මම වෛද්‍ය සීමාවාසික පුහුණුව (ඉන්ටර්න්‍ෂිප්) කලේ මාතලේ මූලික රෝහලේ. මාත් එක්ක සීමාවාසික පුහුණුවට ඇවිත් හිටියා මොහාන්. මොහාන් ආවේ ග්‍රාමීය ප්‍රදේශයකින්. පේරාදෙනිය වෛද්‍ය පීඨයෙන් පාස් අවුට් වෙලා ආවේ. රෝහලේ වැඩ නිම කිරීමෙන් පසුව මම සහ මොහාන් ජීවිතය ගැන අපේ අනාගත බලාපොරොත්තු ගැන කතා කරනවා. ලොකු ධනයකට උරුම නොකී මොහාන්ට අවශ්‍ය උනේ ජී.පී එනම් සාමාන්‍ය වෛද්‍යවරයෙකු වී රජයේ රැකියාව කරන ගමන් පුද්ගලික ප්‍රැක්ටිස් එකක් ගොඩ නගා ගන්න. පුද්ගලික ප්‍රැක්ටිස් එකක් ගොඩ නගා ගත යුතු ආකාරය පිලිබඳව මොහාන් ඒ කාලේ මට කියනවා. ඔහුගේ සිහිනය උනේ ප්‍රධාන නගරයක රෝහලක රැකියාවක් , පුද්ගලික ප්‍රැක්ටිස් එකක් මගින් මුදල් උපය ගන්න , ගෙයක් හදන්න සහ වාහනයක් ගන්න. ඔහුගේ අවශ්‍යතා තිබුනේ සීමිත මට්ටමක.
මම වෛද්‍ය සීමාවාසික පුහුණුවට යන කොට මට 17 - නිසාන් මාච් කාර් එකක් තිබ්බා. ඒ කාලේ අපේ ජේෂ්ඨ වෛද්‍ය නිලධාරී ෆාහිම් මහතාට තිබ්බේ 11 ශ්‍රී ලාන්සර් බොක්ස් එකක්. මම වෛද්‍ය සීමාවාසික පුහුණුවට ආවේ නැගෙනහිර යුරෝපය / බටහිර යුරෝපය රට වල කරක් ගහලා. මොහාන් ගේ විශ්වය පොඩියි. ඔහු දැක්කේ තමන් ගේ ගම , පේරාදෙනිය විශ්ව විද්‍යාලය , කොලඹ ඇතුලු ප්‍රධාන නගර කීපයක්. මගේ විශ්වයේ පරිධිය විශාලයි. මගේ මනස යකාගේ කම්මල වගේ. මට මොහාන්ට වගේ නිශ්චිත අරමුණක් තිබුනේ නෑ. සීමාවාසික පුහුණුවෙන් වසර කීපයකට පසුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (එම්.ඕ.එච්) කෙනෙකු ලෙස සේවය කරමින් ඉන්න විට ප්‍රජා වෛද්‍ය වෛද්‍ය චාන්දනී ගල්වඩුගේ මහත්මිය හමු වීමෙන් පසුව මට කොමියුනිටි මෙඩිසින් හදාරන්න හිතෙනවා. මම කොමියුනිටි මෙඩිසින් MSc එක කරන්න පටන් ගත්තා. ඒ අතරේ නාරි හා ප්‍රසව ජේෂ්ඨ වෛද්‍ය නිලධාරී ලෙස පත්වීමක් ලැබෙනවා. එවිට නාරි හා ප්‍රසව විභාග කරන්න ඉටා ගන්නවා. මොකද මගේ සීසර් වගේ ශල්‍යකර්ම හොඳ බව අනෙකුත් වෛද්‍යවරු කියපු නිසා. පසුව මට ඇනස්තටිස්ට් කෙනෙක් ලෙස පුහුනුව ලැබෙනවා. විශේසඥ වෛද්‍ය ප්‍රියංගනී ආරියරත්න මියගේ බලපෑම් නිසා මම ඇනස්තීසියා හදාරන්න යනවා. නමූත් මේ හැදෑරීම් ඔක්කොම කරන්නෙ බාගෙට. ජීවිතයේ නිශ්චිත අරමුණක් තිබුනේ නෑ. .
මේ අතර කාලයේ මම වරක් කුරුණෑගල නගරය හරහා යන කොට පුද්ගලික වෛද්‍ය සායනයක මොහාන් ගේ නම දකිනවා. පසුව මට ආරංචි වෙනවා මොහාන් කුරුණෑගල ගෙයක් හදලා එහි පදිංචි වෙලා කියලා. මොහාන් තමන් ගේ ජීවිත ගෝල්ස් ඇචීව් කලා. ඔහු මැස්ලෝව් ගේ පිරමීඩය උඩට ගියා. ඒත් මම නොසන්සුන්. තාම පිරමීඩය උඩට නගිනවා.
ඉන් පසු මම යුද හමුදා සේවයට යනවා. එහිදී විශේසඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා මුණ ගැහෙනවා. අපි යුද ආතතිය පිලිබඳ හදාරනවා. එහිදී මට මනෝ වෛද්‍ය විද්‍යාව පිලිබඳ ඇල්මක් ඇති වෙනවා. මම දිගින් දිගටම සායනික මනෝ විද්‍යාව හදාරනවා වෛද්‍ය ඇසකින්. මෙවර බාගෙට කාලට නොවෙයි සම්පූර්ණ අවධානය එක්ක. ඉන් පසු කැනඩාවේ යෝක් විශ්ව විද්‍යාලයට, ඇමරිකාවේ වොශ්බර්න් විශ්ව විද්‍යාලයට ගිහින් මනෝ විද්‍යා අධ්‍යපනය ලබා ගන්නවා. අවසානයේදී මනෝ විද්‍යාව ආචාර්‍ය උපාධිය නිම කරනවා. මට පිරමීඩයේ උඩට එන්න මොහාන්ට ගිය කාලයට වඩා කාලයක් ගත උනා. ඒ කාලය තුල මට වඩා මොහාන් සතුටින් එනම් ජීවිතය පිලිබඳ කන්ටෙන්ට් එනම් සන්තුෂ්ටියට පත් වෙලා ඉන්න ඇති.
මට නිව් යෝක් , ලස් වේගාස් , ලන්ඩන් වගේ නගර වල ධනවත් භෞතික දේවල් බොහෝ තිබූ එහෙත් හිත සතුටින් නොසිටි මිනිසුන් හමු වෙලා තියනවා. ඒ වගේම ඈත රුමේනියාවේ දුප්පත් වැරහැළි අඳින ඒත් සතුටින් ගීත ගායනා කරමින් සිටි ජිප්සි මිනිසුන් හමු වෙලා තියනවා. සතුට කියන්නේ තමන් ගේ මනසේ නිර්මාණයක්. සතුට කියන්නේ තමන් ගේ මනස තුල. ජීවිතය පිලිබඳ අර්ථකථනය , අපගේ ජීවිත ෆිලොසොෆි එක මත තමයි සතුට රැඳිලා තියෙන්නේ.
මම පාසල් යන කාලේ අපගේ පාසලේ හිටියා AFS ප්‍රෝග්‍රෑම් එකට ආපු ඊතන් කියලා ඇමරිකන් සිසුවෙක්. ඔහු මට කිව්වා සතුට තියෙන්නේ තමන් ලඟ. ඒක අනිත් අයව පීරලා ඒක හොයන්න එපා කියලා. ඒ කතාවේ ගැඹුර මට වැටහුනේ මනෝ විද්‍යාව හදාරන කොට. සතුට කියන්නේ ආංශික ප්‍රතිඑලයක් එනම් බයි ප්‍රඩක් එකක්. ඔබ සතුට ඉලක්ක කර ගෙන වැඩ කරන්න ගියොත් මේ බයි ප්‍රඩක් එක හොයා ගන්න අමාරුයි. සතුට තියෙන්නේ ලොකු දේවල් තුල නොවෙයි කුඩා සරල දේවල් තුල. මේ සත්‍ය වැටහෙන්න කාලයක් ගියා.
No comments:
Post a Comment
Appreciate your constructive and meaningful comments