඳවුරේ සිටි 71 කැරලිකරුවන් ගෙන් සමහරක් එහි කොමියුනිස්ට් සමාජයක් නිර්මානය කර ගත් හ. එහි සිරකරුවන් ගේ සියළු දේපළ සෙරෙප්පු සහ ටූත් බ්‍රෂ් පවා පොදු දේපළ විය. එහි කොමියුනිස්ට් සමාජයට අනුගත නොවූවන්ට පහර දීම සඳහා පෝරියල් හමුදාව නම් පොලු වලින් පහර දෙන හමුදාවක් ද විය. මෙම පෝරියල් හමුදාවෙන් බේරීම සඳහා විජේවීර ගලවා ගැනීමට යාපනය ප්‍රහාරයට නායකත්වය දුන් බර්ටි රංජිත්ට දිවා රාත්‍රී කාලයේ අවධානයෙන් සිටින්නට විය​...............

බර්ටි රංජිත් දිවි පරදුවට තියලා විජේවීර බේර ගන්න යාපනය හිර ගෙදරට ගහන්න යනවා. විජේවීර සෙල් එකෙන් එලියට එන්නේ නෑ. බර්ටි රංජිත් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන කකුල කඩලා හැමන් හිල් ප්‍රිස්න් එකේ දානවා. යාපනය හිර ගෙදර දොස්තර බලන්න යන විට බර්ටි රංජිත්ට විජේවීර හමු වෙනවා. එදා සෙල් එකෙන් එලියට ආවේ නැත්තේ ඇයි කියලා බර්ටි රංජිත් අහනවා. මෙය මතවාදී ගැටුමක් වෙනවා. මේ සිදුවීම බර්ටි රංජිත් කියන්නේ මෙහෙම......

" අපි ස්වයංවිවේචනයක් සඳහා යා යුතු බවට මා ඇතුළු සාමාජිකයෝ ගණනාවක් පෙන්වා දුන්නෙමු. ඉන්දියානු ව්‍යාප්තවාදය මාක්ස්වාදයට එකඟ නැති බවත් එය සංශෝධනය කළ යුතු බවත් අපි කීවෙමු. එහෙත් විජේවීර එම අදහස් ප්‍රතික්ෂේප කලා පමණක් නොව අප කට්ටිවාදින් යන චෝදනාවද එල්ල කලේය. මින් ඇරඹෙන මතභේදය තුළින් අපිව ද්‍රෝහින් ලෙසට ලේබල් කරණු ලැබීය.

මින් පසුව දිනක් යාපනය බන්ධනාගරයේදි මමත් විජේවීරත් මුහුණට මුහුණ මුණ ගැසුනෙමු. එහිදි ඔහු අහක බලාගත් අතර අඩුම තරමේ මගේ මුහුණවත් නොබැලීය. ඔහුව ගෙන යමින් සිට ජේලර් හා මා ගෙන යමින් සිටි ජේලර් විජේවීර ගේ මේ ප්‍රතික්‍රියාවෙන් පුදුමයට පත් වූහ. මාව ගෙන ගියේ අමෝන් නම් ජේලර්වරයා මගෙන් මෙසේ ඇසීය.

" බර්ටි ඔය තමුසේ බේරගන්න ගිය නායකයා නේද? එයා වගේ මනුස්සකමක් නැති නායකයෙක් වෙනුවෙන්ද තමුසෙලා ජීවිත දීලා සටන් කළේ?

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook